ඔබේ දරුවා යා යුතුද නේවාසික පාසැලකට?
ඔබ දියුණු වෙමින් පවතින රටක කුඩා නගරයක ජීවත් වෙනවා කියා සිතන්න. ප්‍රාථමික පාසැලේ ඔබ සමඟ ළමයි කීපදෙනෙක් සිටිනවා වුවත්, වයස 12 වන විට ඔවුන් ද්විතීයික පාසැලකට සමත් වෙනවා. ඔබේ පළාතේ, ද්විතීයික පාසැලේ ළමයින්ගේ තදබදයක් තිබෙනවා; අවශ්‍ය උපකරණ නෑ; ප්‍රමාණවත් ගුරු මණ්ඩලයක් නෑ. වැඩවර්ජන නිසා සමහරවිට පාසැල් එක වරකට සති ගණන්, මාස ගණන් වසා තිබෙනවා.
නගරයේ ඇති නේවාසික පාසැලක් ගැන විස්තර කෙරෙන අලංකාර විවරණිකාවක් කෙනෙක් ඔබට දෙයි. උපකරණවලින් අඩුවක් නැතුව පිරී තිබෙන පංති කාමර, විද්‍යාගාර සහ පුස්තකාලවල, සතුටෙන් සිටින, පිළිවෙළට හැඳ පැළඳගත් ශිෂ්‍යයන් පාඩම් කරන විදිහ පෙන්නන පින්තූර ඔබට එහි දකින්න ලැබෙනවා. ශිෂ්‍යයන් පරිගණක යන්ත්‍ර භාවිතා කරමින් පිරිසිදු, සිත්ගන්නා නිදන කාමරවල පහසුගනිමින් ඉන්නවා. පාසැලේ ඉලක්කවලින් එකක් වන්නේ, ශිෂ්‍යයන්ට “තමන්ගේ දක්ෂතාව අනුව උසස්ම අධ්‍යාපනයක් අත් කරගැනීමට උපකාර කිරීමයි” කියලා ඔබ කියවනවා. ඔබට තවදුරටත් මෙසේ කියවන්න තිබෙනවා: “සුවිනීතව, ආචාරසම්පන්නව, දෙමාපියන්ට හා වැඩිහිටියන්ට ගෞරවනීයව, සහයෝගීව, ඉවසුම්ගතියෙන්, කරුණාවන්තව, අවංකව සිටීම හා දූෂණය නොවී සිටීම සාමාන්‍ය පවුලක් තුළ අවධාරණය කෙරෙනවා හා සමානවම හැසිරීමේ නීතිමාලාවකට බැඳී සිටීම සෑම ශිෂ්‍යයෙකුගෙන්ම අවශ්‍ය කරයි.”
සිනාපිරි මුහුණින් සිටින යෞවනයෙක් මෙසේ පවසන බවට උපුටා දක්වලා තියෙනවා: “හොඳම පාසැලකට යෑමේ විශිෂ්ට වරප්‍රසාදය මගේ දෙමාපියන් මට දුන්නා.” ගැහැනු ළමයෙක් මෙසේ පවසනවා: “පාසැල අභියෝගයන්ට මුහුණ දීමට හැකි කරවන, සිත්ගන්නා තැනක්. මෙහෙදී ඉගෙනගන්න එක නිරායාසයෙන්ම කරන්න පුළුවන්.” එවැනි නේවාසික පාසැලකට ඔබ ඔබේ පුතාව හෝ දුවව යවනවාද?
අධ්‍යාපනය හා ආත්මිකත්වය
සැලකිලිමත් සියලු දෙමාපියන්ට තම දරුවන්ගේ ජීවිතයට හොඳ ආරම්භයක් දෙන්න උවමනා වන අතර, එම ඉලක්කය අත් කරගන්න හොඳ, සමබර අධ්‍යාපනයක් වැදගත්. අනාගත රැකියා ප්රස්තාවලටත්, ඔවුන්වම හා ඔවුන්ගේ අනාගත පවුල් රැකබලා ගැනීමට සමත් වැඩිහිටියන් ලෙස වැඩීමට යෞවනයන්ට උපකාර කිරීමටත් ලෞකික අධ්‍යාපනය බොහෝවිට දොරටු විවර කරනවා.
