‘ඔබ ඔහුව කිසිදාක නුදුටුවත්, ඔහුට ප්‍රේම කරනවා’
“නුඹලා උන්වහන්සේ නුදුටු නුමුත් උන්වහන්සේට ප්‍රේම කරන්නහුය; දැන් උන්වහන්සේ නොදකින නුමුත් නුඹලා උන්වහන්සේ කෙරෙහි අදහා . . . මහත් ප්‍රීතියකින් ප්‍රීතිවන්නහුය.”—1 පේතෘස් 1:8, 9.
1. අදදින කිසිම කෙනෙක් යේසුව දැක නැතත්, ඔහුට භක්තිය පෙන්නන්න භක්තිවන්ත මනුෂ්‍යයන් සමහරෙක් වෑයම් කරන්නේ කොහොමද?
අද පොළොවෙහි ජීවත් වන කිසි කෙනෙක් යේසුස් ක්‍රිස්තුස්ව කවදාවත් දැක නැහැ. ඒත්, ඔහුට ප්‍රේම කරනවා කියා දශලක්ෂ ගණන් මිනිස්සු කියා සිටිනවා. පිලිපීනයේ මැනිලා නගරයේ හැම අවුරුද්දකම ජනවාරි මස 9වනදා, මිනිසෙකුගේ උස මහතේ ප්‍රමාණයට සෑදූ, යේසුස් ක්‍රිස්තුස් කුරුසයක් ගෙනයන ප්‍රතිමාවක් වීථි දිගේ ඇදගෙන යනවා. මෙම පෙරහැර විස්තර කරලා තියෙන්නේ, එම රටේ ජනප්‍රිය ආගමෙහි වඩාත් විශාල මෙන්ම කැපීපෙනෙන ප්‍රදර්ශනය හැටියටයි. කලබල වූ සමූහයා එකිනෙකාව තල්ලු කරනවා; එම ප්‍රතිමාවට අත තියන්න මිනිස්සු උමතුවෙන් මහත් පරිශ්‍රමයක් දරනවා; එසේ කිරීමට ඔවුන් අනුන්ගේ ඇඟවල් උඩින් පවා යන්න තරම් එඩිතර වෙනවා. මෙය දැකබලා ගන්න එන බොහෝදෙනෙක් ඇදී එන්නේ උත්සවාකාර පෙරහැර නිසයි. ඒත්, සමහරදෙනෙක් යේසු කෙරෙහි අවංක භක්තියක් දක්වන අය බවට සැකයක් නැහැ. එයට සාක්ෂියක් වශයෙන්, ඔවුන් සමහරවිට කුරුසයක් පළඳිනවා; නැතහොත් නිතිපතා පල්ලියට යනවා වෙන්න පුළුවන්. කොහොම වුණත්, ඒ වගේ රූප නමස්කාරයක් සැබෑ නමස්කාරය හැටියට සලකන්න පුළුවන්ද?
2, 3. (අ) යේසුගේ අනුගාමිකයන් අතුරින් තමුන්ගේ ඇස්වලින් ඔහුව දැක්කෙත්, ඔහුට සවන් දුන්නෙත් කවුද? (ආ) යේසුව කිසිදාක පෞද්ගලිකව නුදුටුවත්, ඔහුට ප්‍රේම කළෙත් ඔහු කෙරෙහි ඇදහිල්ල දැක්වූයෙත් පළමුවන සියවසේ සිටි තවත් කවුද?
2 පළමුවන සියවසේදී, සැබෑවටම යේසුස් ක්‍රිස්තුස්ව පෞද්ගලිකව ඇසූ දුටු අය දහස් සංඛ්‍යාතයක් යුදය, සමාරිය, පෙරිය හා ගලීලය වැනි රෝම පළාත්වල සිටියා. ඔහු දේවරාජ්‍යය පිළිබඳව හද උණුසුම් කරවන සත්‍යතා පැහැදිලි කළ විට, ඔවුන් සවන් දී සිටියා. ඔහු සිදු කළ ප්රාතිහාර්යයන් ඔවුන්ගේම ඇස්වලින් දැක්කා. ඔවුන්ගෙන් සමහරෙක් ඔහුගේ ඇප කැප වූ ගෝලයන් බවට පත් වුණා; ඔහු ‘ක්‍රිස්තුස් බවටත්, ජීවමාන දෙවිගේ පුත්‍රයා’ බවටත් ඔවුන් තුළ අල්පමාත්රයක තරම්වත් සැකයක් තිබුණේ නැහැ. (මතෙව් 16:16) කොහොම වුණත්, ප්‍රේරිත පේතෘස් දේවානුභාවයෙන් තම පළමුවන ලිපිය ලියා යැවූ අය, ඔවුන් අතර සිටියේ නැහැ.
