අපගේ ධනවත් ආත්මික උරුමය
ෆිලිප් එෆ්. ස්මිත් පැවසූ පරිදි
“අප්‍රිකාවේ අඳුරුම ප්‍රදේශවල දැල්වෙමින් පැවතීමට පන්දමක් දල්වා තිබේ.” අපට 1992 යියර්බුක් ඔෆ් ජෙහෝවා’ස් විට්නසස් පොතේ 75වන පිටුවේ සඳහන් ඉහත වචන කියවීමට ලැබීමෙන් අප කෙතරම් ප්‍රීති වුණාද! එම වචන ලියනු ලැබුවේ එවකට වොච් ටවර් සමිතියේ සභාපතිව සිටි සහෝදර ජෝසෆ් එෆ්. රදෆර්ඩ්ට, අපේ සීයා වන ෆ්රෑන්ක් ඩබ්. ස්මිත් විසින් 1931දීයි. සීයා එය ලියා තිබුණේ, ඔහු සහ ඔහුගේ සහෝදරයා ගිය දේශනා ගමනක් ගැන වාර්තා කිරීමටයි.
“ජ්වලිතවත් පුරෝගාමීන් දෙදෙනෙකු වන ග්‍රේ ස්මිත් සහ ඔහුගේ වැඩිමල් සහෝදරයා වන ෆ්රෑන්ක්, ශුභාරංචිය පතළ කිරීමේ හැකියාව ඇද්දැයි ගවේෂණය කිරීමට [දකුණු අප්‍රිකාවේ] කේප්ටවුන්වලින් කෙන්යාවට (නැඟෙනහිර අප්‍රිකාවට) ගමන ඇරඹුවා. ඔවුන් ඩි සෝටෝ මෝටර් රථයක් රැගෙන එය තවලමක් (නිවාස රථයක්) බවට පරිවර්තනය කර, පොත් පෙට්ටි 40ක් සමඟින් එය නැවකට පටවා කෙන්යාවේ මොම්බාසා වරාය වෙත යාත්‍රා කළා,” යයි 1992 යියර්බුක් පැහැදිලි කළේය.
සහෝදර රදෆර්ඩ්ට ලියූ සීයාගේ ලිපියේ, ඔහු මොම්බාසාවලින් කෙන්යාවේ අගනුවර වන නයිරෝබි වෙත ගිය ගමන මෙසේ විස්තර කළා: “මා පෙර කවදාවත් නොගිය අතිබියකරු මෝටර් රථ ගමනක් අප ඇරඹුවා. මුළු දවසෙම ගමන් කරමින් සැතපුම් 360ක් ගමන් කිරීමට අපට දින හතරක් ගත වුණා. . . . පස්වැටි සමතලා කිරීමට, වළවල් පිරවීමට එමෙන්ම රෝද ග්‍රහණය කරගැනීම සඳහා මඩ ගොහොරු පුරවා ගමන් මඟ සාදාගැනීමට, නේපියර් තණකොළ සහ ගස්ද කපා දැමීම සඳහා මට ඉස්කෝප්ප හැන්දකුත් අතැතිව සැතපුමෙන් සැතපුමට බහින්න සිදුවුණා.”
නයිරෝබිවලට පැමිණි පසු, ෆ්රෑන්ක් හා ග්‍රේ සිය බයිබල් පොත් පත් බෙදාහැරීමට එක දිගටම දවස් 21ක් වැඩ කළා. “අපට අසන්ට ලැබුණ දේවලට අනුව, මෙම වැඩයෙන් නයිරෝබිවල සැදැහැවත් ජනයාගේ කුතුහලය ඇවිස්සී තිබුණා” යයි සීයා ලියුවා. ඉන්පසුව, සීයාට ඔහුගේ දෙහැවිරිදි පුතා, ඩොනවන් සහ ඔවුන්ගේ දෙවන දරුවා, එනම් අපේ පියා වන ෆ්රෑන්ක් ලැබීමට සිටි සිය බිරිඳ, ෆිලිස් වෙත යෑමට බලවත් ආශාවක් ඇතිවුණා. සීයා මොම්බාසාවලින් යා හැකි ප්‍රථම නැවෙන් ගමන ඇරඹූ නමුත්, නිවසට පැමිණීමට පෙර ඔහු මැලේරියාවෙන් මියගියා.