‘නේවාසික පාසැලක්, සදාචාර මඟ පෙන්වීම සමඟින් හොඳ අධ්‍යාපනයක් දෙනවා නම්, එයින් ප්‍රයෝජන ගන්න එක හොඳයි නේද?’ කියා ඔබ ඇසිය හැකියි. ඒ ප්‍රශ්නයට උත්තර දෙද්දී, ක්‍රිස්තියානි දෙමාපියන් අතිවැදගත් සාධකයක් වන තම දරුවන්ගේ ආත්මික ශුභසිද්ධිය ගැන යාච්ඤාපූර්වකව සලකා බැලිය යුතුයි. යේසුස් ක්‍රිස්තුස් මෙසේ ඇසුවා: “යම් මනුෂ්‍යයෙක් මුළු ලෝකය ලබාගත්තත් තමාගේ ජීවිතය නැතිවී ගියොත් ඔහුට ඇති ප්‍රයෝජනය මොකද?” (මාර්ක් 8:36) සැබවින්ම, කිසිම ප්‍රයෝජනයක් නෑ. ඒ නිසා, නේවාසික පාසැලකට තම දරුවන්ව යවන්න තීරණය කරන්න ඉස්සෙල්ලා, සදාජීවනය ලැබීමට තම දරුවන්ට තිබෙන ප්‍රස්තා කෙරෙහි මෙමගින් ඇති කරවිය හැකි බලපෑම ගැන ක්‍රිස්තියානි දෙමාපියන් කල්පනා කර බැලිය යුතුයි.
අනිත් ශිෂ්‍යයන්ගේ බලපෑම
ඇතැම් නේවාසික පාසැල්වලට උසස් අධ්‍යාපනික ප්‍රමිති තිබෙනවා විය හැකියි. නමුත් එයට පැමිණෙන අයගේ සදාචාර ප්‍රමිති ගැන හෝ සමහරවිට එවැනි පාසැල් පවත්වාගෙන යන අය ගැන මොකක්ද කියන්න පුළුවන්? මේ “අන්තිම දවස්වලදී” ගහන වන එවැනි අය සම්බන්ධයෙන් ප්‍රේරිත පාවුල් මෙසේ ලිව්වා: “අන්තිම දවස්වලදී අන්තරා සහිත [කටයුතු කිරීමට අසීරු වූ අර්බුදකාරි, NW] කාලවල් පැමිණෙන බව දැනගන්න. මක්නිසාද මනුෂ්‍යයෝ තමුන්ටම ප්‍රේමකරන්නෝව, මුදලට ප්‍රේමකරන්නෝව, පාරට්ටුකරගන්නෝව, උදාරම්කාරයෝව, අපහාසකරන්නෝව, මවුපියන්ට අකීකරුවන්නෝව, ස්තුතිවන්ත නොවන්නෝව, අභක්තිකයෝව, ජන්ම ස්නේහය නැත්තෝව, සමාදාන නොවන්නෝව, කේලාම්කියන්නෝව, තෘෂ්ණාව මැඩපවත්වා නොගන්නෝව, කෲරයෝව, යහපතට ප්‍රේමනොකරන්නෝව, ද්‍රෝහියෝව, හිතුවක්කාරයෝව, අහංකාරයෝව, [දෙවිට] වඩා සැපසෙල්ලමට ප්‍රේමකරන්නෝව, දේවභක්තියේ වේසය දරන නුමුත්, එහි බලය එපාකළ අයව සිටින්නෝය. එබඳු අයගෙන් අහක්වෙන්න.”—2 තිමෝති 3:1-5.
