යෙරුසලම—එය ‘ඔබේ ප්‍රීතිය සඳහා ප්‍රධානම හේතුවද?’
“මගේ ප්‍රීතිය සඳහා ප්‍රධානම හේතුවට ඉහළින් මම යෙරුසලම උසස් නොකළා නම්, මගේ දිව මගේ උඩු තල්ලේ ඇලේවා.”—ගීතාවලිය 137:6, NW.
1. දෙවිගේ තෝරාගත් නුවර සම්බන්ධයෙන්, බොහෝ යුදෙව් වහලුන්ට තිබුණේ කිනම් ආකල්පයක්ද?
මුල් යුදෙව් වහලුන් පො.යු.පෙ. 537දී යෙරුසලමට පළමු වතාවට ආපසු පැමිණි විට, දශක හතක් පමණ ගතව තිබුණා. දේවමාළිගාව නැවත ඉදි කර තිබුණත්, නුවර තවමත් නටබුන් අතර සැතපිලා. මේ අතර, වහල්භාවය තුළ අලුත් පරම්පරාවක් බිහි වී තිබුණා. ඔවුන්ගෙන් බොහෝදෙනෙකුට ගීතිකාකාරයා ගැයූ ආකාරයට හැඟුණාට කිසිම සැකයක් නැහැ: “අහෝ යෙරුසලම, මම ඔබව අමතක කළා නම්, මගේ දකුණු අතත් අමතක වී ගියාවේ.” (ගීතාවලිය 137:5, NW) සමහරුන් නිකම්ම යෙරුසලම සිහි කරනවාට වඩා වැඩි යමක් කළා; එය “[ඔවුන්ගේ] ප්‍රීතිය සඳහා ප්‍රධානම හේතුවට” ඉහළින් තැබූ බවට ඔවුන්ගේ ක්‍රියාවෙන් ඔප්පු කළා.—ගීතාවලිය 137:6.
2. එස්රා කවරෙක් වූවාද? එමෙන්ම, ඔහු ආශීර්වාද ලැබුවේ කෙසේද?
2 උදාහරණයකට, පූජක එස්රාව සැලකිල්ලට ගන්න. ඔහු තම මව්බිමට නැවත යන්නත් කලින්, යෙරුසලමේ නිර්මල නමස්කාරය වෙනුවෙන් ජ්වලිත ලෙස කටයුතු කර තිබුණා. (එස්රා 7:6, 10) ඒ වෙනුවෙන් එස්රා බහුල ලෙස ආශීර්වාද ලැබුවා. වහල්භාවයේ සිට යෙරුසලමට නැවත යන තවත් කණ්ඩායමක් මෙහෙයවීමේ වරප්‍රසාදය එස්රාට දානය කිරීමට, යෙහෝවා දෙවි පර්සියානු රජුගේ හෘදය පෙලඹෙව්වා. තවදුරටත්, “[යෙහෝවාගේ] ගෘහය අලංකාර කරන්ට” රජු රන්-රිදී සම්මාදම් කළා.—එස්රා 7:21-27.
3. යෙරුසලම ඔහුගේ ප්‍රධාන සැලකිල්ල බව නෙහෙමියා ඔප්පු කළේ කෙසේද?
3 අවුරුදු 12කට පමණ පසුව, තීරණාත්මක ලෙස ක්‍රියා කළ තවත් යුදෙව්වෙක් සිටියා; ඒ නෙහෙමියා. ඔහු සේවය කළේ, ෂූෂන්හි තිබූ පර්සියානු රජ මාළිගාවේ. අර්තක්ෂස්තා රජුගේ කුසලාන දරන්නා වශයෙන් ඔහුට නම්බුකාර මෙන්ම බලපෑම් කළ හැකි තනතුරක් තිබුණා; නමුත්, නෙහෙමියාගේ “ප්‍රීතිය සඳහා ප්‍රධානම හේතුව” වුණේ එය නෙවෙයි. ඒ වෙනුවට, ගොස් යෙරුසලම නැවත ඉදි කරන්න ඔහු දැඩි ආශාවකින් පෙළුණා. මාස ගණනාවක් තිස්සේ නෙහෙමියා මේ ගැන යාච්ඤා කළා; එසේ කිරීම වෙනුවෙන් යෙහෝවා දෙවි ඔහුට ආශීර්වාද කළා. මේ ගැන නෙහෙමියාගේ සැලකිල්ල දැනගත් පර්සියානු රජු, යුධ හමුදාවකුත්, යෙරුසලම නැවත ඉදි කරන්න බලතල සපයන ලිපිත් ඔහුට දුන්නා.—නෙහෙමියා 1:1–2:9.
4. ප්‍රීතිය සඳහා අපට තිබිය හැකි සියල්ලටම ඉහළින් යෙහෝවාගේ නමස්කාරය තබා ඇති බව අපට පෙන්විය හැක්කේ කෙසේද?
