ඉතා විශේෂ විවාහ මංගල්‍යයක්
උතුරු මොසැම්බික්හි අලංකාර කඳුවලින් වට වූ සාරවත් මිටියාවතක් වෙයි—සමහරක් ගල් කඳු වන අතර, අනිත් ඒවා සාරවත්ව වැඩුණු එළවළුවලින් වැසී තිබේ. ෆින්ගෝඑ නම් ගම පිහිටා තිබෙන්නේ මෙතැනයි. පැහැදිලි ශීත රාත්රිවල, අහස් තලය තරුවලින් දිදුලද්දී, හඳ මොනතරම් දීප්තිමත්ව තිබෙනවාද කියතොත් එය ගම්මානවල පිදුරු සෙවිලි කළ ගෙවල් ආලෝකවත් කරයි. අද්විතීය විවාහ මංගල්‍යයක් සිදු වූයේ මේ මනහර පසුබිමේදීයි.
මේ විශේෂ උත්සවයට සහභාගි වීම සඳහා මිනිසුන් දහස් ගණනක් පැය ගණනාවක්, දවස් ගණනාවක් පවා ඇවිද්දා. සමහරු බලු දිවියන්, සිංහයන් හා අලිඇතුන් වෙසෙන හිතකර නොවන, අනතුරුදායක ප්‍රදේශ පසු කර පැමිණුණා. අමුත්තන් බොහෝදෙනෙක් පෞද්ගලික බඩුබාහිරාදියට අමතරව කුකුල්ලු, එළුවෝ සහ එළවළු රැගෙන ආවා. ගම්මානයට පැමිණි විට, සාමාන්‍යයෙන් ක්‍රිස්තියානි සමුළු සඳහා පාවිච්චි කළ එළිමහන් ප්‍රදේශයකට ඔවුන් පැමිණුණා. ගමන් මහන්සිය තිබුණත් ඔවුන් සතුටින් සිටි අතර, ඔවුන්ගේ සිනහමුසු මුහුණුවලින් ඊළඟට සිදු වන දෙය ගැන දැඩි අපේක්ෂාවක් පිළිබිඹු වුණා.
විවාහ වෙමින් සිටියේ කවරෙක්ද? බොහෝදෙනෙක්! ඔව්, යුවළයන් විශාල සංඛ්‍යාවක්. මොවුන් සහභාගි වෙමින් සිටියේ යම් හැඟීම් දනවන විශාල විවාහ මංගල්‍යයකට නොවෙයි. ඊට පටහැනිව, ඔවුන් ලියාපදිංචි කාර්යාලවලින් ඉතා ඈත ප්‍රදේශවල ජීවත් වූ බැවින් ඔවුන්ගේ විවාහයන් ලියාපදිංචි කිරීමට නොහැකි වූ අවංක හා මනා-පෙලඹීමකින් යුතු අය වුණා. මේ යුවළයන් සියලුදෙනාම යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කළ විට විවාහය සම්බන්ධ දිව්‍ය ප්‍රමිති ගැන සාවධාන වුණා. යේසුගේ උපත අවට කාලයේදී ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාවන්ට එකඟව යෝසෙප් සහ මරියා පවා කටයුතු කළාක් මෙන්, ඔවුන් විවාහයේ ආරම්භකයා වූ ඔවුන්ගේ මැවුම්කරු සතුටු කිරීමට දේශයේ නීතිවලට අනුව විවාහ විය යුතු බව ඉගෙනගත්තා.—ලූක් 2:1-5.
