‘අප සමාන හැඟීම් ඇති’ මනුෂ්‍යයෝ
ඔහු රජෙක් හා ප්‍රොපේතවරයෙක් වූ නමුත් ප්‍රේමනීය පියෙක්ද වුණා. ඔහුගේ එක පුතෙක් වැඩුණු විට ආඩම්බර මෙන්ම අහංකාර වුණා. සිංහාසනය බලෙන් පැහැරගැනීමට වෑයම් කිරීමේ අදිටනින් මේ පුතා තම පියාව මැරීමේ අභිප්‍රායෙන් සිවිල් යුද්ධයක් දියත් කළා. නමුත් ඊළඟ සටනේදී, මරණයට පත් වුණේ පුතාමයි. තම පුතාගේ මරණය ගැන පියා දැනගත් විට, ඔහු තනිවම උඩුමහල් කාමරයකට ගොස් මෙසේ වැලපුණා: “අහෝ, මාගේ පුත්‍රවූ අබ්සලොම්, මාගේ පුත්‍රය, මාගේ පුත්‍රවූ අබ්සලොම්! නුඹ වෙනුවට මා මැරුණා නම් යහපත, අහෝ, අබ්සලොම්, මාගේ පුත්‍රය, මාගේ පුත්‍රය”! (2 සාමුවෙල් 18:33) පියා දාවිත් රජයි. යෙහෝවාගේ අනිත් ප්‍රොපේතවරුන් වගේම ඔහුත් “අප සමාන ගති [හැඟීම්, NW] ඇති මනුෂ්‍යයෙක්.”—යාකොබ් 5:17.
බයිබල් කාලවලදී යෙහෝවා වෙනුවෙන් කතා කළ පුරුෂයන් හා ස්ත්‍රීන් සෑම ජීවිත ක්‍රමයකින්ම පැමිණි, එදිනෙදා ජීවිතයේදී දක්නට ලැබුණු අයයි. අපට වගේම ඔවුන්ටත් ගැටලු තිබුණ අතර අසම්පූර්ණකම්වලින් පෙළුණා. මේ ප්‍රොපේතවරුන්ගෙන් සමහරෙක් කවුද? එමෙන්ම ඔවුන්ගේ හැඟීම් අපේ ඒවා මෙන් වුණේ කොහොමද?
මෝසෙස් ඕනෑවට වඩා නිසැකකමේ සිට මෘදුකම දක්වා
පූර්ව-ක්‍රිස්තියානි කාලවල ප්රමුඛ පෙළේ ප්‍රොපේතවරයෙක් මෝසෙස්. කෙසේවුවත්, වයස අවුරුදු 40දී පවා, යෙහෝවාගේ නියෝජිතයෙක් හැටියට සේවය කිරීමට ඔහු සූදානම්ව සිටියේ නැහැ. මන්ද? තම සහෝදරයන් මිසරයේ ඵාරාවෝගෙන් හිංසා පීඩා වින්ද අතරේදී, ඵාරාවෝගේ නිවසේ හැදී වැඩුණු මෝසෙස් “තමාගේ වචනවලින්ද ක්‍රියාවලින්ද බලවත්ව” සිටියා. වාර්තාව අපට මෙසේ පවසනවා: “[දෙවි] ඔහු කරණකොටගෙන ඔවුන්ට ගැළවීම දෙන බව තමාගේ සහෝදරයන් දන්නවායයි [දැනගනියි කියා, NW] ඔහු සිතුවේය.” ඕනෑවට වඩා නිසැකකමින්, ඔහු මිසර ජාතිකයෙකු මරා හෙබ්‍රෙව් දාසයෙකුව ආරක්ෂා කිරීමට ක්‍රියා කළේ ඉතා කෝපයෙන්.—ක්‍රියා 7:22-25; නික්මයාම 2:11-14.