4 කිසිම සැකයක් නැතුව, එස්රාත්, නෙහෙමියාත්, ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කළ බොහෝ යුදෙව්වනුත්, යෙරුසලම වටා කේන්ද්‍රගතව තිබූ යෙහෝවාගේ නමස්කාරය වෙන කිසිම දෙයකට වඩා වැදගත්ම දෙය බව ඔප්පු කළා. එනම්, යෙරුසලම ‘ඔවුන්ගේ ප්‍රීතිය සඳහා ප්‍රධානම හේතුවට ඉහළින්’ ඒ කියන්නේ ඔවුන්ට ප්‍රීති විය හැකි ඕනෑම දෙයකට වඩා ඉහළින් තිබූ බව ඔප්පු කළා. යෙහෝවාවත්, ඔහුගේ නමස්කාරයත්, ඔහුගේ ආත්මයෙන් මඟ පෙන්වීම ලබන සංවිධානයත් ඒ ආකාරයෙන්ම සලකන අදදින සිටින සියලුදෙනාටම, එවැනි පුද්ගලයන් මොනතරම් දිරිගැන්වීමක්ද! එය ඔබ සම්බන්ධයෙන් සැබෑවක්ද? ඔබගේ ප්‍රීතිය සඳහා ඇති ශ්‍රේෂ්ඨතම හේතුව යෙහෝවාගේ කැප වූ සෙනඟ සමඟ ඔහුට නමස්කාර කිරීමේ වරප්‍රසාදය බව දිව්‍ය ක්‍රියාවන් තුළ විඳදරාගැනීමෙන් ඔබ පෙන්වනවාද? (2 පේතෘස් 3:11) ඒ සඳහා තවත් දිරිගැන්වීමක් හැටියට, යෙරුසලමට ගිය එස්රාගේ ගමනේ යහපත් ප්‍රතිඵල අපි සලකා බලමු.
ආශීර්වාද සහ වගකීම්
5. එස්රාගේ දවස්වලදී, යූදා වැසියන්ට කිනම් බහුල ආශීර්වාද ගලා ආවාද?
5 එස්රා සමඟ නැවත යන 6,000ක පමණ වහලුන් කණ්ඩායම, යෙහෝවාගේ මාළිගාව සඳහා සම්මාදම් ලෙස රන්-රිදී ගෙනාවා. වර්තමාන වටිනාකමට අනුව එය රුපියල් බිලියන 2.17කට පමණ සමාන වෙනවා. මෙය මුලින් පැමිණි වහලුන්ට ගෙනෙන්න හැකි වූ රන් රිදී මෙන් හත් ගුණයක් පමණ වෙනවා. මේ සියලුම මිනිස් සහ ද්‍රව්‍යමය සහයෝගය ලැබීම ගැන යෙරුසලමේ සහ යූදා වැසියන් යෙහෝවාට මොනතරම් ස්තුතිපූර්වක වන්න ඇද්ද! නමුත්, දෙවිගෙන් එන බහුල ආශීර්වාද සමඟ වගකීමුත් පැමිණෙනවා.—ලූක් 12:48.
6. තම වාසභූමියේදී එස්රා සොයාගත්තේ කුමක්ද? එමෙන්ම, ඔහු ප්‍රතික්‍රියා කළේ කෙසේද?
6 පූජකයන් සහ වැඩිමහල්ලන් ඇතුළු බොහෝ යුදෙව්වන්, මිථ්‍යාදෘෂ්ටික භාර්යාවන් සරණ පාවාගැනීමෙන් දෙවිගේ ව්‍යවස්ථාව කඩ කර ඇති බව එස්රා ඉක්මනින්ම සොයාගත්තා. (ද්වීතිය කථාව 7:3, 4) දෙවිගේ ව්‍යවස්ථා ගිවිසුම උල්ලංගනය කිරීම සම්බන්ධයෙන් සාධාරණ ලෙස, ඔහු මහත් මානසික අසහනයකට පත් වුණා. “මම මේ කාරණාව අසා, මාගේ වස්ත්‍රයත් සළුවත් ඉරාගෙන, . . . ත්‍රස්තවී හිඳගතිමි.” (එස්රා 9:3) ඉන්පසු, කනස්සල්ලට පත් ඉශ්‍රායෙලිතයන් ඉදිරියේ, යෙහෝවාට යාච්ඤාවෙන් එස්රා තම හෘදය වැගුරුවා. සියලුදෙනාම අසාගෙන සිටියදී, ඉශ්‍රායෙල්ගේ අතීත අකීකරුකම් ගැනත්, ඔවුන් දේශයේ මිථ්‍යාදෘෂ්ටිකයන් හා විවාහ වුණොත් සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳ දෙවිගේ අනතුරු ඇඟවීම් ගැනත් එස්රා එහිදී යළිත් මතක් කළා. ඔහු මෙසේ අවසන් කළා: “ඉශ්‍රායෙල්ගේ දෙවිවූ [යෙහෝවා], ඔබ ධර්මිෂ්ඨය; මක්නිසාද අද තිබෙන ලෙස අපි ස්වල්ප දෙනෙක්ව ඉතුරුව සිටිමුව. මෙන්න, අපි ඔබ ඉදිරියේ අපේ අපරාධවල ගැලී සිටිමුව [වරදසහගතව සිටිමු, NW]; මක්නිසාද මේ කාරණය නිසා ඔබ ඉදිරියේ කිසිවෙකුට සිටිය නොහැකිය.”—එස්රා 9:14, 15.
