මගේ හෘදය ස්තුතිවන්තකමෙන් ඉතිරී යනවා
ජොන් වින් පැවසූ පරිදි
යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යන්න බැහැයි කියලා මම කොයිතරම් වාරයක් කැරලිගැහැව්වද! රැස්වීම්වලට යන්න බැරි වෙන විදිහට මම බොරු බඩේ අමාරුවක් නැත්නම් හිසේ කැක්කුමක් ගන්නවා. නමුත් මගේ අම්මගෙන් මට කොයි වෙලාවකවත් බුරුලක් නොලැබුණ නිසා ඒ වගේ ලෙඩ ඉක්මනින්ම නැති වෙන්න සැලැස්සුවා; අන්තිමේදී ඇය වයසක යෙහෙළියක් එක්ක දේවවචනය සාකච්ඡා කර කර රාජ්‍ය ශාලාවට කිලෝමීටර් 3ක් ඇවිදිද්දී, මට ඒකට ඇහුම්කන් දිදී ඇය එක්ක යන්න සිද්ධ වුණා.
මෙය මට වටිනා පාඩමක් ඉගැන්නුවා: ප්‍රේමනීය ආකාරයකින් දෙවිගේ ඇස් ඉදිරියේ හරි දේ කරමින් ස්ථිරව සිටීම දෙමාපියන් විසින් කවදාවත් නවතා නොදැමිය යුතුයි. (හිතෝපදේශ 29:15, 17) ‘අප එකට එක්රැස්වීම අත්නෑර’ කියන දිව්‍යමය නියෝගය ඔවුන් කෙදිනකවත් අමතක නොකළ යුතුයි. (හෙබ්‍රෙව් 10:25) මගේ ජීවිතය දෙස මම හැරිලා බලද්දී, මගේ අම්මා මට සුදුසුම දේ කරන්න සැලැස්වීම ගැන මම කොයිතරම් කෘතඥ වෙන්න ඕනෙද!
කදිම ආදර්ශ සඳහා ස්තුතිවන්තකම
මගේ තාත්තා නොඇදහිලිකාරයෙක් වුණත්, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව එවකට හැඳින්වූ ආකාරයට, අම්මා බයිබල් ශිෂ්‍යයෙක් වුණහම ඇගේ විශ්වාසයන්වලට ඔහු ඉඩ දුන්නා. වොච් ටවර් සමිතියේ මුල්ම සභාපති වූ චාල්ස් ටී. රසල් දුන් “මිනීවළෙන් ඔබ්බට” (ඉංග්‍රීසියෙන්) නමැති කතාවට ඇහුම්කන් දෙන්න ඇය 1913දී ගියා. කොහොමනමුත්, ඇය යන කොට ආසන පිරී තිබුණා. ඒ නිසා පරක්කු වෙලා ආ අනිත් අය එක්ක වේදිකාව ළඟ, පාස්ටර් රසල්ට කිට්ටුවෙන්ම වගේ ඉඳගන්න ඇයට ආරාධනා කළා. ඒ කතාව ඇගේ හෘදයට ගැඹුරින් කාවැදුණා. ඊළඟ දවසේ දේශීය පුවත්පතක ඒක පළ කරලා තිබුණු අතර ඇය එහි පිටපතක් තබාගෙන, කීපවිටක්ම කියෙව්වා.
රැස්වීමෙන් පස්සේ අම්මා ඇගේ නම හා ලිපිනය දුන්නා; බයිබල් ශිෂ්‍යයෙක් නොපමාව ඇයව හමු වෙන්න ආවා. කල් යද්දී, එංගලන්තයේ අපේ ග්ලෝස්ට’ කියන ගමේ ඇය ගෙයින් ගෙට බයිබල් පත්‍රිකා බෙදන්න පටන්ගත්තා. මගේ සහෝදරියන් දෙන්නා සහ මම ඉතා බාල වයසේදීම අම්මා එක්ක දේශනා වැඩයට හවුල් වුණා.
ජ්වලිත බයිබල් ශිෂ්‍යයෙක් වූ හැරි ෆ්‍රැන්සිස් ග්ලෝස්ට’වලට පැමුණුණහම අම්මා ඔහුව ඉතා උණුසුම් ලෙස පිළිගත්තා. වැඩිකල් නොගොස්, ඔහු මා කෙරෙහි පෞද්ගලික උනන්දුවක් දැක්වූ අතර, ඔහුගේ දිරිගැන්වීම පූර්ණ-කාලීන දේවසේවකයන්ව හැඳින්වූ ආකාරයට මට පසු කලක පුරෝගාමියෙක් වෙන්න ප්‍රධාන හේතුවක් වුණා. සහෝදර ෆ්රැන්සිස්ගේ ආදර්ශය මට වැදගත් පාඩමක් ඉගැන්නුවා: වයසින් වැඩි අය හැමවිටම බාල අයව දිරිගන්වන්න මාර්ග සෙවිය යුතුයි.
