පියෙක් හා වැඩිමහල්ලෙක්—වැඩකොටස් දෙකම සම්පූර්ණ කිරීම
“යමෙක් තමාගේම පවුල හසුරුවාගන්ට නොදන්නේ නම් ඔහු දෙවියන්වහන්සේගේ සභාව ප්‍රවේසම්කරන්නේ කෙසේද?” —1 තිමෝති 3:5.
1, 2. (අ) පළමු සියවසේ, තනිකඩ අවේක්ෂකයන්ට හා දරුවන් නැති විවාහක අවේක්ෂකයන්ට තම සහෝදරයන් උදෙසා සේවය කිරීමට හැකි වූයේ කෙසේද? (ආ) අකිලා හා ප්‍රිස්කිලා අදදින විවාහක යුවළයන් බොහොමයක් සඳහා ආදර්ශයක් වන්නේ කෙසේද?
තනිකඩ පුරුෂයන් හෝ දරුවන් නැති විවාහක පුරුෂයන් හෝ දරුවන් සිටින පවුල් වූ පුරුෂයන් වීමට මුල් ක්‍රිස්තියානී සභාවේ අවේක්ෂකයන්ට ඉඩ කඩ තිබිණ. ප්‍රේරිත පාවුල් කොරින්තිවරුන්ට ලිවූ පළමු ලිපියේ 7වන පරිච්ඡේදයේ දෙන ලද උපදෙස් අනුගමනය කොට තනිකඩභාවය රැකීමට ඇතැම් ක්‍රිස්තියානීන්ට හැකි වූ බවට කිසිම සැකයක් නැත. යේසුස්වහන්සේ මෙසේ පවසා තිබිණ: “ස්වර්ගරාජ්‍යය නිසා තමුන්ම නපුංසකයන් කරගන්නාවූ නපුංසකයෝද ඇත්තාහ.” (මතෙව් 19:12) පාවුල් හා ඔහුගේ සංචාරක සහයකයන් සමහරදෙනෙකු වැනි තනිකඩ පුරුෂයන්, සංචාරය කිරීමටත් තම සහෝදරයන්ට උපකාර කිරීමටත් නිදහස්ව සිටිනු ඇත.
2 බාර්ණබස්, මාර්ක්, සීලස්, ලූක්, තිමෝති හා තීතස් තනිකඩ පුරුෂයන්ව සිටි බව බයිබලය පවසන්නේ නැත. මොවුන් විවාහ වී සිටියා නම්, විවිධ පැවරුම්වලදී පුළුල් ලෙස සංචාරය කිරීමට හැකි වන පරිද්දෙන්, පවුලේ වගකීම්වලින් සෑහෙන දුරට නිදහස්ව සිටින්ට ඇත. (ක්‍රියා 13:2; 15:39-41; 2 කොරින්ති 8:16, 17; 2 තිමෝති 4:9-11; තීතස් 1:5) පේතෘස් හා “අනික් ප්‍රේරිතයන්” තැනින් තැනට ගමන් කරද්දී, පෙනෙන ප්‍රකාරයට තම භාර්යාවන් සමඟ ගමන් කළාක් මෙන්, මොවුන්ද තම භාර්යාවන් සමඟ ගමන් කළා විය හැක. (1 කොරින්ති 9:5) තම පදිංචි ස්ථානය වෙනස් කිරීමට කැමති වූ විවාහක යුවළක් ලෙස අකිලා හා ප්‍රිස්කිලා ආදර්ශයක් වෙති; ඔවුහු කොරින්තියේ සිට පාවුල් සිටි එපීසයට ගමන් කළ අතර, අනතුරුව පදිංචිය මාරු කරමින් රෝමයටද ඉන්පසුව නැවතත් එපීසයටද ගියහ. ඔවුන්ට දරුවන් සිටි බවක් බයිබලයෙහි සඳහන් වී නැත. ඔවුන්ගේ සහෝදරයන් වෙනුවෙන් ඔවුන් කැප වී සේවය කළ නිසා, “අන්‍යජාතීන්ගේ සියලු සභාවෝ” ඔවුන්ට කෘතඥපූර්වක වූහ. (රෝම 16:3-5; ක්‍රියා 18:2, 18; 2 තිමෝති 4:19) අදදින අකිලා හා ප්රිස්කිලාට සමාන විවාහක යුවළයන් සෑහෙන ප්‍රමාණයක් සිටින බවට කිසිම සැකයක් නැති අතර, ඇතැම්විට අවශ්‍යතාව වැඩි ප්‍රදේශවලට පදිංචිය මාරු කිරීමෙන් ඔවුන්ට වෙනත් සභාවල සේවය කළ හැක.