7. (අ) වැරදි කිරීම සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී එස්රා කිනම් යහපත් ආදර්ශයක් තැබුවාද? (ආ) එස්රාගේ දවසේදී වැරදිකරුවන් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?
7 එස්රා “අපි” යන ප්‍රකාශය පාවිච්චි කරනවා. ඔව්, ඔහු පෞද්ගලිකව වරදකරුවෙකු නොවුණත්, ඔහු තමාවත් ඊට ඇතුල් කරගත්තා. එස්රාගේ ගැඹුරු මානසික අසහනයත්, ඔහුගේ නිහතමානි යාච්ඤාවත් සෙනඟගේ හදවත් ස්පර්ශ කළ අතර, පසුතැවිල්ලට උචිත ක්‍රියා කිරීමට ඔවුන්ව පෙලඹුවා. වේදනාසහගත පිළියමක් සඳහා ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා; තමන්ට දාව උපන් දරුවන් සමඟ තම විදේශික භාර්යාවන්ව යවන්න දෙවිගේ ව්‍යවස්ථාව උල්ලංගනය කළ සියලුදෙනාටම සිදු වුණා. අවසාන තීරණය හැටියට, එස්රා එයට එකඟ වූ අතර, වැරදිකාරයන්ටද ඒ අනුව ක්‍රියා කරන්න දිරිගැන්නුවා. පර්සියානු රජු එස්රාට දුන් බලතලවලට අනුව, නීති කඩන සියල්ලන්වම මරා දමන්න හෝ යෙරුසලමෙන් සහ යූදා දේශයෙන් පන්නා දමන්න ඔහුට අයිතිය තිබුණා. (එස්රා 7:12, 26) නමුත් පෙනෙන ආකාරයට එවැනි ක්‍රියාමාර්ගයක් ගන්න ඔහුට අවශ්‍ය වුණේ නැහැ. “මුළු සභාව” මෙසේ කිව්වා: “ඔබ අප ගැන කී ලෙස අප විසින් කළයුතුය.” තවදුරටත් ඔවුන් මෙසේ පසුතැවුණා: “මේ කාරණය සම්බන්ධව අපි බොහෝසේ වරද කෙළෙමුව.” (එස්රා 10:11-13) තමන්ගේ විදේශික භාර්යාවන් සහ තමන්ට දාව උපන් දරුවන්ද නැවත යවමින් තීරණයට කීකරු වූ මිනිසුන් 111දෙනාගේ නම් එස්රා 10වන පරිච්ඡේදයෙහි ලැයිස්තුගත කර තිබෙනවා.
8. විදේශික භාර්යාවන්ව යැවීමේ දුෂ්කර ක්‍රියාවලිය, මුළු මහත් මනුෂ්‍යවර්ගයාගේ ප්‍රයෝජනය සඳහා හේතු වන යමක් වූයේ ඇයි?
8 මෙම ක්‍රියාමාර්ගය ගත්තේ ඉශ්රායෙල් සඳහා පමණක් නොව, නමුත් මුළු මහත් මනුෂ්‍යවර්ගයාගේම ප්‍රයෝජනය සඳහායි. කාරණා නිවැරදි කරන්න කිසිවක් නොකළා නම්, ඉශ්‍රායෙල්වරුන්ද අවට ජාතීන් හා මිශ්‍ර වෙන්න ඉඩ තිබුණා. එසේ වූවා නම්, මුළු මහත් මනුෂ්‍යවර්ගයාගේ ආශීර්වාදය සඳහා වූ පොරොන්දු වංශය පැවතෙන පෙළපත කැළැල් වෙන්න ඉඩ තිබුණා. (උත්පත්ති 3:15; 22:18) යූදා ගෝත්‍රයේ දාවිත් රජුගේ පෙළපතෙන් එන පොරොන්දු වංශයෙහි අනන්‍යතාව තහවුරු කරගන්න දුෂ්කර වෙන්න ඉඩ තිබුණා. අවුරුදු 12කට පමණ පසු, “ඉශ්රායෙල් වංශය සියලු අන්‍ය ජාතීන්ගෙන් වෙන්ව [සිටගත්]” අවස්ථාවේදී, මෙම වැදගත් කාරණය වෙත නැවතත් අවධානය යොමු කළා.—නෙහෙමියා 9:1, 2; 10:29, 30.
