දෙමාපියෙනි, දරුවෙනි: දෙවියන්වහන්සේව පළමු තැනට තබන්න!
“දෙවියන්වහන්සේට භයව උන්වහන්සේගේ ආඥා පවත්වාපන්න.”—දේශනාකාරයා 12:13.
1. දෙමාපියන්ට සහ දරුවන්ට වගා කිරීමට අවශ්‍ය වන්නේ කිනම් භයක්ද, තවද එය ඔවුන්ට ගෙනෙන්නේ කුමක්ද?
යේසුස්වහන්සේ සම්බන්ධ අනාවැකියක පවසනු ලැබුවේ, “ස්වාමීන්වහන්සේ කෙරෙහි භයින් සිටීම උන්වහන්සේගේ ප්‍රීතිය වන්නේය” කියාය. (යෙසායා 11:3) උන්වහන්සේගේ භය වනාහි අනිවාර්යයෙන්ම දෙවියන්වහන්සේ කෙරෙහි ගැඹුරු ප්රණාමයක් සහ ගරුබියකි, උන්වහන්සේ දෙවියන්වහන්සේට ප්‍රේම කළ බැවින්, උන්වහන්සේව අසතුටු කිරීමට ඇතිවූ භයකි. දෙමාපියන් සහ දරුවන්ටද ක්‍රිස්තුස්වහන්සේට තිබුණාවූ එවැනි භයක් වගා කිරීමට අවශ්‍ය අතර, එය යේසුස්වහන්සේට ප්‍රීතියක් ගෙන ආවාක් මෙන් ඔවුන්ටද ප්‍රීතියක් ගෙනෙනවා ඇත. උන්වහන්සේගේ ආඥාවලට කීකරුවීම මගින් තම ජීවිත තුළ දෙවියන්වහන්සේව පළමු තැනට දැමීමට ඔවුන්ට අවශ්‍යය. එක් බයිබල් ලේඛකයෙකුට අනුව, “මේ වනාහි සියලු මනුෂ්‍යයන්ගේ යුතුකමය.”—දේශනාකාරයා 12:13.
2. ව්‍යවස්ථාවේ වඩාත් වැදගත් ආඥාව කුමක්වීද, තවද එය මූලික වශයෙන් දෙනු ලැබුවේ කාටද?
2 ව්‍යවස්ථාවේ වඩාත්ම වැදගත් ආඥාව, එනම්, අප ‘අපගේ මුළු හෘදයෙන්ද, ආත්මයෙන්ද, මුළු ශක්තියෙන්ද යෙහෝවඃවහන්සේට ප්‍රේම කළ’ යුතුය යන්න මූලිකව දෙනු ලැබුවේ දෙමාපියන්ටය. ව්‍යවස්ථාවේ තවදුරටත් සඳහන් වචනවලින් මේ බව පෙනීයයි: “ඒවා [යෙහෝවඃවහන්සේට ප්‍රේම කිරීම පිළිබඳ මෙම වචන] නුඹේ දරුවන්ට හොඳාකාරයෙන් උගන්වා, නුඹ ගෙයි හිඳින කලද මග යන කලද නුඹ සයනයකරන කලද නැගිටින කලද ඒවා ගැන කථා කරපන්න [ඒවා සිතේ පැලපදියම් කරන්න, NW].” (ද්විතීය කථාව 6:4-7; මාර්ක් 12:28-30) මෙසේ පෞද්ගලිකවම දෙවියන්වහන්සේට ප්‍රේම කිරීම මගින්ද, එසේ කිරීමට දරුවන්ට උපකාර කිරීම මගින්ද, දෙවියන්වහන්සේව පළමු තැනට තැබීමට දෙමාපියන්ට ආඥා කරන ලදි.
ක්‍රිස්තියානි වගකීමක්
3. දරුවන් කෙරෙහි අවධානය දීමේ වැදගත්කම යේසුස්වහන්සේ කෙසේ නිරූපණය කළසේක්ද?
3 කුඩා දරුවන්ට පවා අවධානය දීමේ වැදගත්කමද යේසුස්වහන්සේ නිරූපණය කළසේක. යේසුස්වහන්සේගේ භූමික දේවසේවයේ අවසාන දවස්වල එක් අවස්ථාවක, ජනයා තම කුඩා දරුවන්ව උන්වහන්සේ වෙතට ගෙන ඒමට පටන්ගත්හ. පෙනෙන විදිහට යේසුස්වහන්සේ ඉතා වැඩ බහුලව සිටින බවට විශ්වාස කළ නිසා, උන්වහන්සේට කරදර කිරීම නුසුදුසුයයි සිතූ ගෝලයෝ, ජනයාව නැවැත්වීමට උත්සාහ කළහ. එහෙත් යේසුස්වහන්සේ සිය ගෝලයන්ට මෙසේ තරවටු කළසේක: “ළදරුවන් නොවලක්වා මා ළඟට එන්ට ඉඩහැරපල්ලා.” යේසුස්වහන්සේ ‘ඔවුන් වඩාගෙන, ඔවුන් පිට අත් තැබූසේක,’ මෙසේ කුඩා අයට අවධානය දීමේ වැදගත්කම හැඟීම් දනවන අන්දමකින් පෙන්වූසේක.—ලූක් 18:15-17; මාර්ක් 10:13-16.