මගේ අම්මා බයිබල් ශිෂ්‍යාවක් වුණහම ග්ලෝස්ට’වල අනිත් අයත් ඒ දේම කළා. කෙසේවුවත්, සභාවේ සමහර වැඩිමහල්ලන් තමන් ගැන ඕනෑවට වඩා හිතන්න පටන්ගත් අතර, එවකට සභාව හැඳින්වූ ලෙස, පංතියේ සාමාජිකයන් පුද්ගලයන්ව අනුගමනය කරන්න පටන්ගත්තා. එක රැස්වීමකදී, අම්මගේ පිටිපස්සේ හිටිය අය ඇඟිල්ලෙන් ඇණ ඇණ සමහර වැඩිමහල්ලන් වෙනුවෙන් අත උස්සලා සහාය දෙන්න කියලා ඇයට පෙරැත්ත කළා. නමුත් ඔවුන් හොඳ ආදර්ශයක් තියලා නැති බව අම්මා දැනගෙන හිටිය නිසා, ඒගොල්ලන්ට භය වෙලා අත ඉස්සුවේ නෑ. ඒ කාලයේදී, 1920 ගණන්වල අගභාගයේදී, බොහෝදෙනෙක් සභාව අත්හැර ගිය අතර සත්‍යයේ මාර්ගයේ තවදුරටත් ගමන් කළේ නෑ. (2 පේතෘස් 2:2) ඒත්, අම්මා පක්ෂපාතව සංවිධානයට සහාය දැක්වීමෙන් කවදාවත් පිට පැන්නේ නැහැ; ඒ හේතුවෙන් මට කදිම ආදර්ශයක් තැබුවා.
සත්‍යය වෙනුවෙන් මගේ ස්ථාවරය
අන්තිමේදී, 1939 ජූනිවලදී මට අවුරුදු 18දී, මම සෙවර්න් ගඟේ බව්තීස්ම වුණා. ඒ අවුරුද්දේ මාව ශබ්ද විකාශන අංශය භාරව පත් කළා. ඒ දවස්වල අපි විශාල පිටපත් කිරීමේ යන්ත්‍රයක් පාවිච්චි කළා; ඒක ප්‍රසිද්ධ ස්ථානවල මහත් ශබ්දයකින් “ආගම උගුලක් සහ වංචාවක්” යන පණිවිඩය නිකුත් කළා. ඒ කාලයේදී අවධාරණය කිරීමට වෑයම් කළේ, ක්‍රිස්තියානි ලෝකයේ කුහකකම හා බොරු ඉගැන්වීම් අනාවරණය කිරීම සම්බන්ධයෙනුයි.
එක අවස්ථාවකදී මම, එක පැත්තක “ආගම උගුලක් සහ වංචාවක්” සහ අනිත් පැත්තේ “දෙවිට හා ක්‍රිස්තු රජට සේවය කරන්න” යන ප්‍රකාශයන් ඇති බැනරයක් උස්සගෙන පෙළපාළියක මුලින්ම හිටියා. ඊට පස්සේ හිටියේ පෝනියෙක්; උගේ පිටේ දෙපැත්තේම ප්‍රසිද්ධ අනුශාසනාව ප්‍රචාරය කරන විශාල පෝස්ටර් ගහලා තිබුණා. තදින් ආගම අදහන ග්ලෝස්ට’ නගරයේ ඒ පෙළපාළිය මොනතරම් අපූරු දසුනක් මවන්න ඇද්ද!
ගෙදර මුදල් අමාරුකම් තිබුණත්, පුරෝගාමියෙක් වෙන්න කියලා අම්මා මාව දිරිගැන්නුවා. ඉතින් 1939 සැප්තැම්බර්වලදී, IIවන ලෝක යුද්ධයේ ආරම්භයේදී, වොරික්ෂ’හි කුඩා නගරයක් වන ලෙමින්ටන්වලට මගේ මුල්ම පුරෝගාමී පැවරුම භාරගන්න පැමිණියා. නගරය විශ්‍රාමික පූජකයන් කීපදෙනෙකුගේ නිවස වී තිබුණා.
