දේවසමාදානයේ දූතයන් සන්තෝෂවත් බවට තීන්දු කර තියෙනවා
“[යෙහෝවා] විසින් නිදහස්කරනලද අය ගී කියමින් සියොන්ට හැරී එන්නෝය; සදාකාල ප්‍රීතිය ඔවුන්ගේ ඉස් පිට තිබෙන්නේය.”—යෙසායා 35:10.
1. ලෝකයට දැඩි ලෙස ඕනෙ කර තියෙන්නේ මොකක්ද?
වෙන කිසිදාකටත් වඩා, අදදින මනුෂ්‍යවර්ගයාට ශුභාරංචියේ දූතයෙක් අවශ්‍යයි. දෙවි ගැනත් ඔහුගේ අරමුණු ගැනත් සත්‍යය ප්‍රකාශ කරන කවුරු හරි කෙනෙක්, ඒ කියන්නේ මතු පැමිණෙන විනාශය ගැන දුෂ්ටයන්ට අනතුරු අඟවන, අවංක හෘද ඇති අයට දේවසමාදානය ලබාගන්න උපකාර කරන නිර්භීත සාක්ෂිකරුවෙක් සඳහා හදිස්සි අවශ්‍යතාවක් තියෙනවා.
2, 3. ඉශ්රායෙල් සම්බන්ධයෙන් ගත්තහම, යෙහෝවා ආමොස් 3:7හි වාර්තා වෙලා තියෙන තම පොරොන්දුව ඉටු කළේ කොහොමද?
2 ඉශ්‍රායෙල්ගේ කාලයේදී, ඒ ආකාරයේ දූතයන් සපයන බවට යෙහෝවා පොරොන්දු වුණා. පොදු යුගයට පෙර නවවන සියවසේ අන්තිම හරියේ, අනාගතවක්තෘ ආමොස් මෙහෙම කිව්වා: “පරමාධිපති ස්වාමිවූ යෙහෝවා තම රහස්‍ය කාරණය තම මෙහෙකරුවන් වූ අනාගතවක්තෘවරුන්ට දන්වා මිස කිසිවක් නොකරන්නේය.” (ආමොස් 3:7, NW) මෙම තීන්දු ප්‍රකාශයෙන් පසුව ගෙවී ගිය සියවස් ගණනාවේදී, යෙහෝවා බලවත් ක්‍රියා රාශියක් සිදු කළා. උදාහරණයක් හැටියට, පො.යු.පෙ. 607දී, ඔහු තම තෝරාගත් ජනයාව දැඩි සේ හික්මෙව්වා; එහෙම කළේ ඔවුන් කැරලිකාර, ලේ වරදින් යුත් තත්වයක හිටපු නිසයි. ඉශ්රායෙල් වින්ද දුක දෙස ආශාවෙන් බලා සිටි අවට ජාතීන්ටත් ඔහු දඬුවම් කළා. (යෙරෙමියා, පරිච්ඡේද 46-49) ඊළඟට, පො.යු.පෙ. 539දී, යෙහෝවා ලෝක බලය වන බලවත් බබිලෝනියේ වැටීම සිදුවීමට සැලැස්සුවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පො.යු.පෙ. 537දී, දේවමාළිගාව නැවත ගොඩනඟන්න, ඉශ්‍රායෙල්ගේ ඉතිරි කොටසක් ඔවුන්ගේ දේශයට ආපසු පැමිණියා.—2 ලේකම් 36:22, 23.
3 මේවා පොළොව කම්පා කළ සිද්ධීන් වූ අතරම, ආමොස්ගේ වචනවලට එකඟව, දූතයන් හැටියට කටයුතු කළ අනාගතවක්තෲන්ට යෙහෝවා කල්තියාම ඒවා හෙළි කළා. මේ තුළින් මතු පැමිණෙන දේවල් සම්බන්ධයෙන් ඉශ්රායෙල්ට අනතුරු ඇඟවීම් ලැබුණා. පොදු යුගයට පෙර අටවන සියවසේ මැද භාගයේදී ඔහු යෙසායාව පත් කළා. පොදු යුගයට පෙර හත්වන සියවසේ මැද භාගයේදී ඔහු යෙරෙමියාව පත් කළා. ඊළඟට එම සියවසේ අග භාගයේදී පමණ ඔහු එසකියෙල්ව පත් කළා. මේ අනාගතවක්තෲන් මෙන්ම වෙනත් ඇදහිලිවන්ත අනාගතවක්තෲන්ද යෙහෝවාගේ අරමුණු ගැන සම්පූර්ණ සාක්ෂියක් දුන්නා.
අදදින දෙවිගේ දූතයන්ව හඳුනාගැනීම
4. සමාදානයේ දූතයන් සඳහා මනුෂ්‍යවර්ගයාගේ අවශ්‍යතාව මොකකින්ද නිරූපණය වෙන්නේ?