4. ‘සියලු ජාතීන් ගෝලයන් කිරීමට’ ආඥාව දෙනු ලැබුවේ කාටද, තවද මේ සඳහා ඔවුන් විසින් කුමක් කිරීමට තිබිණද?
4 තමන්ගේම දරුවන්ට උගන්වනවාට අමතරව, අන්‍යයන්ටද ඉගැන්වීමේ වගකීම සිය අනුගාමිකයන්ට තිබෙන බව යේසුස්වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කළසේක. සිය මරණය හා නැවත නැඟිටීමෙන් පසු, යේසුස්වහන්සේ “එකවිටම පන්සියයකට වඩා සහෝදරයන්ට පෙනුණුසේක”—සමහර දෙමාපියන්ද මීට ඇතුළත් විය. (1 කොරින්ති 15:6) පෙනෙන විදිහට මෙය ගලීලයේ කන්දකදී සිදුවූ අතර, මෙහි උන්වහන්සේගේ ප්‍රේරිතයෝ 11දෙනාද රැස්වී සිටියෝය. එහිදී යේසුස්වහන්සේ ඔවුන් සියල්ලන්ගෙන් මෙසේ උදක්ම ඉල්ලා සිටිසේක: “එබැවින් නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරපල්ලා . . . මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වාපල්ලා.” (මතෙව් 28:16-20) කිසිම ක්‍රිස්තියානියෙකුට මෙම ආඥාව නොසලකා හැරීමට කිසිදු යුක්තිසහගත හේතුවක් නැත! පියවරුන් සහ මව්වරුන් එය ඉෂ්ට කිරීමට, තමන්ගේ දරුවන්ව රැකබලා ගැනීම මෙන්ම, ප්‍රසිද්ධ දේශනා සේවයේ සහ ඉගැන්වීමේ වැඩයේ හවුල්වීම අවශ්‍ය කෙරේ.
5. (අ) සියල්ලන්ම නොවුවත්, ප්‍රේරිතයන්ගෙන් වැඩිදෙනෙකු විවාහ වී සිටි බවත්, සමහරවිට දරුවන්ද ඇතුව සිටි බවත් පෙන්වන්නේ කුමක්ද? (ආ) පවුලේ මූලිකයන් බරපතළ ලෙස සැලකිය යුතුව තිබුණේ කිනම් උපදෙසද?
5 මෙහිලා විශේෂයෙන් සඳහන් කළ හැකි දෙයක් නම්, ප්‍රේරිතයන්ට පවා දේශනා කිරීම සහ දෙවියන්වහන්සේගේ රැළ රැකබලා ගැනීම සමඟ තමන්ගේ පවුල් වගකීම් සමබර කිරීමට සිදුවීමය. (යොහන් 21:1-3, 15-17; ක්‍රියා 1:8) මක්නිසාද, ඔවුන් සියල්ලන්ම නොවුවත්, ඔවුන්ගෙන් වැඩිදෙනෙකු විවාහ වී සිටි බැවිනි. ප්‍රේරිත පාවුල් මෙසේ පැහැදිලි කළේය: “අනික් ප්‍රේරිතයන්ද ස්වාමීන්වහන්සේගේ සහෝදරයන්ද කේපස්ද කරන්නාක්මෙන් ඇදහිලිවන්ත භාර්යාවක් කැඳවාගෙන හැසිරෙන්ට අපටත් අවසර නැද්ද?” (1 කොරින්ති 9:5; මතෙව් 8:14) ඇතැම් ප්‍රේරිතයන්ට දරුවන්ද සිටියා විය හැක. යූසීබියස් වැනි මුල් ඉතිහාසඥයෝ පේතෘස්ට දරුවන් සිටි බව පවසති. මුල් අවදියේ සිටි සියලු ක්‍රිස්තියානීන්ට ශුද්ධ ලියවිලිමය උපදෙස්වලට අවනත වීමට අවශ්‍ය විණ: “යමෙක් තමාගේ අය, ප්රධානකොටම තමාගේම පවුලේ අය, රක්ෂා නොකරන්නේ නම්, ඔහු ඇදහිල්ල එපාකළේය, ඔහු නොඇදහිලිකාරයෙකුට වඩා නරකය.”—1 තිමෝති 5:8.
මූලික වගකීම
6. (අ) පවුල් වගකීම් ඇතුව සිටි ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට තිබූ අභියෝගය කුමක්ද? (ආ) වැඩිමහල්ලෙකුගේ මූලික වගකීම කුමක්ද?