3 පේතෘස් ආමන්ත්‍රණය කළ අය සිටියේ, පොන්තස්, ගලාතිය, කප්පදොකිය, ආසියාව හා බිතිනිය කියන රෝම පළාත්වලයි; මෙම පළාත් සියල්ලම වර්තමාන තුර්කියේ පිහිටා තියෙනවා. පේතෘස් ඔවුන්ට මෙසේ ලිව්වා: “නුඹලා උන්වහන්සේ නුදුටු නුමුත් උන්වහන්සේට ප්‍රේම කරන්නහුය; දැන් උන්වහන්සේ නොදකින නුමුත් නුඹලා උන්වහන්සේ කෙරෙහි අදහා, . . . කියා නිමකළ නොහැකිවූ, තේජසින් පූර්ණවූ මහත් ප්‍රීතියකින් ප්‍රීතිවන්නහුය.” (1 පේතෘස් 1:1, 8, 9) යේසුස් ක්‍රිස්තුස්ට ප්‍රේම කරන්න සහ ඔහු කෙරෙහි ඇදහිල්ල දක්වන්න තරම් තත්වයක ඉන්න, ඔවුන්ට ඔහුව දැනහඳුනා ගන්න පුළුවන් වී තිබුණේ කොහොමද?
4, 5. යේසුව කිසිදාක දැක නැති ඒ මනුෂ්‍යයන්, ඔහුට ප්‍රේම කරන්නත්, ඔහු කෙරෙහි ඇදහිල්ල දක්වන්නත් පුළුවන් වන පරිද්දෙන් ඔහු ගැන ඉගෙනගත්තේ කොහොමද?
4 ප්‍රේරිත පේතෘස්, පො.යු. 33 පෙන්තකොස්ත දවසේ පැවති උත්සවයට පැමිණි සමූහයාට සාක්ෂිදැරූ විට, සමහරදෙනෙක් යෙරුසලමේ සිටි බව සාක්ෂිවලින් පැහැදිලියි. උත්සවයෙන් පසුව, ප්‍රේරිතයන්ගෙන් තවත් උපදෙස් ලබාගැනීමේ අදහසින්, ගෝලයන් බොහෝදෙනෙක් යෙරුසලමෙහි නැවතී සිටියා. (ක්‍රියා 2:9, 41, 42; සසඳන්න 1 පේතෘස් 1:1.) මිෂනාරි ගමන්වල වරින් වර යෙදුණු ප්‍රේරිත පාවුල්, පේතෘස් පසුව තම නමින් යුත් පළමුවන බයිබල් ලිපිය යැවූ ප්‍රදේශයේ විසූ ජනයා අතර ජ්වලිත සේවයක් ගෙනගියා.—ක්‍රියා 18:23; 19:10; ගලාති 1:1, 2.
5 යේසුව කිසිදාක නොදුටු ඒ මනුෂ්‍යයෝ, ඔහුට එතරම් ලැදියාවක් දැක්වූයේ ඇයි? අපේ කාලයේදී, තවත් දශලක්ෂ ගණනක්, ඔහුට ගැඹුරින් ප්‍රේම කරන්නේ ඇයි?
ඔවුන් ඇසූ දේවල්
6. (අ) පොදු යුගයේ 33 පෙන්තකොස්ත දවසේදී පේතෘස් යේසු ගැන සාක්ෂිදරනවා ඔබට ඇහුණා නම්, ඔබට ඉගෙනගන්න පුළුවන් වෙන්නේ මොනවාද? (ආ) ඒ අවස්ථාවේදී පැමිණ සිටි 3,000දෙනෙකුට පමණ මෙය බලපෑවේ කොහොමද?
6 පේතෘස් පො.යු. 33දී උත්සවයට පැමිණි එම සමූහයට කතා කරද්දී ඔබ යෙරුසලමෙහි සිටියා නම්, ඔබට යේසු ගැන ඉගෙනගන්න ලැබෙන්නේ මොනවාද? ඔහු සිදු කළ ප්‍රාතිහාර්යවලින්, ඔහුව එව්වේ දෙවි බව කිසිම සැකයක් නැතුව ඔප්පු වෙනවා. පව්කාර මිනිසුන් යේසුව ඝාතනය කර තිබුණත්, ඔහු තවදුරටත් මිනීවළෙහි නොව, ඒත් නැවත නැඟිටුවා, දෙවිගේ දකුණත පැත්තෙහි සිටීමට ස්වර්ගයට ඔසවා තිබුණු බව දැනගන්න ලැබෙනවා. තවත් යේසු, ඇත්තටම ක්‍රිස්තුස්, ඒ කියන්නේ ප්‍රොපේතවරුන් ලියා තිබුණු මෙසියස් බවත් ආරංචි වෙනවා. එමෙන්ම දෙවි තම පුත්‍රයා තුළින් කරමින් සිටි මහිමාන්විත දේවල් ගැන විවිධ ජාතීන්වලට අයත්ව සිටි මිනිසුන්ට සාක්ෂිදරන්න වහාම පුළුවන්කම දීමට, යේසුස් ක්‍රිස්තුස් තුළින් ඔහුගේ අනුගාමිකයන් මත ශුද්ධාත්මය වගුරුවා තිබුණු බවත් ඔවුන්ට දැනගන්න ලැබෙනවා. එම අවස්ථාවේදී පේතෘස්ට සවන් දුන් බොහෝදෙනෙකුගේ හදවත්වලට, කියූ දේ තදින් කාවැදුණා; ඒ විතරක් නොව, ක්‍රිස්තියානි ගෝලයන් වශයෙන් 3,000දෙනෙක් විතර බව්තීස්ම වුණා. (ක්‍රියා 2:14-42) ඔබ එතැන සිටියා නම්, ඒ හා සමාන තීරණාත්මක විදිහකින් ඔබ ක්‍රියා කරනවාද?