මගේ සහෝදරිය, මගේ සහෝදරයා සහ මා යියර්බුක් වාර්තාව ගැන සිතා බැලූ විට, අපේ මනස් අපේ දයාබර පියා වෙත යොමු වුණා. අපට 1992 යියර්බුක් පොත ලැබෙන්න මාස කීපයකට පමණ පෙර, එනම් 1991දී, ඔහු හෘදයේ ශල්‍යකර්මයක අතුරු ආබාධවලින් මියගොස් තිබුණා. ඔහුගේ පියාව ඔහුට කවදාවත් මුණගැසී නොතිබුණත්, යෙහෝවඃවහන්සේ වෙත තිබූ සිය පියාගේ ගැඹුරු ප්‍රේමය ඔහුටත් තිබුණා. වර්ෂ 28ට පසුව, එනම් 1959දී, තම පුතා ක්‍රිස්තියානි දේවසේවකයෙකු වශයෙන් තම අඩිපාරේ යන බව දැනගන්න ලැබීමෙන් සීයාට කොතරම් ප්‍රීතියක් ලැබෙන්න තිබුණාද!
පියාගේ මුල් ජීවිත කාලය
අපේ පියා උපන්නේ ඔහුගේම පියා මියගිහින් මාස දෙකකට පසුව, 1931 ජූලි 20 කේප්ටවුන්වලදී වූ අතර ඔහුට සීයාගේම නම තබනු ලැබුවා. බාල කාලේදී පටන්, පියා යෙහෝවඃවහන්සේ වෙත තම ප්‍රේමය පෙන්නුවා. වයස නවයේදී ඔහු කේප්ටවුන්හි ප්‍රධාන දුම්රිය ස්ථානයේ සිටගෙන තම පාසැල් මිතුරන්ගේ සමච්චලය මැද දැන්වීම් පුවරු එල්ලාගෙන දේශනා වැඩයෙහි යෙදුණා. වයස 11දී, ඔහු වතුර බව්තීස්මය මගින් යෙහෝවඃවහන්සේට වූ තම කැපවීම සංකේතවත් කළා. ඇතැම් අවස්ථාවලදී මුළු වීදියකම තනිවම දේවසේවයේ යෙදීමට ඔහුට පැවරුවා. ඔහුට වයස 18 වූ විට, ඔහු කේප්ටවුන්හි උප නගරයක වයසක ක්‍රිස්තියානි සහෝදරියන් කණ්ඩායමක් සමඟ මුරටැඹ පාඩම පවත්වමින් සිටියා.
ඊළඟ වර්ෂයේදී යුරෝපයෙහි ජාත්‍යන්තර සමුළු පැවැත්වෙනු ඇතැයි වොච් ටවර් සමිතිය මගින් 1954දී නිවේදනය කළා. එහි යෑමට පියා ඉමහත් සේ ආශා කළ නමුත්, කේප්ටවුන්වල සිට එහි යෑමට ප්‍රමාණවත් මුදලක් ඔහුට තිබුණේ නෑ. එනිසා ඔහු උතුරු රොඩේෂියාවේ (දැන් සැම්බියාවේ) තඹ ආකරයක රසඥයෙකු ලෙස මාස තුනකට කොන්ත්‍රාත් වැඩක යෙදුණා. ඛණිජ ලෝපස්වල ලෝහ ප්‍රමාණය නිර්ණය කරනු ලැබුවේ, අප්‍රිකානු නිසරු බිම්වලින් එපිටදියි.