9. නොඇදහිලිකාරයන් හා සමඟ විවාහ වී ඇති ක්‍රිස්තියානීන්ට බයිබලය දී ඇති යහපත් උපදේශය කුමක්ද?
9 වර්තමානයේ සිටින යෙහෝවාගේ සේවකයන්ට මෙම සිද්ධියෙන් ඉගෙනගත හැක්කේ කුමක්ද? ක්‍රිස්තියානීන් ව්‍යවස්ථා ගිවිසුම යටතේ නොසිටින බව ඇත්තයි. (2 කොරින්ති 3:14) ඔවුන් ඒ වෙනුවට, ‘ක්‍රිස්තුස්ගේ ව්‍යවස්ථාවට’ කීකරු වෙනවා. (ගලාති 6:2) මෙසේ, නොඇදහිලිකාරයෙක් සමඟ විවාහ වී සිටින ක්‍රිස්තියානියෙක් පාවුල්ගේ මෙම උපදේශය හා එකඟ වෙනවා: “යම් සහෝදරයෙකුට නොඇදහිලිකාර භාර්යාවක් ඇත්නම්, ඈ ඔහු සමඟ වාසයකරන්ට කැමති නම්, ඔහු ඈ අත් නොහරීවා.” (1 කොරින්ති 7:12) තවදුරටත්, නොඇදහිලිකාරයන් සමඟ විවාහ වී සිටින ක්‍රිස්තියානීන් විසින් තම විවාහය සාර්ථක කරගැනීම සඳහා කළ හැකි සෑම දෙයක්ම කිරීම ශුද්ධ ලියවිලිමය වගකීමක්. (1 පේතෘස් 3:1, 2) නොඇදහිලිකාර කලත්‍රයා සැබෑ නමස්කාරය දෙසට තම හෘදය වෙනස් කරගැනීමෙන්, මෙම කදිම උපදේශයට අවනත වීම බොහෝවිට ආශීර්වාද ගෙනැවිත් තිබෙනවා. සමහරුන් බව්තීස්ම ලත් විශ්වාසවන්ත ක්‍රිස්තියානීන් බවට පවා පත්ව තිබෙනවා.—1 කොරින්ති 7:16.
10. තම විදේශික භාර්යාවන්ව පිටමං කළ ඉශ්‍රායෙලිතයන් 111දෙනාගෙන් ක්‍රිස්තියානීන්ට කිනම් පාඩමක් උගත හැකිද?
10 තම විදේශික භාර්යාවන්ව පිටමං කළ ඉශ්රායෙල්වරුන්ගේ සිද්ධිය, මීට අමතරව තනිකඩ ක්‍රිස්තියානීන්ට විශිෂ්ට පාඩමක් උගන්වනවා. මොවුන් නොඇදහිලිකාර විරුද්ධ ලිංගයේ සාමාජිකයන් සමඟ පූර්ව විවාහ සම්බන්ධකම් ආරම්භ නොකළ යුතුයි. එවැනි සම්බන්ධකමක් මඟහරවාගැනීම දුෂ්කර විය හැකි අතර, වේදනාසහගතද විය හැකියි; නමුත් කෙනෙකුට දෙවිගේ නිරන්තර ආශීර්වාද ලබාගැනීම සඳහා හොඳම මාර්ගය එයයි. ක්‍රිස්තියානීන්ට මෙසේ ආඥා කර තිබෙනවා: “නොඇදහිලිකාරයන් සමඟ අසමලෙස සම්බන්ධ නොවෙන්න.” (2 කොරින්ති 6:14) විවාහ වීමට ආශාවෙන් සිටින ඕනෑම තනිකඩ ක්‍රිස්තියානියෙක් අව්‍යාජ සෙසු ඇදහිලිවන්තයෙකුව විවාහ කරගැනීමට සැලසුම් කළ යුතුයි.—1 කොරින්ති 7:39.
11. ඉශ්රායෙල්හි පුරුෂයන් මෙන්, ප්‍රීතිය සඳහා අපට ඇති හේතූන් සම්බන්ධයෙන් අපව පරීක්ෂණයට භාජන විය හැක්කේ කෙසේද?
