‘යෙහෝවා, දයාවන්ත සහ කරුණාභරිත දෙවිකෙනෙක්’
“යෙහෝවා, යෙහෝවා, දයාවන්ත සහ කරුණාභරිත වූ, උදහස් වීමට ප්‍රමාද, ප්‍රේමනීය-කරුණාව සහ සැබෑකමින් පූර්ණ වූ දෙවිකෙනෙක්ය.”—නික්මයාම 34:6, NW.
1. (අ) නිර්මල නමස්කාර මාර්ගයෙන් ඉවත් වූ ප්‍රේමනීයයන් සිටින අයට බයිබලය සපයන්නේ කිනම් සහනයක්ද? (ආ) වැරදි කරන්නන්ව යෙහෝවා සලකන්නේ කෙසේද?
“ක්‍රිස්තියානි සභාවත් එක්ක එයාට ආශ්‍රය කරන්න තවදුරටත් ඕනෙ නැහැයි කියලා මට මගේ දුව කිව්වා” යයි එක් ක්‍රිස්තියානි පියෙක් පැවසුවා. “දවස් සති මාස ගණනක් යන තුරුම මට උහුලගන්න බැරි තරම් වේදනාවක් දැනුණා. ඒක මැරෙනවාටත් වඩා දරුණුයි.” ප්‍රේමනීය කෙනෙක් නිර්මල නමස්කාර මාර්ගයෙන් ඉවත් වෙනවා දැකීම ඇත්තෙන්ම චිත්ත පීඩාවක්. ඔබත් එවන් දෙයක් අද්දැක තිබෙනවාද? එසේනම්, යෙහෝවා ඔබ වෙනුවෙන් සංවේදනය දක්වන බව දැනගැනීමෙන් ඔබ සහනය ලබාවි. (නික්මයාම 3:7; යෙසායා 63:9) නමුත්, එවැනි වැරදි කරන්නන්ව ඔහු සලකන්නේ කෙසේද? තම අනුමැතියට නැවත පැමිණෙන්න යෙහෝවා ඔවුන්ට දයාන්විත ලෙස ආරාධනා කරන බව බයිබලය පෙන්වනවා. මලාකීගේ දවසේ සිටි කැරලිකාර යුදෙව්වන්ට ඔහු මෙහෙම ආයාචනා කළා: “මා වෙතට හැරී එන්න, මමත් නුඹලා වෙතට හැරී එන්නෙමි.”—මලාකී 3:7.
2. දයාව යෙහෝවාගේ පෞද්ගලිකත්වයේ අනිවාර්ය කොටසක් කියා බයිබලය පෙන්වන්නේ කෙසේද?
2 දෙවිගේ දයාව සීනයි කන්දේදී මෝසෙස්ට කැපීපෙනෙන්න සැලැස්සුවා. එහිදී, තමා “දයාවන්ත සහ කරුණාභරිත වූ, උදහස් වීමට ප්‍රමාද, ප්‍රේමනීය-කරුණාව සහ සැබෑකමින් පූර්ණ වූ දෙවිකෙනෙක්” බව යෙහෝවා හෙළි කළා. (නික්මයාම 34:6) දයාව යෙහෝවාගේ පෞද්ගලිකත්වයේ අනිවාර්ය කොටසක් කියා මෙම ප්‍රකාශය අවධාරණය කරනවා. ‘සියල්ලන්ම පසුතැවිලි වෙනවාට ඔහු කැමති’ බව ක්‍රිස්තියානි ප්‍රේරිත පේතෘස් ලිව්වා. (2 පේතෘස් 3:9) එහෙත්, දෙවිගේ දයාවට සීමාවක් තිබෙනවා. “වරදකරුවන් කවර ප්‍රකාරයකින්වත් නිදහස් [නොකරන්නේය]” කියා මෝසෙස්ට කිව්වා. (නික්මයාම 34:7; 2 පේතෘස් 2:9) කෙසේවෙතත්, ‘දෙවි ප්‍රේමය’ වෙයි. තවද දයාව කියන්නේ එම ගුණාංගයේ විශාල පැතිකඩකටයි. (1 යොහන් 4:8; යාකොබ් 3:17) යෙහෝවා “[ප්‍රේමනීය] කරුණාවට ප්‍රියවන” අතර, ඔහු තම “උදහස සෑම කල්හිම [තබාගන්නේ නැහැ].”—මීකා 7:18, 19.
3. දයාව සම්බන්ධයෙන් යේසුස්ගේ දෘෂ්ටිය, ලියන්නන්ගේ සහ ඵරිසිවරුන්ගේ එකට වඩා වෙනස් වූයේ කෙසේද?