උතුරු රොඩේෂියාවේ අප්‍රිකානු සාක්ෂිකරුවන් විශාල සංඛ්‍යාවක් සිටින බව පියා දැන සිටි නිසා ඔහු එහි පැමිණි විට, ඔවුන්ව සොයාගෙන, ඔවුන් රැස්වීම් පවත්වන ස්ථානය සොයාගත්තා. ඔහුට දේශීය භාෂාව කතා කළ නොහැකි වුණත්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ආකරයෙහි පැවති සභාවේ රැස්වීම්වලට නිතිපතා ගිය අතර, ඔවුන් සමඟ ආශ්‍රය කළා. ආකරයෙහි සිටි යුරෝපීය ජාතිකයෝ ජාතික අගතියකින් ක්‍රියා කළ අතර, බොහෝවිට ඔවුන්ගේ අගතිය දැක්වූයේ අප්‍රිකානුවන්ට වාචිකව පීඩා කිරීමෙනි. කෙසේවෙතත්, පියා හැමවිටම කාරුණික වුණා.
මාස තුන අවසානයේදී, සාක්ෂිකරුවෙකු නොවූ අප්‍රිකානු සේවකයෙක් පියා වෙත පැමිණ මෙසේ පැවසුවා: “ඔබ දන්නවාද අපි ඔබට කියන්නේ මොකක්ද කියලා?” එම තැනැත්තා සිනාසී මෙසේ පැවසුවා: “අපි ඔබට කියන්නේ බ්වාන වොච්ටවර් [මහත්මයා] කියලා.”
වර්ෂ 1955දී, යුරෝපයේ පැවති “ට්රයම්ෆන්ට් කිංඩම්” එක්රැස්වීම්වලට සහභාගි වීමට පියාට හැකි වුණා. එහිදී ඔහුට මේරි සාහාරියු මුණගැසුණ අතර, ඊළඟ වර්ෂයේදී ඇය ඔහුගේ බිරිඳ බවට පත්වුණා. ඔවුන්ගේ විවාහයෙන් පසුව, ඔවුන් අ. එ. ජ, ඔහියෝ, පාර්මාහි පදිංචි වුණා.
නැඟෙනහිර අප්‍රිකාව වෙතට
එක්සත් ජනපදයේ දිස්ත්‍රික් සමුළුවකදී, දේවසේවකයන්ගේ වැඩි අවශ්‍යතාවක් තිබෙන ස්ථානවල සේවය කිරීම සඳහා, සමුළුවට පැමිණ සිටි අයට ආරාධනා කරනු ලැබුවා. අපේ දෙමව්පියන් නැඟෙනහිර අප්‍රිකාවට යෑමට තීරණය කළා. ඔවුන් වොච් ටවර් සමිතිය යෝජනා කළ විදිහටම කළා. එම ප්‍රදේශයේ පදිංචි වීමට ඉඩ දෙන්නේ වැඩ අවසර පත් තිබෙන අයට පමණක් බැවින්, හදිසියෙවත් රැකියාවක් ලබාගැනීමට පියා අසමත් වුණොත්, ආපසු පැමිණීමේ ප්‍රවේශ පත්‍රය මිල දී ගැනීම සඳහා ඔවුන් ප්‍රමාණවත් මුදලක් ඉතිරි කළා.
