තම ලකුණ තැබූ මුද්‍රණකරුවෙක්
ඔබට යම් දිනක බයිබලයේ ඡේදයක් සොයාගැනීමට වුවමනා වූ නමුත් එය සොයාගත් තැන මතක් කරගැනීමට නොහැකි වී තිබේද? එහෙත්, හුදෙක් එක් වචනයක් පමණක් මතක තබාගැනීමෙන්, බයිබල් අකාරාදියක් භාවිත කිරීම මගින් ඔබට එය සොයාගැනීමට හැකි වූයේය. එසේ නැත්නම්, ඔබ ක්‍රිස්තියානි එක්රැස්වීමකට පැමිණි විට, එහි පැමිණ සිටි සිය ගණනක් හෝ දහස් ගණනකට, යම් බයිබල් පදයක් සඳහන් කරනු ලැබූ පසු තම බයිබල්වලින් එය තත්පර කිහිපයක් ඇතුළත සොයාගැනීමට හැකිවූවා විය හැකිය.
මේ එක් එක් අවස්ථාව සම්බන්ධයෙන් ගත් කල, ඔබ එතරම් නොදන්නා යම් මිනිසෙකුට ඔබ ණය ගැතිවන්නෙහිය. ඔහු ඔබගේ බයිබල් අධ්‍යයනය පහසු කරවූ අතර, එමෙන්ම, අපට අදදින නිවැරදි බයිබල් තිබෙන බවට සහතික වීමට ඔහු යම් කාර්යභාරයක් ඉටු කළේය. බයිබල් බොහොමයක් සකස් වී තිබෙන ආකාරය කෙරෙහිද ඔහු යම් බලපෑමක් පවා කළේය.
මෙම මිනිසා වූයේ රොබෙ ඒට්යෙන්ය.a ඔහු වනාහි 16වන සියවසේ මුල් භාගයේදී ප්‍රංශයේ පැරිස් නුවර මුද්රණකරුවෙකුගේ පුත්‍රයෙකු වූ අතර, ඔහුද මුද්‍රණකරුවෙකු වීය. එය වනාහි පුනරුදයේ හා ප්‍රතිසංස්කරණයේ යුගය විය. මුද්‍රණ යන්ත්‍රය මේ දෙක සඳහාම මෙවලමක් බවට පත්විය. රොබෙගේ පියා වූ ආන්රි ඒට්යෙන්, පුනරුදය අතරතුර කදිම පොත් සංස්කරණ සමහරක් නිපදවමින් කීර්තිමත් මුද්‍රණකරුවෙකු බවට පත්විය. ඔහුගේ කෘතිවලට ඇතුළත් වූයේ, පැරිසියේ සරසවියට හා එහි දේව ධර්මීය පාසැල වූ සෝර්බෝන්හට අධ්‍යාපනික හා බයිබල් කෘතීන්ය.
එහෙත්, අපි දැන් එම පුත්‍රයා වන රොබෙ ඒට්යෙන් කෙරෙහි අවධානය යොමු කරමු. ඔහුගේ මූලික අධ්‍යාපනය පිළිබඳව ඇත්තේ මඳ දැනුමකි. එහෙත්, කුඩා අවදියේ පටන් ලතින් භාෂාව ප්‍රගුණ කළ හේ, ඉතා ඉක්මනින් ග්‍රීක් හා හෙබ්‍රෙව් භාෂාද ප්‍රගුණ කළේය. රොබෙ තම පියාගෙන් මුද්‍රණ කලාව උගත්තේය. ඔහු 1526දී සිය පියා වූ ආන්රිගෙන් පසුව මුද්‍රණකරුවෙකු ලෙස කටයුතු කිරීමට පටන්ගත් විට, උසස් භාෂා ප්‍රමිති පිළිබඳව විශාරදයෙකු ලෙසට රොබෙ ඒට්යෙන්ව එවිටමත් ප්‍රසිද්ධ වී තිබිණි. ඔහු ලතින් සාහිත්‍යයේ සහ වෙනත් විශාරද කෘතිවල වැදගත් විචාරාත්මක සංස්කරණයන් පළ කළද, ඔහුගේ පළමු ප්‍රේමය වූයේ බයිබලයට බව කිසිදු විවාදයක් නැත. ලතින් සාහිත්‍ය කෘතිවලට එවිටමත් කර තිබූ දෙය ලතින් බයිබලය වෙනුවෙන් කිරීමට දැඩි උනන්දුවකින් සිටි ඒට්යෙන්, ජෙරොම්ගේ ලතින් වල්ගේට් බයිබලය, එහි පාඨයේ මූලාරම්භක පස්වන සියවසේ තිබූ තත්වයට යළිත් හැකි තරමින් ගෙන ඒමට අදිටන් කරගත්තේය.