11 ඔවුන් බයිබලයට පටහැනි දිශාවකට ගමන් කරන බව ඔවුන්ගේ අවධානයට ලක් කරනු ලැබූ විට, වෙනත් බොහෝ මාර්ගවලිනුත්, ක්‍රිස්තියානීන් වෙනස්කම් කරගෙන තිබෙනවා. (ගලාති 6:1) දෙවිගේ සංවිධානයේ කොටසක්ව සිටීම සඳහා යමෙකුව නුසුදුසු තත්වයට පත් කරවන බයිබලයට පටහැනි හැසිරීම, කාලයෙන් කාලයට මෙම සඟරාවෙන් හඳුන්වා දී තිබෙනවා. උදාහරණයක් හැටියට, මත්ද්‍රව්‍ය අනිසි භාවිතය සහ දුම්කොළ භාවිතය බරපතළ පාප බව යෙහෝවාගේ ජනයා 1973දී සම්පූර්ණ ලෙස තේරුම්ගත්තා. දේවභක්තික ජීවිත මාර්ගයක් ලුහුබැඳීම සඳහා, අප “මාංසයේද ආත්මයේද සියලු කිලුටුකම්වලින් අපම පවිත්‍ර [කරගත]” යුතුය. (2 කොරින්ති 7:1) බොහෝදෙනෙක් එවැනි බයිබල් උපදෙස් හෘදයට ගත්තා; දෙවිගේ පිරිසිදු ජනයාගේ කොටසක්ව සිටීම සඳහා, ඒවායෙන් වැළකී සිටීමේදී අද්දකින මුල් රෝග ලක්ෂණවල වේදනාව විඳින්න ඔවුන් කැමති වුණා. ලිංගික කාරණා, ඇඳුම් පැළඳුම්, හිසකේ සැකසීම් සහ රැකියාව, විනෝදාස්වාදය සහ සංගීතය ඥානවන්ත ලෙස තේරීම පිළිබඳ පැහැදිලි බයිබල් මඟ පෙන්වීම් ලබා දී තිබෙනවා. බයිබල් ප්‍රතිපත්ති අපේ අවධානයට ගෙනෙන ඕනෑම අවස්ථාවකදී, ඉශ්‍රායෙලිතයන් 111දෙනා මෙන් අපිද, “යළි සකස් වීමට” සූදානමින් සිටින බව ඔප්පු කරමු. (2 කොරින්ති 13:11, NW) යෙහෝවාගේ ශුද්ධ ජනයා සමඟ සම්බන්ධ වී ඔහුගේ නමස්කාරයේ යෙදීමේ වරප්‍රසාදය, ‘අපේ ප්‍රීතිය සඳහා ප්‍රධානම හේතුවට ඉහළින්’ තිබෙන බව මෙය පෙන්වන්න යනවා.
12. පොදු යුගයට පෙර 455දී, කුමක් සිදු වීද?
12 විදේශික භාර්යාවන් සම්බන්ධ සිද්ධිය වාර්තා කළායින් පසුව පැමිණෙන අවුරුදු 12දී යෙරුසලමේ සිදු වූ සිදුවීම් බයිබලය අපට කියන්නේ නැහැ. බොහෝ විවාහ ගිවිසුම් අහෝසි වූ නිසා, ඉශ්රායෙල්හි අවට ජාතීන් බොහෝ සතුරු වූ බවට කිසිම සැකයක් නැහැ. පොදු යුගයට පෙර 455දී, නෙහෙමියා හේවායන් කැටුව යෙරුසලම වෙත පැමිණියා. ඔහුව යූදාහි දේශාධිපතියා ලෙස පත් කර තිබූ අතර, නුවර නැවත ඉදි කරන්න බලතල නිකුත් කළ පර්සියානු රජුගෙන් ලිපිත් ගෙනෙනු ලැබුවා.—නෙහෙමියා 2:9, 10; 5:14.
ඊර්ෂ්‍යාසහගත අසල්වැසියන්ගේ විරෝධතා
13. යුදෙව්වන්ගේ බොරු ආගමික අසල්වැසියන් පෙන්නුවේ කිනම් ආකල්පයක්ද? එමෙන්ම, නෙහෙමියා ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?
13 බොරු ආගමික අසල්වැසියන් නෙහෙමියාගේ පැමිණීමේ අරමුණට විරුද්ධ වුණා. ඔවුන්ගේ නායකයන් මෙසේ අසමින් ඔහුට තර්ජනය කළා: ‘නුඹලා රජුට විරුද්ධව කැරලිගසන්න යනවාද?’ යෙහෝවා කෙරෙහි වූ ඇදහිල්ල පෙන්වමින්, නෙහෙමියා මෙහෙම පිළිතුරු දුන්නා: “ස්වර්ගයේ [දෙවිම] අපේ කාරණය සඵලකරනවා ඇත; එබැවින් [ඔහුගේ] සේවකයෝවූ අපි නැගිට ගොඩනගන්නෙමුව. නුමුත් නුඹලාට යෙරුසලමෙහි කිසි කොටසක් හෝ අයිතිවාසිකමක්වත් සිහිවීමේ ලකුණක්වත් නැත.” (නෙහෙමියා 2:19, 20) තාප්පයේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කළ විට, එම සතුරන්ම මෙසේ නින්දා කළා: ‘මේ බෙලහීන යුදෙව්වන් මක් කරනවාද? දවා දමන්ට යෙදුණු ගල් නැවත පස් ගොඩවලින් උපදවාගන්නවා ඇද්ද? හිවලෙක් නැඟුණොත් ඌ ඔවුන්ගේ ගල් පවුර කඩා දමනවා ඇත.’ ඊට පිළිතුරු දෙනවා වෙනුවට, නෙහෙමියා යාච්ඤා කළා: ‘අපේ දෙවියනි, ඇසුව මැනව; මක්නිසාද අපි සුළු කරනු ලබමුව. ඔවුන් කරන නින්දාව ඔවුන්ගේ ඉස පිටට හරවන්න.’ (නෙහෙමියා 4:2-4) නෙහෙමියා නිරතුරුවම, යෙහෝවා මත රඳා පැවතීමේ මෙම මහඟු ආදර්ශය තැබුවා!—නෙහෙමියා 6:14; 13:14.