6 අදදින පවුල් සහිත වැඩිමහල්ලන්ද සිටින්නේ එම ප්‍රේරිතයන් සිටි තත්වයට සමාන තත්වයකය. ඔවුන් තම පවුල්වල ආත්මික සහ ශාරීරික අවශ්‍යතාවන් ගැන බලා කියා ගැනීමට ඇති වගකීම, ප්‍රසිද්ධියේ දේශනා කිරීමට සහ දෙවියන්වහන්සේගේ රැළ රැකබලා ගැනීමට ඔවුන්ට ඇති වගකීමෙන් යුත් බැඳීම සමඟ සමබර කළ යුතුය. ප්‍රමුඛත්වය ගත යුත්තේ කිනම් ක්රියාකාරකමද? වර්ෂ 1964 මාර්තු 15, ද වොච්ටවර් කලාපය මෙසේ සටහන් කළේය: “[පියාගේ] පළමු වගකීමෙන් යුත් බැඳීම ඔහුගේ පවුලටය, තවද ඇත්තවශයෙන්ම, ඔහු මෙම බැඳීම ඉටු කළේ නැත්නම්, ඔහුට නිසි පරිදි සේවය කළ නොහැක.”
7. ක්‍රිස්තියානි පියවරුන් දෙවියන්වහන්සේව පළමු තැනට තබන්නේ කෙසේද?
7 එබැවින් පියවරුන් ‘තම දරුවන් යෙහෝවඃවහන්සේගේ හික්මවීමෙන්ද, මානසික ශික්ෂණයෙන්ද ඇති දැඩි කිරීමට’ දී ඇති ආඥාවට අවනත වීම මගින් දෙවියන්වහන්සේව පළමු තැනට තැබිය යුතුය. (එපීස 6:4) පියෙකුට ක්‍රිස්තියානි සභාවේ ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීමට පැවරුමක් තිබෙනවා විය හැකිවුවත්, එම වගකීම වෙනත් කෙනෙකුට පැවරිය නොහැක. එවන් පියවරුන් තමන්ගේ වගකීම්—එනම්, පවුලේ සාමාජිකයන් සඳහා ශාරීරිකව, ආත්මිකව සහ චිත්තවේගීය අතින් සැපයීම—ඉටුකරමින්, ඒ අතරම සභාවේ මූලිකත්වය ගනිමින් ඒ කෙරෙහි අධීක්ෂණය සපයන්නේ කෙසේද?
අවශ්‍ය අනුබලය සැපයීම
8. වැඩිමහල්ලෙකුගේ භාර්යාවට, ඔහුට අනුබල දිය හැක්කේ කෙසේද?
8 පැහැදිලිවම, පවුල් වගකීම් සහිත වැඩිමහල්ලන්ට අනුබලයන්ගෙන් ප්‍රයෝජන ලැබිය හැක. ක්‍රිස්තියානි භාර්යාවකට තමාගේ ස්වාමිපුරුෂයාට අනුබල දෙන්නියක් විය හැකි බව ඉහත උපුටා දක්වන ලද වොච්ටවර් කලාපය සටහන් කළේය. එහි මෙසේ පැවසිණ: “ඔහුගේ විවිධ පැවරුම් සඳහා සූදානම් වීමට හැකි කරවීම පහසු කිරීමටත්, නිවසේ හොඳ කාලසටහනක් තබාගැනීම මගින් ඔහු සඳහාත්, ඇය සඳහාත්, වටිනා කාලය ඉතිරි කරගැනීමට උපකාර කිරීමටත්, නියම වේලාවට ආහාර පිළියෙළ කරගැනීමෙනුත්, ක්‍රිස්තියානි රැස්වීම්වලට නිවසින් පිටව යෑම සඳහා සූදානම්ව සිටීමෙනුත්, ඇයට බොහෝ දේ කළ හැකිය. . . . තම ස්වාමිපුරුෂයාගේ මඟ පෙන්වීම යටතේ, යෙහෝවඃවහන්සේව ප්‍රසන්න කිරීම පිණිස තම දරුවන් යා යුතු මාර්ගයෙහි ඔවුන්ව පුහුණු කිරීමට ක්‍රිස්තියානි භාර්යාවකට බොහෝ දේ කළ හැකිය.” (හිතෝපදේශ 22:6) එසේය, භාර්යාව “සහකාරියක්” වීමට මවන ලදි, තවද ඇගේ ස්වාමිපුරුෂයා ඇගේ සහයෝගය ඥානවන්ත ලෙස ඉතා සාදරයෙන් පිළිගනු ඇත. (උත්පත්ති 2:18) ඇගේ අනුබලය, ඔහුගේ පවුලේ වගකීම් සහ සභාවේ වගකීම් යන දෙපැත්තම වඩාත් බලපෑමෙන් යුතුව බලා කියා ගැනීමට ඔහුට හැකි කරවිය හැක.
9. සභාවේ වෙනත් සාමාජිකයන්ට උපකාර කරන ලෙසට, තෙසලෝනික සභාවේ දිරිගන්වනු ලැබුවේ කාවද?