මෙම සදාචාර හා ආත්මික බිඳවැටීම ලෝක ව්‍යාප්තව පවතින අතර, බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙන යෙහෝවාගේ සාක්ෂිකාරයන්ට අභියෝගයක් ඉදිරිපත් කරයි. තම ආත්මිකත්වයට බලවත් සතුරු බලපෑමක් ගෙන ඒමට ලෞකික පාසැල් මිත්‍රයන්ගේ සීමිත ඇසුරට පවා හැකි බව දිනපතා ගෙදර යන ශිෂ්‍යයන්ට පෙනීයයි. තම දෙමාපියන්ගෙන් දෛනිකව සහයෝගය, උපදෙස් හා දිරිගැන්වීම ලැබුණත්, එම බලපෑම ව්‍යර්ථ කරන්න සාක්ෂිකාර දරුවන්ට මහත් පරිශ්‍රමයක් යොදන්න සිදු විය හැකියි.
එහෙමනම්, නේවාසික පාසැල්වල නැවතීමට තම ගෙවල්වලින් යැවූ දරුවන්ගේ තත්වය ගැන මොනවද කියන්න පුළුවන්? ඔවුන් ප්‍රේමනීය දෙමාපියන්ගේ ස්ථාවර ආත්මික උපකාරය නොලැබී ගොස්, අතරමං වී සිටියි. දවසේ පැය 24 පුරාම ඔවුන් තම පංතියේ මිතුරන් එක්ක ජීවත් වෙන නිසා, ඒ කට්ටියට එකඟ වෙන්න තියෙන පීඩනය, ගෙවල්වල ජීවත් වෙන ශිෂ්‍යයන්ට වඩා ඔවුන්ගේ ළාබාල මනස් හා හදවත්වලට දැඩි බලපෑමක් ඇති කරවනවා. එක් ශිෂ්‍යයෙක් මෙසේ පැවසුවා: “උදේ ඉඳන් රෑ වෙනකම්ම නේවාසිකයෙක් ඉන්නේ සදාචාරමය පැත්තෙන් අනතුරකයි.”
පාවුල් මෙසේ ලිව්වා: “නොරැවටෙන්න. නපුරු සමාගමෙන් හොඳ චරිත නරක්වන්නේය.” (1 කොරින්ති 15:33) දෙවිට සේවය නොකරන අය එක්ක තම දරුවන් නිරතුරුවම ඇසුරු කළාට ඔවුන් ආත්මික අනතුරක් නොවිඳියි කියලා සිතීමෙන් ක්‍රිස්තියානි දෙමාපියන් නොමඟ නොයා යුතුයි. යම් කාලයක් යද්දී, දේවභක්තික දරුවන් ක්‍රිස්තියානි සාරධර්මවලට අසංවේදී වී, ආත්මික දේවල් සඳහා තිබුණු සම්පූර්ණ අගය කිරීමම නැති වෙලා යන්න පුළුවන්. සමහරවිට තම දරුවන් නේවාසික පාසැලෙන් අස් වෙන තුරුම දෙමාපියන්ට මෙය දැනගන්න බැරි වෙනවා. එවිට බොහෝවිට සිද්ධ වෙන්නේ කාරණා නිවැරදි කිරීමට ප්‍රමාද වැඩි වෙන එකයි.
ක්ලෙමන්ට්ගේ අද්දැකීමත් ඒ වගේමයි. ඔහු මෙසේ විස්තර කරනවා: “නේවාසික පාසැලකට යන්න ඉස්සෙල්ලා, මට සත්‍යය කෙරෙහි ඇල්මක් තිබුණා; සහෝදරයන් එක්ක ක්ෂේත්‍ර සේවයේ ගියා. අපේ පවුලේ බයිබල් පාඩමේදියි, සභා පොත් පාඩමේදියි මම විශේෂයෙන්ම සහභාගි වෙලා ප්‍රීතියක් ලැබුවා. කොහොම නමුත්, වයස අවුරුදු 14දී නේවාසික පාසැලක නැවතුණහම මං සම්පූර්ණයෙන්ම සත්‍යය අත්හැරියා. නේවාසික පාසැලේ මං ගත කරපු අවුරුදු පහ පුරාම, කවදාවත් රැස්වීම්වලට ගියේ නෑ. නරක ඇසුරේ ප්‍රතිඵලයක් හැටියට මම මත්ද්‍රව්‍ය, දුම්පානය සහ අධික මත්පැන් පානයට ගොදුරු වුණා.”