ප්රතිසංශෝධිත වල්ගේට් පරිවර්තනයක්
ජෙරොම් පරිවර්තනය කොට තිබුණේ බයිබලයේ මූලාරම්භක හෙබ්‍රෙව් සහ ග්රීක්වලින් නමුත්, ඒට්යෙන්ගේ කාලය වන විට, වල්ගේට් පරිවර්තනය වසර දාහක් පමණ කාලයක් පුරා පැවත තිබිණි. පරම්පරා ගණනාවක් පුරා වල්ගේට් පරිවර්තනය පිටපත් කිරීම නිසා බොහෝ දෝෂයන් සහ වැරදි ඇතුල් වී තිබිණි. එපමණක්ද නොව, මධ්‍යම කාලීන යුග අතරතුරේදී, බයිබලයේ දිව්‍යානුභාව ලත් වචන, මධ්‍යකාලීන යුගයේ ප්‍රබන්ධවලින්, අනුවාදාත්මක ඡේදවලින් සහ ව්‍යාජ එකතු කිරීම්වලින් ගහණ විය. ඒවා බයිබල් පාඨයන් සමඟ කොතරම් මිශ්රවූවාද කියතොත්, ඒවා ආනුභාව ලත් ලියවිලි ලෙසට පිළිගනු ලැබීමට පටන්ගැනිණි.
මූලාරම්භක නොවන දේවල් ඉවත් කරලීම පිණිස, ශාස්ත්‍රීය සාහිත්‍ය අධ්‍යයනය සඳහා යොදාගන්නා ලද පාඨ විචාරාත්මක පරීක්ෂා ක්‍රම ඒට්යෙන් අදාළ කළේය. ලබාගත හැකිවූ පැරණිතම මෙන්ම ඉතා හොඳම අත්පිටපත් හේ සොයා බැලුවේය. එව්රර්ස් සහ ස්වාසෝන් වැනි පැරිසියේ අවට තැන්වලින් ඒවා සොයා බැලූ ඔහුට, පුරාණ අත්පිටපත් කිහිපයක් හමුවූ අතර, ඉන් එකක් හයවන සියවසේ සිට පැමිණි බවක් පෙනෙන්ට තිබිණි. විවිධ ලතින් පාඨ ඡේදයෙන් ඡේදයට සන්සන්දනය කර බැලූ ඒට්යෙන්, මෙහිදී තෝරාගත්තේ වැඩිමනත් අධිකාරයක් තිබෙන බවට පෙනී ගිය ඡේද පමණි. මෙහි ප්‍රතිඵලය වූ, ඒට්යෙන්ගේ බයිබලය, පළමුවරට 1528දී පළ කරනු ලැබූ අතර, එය වනාහි බයිබල් පාඨවල නිවැරදිභාවය ශෝධනය කිරීමෙහිලා පෙරට තැබූ අතිවිශේෂ පියවරක් වූයේය. ඒට්යෙන් විසින් වැඩිදියුණු කරන ලද සංස්කරණ මින්පසුව පළවෙන්නට පටන්ගැනිණ. ඔහුට පෙර වෙනත් අය වල්ගේට් පරිවර්තනය නිවැරදි කිරීමට යත්න දරා තිබුණද, ප්‍රබල ලෙස විචාරාත්මක දත්ත සැපයූ පළමු සංස්කරණය වූයේ ඔහුගේ එකකි. යම් සැක සහිත ඡේද නොසලකා හැර ඇති බව හෝ එක් අන්දමකට වඩා කියවිය හැකි තැන් ඒට්යෙන් පිටුවේ කෙළවරේ ලකුණු කළේය. මෙම නිවැරදි කිරීම් සඳහා අධිකාරය දුන් අත්පිටපත් මූලාශ්‍රද ඔහු සඳහන් කළේය.
දහසයවන සියවසට බොහෝ සෙයින් අලුත් වූ වෙනත් විශේෂාංග බොහොමයක්ද ඒට්යෙන් හඳුන්වා දුන්නේය. ඔහු ද්විතීය සම්මත ග්රන්ථ සහ දෙවියන්වහන්සේගේ වචනය අතර වෙනසක් ඇති කළේය. ඔහු ක්‍රියා පොත, සුවිශේෂවලට පසුව සහ පාවුල්ගේ ලිපිවලට පෙර තැබුවේය. එක් එක් පිටුවේ ඉහළ, විශේෂ ඡේද සොයාගැනීමට කියවන්නාට පහසු වන පිණිස හේ මූලික වචන කිහිපයක් සැපයුවේය. අදදින පිළියා ශීර්ෂය යනුවෙන් පොදුවේ හැඳින්වෙන දෙයෙහි මුල්ම උදාහරණය මෙය විය. ජර්මනියෙන් ආරම්භ වූ තද ගොතික් අකුරු හෙවත් කළු අකුරු යොදාගන්නවා වෙනුවට, මුළු බයිබලයම කියවීමට පහසු දැන් භාවිතයේ පවතින පොදු රෝමන් අකුරු ආකාරයෙන් පළමු වරට මුද්‍රණය කළ තැනැත්තන් අතර ඒට්යෙන් විය. යම් ඡේදයන් පැහැදිලි කරගැනීමට උපකාර වීම සඳහා හේ හරස් යොමු සටහන්ද ශබ්ද කිරීමේ සටහන්ද සැපයුවේය.