පියෙක් හා වැඩිමහල්ලෙක්
3. පළමු සියවසේ වැඩිමහල්ලන් බොහෝදෙනෙකු දරු පවුල් සිටි විවාහක පුරුෂයන් වූ බව කුමකින් ඇඟවේද?
3 පොදු යුගයේ පළමු සියවසේ ක්‍රිස්තියානි වැඩිමහල්ලන් බහුතරයක්ම දරුවන් ඇති විවාහක පුරුෂයන් වූ බව ප්රත්යක්ෂය. පාවුල් “අවේක්ෂකයෙකුගේ නිලය අත් කරගැනීමට වෑයම් කර[න]” පුරුෂයෙකුගෙන් අවශ්‍ය කරන සුදුසුකම් දැක්වූ විට, එවැනි ක්‍රිස්තියානියෙකු “තමාගේම පවුල හොඳින් හසුරුවාගනිමින්, සියලු ආකාර සන්සුන්කම ඇතුව ස්වකීය දරුවන් හික්මවාගන්නාවූ තැනැත්තෙක්ව” සිටිය යුතු බව ප්‍රකාශ කළේය.—1 තිමෝති 3:1, NW, 1 තිමෝ 3:4.
4. දරුවන් ඇති විවාහක පුරුෂයන්ට නියම කරන ලද්දේ කුමක්ද?
4 අවේක්ෂකයෙකු දරුවන් ඇතුව සිටීමට හෝ විවාහ වී සිටීමට පවා බැඳී නොසිටි බව අපට මේ වන විටත් පැහැදිලිය. එහෙත් ඔහු විවාහ වී සිටී නම්, වැඩිමහල්ලෙකු හෝ උපස්ථායක සේවකයෙකු හැටියට සුදුසුකම් ලැබීමට, ක්‍රිස්තියානියෙක් තම භාර්යාව කෙරෙහි ඔබින හා ප්‍රේමනීය මූලිකත්වයක් දැරීමටත්, තම දරුවන්ව නිසි ලෙස කීකරු කරවාගැනීමට සමත් කෙනෙකු හැටියට පෙනී සිටීමටත් බැඳී සිටියේය. (1 කොරින්ති 11:3; 1 තිමෝති 3:12, 13) සහෝදරයෙකු තම පවුල හැසිරවීමේදී යම් බරපතළ දුර්වලතාවක් පෙන්නුම් කළා නම්, සභාවේ විශේෂ වරප්‍රසාද දැරීමට සුදුසු තත්වයක ඔහු නොසිටිනු ඇත. ඒ මන්ද? පාවුල් මෙසේ පැහැදිලි කරයි: “යමෙක් තමාගේම පවුල හසුරුවාගන්ට නොදන්නේ නම් ඔහු දෙවියන්වහන්සේගේ සභාව ප්‍රවේසම්කරන්නේ කෙසේද?” (1 තිමෝති 3:5) ඔහුගේම පවුලේ සාමාජිකයන් ඔහුගේ අවේක්ෂණයට යටත් වීමට අකමැති වන්නේ නම්, වෙනත් අය ප්‍රතික්‍රියා කරනු ඇත්තේ කෙසේද?
‘ඇදහිලිවන්ත දරුවන් සිටීම’
5, 6. (අ) දරුවන් සම්බන්ධයෙන් පාවුල් තීතස්ට සඳහන් කළ නියමය කුමක්ද? (ආ) දරුවන් ඇති වැඩිමහල්ලන්ගෙන් අපේක්ෂා කරනු ලබන්නේ කුමක්ද?
5 ක්‍රීතයේ සභාවල අවේක්ෂකයන් පත් කිරීමට තීතස්ට උපදෙස් දෙන විට, පාවුල් මෙසේ නියම කළේය: “පත්වෙන අය වනාහි නිදොස්ව, එක භාර්යාවකට පුරුෂයාව, අවකල් ක්‍රියාව ගැන දෝෂාරෝපණය නොලත් කීකරුවූ ඇදහිලිවන්ත දරුවන් ඇතුව සිටින්ට ඕනෑය. මක්නිසාද නායකයා [අවේක්ෂකයෙකු, NW] දෙවියන්වහන්සේගේ ගබඩාකාරයෙක්මෙන් නිදොස්වූ . . . කෙනෙක්ව සිටින්ට ඕනෑය.” ඇත්තෙන්ම “ඇදහිලිවන්ත දරුවන්” සිටිය යුතු බව නියම කිරීමෙන් අදහස් කරන්නේ කුමක්ද?—තීතස් 1:6-8.