වොච් ටවර් බයිබල් සහ පත්‍රිකා සමිතියේ එවකට සභාපතිව සිටි ජෝසෆ් එෆ්. රද’ෆ’ඩ්ගේ දේශන වාදනය කරමින්, අපේ ගෙයින්-ගෙට දේශනා සේවයේදී අපි සැහැල්ලු ශබ්දවාහිනී යන්ත්‍රයක් පාවිච්චි කළා. අනිත් අතට, අපේ පිටපත් කිරීමේ යන්ත්‍රය (විශාල සභාවලටද පාවිච්චි කළ හැකියි) තරමක් බර එකක් වූ නිසා, අපි ඒක ළදරු රථයක් හෝ ළදරු කරත්තයක දාගෙන ගියා. බොරු ආගම හෙළි කරන පණිවිඩයෙන් කෝපයට පත් වී, සමහර පූජකයන් අපිව ඔවුන්ගේ ගෙවල්වලින් එළවා දැම්මා. නමුත් අපි අධෛර්යයට පත් වුණේ නෑ. යෙහෝවා අපේ වැඩයට ආශීර්වාද කළ අතර, අදදින ලෙමින්ටන්වල සාක්ෂිකරුවන් සියයකට වඩා වැඩි සභාවක් දැකගන්න පුළුවන්.
එක්දාස් නවසිය හතළිස්එකේදී IIවන ලෝක යුද්ධය පැතිර යද්දී, මම වේල්සය වෙත ගොස්, එහි හැවෆ’ඩ්වෙස්ට්, කාර්මාර්තන් සහ රෙක්සම් නගරවල පුරෝගාමී සේවයේ යෙදුණා. පූර්ණ-කාලීන දේවසේවකයෙකු වශයෙන්, මා යුද හමුදා සේවයෙන් නිදහස් වී සිටියත්, ජනයා අපේ මධ්‍යස්ථ තත්වය අගය කළේ නෑ. මේ හේතුවෙන්, මගේ සහයකයා සහ මම ඔත්තුකාරයන් හෝ චරපුරුෂ කණ්ඩායමක සාමාජිකයන් බවට ප්‍රසිද්ධියේ චෝදනා කළා. එක රාත්‍රියකදී, පොලිසිය අපේ ට්‍රේලර් රථ නිවස වට කළා. මගේ සහයකයා, ගල්අඟුරු පැටවීමේ වැඩ නිම කර ආව ගමන්ම වගේ, කවුද එළියේ ඉන්නේ කියලා බලන්න ඔහුගේ ඔළුව එළියට දැම්මා. ඔහුගේ මුහුණ ගල්අඟුරු කුඩුවලින් වැහිලා තිබුණ නිසා පොලිසිය ඔහුව දැක්කේ හරියට සටන් කරන්න සැරසුණු කෙනෙක් විදිහටයි. ඒ නිසා යම් පැහැදිලි කිරීමක් කරන්න සිද්ධ වුණා!
අපේ පැවරුමේදී අපි හුඟක් ආශීර්වාද ලැබුවා. වතාවක, අපි කාර්මාර්තන්වල ඉන්න කොට, ලන්ඩන් ශාඛා කාර්යාලයේ සිටි ජොන් බාර් (දැන් පාලක මණ්ඩලයේ සාමාජිකයෙක්) අපිව දිරිගන්වන බැහැදැකීමක් කළා. ඒ කාලයේදී, කාර්මාර්තන්වල හිටියේ ප්‍රචාරකයන් දෙන්නෙක් විතරයි; දැන්, සීයකට වඩා ඉන්නවා. රෙක්සම්වල දැනට සභා තුනක් තියෙන අතර මට මෑතකදී හැවෆ’ඩ්වෙස්ට්හි කදිම රාජ්‍ය ශාලාවක් කැප කිරීමේ ප්‍රස්තාව ලැබුණා.—1 කොරින්ති 3:6.
මගේ මෙහෙය සඳහා ස්තුතිවන්තකම
අපි දකුණු වේල්සයේ ස්වාංසියාවල ඉන්න කොට මගේ සහකාර ඩොන් රෙන්ඩෙල්ට යුද හමුදා සේවයෙන් නිදහස්ව ඉන්න අවසර දුන්නේ නෑ. හෘදය සාක්ෂියට එකඟව ඔහුට වෙනත් රටවල ඉන්න සෙසු ක්‍රිස්තියානීන්ට විරුද්ධව යුද්ධ කළ නොහැකි බව පැහැදිලි කළත් ඔහුව සිරගෙයි දැම්මා. (යෙසායා 2:2-4; යොහන් 13:34, 35) ඔහුව දිරිගන්වන්නත්, ඒ වගේම අසල්වැසියන්ට සාක්ෂියක් දෙන්නත්, මම ඒ පිටපත් කිරීමේ යන්ත්‍රය ළඟපාතක තබා බයිබල් දේශනා වාදනය කළා.