බොහෝ ප්රභූවරු සහ ආගමික නායකයෝ ඒට්යෙන්ගේ බයිබලය අගය කළෝය, මන්ද එය වල්ගේට් පරිවර්තනයේ වෙනත් කිසිදු සංස්කරණයකට වඩා වඩාත් හොඳ තත්වයේ තිබුණු හෙයිනි. අලංකාරය, කෞශල්‍යය හා උපයෝගිතාව සම්බන්ධයෙන් බලන කල, සංස්කරණය ඔහුගේ ප්‍රමිතිය බවට පත්වූ අතර, ඉතා ඉක්මනින් යුරෝපය පුරා අනුකරණය කරන්නට පටන්ගති.
රාජකීය මුද්‍රණකරුවා
“තමාගේ වැඩෙහි දක්ෂවූ මනුෂ්‍යයෙකු දකින්නෙහිද? ඔහු . . . රජුන් ඉදිරියෙහි සිටින්නේය,” යයි හිතෝපදේශ 22:29 පවසයි. ඒට්යෙන්ගේ අමුතු පන්නයේ ශිල්ප නිපුණතාව සහ භාෂාමය හැකියාව ප්‍රංශයේ 1වන ෆ්‍රැන්සිස් රජුගේ අවධානයට හසු නොවී තිබුණේ නැත. ඒට්යෙන්, ලතින් හෙබ්‍රෙව් සහ ග්‍රීක් සම්බන්ධව රජුගේ මුද්‍රණකරුවා බවට පත්විය. එවැන්නෙකු සේ ඒට්යෙන්, ප්‍රංශ මුද්රණශිල්පයේ කෘතහස්ත නිර්මාණ ලෙස තවමත් සලකන කෘති බිහි කළේය. වර්ෂ 1539දී හේ සම්පූර්ණ ප්‍රංශ හෙබ්‍රෙව් බයිබලයේ පළමු සහ අනගිතම මුද්‍රණය නිපදවන්නට පටන්ගත්තේය. වර්ෂ 1540දී ඔහු පින්තූරු තම ලතින් බයිබලයට හඳුන්වා දුන්නේය. එහෙත්, මධ්‍ය කාලීන යුගවලට පොදුව තිබූ, බයිබල් සිද්ධීන් පිළිබඳව කල්පිත රූප සටහන්වලට වඩා, පුරාවිද්‍යාත්මක සාක්ෂි මත හෝ බයිබලයේම සඳහන් මිනුම් සහ විස්තරයන් මත පදනම් උපදේශාත්මක රූප සටහන් ඒට්යෙන් සැපයුවේය. මෙම ලීයෙන් තැනූ රූ කැටවලින් ලද පින්තූරුවල ගිවිසුම් පෙට්ටිය, උත්තම පූජකයාගේ ඇඳුම්, මණ්ඩපය හා සාලමොන්ගේ මාළිගාව වැනි විෂයන් සවිස්තරාත්මකව ඉදිරිපත් කොට තිබේ.
රජුගේ අත්පිටපත් එකතුව මුද්‍රණය කිරීම සඳහා තමා ඇණවුම් කර තිබූ විශේෂ ග්‍රීක් අකුරු කට්ටලය උපයෝගි කරගත් ඒට්යෙන්, ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල හොඳම විචාරාත්මක සංස්කරණය නිපදවූයේය. ඒට්යෙන්ගේ ග්‍රීක් පාඨවල පළමු සංස්කරණ දෙක ඩෙසිඩීරියස් එරැස්මස්ගේ කෘතියට වඩා එතරම් හොඳ නොවුවද, 1550හි පළවූ සිය තුන්වන සංස්කරණයේදී, පො.යු. පස්වන සියවසේ කොඩෙක්ස් බාසේ සහ සෙප්ටුඅජින්ට් බයිබලය ඇතුළත් අත්පිටපත් 15කින් පමණ පිටු සැසඳීම් සහ යොමු දැක්වීම් ඒට්යෙන් ඇතුළත් කළේය. ඒට්යෙන්ගේ මෙම සංස්කරණය කොතරම් පුළුල් ලෙස පිළිගැනුණේද යත්, 1611 කිං ජේම්ස් වර්ෂන් ඇතුළත් පසුව බොහෝ පරිවර්තන පදනම් කරගන්නාලද ටෙක්ස්ටස් රිසෙප්ටස් හෙවත් සම්මත පාඨය යනුවෙන් හැඳින්වූ කෘතිය ඒ සඳහා පදනම වූයේය.