මෙවිට මෝසෙස්ට අනිවාර්යයෙන්ම පලා යන්න සිදු වුණ අතර, ඊළඟ දශක හතරේදී ඔහු ඈත මිදියන්හි එඬේරෙකු හැටියට ගත කළා. (නික්මයාම 2:15) ඒ කාලය අවසානයේදී, වයස අවුරුදු 80ක්ව සිටි මෝසෙස්ට යෙහෝවා ප්‍රොපේතවරයෙකු හැටියට පැවරුමක් දුන්නා. නමුත් මෝසෙස් තවදුරටත් ඕනෑවට වඩා නිසැකකමකින් ක්‍රියා කරන්න ගියේ නැහැ. ඔහුට කොයිතරම් නුසුදුසුයි කියා හැඟුණාද කියනවා නම්, යෙහෝවා ඔහුට ප්‍රොපේතවරයෙක් හැටියට පැවරුමක් දීම සම්බන්ධයෙන් ඔහු ප්‍රශ්න කළේ මෙවැනි ප්‍රකාශන පාවිච්චි කරමින්; “ඵාරාවෝ වෙතට යන්ට . . . මම කවුද” හා “කුමක් කියන්නෙම්ද”? (නික්මයාම 3:11, 13) යෙහෝවාගේ ප්‍රේමනීය බිය සැක දුරු කිරීම හා සහය සමඟින් මෝසෙස් ඉමහත් සාර්ථකත්වයකින් තම පැවරුම ඉටු කරන්න ගියා.
අඥානයයි ඔප්පු වූ දේවල් කිරීමට හෝ පැවසීමට ඔබ මෝසෙස් මෙන් කෙදිනක හරි ඕනෑවට වඩා නිසැකකමට ඉඩහැර තිබෙනවාද? එසේනම්, නිහතමානීව වැඩිදුර පුහුණුව පිළිගන්න. එසේත් නැත්නම්, යම් ක්‍රිස්තියානි වගකීම් ඉටු කිරීමට නුසුදුසුයි කියා ඔබට හැඟී තිබෙනවාද? ප්‍රතික්ෂේප කරනවා වෙනුවට, යෙහෝවා සහ ඔහුගේ සංවිධානය ඉදිරිපත් කර ඇති උපකාරය පිළිගන්න. මෝසෙස්ට උපකාර කළ තැනැත්තාට ඔබටත් සහය වීමට හැකියි.
හික්මවීම දෙන කාලයක එලියා අප සමාන හැඟීම් ඇතුව
“එලියා අප සමාන ගති [හැඟීම්, NW] ඇති මනුෂ්‍යයෙක්ව සිටිය නුමුත් වැසි නොවසින පිණිස ඔහු උනන්දුකමින් යාච්ඤාකළේය; එවිට තුන් අවුරුදු සමසක් රටට වැසි නොවැස්සේය.” (යාකොබ් 5:17) එලියාගේ යාච්ඤාව, යෙහෝවාගෙන් ඉවත් වූ ජාතියකට හික්මවීම සඳහා වූ යෙහෝවාගේ කැමැත්තට එකඟව තිබුණා. එහෙත්, ඔහු යාච්ඤාවෙන් ඉල්ලා සිටි නියඟය මිනිසාට දුක් විඳින්න සලස්වන බව එලියා දැනගෙන හිටියා. ඉශ්රායෙලය විශාල වශයෙන් කෘෂිකර්මාන්තයට සම්බන්ධ වුණා; පින්න හා වැස්ස ජනයාගේ ජීවිතයයි. දිගටම පැවති නියඟය අතිශයින් විඩාව ඇති කළා. ඵල භෝග මැලවී ගියා; අස්වැන්න අඩු වී ගියා. වැඩ හා ආහාර සඳහා යොදාගත් ගෙදර ඇති කළ සත්තු මියගිය අතර සමහර පවුල් සාගින්නේ තර්ජනයට ලක් වුණා. වැඩියෙන්ම දුක් වින්දේ කවුද? සාමාන්‍ය ජනතාව. තමාට ඉතිරිව තිබෙන්නේ පිටි මිටක් හා තෙල් බිඳක් බව වැන්දඹුවක් පසුව එලියාට පැවසුවා. වැඩි කල් යන්න මත්තෙන් තමාත්, තම පුතාත් බඩගින්නේ මැරිලා යයි කියා ඇයට සහතිකයක් තිබුණා. (1 රාජාවලිය 17:12) එලියාට එසේ යාච්ඤා කරන්ට නම්, සැබෑ නමස්කාරය අත් නොහළ තම ධනවත් හෝ දුගී සේවකයන්ට යෙහෝවා සලකන බවට ස්ථිර විශ්වාසයක් තබාගන්න සිදු වුණා. වාර්තාව පෙන්නුම් කරන ආකාරයට, එලියා අධෛර්යයට පත් වුණේ නැහැ.—1 රාජාවලිය 17:13-16; 18:3-5.