කොහොමනමුත්, මේකට අකමැති වුණ ඒ අහළ පහළ ස්ත්‍රීන් මගේ යාළුවාටයි, මටයි සොල්දාදුවෝ ලව්වා ගස්සවන්න අවට වැසියන්ගෙන් සල්ලි එකතු කළා. ආරක්ෂාව සොයා රාජ්‍ය ශාලාවට යන්න, අපිට හැකි තරම් වේගයෙන් අපි දිව්වා; මට පිටපත් කිරීමේ යන්ත්‍රය දාලා තිබුණ ළදරු රථයත් තල්ලු කරගෙනම දුවන්න සිද්ධ වුණා. නමුත් අපි එතැනට ගියහම, ඒක අගුලු ලා තිබුණා! දරුණු විදිහට පහර කෑම වැළැක්කුවේ පොලිසිය වෙලාවට ආපු නිසයි.
සිද්ධිය පැහැදිලිවම ප්‍රසිද්ධ වුණා. ඊට පස්සේ දවසක, ස්වාංසියා අසල රටක මම දේශනා සේවයේ යෙදිලා ඉන්න කොට, ප්‍රසාදය පළ කරන ආකාරයකින් මනුෂ්‍යයෙක් මට මෙහෙම කිව්වා: “ස්වාංසියාවේ හිටිය තරුණයෙක් එයා විශ්වාස කළ දේ නිර්භීතව කිව්ව හින්දා ආරක්ෂාව සඳහා එයාට පලා යන්න සිද්ධ වුණා; අන්න ඒ වගේ ඕගොල්ලො ක්‍රිස්තියානි ධර්මය ආරක්ෂා කරන්න ඕනෙ.” ඒ තරුණයා මා බව දැනගත්තහම ඔහු කොයිතරම් පුදුම වුණාද!
යුද්ධය පැවතුණු ඒ කාලයේදී පුරෝගාමී සේවය පහසු වුණේ නෑ. ලෞකික වස්තු අපිට නොතිබුණත් අපිට තිබුණ දේ අගය කරලා, ඒවා ප්‍රීතියෙන් භුක්ති වින්දා. අපිට හැමවිටම නිතිපතා ආත්මික ආහාර ලැබුණා; ඒ වගේම ලෙඩ වුණ අවස්ථාවලදී හැරෙන්න වෙන කිසිම අවස්ථාවකදී අපි එක රැස්වීමක්වත් අතඇරියේ නෑ. මම පරණ බයිසිකලයක් සල්ලිවලට අරගත්තා; ශබ්දවාහිනී යන්ත්‍රයකුත්, බයිබල් පොත් පතුත් ගෙනියන්න අපි ඒකට ලොකු කූඩ සවි කරගත්තා. සමහර අවස්ථාවලදී මම බයිසිකල් එකේ දවසකට කිලෝමීටර් 80ක් විතර ගමන් කළා! මම අවුරුදු හතක් විතර පුරෝගාමී සේවය කළ අතර ඒ දවස් මතකයට නඟාගන්නේ ආශාවෙන්.
එක්දාස් නවසිය හතළිස්හයේදී, IIවන ලෝක යුද්ධය අවසන් වුණාට පස්සේ, බෙතෙල් එකේ වැඩ කරන්න මට ආරාධනයක් ලැබුණා; යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රධාන කාර්යාල පහසුකම් ඒ රටවල හැඳින්නුවේ ඒ නමින්. අපේ බෙතෙල් නිවස එවිට පිහිටා තිබුණේ ලන්ඩන් යුදෙව් දේවස්ථානයට යාබදව, 34 ක්‍රේවන් ටෙරස්වලයි. ඇලිස් හාට් වැනි එහි සිටි වයසක අයව ආශ්‍රය කිරීමෙන් මම ප්‍රීතියක් ලැබුවා; ඇගේ පියා ටොම් හාට් එංගලන්තයේ මුල්ම සාක්ෂිකාරයා වී සිටි බවට විශ්වාස කරනවා.