සෝර්බෝන් ප්‍රතිසංස්කරණයට විරුද්ධ වෙයි
ලූතර්ගේ සහ වෙනත් ප්‍රතිසංස්කරණවාදීන්ගේ අදහස් යුරෝපය පුරා විසිර යද්දී, ජනයා කියවන දෙය මතට කොන්දේසි දැමීමෙන් ඔවුන්ගේ සිතිවිලි පාලනය කිරීමට කතෝලික පල්ලිය උත්සාහ කළේය. වර්ෂ 1520 ජූනි 15දා, Xවන ලියෝ පාප්, නියෝගයක් නිකුත් කරමින්, “මිථ්යාලබ්ධි” අඩංගු වන කිසිම පොතක්, කිසිම කතෝලික රටක මුද්‍රණය කිරීම, විකිණීම හෝ කියවීම තහනම් කළ අතර, එම රටවල අධිකාරීන්ද මෙම පාප් නියෝගය තම බල ප්‍රදේශ කෙරෙහි පනවන මෙන් අණ කර සිටියේය. එංගලන්තයේ VIIIවන හෙන්රි රජ, තහනම් කිරීමේ කාර්යය කතෝලික බිෂොප් කත්බර්ට් ටන්ස්ටාල්ට පැවරීය. කෙසේවුවද, යුරෝපයේ වැඩි පෙදෙසක, පාප්ට දෙවනුව තිබුණු, මූලධර්ම කාරණා සම්බන්ධව එකම අධිකාරය වූයේ, පැරිස් සරසවියේ දේවධර්මාචාරයන්ගේ පීඨයයි.—එනම් සෝර්බෝන්ය.
සෝර්බෝන් වනාහි කතෝලික සාධර්මික අධිකාරයේ හඬ විය. සියවස් ගණනාවක් පුරා එය සලකනු ලැබ තිබුණේ, කතෝලික විශ්වාසයේ බලකොටුව හැටියටය. මෙම සෝර්බෝන් තහනම් අධිකාරීහු, විචාරාත්මක සංස්කරණයන් සහ වල්ගේට්හි ස්වභාෂා පරිවර්තනයන් සියල්ලටම විරුද්ධ වූයේ, ඒවා, “පල්ලියට නිෂ්ඵල” පමණක් නොව, නමුත් “හානිදායක” ඒවා බවට සලකමිනි. ශුද්ධ ලියවිලිමය අධිකාරයක් මත පදනම් නොවී තිබූ පල්ලියේ මූලධර්ම, උත්සව හා සම්ප්‍රදායන් ප්‍රතිසංස්කරණවාදීන් විසින් ප්‍රශ්න කරනු ලැබූ කාලයක මෙසේ සිදුවීම පුදුමයට කාරණයක් නොවීය. කෙසේවුවද, සෝර්බෝන්හි බොහෝ දේවධර්මාධරයන් ගෞරව කරනු ලැබූ පල්ලියේ මූලධර්ම සැලකුවේ බයිබලයම නිවැරදි ලෙස කියවීමටත් වඩා වැඩි වැදගත්කමක් ඇති දෙයක් ලෙසය. එක් දේවධර්මාධරයෙක් මෙසේ පැවසුවේය: “වරෙක මූලධර්ම අත්කරගත් විට, ශුද්ධ ලියවිල්ල යනු, බිත්තියක් ඉදි කළ පසු ඉවත ලන පලංචියක් මෙන්ය.” මෙම අංශයේ වැඩිදෙනෙක් හෙබ්‍රෙව් සහ ග්‍රීක් නොදැන සිටියෝය, එහෙත්, බයිබලයේ සඳහන් වචනවල මූලාරම්භක අරුත් විමසා බැලීමට දැඩි උත්සාහයක් ගත් ඒට්යෙන්ගේ හා වෙනත් පුනරුද විශාරදයන්ගේ අධ්‍යයනවලට අවමන් කළෝය. එක් සෝර්බෝන් මහාචාර්යවරයෙක් මහත් ධෛර්යයෙන් යුතුව පවා කියා සිටියේ, “ග්‍රීක් හා හෙබ්‍රෙව් දැනුම පතළ කිරීම, මුළු ආගමේ විනාශයට හේතු විය හැකි” බවයි.
සෝර්බෝන් ප්‍රහාර එල්ල කරයි
ඒට්යෙන්ගේ වල්ගේට්හි මුල් සංස්කරණය මෙම පීඨයේ අනුමැතියට ලක්වුවද, එය මතභේදවලින් තොරව වූවා නොවේ. අතීතයේ 13වන සියවසේ, වල්ගේට් පරිවර්තනය විශ්වනීය නිල බයිබලය ලෙසට අභිෂේක කරනු ලැබ තිබූ අතර, බොහෝදෙනෙකුට එහි පාඨ නොවරදිනසුලු ඒවා විය. ගෞරව කරනු ලැබූ විශාරද එරැස්මස්ව, මෙම වල්ගේට් පරිවර්තනය වෙනුවෙන් කරන ලද සේවය හේතුකොටගෙන මෙම පීඨය විසින් හෙළාදැක පවා තිබිණි. සාමාන්‍ය මුද්‍රණකරුවෙකු වූ ගිහියෙකු නිල පාඨ නිවැරදි කිරීමට තරම් නිර්භීත වීම ඇතමෙකුට අනතුරු අඟවනසුලු දෙයක් විය.