3 යේසුස් තම ස්වර්ගීය පියාගේ පරිපූර්ණ ආදර්ශයක්. (යොහන් 5:19) වැරදිකරුවන් සම්බන්ධයෙන් ඔහුගේ දයාන්විත සැලකිල්ල, ඔවුන්ගේ වැරදි නොසලකා හැරීමක් නොවූ අතර, එය ශාරීරිකව අසනීප වූ අයට ඔහු දැක්වූ ආකාරයේම මෘදු හැඟීමේ ප්‍රකාශයක්. (මාර්ක් 1:40, 41 සසඳන්න.) ඔව්, යේසුස් දෙවිගේ ව්‍යවස්ථාවේ “වඩා වැදගත් කාරණා” අතරට දයාව ඇතුළත් කළා. (මතෙව් 23:23) ඊට වෙනස්ව, යුක්තිය පිළිබඳව නීතියට වහල් වූ සංකල්ප හේතුවෙන් දයාව සම්පූර්ණයෙන්ම පසෙක දැමූ ලියන්නන් සහ ඵරිසිවරුන්ව සලකා බලන්න. යේසුස් පව්කාරයන් සමඟ කටයුතු කරනවා ඔවුන් දුටු විට, පැමිණිලි කළේ මෙහෙමයි: “මොහු පව්කාරයන් පිළිගෙන ඔවුන් සමඟ කන්නේය.” (ලූක් 15:1, 2) යේසුස් නිදර්ශන තුනකින් ඔහුගේ පැමිණිලිකරුවන්ට උත්තර දුන්නා; ඒ සෑම සිද්ධියකින්ම දෙවිගේ දයාව අවධාරණය කළා.
4. යේසුස් සඳහන් කළේ කිනම් නිදර්ශන දෙකද? එමෙන්ම ඒවායේ මූලික කරුණ කුමක්ද?
4 මුලින්ම, නැති වුණු එක බැටළුවෙක්ව සොයන්න 99දෙනෙක්ව දමා ගිය මිනිසෙක් ගැන යේසුස් පැවසුවා. ඔහුගේ මූලික කරුණ? “පශ්චාත්තාපය ඕනෑ නැති ධර්මිෂ්ඨයන් එකුන්සියයකට වඩා පශ්චාත්තාපවන්නාවූ එක පව්කාරයෙකු ගැන ස්වර්ගයෙහි ප්‍රීතිය වන්නේය.” ඊළඟට, නැති වූ රිදී කාසියක් සොයමින් ගිය එක් ස්ත්‍රියක් ඒක සම්බ වූ කළ ප්‍රීතිවීම ගැන යේසුස් පැවසුවා. ඔහුගේ අදාළ කිරීම? “පශ්චාත්තාපවන්නාවූ එක පව්කාරයෙකු ගැන [දෙවිගේ] දූතයන් ඉදිරියෙහි ප්‍රීතිය ඇත්තේය.” යේසුස් තම තුන්වන නිදර්ශනය උපමාවක් ආකාරයෙන් විස්තර කරනවා.a එය මෙතෙක් පවසා ඇති විශිෂ්ටතම කෙටි කතාව හැටියට බොහෝදෙනෙක් සලකා තිබෙනවා. මෙම උපමාව සලකා බැලීම දෙවිගේ දයාව අගය කරන්නත් අනුකරණය කරන්නත් අපට උපකාර කරන්න යනවා.—ලූක් 15:3-10.
කැරලිකාර පුත්‍රයෙක් ගෙය හැර යයි
5, 6. යේසුස්ගේ තුන්වන නිදර්ශනයේ එන බාල පුත්‍රයා අගය කිරීම සම්බන්ධයෙන් කම්පිත කරවන ඌනතාවක් පෙන්නුම් කළේ කෙසේද?
5 “එක්තරා මනුෂ්‍යයෙකුට පුත්‍රයෝ දෙදෙනෙක් සිටියෝය. ඔවුන්ගෙන් බාලයා: පියාණෙනි, ඔබගේ වස්තුවෙන් මට එන කොටස දෙන්නැයි පියාට කීවේය. එවිට ඔහු තමාගේ සම්පත් ඔවුන්ට බෙදාදුන්නේය. නොබෝ දවසකට පසු බාල පුත්‍රයා සියල්ල එකතුකරගෙන, දුර රටකට ගොස්, එහිදී අවකල් ක්‍රියාවෙන් ජීවත්වෙමින්, තමාගේ වස්තුව නාස්තිකෙළේය.”—ලූක් 15:11-13.b
6 මෙහි එන බාල පුත්‍රයා අගය කිරීම සම්බන්ධයෙන් කම්පිත කරවන ඌනතාවක් පෙන්නුම් කළා. මුලින්ම ඔහු ඔහුගේ උරුමය ඉල්ලුවා; ඉන්පසු “අවකල් ක්‍රියාවෙන් ජීවත්වෙමින්” එය අඥාන ලෙස නැති නාස්ති කළා. ‘අවකල් ජීවිතය’ යන්න “අසංවර ජීවිතය” යන අර්ථය දෙන ග්‍රීක් වචනයකිනුයි පරිවර්තනය කර තිබෙන්නේ. මෙම වචනය “චරිතය සම්පූර්ණයෙන් කෙලසාගැනීමක් අඟවන” බව එක් විශාරදයෙක් පවසනවා. එමනිසා, යේසුස්ගේ උපමාවේ එන තරුණ මිනිසාව අපතේ වියදම් කරන නාස්තිකාරයෙක් ලෙස බොහෝවිට හඳුන්වන්නේ හොඳ හේතු ඇතුවයි.
7. නාස්තිකාරයාගෙන් අදදින නියෝජනය කරන්නේ කාවද? එමෙන්ම එවැනි බොහෝදෙනෙක් “දුර රටක” විසීමේ ස්වාධීනත්වය සොයන්නේ මන්ද?