6 “ඇදහිලිවන්ත දරුවන්” යන යෙදුම, දැනටමත් යෙහෝවඃවහන්සේට තම ජීවිත කැප කොට ඇති යෞවනයන්ට, නැතහොත්, කැපවීම හා බව්තීස්මය කරා දියුණු වෙමින් සිටින තරුණයන්ට යොමු දක්වයි. සභාවේ සාමාජිකයන් අපේක්ෂා කරන්නේ, වැඩිමහල්ලන්ගේ දරුවන් සාමාන්‍යයෙන් හොඳින් හැසිරෙන, කීකරු අය විය යුතු බවයි. වැඩිමහල්ලෙකු තම දරුවන් තුළ ඇදහිල්ල ගොඩනැංවීමට කළ හැකි සෑම දෙයක්ම කරමින් සිටින බව ප්රත්යක්ෂ විය යුතුය. සාලමොන් රජ මෙසේ ලීවේය: “දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණුකරන්න, එවිට ඔහු වයස්ගතවූ කලත් එයින් අහක්ව නොයන්නේය.” (හිතෝපදේශ 22:6) එහෙත් එවැනි පුහුණුවක් ලැබුවත්, යෙහෝවඃවහන්සේට සේවය කිරීම ප්‍රතික්ෂේප කරන හෝ බරපතළ වරදක් පවා කරන යෞවනයෙකු ගැන කුමක් කිව හැකිද?
7. (අ) හිතෝපදේශ 22:6හි දැඩි නීතියක් ප්‍රකාශ නොවන බව පැහැදිලි වන්නේ මන්ද? (ආ) වැඩිමහල්ලෙකුගේ දරුවෙකු යෙහෝවඃවහන්සේට සේවය කිරීම තෝරා නොගන්නේ නම්, එම වැඩිමහල්ලාට ඉබේම තම වරප්රසාදයන් අහිමි නොවන්නේ මන්ද?
7 ඉහත සඳහන් හිතෝපදේශය දැඩි නීතියක් ප්‍රකාශයට පත් නොකරන බව පැහැදිලිය. නිදහස් කැමැත්තේ මූලධර්මය ඉන් අවලංගු නොවේ. (ද්විතීය කථාව 30:15, 16, 19) පුතෙකු හෝ දුවක වගකීමේ හැඟීමකින් කටයුතු කිරීමට හැකි වයසකට එළඹෙන විට, කැපවීම හා බව්තීස්මය සම්බන්ධයෙන් ඔහු හෝ ඇය පෞද්ගලික තීරණයක් ගත යුතුය. වැඩිමහල්ලෙකු අවශ්‍ය ආත්මික උපකාර, මඟ පෙන්වීම හා හික්මවීම පැහැදිලිව දී තිබුණත්, යෙහෝවඃවහන්සේට සේවය කිරීමට එම යෞවනයා තෝරාගන්නේ නැත්නම්, එම පියා අවේක්ෂකයෙකු ලෙස සේවය කිරීමට නුසුදුසු තත්වයකට ඉබේම පත් වන්නේ නැත. අනික් අතට, වැඩිමහල්ලෙකුට නිවසේ ජීවත් වන බාල දරුවන් කිහිපදෙනෙකු සිටී නම්, පිළිවෙළින් එක් එක්කෙනා ආත්මික ලෙස රෝගාතුර වී වරදට වැටේ නම්, ඔහුව තවදුරටත් “තමාගේම පවුල හොඳින් හසුරුවා[ගන්නා]” කෙනෙකු හැටියට සැලකිය නොහැකිය. (1 තිමෝති 3:4) මූලික කාරණය මෙයයි: “අවකල් ක්‍රියාව ගැන දෝෂාරෝපණය නොලත් කීකරුවූ ඇදහිලිවන්ත දරුවන්” ඇති දැඩි කිරීමට අවේක්ෂකයෙකු උපරිම උත්සාහයක් දරන බව පැහැදිලි විය යුතුය.a
“නොඇදහිලිකාර භාර්යාවක්” හා විවාහ වී සිටීම
8. වැඩිමහල්ලෙකු තම නොඇදහිලිකාර භාර්යාව කෙරෙහි ක්‍රියා කළ යුත්තේ කෙසේද?