14, 15. (අ) නෙහෙමියා සතුරන්ගේ සැහැසියාවේ තර්ජනය හැසිරෙව්වේ කෙසේද? (ආ) බිහිසුණු විරුද්ධවාදිකම් මධ්‍යයෙහි තම ආත්මික ඉදි කිරීමේ වැඩය කරගෙන යන්න යෙහෝවාගේ සාක්ෂිකාරයන්ට හැකි වී තිබෙන්නේ කෙසේද?
14 තම දේශනා කිරීමේ වැදගත් පැවරුම ඉටු කිරීම සඳහා, අදදින යෙහෝවාගේ සාක්ෂිකාරයන්ද දෙවි මත රඳා සිටිනවා. සමච්චල් කිරීම මගින් මෙම වැඩය අඩාල කරන්න විරුද්ධවාදීන් උත්සාහ කරනවා. ඇතැම් අවස්ථාවලදී, සරදම් විඳදරාගැනීමට නොහැකි වීම හේතුවෙන් රාජ්‍ය පණිවිඩයට උනන්දුව දක්වන සමහරු ආශ්‍රය අතහරිනවා. සරදම්වලින් බැරි වුණොත්, විරුද්ධවාදීන් කුපිත වී, ඒ වෙනුවට සැහැසියාව මගින් තර්ජනය කරන්න ඉඩ තිබෙනවා. යෙරුසලමේ තාප්ප ඉදි කළ අය අද්දැක්කෙත් මෙයයි. නමුත් නෙහෙමියා බයෙන් මුලුගැන්වුණේ නැහැ. ඒ වෙනුවට, සතුරු ආක්‍රමණයට විරුද්ධව ඉදි කරන්නන්ට ආයුධ දී, මෙසේ කියමින් ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත් කළා: “ඔවුන් ගැන භය නොවෙන්න. මහත්ව භයංකරව සිටින [යෙහෝවාව] සිහිකරමින් නුඹලාගේ සහෝදරයන්ද පුත්‍රයන්ද දූවරුන්ද භාර්යාවන්ද ගෙවල්ද උදෙසා සටන්කරන්න.”—නෙහෙමියා 4:13, 14.
15 නෙහෙමියාගේ දවස්වල මෙන්, බිහිසුණු විරුද්ධවාදිකම් මධ්‍යයෙහි ඔවුන්ගේ ආත්මික ඉදි කිරීමේ වැඩ දිගටම කරගෙන යෑමට යෙහෝවාගේ සාක්ෂිකාරයන් හොඳින් සන්නද්ධව සිටිනවා. දෙවිගේ සෙනඟගේ වැඩය තහනම් කළත්, ඔවුන්ට ඵලදායී වීමට හැකි කරවන, ඇදහිල්ල ශක්තිමත් කරන ආත්මික ආහාර “විශ්වාසවූ නුවණ ඇති දාසයා” සපයා දී තිබෙනවා. (මතෙව් 24:45) ප්‍රතිඵලයක් හැටියට, පොළොව පුරා වර්ධනය මගින් යෙහෝවා තම සෙනඟට නොකඩවාම ආශීර්වාද කර තිබෙනවා.—යෙසායා 60:22.
අභ්‍යන්තර ගැටලු
16. යෙරුසලමේ තාප්පය ඉදි කළවුන්ගේ ස්ප්රීතුවට, කිනම් අභ්‍යන්තර ගැටලු බලපෑවාද?