ගුරුවරුන්ගේ බලපෑම
ඕනෑම පාසැලක තම අධිකාරිය අනිසි ලෙස පාවිච්චි කරන, සදාචාරත්වයෙන් පිරිහුණු ගුරුවරුන් සිටිය හැකියි. සමහරු කෲර සහ දැඩි වන අතර, අනිත් අය තම ආත්මාර්ථකාමී අභිලාෂයන් ඉටු කරගැනීමට ශිෂ්‍යයන්ව ලිංගිකව යොදාගන්නවා. නේවාසික පාසැල්වල සිදු වන ගුරුවරුන්ගේ එවැනි ක්‍රියා වාර්තා වෙන්නෙත් නැති තරම්.
කෙසේවුවත්, බොහෝ ගුරුවරුන් දරුවන්ට සමාජයේ වැඩදායී සාමාජිකයන් වෙන්න, ඔවුන් අවට ලෝකයට ගැළපෙන්න, ඊට එකඟව කටයුතු කරන්න පුහුණු කිරීමට අවංකවම වෑයම් කරනවා. නමුත් සාක්ෂිකාර දරුවන්ට මෙහිදී තවත් ගැටලුවක් ඇති වෙනවා. ලෝකයේ සාරධර්ම හැමවිටම ක්‍රිස්තියානි ප්‍රතිපත්තිවලට සමාන වෙන්නේ නෑ. මේ ලෝකයට ගැළපීමට ගුරුවරු ශිෂ්‍යයන්ට දිරිගන්වද්දී, යේසු පැවසුවේ තම අනුගාමිකයන් ‘ලෝකයෙන් නොවන’ බවයි.—යොහන් 17:16.
දරුවන් බයිබල් ප්‍රතිපත්ති අනුගමනය කරන නිසා ගැටලු පැනනඟිනවා නම් කියන්න පුළුවන් මොකක්ද? දරුවන් ගමේ පාසැලකට යනවා නම් සහ ගෙදර ජීවත් වෙනවා නම්, ඔවුන්ට එම කාරණා තම දෙමාපියන් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. අනිත් අතට, දෙමාපියන්ට තම දරුවන්ට මඟ පෙන්වන්නත්, සමහරවිට ගුරුවරයාට කතා කරන්නත් පුළුවන්. ප්‍රතිඵලයක් වශයෙන්, ගැටලු සහ වරදවා තේරුම්ගැනීම් සාමාන්‍යයෙන් ඉක්මනින්ම විසඳාගත හැකි වෙයි.
නේවාසික පාසැලක තත්වය ඊට හාත්පසින්ම වෙනස්. ඒ ශිෂ්‍යයන් තම ගුරුවරුන්ගේ පාලනය යටතෙයි නිරතුරුවම සිටින්නේ. දරුවන් ක්‍රිස්තියානි ප්‍රතිපත්තිවලට එකඟව ස්ථාවරත්වයක් ගත්තොත්, ඔවුන්ට එය කරන්න සිද්ධ වෙන්නේ තම දෙමාපියන්ගේ දෛනික සහයෝගය නැතුවයි. ඇතැම්විට, දරුවන්ට එවැනි තත්වයන් යටතේ දෙවිට විශ්වාසවන්තව ඉන්න පුළුවන් වෙනවා. කොහොම වුණත්, බොහෝ වෙලාවලදී, ඔවුන්ට එසේ සිටින්න නොහැකි වෙනවා. දරුවෙක් ගුරුවරයෙක්ගේ කැමැත්තට නැමෙන්න ඉඩ තියෙනවා.