8 නොඇදහිලිකාරයන් හා විවාහ වී ඇති ක්‍රිස්තියානි පුරුෂයන් ගැන පාවුල් මෙසේ ලීවේය: “යම් සහෝදරයෙකුට නොඇදහිලිකාර භාර්යාවක් ඇත්නම්, ඈ ඔහු සමඟ වාසයකරන්ට කැමති නම්, ඔහු ඈ අත් නොහරීවා. . . . මක්නිසාද . . . නොඇදහිලිකාර භාර්යාවද සහෝදරයා නිසා ශුද්ධකරනු ලැබ සිටියි. නැතහොත් නුඹලාගේ දරුවෝ අපවිත්‍රය. නුමුත් දැන් ඔව්හු ශුද්ධය, . . . මක්නිසාද, . . . පුරුෂය, නුඹ නුඹේ භාර්යාව ගළවන්නේදෝ නුඹ දන්නේ කොහොමද?” (1 කොරින්ති 7:12-16) “නොඇදහිලිකාර” යන වචනය, ආගමික විශ්වාසයන් නැති භාර්යාවකට නොව, යෙහෝවඃවහන්සේට කැප වී නැති ස්ත්‍රියකට යොමු දක්වයි. ඇය යුදෙව්වෙකු හෝ මිථ්‍යාදෘෂ්ටික දෙවිවරුන් අදහන කෙනෙකු හෝ විය හැක. අදදින, වෙනත් ආගමක් අදහන, දෙවිකෙනෙකුගේ පැවැත්ම සැක කරන හෝ දෙවිකෙනෙකු සිටින බව විශ්වාස නොකරන ස්ත්‍රියක සමඟ පවා වැඩිමහල්ලෙකු විවාහ වී සිටිය හැක. ඔහු සමඟ සිටීමට ඇය කැමති නම්, වෙනත් ඇදහිලි ක්‍රමයක් තිබුණු පළියට ඔහු ඇයව අත්නෑරිය යුතුය. ‘වඩා දුර්වල භාජනයක් වූ ඇය සමඟ ඔහු දැනගැන්මේ හැටියට වාසය කරමින් ඇයට ගෞරවය දිය’ යුතු අතර, ඇයව ගළවාගැනීමේ බලාපොරොත්තුව ඇතුව ජීවත් විය යුතුය.—1 පේතෘස් 3:7; කොලොස්සි 3:19.
9. ස්වාමිපුරුෂයාට හා භාර්යාවට තම තමාගේ ආගමික විශ්වාසයන් අනුව තම දරුවන්ව දැනුවත් කිරීමට නීතියෙන් අයිතිය දෙන රටවල, වැඩිමහල්ලෙකු ක්‍රියා කළ යුත්තේ කෙසේද, මෙය ඔහුගේ වරප්‍රසාදවලට බලපාන්නේ කෙසේද?
9 අවේක්ෂකයෙකුට දරුවන් සිටී නම්, “ස්වාමීන්වහන්සේගේ හික්මවීමෙන්ද අවවාදයෙන්ද ඔවුන් ඇතිකර[ද්දී]” ස්වාමිපුරුෂයෙකු හා පියෙකු වශයෙන් ඔහු නිසි ලෙස මූලිකත්වය හොබවනවා ඇත. (එපීස 6:4) බොහෝ රටවල, තම දරුවන්ට ආගමික උපදෙස් දීමට විවාහක කලත්‍රයන් දෙදෙනාටම නීතියෙන් අවසර ලැබෙයි. මේ අවස්ථාවේදී, තම ආගමික විශ්වාසයන් සම්බන්ධයෙන් දරුවන්ව දැනුවත් කිරීමට තිබෙන අයිතිය ක්‍රියාත්මක කිරීමට භාර්යාව ඉල්ලා සිටිය හැකි අතර, ඔවුන්ව ඇගේ පල්ලියට ගෙනයෑම මීට ඇතුළත් විය හැක.b බොරු ආගමික වතාවත්වලට සහභාගි නොවීම සම්බන්ධයෙන් දරුවන් බයිබලය මත පදනම් පුහුණුවක් ලද තම හෘදය සාක්ෂියට අනුව ක්‍රියා කළ යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ. ගෘහ මූලිකයා වශයෙන්, දරුවන් සමඟ පාඩම් කිරීමටත්, හැකි සෑම අවස්ථාවකම රාජ්‍ය ශාලාවේ පවත්වන රැස්වීම්වලට ගෙනයෑමටත් තමාට තිබෙන අයිතිය පියා විසින් ක්‍රියාත්මක කරනු ඇත. දරුවන් පෞද්ගලික තීරණ ගැනීමට හැකි වයසකට එළඹෙන විට, යන්නේ කුමන මාර්ගයේදැයි ඔවුන්ම තීරණය කරනු ඇත. (යෝෂුවා 24:15) ඔහු තම දරුවන්ට සත්‍ය මාර්ගයේ යෑමට නිසි ලෙස උපදෙස් දීම සඳහා, නීතියේ අවසරය පරිදි සෑම දෙයක්ම කරන බව සෙසු වැඩිමහල්ලන්ට හා සභාවේ සාමාජිකයන්ට පෙනේ නම්, අවේක්ෂකයෙකු හැටියට සේවය කිරීමට ඔහු නුසුදුසු තත්වයකට පත් නොවනු ඇත.