7. (අ) ප්‍රේරිත පාවුල් අන්තියෝකියෙහි දේශනා කළ අවස්ථාවේදී ඔබ සිටියා නම්, ඔබට ඉගෙනගන්න පුළුවන් වෙන්නේ මොනවාද? (ආ) සමූහයා අතර සිටි සමහරදෙනෙක් අදහන්නන් වී, අනුන් සමඟ ශුභාරංචිය බෙදාගත්තේ ඇයි?
7 ප්‍රේරිත පාවුල් රෝම පළාතක් වන ගලාතියේ තියෙන අන්තියෝකියේ උගන්වන කොට, එහි පැමිණ සිටි අය අතර ඔබත් සිටියා නම්, යේසු ගැන ඔබට ඉගෙනගන්න ලැබෙන්නේ තවත් මොන දේවල්ද? යෙරුසලමේ පාලකයන් යේසුව මරණයට නියම කරන එක ප්‍රොපේතවරුන් පුරෝකථනය කර තිබුණු දෙයක් වූ බව පාවුල් පැහැදිලි කරනවා ඔබට අහන්න ලැබෙනවා. යේසුගේ නැවත නැඟිටීම ඇසින් දුටු අයගේ සාක්ෂිත් ඔබට අහන්න ලැබෙනවා. යේසුව නැවත නැඟිටුවීමෙන්, ඔහු ඇත්තටම දෙවිගේ පුත්‍රයා වන බවට කාරණය යෙහෝවා තහවුරු කළා කියන එක ගැන පාවුල්ගේ පැහැදිලි කිරීම ඔබේ සිත්ගන්නා බවට සැකයක් නැහැ. ඒ විතරක් නොව, යේසු කෙරෙහි ඇදහිල්ල දැක්වීමෙන් පව්වලට ලැබෙන සමාව සදාකාල ජීවනයට මඟ පෑදිය හැකි බව ඉගෙනීමෙන් ඔබේ හදවත උණුසුම් වෙන්නේ නැද්ද? (ක්‍රියා 13:16-41, 46, 47; රෝම 1:4, 5) ඔවුන් සවන් දෙමින් සිටි දෙයෙහි වැදගත්කම පිළිගත් අන්තියෝකියේ සමහරෙක්, ගෝලයන් බවට පත් වෙලා අනුන් සමඟ ශුභාරංචිය ක්‍රියාශීලීව බෙදාගත්තා; එසේ කිරීම ප්‍රබල පීඩාවලට මඟ පෑදිය හැකි බව අදහස් කළත් ඔවුන් එසේ කළා.—ක්‍රියා 13:42, 43, 48-52; 14:1-7, 21-23.
8. පාවුල් එපීස සභාවට ලියූ ලිපිය එම සභාවට ලැබුණු අවස්ථාවේදී ඔබ සිටියා නම්, ඔබට ඉගෙනගන්න පුළුවන් වෙන්නේ මොනවාද?
8 රෝම පළාතක් වන ආසියාවේ පිහිටි එපීසයේ තිබුණු ක්‍රිස්තියානි සභාවට පාවුල් දේවානුභාවයෙන් ලියූ ලිපිය එහි සිටි ගෝලයන්ට ලැබුණු විට, ඔබ ඔවුන් සමඟ ආශ්‍රය කරමින් සිටියා නම්, කුමක් කියන්න පුළුවන්ද? දෙවිගේ අරමුණෙහි යේසුට හිමි වැඩකොටස ගැන ඔබට ඉගෙනගන්න ලැබෙන්නේ මොකක්ද? එම ලිපියෙහි පාවුල් මෙවැනි දේවල් ගැන පැහැදිලි කළා: ක්‍රිස්තුස් තුළින් ස්වර්ගයෙහි හා පොළොවෙහි හැම දෙයක්ම නැවත දෙවි සමඟ සමඟි කරන බව; ක්‍රිස්තුස් තුළින් දෙවි පිරිනැමූ දීමනාව සියලු ජාතීන්වලට අයත් මනුෂ්‍යයන්ට ලබාගන්න පුළුවන් බව; තමුන්ගේ වැරදි නිසා දෙවිගේ ඇස් ඉදිරියෙහි මළ තත්වයක සිටි පුද්ගලයන් ක්‍රිස්තුස් කෙරෙහි ඇදහිල්ල තුළින් ජීවත් කරනු ලබමින් සිටි බව; එමෙන්ම මෙම සැපයුමේ ප්‍රතිඵලයක් වශයෙන්, නැවතත් මනුෂ්‍යයන්ට දෙවිගේ ප්‍රියාදර පුතුන් වීමට පුළුවන් බව.—එපීස 1:1, 5-10; 2:4, 5, 11-13.