අවස්ථාව සඳහා සූදානම් වෙයි
මොසැම්බික්හි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය උපකාර කිරීමට තීරණය කළා. මුලදී, නීතිය මගින් අවශ්‍ය කරන්නේ කුමන ක්‍රියාමාර්ගයක්ද කියා තීරණය කිරීමට රටේ අගනුවර වන මාපුටෝහි, යුක්තිය හා අභ්‍යන්තරය පිළිබඳ අමාත්‍යාංශ හමු වුණා. ඊළඟට, ටේට පළාතේ ප්‍රධාන නගරයේ සිටි මිෂනාරීන්, වැඩිදුර සම්බන්ධීකරණ වැඩපිළිවෙළවල් සඳහා ප්‍රාදේශීය අධිකාරීන්ව හමු වුණා. ෆින්ගෝඑ ගම්මානයට සංචාරය කිරීම සඳහා නොතාරිස් හා සිවිල් හැඳුනුම්පත් දෙපාර්තමේන්තුව මගින් මිෂනාරීන් හා නිලධාරීන් සඳහා දිනයක් නියම කරනු ලැබුවා. ඒ අතරතුර, සම්බන්ධ වී සිටි සියලුම සභාවලට උපදෙස් දෙමින් ශාඛා කාර්යාලය පැහැදිලි කිරීමේ ලිපියක් යැව්වා. සාක්ෂිකරුවන් හා ප්‍රාදේශීය නිලධාරීන් යන දෙගොල්ලන්ම අද්විතීය අවස්ථාව දෙස දැඩි ආශාවකින් බලාසිටියා.
මිෂනාරීන් තුන්දෙනෙක් ආණ්ඩුවේ නිලධාරීන් සමඟ 1997 මැයි 18වන ඉරිදා ෆින්ගෝඑ වෙත පැමිණියා. ප්‍රාදේශීය අධිකාරීන් විසින්, පරිපාලන ගොඩනැඟිල්ලට යාබදව නිලධාරීන් සඳහා සැපපහසු ඉඳුම් හිටුම් සූදානම් කර තිබුණා. කෙසේවුවත්, අමුත්තන් වූ නිලධාරීන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ආගන්තුක සත්කාරශීලීත්වයට මොනතරම් ඇදී ගියාද කිව්වොත්, එවෙලේම සෑදූ පැල්පත්වල මිෂනාරීන් සමඟ නැවතීමට කැමති වුණා. කෝකියන්ගෙන් කෙනෙක් ඒ ප්‍රදේශයේ සභාවේ වැඩිමහල්ලෙක් බවත්, විවාහ මංගල්‍යයට සූදානම් වීමේ ඉතා සුළු සුළු වැඩකටයුතු කරන ස්වේච්ඡා සේවකයන් අතර සංචාරක අවේක්ෂකයෙක්ද සිටි බවත් දැනගැනීමෙන් ඔවුන් පුදුමයට පත් වුණා. ඒ වගේම ඔවුන් කිසි මැසිවිල්ලකින් තොරව පොඩි පැල්පතක නවාතැන් ගෙන, කුඩා භාජනයකින් අරං නෑව මිෂනාරීන්ගේ හාස්යජනකභාවයත් දැක්කා. එවන් වෙනස් පසුතලයන්වලට අයත් ජනයා අතර එවැනි බලවත් බැඳීමක් ඔවුන් ඊට පෙර කවදාවත් දැක තිබුණේ නැහැ. කොහොමනමුත්, ඔවුන්ගේ සිත් වඩාත්ම ඇදී ගියේ දේශයේ නීතිය හා දෙවිගේ විධිවිධානය සමඟ එකඟත්වයකට පැමිණීම සඳහා මහත් පරිත්‍යාගයන් කිරීමෙන් විදහා දැක්වූ ඇදහිල්ල වෙතයි.
ප්‍රීතිමත් උත්සවයක්
යුවළයන් පැමිණි විට, ඔවුන් ඒ මොහොතේම විවාහයේ පළමු අදියර සඳහා සූදානම් වුණා: උප්පැන්න සහතිකයක් ලබාගත්තා. තමන්ගේ පෞද්ගලික දත්ත සැපයීමට සිවිල් රෙජිස්ට්‍රාර් කණ්ඩායම ඉදිරියේ සියලුදෙනාම ඉවසිලිවන්තව පෝලිමට බලාගෙන සිටියා. ඉන්පසු ඔවුන් ඡායාරූප ගැනීමට ඊළඟ පෝලිමට ගිය අතර, ඊටත් පසු ඔවුන් සිවිල් හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවෙන් පැමිණි කණ්ඩායම වෙත ගියා තමන්ගේ හැඳුනුම්පත් ලබාගැනීමට. අනතුරුව, ඔවුන් සිවිල් රෙජිස්ට්‍රාර් කණ්ඩායම වෙත ගියේ හුඟාක් ආශා කළ විවාහ සහතිකය ගැනීමට සූදානම් වීම සඳහායි. ඊට පස්සේ, ශබ්ද විකාශන යන්ත්‍රයෙන් ඔවුන්ගේ නම කැඳවන තෙක් ඔවුන් ඉවසිලිවන්තව හිටගෙන හිටියා. විවාහ සහතික ඉදිරිපත් කිරීම චිත්තවේගයන් දනවන දර්ශනයක් වුණා. අගනා කුසලානයක් මෙන් හැම විවාහ යුවළක්ම තම විවාහ සහතිකය ඉහළට ඔසවාගෙන සිටි අවස්ථාවේ ඉමහත් ප්‍රීතියක් තිබුණා.