“තමාගේම පවුල හොඳින් හසුරුවාගනිමින්”
10. දරු පවුලක් සිටින පුරුෂයෙකු වැඩිමහල්ලෙකු නම්, ඔහුගේ මූලික වගකීම කුමක් විය යුතුද?
10 පියෙකු වන, එමෙන්ම ක්‍රිස්තියානි භාර්යාවක සිටින වැඩිමහල්ලෙකුට පවා, ඔහුගේ කාලය හා අවධානය තම භාර්යාව, දරුවන් හා සභා වගකීම් අතර නිසි ලෙස බෙදාගැනීම පහසු කාර්යයක් නොවේ. ක්‍රිස්තියානි පියෙකුට තම භාර්යාව හා දරුවන් බලාගැනීමට වගකීමක් තිබෙන බව ශුද්ධ ලියවිලිවල ඉතා පැහැදිලි ලෙස දක්වා තිබේ. පාවුල් මෙසේ ලීවේය: “යමෙක් තමාගේ අය, ප්රධානකොටම තමාගේම පවුලේ අය, රක්ෂා නොකරන්නේ නම් [තම පවුලේ අයට සපයන්නේ නැත්නම්, NW], ඔහු ඇදහිල්ල එපාකළේය, ඔහු නොඇදහිලිකාරයෙකුට වඩා නරකය.” (1 තිමෝති 5:8) එවිටමත් යහපත් ස්වාමිපුරුෂයන් හා පියවරුන් හැටියට ඔප්පු කර ඇති විවාහක පුරුෂයන්ව පමණක්, අවේක්ෂකයන් වශයෙන් සේවය කිරීමට නිර්දේශ කළ යුතු බව එම ලිපියෙහිම පාවුල් පැවසීය.—1 තිමෝති 3:1-5.
11. (අ) වැඩිමහල්ලෙකු ‘තමාගේම අයට සැපයිය’ යුත්තේ කුමන ආකාරවලින්ද? (ආ) වැඩිමහල්ලෙකුට තම සභා වගකීම් ඉටු කිරීමට මෙය උපකාරවත් විය හැක්කේ කෙසේද?
11 වැඩිමහල්ලෙකු තම පවුලට ‘සැපයිය’ [NW] යුත්තේ ද්‍රව්‍යමය දේවල් පමණක්ම නොව, නමුත් ආත්මික හා චිත්තවේගීය දේවල්ද සැපයිය යුතුය. ඥානවන්ත සාලමොන් රජ මෙසේ ලීවේය: “නුඹේ වැඩය පිටතදී සූදානම්කොට, කෙතෙහි එය පිළියෙළකරගන්න; පසුව නුඹේ ගේ සාදන්න [පවුල ගොඩනඟන්න, NW].” (හිතෝපදේශ 24:27) එබැවින්, තම භාර්යාවගේ හා දරුවන්ගේ ද්‍රව්‍යමය, චිත්තවේගීය හා විනෝදාත්මක අවශ්‍යතා සපයන අතරම, අවේක්ෂකයෙකු ඔවුන්ව ආත්මික ලෙසද ගොඩනැඟිය යුතුය. මේ සඳහා කාලය වැය වේ—එම කාලය සභා කාරණා වෙනුවෙන් කැප කිරීමට ඔහුට නොහැකි වනු ඇත. එහෙත් එලෙස කාලය වැය කිරීම, පවුලේ සන්තෝෂය හා ආත්මිකත්වයට මහත් ලාභයක් ගෙන දිය හැක. අවසානයේදී, ඔහුගේ පවුල ආත්මිකව ශක්තිමත් නම්, පවුලේ ගැටලු හැසිරවීමට වැඩිමහල්ලෙකුට ඇතැම්විට අවශ්‍ය වන්නේ වඩාත් අඩු කාලයකි. එවිට වඩාත් සැහැල්ලු මනසකින් සභා කටයුතු බලාකියා ගැනීමට ඔහුට ඉඩ සැලසෙනු ඇත. හොඳ ස්වාමිපුරුෂයෙකු හා හොඳ පියෙකු වශයෙන් ඔහු තබන ආදර්ශය සභාවට ආත්මික අතින් ප්‍රයෝජනවත් වනු ඇත.—1 පේතෘස් 5:1-3.
12. වැඩිමහල්ලන් ලෙස කටයුතු කරන පියවරුන් කදිම ආදර්ශයක් තැබිය යුත්තේ පවුලට සම්බන්ධ කිනම් කාරණයේදීද?