යන එන තැන්වලට සීමා
ශිෂ්‍යයන්ට යන එන නිදහස සාමාන්‍යයෙන්ම තියෙන විශ්වවිද්‍යාලවල වගේ නොවෙයි, නේවාසික පාසැල්වල දරුවන් යන එන තැන්වලට සීමා පනවලයි තියෙන්නේ. මේ පාසැල්වලින් වැඩිහරියක ශිෂ්‍යයන්ට පාසැල් භූමියෙන් පිටතට යන්න ඉඩ දෙන්නේ ඉරිදට විතරයි; සමහරක එදාටවත් අවසර නෑ. ඒරූ නම් 11-හැවිරිදි ශිෂ්‍යාවක් මෙහෙම කියනවා: “පාසැල් අධිකාරීන් අපට රැස්වීම්වලට යන්න ඉඩක් දෙන්නෙම නෑ; ක්ෂේත්‍ර සේවයේ යන එක ගැන නම් කියලත් වැඩක් නෑ. පාසැල ඇතුලේ, කතෝලිකයන්ටත් මුස්ලිම් අයටත් විතරක් මෙහෙයන් පවත්වනවා. හැම ශිෂ්‍යයෙක්ම දෙකෙන් එකක් තෝරගන්න ඕනා, එහෙම නැත්නං ගුරුවරයන්ගේ හරි ශිෂ්‍යයන්ගේ හරි බලවත් විරුද්ධවාදිකම්වලට මූණ දෙන්න වෙනවා. ජාතික ගීයත්, පල්ලියේ ගීතිකාත් ගයන්න ශිෂ්‍යයන්ට බල කරනවා.”
දෙමාපියන් තම දරුවන්ව එවැනි පාසැලකට ඇතුල් කළහම, ඔවුන් තම බාලයන්ට දෙන්නේ මොන පණිවිඩයද? ඉන් ඉදිරිපත් කරන පණිවිඩය නම්, නමස්කාරය සඳහා එකතු වීම සහ ගෝලයන්-සෑදීමේ වැඩයෙහි සහභාගි වීමට වඩා—දෙවිට අඛණ්ඩතාව දැක්වීමටත් වඩා—වැඩියෙන් ලෞකික අධ්‍යාපනය වැදගත් කියන එකයි.—මතෙව් 24:14; 28:19, 20; 2 කොරින්ති 6:14-18; හෙබ්‍රෙව් 10:24, 25.
සමහර නේවාසික පාසැල්වල, සාක්ෂිකාර ශිෂ්‍යයන්ට එක් වී බයිබලය පාඩම් කිරීමට හැකි වුණත්, එයත් හුඟ වෙලාවට කරන්න වෙන්නේ අමාරුවෙන්. දාසය හැවිරිදි බ්ලෙසිං නම් යෞවනියක්, ඇය යන නේවාසික පාසැල ගැන මෙහෙම පවසනවා: “ක්‍රිස්තියානියි කියන අය හැම දවසකම යාච්ඤා කරන්න එනවා. අපේ පාඩම කරගන්න පුළුවන් වෙන්න සාක්ෂිකාරයන් වන අපි ඔවුන්ගෙන් ආයාචනා කරන්න වෑයම් කරනවා වුණත්, ලොකු පංතිවල ළමයි අපිට කියන්නේ අපේ සංවිධානය පිළිගත් සංවිධානයක් නෙවෙයි කියලයි. එතකොට ඒ අය එක්ක යාච්ඤා කරන්න ඒගොල්ලෝ අපිට බල කරනවා. අපි ප්‍රතික්ෂේප කළොත්, ඒගොල්ලෝ අපිට දඬුවම් කරනවා. ගුරුවරුන්ට ආයාචනා කළහම කාරණා තවත් දරුණු වෙනවා. ඒගොල්ලෝ අපිට නොයෙක් නම්වලින් කතා කරනවා; ලොකු පංතිවල ශිෂ්‍යයන්ට කියනවා අපිට දඬුවම් කරන්න කියලා.”
