රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව
දෙවි එය ඇලස්කාවෙහි වැඩෙන්න සලස්වයි
හිම සහ අයිස් වැස්මකට යටින් පුංචි බීජයක් මෝරලා වැඩෙන්න අවස්ථාවක් එන තුරු බලා සිටියි. මාස තුනක කෙටි කාලයකින් යුත් ඇලස්කානු ගිම්හානයේදී, මිලිමීටර් තුනක විෂ්කම්භයක් ඇති ගෝවා බීජයක් කිලෝග්‍රෑම් 40කට ආසන්න ප්‍රමාණයකට වැඩෙන්න ඉඩ තිබෙනවා! ඔව්, වගා කළ නොහැකි මුඩු බිමක් කියා බොහෝදෙනෙක් හිතුව මේ දේශයට බහුල ඵලදාවක් නිපදවිය හැකියි.
ඇලස්කාවේ ආත්මික ක්ෂේත්රයෙහි මෙය විශේෂයෙන්ම සත්‍යයක්. එහි, දිගු කලක් ශීත ඍතු පවතින දේශයෙහි, යෙහෝවාගේ සාක්ෂිකරුවන් දිගටම රාජ්‍ය බීජ වපුරමින් සිටියි. පොළොවේ අනිත් කොටස්වල වාගේම, සාරවත් හෘදවල බීජය වැඩීමට දෙවි සලස්වයි.—1 කොරින්ති 3:6, 7.
● පාසැල් බසයක සිටියදී, සාක්ෂිකාර යෞවනියක් වූ වනෙසා, සෙසු ශිෂ්‍යාවක් වන ඈන් සැමවිටම තනියෙන් ඉන්න බව නිරීක්ෂණය කළා. ඈන් දුකෙන් වගෙයි හිටියේ; ඒ නිසා තමා ළඟින් ඉඳගන්න කියා වනෙසා ඈන්ට ආරාධනා කළා. ඈන් දුකෙන් හිටි එක පුදුමයක් නොවේ! ඇගේ අම්මා හෘදයාබාධයකින් මියගොස් තිබුණු අතර, ඊට ටික කලකට පස්සේ ඇගේ තාත්තත් පිළිකාවකින් මියගියා. ඒ හින්දයි ඈන් ඇලස්කාවේ සිටි නෑදෑයන් එක්ක විසුවේ.
එක සෙනසුරාදාවක ක්ෂේත්‍ර සේවයේ යෙදෙන අතරතුර වනෙසා තම අලුත් යාළුවාගේ ගෙදරට ගිය අතර, ඇත්තට ම දෙවියන් වහන්සේ අප ගැන සලකන සේක් ද? විවරණිකාව ඇයට දුන්නා. ඊළඟ සඳුදා පාසැලේදී, ඈන් සාක්ෂිකාර යෞවනියව සොයාගත්තා. ඈන්ට බයිබල් ප්‍රශ්න හුඟක් තිබුණු අතර, වනෙසාට හැකි වුණා ඒවාට උත්තර දෙන්න. “ඕගොල්ලන්ගේ දේවමෙහෙයන් පවත්වන්නේ කොහෙද?” ඇය විමසුවා. ඒ සැන්දෑවේ ඈන් රාජ්‍ය ශාලාවේ මුල්ම රැස්වීමට සහභාගි වුණා.
යේසු පොරොන්දු වුණා වගේම, මේ 17-හැවිරිදි අනාථ යෞවනියට ‘පියවරුන්’ සහ ‘මව්වරුන්’ බොහෝදෙනෙක් සොයාගන්න වැඩි කලක් ගත වුණේ නෑ. (මතෙව් 19:29) එමෙන්ම සතුටෙන් හා සිනාවෙන් පිරි ඈන් “දේවසමාදානයේ දූතයෝ” දිස්ත්‍රික් සමුළුවේදී වතුර බව්තීස්මය මගින් යෙහෝවාට ඇගේ කැපවීම සංකේතවත් කරනවා දකින්න ලැබීම මොනතරම් ප්‍රීතිමත් අවස්ථාවක් වුණාද!