4 අද දවස ගැන මොනවාද කියන්න පුළුවන්? මිනිස් සමාජයේ පිරිහීම දකින විට, ලෝකයේ බොහෝදෙනෙක්ට යම් ඇබැද්දියක් ළඟයි කියලා දැනෙනවා. ක්‍රිස්තියානි ලෝකයේ කුහකකම හා අන්ත දුෂ්ටකම දකින විට, ධර්මිෂ්ඨකමට ප්‍රේමයක් තියෙන අයට හෘදයේ වේදනාවක් දැනෙනවා. යෙහෝවා එසකියෙල් තුළින් පුරෝකථනය කළා වගේ, ඔවුන් “ඒ තුළ කෙරෙන සියලු පිළිකුල්කම් ගැන සුසුම්ලා කෙඳිරිගා[මින්]” සිටිනවා. (එසකියෙල් 9:4) කොහොම වුණත්, යෙහෝවාගේ අරමුණු මොනවාද කියලා බොහෝදෙනෙක් තේරුම්ගන්නේ නැහැ. ඔවුන්ට ඒවා ගැන කියන්න ඕනෙ.
5. අපේ කාලයේදී දූතයන් ඉඳී කියලා යේසු පෙන්නුම් කළේ කොහොමද?
5 යෙසායා, යෙරෙමියා සහ එසකියෙල්ගේ නිර්භීත ආත්මයෙන් අදදින කිසියම් කෙනෙක් එඩිතරව කතා කරනවාද? කවුරු හරි එහෙම කරයි කියලා යේසු ඇඟෙව්වා. අපේ කාලයට සම්බන්ධ සිද්ධීන් පුරෝකථනය කරද්දී, ඔහු මෙහෙම කිව්වා: “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ජනාවාස පොළොව මුළුල්ලෙහි දේශනා කරනු ලබන්නේය; තවද එවිට අන්තිමය පැමිණෙනු ඇත.” (මතෙව් 24:14, NW) ශුභාරංචියේ දූතයෙක්, දේශනාකරන්නෙක් ලෙස සේවය කරමින් අදදින එම අනාවැකිය ඉටු කරමින් සිටින්නේ කවුද? එම ප්‍රශ්නයට උත්තරයක් ලබාගන්න, අපේ කාලයත් පුරාණ ඉශ්රායෙල්හි කාලයත් අතර ඇති සමානකම් අපට උපකාරවත් වෙයි.
6. (අ) පළමු ලෝක යුද්ධයේදී ‘දෙවිගේ ඉශ්රායෙල්’ අද්දුටු අද්දැකීම් විස්තර කරන්න. (ආ) එසකියෙල් 11:17 පුරාණ ඉශ්රායෙල් මත ඉටු වුණේ කොහොමද?
6 පළමු ලෝක මහා යුද්ධයේ අන්ධකාර සමය තුළදී, යෙහෝවාගේ නවීන-දින ජනයා, එනම් ‘දෙවිගේ ඉශ්රායෙල්හි’ ආලේප ලත් ඉතිරි කොටස, බබිලෝනියේ සිටි ඉශ්රායෙල්වරුන්ට සමාන ආකාරයක වහල්භාවයකට යටත් වුණා. (ගලාති 6:16) වැඩිම ප්‍රමුඛතාවක් උසුලන, දඬුවමට වඩාත්ම සුදුසු ක්‍රිස්තියානි ලෝකය අයත් බොරු ආගම්වල ලෝක සංවිධානය වන මහ බබිලෝනියෙහි ආත්මික වහල්භාවයට ඔවුන් යටත් වුණා. කොහොම වුණත්, එසකියෙල්ට යෙහෝවා කියූ වදන්වලින් පැහැදිලි වුණේ, ඔවුන්ව අත්හැරලා නොතිබුණු බවයි. ඔහු මෙහෙම කිව්වා: “මම ජනයන් අතුරෙන් නුඹලා එකතුකර, නුඹලා විසිර සිටින දේශවලින් නුඹලා රැස්කොට, ඉශ්රායෙල් රට නුඹලාට දෙන්නෙමි.” (එසකියෙල් 11:17) පුරාණ ඉශ්රායෙල් සඳහා එම පොරොන්දුව ඉටු කරන්න, යෙහෝවා කෝරෙෂ්ව පත් කළා. ඔහු බබිලෝනීය ලෝක බලය පෙරළා දමා, ඉශ්රායෙල්හි ඉතිරි කොටසකට තම දේශය කරා නැවත එන්න මාර්ගය විවෘත කළා. නමුත් අදදින ගැන මොනවාද කියන්න පුළුවන්?
7. යේසු මහ බබිලෝනියට විරුද්ධව ක්‍රියා කරල තිබුණා කියලා 1919හි පෙන්නුම් කළේ මොන සිද්ධියද? පැහැදිලි කරන්න.