වෙනස් අය විදිහට කැපීපෙනීම
නේවාසික පාසැල් ශිෂ්‍යයන් යෙහෝවාගේ සාක්ෂිකාරයන් බව හොඳින්ම පැහැදිලි වෙන කොට, ඒක ඔවුන්ගේ යහපත සඳහා වෙන්න පුළුවන්. සාක්ෂිකරුවන්ගේ ඇදහිල්ලට පටහැනි, අනිවාර්ය බොරු ආගමික වැඩකටයුතුවලට සහභාගි වීමෙන් වැළකී සිටීමට පාසැල් අධිකාරීන් ඉඩහරින්න ඉඩ තිබෙනවා. සෙසු ශිෂ්‍යයන් අහිතකර වැඩකටයුතුවලට හා සංවාදවලට ඔවුන්ව සහභාගි කරවාගැනීමට වෑයම් කිරීමෙන් වැළකී සිටිය හැකියි. සෙසු ශිෂ්‍යයන් සහ ගුරුවරුන්ට සාක්ෂිදැරීමට දොරටු විවෘත විය හැකියි. තවදුරටත්, බරපතළ වරදක් වුණොත්, ක්‍රිස්තියානි ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙන අය ගැන සැක නොසිතන්න ඉඩ තිබිය හැකි අතර, ඔවුන් සමහරවිට ගුරුවරුන්ගේ හා සෙසු ශිෂ්‍යයන්ගේ ගෞරවයද දිනාගනියි.
කෙසේවුවත්, හැමවිටම දේවල් ඒ ආකාරයෙන්ම සිදු වෙන්නේ නෑ. වෙනස් කෙනෙක් හැටියට කැපීපෙනීමේදී බොහෝ වෙලාවට යෞවනයෙකුව ශිෂ්‍යයන්ගෙන් මෙන්ම ගුරුවරයන්ගෙන්ද පැමිණෙන පීඩා සහ සරදමේ ඉලක්කයක් වෙනවා. නේවාසික පාසැලකට යන 15-හැවිරිදි පිරිමි ළමයෙක් වන යින්කා මෙහෙම කියනවා: “පාසැලේදී කෙනෙක් යෙහෝවාගේ සාක්ෂිකාරයෙක් කියලා ප්‍රසිද්ධ නම් එයාව ඉලක්කයක් කරගන්නවා. ඒගොල්ලො අපේ ආත්මික සහ සදාචාර ස්ථාවරය දන්න හින්දා, අපිව අල්ලගන්න උගුල් අටවනවා.”
දෙමාපිය වගකීම
දරුවන් යෙහෝවාගේ කැප වූ සේවකයන් කිරීමේ වැඩය භාරගන්න වෑයම් කරන්න කිසිම ගුරුවරයෙක්ටවත් විද්‍යාලයකටවත් පාසැලකටවත් අයිතියක් නෑ. ඒක ඔවුන්ගේ රැකියාවවත්, වගකීමවත් නෙවෙයි. දෙමාපියන්ම තම දරුවන්ගේ ආත්මික අවශ්‍යතා සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බවට දේවවචනය මඟ පෙන්වයි. පාවුල් මෙසේ ලිව්වා: “පියවරුනි, ඔබේ දරුවන්ව කෝපයට පත් නොකරන්න; නමුත් යෙහෝවාගේ හික්මවීමෙන්ද, මානසික ශික්ෂණයෙන්ද ඔවුන්ව දිගටම ඇති දැඩි කරන්න.” (එපීස 6:4, NW) දෙමාපියන්ට දරුවන්ව බැලීමට යෑම සඳහා මාසෙකට වතාවක් හෝ දෙවතාවක් පමණක් අවසර තිබෙන නේවාසික පාසැලක දරුවන්ව නවත්වා තිබෙනවා නම් දෙමාපියන් මේ දිව්‍ය උපදෙස පිළිපදින්නේ කොහොමද?