12 පවුල් පාඩමක් මෙහෙයවීම සඳහා කාලය යළි සකස් කිරීම, පවුලක් හොඳින් හසුරුවාගැනීමට ඇතුළත් වන තවත් දෙයකි. ශක්තිමත් පවුල් මගින් ශක්තිමත් සභාවන් සෑදෙන බැවින්, මේ සම්බන්ධයෙන් වැඩිමහල්ලන් හොඳ ආදර්ශයක් තැබීම විශේෂයෙන්ම වැදගත් වේ. තම භාර්යාව හා දරුවන් සමඟ පාඩමක් කිරීමට කාලය ඉතිරි නොවන තරමටම අවේක්ෂකයෙකුගේ කාලය නිතිපතාම වෙනත් සේවා වරප්‍රසාද ඉටු කිරීම සඳහා යොමු නොවිය යුතුය. තත්වය මෙසේ වී තිබේ නම්, ඔහු තම කාලසටහන යළි පරීක්ෂා කළ යුතුය. වෙනත් කාරණාවලට කැප කරන කාලය නැවත මිඩංගු කිරීමට හෝ අඩු කිරීමට, සමහර අවස්ථාවන්හිදී ඇතැම් වරප්‍රසාද ප්‍රතික්ෂේප කිරීමට පවා ඔහුට සිදු විය හැක.
සමබර අවේක්ෂණය
13, 14. දරු පවුල් සිටින වැඩිමහල්ලන්ට “විශ්වාසවූ නුවණ ඇති දාසයා” දී තිබෙන්නේ කුමන උපදෙස්ද?
13 පවුලේ හා සභාවේ වගකීම් සමබරව කිරීමට උපදෙස් දීම අලුත් දෙයක් නොවේ. “විශ්වාසවූ නුවණ ඇති දාසයා” අවුරුදු ගණනාවක් පුරා මේ කාරණය සම්බන්ධයෙන් වැඩිමහල්ලන්ට උපදෙස් දී තිබේ. (මතෙව් 24:45) අවුරුදු 37කට ඉහතදී, 1959 සැප්තැම්බර් 15 ද වොච්ටවර්හි, 553 හා 554වන පිටුවල මෙසේ අවවාද කළේය: “ඇත්තෙන්ම, අපේ කාලය මත එල්ල වන මෙම පීඩනය සමඟ කටයුතු කිරීම සඳහා අවශ්‍ය වන්නේ සමබරතාව නොවේද? මෙම සමබරතාව රැකීමේදී, ඔබේම පවුලේ අවශ්‍යතාවලට නිසි අවධානයක් දෙන්න. පුරුෂයෙකු තම සහෝදරයන්ට හා අසල්වාසීන්ට ගැළවීම ලබාගැනීමට උපකාර කරද්දී, සභාවේ කටයුතු වෙනුවෙන් තමාගේ මුළු කාලය වැය කරන මුත්, තමාගේම පවුලේ සාමාජිකයන්ගේ ගැළවීම සම්බන්ධයෙන් කටයුතු නොකිරීම යෙහෝවඃ දෙවියන්වහන්සේ අපේක්ෂා නොකරන බව සහතිකය. පුරුෂයෙකුගේ භාර්යාව හා දරුවන් මූලික වගකීමකි.”
14 වර්ෂ 1987 නොවැම්බර් 1 මුරටැඹහි 9වන පිටුව මෙසේ උපදෙස් දෙයි: ‘පවුලක් වශයෙන් දේවසේවයෙහි යෙදීමෙන් ඔබ එකිනෙකාට වඩාත් සමීප වෙයි. එහෙත් ළමයින්ට තිබෙන අද්විතීය අවශ්‍යතාවන් නිසා, ඔබගේ පෞද්ගලික කාලය සහ චිත්ත බලය වැය කිරීම වැදගත්ය. එහෙයින් ආත්මික ලෙසත්, චිත්තවේගීය ලෙසත්, ද්‍රව්‍යමය ලෙසත් ‘තමාගේම පවුලේ අයගේ’ අවශ්‍යතාවන්ද සපයමින් කොපමණ කාලයක් සභා වගකීම් සඳහා වෙන් කළ යුතුද කියා නිගමනය කිරීමට සමබරතාව අවශ්‍යය. [ක්‍රිස්තියානියෙකු] “පළමුකොට තමුන්ගේම පවුල ගැන භක්තිවන්ත ලෙස [හැසිරීමට ඉගෙනගත]” යුතුය. (1 තිමෝති 5:4, 8)’
15. භාර්යාවක හා දරුවන් සිටින වැඩිමහල්ලෙකුට ප්‍රඥාව හා විචාර බුද්ධිය අවශ්‍ය වන්නේ මන්ද?