9 කෙසේවෙතත්, ‘දෙවියන්වහන්සේගේ රැළ රැකබලා ගත යුතු’ මෙන්ම, තමන්ගේම පවුලේ අයව රැකබලා ගත යුතු අවේක්ෂකයෙකුට අනුබල දෙන ක්‍රියාකාරකම් තුළ හවුල්විය හැකි එකම අය, ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ගේ භාර්යාවන් පමණක් නොවේ. (1 පේතෘස් 5:2) තවත් එසේ කළ හැක්කේ කාටද? තමන් කෙරෙහි “ප්‍රධානකම් කරන්නාවූ” අය වෙත ගෞරවයක් ඇතුව සිටින ලෙස ප්‍රේරිත පාවුල් තෙසලෝනික සහෝදරයන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේය. එහෙත්, මෙම සහෝදරයන්ව එනම්—විශේෂයෙන්ම අධීක්ෂණ කටයුතු නොකරන අය අමතමින්—පාවුල් මෙසේ ලීවේය: “සහෝදරයෙනි, අනියම්ලෙස හැසිරෙන්නන්ට දැනමුතුකම් දෙන මෙන්ද ක්ලාන්ත සිත් ඇත්තන් ධෛර්යයකරන මෙන්ද දුර්වලයන්ට ආධාරවන මෙන්ද සියල්ලන් ගැන ඉවසිලිවන්තව සිටින මෙන්ද අපි නුඹලාට අවවාදකරමු.”—1 තෙසලෝනික 5:12-14.
10. සියලු සහෝදරයන්ගේ ප්‍රේමනීය උපකාරය සභාව මත කිනම් කදිම බලපෑමක් ඇති කරයිද?
10 ක්ලාන්ත සිත් ඇති අයව සැනසීමට, දුර්වලයන්ට උපකාර කිරීමට, අනියම් ලෙස හැසිරෙන අයට අවවාද කිරීමට සහ සියල්ලන් කෙරෙහි බොහෝ ඉවසිල්ලෙන් ක්‍රියා කිරීමට පොලඹවන ප්‍රේමයක් යම් සභාවක සිටින සහෝදරයන්ට තිබෙන විට, එය මොනතරම් කදිමද! දැඩි බරපතළ පීඩා විඳින්ට සිදුවුවත්, මෑතකදී බයිබල් සත්‍යය වැලඳගෙන තිබූ තෙසලෝනික සහෝදරයෝ, මෙය කිරීමට වූ පාවුල්ගේ උපදෙස අදාළ කරගත්තෝය. (ක්‍රියා 17:1-9; 1 තෙසලෝනික 1:6; 2:14; 5:11) මුළු සභාව ශක්තිමත් කිරීමට හා එක්සත් කිරීමට ඔවුන් දැක්වූ ප්‍රේමනීය සහයෝගයේ කදිම බලපෑම ගැන සිතා බලන්න! ඒ හා සමානව, අදදින සහෝදරයන් එකිනෙකාව සනසන විට, අනුබල දෙන විට සහ අවවාද කරන විට, බොහෝවිට පවුල් වගකීම් ගැන සැලකිල්ල දැක්විය යුතු වැඩිමහල්ලන්ගේ එඬේර වගකීම් හැසිරවීමට වඩාත් පහසු වේ.
11. (අ) ස්ත්‍රීන්ද “සහෝදරයන්” යන යෙදුමට ඇතුළත් වූ බව නිගමනය කිරීම සාධාරණ වන්නේ මන්ද? (ආ) මේරූ ක්‍රිස්තියානි ස්ත්‍රියකට, අදදින යෞවන ස්ත්‍රියකට දිය හැකි උපකාරය කුමක්ද?
11 ප්‍රේරිත පාවුල් අමතමින් සිටි “සහෝදරයන්” අතරට ස්ත්‍රීන් ඇතුළත් වූවාද? එසේය, ඔවුහු ඇතුළත් වූහ, මක්නිසාදයත් ස්ත්‍රීහු ඇදහිලිවන්තියෝ බවට පත්ව සිටියහ. (ක්‍රියා 17:1, 4; 1 පේතෘ. 2:17; 5:9) එවන් ස්ත්රීන්ට කිනම් උපකාරයක් පිරිනැමිය හැකිවනු ඇද්ද? ඇත්තවශයෙන්ම, තම “ලිංගික ආවේග” [NW] පාලනය කිරීම සම්බන්ධව ගැටලුවක් තිබුණාවූ හෝ ‘ක්ලාන්ත සිත් ඇත්තන්’ බවට පත්වුණාවූ යෞවන ස්ත්‍රීහු සභාවේ සිටියෝය. (1 තිමෝති 5:11-13) ඇතැම් ස්ත්රීන්ට ඒ හා සමාන ගැටලු අදදිනත් ඇත. ඔවුන්ට වැඩියෙන්ම අවශ්‍ය වන්නේ කෙනෙකු විසින් සවන්දීම හෝ දයානුකම්පිත අවධානය ලැබීම විය හැක. බොහෝවිට මේරූ ක්‍රිස්තියානි ස්ත්‍රියක් එවන් උපකාරයක් සැපයීමට හොඳම තැනැත්තියකි. නිදසුනක් වශයෙන්, ක්‍රිස්තියානි පුරුෂයෙකු විසින්ම සුදුසු ලෙස හැසිරවීමට නොහැකි යම් පෞද්ගලික ගැටලු ගැන වෙනත් ස්ත්‍රියක් සමඟ සාකච්ඡා කිරීමට ඇයට හැක. එවන් උපකාරයක් සැපයීමේ වටිනාකම කාවද්දවමින් පාවුල් මෙසේ ලීවේය: “එසේම මහලු ස්ත්‍රීවරුන් . . . යහපත් දේ උගන්වන්නාවූ තැනැත්තියන්ව සිටිය යුතුය. මෙසේ සිටිය යුතු වන්නේ, දෙවියන්වහන්සේගේ වචනයට අපහාස නොපැමිණෙන පිණිස යෞවන ස්ත්‍රීන් තමුන්ගේ පුරුෂයන්ටත් දරුවන්ටත් ප්‍රේමකරමින්, සිහියෙන් යුක්තව, පිරිසිදුව, ගෙදර වැඩ කරන්නියන්ව, කරුණාවන්තව, තමුන්ගේම පුරුෂයන්ට යටත්ව සිටින්ට ඔවුන් විසින් පුරුදුකර වන පිණිසය.”—තීතස් 2:3-5.