සමහරවිට වෙන කිසිදෙයකට වඩා, දේවධර්මාධරයන්ගේ කනස්සල්ලට හේතු වූයේ, ඒට්යෙන්ගේ තීරු සටහන්ය. මෙම සටහන්, වල්ගේට් පරිවර්තනයේ වලංගුතාව ගැන සැක පහළ කරන්නට හේතු විය. යම් ඡේද පැහැදිලි කිරීමට වූ ඒට්යෙන්ගේ ආශාව, ඔහු දේවධර්ම විෂයට රිංගන්නට වෑයම් කරනවා යයි චෝදනා කරනු ලැබීමට තුඩු දුන්නේය. මෙම චෝදනා ප්‍රතික්ෂේප කළ ඔහු, තම සටහන් හුදෙක් කෙටි සාරාංශ හෝ ශබ්ද විද්‍යාත්මක ස්වරූපයක්ගන්නා බව කියා සිටියේය. නිදසුනක් වශයෙන්, උත්පත්ති 37:35හි ඔහු කර ඇති සටහන, “නිරය” [ලතින්, ඉන්ෆෙර්නම්] යන වචනය දුෂ්ටයන්ට දඬුවම් කරනු ලබන ස්ථානයක් ලෙස වටහාගැනීමට නොහැකි යයි පැහැදිලි කරන ලදී. සරසවි පීඨය චෝදනා කරමින් කියා සිටියේ, ඔහු ආත්මයේ අමරණීයභාවයත්, “සාන්තුවරයන්ගේ” මැදහත්කාරකම් කිරීමේ බලයත් ප්‍රතික්ෂේප කළ බවයි.
කෙසේවෙතත්, රජුගේ අනුග්‍රහය හා ආරක්ෂාව ඒට්යෙන්ට තිබිණි. පළමුවන ෆ්‍රැන්සිස් රජ, පුනරුද කෘති කෙරෙහි මහත් උනන්දුවක් දැක්වූ අතර, විශේෂයෙන්ම තම රාජකීය මුද්‍රණකරුවාගේ කෘති කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වීය. වාර්තාවෙන හැටියට, Iවන ෆ්‍රැන්සිස් රජ වරක් ඒට්යෙන්ව බැහැදුටු අතර, ඒට්යෙන් අවසාන මොහොතේ යම් පාඨයකට නිවැරදි කිරීම් කරන තෙක් ඉවසීමෙන් බලාසිටියේය. රජුගේ සහය ඇතුව, ඒට්යෙන් සෝර්බෝන්හි විරුද්ධවාදිකම්වලට එරෙහිව සිටියේය.
දේවධර්මාධරයෝ ඔහුගේ බයිබල් තහනම් කරති
එහෙත්, 1545දී, ඇතිවූ සිද්ධීන් අනුව, සෝර්බෝන් සරසවි පීඨයේ දැඩි වියරුව ඒට්යෙන් මතට එල්ල විය. ප්‍රතිසංස්කරණවාදීන්ට එරෙහිව එක්සත් පෙරමුණක් ඇතිකරලීමේ ප්‍රයෝජන දුටු කොලෝන් (ජර්මනිය), ලොවේන් (බෙල්ජියම) සහ පැරිස්හි කතෝලික සරසවි, මෙම සාම්ප්‍රදායික නොවන ඉගැන්වීම් තහනම් කිරීමට සහයෝගය දැක්වීමට කලින් එකඟ වී තිබිණි. ලොවේන් සරසවියේ දේවධර්මාධරයන්, තමන් පැරිසියේ හෙළාදකින පොත් ලැයිස්තුවේ ඒට්යෙන්ගේ බයිබල් දුටුවේ නැති බවට පුදුමය පළ කරමින් සෝර්බෝන්හි සරසවියට ලියූ විට, තමන් එය ඇත්තටම දැක තිබුණා නම්, තමන් විසින් එය හෙළාදකිනු ඇතැයි සෝර්බෝන් සරසවි පීඨය සාවද්‍ය ලෙස ඊට පිළිතුරු දුන්නේය. දැන් මෙම පීඨය තුළම සිටි ඒට්යෙන්ගේ සතුරන් නිසැක ලෙස කල්පනා කළේ, ලොවේන් හා පැරිසියේ සරසවිවල අධිකාරීන් එකතුවුවහොත්, ඒ මගින් රජුගේ මුද්‍රණකරුවාගේ වැරදි රජුට ඒත්තුගැන්වීමට එය ප්‍රමාණවත් වනු ඇතැයි කියාය.