15 ශුද්ධ ලියවිලිමය හිතෝපදේශයක මෙසේ පැවසේ: “ප්‍රඥාවෙන් ගෙයක් ගොඩනගනු ලැබ, නුවණින් [විචාර බුද්ධියෙන්, NW] එය ස්ථිරවේ.” (හිතෝපදේශ 24:3) ඔව්, තම දිව්‍යාණ්ඩුමය වගකීම් ඉටු කරන ගමන්ම, තම පවුල ගොඩනැංවීමට නම්, අවේක්ෂකයෙකුට ප්‍රඥාව හා විචාර බුද්ධිය සහතිකවම අවශ්‍ය වේ. ශුද්ධ ලියවිලිවලට අනුව අවේක්ෂණය සඳහා ඔහුට එක ක්ෂේත්රයකට වඩා ඇත. ඔහුගේ පවුලේ වගකීම් සහ ඔහුගේ සභාවේ වගකීම් ඊට ඇතුළත්ය. මෙම ක්ෂේත්රයන් සමබරව කරගෙන යෑම සඳහා ඔහුට විචාර බුද්ධිය අවශ්‍යය. (පිලිප්පි 1:10, 11) වැදගත් දේට මුල් තැන දීම සඳහා ඔහුට ප්‍රඥාව අවශ්‍යය. (හිතෝපදේශ 2:10, 11) තම සභා වරප්රසාදයන් ගැන සැලකිලිමත්ව කටයුතු කිරීමට ඔහුට කෙතරම් වගකීමේ හැඟීමක් දැනුණත්, ස්වාමිපුරුෂයෙකු හා පියෙකු වශයෙන්, දෙවියන්වහන්සේ ඔහුට දී තිබෙන මූලික වගකීම තම පවුල බලාගැනීම හා ඔවුන්ගේ ගැළවීම සහතික කරගැනීම බව ඔහු තේරුම්ගත යුතුය.
හොඳ පියවරු මෙන්ම හොඳ වැඩිමහල්ලෝ
16. වැඩිමහල්ලෙකු පියෙකු නම්, ඔහුට තිබෙන වාසිය කුමක්ද?
16 ශිෂ්ටසම්පන්න දරුවන් සිටින වැඩිමහල්ලෙකු සැබෑ ප්‍රයෝජනයක් විය හැක. තම පවුල හොඳින් රැකබලා ගැනීමට ඔහු ඉගෙනගෙන තිබෙනවා නම්, සභාවේ සිටින වෙනත් පවුල්වලට උපකාර කළ හැකි තත්වයක ඔහු සිටියි. ඔහුට ඔවුන්ගේ ගැටලු වඩාත් හොඳින් අවබෝධ වන අතර, තමාගේම අද්දැකීමෙන් උපදෙස් දීමට ඔහුට හැකි වනු ඇත. ලොව පුරා සිටින වැඩිමහල්ලන් දහස් ගණනක් ස්වාමිපුරුෂයන්, පියවරුන් හා අවේක්ෂකයන් වශයෙන් කදිම සේවයක් පිරිනැමීම සන්තෝෂයට කරුණකි.
17. (අ) පියෙකු හා වැඩිමහල්ලෙකු ලෙස කටයුතු කරන පුරුෂයෙකු කිසිදාක කුමක් අමතක නොකළ යුතුද? (ආ) සභාවේ අනික් සාමාජිකයන් පරාර්ථකාමී සැලකිල්ලක් පෙන්විය යුත්තේ කෙසේද?
17 පවුලක් සිටින පුරුෂයෙකු වැඩිමහල්ලෙකු වීමට නම්, ඔහු තම භාර්යාව හා දරුවන් රැකබලා ගන්නා අතරතුර, සභාවේ සිටින අන් අය වෙනුවෙන් කාලය හා අවධානය යොමු කිරීමට හැකි වන පරිද්දෙන් තම කටයුතු සංවිධානය කිරීමට සමත් මේරූ ක්‍රිස්තියානියෙකු විය යුතුය. ඔහුගේ එඬේර වැඩ පටන්ගන්නේ නිවසේ සිටම බව ඔහු කිසිදාක අමතක නොකළ යුතුය. භාර්යාවක හා දරුවන් සිටින වැඩිමහල්ලන්ට, තම පවුල මෙන්ම සභාවේ යුතුකම් සම්බන්ධයෙන් වගකීමක් තිබෙන බව දන්නා සභා සාමාජිකයන්, ඔවුන් වෙනුවෙන් කාලය ගත කරන්ට කියා අයුතු ඉල්ලීම් නොකිරීමට වෑයම් කරනු ඇත. උදාහරණයක් හැටියට, ඊළඟ උදෑසන පාසැල් යා යුතු දරුවන් සිටින වැඩිමහල්ලෙකුට හැමවිටම සැන්දෑවේ රැස්වීම්වලින් පසුව යම් කාලයක් රැඳී සිටීමට බැරි විය හැක. සභාවේ අනික් සාමාජිකයන් මෙය තේරුම්ගෙන අනුකම්පාව දැක්විය යුතුය.—පිලිප්පි 4:5.