විශ්වාසවන්ත සහකාරියක් ලැබීම
එටීව විවාහ කරගන්න 1956දී මම බෙතෙල් එකෙන් පිට වෙලා ගියා; එවකට ලන්ඩන්වල හිටිය ඇගේ සහෝදරිය බලන්න ඇය නෙදර්ලන්තයේ සිට ආ වෙලාවකයි පුරෝගාමී සහෝදරියක් වූ ඇයව මට ඇඳිනගන්න පුළුවන් වුණේ. යුද්ධයේ අවසාන භාගයේදී, දකුණු නෙදර්ලන්තයේ ටිල්බර්ග්වල වාණිජ විද්‍යාලයක එටී යතුරු ලියනය හා ලඝුලේඛනය ඉගැන්නුවා. දවසක් ඇගේ ආරක්ෂාවට තවත් ගුරුවරයෙක් ඇය එක්ක බයිසිකලය පැදගෙන යන්න ඉදිරිපත් වුණා. ඔහු රෝමානු කතෝලිකයෙක්. ඔවුන් පැමිණි විට, එටීගේ රෙපරමාදු දෙමාපියන් එක්ක සාකච්ඡාවක් පැවැත්තුවා. මිත්‍රත්වය ගොඩනැඟුණු අතර, ගුරුවරයා ඒගොල්ලන්ව නිතර බැහැදකින කෙනෙක් බවට පත් වුණා.
යුද්ධය අවසන් වූ විගස, මේ ගුරුවරයා මෙහෙම කෑගසමින් එටීගේ නිවසට ආවා; “මට සත්‍යය හම්බ වුණා!”
“ඔයා රෝමානු කතෝලිකයෙක් වෙලා ඉන්න කොට ඔයාට සත්‍යය තිබුණ බව කිව්වා කියලයි මම හිතුවේ!” එටීගේ තාත්තා කිව්වා.
“නෑ!” ඔහු කලබලෙන් පිළිතුරු දුන්නා. “සත්‍යය තියෙන්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් ළඟයි!”
ඒ හැන්දෑවේ සහ තවත් හැන්දෑ වරු ගණනකදී තියුණු බයිබල් සාකච්ඡා පැවතුණා. ඊට ටික දවසකට පස්සේ එටී පුරෝගාමියක බවට පත් වුණා. ඇගේ මෙහෙයේදී ඇයටත් දැඩි විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න සිද්ධ වුණා; නෙදර්ලන්තයේදී රෝමානු කතෝලික පල්ලියෙන් විරුද්ධවාදිකම් ආවා. පූජකයන් විසින් පොලඹවන ලද ළමයි, ඇය ගෙයින් ගෙට යද්දී ඇගේ සංවාදවලට බාධා කළා; එක අවස්ථාවකදී ඔවුන් ඇගේ බයිසිකලේ කැඩුවා. කලින් ඇගෙන් පොත්පිංචයක් අරගෙන තිබුණ බයිසිකල් අලුත්වැඩියා කරන්නෙක් ළඟට ඇගේ බයිසිකලය ගෙන ගියා. “බලන්න ළමයි කරලා තියෙන දේ!” ඇය අඬ අඬා කිව්වා.
“ඔයා අධෛර්යය වෙන්න එපා. ඔයා කරන්නේ හොඳ වැඩක්. මං ඔයාගේ බයිසිකලේ නිකං හදලා දෙන්නං,” ඒ තැනැත්තා කාරුණිකව පිළිතුරු දුන්නා. ඔහු ඒ විදිහට කළා.
ඔවුන්ගේ රැළේ සිටින්නන් සමඟ ඇය බයිබලය පාඩම් කරන්න පටන්ගන්න තුරුම, පූජකයෝ ඔවුන්ගේ රැළ ගැන සැලකිල්ලක් දක්වා තිබුණේ නැති බව එටී දැනගත්තා. එවිට පූජකයන් සහ කන්‍යා සොහොයුරියන් බයිබලය හා යෙහෝවා කෙරෙහි ජනයාගේ ඇදහිල්ල දුර්වල කරන්න පටන්ගත්තා. මෙහෙම තිබුණත්, ඇය ඵලදායී බයිබල් පාඩම් බොහොමයකින් සතුටක් ලැබුවා.