7 අදදිනත්, නාස්තිකාරයාව නියෝජනය කරන ජනයා සිටිනවාද? ඔව්. කනගාටුදායක ලෙස සාපේක්ෂ වශයෙන් ස්වල්ප ප්‍රමාණයක්, අප ස්වර්ගීය පිය වූ යෙහෝවාගේ සුරක්ෂිත ‘ගෘහය’ හැර ගොස් තිබෙනවා. (1 තිමෝති 3:15) යෙහෝවාගේ සුපරීක්ෂාකාරි ඇස් ආරක්ෂාවකට වඩා අවහිරයක් හැටියට, එනම් දෙවිගේ ගෘහයේ වාතාවරණය ඕනෑවට වඩා තහංචි ඇති එකක් හැටියට මොවුන්ගෙන් සමහරෙකුට හැඟෙනවා. (ගීතාවලිය 32:8 සසඳන්න.) බයිබල් ප්‍රමිතිවලට අනුව හැදී වැඩුණත්, පසුව මත්පැන් සහ මත්ද්‍රව්‍ය අනිසි භාවිතයේ නියැලුණු තරුණ ස්ත්‍රියක්ව සලකා බලන්න. ඇගේ අඳුරු යුගය දෙස ආපසු හැරී බලමින්, ඇය මෙහෙම කියනවා: “වඩා හොඳ ජීවිතයක් ඇති කරගන්න මට පුළුවන් කියල ඔප්පු කරන්න මට ඕනෙ වුණා. මට ඕනෙ වුණේ මට ඕනෙ දේ කරන්න; කවුරුත් වෙනස් දෙයක් කියනවාට මම කැමති වුණේ නැහැ.” නාස්තිකාරයා වගේ මේ තරුණ ස්ත්‍රියත් ස්වාධීනත්වය සෙව්වා. ඛේදනීය ලෙස, බයිබලයට පටහැනි ක්‍රියා කිරීම හේතුවෙන් ඇයව ක්‍රිස්තියානි සභාවෙන් නෙරපන්න සිදු වුණා.—1 කොරින්ති 5:11-13.
8. (අ) දෙවිගේ ප්‍රමිතීන්ට පටහැනිව ජීවත් වීමට ආශාවක් දක්වන අයට කිනම් උපකාර පිරිනැමිය හැකිද? (ආ) නමස්කාරයේ කාරණා සම්බන්ධයෙන් තම තේරීම කෙනෙකු බැරෑරුම් ලෙස තැකිය යුත්තේ මන්ද?
8 සෙසු ඇදහිලිවන්තයෙක් දෙවිගේ ප්‍රමිතීන්ට පටහැනිව ජීවත් වීමට ආශාවක් විදහාපෑම අතිශයින්ම කනගාටුදායක දෙයක්. (පිලිප්පි 3:18) කාරණා මෙසේ වෙද්දී, වැඩිමහල්ලන් සහ ආත්මික සුදුසුකම් ඇති වෙනත් අයත් වැරදිකරුවාව යළි සකස් කරන්න වෑයම් කළ යුතුයි. (ගලාති 6:1) කොහොමවුණත්, ක්‍රිස්තියානි ගෝලකමේ වියගහ කරට ගන්න කිසි කෙනෙකුට බල කරන්නේ නැහැ. (මතෙව් 11:28-30; 16:24) නීතියෙන් ඉඩ දෙන වයසට පැමිණි විට, නමස්කාරයේ කාරණා සම්බන්ධයෙන් තරුණයන් පවා පෞද්ගලික තේරීමක් කළ යුතුයි. අන්තිමේදී, අපි එක් එක්කෙනා පෞද්ගලිකව දෙවිට ගණන් දෙන නිදහස් සදාචාර තීරකයන්. (රෝම 14:12) ඇත්තවශයෙන්ම, යේසුස්ගේ උපමාවේ නාස්තිකාරයා ඉක්මනින්ම ඉගෙනගන්න යන පරිදි, අපිත් ‘වපුරන දේම කපාගන්න’ යනවා.—ගලාති 6:7, 8.
දුර රටක අපේක්ෂා භංග වී
9, 10. (අ) නාස්තිකාරයා අද්දැක්කේ තත්වයන්හි කිනම් වෙනස් වීමද? එමෙන්ම ඔහු ඊට ප්‍රතික්‍රියා කළේ කෙසේද? (ආ) අදදින සැබෑ නමස්කාරය අතහැර යන සමහරෙක්, නාස්තිකාරයාට සමාන දුඃඛිත තත්වයක් අද්දකින්නේ කෙසේද කියා නිදර්ශනය කරන්න.
9 “ඔහු සියල්ල වියදම්කළ පසු, ඒ රටේ මහත් සාගතයක් හටගැනී, ඔහුට හිඟවෙන්ට පටන් ගත්තේය. එවිට ඔහු ගොස් ඒ රටේ වැසියෙකුට බැඳුණේය; හෙතෙම ඌරන්ට ගොදුරු කවන පිණිස තමාගේ කෙත්වලට ඔහු යැවීය. ඔහු ඌරන් කෑ කරල්වලින් තමාගේ බඩ පුරවා ගන්ට කැමතිවූයේය; කිසිවෙක්ද ඔහුට කිසිවක් දුන්නේ නැත.”—ලූක් 15:14-16.