ගමන් බලපත්‍ර, විදේශ බලපත්‍ර සහ එන්නත් ලබාගැනීමෙන් පසුව, 1959 ජූලි මාසයේදී, මව සහ පියා කේප්ටවුන් හරහා නිව්යෝර්ක් නගරයේ සිට මොම්බාසා දක්වා වෙළඳ නැවකින් ගමන් කළා. ගමන සඳහා ඔවුන්ට සති හතරක් ගත වුණා. මොම්බාසාවලදී, අවශ්‍යතාව වැඩි ප්‍රදේශවල සේවය සඳහා කලින් පැමිණ සිටි ක්‍රිස්තියානි සහෝදරයන් විසින් ඔවුන්ව උණුසුම් ලෙස පිළිගනු ලැබුවා. ඔවුන් නයිරෝබි වෙත පැමිණි විට, පියාට ලිපියක් පැමිණ තිබුණා. එය උගන්ඩාවේ, එන්ටෙබෙහි භූගර්භ සමීක්ෂණ දෙපාර්තමේන්තුවේ රසඥයෙකු ලෙස සේවය කිරීමට ඔහුගේ ඉල්ලුම් පත්‍රයට පිළිතුරයි. පියා සහ මව උගන්ඩා, කම්පාලාවලට දුම්රියෙන් ගිය අතර, එහිදී පියාව සම්මුඛ පරීක්ෂණයකට භාජන කර රැකියාවට භාරගනු ලැබුවා. ඒ අවස්ථාවේදී, එන්ටෙබෙ-කාම්පාලා ප්‍රදේශයෙහි සිටියේ වෙනත් එක් සාක්ෂිකාරයෙකු, එනම් ජෝර්ජ් කාඩූ පමණයි.
යටත්විජිත රජය මගින් ස්වදේශීය භාෂාව වන ලූගන්ඩ ඉගෙනගැනීමට පියාට ගෙවීමක් කළා. ඔහු ඒ ගැන ප්‍රීති වුණා, මන්දයත් ඔහුට දේවසේවයේදී වඩා බලපෑමෙන් යුතු විය හැකි බැවින්, කෙසේවෙතත් ඔහු එය ඉගෙනීමට සැලසුම් කර තිබුණු නිසා. පසුව, පියා “දිස් ගුඩ් නිව්ස් ඔෆ් ද කිංඩම්” යන පොත්පිංචය ලුගන්ඩවලට පරිවර්තනය කිරීමට පවා උපකාර කළා.
අන්‍යයන්ට දේශනා කිරීමේදී පියා නිර්භීත වුණා. ඔහු දෙපාර්තමේන්තුවේ සිටි සියලුම යුරෝපීයයන්ට කතා කළ අතර, උගන්ඩා ජාතිකයන්ට දේශනා කිරීමට නිතිපතා හවුල් වුණා. එවකට උගන්ඩාවේ අප්‍රිකානු අධිනීතිඥවරයාට පවා ඔහු සාක්ෂිදැරුවා. ඔහු රාජ්‍ය පණිවුඩයට ඇහුම්කන් දුන්නා පමණක් නොව, නමුත් පියාට සහ මවට රාත්‍රි කෑමට පවා ආරාධනා කළා.
මගේ සහෝදරිය, ආන්ති ඉපදී තිබුණේ 1960දී වූ අතර මා ඉපදුණේ 1965දීයි. කාම්පාලා අගනුවරේ, කුඩා වුණත් වර්ධනය වෙමින් පවතින කුඩා සභාවෙහි සහෝදර, සහෝදරියන්ට අපේ පවුල ඉතා කිට්ටු වුණා. අසල පිහිටි එන්ටෙබෙහි එකම සුදු ජාතික සාක්ෂිකරුවන් වශයෙන්, අපට යම් හාස්‍ය අද්දැකීම් තිබුණා. වරක පියාගේ මිත්‍රයෙක් ගමනේ අතර මඟදී අනපේක්ෂිතව එන්ටෙබෙ වෙත නැවතී, පියාව මුණගැසීමට වෑයම් කළා. මෙසේ අසන තුරු ඔහු සාර්ථක වුණේ නෑ: “මෙහෙ ඉන්න යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් වන යුරෝපීය යුවළ ඔබ දන්නවාද?” එම මොහොතේම ඔහුව වාහනයෙන් මව සහ පියාගේ නිවසට ගෙනත් ඇරලුවා.