12. සභාවේ සියල්ලන්ටම පාහේ අනුගමනය කිරීම සඳහා අතිවැදගත් වන්නේ කාගේ මඟ පෙන්වීමද?
12 තමන්ගේ ස්වාමිපුරුෂයන්ට සහ වැඩිමහල්ලන්ට සහයෝගයෙන් අනුබල දෙන නිහතමානී සහෝදරියන් සභාවක සිටින විට, එය කොතරම් ආශීර්වාදයක්ද! (1 තිමෝති 2:11, 12; හෙබ්‍රෙව් 13:17) සියල්ලන්ම ප්‍රේමයේ ස්ප්රීතුවකින් යුක්තව එකිනෙකාට උපකාර කරන විටත්, සියල්ලන්ම පත් කරන ලද එඬේරුන්ගේ මඟ පෙන්වීමට යටත්වන විටත්, පවුල් වගකීම් ඇති වැඩිමහල්ලෝ විශේෂයෙන් ප්‍රයෝජන ලබත්.—1 පේතෘස් 5:1, 2.
දෙමාපියෙනි, ඔබ පළමු තැනට තබන්නේ කුමක්ද?
13. බොහෝ පියවරුන් තමන්ගේ පවුල් සම්බන්ධයෙන් අපොහොසත් වන්නේ කෙසේද?
13 වසර කිහිපයකට පෙර, එක් ප්රමුඛ පෙළේ විනෝදය ගෙන දෙන්නෙක් මෙසේ නිරීක්ෂණය කළේය: “සාර්ථක මිනිසුන්, සිය ගණනක් මිනිසුන් සමඟ තමන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යනවා මම දකිනවා; සෑම තත්වයක් සමඟ කටයුතු කරන අන්දම, විනය පවත්වාගනිමින් ව්‍යාපාර ලෝකයේ ජයග්‍රහණය කරන අන්දම ඔවුන් දන්නවා. එහෙත්, ඔවුන් ගෙන යන ලොකුම ව්‍යාපාරය නම්, ඔවුන්ගේ පවුලයි, තවද එහිදී ඔවුන් අසමත් වෙනවා.” මන්ද? ඒ ඔවුන් තම ව්‍යාපාර කටයුතු පෙරට තබා දෙවියන්වහන්සේගේ උපදෙස නොසලකා හැර තිබෙන නිසා නොවේද? උන්වහන්සේගේ වචනය මෙසේ පවසයි: ‘මා අණ කරන මෙම වචන නුඹේ පුත්‍රයා තුළ පැලපදියම් කළ යුතුය.’ මෙය සෑමදිනකම කිරීමට තිබිණ. තම කාලය—විශේෂයෙන් තම ආදරය සහ ගැඹුරු සැලකිල්ල—නොමසුරුව දීමට දෙමාපියන්ට අවශ්‍යතාවක් තිබේ.—ද්විතීය කථාව 6:6-9, NW.
14. (අ) දෙමාපියන් තම දරුවන්ව රැකබලා ගත යුත්තේ කෙසේද? (ආ) නිසි පරිදි දරුවන්ව පුහුණු කිරීමට ඇතුළත් වන්නේ කුමක්ද?
14 දරුවන් වනාහි, යෙහෝවඃවහන්සේගෙන් උරුමයක් බව බයිබලය අපට සිහිගන්වයි. (ගීතාවලිය 127:3) ඔබේ දරුවන්, දෙවියන්වහන්සේට අයිති යමක් හැටියට, නැතහොත් උන්වහන්සේ ඔබට පවරා ඇති ත්‍යාගයක් හැටියට ඔබ ඔවුන්ව රැකබලා ගන්නෙහිද? ඔබ ඔබේ පුතාව හෝ දුවව ඔබේ අත් දෙකෙන් වඩාගෙන ඔබගේ ප්‍රේමනීය සැලකිල්ල හා අවධානය එමගින් නිරූපණය කරන්නේ නම්, ඔබේ දරුවා ප්‍රතිචාර දැක්වීමට ඉඩ කඩ තිබේ. (මාර්ක් 10:16) ‘දරුවෙකු සුදුසු මාර්ගයේ පුහුණු කිරීමට,’ නිකම්ම බදාගෙන සිප වැලඳගන්නවාට වඩා වැඩි යමක් අවශ්‍ය කරයි. ජීවිතය නමැති ගමන් මඟේ බොරුවළවල්වලින් වැළකීමට ප්‍රඥාවෙන් සන්නද්ධ වීමට නම්, දරුවෙකුට ප්‍රේමනීය හික්මවීමද එලෙසම අවශ්‍යය. දෙමාපියෙක්, ‘කල්තබා ඔහුට දඬුවම් කිරීම’ මගින් අව්‍යාජ ආදරය පෙන්වන්නේය.—හිතෝපදේශ 13:1, 24; 22:6.