10 නාස්තිකාරයා නැති භංග වී සිටියත්, ආපසු ගෙදර යන්න මේ වන විටත් සිතුවේ නැහැ. ඒ වෙනුවට, ඔහුට රටවැසියෙක් හමු වූ අතර, ඔහු ඌරන් බලාගන්න රැකියාවක් දුන්නා. මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙන් ඌරන් අපවිත්‍ර සතුන් ලෙස නියම කර තිබූ නිසා, පෙනෙන විදිහට යුදෙව්වෙකුට එවැනි රක්ෂාවක් පිළිගැනීමට ඉඩ ප්‍රස්තාවක් නැහැ. (ලෙවී කථාව 11:7, 8) නමුත් නාස්තිකාරයාගේ හෘදය සාක්ෂිය වද දුන්නත්, එය යටපත් කරගන්න ඔහුට සිදු වුණා. අතේ සතේ නැති විදේශිකයෙකුගේ හැඟීම් ගැන කරදර වෙයි කියලා තමාට රැකියාව දුන් ස්වාමියාගෙන් බලාපොරොත්තු වෙන්න ඔහුට කොහෙත්ම පුළුවන්කමක් තිබුණේ නැහැ. නාස්තිකාරයාගේ දුඃඛිත තත්වය, නිර්මල නමස්කාරයේ ඍජු මාර්ගය අත්හරින අදදින සිටින බොහෝදෙනෙකුගේ අද්දැකීමට සමානයි. එවැනි අය, බොහෝවිට පහත්යයි කලින් සැලකූ ක්‍රියාවන්හි නියැලී තිබෙනවා. උදාහරණයකට, ක්‍රිස්තියානියෙක් හැටියට හැදී වැඩුණත්, වයස අවුරුදු 17දී එක්තරා යෞවනයෙක් ඊට එරෙහිව කැරලි ගැසුවා. “දුරාචාරයේ යෙදීමත්, මත්ද්‍රව්‍ය ගැනීමත්, අවුරුදු ගණනාවක් තිස්සේ බයිබලයෙන් ඉගෙනගත් දේවල් සම්පූර්ණයෙන්ම මකා දැමුවා” කියා ඔහු පිළිගන්නවා. වැඩිකල් නොගොස්, මේ යෞවනයා ආයුධ සන්නද්ධ සොරකම සහ මිනිමැරීම හේතුවෙන් සිරගත වුණා. පසුව ඔහු ආත්මිකව යළි සුවය ලැබුවත්, “කලකට පාපයේ සැප භුක්තිවිඳීම” සඳහා මොනතරම් බරපතළ මිලක් ගෙවන්න සිද්ධ වුණාද!—හෙබ්‍රෙව් 11:24-26 සසඳන්න.
11. නාස්තිකාරයාගේ උභතෝකෝටික ප්රශ්නය තව තවත් නරක අතට හැරුණේ කෙසේද? එමෙන්ම ලෝකයේ වශී කිරීම් ‘හිස් වූ රැවටිලිකාරකමක්’ බව අදදින සමහරෙක් සොයාගෙන ඇත්තේ කෙසේද?
11 “කිසිවෙක්ද ඔහුට කිසිවක් දුන්නේ [නැති]” නිසා නාස්තිකාරයාගේ උභතෝකෝටික ප්රශ්නය තව තවත් නරක අතට හැරුණා. ඔහු සොයාගත් අලුත් මිතුරන් දැන් කොහේද? දැන් ඔහුගේ අතේ සතේ නැහැ. ඔවුන්ට ඔහුව නිකම් ‘වෛරක්කාරයෙක්’ වගෙයි. (හිතෝපදේශ 14:20) ඒ හා සමානව, අදදිනත් ඇදහිල්ලේ මාර්ගයෙන් ඉවත්ව යන බොහෝදෙනෙක් මේ ලෝකයේ වශී කිරීම් සහ අදහස් උදහස් ‘හිස් වූ රැවටිලිකාරකමට’ සමාන බව සොයාගන්නවා. (කොලොස්සි 2:8) “යෙහෝවාගේ මඟ පෙන්වීම නැතුව මම පුදුමාකාර මානසික වේදනාවක් වින්දා” කියා යෙහෝවාගේ සංවිධානය ටික කාලයකට අත්හළ එක්තරා යෞවන ස්ත්‍රියක් පවසනවා. “ලෝකයත් එක්ක පෑහෙන්න මම උත්සාහ කෙරුවත්, මම ඇත්තටම අනිත් අය වගේ නෙමේ හින්දා, ඒගොල්ලො මාව එපා කළා. මඟ පෙන්වන්න තාත්තා කෙනෙක් ඕනෙ කරන, නැති වෙච්ච දරුවෙක් වගේ හැඟීමක් මට දැනුණා. ඒ මට යෙහෝවාව ඕනෙයි කියල තේරිච්ච මොහොතයි. මං ආයෙ කවදාවත් යෙහෝවාගෙන් වෙන් වෙන්නේ නැහැ කියලා හිතාගත්තා.” යේසුස්ගේ නිදර්ශනයේ එන නාස්තිකාරයත් එවැනිම වටහාගැනීමකට පැමිණියා.
නාස්තිකාරයා පියවි සිහියට පැමිණේ
12, 13. පියවි සිහියට එන්න අදදින සමහරෙකුට උපකාර වී ඇති සාධක මොනවාද? (කොටුව බලන්න.)