යුදබිම් දෙකක් අතර ජීවත් වීම ඇතුළු, අසීරු අද්දැකීම්ද අපට විඳින්ට සිදුවුණා. වතාවක, එක්තරා ජනවාර්ගික කණ්ඩායමක ඕනෑම කෙනෙකුට රජයේ හමුදා වෙඩි තබන්ට වුණා. මුළු දිවා රාත්‍රියේ, නිරතුරුවම වෙඩි තැබීම් සිදුවුණා. සවස 6.00 සිට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය තිබුණ නිසා, රැස්වීම් පැවැත්තුවේ එන්ටෙබෙහි මගේ දෙමව්පියන්ගේ නිවසේ.
පසුව, ඇඳිරි නීතිය ඉවත් කළ විට, මුරටැඹ පාඩම සඳහා පියා අපව කාම්පාලා වෙත ගෙන ගියා. සොල්දාදුවෙක් අප වෙත රයිෆලයක් එල්ල කරගෙන, අපේ මෝටර් රථය නවතා, අප යන්නේ කොතැනටදැයි බලෙන් අසා සිටියා. එවිට මා බිළිඳෙකුව සිටි අතර ආන්ති වයස පහක්ව සිටියා. අපේ බයිබල් සහ පොත් පත් සොල්දාදුවාට පෙන්වමින් පියා සන්සුන්ව පැහැදිලි කළ විට, ඔහු අපට යන්න හැරියා.
උගන්ඩාවෙහි අවුරුදු අටක් පමණ ගත කළ පසුව, 1967දී, සෞඛ්‍ය ගැටලු සහ පවුලේ වගකීම් නිසා අපේ දෙමව්පියන් එක්සත් ජනපදයට නැවත යෑමට තීරණය කළා. පියා වැඩිමහල්ලෙකු වශයෙන් සේවය කළ ඔහියෝ කැන්ෆීල්ඩ් සභාවේ කොටසක් බවට අපි පත්වුණා. මගේ දෙමව්පියන් කුඩා කාම්පාලා සභාවට ප්‍රේම කළ තරමටම එහිදී සහෝදරයන්ටත් ප්‍රේම කළා.
ප්‍රේමනීය ක්‍රිස්තියානි ඇති දැඩි කිරීමක්
මගේ බාල සහෝදරයා, ඩේවිඩ් 1971දී උපත ලැබුවා. අප හැදී වැඩුණේ ප්‍රේමයෙන් සහ උණුසුම් හැඟීම්වලින් පිරි නිවාස වාතාවරණයකයි. නිසැකවම මෙය පැන නැංගේ අපේ දෙමව්පියන් එකිනෙකා අතර භුක්තිවිඳි ප්‍රේමනීය සබඳතාව නිසයි.
අපේ බාල කාලේදී, නින්දට යන්න පෙර පියා හැමවිටම අපට බයිබලයෙන් කතන්දරයක් කියවා යාච්ඤා කරන අතර ඉන්පසු, දිලිසෙන රත්රන් පාට කොළයකින් එතූ චොකලට් එකක් අම්මාට නොදැනෙන්න අපට දෙනවා. අප කොහේ සිටියත් අපි හැමවිටම එකට පවුලක් වශයෙන් මුරටැඹ පාඩම් කළා. පවුලේ නිවාඩු ගත කිරීම්වලදී, අපි වතාවක එය පාඩම් කළේ කඳුකර පැත්තක, නැත්නම් තවත් වතාවක මුහුද දෙස බලාගෙන. පියාගේ ප්‍රීතිමත්ම මතකයන්ගෙන් සමහරක්, ඒවා බව ඔහු බොහෝවිට සඳහන් කළා. පවුලේ පාඩමෙන් ලැබිය හැකි ඉමහත් ප්‍රීතිය නොලැබී යන අය සඳහා ඔහුට කනගාටුවක් දැනුණා කියා ඔහු පැවසුවා.