15. දෙමාපිය හික්මවීමේ අවශ්‍යතාව කුමකින් පෙනේද?
15 දෙමාපිය හික්මවීමේ අවශ්‍යතාව, තම කාර්යාලයට පැමිණෙන දරුවන් ගැන එක් පාසැල් උපදේශිකාවක් දෙන විස්තරයකින් පෙනීයයි: “ඔවුන්ට අනුකම්පාව දැක්විය යුතුය, ඔවුහු මානසික පීඩනයට ලක්ව අසරණව සිටිත්. ඔවුන් දේවල් ඇත්තටම කෙසේදැයි යන්න කතා කරන විට, ඔවුහු හඬති. බොහෝදෙනෙක්, කෙනෙකු සිතනවාට වඩා බොහෝදෙනෙක්, සිය දිවි නසාගැනීමට උත්සාහ කර තිබේ, ඒ ඔවුන් අධික සතුටට පත්වී එය දරාගැනීමට නොහැකි නිසා නොවේ; ඒ තමන්ට එතරම් අසන්තෝෂයක්, තමන් ගැන නොසලකන බවක් සහ එවැනි කුඩා වයසක තමන්ට දේවල් පාලනය කිරීමට සිදුවී තිබෙන බවක් දැනෙන නිසාය, තවද එය ඔවුන්ට හැසිරවීමට අමාරු දෙයකි.” ඈ මෙසේද එකතු කළාය: “තමන් දේවල් පාලනය කරනවායයි කුඩා දරුවෙකුට හැඟීයෑම බියගන්වනසුලු දෙයකි.” දරුවන් හික්මවීම නුරුස්සන බව ඇත්තය, නමුත් ඔවුහු දෙමාපිය මඟ පෙන්වීම සහ සීමා තහංචි ඇත්තටම අගය කරති. තමන්ගේ දෙමාපියන් තමන්ට සීමා දැමීමට තරම් සැලකිලිමත් වීම ගැන ඔවුහු සතුටු වෙති. “එය මගේ ඔලුවෙන් මහා බරක් ඉවතට දමා තිබෙනවා” යයි එසේ කළ දෙමාපියන් සිටින එක් නහඹරයෙක් පැවසුවේය.
16. (අ) ක්‍රිස්තියානි නිවෙස්වල ඇති දැඩි වන ඇතැම් දරුවන්ට සිදුවන්නේ කුමක්ද? (ආ) ළමයෙකුගේ හිතුවක්කාර ක්‍රියාපිළිවෙත, දෙමාපියන් විසින් දෙන ලද පුහුණුව හොඳ නැතැයි යන්න අනිවාර්යෙන්ම අදහස් නොකරන්නේ මන්ද?
16 එහෙත්, තමන්ට ආදරය කරන සහ තමන්ට කදිම පුහුණුවක් දෙන දෙමාපියන් සිටියද, යේසුස්වහන්සේගේ උපහැරණයේ අකීකරු පුත්‍රයා මෙන්, ඇතැම් යෞවනයෝ, දෙමාපිය මඟ පෙන්වීම ප්‍රතික්ෂේප කර ඉබාගාතේ යති. (ලූක් 15:11-16) කෙසේවෙතත්, හිතෝපදේශ 22:6 මඟ පෙන්වන්නාක් මෙන්, දෙමාපියන් තම දරුවාව නිසි ලෙස පුහුණු කිරීමට වූ වගකීම ඉටු නොකළාය කියා ඉන් අදහස් නොකරනවා විය හැක. ‘දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණු කරපන්න, එවිට ඔහු එයින් අහක්ව නොයන්නේය’ යන ප්‍රකාශය දෙනු ලැබුවේ සාමාන්‍ය නීතියක් හැටියටය. අකීකරු පුත්‍රයා මෙන්, ඇතැම් දරුවන් ‘දෙමාපියන්ට කීකරුවීම එපා කිරීම’ කනගාටුවට කරුණකි.—හිතෝපදේශ 30:17.
17. හිතුවක්කාර දරුවන්ගේ දෙමාපියන්ට කුමකින් සහනය ලැබිය හැකිද?