16 යෙරුසලමේ තාප්පය නැවත ඉදි කිරීමේ වැඩය ඉදිරියට ඇදෙනවාත් සමඟම, තාප්පය ක්‍රමානුකූලව උස් වෙන්න පටන්ගත්තා; වැඩය එන්න එන්නම දුෂ්කර වෙන්න පටන්ගත්තා. වැඩයත් සමඟ පොරබදින ඉදි කරන්නන්ගේ ස්ප්‍රීතුව තර්ජනයට ලක් කළ ගැටලුවක් ඇති බව ඉස්මතු වී පෙනුණේ එවිටයි. ආහාර හිඟය නිසා, තම පවුල්වලට ආහාර සැපයීම මෙන්ම, පර්සියානු ආණ්ඩුවට බදු ගෙවීමද සමහර යුදෙව්වන්ට දුෂ්කර වුණා. ධනවත් යුදෙව්වන් ඔවුන්ට ආහාර සහ මුදල් ණයට දුන්නා. කෙසේවෙතත්, දෙවිගේ ව්‍යවස්ථාවට පටහැනිව, පොලියත් සමඟ මුදල් යළි ගෙවන බවට ඇපයක් ලෙස තම දේපොළ සහ දරුවන්ව උකසට තබන්න දිළිඳු ඉශ්‍රායෙලිතයන්ට සිදු වුණා. (නික්මයාම 22:25; ලෙවී කථාව 25:35-37; නෙහෙමියා 4:6, 10; 5:1-5) ඔවුන්ගේ දේපොළ අයිති කරගැනීමටත්, ඔවුන්ගේ දරුවන්ව වහලුන් හැටියට විකිණීමටත් බල කරමින් ණය හිමියන් දැන් ඔවුන්ට තර්ජනය කළා. මෙම අනාදර සහ ද්‍රව්‍යවාදී ආකල්පය සම්බන්ධයෙන් නෙහෙමියා හොඳටම කෝප වුණා. යෙරුසලමේ තාප්පය නැවත ඉදි කිරීමේ වැඩයට යෙහෝවාගෙන් ලැබෙන ආශීර්වාද දිගටම රැකගැනීම සඳහා ඔහු ඉතා ඉක්මනින්ම ක්‍රියා කළා.
17. ඉදි කිරීමේ වැඩයට යෙහෝවාගෙන් ලැබෙන ආශීර්වාද දිගටම රැකගැනීම සඳහා නෙහෙමියා කළේ කුමක්ද? එමෙන්ම ප්‍රතිඵලය කුමක් වීද?
17 නෙහෙමියා “මහත් සමූහයක් රැස්කරවා” ඔවුන් කර ඇති දෙය යෙහෝවාව අප්‍රසාදයට පත් කර ඇති බව පැහැදිලිවම පෙන්නුවා. ඉන්පසු, පොලි ගෙවීමට වත්කමක් නොතිබූ අයගෙන් ඔවුන් ගෙන ඇති පොලි මෙන්ම නීත්‍යනුකූල නොවූ ආකාරවලින් ඔවුන් හිමි කරගෙන තිබූ ඉඩම් නැවත භාර දෙන ලෙස ඔහු සමහර පූජකයන් ඇතුළු වැරදිකාරයන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියා. ප්‍රශංසාකටයුතු ලෙස, වැරදිකරුවන් මෙසේ කියා සිටියා: “අපි ඒවා නැවත දී, ඔවුන්ගෙන් කිසිත් අය නොකර, ඔබ කියන ලෙසම කරන්නෙමු.” මෙම කියමන් නිකම්ම වචනවලට සීමා වුණේ නැහැ; මන්ද බයිබලය වාර්තා කරන්නේ මෙසේයි: “සෙනඟ [නෙහෙමියාගේ] කීමේ හැටියට කළෝය.” මුළු සභාවම යෙහෝවාට ප්‍රශංසා කළා.—නෙහෙමියා 5:7-13.
18. යෙහෝවාගේ සාක්ෂිකාරයන් ප්‍රසිද්ධ වී තිබෙන්නේ කිනම් ආකල්පයක් සම්බන්ධයෙන්ද?
18 අපේ දවස ගැන කුමක් කිව හැකිද? සූරාකන්නන් වෙනවා වෙනුවට, සෙසු ඇදහිලිවන්තයන්ට සහ විපතට පත්ව ඇති වෙනත් අයට විදහාපෙන්වන ඔවුන්ගේ ත්‍යාගශීලී ආකල්පය නිසා යෙහෝවාගේ සාක්ෂිකාරයන් ප්‍රසිද්ධ වී තිබෙනවා. නෙහෙමියාගේ දවසේ මෙන්, යෙහෝවාට කෘතඥතාවෙන් පිරි ප්‍රශංසාවක් ගෙන ඒමට මෙය හේතු වී තිබෙනවා. කෙසේවෙතත්, මේ අතර, ව්‍යාපාරික කාරණා සහ අන් අයව ගිජු ලෙස සූරාකෑමෙන් වැළකීමේ අවශ්‍යතාව ගැන ශුද්ධ ලියවිලිමය උපදෙස් දීම අවශ්‍ය බව ‘විශ්වාස වූ නුවණ ඇති දාසයාට’ පෙනී ගොස් තිබෙනවා. සමහර රටවල ඉතා අධික අඹුවැද්දක් ඉල්ලා සිටීම සාමාන්‍ය දෙයක් වුණත්, බයිබලය පැහැදිලි ලෙස අවවාද කරන්නේ ලෝභයෝවත්, කොල්ලකන්නෝවත් දෙවිගේ රාජ්‍යය උරුම කරගන්න යන්නේ නැති බවයි. (1 කොරින්ති 6:9, 10) එවැනි උපදෙස්වලට බොහෝ ක්‍රිස්තියානීන් දක්වන යහපත් ප්‍රතිචාරය, යුදෙව්වන් තම දිළිඳු සහෝදරයන්ගෙන් සූරාකෑමේ පව්කාරකම දුටු ආකාරය මතකයට නංවනවා.