යෙහෝවඃවහන්සේට ප්‍රේමය පෙන්වීමට පියා අපට ඉගැන්නුවේ ආදර්ශය මගින්. අපට මුරටැඹ හෝ පිබිදෙව්! සඟරාවේ අලුත් පිටපතක් හෝ වෙනත් වොච්ටවර් ප්රකාශනයක් ලැබුණු ඕනෑම අවස්ථාවක පියා එහි අඩංගු සියල්ල මහත් උනන්දුවකින් කියවන්ට වුණා. බයිබල් සත්‍යය සැහැල්ලු ලෙස සැලකිය නොයුතු නමුත්, ඉතා අගනා නිධානයක් ලෙස උතුම් කොට සැලකිය යුතු බව අප ඔහුගෙන් ඉගෙනගත්තා. අපට ලැබී තිබුණු අනර්ඝතම වස්තුවලින් එකක් නම් පියාගේ රෙෆරන්ස් බයිබලයයි. හැම පිටුවක්ම පාහේ ඔහුගේ අධ්‍යයනවලින් ක්‍රම ක්‍රමයෙන් එකතු කරගත් සටහන්වලින් පිරී තිබුණා. පිටු තීරුවල ඇති ඔහුගේ අදහස් දැන් අප කියවන විට, අපට ඔහුගේ ඉගැන්වීම සහ උපදෙස් දීම තවමත් ඇහෙනවා ඇහෙනවා වාගෙයි.
අවසානය දක්වා විශ්වාසවන්තව
එක්දාස් නවසිය අනූඑකේ මැයි 16දා ක්ෂේත්‍ර සේවයේ යෙදී සිටිය අතරතුරේදී පියාට හෘදයාබාධයක් හැදුණා. සති ගණනකට පසු, ඔහු හෘද-විවෘත ශල්‍යකර්මයකට භාජන වූ අතර, එය සාර්ථක බවක් පෙනෙන්ට තිබුණා. කෙසේනමුත්, ශල්‍යකර්මයට පසුදා රාත්‍රියේ, අපට රෝහලෙන් දූරකථන ඇමතුමක් ලැබුණා. පියාගේ රුධිරය නොනැවතී ගලමින් තිබුණු අතර වෛද්‍යවරු ඉතා සැලකිලිමත් වුණා. රුධිරය නැවැත්වීමට, එම රාත්රියේදී නැවතත් දෙවරක් ඔහුව ශල්‍යකර්මය සඳහා භාජන කළත්, එය සාර්ථක වුණේ නෑ. පියාගේ රුධිරය කැටි වුණේ නෑ.
ඊළඟ දිනයේදී, පියාගේ තත්වය ශීඝ්‍රයෙන් නරක අතට හැරුණු නිසා, වෛද්‍යවරු ප්‍රථමයෙන් මගේ මවද, ඉන්පසු මගේ බාල සහෝදරයාවද වෙනම කැඳවා පියාට රුධිර ප්‍රවේශනයක් දීමට ඔවුන්ට බල කරනු ලැබුවා. එහෙත්, කිසිම තත්වයක් යටතේදී වුවත් තමා රුධිර ප්‍රවේශනයක් පිළිගන්නේ නැතැයි පියා කලින්ම වෛද්‍යවරුන්ට පවසා තිබුණා. තමා රුධිරය ප්‍රතික්ෂේප කරන නමුත්, රුධිරය නොවන විකල්ප පිළිගන්නා බවට තම ශුද්ධ ලියවිලිමය හේතු ඔහු ඔවුන්ට පහදා තිබුණා.—ලෙවී කථාව 17:13, 14; ක්‍රියා 15:28, 29.