තත්වයන් බෙහෙවින් වෙනස් වෙන නමුත්, ක්‍රිස්තියානි දෙමාපියන් ආනුභාව ලත් මේ ප්‍රකාශයට එකඟව ක්‍රියා කරන්න වෑයම් කරනවා: “යමෙක් තමාගේ අය, ප්රධානකොටම තමාගේම පවුලේ අය, රක්ෂා නොකරන්නේ නම්, ඔහු ඇදහිල්ල එපාකළේය, ඔහු නොඇදහිලිකාරයෙකුට වඩා නරකය.”—1 තිමෝති 5:8.
විකල්ප තිබෙනවාද?
දෙමාපියන්ට තිබෙන්නේ නේවාසික පාසැල හෝ උපකරණ නිසි විදිහට නැති ගමේ පාසැලක් යන දෙකෙන් එකක් තෝරාගැනීම විතරක්ම නම් ඔවුන්ට කරන්න පුළුවන් මොකක්ද? මේ තත්වයට පත් වෙලා ඉන්න සමහර අය ගමේ පාසැලකට යන තම දරුවන්ගේ අධ්‍යාපනයේ අඩුපාඩුව පිරිමැසීම සඳහා පෞද්ගලික පංති දීමට කටයුතු පිළියෙළ කරනවා. වෙනත් දෙමාපියන් තමන්ම දරුවන්ට ඉගැන්වීමට කාලය වෙන් කරනවා.
තම දරුවන් ද්විතීයික පාසැලකට ඇතුල් වීම සඳහා සුදුසු වයසකට එන්න බොහෝ කලකට පෙර ඉඳලම සැලසුම් යෙදීමෙන් සමහර දෙමාපියන් ගැටලුව මඟහරවා ගන්නවා. ඔබට කුඩා දරුවන් ඉන්නවා නම් හෝ පවුලක් ගොඩනැඟීමට අදහසක් තිබෙනවා නම්, ඔබේ ප්‍රදේශයේ ප්‍රමාණවත් ද්විතීයික පාසැලක් තිබෙනවාද කියා සෝදිසි කර බැලිය හැකියි. එහෙම නැත්නම්, එවැන්නක් කිට්ටුවට පදිංචිය මාරු කළ හැකියි.
දෙමාපියන් හොඳින්ම දන්නා පරිදි, යෙහෝවා සඳහා ප්‍රේමයක් දරුවෙක් තුළ පැලපදියම් කරන්න දක්ෂකම හා ඉවසීමත්, සෑහෙන කාලයකුත් අවශ්‍ය වෙනවා. දරුවා ගෙදර සිටින කොටම මේක අමාරු කාර්යයක් නම්, දරුවා ඉතා ඈතක සිටියොත් ඒක ඊටත් වඩා මොනතරම් අමාරුද! දරුවෙකුගේ සදාජීවනය ඇතුළත්ව තිබෙන නිසා, දෙමාපියන් තම බාලයන්ව නේවාසික පාසැලකට දැමීමේ අවදානම වටිනවාද කියා ඉතා ඕනෑකමින් හා යාච්ඤාපූර්වකව තීරණය කළ යුතුයි. නේවාසික-පාසැලක අධ්‍යාපනයේ ප්‍රයෝජන උදෙසා දරුවෙකුගේ ආත්මික අවශ්‍යතා පූජා කිරීම මොනතරම් අදූරදර්ශී ක්‍රියාවක්ද! මෙය හරියට, වටිනාකමින් අඩු භාණ්ඩයක් බේරගන්න, ගිනිගන්න නිවසක් තුළට දුවනවා වගෙයි—සිද්ධ වෙන්නේ ගිනිදැල්වලින් පිච්චිලා යන එක විතරයි.
දේවවචනය මෙසේ පවසනවා: “නුවණ ඇත්තා විපත්තිය දැක සැඟවෙයි; එහෙත් අනුවණයෝ නොනැවතී ගොස් අච්චු ලබති.” (හිතෝපදේශ 22:3) නරක තත්වයකට වැටී නිවැරදි කරනවාට වඩා කලින්ම වැළකීම වඩාත් සුදුසුයි. ‘මගේ දරුවා නේවාසික පාසැලකට යා යුතුද?’ කියලා ඔබෙන්ම අහගන්නවා නම්, ඒක ඥානවන්ත දෙයක් කියලා සිතන්න පුළුවන්.