මේ සියල්ල සිදු වුණේ අව් කාෂ්ඨකයේයි. එහෙත්, රස්නය හා දූවිල්ල නිසා උත්සවයේ ප්‍රීතියට බාධාවක් වුණේ නැහැ.
පුරුෂයන් හොඳින් ඇඳ පැළඳගෙන සිටි අතර වැඩිදෙනෙක් ජැකෙට්ටු හා ටයි දාගෙන හිටියා. ස්ත්‍රීන් සම්ප්‍රදායානුකූල ආකාරයකට සැරසී සිටි අතර, ඔවුන්ගේ ඉණ වටා ඇඳ සිටි කාපුලාන නම් දිග, වෛවර්ණ රෙද්දක් ඊට ඇතුළත් වුණා. සමහරු එවැනිම රෙද්දකින් ඔතාගෙන ළදරුවන්ව රැගෙන ආවා.
සියල්ල හොඳින් කෙරුණු නමුත් දවසකින් ක්‍රියාවලිය ඉවර කිරීමට නොහැකි තරම් පිරිස අධික වුණා. අඳුර වැටුණහම ආණ්ඩුවේ නිලධාරීන් යුවළයන්ගේ කටයුත්ත දිගටම කරගෙන යෑමට කාරුණිකව තීරණය කළා. එහි පැමිණීමට “අපේ සහෝදරයන්” මේ තරම් පරිත්‍යාගයක් කරලා බලාගෙන සිටිද්දී, තමන්ට ඔවුන්ව දමා යා නොහැකි බව ඔවුන් ප්‍රකාශ කළා. එකඟතාවේ හා ආත්ම-පරිත්‍යාගයේ මෙම ආත්මය නිතරම මතක් වේවි.
රාත්‍රියත් සමඟම දැඩි සීතලක් ආවා. ටිකදෙනෙක් පැල්පත්වල නවාතැන් ගෙන සිටියත්, යුවළයන්ගෙන් වැඩිදෙනෙක් ගින්දර වටේ එක් රොක් වී සිටියා. මෙය උත්සව සිරිය අඩු කළේ නැහැ. පට පට ගා ගිනිගන්න සද්දෙටත් වඩා හයියෙන් සිනහව හා ගී හඬ නැඟුණේ කොටස් හතරකින් යුත් ප්රසංවාදයට අනුව ගැයීමෙනුයි. බොහෝදෙනෙක් තම ගමන ගැන විස්තර පැවසුවේ, ඔවුන් අලුත ලබාගත් ලියකියවිලි තදින් අල්ලාගෙනයි.
තම විවාහ ලියාපදිංචි කිරීමට යන වියදම සොයාගැනීම සඳහා සමහරු හිමිදිරියේම තම කුකුළන්, එළුවන් හා එළවළු විකිණීමට ගම්මානය අභ්‍යන්තරයට යෑමේ දුෂ්කර කටයුත්තක යෙදුණා. නියම ගණනට වඩා අඩු මිලකට විකිණීමෙන් ඒ සත්වයන් සම්බන්ධයෙන් වැඩිදෙනෙක් සැබවින්ම “පරිත්‍යාගයන්” කළා. දිළිඳු අයට එළුවෙක් අගනා මෙන්ම මිල අධික අංගයක්; එහෙත් විවාහ වීමට හා තම මැවුම්කරු සතුටු කිරීමට ඔවුන් මෙම පරිත්‍යාගය කිරීමට කැමැත්තෙන් සිටියා.