9. (අ) පාවුල් එපීසවරුන්ට ලියූ දෙයෙහි වැදගත්කම ඔබට පෞද්ගලිකව ග්‍රහණය කරගත හැකිද යන්න තේරුම්ගැනීමට ඔබට කුමක් උපකාර විය හැකිද? (ආ) පේතෘස් සඳහන් කළ රෝම පළාත්වල සිටි සහෝදරයන්ට, යේසු ගැන ඉගෙනගත් දේ බලපෑවේ කොහොමද?
9 මේ සියල්ල සඳහා ඔබට තිබුණු අගය දෙවිගේ පුත්‍රයා සඳහා ඔබට තියෙන ප්‍රේමය තවත් ගැඹුරු වීමට සලස්සාවිද? ප්‍රේරිත පාවුල් එපීස 4 සිට 6වන පරිච්ඡේදය දක්වා දිරිගැන්වූවාක් මෙන්, එම ප්‍රේමය ඔබේ දෛනික ජීවිතයට බලපාවිද? එවැනි අගයක් හටගත් නිසා, ඔබේ ජීවිතයේ ප්‍රමුඛතා පරෙස්සමින් සෝදිසි කර බැලීමට ඔබ පෙලඹෙනවාද? දෙවිට තිබුණු ප්‍රේමය නිසාත්, ඔහුගේ පුත්‍රයා සඳහා තිබුණු කෘතඥතාව නිසාත්, දේවකැමැත්ත කිරීම ඇත්තටම ඔබේ ජීවිතයේ කේන්ද්‍රස්ථානය කරගැනීමට ඔබ අවශ්‍ය වෙනස්කම් කරවනවාද? (එපීස 5: 15-17) ආසියාවේ, ගලාතියේ හා වෙනත් රෝම පළාත්වල සිටි ක්‍රිස්තියානීන් ඉගෙනගනිමින් සිටි දේ ඔවුන්ට බලපෑ විදිහ ගැන ප්‍රේරිත පේතෘස් ඔවුන්ට මෙහෙම ලිව්වා: “නුඹලා [යේසුස් ක්‍රිස්තුස්] නුදුටු නුමුත් උන්වහන්සේට ප්‍රේම කරන්නහුය; . . . උන්වහන්සේ කෙරෙහි අදහා, . . . කියා නිමකළ නොහැකිවූ, තේජසින් පූර්ණවූ මහත් ප්‍රීතියකින් ප්‍රීතිවන්නහුය.”—1 පේතෘස් 1:8, 9.
10. (අ) යේසු සඳහා මුල් ක්‍රිස්තියානීන්ට තිබුණු ප්‍රේමයට කිසිම සැකයක් නැතුව දායක වුණේ කුමක්ද? (ආ) අපටත් ප්‍රයෝජන ලැබිය හැක්කේ කොහොමද?
10 පේතෘස් ඇමතූ ඒ මුල් ක්‍රිස්තියානීන්ට දෙවිගේ පුත්‍රයා සඳහා දැනුණු ප්‍රේමයට තවත් දෙයක් දායක වූ බවට කිසිම සැකයක් නැහැ. ඒ මොකක්ද? පේතෘස් තම පළමුවන ලිපිය ලියූ විට අඩු තරමින් සුවිශේෂ දෙකක්—මතෙව් සහ ලූක්—ලබාගන්න පුළුවන්කමක් තිබුණා. යේසුව කවදාවත් නොදුටු පළමු සියවසේ ක්‍රිස්තියානීන්ට මෙම සුවිශේෂ වාර්තා කියවන්න පුළුවන්ව තිබුණා. අපටත් එහෙම කරන්න පුළුවන්. සුවිශේෂ වාර්තා හිතුමතයේ ලියූ ඒවා නෙවේ; ඒවා විශ්වාසදායක ඓතිහාසික වාර්තා වන බවට සාක්ෂි බහුලයි. එම දේවානුභාවය ලත් වාර්තාවල, දෙවිගේ පුත්‍රයා සඳහා අපට තියෙන ප්‍රේමය වැඩිවර්ධනය කරන දේවල් බොහොමයක් අපට සොයාගන්න පුළුවන්.
ඔහු විදහාපෙන්නූ ස්වභාවය
11, 12. යේසු අන් මනුෂ්‍යයන්ට විදහාපෙන්නූ ස්වභාවය සලකා බලන විට, ඔහුට ප්‍රේම කරන්න ඔබව පොලඹවන්නේ මොකක්ද?
11 යේසුගේ ජීවිතය ගැන තියෙන එම ලිඛිත වාර්තාවෙන්, ඔහු වෙනත් මනුෂ්‍යයන් සමඟ කටයුතු කළ ආකාරය ගැන අපිට ඉගෙනගන්න පුළුවන්. අදත්, ඒ කියන්නේ ඔහුගේ මරණයෙන් අවුරුදු 1,960කට පසුව පවා, ඔහු විදහාපෙන්නූ ස්වභාවය මනුෂ්‍යයන්ගේ හෘදය ස්පර්ශ කරනවා. පණ ඇති සියල්ලන්ට පාපයේ බලපෑම් මහත් බරක් වෙනවා. දශලක්ෂ ගණන් මනුෂ්‍යයෝ, අයුක්තියට ගොදුරු වෙලා ඉන්නවා; අසනීප සමඟ පොරබදිනවා; එහෙම නැත්නං වෙනත් හේතු නිසා බලාපොරොත්තු සුන් කරගෙන සිටිනවා. ඒ වගේ ඉන්න සියලුදෙනාටම යේසු මෙහෙම කියනවා: “වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි. මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින්, මාගේ වියගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙනගන්න. එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය. මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුය.”—මතෙව් 11:28-30.