තමා ඉක්මනින්ම වැසි වස්සන බව අවුරුදු තුනකට පසුව යෙහෝවා ඇඟෙවූ විට, නියඟය අවසන් වෙනවා දකින්න එලියාට තිබූ අවංක ආශාව, ඔහු “බිම වැටී දණ දෙකට අතරේ මුහුණ තබාගන” යළි යළිත් කළ බලවත් යාච්ඤාවලින් පැහැදිලි වුණා. (1 රාජාවලිය 18:42) නැවත නැවතත්, ඔහු සිය වැඩකාරයාගෙන් “ගොස් මුහුද දෙස බලන්න” කියා බලවත් ඕනෑකමෙන් ඉල්ලා සිටියේ යෙහෝවා ඔහුගේ යාච්ඤාවලට සවන් දී ඇද්දැයි යම් හෝඩුවාවක් දැනගැනීමටයි. (1 රාජාවලිය 18:43) අවසානයේදී ඔහුගේ යාච්ඤාවලට පිළිතුරු වශයෙන්, “අහසින් වැසි වැස, පොළොවේ ඵල හටගත්” විට ඔහුට මොනතරම් ප්‍රීතියක් දැනෙන්න ඇද්ද!—යාකොබ් 5:18.
ඔබ ක්‍රිස්තියානි සභාවේ දෙමාපියෙක් හෝ වැඩිමහල්ලෙක් නම්, නිවැරදි කිරීම් කරන විට ඔබට බලවත් හැඟීම් සමඟ පොරබදන්න සිදු විය හැකියි. කෙසේවුවත්, ඇතැම් අවස්ථාවලදී හික්මවීම අවශ්‍ය වන අතර, එය ප්‍රේමයෙන් යුතුව දුන් විට, “ධර්මිෂ්ඨකමේ සමාදාන ඵල [හටගන්වන]” බව ඒත්තුගෙන එවැනි මිනිස් හැඟීම් මර්දනය කරගත යුතුයි. (හෙබ්‍රෙව් 12:11) යෙහෝවාගේ නීතිවලට කීකරු වීමේ ප්‍රතිඵල සැමවිටම සිත්ගන්නාසුලුයි. එලියා මෙන්, ඒවා ඉටු කරන්න හැකියාව දෙන්න කියා අපි හෘදයෙන්ම යාච්ඤා කරමු.
අධෛර්යය මධ්‍යයේ යෙරෙමියා නිර්භීතකම පෙන්නුවා
බයිබල් ලේඛකයන් සියලුදෙනාගෙන්, තමාගේ පෞද්ගලික හැඟීම් ගැන වැඩියෙන්ම ලියූ තැනැත්තා සමහරවිට යෙරෙමියා විය හැකියි. තරුණ මනුෂ්‍යයෙකු හැටියට, ඔහු තම පැවරුම පිළිගැනීමට අදි මදි කළා. (යෙරෙමියා 1:6) කෙසේනමුත් ඔහු දේවවචනය ප්‍රකාශ කරන්න ඉමහත් නිර්භීතකමකින් ඉදිරියට ගියත්, සෙසු ඉශ්රායෙලිතයන්ගෙන්—එනම් රජුගේ සිට සාමාන්‍ය මිනිසාගෙන් පවා දරුණු විරුද්ධවාදිකමකට මුහුණ දුන්නා. එම විරුද්ධවාදිකම ඇතැම් අවස්ථාවලදී ඔහුව කෝපයට පත් කළා, එමෙන්ම ඔහුට කඳුළු එන්න සැලැස්සුවා. (යෙරෙමියා 9:3; 18:20-23; 20:7-18) නොයෙක් අවස්ථාවල ඔහු කල්ලි හිරිහැරවලට, පහරකෑම්වලට, දඬුකඳේ ගැසීමට, සිරගත වීමට හා මරණීය තර්ජනවලට ලක් වුණු අතර හිස් කටාරමක මඩ සහිත අඩියේ මැරෙන්න හැර සිටියා. සමහර අවස්ථාවලදී යෙහෝවාගේ පණිවිඩය වේදනා ගෙන දුන් බව ඔහුගේ මෙම වචනවලින් දැක්වෙනවා: “අහෝ මාගේ අතුණු! මාගේ අතුණු! මාගේ සිත තුළම වේදනා විඳිමි; මාගේ සිත මා තුළ කැලඹෙන්නේය.”—යෙරෙමියා 4:19.