7 මේ සියවසේ මුල් හරියේදී, වඩාත් ශ්‍රේෂ්ඨ කෝරෙෂ් කෙනෙක් ක්‍රියා කරමින් සිටි බවට ප්‍රබල සාක්ෂි තිබුණා. ඔහු කවුද? ඒ එක්දහස් නවසිය දාහතරේ සිට, ස්වර්ගික රාජ්‍යයේ සිංහාසනාරූඪ වූ යේසුස් ක්‍රිස්තුස් මිස වෙන කවුරුත් නෙවෙයි. වර්ෂ 1919දී, ආත්මික වහල්භාවයෙන් මුදනු ලැබූ ආලේප ලත් ක්‍රිස්තියානීන්ට, තම “දේශය[ට]” එනම් තම ආත්මික භූමියට යෑම සඳහා ප්‍රස්තාව ලැබුණු විට, මෙම ශ්‍රේෂ්ඨ රජ පොළොව මත සිටි තම ආලේප ලත් සහෝදරයන්ට අනුග්‍රහය දැක්වූවා. (යෙසායා 66:8; එළිදරව් 18:4) මෙසේ එසකියෙල් 11:17ට නවීන-දින ඉටුවීමක් තිබුණා. පුරාණ කාලවලදී, ඉශ්රායෙල්වරුන්ට තම දේශය කරා නැවත ඒමට බබිලෝනියේ වැටීම සිදු වෙන්න අවශ්‍ය වුණා. නවීන කාලවලදී, ‘දෙවිගේ ඉශ්‍රායෙල්ව’ නැවත පිහිටුවීම, වඩාත් ශ්‍රේෂ්ඨ කෝරෙෂ්ගේ අතින් මහ බබිලෝනිය වැටීමකට ලක් වූ බවට සාක්ෂියක් වුණා. එළිදරව් 14වන පරිච්ඡේදයේ සඳහන් දෙවන දේවදූතයා මෙම වැටීම නිවේදනය කළේ මෙහෙම මොරගැසීමෙනුයි: “තමාගේ වේශ්‍යාකමේ කෝපය නමැති මුද්‍රිකපානය සියලු ජාතීන්ට පෙවුවාවූ මහත් බබිලෝනිය වැටුණේය.” (එළිදරව් 14:8) මහ බබිලෝනියට, විශේෂයෙන්ම ක්‍රිස්තියානි ලෝකයට මොනතරම් පෙරළියක්ද! එමෙන්ම සැබෑ ක්‍රිස්තියානීන් සඳහා මොනතරම් ආශීර්වාදයක්ද!
8. වර්ෂ 1919දී දෙවිගේ සෙනඟට ලැබුණු නිදහසෙන් පස්සේ ඔවුන්ගේ සන්තෝෂය එසකියෙල් පොත විස්තර කරන්නේ කොහොමද?
8 ඔවුන්ගේ නැවත පිහිටුවීමෙන් පසු දෙවිගේ ජනයාට අත් වන සන්තෝෂය ගැන අනාගතවක්තෘ කළ විස්තරය අපට එසකියෙල් 11:18-20හි දැකගන්න පුළුවන්. ඔහුගේ වචනවල මුල් ඉටුවීමෙන් අදහස් වුණේ, එස්රාගේ හා නෙහෙමියාගේ දවස්වලදී ඉශ්‍රායෙල්ගේ පවිත්‍ර කරනු ලැබීමයි. නවීන-දින ඉටුවීමට ඊට සමාන අර්ථයක් තිබුණා. ඒ කොහොමද කියලා අපි බලමු. යෙහෝවා මෙහෙම කියනවා: “ඔවුන් [තම දේශයට] පැමිණ, එහි සියලු අශික්ෂිත දේද එහි සියලු පිළිකුල්කම්ද එතනින් පහකරනවා ඇත.” පුරෝකථනය කරලා තිබුණු පරිද්දෙන්ම, 1919 පටන්, යෙහෝවා තම සෙනඟව පවිත්‍ර කොට, තමන්ට සේවය කිරීම සඳහා ඔවුන්ව යළි පණගැන්වූවා. ඔහුගේ ඇස් ඉදිරියෙහි තමුන්ව දූෂිත කළ බබිලෝනීය පිළිවෙත් හා ඉගැන්වීම් සියල්ලක්ම තම ආත්මික පරිසරයෙන් ඉවත් කරන්න ඔවුන් පටන්ගත්තා.
9. වර්ෂ 1919 පටන්, යෙහෝවා තම සෙනඟට දුන්නේ මොන වැදගත් ආශීර්වාදද?