17 එක් හිතුවක්කාර පුතෙකුගේ පියෙක් මෙසේ ශෝක වූයේය: “ඔහුගේ හෘදයට ළඟාවීමට මා නිතර නිතර උත්සාහ කර තිබෙනවා. මා බොහෝ දේ කර තිබෙනවා, මා දැන් කුමක් කරන්නදැයි මා දන්නේ නැහැ. කිසිම දෙයක් සාර්ථක වෙලා නැහැ.” එවැනි හිතුවක්කාර දරුවන්, නියමිත කාලයේදී, තමන්ට ලැබුණු දෙමාපිය පුහුණුව මතක් වී නාස්තිකාර පුත්‍රයා මෙන් නැවත හැරී ඒම අපේක්ෂා කරනු ලැබේ. එහෙත්, ඇතැම් දරුවෝ කැරලිගසා තමන්ගේ දෙමාපියන්ට බලවත් හෘද වේදනා ඇති කරමින් දුරාචාර දේවල් කරති. පොළොව මත ජීවත්වූ ශ්‍රේෂ්ඨතම ගුරුවරයාණන්ගේ දිගුකාලීන ශිෂ්‍ය යූදස් පවා උන්වහන්සේව පාවාදුන්නේය යන්න දැනගැනීමෙන් දෙමාපියන්ට යම් සැනසීමක් ලැබිය හැක. තවද යෙහෝවඃවහන්සේ අත කිසි වරදක් නොතිබුණද, උන්වහන්සේගේම ආත්ම පුත්‍රයන් උන්වහන්සේගේ උපදෙස් ප්‍රතික්ෂේප කර කැරලිකරුවන් බවට පත්වීම ගැන උන්වහන්සේම දුක්වූ බවට කිසිදු සැකයක් නැත.—ලූක් 22:47, 48; එළිදරව් 12:9.
දරුවෙනි—ඔබ සතුටු කරනු ඇත්තේ කාවද?
18. තමන් දෙවියන්වහන්සේව පළමු තැනට තබන බව පෙන්වීමට දරුවන්ට හැක්කේ කෙසේද?
18 යෙහෝවඃවහන්සේ යෞවන දරුවන් වන ඔබගෙන් මෙසේ උදක්ම ඉල්ලා සිටිනසේක: “නුඹලාගේ දෙමවුපියන්ට ස්වාමීන්වහන්සේ තුළ කීකරුවෙයල්ලා.” (එපීස 6:1) මෙය කිරීමෙන් යෞවනයෝ දෙවියන්වහන්සේව පළමු තැනට තබති. මෝඩ නොවන්න! “මෝඩයා තමාගේ පියාගේ උපදෙස් සුළුකරයි,” කියා දෙවියන්වහන්සේගේ වචනය කියයි. කිසිම හික්මවීමක් නැතුව දේවල් තනිව කරගත හැකිය කියා ඔබ උද්දච්ච ලෙස කිසිවිටකත් නොසිතන්න. සැබෑ කාරණය නම්, “තමුන්ගේ කිලුටුකම සෝදා නොදැමූ නුමුත් තමුන් පිරිසිදුයයි සිතන්නාවූ පරම්පරාවක් ඇත්තේය.” (හිතෝපදේශ 15:5; 30:12.) එසේනම් දිව්‍ය මඟ පෙන්වීමට අවනත වන්න—ඔබේ දෙමාපියන්ගේ ආඥා හා හික්මවීම, “අසාපන්න,” “කීම් පිළිගෙන,” එය “සිහි නැති නොකර,” “කන් යොමුකර,” “අත් නොහරින්න.”—හිතෝපදේශ 1:8; 2:1; 3:1; 4:1; 6:20.
19. (අ) යෙහෝවඃවහන්සේට කීකරුවීමට දරුවන්ට තිබෙන ප්‍රබල හේතු මොනවාද? (ආ) තමන් දෙවියන්වහන්සේට කෘතඥ වන බව පෙන්වීමට යෞවනයන්ට හැක්කේ කෙසේද?
19 යෙහෝවඃවහන්සේට කීකරුවීමට ඔබට ප්‍රබල හේතු තිබේ. උන්වහන්සේ ඔබට ආදරය කරනසේක, උන්වහන්සේ ස්වකීය නීති දී තිබෙනසේක, ඔබව ආරක්ෂා කිරීමට සහ ඔබට ජීවිතය භුක්තිවිඳීම සඳහා උපකාර කිරීමට සිටින ඔබේ දෙමාපියන්ට කීකරුවීමට ඔබට දී තිබෙන නීතියද මීට ඇතුළත්ය. (යෙසායා 48:17) පාපයෙන් හා මරණයෙන් ගැළවී සදාකාල ජීවනය භුක්තිවිඳිය හැකිවන පිණිස, ඔබ වෙනුවෙන් මියයෑම සඳහා උන්වහන්සේ ස්වකීය පුත්රයාණන්වද දී තිබෙනසේක. (යොහන් 3:16) ඔබ කෘතඥපූර්වක වන්නෙහිද? දෙවියන්වහන්සේ ස්වර්ගයේ සිට බලමින්, ඔබ උන්වහන්සේට ප්‍රේම කරනවාද කියා සහ උන්වහන්සේගේ සැපයුම් අගය කරනවාද කියා දැකගැනීමට ඔබේ හෘදය පරීක්ෂා කරනසේක. (ගීතාවලිය 14:2) සාතන්ද බලා සිටී, ඇරත් ඔබ දෙවියන්වහන්සේට කීකරුවන්නේ නැතැයි කියමින් ඔහු උන්වහන්සේට නින්දා කරයි. ඔබ දෙවියන්වහන්සේට අකීකරු වන විට, ඔබ කරන්නේ සාතන්ව සතුටු කර, යෙහෝවඃවහන්සේට ‘දුක් දීමකි.’ (ගීතාවලිය 78:40, 41) යෙහෝවඃවහන්සේ ඔබට මෙසේ ආයාචනා කරනසේක: “මාගේ පුත්‍රය, මට නින්දාකරන්නාට උත්තරදෙන පිණිස නුඹ ප්‍රඥාවත්ව සිට [මට කීකරුවීම මගින්] මාගේ සිත ප්රීතිකරපන්න.” (හිතෝපදේශ 27:11) එසේය, ප්රශ්නය වන්නේ, ඔබ සතුටු කරනු ඇත්තේ සාතන්වද නැතහොත් යෙහෝවඃවහන්සේවද යන්නයි.