[28වන පිටුවේ කොටුව]
නේවාසික පාසැල ගැන සාක්ෂිකාර බාලයන් අදහස් දක්වයි
“නේවාසික පාසැලකදී, සාක්ෂිකාර දරුවන්ව ආත්මික ඇසුරෙන් කපාහැරලයි තියෙන්නේ. ඒක වැරදි දේ කරන්න මහත් පීඩනයක් ඇති කරන දැඩි විරුද්ධවාදිකම් තියෙන පරිසරයක්.”—වයස 11 සහ 14 අතර කාලයේදී නේවාසික පාසැලකට ගිය රෝටිමි.
“ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑම ඇත්තටම අමාරු වුණා. මට යන්න පුළුවන් වුණේ ඉරිදා විතරයි; ඒකටත් මට සිද්ධ වුණා, ශිෂ්‍යයන් පල්ලියට යන්න පෙළගැහිලා ඉන්න කොට හොරෙන් එතනින් පිට වෙන්න. ගෙදර ඉන්න කොට මම හැම සභා රැස්වීමකටම යන්නත්, සෙනසුරාදා සහ ඉරිදාවල ක්ෂේත්‍ර සේවයේ යන්නත් පුරුදු වෙලා හිටිය හින්දා මං එතන කවදාවත් සතුටින් හිටියේ නෑ. පාසැල වර්ධනය ගෙන දෙන අද්දැකීමක් වුණේ නෑ. මට හුඟක් දේවල් අතපසු වුණා.”—පාසැලේ පල්ලියේ මෙහෙයන්වලට සහභාගි නූණ නිසා ගුරුවරුන්ගෙන් නිරතුරුවම පහර කෑ එස්ත’.
“නේවාසික පාසැලේ සෙසු ශිෂ්‍යයන්ට සාක්ෂිදැරීම පහසු දෙයක් වුණේ නෑ. වෙනස් කෙනෙක් විදිහට කැපීපෙනෙන එක ලේසි නෑ. මට කණ්ඩායම අනුගමනය කරන්න ඕනෑ වුණා. මට රැස්වීම්වලට යන්නත්, ක්ෂේත්‍ර සේවයේ සහභාගි වෙන්නත් ලැබිලා තිබුණා නම්, සමහරවිට මම මීට වඩා නිර්භීත වෙන්න තිබුණා. නමුත් මට ඒක කරන්න පුළුවන් වුණේ, අවුරුද්දකට තුන්වතාවක් මට නිවාඩුව ලැබුණහම විතරයි. තෙල් පිරෙවුවේ නැති ලාම්පුවක් තියෙනවා නම්, ආලෝකය ක්‍රමයෙන් අඩු වෙලා යනවා. පාසැලේදීත් සිද්ධ වුණේ ඒ ටිකමයි.”—වයස අවුරුදු 11 සිට 16 අතර කාලයේදී නේවාසික පාසැලකට ගිය ලාරා.
“මම දැන් නේවාසික පාසැලේ නැති හින්දා මට හැම රැස්වීමකටම යන්නත්, ක්ෂේත්‍ර සේවයේ සහභාගි වෙන්නත්, පවුලේ අනිත් අය එක්ක දිනපදය සාකච්ඡා කරන්නත් පුළුවන් නිසා මං සතුටු වෙනවා. පාසැලේ ඉන්න කොට යම් ප්‍රයෝජන තිබුණත්, යෙහෝවා එක්ක තියෙන මගේ සම්බන්ධතාවය තරම් වෙන කිසි දෙයක් මට වැදගත් නෑ.”—තමාව නේවාසික පාසැලෙන් ඉවත් කරගන්නැයි තම පියාට ඒත්තුගැන්වූ නයෝමි.