එක්ව ගත කරන්න ලැබුණු ජීවිතයට ස්තුතිවන්තව
අපේ විවාහ මංගල්‍යයෙන් පස්සේ, එටීටයි, මටයි එංගලන්තයේ සංචාරක වැඩට පැවරුමක් ලැබුණ අතර, අවුරුදු පහකට විතර ආසන්න කාලයක් අපි සභාවල සිටි අයව ආත්මිකව ශක්තිමත් කරන්න සභාවලට ගියා. ඊට පස්සේ බෘක්ලින් නියූ යෝක්වල යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලවල පැවති 36වෙනි ගිලියඩ් පංතියට සහභාගි වෙන්න මට ආරාධනයක් ලැබුණා. වර්ෂ 1961 නොවැම්බර්වලදී නිම වුණ මාස-දහයක පාඨමාලාව විශේෂයෙන්ම නිර්මාණය කරලා තිබුණේ, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලවල වැඩ මෙහෙයවීම සඳහා පුරුෂයන්ව පුහුණු කිරීමටයි. මම නැති අතරේ, එටී එංගලන්තයේ ලන්ඩන් බෙතෙල් එකේම නැවතී සිටියා. මගේ උපාධිය ලැබීමත් සමඟම අපි දෙදෙනාටම එහි පැවරුමක් ලැබුණා.
ඊළඟ අවුරුදු 16 පුරා, සභා වැඩ කටයුතුවලට අදාළ කාරණා මෙහෙයවීම සඳහා මම සේවා අංශයේ වැඩ කළා. ඊළඟට, 1978දී, බෙතෙල් නිවාස අවේක්ෂක ප්‍රයිස් හියූස් මැරුණහම මාව ඔහුගේ ස්ථානයට පත් කළා. අපේ වැඩිවර්ධනය වන බෙතෙල් පවුලේ සාමාජිකයන්ගේ ශුභ-සිද්ධිය සඳහා වගකිව යුතුව සිටීම, මේ වර්ෂ ගණනාව පුරා ඵලදායී පැවරුමක් වුණා; දැන් අපේ පවුලේ 260කට වඩා ඉන්නවා.
වර්ෂ 1971දී මගේ ආදරණීය අම්මා වයස 85දී මියගියා. එටීයි මමයි අවමංගල්‍යය සඳහා ග්ලෝස්ට’වලට ආයිත් ගියා; එහිදී සහෝදරයෙක් අම්මාට තිබුණ ස්වර්ගික බලාපොරොත්තුව ගැන හොඳින් කරුණු පැහැදිලි කළා. (පිලිප්පි 3:14) මගේ අම්මාගේ මහලු වයසේදී මගේ සහෝදරියන් වූ ඩොරිස් සහ ග්‍රේස් සැපයුව ප්‍රේමනීය සැලකිල්ලට මම ස්තුතිවන්ත වෙනවා; ඒ නිසා එටීටයි මටයි දිගටම පූර්ණ-කාලීන සේවයේ යෙදෙන්න පුළුවන් වුණා.
එටී සහ මම, අපේ දෙමාපියන් ගැනත්, ප්‍රේමනීයව, ස්ථිර ආකාරයකින් අපිව ඇති දැඩි කළ විදිහ ගැනත් නිතර කල්පනා කරනවා. අපි ඔවුන්ට මොනතරම් ණයගැතිද! අප තුළ යෙහෝවා සහ ඔහුගේ සංවිධානය සඳහා අගය ගොඩනඟමින්, මගේ අම්මා විශේෂයෙන් මටත්, මගේ සහෝදරියන්ටත් පුදුමාකාර ආදර්ශයක් තැබුවා.
ඇත්තෙන්ම, අපේ ස්වර්ගික පියා වූ යෙහෝවාට කරන සේවය ගැන හැම අලුත් දවසකම කල්පනා කරද්දී අපේ හෘද ස්තුතිවන්තකමෙන් ඉතිරී යනවා. ඔහු මොනතරම් චමත්කාරජනක ප්‍රේමනීය දෙවිකෙනෙක්ද! බයිබලයේ ගීතිකාකාරයා මෙහෙම ලියද්දී අපේ හැඟීම් ප්‍රකාශ කළා: “මාගේ දෙවිවූ [රජ්ජුරුවනි], ඔබ උසස්කරන්නෙමි; ඔබගේ නාමයට සදාකාලේටම ප්‍රශංසාකරන්නෙමි. සෑමදාම ඔබට ප්‍රශංසාකරන්නෙමි; සදාකාලේටම ඔබගේ නාමය වර්ණනා කරන්නෙමි.”—ගීතාවලිය 145:1, 2.
[26වන පිටුවේ පින්තූරය]
මගේ භාර්යාව, එටී සමඟ