යෙරුසලමේ තාප්පය නිම කරයි
19, 20. (අ) යෙරුසලමේ තාප්පය ඉදි කිරීම අවසන් කිරීම, ආගමික විරුද්ධවාදීන් මත එල්ල කළේ කිනම් බලපෑමක්ද? (ආ) යෙහෝවාගේ සාක්ෂිකාරයන් බොහෝ දේශවල අද්දැක ඇති ජයග්‍රහණය කුමක්ද?
19 සියලුම විරුද්ධවාදිකම් හමුවේ, යෙරුසලමේ තාප්පය දවස් 52කින් නිම කළා. විරුද්ධවාදීන් මත මෙය කුමනාකාර බලපෑමක් ඇති කළාද? නෙහෙමියා මෙසේ කිව්වා: “අපේ සියලු සතුරන් ඒ බව ඇසූකල අප අවට සිටි සියලු ජාතීහු භයවූහ, ඔවුන්ගේ ධෛර්යයද බොහෝ අඩුවුණේය. මක්නිසාද මේ වැඩ ඉෂ්ටවුණේ අපේ [දෙවි] කරණකොටගෙන බව ඔවුන්ට පෙනුණේය.”—නෙහෙමියා 6:16.
20 අදදිනත්, දෙවිගේ වැඩයට සතුරු විරෝධතා විවිධ ආකාරයෙන් විවිධ තැන්වල නිරතුරුවම පවතිනවා. කෙසේවෙතත්, යෙහෝවාගේ සාක්ෂිකාරයන්ට විරුද්ධකම් පෑමේ නිෂ්ඵලත්වය මිලියන ගණන් මනුෂ්‍යයන් දැක තිබෙනවා. උදාහරණයක් හැටියට, නාට්සි ජර්මනියේ, නැඟෙනහිර යුරෝපයේ සහ අප්‍රිකාවේ බොහෝ රටවල දේශනා වැඩය නැති කර දැමීමට ගත් අතීත වෑයම් ගැන සලකා බලන්න. ඒ සෑම වෑයමක්ම ව්‍යර්ථ වී ඇති අතර, ‘අපේ වැඩය සිදු වෙන්නේ දෙවිගේ අතින්’ බව බොහෝදෙනා දැන් දැන් පිළිගන්නවා. එවැනි දේශවල, යෙහෝවාගේ නමස්කාරය ‘තම ප්‍රීතිය සඳහා ප්‍රධානම හේතුවට ඉහළින්’ තැබූ ඇදහිලිවන්ත මුල් කාලීනයන්ට මෙය මොනතරම් විපාකයක් වූවාද!
21. කිනම් කැපීපෙනෙන සිද්ධීන් මීළඟ ලිපියේ සාකච්ඡා කරනවාද?
21 යෙරුසලමේ නැවත ඉදි කළ තාප්පයේ ප්‍රීතිමත් සමාරම්භක උත්සවය දක්වා මඟ පෙන්වූ වැදගත් සිද්ධීන්, මීළඟ ලිපියෙන් අපි පුනරීක්ෂණය කරමු. මුළු මහත් මනුෂ්‍යවර්ගයාගේම ප්‍රයෝජනය සඳහා වඩා ශ්‍රේෂ්ඨ නුවරක් සම්පූර්ණත්වය කරා ළඟා වෙන්නේ කෙසේද කියාත් අපි සලකා බලමු.
ඔබට මතකද?
◻ එස්රා සහ අනිත් අය යෙරුසලම සම්බන්ධයෙන් ප්‍රීති වූයේ කෙසේද?
◻ එස්රා සහ නෙහෙමියා බොහෝ යුදෙව්වන්ට නිවැරදි කරගැනීමට උපකාර කළේ කිනම් වැරදිද?
◻ එස්රා සහ නෙහෙමියා සම්බන්ධ සිද්ධීන්ගෙන් අපිට කිනම් පාඩම් උගත හැකිද?
[15වන පිටුවේ පින්තූරය]
නෙහෙමියා ප්‍රධාන දෙය ලෙස සැලකුවේ යෙරුසලමයි, ෂූෂන්හි තම නම්බුකාර මෙන්ම බලපෑම් කළ හැකි රැකියාව නෙවෙයි
[16, 17වන පිටුවේ පින්තූරය]
අපේ ඉතා වැදගත් දේශනා පැවරුමේ දිගටම නියැලීමට, නෙහෙමියා මෙන් මඟ පෙන්වීම සහ ශක්තිය ඉල්ලා අපි යෙහෝවාට යාච්ඤා කිරීම අවශ්‍යයි