20. එක් යෞවනියක් තමා බියට පත්වන අවස්ථාවලදී පවා යෙහෝවඃවහන්සේට සේවය කිරීමට ධෛර්යය පවත්වාගෙන ඇත්තේ කෙසේද?
20 සාතන් සහ ඔහුගේ ලෝකය ඔබ මතට හෙළන පීඩන හමුවේ දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීම පහසු දෙයක් නොවේ. එය බියජනක දෙයක් විය හැක. එක් යෞවනියක් මෙසේ සටහන් කළාය: “භයවීම සීතලට සමානය. ඔබට ඒ ගැන යමක් කරන්ට පුළුවන්.” ඈ මෙසේ පැහැදිලි කළාය: “ඔබ සීතලෙන් සිටින විට, ඔබ සීත කබායක් පළඳිනවා. ඔබට තවමත් සීතල නම්, ඔබ තවත් එකක් දමාගන්නවා. ඔබට සීතල නොදැනෙන තුරු ඔබ දිගටම යමක් ඇඟට දමාගන්නවා. ඒ වගේ, ඔබ භයවී සිටින විට, යෙහෝවඃවහන්සේට යාච්ඤා කිරීම, ඔබ සීතලේ ගැහි ගැහි සිටින විට සීත කබායක් දමාගන්නවා හා සමානයි. මා එක යාච්ඤාවක් කළ පසු මට භය දැනෙනවා නම්, මා නැවතත් යාච්ඤා කරනවා, නැවතත් යාච්ඤා කරනවා, නැවතත්, නැවතත්, මට තවදුරටත් භය නොදැනෙන තුරුම යාච්ඤා කරනවා. එය ඵලදායකයි. එය මාව කරදරවලින් බේරාගෙන තිබෙනවා!”
21. අප යෙහෝවඃවහන්සේව ඇත්තටම අපේ ජීවිතවල පළමු තැනට තැබීමට උත්සාහ කළහොත්, උන්වහන්සේ අපට කෙසේ උපකාර කරාවිද?
21 අප දෙවියන්වහන්සේව අපගේ ජීවිතවල පළමු තැනට දැමීමට ඇත්තෙන්ම වීර්යය කරනවා නම්, උන්වහන්සේ අපට උපකාර කරනවා ඇත. උන්වහන්සේ අපව ශක්තිමත් කරනසේක, උන්වහන්සේ ස්වකීය පුත්‍රයාණන් සම්බන්ධව කළාක් මෙන්, අවශ්‍ය විට දේවදූතමය උපකාරය සපයනසේක. (මතෙව් 18:10; ලූක් 22:43) දෙමාපියෙනි, දරුවෙනි, ඔබ සියල්ලෝම ධෛර්යවත් වන්න. ක්‍රිස්තුස්වහන්සේට සමාන භයක් ඇතුව සිටින්න, එය ඔබට ප්‍රීතිය ගෙන දෙනවා ඇත. (යෙසායා 11:3) එසේය, “දෙවියන්වහන්සේට භයව උන්වහන්සේගේ ආඥා පවත්වාපන්න; මේ වනාහි සියලු මනුෂ්‍යයන්ගේ යුතුකමය.”—දේශනාකාරයා 12:13.
ඔබට පිළිතුරු දිය හැකිද?
◻ යේසුස්වහන්සේගේ මුල් අනුගාමිකයන්ට සමබරව දැරීමට අවශ්‍ය වූයේ කිනම් වගකීමද?
◻ ක්‍රිස්තියානි දෙමාපියන් ඉටු කළ යුතු වගකීම කුමක්ද?
◻ පවුල් සහිත ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට කිනම් උපකාර ලබාගත හැකිව තිබේද?
◻ සභාවේ සහෝදරියන්ට කිනම් වටිනා සේවයක් පිරිනැමිය හැකිද?
◻ දරුවන් අවනත වීම සඳහා අතිවැදගත් වන උපදෙස සහ මඟ පෙන්වීම කුමක්ද?
[15වන පිටුවේ පින්තූරය]
තරුණ ස්ත්රීන්ට ස්ථිරසාර ඉගැන්වීම් සපයාදීමෙන් ඔවුන්ට සිහිබුද්ධියෙන් කටයුතු කිරීමට මහලු ස්ත්රීන්ට උපකාර කළ හැක
[17වන පිටුවේ පින්තූරය]
හිතුවක්කාර දරුවන්ගේ දෙමාපියන්ට ශුද්ධ ලියවිල්ලෙන් කුමන සහනයක් ලබාගත හැකිද?