9 ඊළඟට 19වන හා 20වන පදවලට අනුව, යෙහෝවා මෙහෙම කියන්න පටන්ගන්නවා: “මම ඔවුන්ට එක සිතක් [හෘදයක්, NW] දෙන්නෙමි, අලුත් ආත්මයක්ද නුඹලා තුළ තබන්නෙමි. . . . ඔවුන්ගේ මාංසයෙන් ගල් සිත [හෘදය, NW] පහකොට මාංසමයවූ සිතක් [හෘදයක්, NW] ඔවුන්ට දෙන්නෙමි.” මේ වචනවලට එකඟව, 1919දී, යෙහෝවා තම ආලේප ලත් සේවකයන්ව එක්සත් කොට, ඔහුට “උරෙන් උර ගැටී” සේවය කරන පිණිස, ඔවුන්ට ‘එක හෘදයක්’ දුන්නා. (ශෙපනියා 3:9, NW) එපමණක් නොව, සාක්ෂිදැරීමේ වැඩයෙහි ඔවුන්ව පණගැන්වීම සඳහාත්, ගලාති 5:22, 23හි විස්තර කර තියෙන කදිම ඵල නිපදවීම සඳහාත් යෙහෝවා තම සෙනඟට ශුද්ධාත්මය දුන්නා. එමෙන්ම, ප්‍රතිචාරය නොදක්වන දැඩි ගලක් වැනි හෘදයක් වෙනුවට, යෙහෝවා ඔවුන්ට මෘදු, නම්‍යසුලු, කීකරු හෘදයක්, ඔහුගේ කැමැත්තට ප්‍රතිචාරය දක්වන්න යන හෘදයක් දුන්නා.
10. වර්ෂ 1919 ඉඳන් යෙහෝවා තම නැවත පිහිටුවාගත් සෙනඟට ආශීර්වාද කරලා තියෙන්නේ ඇයි?
10 ඔහු එහෙම කළේ ඇයි? යෙහෝවාම කාරණය පැහැදිලි කරනවා. එසකියෙල් 11:19, 20හි අපට මෙහෙම කියවන්න තියෙනවා: එහෙම කළේ, “ඔවුන් මාගේ පනත් ප්‍රකාර හැසිර, මාගේ නියෝග රක්ෂාකොට පවත්වන පිණිස[ය] . . . මෙසේ ඔව්හු මාගේ සෙනඟ වන්නෝය, මමද ඔවුන්ගේ [දෙවි] වන්නෙමි.” දෙවිගේ ඉශ්රායෙල් තමුන්ගේම අදහස් අනුව යනවා වෙනුවට, යෙහෝවාගේ නීතිවලට කීකරු වෙන්න ඉගෙනගත්තා. මනුෂ්‍යයාට භය නොවී දෙවිගේ කැමැත්ත කරන්න ඔවුන් ඉගෙනගත්තා. මෙසේ ඔවුන් ක්‍රිස්තියානි ලෝකයේ ව්‍යාජ ක්‍රිස්තියානීන්ට වඩා වෙනස් අය ලෙස කැපීපෙනී සිටියා. ඔවුන් යෙහෝවාගේ සෙනඟව සිටියා. එහෙම පෙනී සිටි නිසා, තම දූතයා, එනම් තම “විශ්වාසවූ නුවණ ඇති දාසයා” වශයෙන් ඔවුන්ව පාවිච්චි කරන්න යෙහෝවා සූදානමින් සිටියා.—මතෙව් 24:45-47.
දෙවිගේ දූතයන්ගේ සන්තෝෂය
11. යෙසායා පොත යෙහෝවාගේ සෙනඟගේ සන්තෝෂය විස්තර කරන්නේ කොහොමද?
11 ඔවුන් භුක්ති විඳිමින් සිටියේ මොනතරම් වරප්‍රසාද ලත් තත්වයක්ද කියලා ඔවුන්ට තේරුණු විට, ඔවුන්ගේ සන්තෝෂය ඔබගේ සිතේ මවාගන්න පුළුවන්ද? කණ්ඩායමක් වශයෙන්, ඔවුන් යෙසායා 61:10හි අඩංගු වචන ප්රතිනාද කළා: “මම [යෙහෝවා] තුළ බොහෝසේ ප්‍රීතිවන්නෙමි, මාගේ ආත්මය මාගේ [දෙවි] තුළ සන්තෝෂවන්නේය.” යෙසායා 35:10හි පොරොන්දුව ඔවුන් සම්බන්ධයෙන් ඉටු වුණා: “[යෙහෝවා] විසින් නිදහස් කරනලද අය ගී කියමින් සියොන්ට හැරී එන්නෝය; සදාකාල ප්‍රීතිය ඔවුන්ගේ ඉස් පිට තිබෙන්නේය. ඔව්හු ප්‍රීතිය හා සන්තෝෂය ලබන්නෝය, දුකද සුසුම්ලෑමද පලායන්නේය.” එක්දහස් නවසිය දහනවයේදී යෙහෝවාගේ දේවසමාදානයේ දූතයන් මුළු මනුෂ්‍යවර්ගයාටම ශුභාරංචිය දේශනා කරන්න පටන්ගත් විට ඔවුන්ට තිබුණේ එවැනි සන්තෝෂයක්. එදා පටන් මේ දක්වා, ඔවුන් මෙම කාර්යය ඉටු කිරීම නතර කරලා නැති අතර, ඔවුන්ගේ සන්තෝෂයද වැඩිවර්ධනය වී තියෙනවා. තම කන්ද උඩ දේශනාවේදී යේසු මෙම අදහස ප්‍රකාශ කළා: “සමාදානයකරන්නෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු [දෙවිගේ] පුත්‍රයෝයයි කියනු ලබන්නෝය.” (මතෙව් 5:9) එක්දහස් නවසිය දහනවය පටන් මේ දක්වා, ‘දෙවිගේ පුත්‍රයන්ගේ’ ආලේප ලත් ඉතිරි කොටස මේ ප්‍රකාශයේ සත්‍යතාව අද්දැක තියෙනවා.