● විශාල ඇලස්කානු ආක්ටික් ප්‍රදේශයෙහි හුදකලා ප්‍රදේශවල—කිලෝමීටර් සියගණනක පාළුකරවලින් වෙන් වූ ගම්මානවල—ප්‍රජාවන් 150කට වැඩි සංඛ්‍යාවකට රාජ්‍ය බීජ වැපිරීම සඳහා වොච් ටවර් සමිතියේ යුගළ-එන්ජින් ගුවන්යානය යොදාගෙන තිබෙනවා. නමුත් බයිබලයේ ස්ථාවර පාඩමක් මගින් ආත්මික වර්ධනය රඳාපවතින්නේ ලියුම් හුවමාරුව මතයි. ලියුම් ලිවීම බොහෝදෙනෙකුට අභියෝගයක් නිසා, ශිෂ්‍යයාගේ උනන්දුව සප්රාණිකව තබාගැනීමට බයිබල් ගුරුවරයා නිර්මාණාත්මක විය යුතුයි. මෙය ඉටු කරගත හැකි වන්නේ කෙසේද?
කැතී එඩ්නාට වඩා කිලෝමීටර් 600කට වැඩි ඈතක ජීවත් වුණත්, කැතී, එඩ්නා සමඟ ප්රගතිශීලී බයිබල් පාඩමක් පැවැත්තුවා! පාඩම් ආධාරකයේ තිබෙන ප්‍රශ්න නිකම් ලියනවාට වඩා, උත්තර ලියන්න ඉඩ තබමින් කැතී වෙනම කොළයක ප්‍රශ්න ලිව්වා. එඩ්නා උත්තර ලියා එව්වහම, යම් කාරණයක් පැහැදිලි කරන්න අවශ්‍ය නම් අදහස් ප්‍රකාශයන් ඇතුළත් කර යළි පිළිතුරු යැව්වා. කැතී මෙහෙම කියනවා: “අපේ ‘පාඩමට’ මම බදාදා හවස්වරුව වෙන් කළා; වෙන බයිබල් පාඩම් පවත්වනවා වගේම ඒ වෙලාව ඒක වෙනුවෙන්ම තියාගන්න උත්සාහ කළා. මම එඩ්නාගේ ලිපිය ලියලා, මුද්දර කවරයකුත් යැව්වා. තැපෑලෙන් යන්න සති දෙකක් ගත වුණ නිසා, තැපෑලෙන් පාඩමක් කරන එක තරමක් ප්‍රමාද දෙයක් බව දකින්න තිබුණා.”
තැපෑලෙන් පාඩම් කර මාස දහයකට පසුව ඇන්කරේජ්හි දිස්ත්‍රික් සමුළුවේදී කැතී හා එඩ්නා මුණගැසුණු අවස්ථාවේදී ඇති වුණ නිම්හිම් නැති සතුට ගැන සිතා බලන්න! ඇලස්කාවේ හුදකලා ගම්මාන කීපයකින්ම බයිබල් ශිෂ්‍යයන් හා උනන්දුව දක්වන වෙනත් අය පැමිණ සිටීමත් සාක්ෂිකරුවන්ට ප්‍රීතියක් වුණා.
සමහර අවස්ථාවලදී වැඩීම ප්‍රමාද බවක් පෙන්වුවත්, සත්යාලෝකයට නිරාවරණය කළ විට ඇතැම් “බීජ පැළ” ශීඝ්‍රයෙන් දළු ලා වැඩෙනවා. සාමාන්‍යයෙන්, ඇලස්කාවේ සෑම වර්ෂයකම යෙහෝවාගේ නවක ප්රශංසාකරුවන් සීයකට වඩා බව්තීස්ම වෙනවා! එම වර්ධනය සඳහා අපි කියනවා, “යෙහෝවා ඔබට ස්තුතියි” කියලා!