12 යේසු දිළින්දන්ට, හාමතෙන් සිටි අයට හා දුකින් සිටි අයට තියුණු සැලකිල්ලක් දැක්වූවා. අවශ්‍යතාව පැනනැඟුණු අවස්ථාවල, ඔහු ප්‍රාතිහාර්යවලින් විශාල සමූහයන්ට ආහාර සපයා දුන්නා. (ලූක් 9:12-17) වහල් කරවන සම්ප්‍රදායන්වලින් ඔහු ඔවුන්ව නිදහස් කළා. එමෙන්ම දේශපාලනමය හා ආර්ථික පීඩා අවසන් කිරීමට දෙවිට තියෙන සැපයුම කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ලත් ඔහු වැඩිවර්ධනය කළා. ඒ වන විටත් පාගාදමා තිබුණු අයගේ ආත්මය යේසු බින්දේ නැහැ. මුදු මොළොක්කමින් හා ප්‍රේමයෙන්, ඔහු දක්ෂ ලෙස මෘදු අයව නැවත ගොඩනැංවූවා. දෙකට නැවී තිබුණු තැළුණු බටලීවලට සමාන වූ අයවත්, නිවීමට ආසන්න වූ දුම් නඟින පහන් තිරවලට සමාන වූ අයවත් ඔහු නැවත ප්‍රාණවත් කළා. මේ දක්වාම, ඔහුගේ නම, ඔහුව කවදාවත් දැක නැති අයගේ හදවත් තුළ පවා බලාපොරොත්තුවක් ජනිත කරනවා.—මතෙව් 12:15-21; 15:3-10.
13. යේසු පව්කාරයන් සමඟ කටයුතු කළ ආකාරය මනුෂ්‍යයන්ව ආකර්ෂණය කළේ ඇයි?
13 යේසු වැරදි හැසිරීම අනුමත කළේ නැහැ; ඒත් තම ජීවිතයෙහි වැරදි කරලා පසුතැවිලි වූ ඔහුගේ උපකාරය පැතූ මනුෂ්‍යයන් සමඟ ඔහු අවබෝධයෙන් කටයුතු කළා. (ලූක් 7:36-50) සමාජයේ පිළිකුල් අය හැටියට සලකන මනුෂ්‍යයන්ට ආත්මිකව උපකාර කරන්න ප්‍රස්තාවක් විවෘත වෙයි කියා ඔහුට තේරී ගියා නම්, ඔවුන් එක්ක වාඩි වී ආහාරයක් ගන්නත් ඔහු කැමති වුණා. (මතෙව් 9:9-13) ඔහු විදහාපෙන්නූ ස්වභාවයෙහි ප්‍රතිඵලයක් වශයෙන්, ඒ හා සමාන තත්වයන්වල සිටින කිසිදාක යේසුව දැක නැති මනුෂ්‍යයන් දශලක්ෂ ගණනක්, ඔහු ගැන දැනගන්න පෙලඹිලා තියෙන අතර, ඔහු කෙරෙහි ඇදහිල්ල පෙන්නලා තියෙනවා.
14. අසනීප, අබල දුබල හෝ ශෝකයෙන් පෙළුණු මනුෂ්‍යයන්ට යේසු උපකාර කළ ආකාරය දිහා බලන කොට, ඔබගේ සිත්ගන්නේ මොකක්ද?
14 අසනීප හෝ අබල දුබල අය සමඟ යේසු කටයුතු කළ ආකාරය, ඔහුගේ උණුසුම්භාවය හා දයානුකම්පාව මෙන්ම ඔවුන්ට සහනය ගෙන දීමට ඔහුට තියෙන හැකියාවටත් සාක්ෂියක් වෙනවා. එනිසා, ලාදුරු රෝගයෙන් දරුණු ලෙස පීඩා වින්ද රෝගී මනුෂ්‍යයෙක් ඔහු ළඟට ඇවිත්, උපකාරය සඳහා කන්නලව් කළ විට, දුටු දේ නිසා යේසු පිළිකුලෙන් පසුබැස්සේ නැහැ. තමාට ඒ මනුෂ්‍යයා ගැන අනුකම්පාවක් දැනුණත්, ඔහුගේ තත්වය සුව කරන්න බැරි තරම් බරපතළයි කියලා ඔහු ඒ මනුෂ්‍යයාට කියන්න ගියේවත් නැහැ. ඒ මනුෂ්‍යයා මෙහෙම කන්නලව් කළා: “ස්වාමිනි, ඔබ කැමතිසේක් නම් මා පවිත්‍රකරන්ට ඔබට පුළුවන.” අල්පමාත්‍රයකවත් සැකයක් නැතුව, යේසු අත දික් කරලා, ලාදුරු රෝගයෙන් පෙළුණු එම මනුෂ්‍යයා පිට තබා මෙහෙම කිව්වා: “මම කැමැත්තෙමි; පවිත්‍රවෙන්න.” (මතෙව් 8:2, 3) තවත් අවස්ථාවක කාටවත් නොපෙනෙන විදිහට යේසුගේ වස්ත්‍රයේ කොන අල්ලා සුවවීමට එක ස්ත්‍රියක් වෑයම් කළා. ඒ අවස්ථාවේදී යේසු ඇය සමඟ කටයුතු කළේ කාරුණික මෙන්ම බිය සැක තුරන් කරන ආකාරයකින්. (ලූක් 8:43-48) තවත්, අවමඟුල් පෙරහැරක් ඔහු දුටු විට, එකම පුත්‍රයා අහිමි වීමේ ශෝකයෙන් සිටි වැන්දඹුව කෙරෙහි ඔහුට මහත් අනුකම්පාවක් දැනුණා. තමාට දී තිබුණු දේවබලය තම ප්‍රයෝජනය සඳහා ආහාර සපයාගැනීමට පාවිච්චි කරන්න යේසු ප්‍රතික්ෂේප කර තිබුණත්, එම මළ මනුෂ්‍යයා නැවත නැඟිටුවන්නත්, ඔහුගේ මවට ඔහුව නැවත භාර දෙන්නත් ඔහු පසු නොබැස ඒ බලය පාවිච්චි කළා.—ලූක් 4:2-4; 7:11-16.