12, 13. (අ) යෙහෝවාට සේවය කරන්න දෙවිගේ ඉශ්රායෙල් හා එක් වුණේ කවුද? එමෙන්ම ඔවුන් උත්සාහවන්තව නිරත වෙන්නේ මොන වැඩයේද? (ආ) යෙහෝවාගේ ආලේප ලත් සේවකයන් අද්දැකලා තියෙන්නේ මොන ඉමහත් ප්‍රීතියද?
12 කාලය ගෙවී යද්දී, 1930ගණන් වන තුරු දෙවිගේ ඉශ්රායෙල්ට අයත් සංඛ්‍යාව වැඩි වුණා; එතකොට ආලේප ලත් අයගේ ඉතිරි කොටස එකතු කරන එක එහි අවසානය කරා ළං වුණා. එවිට ශුභාරංචිය දේශනාකරන්නන්ගේ සංඛ්‍යාවේ වැඩිවීම නතර වුණාද? කොහොමටවත්ම නැහැ. ඒ වන විටත් භූමික බලාපොරොත්තුවක් ඇති ක්‍රිස්තියානීන් මහත් සමූහයක් පෙනී සිටින්න පටන්ගෙන තිබුණු අතර, ඔවුන් දේශනා සේවයේ තම ආලේප ලත් සහෝදරයන් සමඟ හවුල් වුණා. ප්‍රේරිත යොහන් දර්ශනයකින් මෙම මහත් සමූහයව දුටුවා; ඔහු ඔවුන්ව විස්තර කරන විදිහ සැලකිල්ලට ගැනීම වටී: “ඔව්හු [දෙවිගේ] සිංහාසනය ඉදිරියෙහි සිටිති; [ඔහුගේ] මාළිගාවේ රෑ දාවල් [ඔහුට] සේවයකරති.” (එළිදරව් 7:15) ඔව්, මහත් සමූහය දෙවිට සේවය කිරීමෙහි කඩිසරව නිරත වෙන්න පටන්ගත්තා. එබැවින්, 1935න් පස්සේ ආලේප ලත් අයගේ සංඛ්‍යාව අඩු වෙන්න පටන්ගත් විට, මෙම විශ්වාසවන්ත සහකාරයන් විසින් සාක්ෂිදැරීමේ සේවය වඩා වැඩි වේගයකින් ඉදිරියටම ගෙනයනු ලැබුවා.
13 මේ ආකාරයෙන් යෙසායා 60:3, 4 ඉටු වුණා: “ජාතීන් නුඹේ ආලෝකයටද රජවරුන් නුඹේ උදාවීමේ දීප්තියටද එනවා ඇත. නුඹේ ඇස් ඔසවා වටකර බලන්න. ඔවුන් සියල්ලෝම රැස්වී නුඹ ළඟට එති. නුඹේ පුත්‍රයන් දුර සිට එනවා ඇත, නුඹේ දූවරුන්ද උකුළේ වඩාගන එන්ට යෙදෙනවා ඇත.” දෙවිගේ ඉශ්රායෙල් සඳහා මේ වර්ධනය වීම්වලින් අත් වූ සන්තෝෂය යෙසායා 60:5 අලංකාරව විස්තර කරලා තියෙනවා; එහි අපිට මෙහෙම කියවන්න පුළුවන්: “එකල නුඹ දැක ප්‍රීතිවන්නෙහිය, නුඹේ සිතද [හෘදයද, NW] පිනාගොස් විශාලවන්නේය; මක්නිසාද මුහුදේ සම්පත් නුඹ වෙත හැරීඑන්නේය, ජාතීන්ගේ වස්තුද නුඹ ළඟට පැමිණෙන්නේය.”