12 “එහෙත් ඔහු සිහිඋපදවා [පියවි සිහියට පැමිණ, NW] කථාකොට: මාගේ [පියාගේ] කුලීකාරයන් එපමණ දෙනෙකුට ඕනෑවාට වඩා කෑම තිබෙද්දී මම මෙහි බඩගින්නේ නසිමි! මම නැගිට මාගේ [පියා] ළඟට ගොස්: පියාණෙනි, ස්වර්ගයට විරුද්ධවද ඔබ ඉදිරියෙහිද පව්කෙළෙමි. තවත් ඔබගේ පුත්‍රයායයි කියනු ලබන්ට නොවටිමි. ඔබගේ කුලීකාරයන්ගෙන් එක්කෙනෙකු මෙන් මා [තබාගන්නැයි] ඔහුට කියන්නෙමියි කියා, නැගිට තමාගේ පියා ළඟට ගියේය.”—ලූක් 15:17-19.
13 නාස්තිකාරයා ‘පියවි සිහියට පැමිණියා.’ සිහින ලෝකයක ජීවත් වෙනවා වගේ, කලකට ඔහු සැප-සෙවීමේ ගැලී සිටියා. නමුත් දැන් ඔහුට ඔහුගේ සැබෑ ආත්මික තත්වය ගැන තියුණු ලෙස අවබෝධ වුණා. ඔව්, ඔහු වරදට වැටුණත්, මෙම යෞවන මිනිසාට ගොඩ එන්න තවමත් ප්‍රස්තාව තිබුණා. යම් හොඳක් ඔහු තුළ සොයාගන්න හැකි වුණා. (හිතෝපදේශ 24:16; සසඳන්න 2 ලේකම් 19:2, 3.) අදදින දෙවිගේ රැළ හැර යන අය සම්බන්ධයෙන් තත්වය කුමක්ද? ඒ සියලුදෙනාම නැවත ගොඩගන්නම බැරි බවත්, ඔවුන්ගේ කැරලිකාර ක්‍රියාකලාපය සෑම අවස්ථාවකම දෙවිගේ ශුද්ධාත්මයට විරුද්ධව පව් කිරීමක් බවත් ඔප්පු වෙනවා කියා නිගමනය කිරීම සාධාරණද? (මතෙව් 12:31, 32) අනිවාර්යයෙන්ම නැහැ. මොවුන්ගෙන් සමහරෙක් තමන්ගේ හිතුවක්කාර මාර්ග හේතුවෙන් වද විඳ, පසුව ඔවුන්ගෙන් බොහෝදෙනෙක් පියවි සිහියට පැමිණෙනවා. දෙවිගේ සංවිධානය අතහැර ගත කළ කාලය මතක් කරමින් එක්තරා සහෝදරියක් මෙහෙම කියනවා: “මම කවදාවත්, එකම දවසක්වත් යෙහෝවාව අමතක කළේ නැහැ. කොහොම හරි, යම් දවසක මාව සත්‍යයට ආයෙත් පිළිගන්න කියා මම කොයිවෙලෙත් යෙහෝවාට යාච්ඤා කළා.”—ගීතාවලිය 119:176.
14. නාස්තිකාරයා ඉටාගත්තේ කුමක් කිරීමටද? එමෙන්ම එසේ කිරීමෙන් ඔහු නිහතමානිකම පෙන්නුවේ කෙසේද?
14 නමුත් නමස්කාර මාර්ගයෙන් ඉවත් වූ අයට තමන්ගේ තත්වය ගැන කුමක් කළ හැකිද? නැවත ගෙදර යන්නත්, ගොස් තම පියාගෙන් සමාව අයැද සිටින්නත් යේසුස්ගේ උපමාවේ එන නාස්තිකාරයා තීරණය කළා. “ඔබගේ කුලීකාරයන්ගෙන් එක්කෙනෙකු මෙන් මා [තබාගන්න]” කියා කියන්න නාස්තිකාරයා ඉටාගත්තා. කුලීකාරයෙක් කියන්නේ දවසේ පඩියට වැඩ කරන කෙනෙක් වන අතර, දවසක දැනුම් දීමකින් පසුව ඔහුව පිටත් කර හැරිය හැකියි. එක අතකට, දාසයෙකුව පවුලේ සාමාජිකයෙකු වගේ සැලකූ නිසා මේක ඊටත් වඩා පහත් තත්වයක්. මෙසේ, පුත්‍රයෙක් හැටියට ඔහු සිටි තත්වයට තමාව යළි පත් කරන්න කියා ඉල්ලා සිටීමේ අදහසක් නාස්තිකාරයාගේ සිතේ තිබුණේ නැහැ. දවසක් දවසක් පාසා, තම පියා කෙරෙහි අලුත් කරගත් ඔහුගේ පක්ෂපාතකම ඔප්පු කිරීමේ අරමුණින්, පහත්ම තත්වය පිළිගන්න ඔහු බොහෝ සේ කැමති වෙනවා. කොහොමවුණත්, නාස්තිකාරයා පුදුමයට පත් වෙන්නයි සිටියේ.
හද උණුසුම් කරවන පිළිගැනීමක්
15-17. (අ) තම පුත්‍රයාව දුටු විගස පියාගේ ප්‍රතික්‍රියාව වූයේ කුමක්ද? (ආ) පියා විසින් තම පුත්‍රයාට සළුව, මුද්ද සහ පාවහන් ලබා දීමෙන් අඟවන්නේ කුමක්ද? (ඇ) පියා මංගල්‍යයක් සූදානම් කිරීමෙන් පෙන්වන්නේ කුමක්ද?