ගමනේ දුෂ්කරතා
එහි සිටීමට සමහර යුවළයන් සෑහෙන දුරක් ඇවිද්දා. ෂාම්බෝකෝ හා ඔහුගේ බිරිඳ හා කූලීරාගේ සිද්ධිය මෙය වුණා. ඔවුන් තම පාද ගින්නෙන් උණුසුම් කරගනිමින් දෙවන දින රාත්රියේදී සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ගේ කතන්දරය කිව්වා. එක ඇහැක් අන්ධව සහ අනිත් ඇහේ පෙනීම දුර්වලව වයස අවුරුදු 77ක්ව සිටියත්, වසර-52ක තම බැඳීම නීත්‍යනුකූල කිරීමට තීරණයක් ගෙන සිටි නිසා, ඔහුගේ සභාවේ අනිකුත් අය සමඟ ෂාම්බෝකෝ දුර කතර ගෙවා දවස් තුනක් පාවහන් නොමැතිව ඇවිද්දා.
වයස 72ක් වූ ආන්ස්ලමූ කෙම්බෝ අවුරුදු 50කට පමණ නෙරී සමඟ ජීවත්ව සිටියා. ගමනට ටික දවසකට පෙර, ඔහුගේ වත්තේ වගා කරමින් සිටියදී ඔහුගේ කකුලේ දරුණු විදිහට ලොකු කටුවක් ඇනුණා. ඔහුට විගස ප්‍රතිකාර කිරීමට ළඟම තිබෙන රෝහලට ගෙන ගියා. කෙසේනමුත්, ෆින්ගෝඑ කරා වේදනාවෙන් කොරගසමින් ඇවිදින්න ඔහු තීරණය කළා. ඒකට දවස් තුනක් ගත වුණා. තම විවාහ සහතිකය අතට ගත් විට ආන්ස්ලමූට ඔහුගේ ප්‍රීතිය යටපත් කරගන්න බැරි වුණා.
තවත් සැලකිය යුතු අලුත විවාහ වූ තැනැත්තෙක් තමයි කලින් බහුභාර්ය සේවනයේ යෙදුණු එවන්ස් සිනෝයියා. ඔහු දේවවචනයේ සත්‍යතාව ඉගෙනගත් විට, ඔහුගේ මුල් බිරිඳ සමඟ තම බැඳීම නීත්‍යනුකූල කිරීමට ඔහු තීරණය කළ නමුත්, ඇය ඔහුව ප්‍රතික්ෂේප කර වෙනත් මනුෂ්‍යයෙක් නිසා ඔහුව අත්හැර දැමුවා. බයිබලය පාඩම් කරමින් සිටි ඔහුගේ දෙවන බිරිඳ, ඔහු හා විවාහ වීමට එකඟ වුණා. සිංහයන් හා වෙනත් වන සතුන්ගෙන් ගහන උපද්‍රව සහිත ප්‍රදේශයක් තුළින් දෙදෙනාම ගමන් කළා. දවස් තුනක ගමනකින් පසු, ඔවුන්ද නීත්‍යනුකූලව විවාහ වූවන් බවට පත්වීමෙන් සාර්ථක වුණා.
මිෂනාරිවරුන් හා නිලධාරීන් මුල් වතාවට පැමිණ දවස් පහක් ගත වූ පසු සිකුරාදා වැඩය සම්පූර්ණ කරනු ලැබුවා. හැඳුනුම්පත් 468කුත්, උප්පැන්න සහතික 374කුත් නිකුත් කිරීම ප්‍රතිඵලය වුණා. නිකුත් කළ විවාහ සහතික සංඛ්‍යාව 233යි! වාතාවරණය ප්‍රමුදිත එකක් වුණා. විඩාව තිබුණත්, එය ඉතා වටිනා බවට සියල්ලන් එකඟ වුණා. නිසැකවම, ඒ උත්සවය ඊට සහභාගි වූ සියල්ලන්ගේ මනස්වල හා හෘදවල නොමියෙන ලාංඡනයක්ව පවතීවි. එය ඇත්තෙන්ම ඉතා විශේෂ විවාහ මංගල්‍යයක් වුණා!