යෙහෝවාගේ සංවිධානය ඉදිරියට ඇදෙමින්
14. (අ) එසකියෙල් ස්වර්ගික දේවල් ගැන මොන වගේ දර්ශනයක්ද දැක්කේ? එමෙන්ම ඔහුට ලැබුණේ මොන ආඥාවද? (ආ) නවීන කාලවල ඉන්න යෙහෝවාගේ සෙනඟ තේරුම්ගත්තේ මොකක්ද? එමෙන්ම ඔවුන්ට දැනුණේ මොන වගකීමද?
14 පොදු යුගයට පෙර 613දී, රථයක් හා සමාන යෙහෝවාගේ ස්වර්ගික සංවිධානය ඉදිරියට ඇදෙමින් තියෙන ආකාරය එසකියෙල් විශිෂ්ට දර්ශනයකින් දැක්කා. (එසකියෙල් 1:4-28) ඉන්පසුව, යෙහෝවා ඔහුට මෙහෙම කිව්වා: “මනුෂ්‍ය පුත්‍රය, නුඹ ගොස් ඉශ්රායෙල් වංශය වෙතට පැමිණ, මාගේ වචන කියා ඔවුන්ට කථාකරන්න.” (එසකියෙල් 3:4) මෙම 1997 වර්ෂයේ, දෙවිගේ අරමුණු ඉටු කිරීමේ නිශ්චිත අභිප්‍රාය ඇතුව යෙහෝවාගේ ස්වර්ගික සංවිධානය නොවැළැක්විය හැකි අන්දමින් ඉදිරියට ගමන් කරන අන්දම අපිට වැටහෙනවා. එමනිසා, එම අරමුණු ගැන අනුන්ට කීමේ දැඩි ආශාව අප තුළ තවමත් තියෙනවා. එසකියෙල්ගේ කාලයේ, ඔහු කෙළින්ම යෙහෝවාගේ ආනුභාවයෙන් ලැබූ වචනවලින් කතා කළා. අදදින, අපි යෙහෝවාගේ ආනුභාවයෙන් ලැබිලා තියෙන වචනය වන බයිබලයෙන් කතා කරනවා. තවද ඒ පොතේ මනුෂ්‍යවර්ගයා සඳහා තියෙන්නේ මොනතරම් විශිෂ්ට පණිවිඩයක්ද! බොහෝදෙනෙක් අනාගතය ගැන කනස්සල්ලෙන් හිටියත්, බයිබලය පෙන්වන්නේ තත්වය ඊටත් වඩා දරුණුයි කියලා—ඒත් එක්කම ඔවුන් හිතනවාටත් වැඩිය තත්වය හොඳයි කියලත් බයිබලය පෙන්නුම් කරනවා.
15. අදදින බොහෝදෙනෙක් හිතනවාටත් වඩා තත්වය දරුණු වන්නේ ඇයි?
15 අපි කලින් ලිපිවලින් දැනගත් විදිහට, ක්‍රිස්තියානි ලෝකය හා වෙනත් බොරු ආගම් සියල්ලම පො.යු.පෙ. 607දී යෙරුසලම අද්දුටු විනාශයට සමාන සම්පූර්ණ විනාශයක් ළඟදීම අද්දකින්න යන නිසා, තත්වය වඩාත් දරුණුයි. ඒ විතරක් නොව, යෙරුසලමේ මිථ්‍යාදෘෂ්ටික අසල්වාසීන්ට සිදු වුණාක් මෙන්, එළිදරව් පොතෙහි හිස් හතකින් හා අං දහයකින් යුත් වනමෘගයෙක් ලෙස දක්වා තියෙන ලෝක ව්‍යාප්ත දේශපාලන පිළිවෙළේ විනාශයත් අත ළඟයි. (එළිදරව් 13:1, 2; 19:19-21) එසකියෙල්ගේ කාලයේදී, යෙරුසලම පිට එන්න තිබුණු විනාශය නිසා ඇති වුණ භීතිය යෙහෝවා විචිත්රව විස්තර කළා. නමුත් මේ ලෝකය පිට පැමිණෙන විනාශය ජනයා තේරුම්ගන්නා විට, ඔහුගේ වචනවල ඊටත් වඩා විශාල අර්ථයක් ගැබ් වෙලා තියේවි. යෙහෝවා එසකියෙල්ට මෙහෙම කිව්වා: “එබැවින්, මනුෂ්‍ය පුත්‍රය, නුඹ සුසුම්ලන්න; තුනටිය කැඩෙන තරමට ශෝකයෙන් ඔවුන් ඉදිරියෙහි කෙඳිරිගාන්න. නුඹ සුසුම්ලන්නේ මක්නිසාදැයි ඔවුන් නුඹෙන් අසන කල මෙසේ කියන්න: ආරංචිය නිසාය, මක්නිසාද එය පැමිණෙන්නේය. සියලු සිත් [හෘද, NW] දියවෙන්නේය, සියලු අත් හෙලාවැටෙන්නේය, සියලු ආත්ම ක්ලාන්තවන්නේය, සියලු දණහිස් දිය මෙන් බෙලහීනවන්නේය, බලව, එය පැමිණෙන්නේය, එය සිදුවන්නේයයි” “පරමාධිපති ස්වාමි වූ යෙහෝවා කියන්නේය.” [NW] (එසකියෙල් 21:6, 7; මතෙව් 24:30) ඔව්, භය උපදවන සිදුවීම් ඇත්තෙන්ම අත ළඟයි. අප සෙසු මනුෂ්‍යයන් ගැන දක්වන ගැඹුරු සැලකිල්ල, අනතුරු ඇඟවීම ප්‍රකාශ කරන්න, එනම් මතු පැමිණෙන යෙහෝවාගේ උදහස ගැන “ආරංචිය” කියන්න අපව පොලඹවනවා.