මේ අතරතුර, තම සතුරන්ගේ අදහස් ගැන අනතුරු අඟවනු ලැබූ ඒට්යෙන්, පළමුව රජුව බැහැදුටුවේය. එම දේවධර්මාධරයන් තමන් සොයාගත් යම් දෝෂයන් වේ නම්, ඒවා පිළිබඳ ලැයිස්තුවක් පිළියෙළ කොට, එය ඉදිරිපත් කරන්නේ නම්, තමා දේවධර්මාධරයන්ගේ නිවැරදි කිරීම් සමඟ මේවා මුද්‍රණය කිරීමටත්, එමෙන්ම ඒවා විකුණන ලද සෑම බයිබලයකම ඇතුළත් කිරීමටත්, කැමැත්තෙන් සිටින බව ඒට්යෙන් යෝජනා කළේය. මෙම විසඳුමට රජුගේ ප්‍රසාදය දිනාගත හැකි විය. ඔහු තම රාජකීය ආගමික ගුරුවරයා වූ පියෙර් ඩ්‍යු ෂැස්ටෙල්ගෙන් මෙම කාරණය ගැන සොයා බලන ලෙස ඉල්ලා සිටියේය. වර්ෂ 1546 ඔක්තෝබර් මාසයේදී, මෙම සරසවියේ ආගමික පීඨය ඩ්‍යු ෂැස්ටෙල්හට ලියමින් කියා සිටියේ, ඒට්යෙන්ගේ බයිබල්, “අපගේ ඇදහිල්ල ප්‍රතික්ෂේප කරන අයට ආහාරයක් බවත්, වත්මන් . . . මිථ්‍යා ලබ්ධීන්හට අනුබලයක්” බවත්, එමෙන්ම ඒවා එතරම්ම දෝෂවලින් පිරී ඇති නිසා, ඒවා “සම්පූර්ණයෙන්ම විනාශ කර දැමිය යුතු” බවත්ය. මේ ගැන හරි ලෙස ඒත්තු නොගත් රජ, එවිට ඒවා ඒට්යෙන්ගේ බයිබලය සමඟ මුද්‍රණය කළ හැකි වන පරිදි, එම දෝෂයන් ඉදිරිපත් කරන ලෙස සරසවි ආගමික පීඨයට පෞද්ගලිකව නියෝග කළේය. මෙය කිරීමට ඔවුහු පොරොන්දු වූහ, නමුත් ඔවුහු දෝෂයන් යයි සිතා සිටි සවිස්තරාත්මක ලැයිස්තුව ඉදිරිපත් කිරීම වැළැක්වීමට තමන්ට කළ හැකි සියල්ල කළහ.
පළමුවන ෆ්‍රැන්සිස් රජ 1547 මාර්තු මාසයේදී මියගිය අතර, සෝර්බෝන්හි බලයට එරෙහිව ඔහුගෙන් ඒට්යෙන්ට ලැබුණු ප්රබලතම රුකුලද ඒ සමඟම නැතිවී ගියේය. දෙවන හෙන්රි රජ සිංහාසනාරූඪ වූ විට, පීඨය තම දෝෂ ඉදිරිපත් කළ යුතු බවට ඔහුගේ පියා දුන් නියෝගය ඔහු තවත් අලුත් කළේය. එහෙත්, ජර්මානු අධිපතීන් විසින් ප්‍රතිසංස්කරණය දේශපාලන ඉලක්ක සඳහා යොදාගනිමින් තිබෙන ආකාරය නිරීක්ෂණය කළ 2වන හෙන්රි රජ, තමා යටතේ ප්‍රංශය කතෝලික ධර්මය තුළ එක්සත් කරනවා තරම් රාජකීය මුද්‍රණකරුවාගේ බයිබල්වලින් ඇතිවිය හැකි වාසි හෝ අවාසි ගැන සැලකිල්ලක් දැක්වූයේ නැත. දේවධර්මාධරයන්ට දෝෂවල තම ලැයිස්තුව ඉදිරිපත් කිරීමට හැකි වන තෙක්, ඒට්යෙන්ගේ බයිබලය විකිණීම තහනම් කළ යුතු යයි 1547 දෙසැම්බර් 10දා, රජුගේ උපදේශක සභාව තීරණය කළේය.