එහෙත්, ඔහු යෙහෝවාගේ වචනයට ඇලුම් කළ අතර මෙසේ පැවසුවා: “ඔබගේ වචන මට ප්‍රීතියක් සහ සිතට සතුටක් විය.” (යෙරෙමියා 15:16) ඒ අතරේම, කලකිරීම, යෙහෝවාට මෙසේ මොරගසන්න ඔහුව සැලැස්සුවා: පහසුවෙන් වියළී යන දිය පාරක් මෙන් “සැබවින්ම ඔබ මට වතුර සිඳීයන අවිශ්වාස ඔයක් මෙන් [සිටින්නේය].” (යෙරෙමියා 15:18) කෙසේනමුත්, ඔහුගේ ගැටෙන හැඟීම් තේරුම්ගත් යෙහෝවා, ඔහුගේ පැවරුම ඉටු කළ හැකිවීම සඳහා දිගටම ඔහුට අත දුන්නා.—යෙරෙමියා 15:20; 20:7-9ද බලන්න.
ඔබේ දේවසේවය කරගෙන යද්දී ඔබත් යෙරෙමියා මෙන් කලකිරීමට හෝ විරුද්ධවාදිකමට මුහුණ දෙනවාද? යෙහෝවා දෙස බලන්න. දිගටම යෙහෝවාගේ මඟ පෙන්වීම අනුගමනය කරන්න; ඔහු ඔබේ වෑයම්වලටත් විපාක දෙයි.
යේසුට අපට වගේම හැඟීම් තිබුණා
සියලු කාලයටම සිටි උතුම්ම ප්‍රොපේතවරයා දෙවිගේම පුත් යේසුස් ක්‍රිස්තුස්. ඔහු පරිපූර්ණ මනුෂ්‍යයෙක් වුණත්, තම හැඟීම් යටපත් කරගත්තේ නැහැ. ඔහුගේ මුහුණෙන් හා අන්‍යයන් වෙත ඔහුගේ ප්‍රතික්‍රියාවෙන් පැහැදිලි වුණා විය යුතු ඔහුගේ ඇතුළාන්ත ගුණාංග ගැන අපි නිතර කියවනවා. යේසු බොහෝවිට “අනුකම්පාවෙන් යුක්ත” වූ අතර ඔහුගේ නිදර්ශනවල ඇති චරිත විස්තර කරද්දී, ඔහු එම ප්‍රකාශයන්ම පාවිච්චි කළා.—මාර්ක් 1:41; 6:34; ලූක් 10:33.
ඔහු දේවමාළිගාවේ වෙළෙන්දන්ව හා සත්වයන්ව පන්නා දමද්දී, තම හඬ උස් කර මේ වචන සැරෙන් කිව්වා විය යුතුයි: “මේ දේවල් මෙතැනින් අරන් යන්න”! (යොහන් 2:14-16) “ස්වාමිනි, එය ඔබ කෙරෙන් දුරුවේවා” යන පේතෘස්ගේ යෝජනාවට බලවත් ප්‍රති පිළිතුරක් මෙසේ ලැබුණා: “සාතන් මා පස්සට යව”!—මතෙව් 16:22, 23.
තමාට විශේෂයෙන්ම කිට්ටුව සිටි සමහරුන්ට යේසු තුළ විශේෂ ස්නේහයක් තිබුණා. ප්‍රේරිත යොහන්ව “[යේසු] ප්‍රේමකළ ගෝලයා” හැටියට විස්තර කර තිබෙනවා. (යොහන් 21:7, 20) තවද අපට මෙසේ කියවන්න තිබෙනවා: “[යේසු] මාර්තාටද ඇගේ සහෝදරීටද ලාසරුස්ටද [ප්‍රේම කළේය].”—යොහන් 11:5.
යේසුගෙත් සිත රිදිය හැකියි. ලාසරුස්ගේ මරණයේ ඛේදවාචකය ගැන දුක සිතී ‘යේසු ඇඬුවා.’ (යොහන් 11:32-36) තමාව පාවා දෙන යූදස් ඉස්කාරියොත් නිසා ඇති වූ හෘද වේදනාව හෙළි කරමින් යේසු ගීතාවලියෙන් උපුටාගත් මෙම දුක්බර ප්‍රකාශය කළා: “මාගේ භෝජනය කන තැනැත්තා මට විරුද්ධව විලුඹ එසවූයේය.”—යොහන් 13:18; ගීතාවලිය 41:9.