16. බොහෝදෙනෙක් හිතනවාටත් වඩා මොළොක් ගුණැති අයට ඇති තත්වය වඩාත් හොඳ වන්නේ ඇයි?
16 ඒත් සමඟම, වැඩිහරියක් කල්පනා කරන ආකාරයට පටහැනිව මොළොක් ගුණැති අයට ඇති තත්වය වඩාත් හොඳයි. ඒ මොන විදිහකින්ද? යේසුස් ක්‍රිස්තුස් අපේ පව් උදෙසා මිය ගිහිල්ලා තියෙනවා වගේම, දේවරාජ්‍යයේ රජු වශයෙන් දැන් පාලනය කරමින් ඉන්නවා කියන එකෙන්. (1 තිමෝති 1:15; එළිදරව් 11:15) මනුෂ්‍ය දෘෂ්ටිකෝණයකින් විසඳාගන්න බැහැමයි කියලා පෙනෙන ප්‍රශ්න ගැටලු, එම ස්වර්ගික රාජ්‍යයේ පිහිටෙන් ළඟදීම විසඳනු ලැබේවි. මරණය, අසනීප, අල්ලස් දූෂණ, සාගින්න හා අපරාධ පහ වෙලා යාවි; එවිට දෙවිගේ රාජ්‍යය පාරාදීස පොළොවක් කෙරෙහි නොනැවතී පාලනය කරාවි. (එළිදරව් 21:3, 4) මිනිස් සංහතිය දේවසමාදානය—ඒ කියන්නේ යෙහෝවා දෙවි හා එකිනෙකා සමඟ සාමදායී මෙන්ම ප්‍රේමනීය සම්බන්ධතාවක් භුක්ති විඳීවි.—ගීතාවලිය 72:7.
17. දේවසමාදානයේ දූතයන්ගේ හෘදවලට ප්‍රීතිය ගෙනෙන්නේ මොන වැඩිවර්ධනයන්ද?
17 ලෝකයේ ඇතැම් ප්‍රදේශවල, කැපීපෙනෙන ආකාරයේ විශාල මෘදු ගතිගුණැති ජන පිරිසක් දේවසමාදානයේ මෙම පණිවිඩයට ප්‍රතිචාරය දක්වමින් සිටිනවා. උදාහරණ කිහිපයක් සඳහන් කරනවා නම්: පසුගිය අවුරුද්දේ යුක්රේන්හි, ප්‍රචාරකයන්ගේ සියයට 17ක වැඩිවීමක් වාර්තා වුණා. මොසැම්බික්වල සියයට 17ක වැඩිවීමක් වාර්තා වුණා; ලිතුවේනියාවේ සියයට 29ක වැඩිවීමක්. රුසියාවේ සියයට 31ක වැඩිවීමක් තිබුණා; ඒත් සමඟම ඇල්බේනියාව ප්‍රචාරකයන්ගේ සංඛ්‍යාව අතින් සියයට 52ක වර්ධනයක් අද්දැක්කා. දේවසමාදානය භුක්ති විඳින්න කැමැත්තෙන් සිටින හා ධර්මිෂ්ඨකම සඳහා තම ස්ථාවරය ගෙන තියෙන අවංක හෘද ඇති පුද්ගලයන් දසදහස් ගණනක් මෙම වැඩිවීම්වලින් නියෝජනය වෙනවා. මෙලෙස සිදු වන ශීඝ්‍ර වර්ධනය මුළු ක්‍රිස්තියානි සහෝදරත්වයටම ප්‍රීතිය ගෙන දෙනවා.
18. ජනයා ඇසුවත් නෑසුවත්, අපේ ආකල්පය මොන වගේ එකක්ද වෙන්න යන්නේ?