මිථ්‍යා ලබ්ධිකයෙකු වීමේ චෝදනාව ලැබ
දැන් මෙම පීඨය උත්සාහ කළේ, මිථ්‍යා ලබ්ධීන් පිළිබඳ සිද්ධීන් විභාග කිරීම සඳහා අලුතෙන් පිහිටුවන ලද විශේෂ අධිකරණයකට ඒට්යෙන්ගේ මෙම නඩුව හැරවීම සඳහා මාර්ග සෙවීමටය. තමා මත පැමිණෙමින් තිබූ අන්තරාය ගැන ඒට්යෙන්හට සිහිගැන්වීමට අවශ්‍ය වූයේ නැත. එම අධිකරණය පිහිටුවා වසර දෙකක් ඇතුළත, එය චැන්බ්ර ඇර්ඩාන්ට් හෙවත්, “පුළුස්සන කාමරය” බවට ප්‍රසිද්ධ වූයේය. චෝදනාවලට වරදකරුවන් වූ 60දෙනෙකුට පමණ මරණ දඬුවම පමුණුවනු ලැබූ අතර, මේ අයගෙන් මුද්‍රණකරුවන් සහ පොත් විකුණනන්නන් මීට ඇතුළත් විය, ඒට්යෙන්ගේ නිවසට යාබද පිහිටා තිබූ ප්ලැස් මෝබේර් නම් ස්ථානයේදී ඔවුන්ව පණපිටින් පුළුස්සා දමන ලදි. ඒට්යෙන්ට විරුද්ධව චෝදනා නැඟීම සඳහා යමක් සොයාගැනීම පිණිස ඔහුගේ නිවස කීප වතාවක්ම සෝදිසි කරනු ලැබිණි. සාක්කිකරුවන් 80දෙනෙකුට වඩා වැඩි ගණනකගෙන් ප්‍රශ්න කරන ලදි. ඔහුව මිථ්‍යා ලබ්ධිකයෙකු හැටියට ඔප්පු කළ හැකිවුවහොත්, ඒ ගැන තොරතුරු සපයන්නන්ට ඔහුගේ දේපොළවලින් හතරෙන් පංගුවක් දෙන බවට පොරොන්දු කෙරිණි. එහෙත්, ඔවුන්ගේ එකම සාක්ෂිය වූයේ, ඒට්යෙන් ප්‍රසිද්ධියේම මුද්‍රණය කළ ඔහුගේ බයිබල්වල තිබූ දෙයයි.
පීඨයේ දෝෂයන් නැවතත් තම උපදේශක සභාව වෙතට යොමු කරන ලෙසට රජ යළිත් නියෝග කළේය. ‘මිථ්‍යා ලබ්ධීන් ලෙසට තමන් දකින යම් දෙයක් තමන් විසින් හෙළාදැකීම ගැන ලිඛිතව පිළිතුරු දීමේ පුරුද්දක් දේවධර්මාධරයන්ට නැති’ බවටත්, ‘නමුත් තමන් පිළිතුරු දෙන්නේ කටවචනයෙන් පමණක්ය, එමෙන්ම ඒවා ඔබ විශ්වාස කළ යුතුය නැත්නම්, ලිවීමට කිසිම අවසානයක් නොතිබෙනු ඇතැයි’ මෙම මුරණ්ඩු පීඨය කියා සිටියේය. හෙන්රි ඊට යටත් වී එකඟ වූයේය. අවසාන තහනම පනවන ලදි. ඒට්යෙන් නිපදවූ සෑම බයිබල් කෘතියක්ම පාහේ මෙම තහනමට යටත් කරන ලදි. ඔහු ප්ලැස් මොමේර්හි ගිනිදැල්වලින් බේරුණත්, තම බයිබල් මුළුමනින්ම තහනම් කිරීමත්, පෙනෙන විදිහට ඔහුට තවත් හිරිහැර කරන බවට පෙනෙන්ට තිබීමත්, හමුවේ ඔහු ප්‍රංශයෙන් ඉවත් වී යෑමට තීරණය කළේය.
සිය රටින් පිටමං කරනු ලැබූ මුද්‍රණකරුවා
වර්ෂ 1550 නොවැම්බර් මාසයේ, ඒට්යෙන් ස්විට්සර්ලන්තයේ ජිනීවාහි පදිංචියට ගියේය. වල්ගේට් බයිබලය හැර වෙනත් කිසිදු බයිබලයක් ප්‍රංශයේ ප්‍රකාශයට පත් කිරීම නීතිවිරෝධී යයි පීඨය කියා සිටියේය. දැන් තමා කැමති දේ පළ කිරීමට නිදහස ලැබ සිටි ඒට්යෙන්, 1551දී ග්‍රීක් බසින් “නව ගිවිසුම” යළි මුද්‍රණය කළ අතර, සමාන්තර තීරුවලින් යුතුව ලතින් අනුවාද දෙකක් (වල්ගේට් සහ එරැස්මස්) ඊට ඇතුළත් විය. මින්පසුව 1552දී හේ එරැස්මස්ගේ ලතින් පාඨය සමඟ සමාන්තර වන ලෙස ග්‍රීක් ශුද්ධ ලියවිලිවල ප්‍රංශ පරිවර්තනයක් බිහි කළේය. මෙම සංස්කරණ දෙක තුළ, ඔහු බයිබල් පාඨ ඉලක්කම් යොදා ඇති ඡේදවලට බෙදීමේ ක්‍රමය හඳුන්වා දුන් අතර, අදදින මෙම ක්‍රමය ලෝක ව්‍යාප්තව භාවිත වේ. මෙම පද බෙදීම ගැන වෙනත් අය විවිධ ක්‍රම භාවිත කිරීමට උත්සාහ කර තිබුණත්, පිළිගත හැකි ක්‍රමය බවට පත්වූයේ ඒට්යෙන්ගේ ක්‍රමයයි. වර්ෂ 1553දී පළ කරන ලද ඔහුගේ ප්‍රංශ බයිබලය වනාහි, ඔහුගේ පද බෙදීමේ ක්‍රමය සපයන ලද පළමු සම්පූර්ණ බයිබලයයි.