15 “ඔහු දුර සිටියදීම ඔහුගේ පියා ඔහු දැක, අනුකම්පාවී, දුවගන ගොස්, ඔහුගේ බෙල්ල වැළඳගෙන, ඔහු සිඹගත්තේය. එවිට පුත්‍රයා ඔහුට කථාකොට: පියාණෙනි, ස්වර්ගයට විරුද්ධවද ඔබ ඉදිරියෙහිද පව්කෙළෙමි. තවත් ඔබගේ පුත්‍රයායයි කියනු ලබන්ට නොවටිමි . . . [ඔබගේ කුලීකාරයන්ගෙන් එක්කෙනෙකු මෙන් මා තබාගන්නැයි] කීවේය. නුමුත් පියා තමාගේ දාසයන්ට කථාකොට: ඉතා හොඳ සළුව වහාම ගෙනැවිත් මොහුට හඳවන්න; මොහුගේ ඇඟිල්ලේ මුදුවක්ද පාදවල වහන්ද දමන්න. තරකළ වස්සා ගෙනැවිත් මරන්න, අපි කමින් ප්රීතිවෙමු. මක්නිසාද මේ මාගේ පුත්‍රයා නැසී, නැවත ජීවත්ව සිටියි; ඔහු නැතිවී, සම්බවීයයි කීවේය. එවිට ඔව්හු ප්‍රීතිවෙන්ට පටන්ගත්තෝය.”—ලූක් 15:20-24.
16 ඕනෑම ප්‍රේමනීය දෙමාපියෙක් දරුවෙකුගේ ආත්මික සුවය දෙස ඕනෑකමින් බලා සිටිනවා. මේ අනුව බලද්දී, නාස්තිකාරයාගේ පියා තම පුත්‍රයාගේ නැවත පැමිණීම දිහා ඉතා කනස්සල්ලෙන් දවසක් දවසක් පාසා නිවස ඉදිරිපස තිබූ මඟ දෙස බලා සිටින්න ඇති කියා අපිට හිතාගන්න පුළුවන්. පටුමඟ දිගේ ඉදිරියට එන තම පුත්‍රයාව දැන් ඔහුගේ නෙත ගැටෙනවා! කොලුවාගේ පෙනුම වෙනස් වී ඇති බවට සැකයක් නැහැ. ඒ වුණත්, “ඔහු දුර සිටියදීම” පියා ඔහුව හඳුනාගන්නවා. පියා ඔහුගේ වැරහැලි සහ කලකිරුණු ස්වභාවයට එපිටින් දකිනවා. ඔහු දකින්නේ ඔහුගේ පුත්‍රයාවයි. ඔහුව මුණගැසීමට ඔහු දුවගෙන යයි!
17 පියා තම පුත්‍රයා වෙත ළං වූ විට, ඔහුගේ බෙල්ල වැලඳගෙන, මුදු ලෙස ඔහුව සිඹගත්තා. ඉන්පසු, ඔහු තම පුත්‍රයාට සළුවක්, මුදුවක් සහ පාවහන් පළඳවන්න කියා දාසයන්ට අණ කළා. මේ සළුව නිකම්ම රෙද්දකින් මැසූ එකක් නෙවෙයි; නමුත්, “ඉතා හොඳ සළුව,” එනම් ඒක සමහරවිට ආරාධිත අමුත්තෙකුට පිළිගන්වන ආකාරයේ ඉතා අලංකාර විසිතුරු වැඩ දැමූ පිට සළුවක්. මුදුවක් සහ පාවහන් සාමාන්‍යයෙන් දාසයෙක් විසින් නොපැළඳි නිසා, තම පුත්‍රයාව සම්පූර්ණ අයිතිවාසිකම් ඇති පවුල් සාමාජිකයෙක් ලෙස නැවත පිළිගත් බවයි පියා පැහැදිලි කරමින් සිටියේ. නමුත් පියා කළ දේ එතැනින් නතර වුණේ නැහැ. තම පුත්‍රයාගේ නැවත පැමිණීම සමරන්න උත්සවයක් පැවැත්වූවා. පැහැදිලිවම, මේ මිනිසා තම පුත්‍රයා නැවත පැමිණි නිසා දෙන්න ඕනෑම නිසා අකමැත්තෙන් හෝ නිකම්ම සමාව දෙමින් සිටියා නෙවෙයි; ඔහුට ඕනෙ වුණා සමාව දෙන්න. ඒක ඔහුව ප්‍රීතියට පත් කළා.
18, 19. (අ) නාස්තිකාර පුත්‍රයාගේ උපමාව, යෙහෝවා ගැන ඔබට උගන්වන්නේ කුමක්ද? (ආ) යුදය සහ යෙරුසලම සමඟ යෙහෝවා ක්‍රියා කළ ආකාරයෙන් පෙන්වූ ලෙස පව්කාරයෙක් නැවත එන තුරු යෙහෝවා ‘බලා සිටින්නේ’ කෙසේද?