18 ඔබේ ප්‍රදේශයේ ජනයා ඒ හා සමාන කැමැත්තකින් ප්‍රතිචාරය දක්වනවාද? එහෙම දක්වනවා නම්, අපිත් ඔබ සමඟ ප්‍රීති වෙනවා. කොහොම වුණත්, ඇතැම් ප්‍රදේශවල උනන්දුව දක්වන එක පුද්ගලයෙක් හොයාගන්න බොහෝ පැය ගණනක් වෙහෙස මහන්සි වී වැඩ කරන්න සිදු වෙනවා. එවැනි ප්‍රදේශවල සේවය කරන අය අලස වී අධෛර්යයට පත් වෙනවාද? නැහැ. දෙවි මුලින්ම එසකියෙල්ට තම යුදෙව් ආශ්‍රිතයන්ට දේශනා කිරීමේ පැවරුම දුන් විට, ඔහු එම තරුණ අනාගතවක්තෘට පැවසූ වචන යෙහෝවාගේ සාක්ෂිකරුවන් සිහියේ තබාගන්නවා: “ඔවුන් කැරළිකාර වංශයක් බැවින්, ඔවුන් අසතත් නොඅසතත් තමුන් අතරෙහි අනාගතවක්තෘ කෙනෙක් සිටි බව ඔවුන් දැනගන්නවා ඇත.” (එසකියෙල් 2:5) එසකියෙල් කළාක් මෙන්, ජනයා ඇසුවත් නෑසුවත් අපි ඔවුන්ට දේවසමාදානය ගැන දිගටම කියනවා. ඔවුන් අසනවා නම්, අපි සතුටින් පිනා යනවා. ඔවුන් අපිට පිටු පා, අපිව සරදමට හා ඇතැම්විට පීඩාවට ලක් කරන විට පවා, අපි අත්නෑර සේවය කරනවා. අපි යෙහෝවාට ප්‍රේම කරන අතර, බයිබලය කියන්නේ: “ප්‍රේමය . . . සියල්ල ඉවසන්නේය” කියලයි. (1 කොරින්ති 13:4, 7) අපි විඳදරාගැනීමෙන් යුතුව දේශනා කරන හින්දා, යෙහෝවාගේ සාක්ෂිකරුවන් කවුද කියලා ජනයා දන්නවා. අපේ පණිවිඩය මොකක්ද කියලා ඔවුන් දන්නවා. අන්තිමය පැමිණෙන කොට, දේවසමාදානය භුක්ති විඳින්න යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔවුන්ට උපකාර කරන්න උත්සාහ කළ බව ඔවුන් දැනගනීවි.
19. සැබෑ දෙවිගේ සේවකයන් වශයෙන්, අපි නිධානයක් කොට සලකන්නේ මොන මහත් වරප්‍රසාදයද?
19 යෙහෝවාට සේවය කරන එක තරම්, උතුම් වරප්‍රසාදයක් තියෙනවාද? නැහැ! අපේ උතුම්ම සන්තෝෂය පැමිණෙන්නේ දෙවි සමඟ අපිට තියෙන සම්බන්ධතාවෙන් සහ අපි ඔහුගේ කැමැත්ත කරනවා කියලා දැනසිටීමෙන්. “ප්‍රීතිමත් හඬ දන්නාවූ සෙනඟ ආශීර්වාදලද්දෝය. ස්වාමිනි, [අහෝ යෙහෝවා, NW] ඔව්හු ඔබගේ මුහුණේ එළියෙහි හැසිරෙති.” (ගීතාවලිය 89:15) එබැවින් මනුෂ්‍යවර්ගයා සඳහා දෙවිගේ සමාදානයේ දූතයන් වීමේ ප්‍රීතිය අපි හැමවිටම නිධානයක් සේ සලකමු. යෙහෝවා මෙම කාර්යය අවසානයි කියලා කියන තුරු අපි අපේ කොටස උත්සාහවන්තව කරමු.
ඔබට මතකද?
◻ අදදින දෙවිගේ සමාදානයේ දූතයන් කවුද?
◻ මහ බබිලෝනිය 1919දී වැටීමකට භාජන වුණා කියලා අපි දන්නේ කොහොමද?
◻ ‘මහත් සමූහයේ’ මූලික සැලකිල්ල වී ඇත්තේ මොකක්ද?
◻ අදදින බොහෝ ජනයා හිතන තරමටත් වඩා අනාගතය අඳුරු ඇයි?
◻ හරි හෘද තත්වයක් ඇති අය හිතනවාටත් වඩා අනාගතය හොඳ විය හැක්කේ ඇයි?
[21වන පිටුවේ පින්තූර]
අද පොළොවේ ඉන්න සන්තෝෂවත්ම සෙනඟ, දේවසමාදානයේ දූතයෝයි
[23වන පිටුවේ පින්තූර]
මිනිස් සමාජයේ පිරිහීම දකින විට, බොහෝදෙනෙක්ට යම් ඇබැද්දියක් ළඟයි කියලා දැනෙනවා