වදකණුවේ ඉවසිය නොහැකි වේදනාවක් විඳින අතරේ පවා යේසු තම ගැඹුරු හැඟීම් පෙන්නුම් කළා. ඔහු මෘදු ලෙස තම මවව “තමන් විසින් ප්‍රේමකළාවූ [ගෝලයාට]” භාර දුන්නා. (යොහන් 19:26, 27) පව්කාරයන්ගෙන් කෙනෙක් පසුතැවිලි වන බවට ලකුණු දුටු විට යේසු දයානුකම්පිතව මෙසේ පැවසුවා: ‘නුඹ මා සමඟ පාරාදීසයෙහි සිටින්නෙහිය.’ (ලූක් 23:43) ඔහුගේ චිත්තවේගයන් පිට කර හැරීම ඔහුගේ මෙම මොරගැසීමෙන් අපට දැනිය හැකියි: “මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක්නිසාද”? (මතෙව් 27:46) තවද ඔහුගේ මරණ මොහොතේදී කියූ වචනවලින් පැහැදිලි වුණේ හෘදයාංගම ප්‍රේමය හා විශ්වාසයයි: “පියාණෙනි, ඔබගේ අතට මාගේ ආත්මය භාරදෙමි.”—ලූක් 23:46.
මේ සියල්ල අපට දෙන්නේ මොනතරම් බිය සැක දුරු කිරීමක්ද! “මක්නිසාද අපට සිටින්නේ අපේ දුර්වලකම්වලදී අපේ දුක නොදැනෙන උත්තම පූජකයෙක් නොව, පව් කිරීමක් නැතුව, සියලු ආකාරයෙන්ම අප වාගේ පරීක්ෂාකරනු ලැබූ උත්තම පූජකයෙක්ය.”—හෙබ්‍රෙව් 4:15.
යෙහෝවාගේ නිසැකකම
නියෝජිතයන් සම්බන්ධ තම තේරීම ගැන යෙහෝවා කෙදිනකවත් පසුතැවුණේ නැහැ. ඔහුට ඔවුන් පක්ෂපාත බව ඔහු දැන සිටි අතර, අසම්පූර්ණව සිටි ඔවුන්ගේ දුර්වලකම් දයානුකම්පිතව නොසලකා හැරියා. එහෙත් ඔවුන්ගේ පැවරුම ඉටු කිරීම ඔහු ඔවුන්ගෙන් අපේක්ෂා කළා. ඔහුගේ උපකාරයෙන් එසේ කිරීමට ඔවුන්ට හැකි වුණා.
අපේ පක්ෂපාත සහෝදර සහෝදරියන් කෙරෙහි අපි ඉවසිලිවන්තව නිසැකකම පෙන්වමු. අපි වගේම ඔවුනුත් මේ දේවල පිළිවෙළ තුළ සැමවිටම අසම්පූර්ණව සිටියි. එනමුත්, අපේ ප්‍රේමය හා අවධානය ලබන්න සුදුසු නැහැ කියා අපේ සහෝදරයන්ව අප කිසිදා විනිශ්චය නොකළ යුතුයි. පාවුල් මෙසේ ලිව්වා: “ඉදින් බලවත්වූ අප විසින් අපම සතුටුකර නොගෙන, බෙලහීනයන්ගේ දුර්වලකම් ඉසිලිය යුතුය.”—රෝම 15:1; කොලොස්සි 3:13, 14.
යෙහෝවාගේ ප්‍රොපේතවරුන් අප අද්දකින සියලුම චිත්තවේගයන් අද්දැක්කා. කෙසේනමුත්, ඔවුන් යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබූ අතර, යෙහෝවා ඔවුන්ව උසුලාගත්තා. ඊටත් වඩා, යෙහෝවා ඔවුන්ට ප්‍රීතිවීමට හේතු දුන්නා—ඒවා නම් හොඳ හෘදය සාක්ෂියක්, ඔහුගේ කරුණාව දැනීම, ඔවුන්ව උසුලාගත් පක්ෂපාත මිත්‍රයන් හා සන්තෝෂවත් අනාගතයක් පිළිබඳ තහවුරුව යනාදියයි. (හෙබ්‍රෙව් 12:1-3) “අප සමාන ගති [හැඟීම්, NW] ඇති” පුරාණ ප්‍රොපේතවරුන්ගේ ඇදහිල්ල අනුකරණය කරද්දී අපිත් පූර්ණ නිසැකකමකින් යෙහෝවාට ඇලී සිටිමු.