වර්ෂ 1557දී පළ කරන ලද ඒට්යෙන්ගේ ද්විත්ව අනුවාද ලතින් බයිබලයද ජෙහෝවා නම් වූ දෙවියන්වහන්සේගේ පෞද්ගලික නාමය හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ල පුරා භාවිත කර තිබීම සම්බන්ධයෙන් කැපීපෙනෙන යමක් විය. දෙවන ගීතිකාවේ තීරු සටහනක, හෙබ්‍රෙව් අක්ෂර සතර (יהוה) සඳහා ’ඇඩෝනයිʹ යන පදය යෙදීම සහමුලින්ම පදනම් වී ඇත්තේ යුදෙව් මිථ්‍යා විශ්වාස මත බවත්, එය ප්‍රතික්ෂේප කළ යුතු බවටත් ඔහු සටහන් කළේය. හෙබ්‍රෙව් භාෂාවේ මුළු අර්ථය ලබාගැනීම සඳහා එකතු කරන ලද ලතින් වචන ඇඟවීමට ඔහු තම සංස්කරණයේ ඇල අකුරු යොදාගත්තේය. මෙම ක්‍රමය පසුව වෙනත් බයිබල්වලට ආදේශ කරගනු ලැබූ අතර, අවධාරණය පෙන්වීම සඳහා නවීන දින ඇල අකුරු යොදාගැනීම ගැන හුරුපුරුදුව සිටින අදදින පාඨකයන්ව බොහෝවිට ප්‍රහේලිකාවකට ලක් කර ඇති යම් උරුමයකි, මෙය.
තමන් ඉගෙනගත් දේ අන්‍යයන්ටත් ලබාගැනීමට හැකි කරවීමට අදිටන් කරගත් ඒට්යෙන්, තම ජීවිතය කැපකළේ ශුද්ධ ලියවිලි ප්‍රකාශයට පත් කිරීම සඳහාය. අදදින දේව වචනය අගේ කොට සලකන අයට, ඔහුගේ ප්‍රයත්නවලටත්, එමෙන්ම බයිබලයේ මූලාරම්භයේ ලියවුණු වචන සොයාගැනීම සඳහා වෙහෙස මහන්සි වී ක්‍රියා කළ සියලුදෙනාගේ ශ්‍රමය වෙනුවෙන්ද කෘතඥ විය හැකිය. අප ඉපැරණි භාෂාවල වඩාත් නිවැරදි දැනුම සහ දෙවියන්වහන්සේගේ වචනයේ වඩාත් පැරණි මෙන්ම නිවැරදි අත්පිටපත් සොයාගන්නවාත් සමඟම, ඔවුන් පටන්ගත් ක්‍රියා පිළිවෙළ තවදුරටත් කෙරීගෙන යනු ඇත. සිය මරණයට (1559) ටික කලකට පෙර, ඒට්යෙන් ග්‍රීක් ශුද්ධ ලියවිලිවල නව පරිවර්තනයක් සම්බන්ධයෙන් වැඩ කරමින් සිටියේය. “එය මිල දී ගනු ඇත්තේ කවුද? එය කියවනු ඇත්තේ කවුද?” යනුවෙන් ඔහුගෙන් අසන ලදි. ඔහුගේ නිසැක පිළිතුර වූයේ මෙයයි: ‘දේව භක්තිය සහිත සියලු උගත් මිනිසුන්.’
[පාදසටහන්වල]
a ඔහුගේ ලතින් නාමය වූ ස්ටෙෆනස් හා ඔහුගේ ඉංග්‍රීසි නාමය වූ ස්ටීවන්ස් යන නමින්ද ප්රකටය.
[10වන පිටුවේ පින්තූරය]
රොබෙ ඒට්යෙන්ගේ ප්රයත්නයන් පරම්පරා ගණනාවක බයිබල් ශිෂ්‍යයන්හට ආධාර කොට තිබේ
[හිමිකම් විස්තර]
Bibliothèque Nationale, Paris
[12වන පිටුවේ පින්තූරය]
ඒට්යෙන්ගේ උපදේශාත්මක උපහැරණ පරම්පරා ගණනාවක් පුරා අනුකරණය කරන ලදි
[හිමිකම් විස්තර]
Bibliothèque Nationale, Paris