18 නමස්කාර කරන්න අප වරප්‍රසාද ලබා සිටින දෙවි ගැන, නාස්තිකාර පුත්‍රයාගේ උපමාව මෙතෙක් අපට උගන්වන්නේ කුමක්ද? මුලින්ම, යෙහෝවා “දයාවන්ත සහ කරුණාභරිත වූ, උදහස් වීමට ප්‍රමාද, ප්‍රේමනීය-කරුණාව සහ සැබෑකමින් පූර්ණ වූ” කෙනෙක් බවයි. (නික්මයාම 34:6) ඇත්තෙන්ම, දයාව දෙවිගේ ප්‍රධාන ගුණාංගවලින් එකක්. එය අවශ්‍යතාව ඇති අය සම්බන්ධයෙන් දෙවි ක්‍රියා කරන සාමාන්‍ය ක්‍රමයයි. ඉන්පසු, යෙහෝවා “සමාව දීමට සූදානම්” කෙනෙක් බව යේසුස්ගේ උපමාව අපට උගන්වනවා. (ගීතාවලිය 86:5, NW) පව්කාර මනුෂ්‍යයන්ගේ හෘදයේ ඇති ඕනෑම වෙනසක් නිරීක්ෂණය කිරීමට, දෙවි මඟ බලාගෙන සිටිනවා. එය දයාවන්ත වීම සඳහා ඔහුට පදනමක් සපයනවා.—2 ලේකම් 12:12; 16:9.
19 උදාහරණයක් හැටියට, දෙවි ඉශ්රායෙල් සමඟ ක්‍රියා කළ ආකාරය සිතා බලන්න. යුදය සහ යෙරුසලෙම ‘පතුලේ සිට හිස දක්වා රෝගාතුරව’ සිටින බව විස්තර කිරීමට යෙහෝවා අනාගතවක්තෘ යෙසායාට ආනුභාවය දුන්නා. ඒ වුණත්, යෙහෝවා මෙහෙමත් කිව්වා: ‘යෙහෝවා ඔබට කරුණා කරන්න බලා සිටින්නේය, ඔබට අනුකම්පා කරන්න [දයාව පෙන්වන්න, NW] නැඟිටින්නේය.’ (යෙසායා 1:5, 6; 30:18, ඇල අකුරු අපේය; 55:7; එසකියෙල් 33:11) යේසුස්ගේ උපමාවේ සඳහන් පියා කළා වගේ, යෙහෝවා ‘පෙරමඟ බලා සිටිනවා.’ යෙහෝවා ඔහුගේ නිවස හැර ගිය ඕනෑම කෙනෙක් නැවත එන තුරු ඉතා ඕනෑකමින් බලා සිටිනවා. ආදරණීය පියෙකුගෙන් අප අපේක්ෂා කරන්නෙත් මේ දෙයම නෙවෙයිද?—ගීතාවලිය 103:13.
20, 21. (අ) දෙවිගේ දයාව මගින් අදදින බොහෝදෙනෙකුව ඇදගනිමින් තිබෙන්නේ කිනම් ආකාරයෙන්ද? (ආ) මීළඟ ලිපියෙන් සාකච්ඡා කරන්න යන්නේ කුමක්ද?
20 සෑම අවුරුද්දකම, යෙහෝවාගේ දයාව, තම පියවි සිහියට පැමිණ සැබෑ නමස්කාරය වෙතට නැවත යන්න බොහෝදෙනෙකුව අදිනවා. මෙය ඔවුන්ගේ ප්‍රේමනීයයන්ට මොනතරම් ප්‍රීතියක් ගෙනෙනවාද! මුලදී සඳහන් කළ ක්‍රිස්තියානි පියාව උදාහරණයකට ගන්න. සන්තෝෂයට මෙන්, ඔහුගේ දුව ආත්මික සුවය ලබා, දැන් පූර්ණ-කාලීන සේවිකාවක් ලෙස සේවය කරනවා. “මම මේ පරණ පිළිවෙළේ කෙනෙකුට වෙන්න පුළුවන් උපරිමයෙන්ම සන්තෝෂ වෙනවා” කියා ඔහු කියනවා. “මගේ දුක් කඳුළු, සතුටු කඳුළුවලට පෙරළුණා.” යෙහෝවාත් ප්‍රීති වන බව ස්ථිරයි!—හිතෝපදේශ 27:11.
21 නමුත් නාස්තිකාරයාගේ උපමාවේ තවත් අදාළ වීමක් තිබෙනවා. යෙහෝවාගේ දයාවත්, ලියන්නන් සහ ඵරිසිවරුන් අතරේ පොදුවේ පැවති දැඩි, විනිශ්චයමය ආකල්පයත් අතර වෙනස දක්වන්න හැකි වන ආකාරයෙන් යේසුස් තම කතාන්තරය දිගටම ගෙන යනවා. ඔහු ඒක කළේ කොහොමද යන්නත්, මෙයින් අපට අදහස් කරන්නේ කුමක්ද යන්නත් මීළඟ ලිපියෙන් සාකච්ඡා කරන්න යනවා.