15. යේසු ගැන සඳහන් වාර්තා කියවීමත්, ඒවා ගැන මෙනෙහි කිරීමත් ඔබට බලපාන්නේ කොහොමද?
15 මෙම වාර්තා කියවා යේසු විදහාපෙන්නූ ස්වභාවය ගැන මෙනෙහි කරන විට, අපට සදාකල් ජීවත්වීමට පුළුවන් වන පිණිස තම මිනිස් ජීවිතය පුද කළ මේ තැනැත්තා වෙනුවෙන් අපට තියෙන ප්‍රේමය තවතවත් ගැඹුරු වෙනවා. ඔහුව කිසිදාක දැක නොතිබුණත්, ඔහු වෙතට ළං වෙන්න අපි තුළ පෙලඹීමක් ඇති වෙනවා; ඔහුගේ අඩිපාරෙහි යෑමට අපිට වුවමනාවකුත් ඇති වෙනවා.—1 පේතෘස් 2:21.
දෙවි කෙරෙහි ඔහු නිහතමානීව රඳා සිටි අන්දම
16. යේසු මූලික අවධානයක් යොමු කළේ කාටද? ඔහු අපට දිරිගැන්වූයේ කුමක් කරන්නද?
16 හැම දෙයකටම වඩා ඉහළින්, යේසු තම අවධානයත් අපේ අවධානයත් තම ස්වර්ගික පිය වූ යෙහෝවා වෙත යොමු කළා. ව්‍යවස්ථාවේ උතුම් ආඥාව ඔහු මෙහෙම හඳුන්වා දුන්නා: “ඔබේ මුළු හෘදයෙන්ද ඔබේ මුළු ප්‍රාණයෙන්ද ඔබේ මුළු මනසෙන්ද ඔබ ඔබේ දෙවි වූ යෙහෝවාට ප්‍රේම කළ යුතුය.” (මතෙව් 22:36, 37; NW) ඔහු තම ගෝලයන්ට මෙසේ අවවාද කළා: “දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඇතුව සිටින්න.” (මාර්ක් 11:22) ඔවුන්ගේ ඇදහිල්ල සියුම් පරීක්ෂණයකට ලක් වූ විට, ඔහු ඔවුන්ට මෙසේ උනන්දු කළා: “දිගටම යාච්ඤා කරන්න.”—මතෙව් 26:41, NW.
17, 18. (අ) යේසු තම පියා කෙරෙහි නිහතමානීව රඳා සිටි බව විදහාපෙන්වූයේ කොහොමද? (ආ) ඔහු කළ දෙය අපට එතරම් වැදගත් වෙන්නේ ඇයි?
17 යේසුම නිසි ආදර්ශය තැබුවා. ඔහුගේ ජීවිතයෙහි යාච්ඤාවට හිමි වුණේ වැදගත් තැනක්. (මතෙව් 14:23; ලූක් 9:28; 18:1) තම ප්‍රේරිතයන්ව තෝරාගන්න අවස්ථාව එළඹුණු විට, මීට කලින් ස්වර්ගයේ දේවදූතයන් සියලුදෙනා ඔහුගේ අධීක්ෂණය යටතේ ඉඳලා තිබුණත්, යේසු තමාගේම විනිශ්චය මත රඳා සිටියේ නැහැ. ඔහු නිහතමානීව තම පියාට යාච්ඤා කරමින් මුළු රාත්‍රියක්ම ගත කළා. (ලූක් 6:12, 13) යේසුව අත්අඩංගුවට ගත් විට සහ වේදනාකාරි මරණයකට මුහුණ දෙන්න සිදු වූ විට, ඔහු නැවතත් තම පියා වෙතට හැරී උනන්දුවෙන් යාච්ඤා කළා. තමාට සාතන් ගැන හොඳ අවබෝධයක් තියෙනවා කියලවත්, එම නපුරා යෙදිය හැකි ඕනෑම උපායක් සමඟ සාර්ථකව කටයුතු කරන්න පුළුවන් කියලවත් ඔහු සිතාගත්තේ නැහැ. තමා අසාර්ථක නොවී සිටීම කෙතරම් වැදගත්ද කියලා යේසුට තේරුණා. අසාර්ථක වීම තම පියාට මොනතරම් නින්දාවක් වේවිද! ඒ විතරක් නොව, තම ජීවත්වීමේ බලාපොරොත්තු සඳහා යේසු ඉදිරිපත් කරන්න සිටි පූජාව මත රඳා සිටි මනුෂ්‍යවර්ගයාට එය මොනතරම් පාඩුවක් වේවිද!