වෛද්‍ය සේවක මණ්ඩලයේ සාමාජිකයන් කීපදෙනෙකු කෙළින්ම විරුද්ධ නොවුණත්, යම් විරෝධයක් පා, අයිසීයූ (දැඩි සත්කාර ඒකකය) තුළ ඉතා නොසන්සුන් වාතාවරණයක් ඇති කළා. දරුණු වෙමින් තිබූ පියාගේ තත්වයත් සමඟින්, ඇතැම් අවස්ථාවල අපට දරාගත නොහැකි බවක් පෙනෙන්ට තිබුණා. යෙහෝවඃවහන්සේගේ උපකාරය අයැද, අපට ලැබී තිබුණු ප්‍රායෝගික යෝජනා අදාළ කරගැනීමටද අපි වෑයම් කළා. එනිසා අයිසීයූ වෙත යන විට, අප හැමවිටම හොඳින් හැඳ පැළඳගෙන ගිය අතර, වෛද්‍ය සේවක මණ්ඩලය වෙත ගෞරවය දැක්වූවා. අර්ථවත් ප්‍රශ්න අසමින් අපි පියාගේ තත්වය ගැන බලවත් උනන්දුවක් දැක්වූ අතර, පියාට සත්කාර කිරීමේ නියැලුණු සෑම සේවක සාමාජිකයෙකුටම අප ස්තුති කළා.
අප දැරූ වෑයම වෛද්‍ය සේවා මණ්ඩලය විසින් නොසලකා හැරියේ නෑ. දවස් කීපයක් තුළදී, නොසන්සුන් වාතාවරණය කරුණාවන්තභාවයේ එකක් බවට පත්වුණා. පියාට සත්කාර කළ හෙදියන්, තවදුරටත් ඔහු ගැන සැලකිලිමත් වීමට පවරා නොතිබුණ විට පවා, ඔහුගේ සෞඛ්‍ය තත්වයේ ප්‍රගතිය ගැන දිගටම සෝදිසියෙන් සිටියා. අපට පරුෂ ලෙස සැලකූ එක් වෛද්‍යවරයෙක්, මවගේ දුක සැප විමසන තත්වයටම මොළොක් වුණා. අපේ සභාව සහ නෑදෑයන්ද අපට ප්‍රේමයෙන් උපකාර කළා. ඔවුන් ආහාර සහ සැනසුම් කාඩ් පත් බොහෝමයක් එවුව අතර අප වෙනුවෙන් යාච්ඤා කළා.
පියා ප්‍රතිකාරයට කොහෙත්ම ප්‍රතිචාරයක් නොදැක්වීම කනගාටුවට කරුණක් වුණා. ඔහුගේ මුල් ශල්‍යකර්මයෙන් දින දහයකට පසු ඔහු මියගියා. පියා වෙනුවෙන් අප බොහෝ සෙයින් දුක් වුණා. ඇතැම් අවස්ථාවලදී, වියෝ දුක දරාගත නොහැකි තරම් වුණා. භාග්‍යයකට, අපේ දෙවියන්වහන්සේ ‘එදිනෙදා අපේ බර උසුලන’ බවට පොරොන්දු වන අතර, පෙර කෙදිනකවත් නොවූ අයුරකින් අප උන්වහන්සේ වෙත රඳා සිටීමට ඉගෙනගෙන තිබෙනවා.—ගීතාවලිය 68:19.
අප සියලුදෙනාත් දිගටම යෙහෝවඃවහන්සේට විශ්වාසවන්තව සේවය කරන්න තීරණය කළා, මන්ද එවිට නව ලෝකයේදී පියාව දැකගැනීමේ ප්‍රීතිය අපට ලැබෙන නිසා.—මාර්ක් 5:41, 42; යොහන් 5:28; ක්‍රියා 24:15.
[21වන පිටුවේ පින්තූරය]
ෆ්රෑන්ක් ස්මිත් සිය මව වන ෆිලිස් සමඟ, කේප්ටවුන්හිදී
[22වන පිටුවේ පින්තූරය]
පියා සහ මව විවාහ වුණු අවස්ථාව
[23වන පිටුවේ පින්තූරය]
එන්ටෙබෙහි පළමු බව්තීස්මය සඳහා සහෝදරයෝ අප්‍රිකානු ප්‍රධානියෙකුගේ තටාකයක් කුළියට ගත්හ
[23වන පිටුවේ පින්තූරය]
චාරිත්‍රානුකූලව ආචාර කරමින්
[24වන පිටුවේ පින්තූරය]
පියාගේ මරණයට ටික කලකට පෙර පියා සහ මව