[පාදසටහන්වල]
a බයිබලයේ විස්තර කර ඇති උපමා සහ අනිකුත් නිදර්ශන අනිවාර්යෙන්ම සිදු වූ ඒවා නොවේ. තවදුරටත්, මේ කතාන්තරවල අරමුණ සදාචාරමය පාඩමක් ඉගැන්වීම නිසා, සෑම කාරණයක් සඳහාම සංකේතාත්මක අර්ථයක් සෙවීම අවශ්‍ය නොවේ.
b මෙම උපමාවේ අනාවැකිමය අදාළත්වය 1989 පෙබරවාරි 15 මුරටැඹ (ඉංග්‍රීසියෙන්) කලාපයේ 16, 17 පිටුවල සාකච්ඡා කර ඇත.
පුනරීක්ෂණය
◻ දයාව සම්බන්ධයෙන් යේසුස්ගේ ආකල්පය ඵරිසිවරුන්ගේ එකට වඩා වෙනස් වූයේ කෙසේද?
◻ නාස්තිකාරයාගෙන් අදදින නියෝජනය කරන්නේ කාවද? එමෙන්ම ඒ කෙසේද?
◻ නාස්තිකාරයාව පියවි සිහියට ගෙනාවේ කිනම් තත්වයන්ද?
◻ තම පසුතැවිලි වන පුත්‍රයාට පියා දයාව පෙන්වූයේ කෙසේද?
[11වන පිටුවේ කොටුව]
ඔවුන් ඔවුන්ගේ පියවි සිහියට පැමිණියා
වරක් ක්‍රිස්තියානි සභාවෙන් නෙරපූ සමහරෙකුට, නැවතත් තමන්ගේ පියවි සිහියට පැමිණීමට උපකාර කරනු ලැබුවේ කුමක්ද? පහත සඳහන් අදහස් ප්‍රකාශයන් මෙම කාරණය මත ආලෝකය හෙළනවා.
“හද පතුලෙන්ම මං දැනං හිටියා සත්‍යය තිබුණේ කොහේද කියලා. අවුරුදු ගානක් බයිබලය පාඩම් කරපු එකත්, ක්‍රිස්තියානි රැස්වීම්වලට ගිය එකත්, මගේ ජීවිතයට මහ විශාල බලපෑමක් ඇති කරල තිබුණා. මං කොහොමද තවත් යෙහෝවාව නොසලකා ඉන්නේ? යෙහෝවා මාව අත්හැරියේ නෑ; මමයි එයාව අත්හැරියේ. අන්තිමට මට පිළිගන්න වුණා, මම කොච්චර වැරදිද, මම කොච්චර හිතුවක්කාර වෙලාද කියලා. යෙහෝවාගේ වචන කවදත් හරි. ‘තමා වපුරන දේම තමයි තමා කපාගන්නෙ.’ ”—කේ.ඩබ්ලිව්.
“මගේ චූටි දූ කතා කරන්න පටන්ගත්තාම, ඒක මගේ හිතට තදින් බලපෑවා; යෙහෝවා කියන්නේ කවුද, එයාට යාච්ඤා කරන්නේ කොහොමද කියල, මට මගේ පැටික්කිට උගන්වන්න ඕනෙ වුණා. මට නින්ද ගියේ නැහැ; එක දවසක් රෑ මම පාක් එකට වාහනේ එලවගෙන ගිහිල්ලා හොඳටම අඬල, අඬල, හුඟ කාලෙකට පස්සේ මුල් වතාවට යෙහෝවාට යාච්ඤා කළා. මට ඕන වුණේ යෙහෝවාව මගේ ජීවිතයට ආයෙත් ළං කරගන්න විතරයි කියල මම දැනගෙන හිටියා; යෙහෝවා මට සමාව දෙයි කියලා මං බලාගෙන හිටියා.”—ජී.එච්.
“ආගම ගැන විෂය කතා කරන කොට, ඇත්ත උගන්වන ආගමක් තෝරගන්නවා නම්, මම යෙහෝවාගේ සාක්ෂිකාරියක් වෙන්න ඕනෙ කියල මම මිනිස්සුන්ට කියනවා. ඊට පස්සේ මම ඒ අයට කියන්නේ, මම යෙහෝවාගේ සාක්ෂිකාරියක්ව හිටියා; ඒත් ඒකට එකඟව ජීවත් වෙන්න බැරි වෙච්ච හින්දා ඒක අත්හැරියා කියලයි. ඒ බව මට තේරුණාම, හුඟක් වෙලාවට මට වරද සහිත බවක් වගේම අසන්තෝෂයක් දැනුණා. අන්තිමට මම පිළිගත්තේ, ‘මම කාලකණ්ණි ගැහැනියක්. ඒ හින්දා මට ගොඩාක් වෙනස්කම් කරගන්න තියෙනවා’ කියලයි.”—කේ.එන්.
“අවුරුදු තිස්පහකට උඩදි මාවත් මගේ පුරුෂයාවත් සභා ඇසුරෙන් කපාහැරියා. ඊට පස්සේ, 1991දී, වැඩිමහල්ලො දෙන්නෙක් අපිව බලන්න ඇවිල්ල, යෙහෝවා වෙතට ආයෙත් හැරෙන්න ඇති හැකියාව ගැන දැනුම් දුන්නාම, ඒක අපිව පුදුමයටත් සන්තෝෂයටත් පත් කළා. මාස හයකට පස්සේ, අපිව යළි පිහිටුවීම නිසා, අපි ප්‍රීතියෙන් ඉතිරිල ගියා. මගේ පුරුෂයාගේත් මගේත් වයස පිළිවෙළින් අවුරුදු 79යි, 63යි.”—කේ.ඒ.