18 යේසු තම ප්‍රේරිතයන් එක්ක යෙරුසලමෙහි උඩුමහල් කාමරයේ සිටි විට නැවතනැවත යාච්ඤා කළා; ගෙත්සෙමනේ උයනෙහි සිටි විට ඊටත් වඩා උනන්දුවෙන් යාච්ඤා කළා. (මතෙව් 26:36-44; යොහන් 17: 1-26; හෙබ්‍රෙව් 5:7) වධකණුවේ දුක්විඳිමින් සිටි විට, තමාට සරදම් කළ අයට ඔහු නින්දා කරන්න ගියේ නැහැ. එහෙම කරන්නේ නැතුව, නොදැනුවත්කමින් ක්‍රියා කළ ඒ මනුෂ්‍යයන් වෙනුවෙන් ඔහු මෙසේ යාච්ඤා කළා: “පියාණෙනි, ඔවුන්ට කමාවුව මැනව; මක්නිසාද ඔවුන් කරන්නේ මොකද කියා ඔව්හු නොදනිති.” (ලූක් 23:34) “ධර්මිෂ්ඨලෙස විනිශ්චයකරන තැනන්වහන්සේට කාරණය භාරදුන්” ඔහු, තම පියා කෙරෙහි තම මනස යොමු කළා. වධකණුවේදී ඔහු අන්තිමට පැවසූ දෙය, ඔහුගේ පියාට කළ යාච්ඤාවක්. (1 පේතෘස් 2:23; ලූක් 23:46) යේසු, යෙහෝවා කෙරෙහි මුළුමනින්ම රඳා සිටිමින්, තම පියා තමාට භාර දුන් පැවරුම විශ්වාසවන්තව සම්පූර්ණ කළ එක ගැන අපට මොනතරම් කෘතඥතාවක් ඇති වෙනවාද! අප යේසුස් ක්‍රිස්තුස්ව කිසිදාක දැක නැතත්, ඔහු කළ දෙය වෙනුවෙන් ඔහු සඳහා අපට තියෙන්නේ මොනතරම් ගැඹුරු ප්‍රේමයක්ද!
ඔහු වෙනුවෙන් අපේ ප්‍රේමය ප්‍රකාශ කිරීම
19. යේසුට ප්‍රේමය ප්‍රකාශ කරන විට, නුසුදුසු දේවල් හැටියට අපි සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුත්තේ කුමන වතාවත්වලින්ද?
19 අපට තියෙනවායයි කියන ප්‍රේමය නිකම්ම වචනවලට පමණක් සීමා නොවන දෙයක් බව අපට ඔප්පු කරන්න පුළුවන් වෙන්නේ කොහොමද? යේසු ප්‍රේම කළ තම පියා, පිළිම සෑදීම සහ භක්තිය පිදීමට යොදාගන්නා වස්තු හැටියට ඒවා සැලකීම තහනම් කළ නිසා, ඒ වගේ රූපයක් මාලයක එල්ලා අපේ කරේ පැළඳීමෙන් හෝ රූපයක් වීථි ඔස්සේ ගෙනයෑමෙන් හෝ අප යේසුට ගෞරවයක් ගෙනෙන්නේ නැති බව සහතිකයි. (නික්මයාම 20:4, 5; යොහන් 4:24) අපි ආගමික වතාවත්වලට සහභාගි වුණත්, සතිය පුරා කිහිප වතාවක්ම එහෙම කළත්, සතියේ ඉතුරු දවස් ටිකේ යේසුගේ ඉගැන්වීම්වලට එකඟ නොවන ආකාරයකින් ගත කරනවා නම්, එය ඔහුට ගෞරවයක් ගෙන දෙන්න යන්නේ නැහැ. යේසු මෙහෙම කිව්වා: “යමෙක් මාගේ ආඥා පිළිගෙන රක්ෂාකෙරේද, මට ප්‍රේමකරන්නේ ඔහුය. මට ප්‍රේමකරන්නා මාගේ පියාණන් විසින් ප්‍රේමකරනු ලබන්නේය.”—යොහන් 14:21, 23; 15:10.
20. අපි ඇත්තටම යේසුට ප්‍රේම කරනවා කියා පෙන්නුම් කරන සමහර දේවල් නම් කරන්න.