අප අපේ වැඩිමහල්ලන්ව අගය කළ යුතුය
18, 19. (අ) පළමුවන කොරින්ති 7වන පරිච්ඡේදය පරීක්ෂා කර බැලීමෙන්, අපට කුමක් තේරුම්ගැනීමට හැකි වී තිබේද? (ආ) අප එවැනි ක්‍රිස්තියානි පුරුෂයන්ව සැලකිය යුත්තේ කෙසේද?
18 පාවුල් කොරින්තිවරුන්ට ලියූ පළමුවන ලිපියේ 7වන පරිච්ඡේදය පරීක්ෂා කර බැලීමෙන්, ඔහුගේ උපදෙස් අනුගමනය කරන, රාජ්‍ය කටයුතු වෙනුවෙන් සේවය කිරීමට තම නිදහස යොදාගන්නා තනිකඩ පුරුෂයන් බොහෝදෙනෙකු සිටින බව දැකගැනීමට අපට හැකි වී තිබේ. එමෙන්ම, තම භාර්යාවන්ගේ ප්‍රශංසනීය සහයෝගය ඇතුව දිස්ත්‍රික්කවල, චාරිකාවල, සභාවල හා වොච් ටවර් කාර්යාලවල කදිම අවේක්ෂකයන් ලෙස සේවය කරමින්, තම භාර්යාවන්ට නිසි අවධානය දෙන දරුවන් නැති විවාහක සහෝදරයෝ දහස් ගණනක් සිටිති. අවසාන වශයෙන්, යෙහෝවඃවහන්සේගේ ජනයා සිටින සභා 80,000කට ආසන්න ගණනක, තම භාර්යාවන්ව හා දරුවන්ව ප්‍රේමනීයව රැකබලා ගන්නා, සැලකිලිමත් එඬේරුන් වශයෙන් තම සහෝදරයන්ට සේවය කිරීමට කාලය ගන්නා පියවරුන් බොහෝදෙනෙක් සිටිති.—ක්‍රියා 20:28, NW.
19 ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය: “යහපත්ලෙස ප්‍රධානකම්කරන වැඩිමහල්ලෝ, ප්‍රධානකොට වචනයෙහිත් ඉගැන්වීමෙහිත් වැඩකරන වැඩිමහල්ලෝ, දෙගුණයක් ගෞරව ලබන්ට වටින්නෝයයි ඒත්තුගනු ලබත්වා.” (1 තිමෝති 5:17) ඔව්, තම නිවෙස්වල හා සභාවල කදිම ආකාරයකින් පෙරමුණ ගෙන කටයුතු කරන වැඩිමහල්ලෝ අපේ ප්‍රේමය හා ගෞරවය ලබන්ට සුදුසු තත්වයක සිටිති. අප ‘එබඳු අයව අගය කොට සැලකිය’ යුතු බවට කිසි අනුමානයක් නැත.—පිලිප්පි 2:29.
[පාදසටහන්වල]
a වර්ෂ 1978 පෙබරවාරි 1, ද වොච්ටවර්හි පිටු 31-2 බලන්න.
b වර්ෂ 1960 දෙසැම්බර් 1, ද වොච්ටවර්හි 735-6 පිටු බලන්න.
පුනරීක්ෂණය
◻ පොදු යුගයේ පළමු සියවසේ වැඩිමහල්ලන් බොහෝදෙනෙකු දරු පවුල් සිටි අය බව අප දන්නේ කෙසේද?
◻ දරුවන් සිටින විවාහක වැඩිමහල්ලන්ට නියම කරනු ලබන්නේ කුමක්ද, ඒ මන්ද?
◻ “ඇදහිලිවන්ත දරුවන්” සිටීමෙන් අදහස් කරන්නේ කුමක්ද, නමුත් වැඩිමහල්ලෙකුගේ දරුවෙකු යෙහෝවඃවහන්සේට සේවය කිරීම තෝරා නොගන්නේ නම්, තත්වය කුමක්ද?
◻ වැඩිමහල්ලෙකු ‘තමාගේ අයට සැපයිය’ යුත්තේ කුමන ක්ෂේත්රවලදීද?
[23වන පිටුවේ පින්තූරය]
ශක්තිමත් සභා සෑදෙන්නේ ශක්තිමත් පවුල්වලිනි