20 යේසු අපිට දුන් ආඥා මොනවාද? සැබෑ දෙවි වූ යෙහෝවාට, එනම් ඔහුට පමණක් නමස්කාර කිරීම වැදගත්ම එකයි. (මතෙව් 4:10; යොහන් 17:3) දෙවිගේ අරමුණෙහි යේසුට හිමි වෙලා තියෙන වැඩකොටස නිසා, දෙවිගේ පුත්‍රයා හැටියට ඔහු කෙරෙහි ඇදහිල්ල දක්වන්න අවශ්‍ය බවත් යේසු ඉගැන්නුවා; දුෂ්ට ක්‍රියාවලින් වැළකී සිටීමෙන් හා ආලෝකයෙහි ගමන් කිරීමෙන් මෙය පෙන්නුම් කරන එකත් අවශ්‍යයි. (යොහන් 3:16-21) ශාරීරික අවශ්‍යතා ගැන සැලකිල්ල දක්වනවාට වඩා, පළමුකොට දෙවිගේ රාජ්‍යය හා ඔහුගේ ධර්මිෂ්ඨකම සොයන්න කියා ඔහු අපට උපදෙස් දුන්නා. (මතෙව් 6:31-33) ඔහු අපට ප්‍රේමකළාක් මෙන්, අපද එකිනෙකාට ප්‍රේම කළ යුතු බවට ඔහු ආඥා කළා. (යොහන් 13:34; 1 පේතෘස් 1:22) එමෙන්ම, ඔහු කළාක් මෙන් දෙවිගේ අරමුණු සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් වීමේ පැවරුම ඔහු අපට දුන්නා. (මතෙව් 24:14; 28:19, 20; එළිදරව් 3:14) අදදින සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් දශලක්ෂ පහක් පමණ දෙනා කිසිදාක යේසුව දැක නොතිබුණත්, එම ආඥාවලට කීකරු වීමට ඔවුන් පෙලඹී සිටින්නේ ඔහු සඳහා තිබෙන අව්‍යාජ ප්‍රේමය නිසයි. යේසුව ඔවුන් පෞද්ගලිකව දැක නොතිබුණත්, කීකරු වීමට ඔවුන්ට තිබෙන අධිෂ්ඨානය කිසිම ආකාරයකින් දුර්වල වෙන්නේ නැහැ. ඔවුන්ගේ ස්වාමියා තෝමස්ට කියූ දේ ඔවුන් සිහියට නංවනවා: “නුඹ මා දුටු බැවින් විශ්වාසකෙළෙහිය. නුදුටු නුමුත් විශ්වාසකළාවූ අය ආශීර්වාදලද්දෝය.”—යොහන් 20:29.
21. මේ අවුරුද්දේ, මාර්තු 23වන ඉරිදා පවත්වන, ක්‍රිස්තුස්ගේ මරණයේ සිහි කිරීමට පැමිණීමෙන් අපි ප්‍රයෝජන ලබන්නේ කොහොමද?
21 දෙවි මනුෂ්‍යවර්ගයා කෙරෙහි දැක්වූ ප්‍රේමයේ ශ්‍රේෂ්ඨතම ප්‍රකාශය සිහිගන්වන්නත්, ඔහුගේ පක්ෂපාත පුත්‍ර, යේසුස් ක්‍රිස්තුස්ගේ මරණය සමරන්නත්, ලොව පුරා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රාජ්යශාලාවලට 1997 මාර්තු 23වන ඉරිදා හිරු බැසයෑමෙන් පසුව එක්රැස්වන අය අතර ඔබත් සිටී කියා අපි බලාපොරොත්තු වෙනවා. එම අවස්ථාවේදී කරන කියන දෙයින්, යෙහෝවා සඳහාත් ඔහුගේ පුත්‍රයා සඳහාත් අපට තිබෙන ප්‍රේමය තවත් ගැඹුරු කළ යුතු අතරම, දෙවිගේ ආඥා පවත්වන්න අපට තිබෙන ආශාව වැඩිවර්ධනය කළ යුතුයි.—1 යොහන් 5:3.
ඔබ මොන විදිහටද පිළිතුරු දෙන්නේ?
◻ පළමුවන පේතෘස් පොතේ අමතා තිබූ අය යේසුව දැනහඳුනා ගන්නත් ප්‍රේම කරන්නත් පටන්ගත්තේ කොහොමද?
◻ ඔබේ සිත්ගන්නා, මුල් ක්‍රිස්තියානීන්ට ඇසුණාවූ සමහර දේවල් නම් කරන්න.
◻ යේසු අන් මනුෂ්‍යයන්ට විදහාපෙන්නූ ස්වභාවය සලකා බලන විට, ඔහුට ප්‍රේම කරන්න ඔබව පොලඹවන්නේ මොකක්ද?
◻ යේසු දෙවි කෙරෙහි නිහතමානීව රඳා සිටි එක, අපට එතරම් වැදගත් වෙන්නේ ඇයි?
◻ යේසුස් ක්‍රිස්තුස් සඳහා අපේ ප්‍රේමය විදහාපෙන්වීමට අපට පුළුවන් වෙන්නේ කොහොමද?
[16, 17වන පිටුවේ පින්තූර]
යේසු විදහාපෙන්නූ ස්වභාවය නිසා අපි ඔහුට ළං වෙන්න පෙලඹෙනවා