පාරාදීසය සොයමින්
පස්කල් ස්ටීසිගේ කතාව
මැදියම් රාත්‍රිය වෙද්දී, දකුණු ප්‍රංශයේ බේෂ්යෙ නගරයේ පාරවල් හිස්ව තිබුණා. අලුතෙන් පින්තාරු කළ ආගමික පොත් සාප්පුවක බිත්තියක් දුටු මගේ මිතුරා සහ මම, ජර්මානු දාර්ශනිකයෙක් වූ නීච්චීගේ වදන් විශාල කළු අකුරුවලින් එහි මේ විදිහට කුරුටු ගෑවා: ‘දෙවිවරු මැරිලා. උත්තරීතර මනුෂ්‍යයා දිගුකල් වැජඹේවා!’ ඒත්, මේ දේවල් කරන්න මාව පෙලඹෙව්වේ මොකක්ද?
මම ඉපදුණේ 1951දී ප්‍රංශයෙහි ඉතාලි ජාතිකයන්ගෙන් පැවත එන කතෝලික පවුලකයි. මගේ කුඩා කාලෙදී, අපි ඉතාලියේ දකුණු පළාතට යනවා නිවාඩුව ගත කරන්න. එහි හැම ගමකම කන්‍ය මරියාගේ ප්‍රතිමාවක් ඉදි කර තිබුණා. සරසනු ලැබූ මේ විශාල ප්‍රතිමා රැගෙන වීදි යද්දී, මමත් සීයා එක්ක කඳු අතරින් ඒ පිටුපසින් ඇවිදගෙන ගියා; නමුත් කිසිම විශ්වාසයකින් නෙවෙයි ගියේ. මම මගේ මූලික අධ්‍යාපනය ලැබුවේ, ජෙසුයිට්වරුන් පවත්වාගෙන ගිය ආගමික පාසැලකයි. නමුත් ඇත්තෙන්ම දෙවි කෙරෙහි මගේ ඇදහිල්ල ගොඩනඟන කිසිම දෙයක් මම එහිදී ඉගෙනගත්තේ නැහැ.
වෛද්‍ය විද්‍යාව හදාරන්න මොන්ට්පෙලියර්හි විශ්වවිද්‍යාලයකට ඇතුල් වූ විටයි මම ජීවිතයේ අරමුණ ගැන කල්පනා කරන්න පටන්ගත්තේ. යුද්ධ කාලයේදී මගේ තාත්තා තුවාල ලැබුව නිසා නිතරම ඔහුගේ ඇඳ ළඟ වෛද්‍යවරුන් ගැවසුණා. ජනයාව සුව කිරීමට පිළියම් යොදමින් බොහෝ කාලයක් හා ශ්‍රමයක් වැය කරනවාට වඩා යුද්ධය අවසන් කර දැමීම වඩාත් හොඳ දෙයක් නෙවෙයිද? ඒත් වියට්නාම් යුද්ධය උච්ච අවස්ථාවට පැමිණ තිබුණා. උදාහරණයක් හැටියට, පෙණහලු පිළිකාවට දෙන්න පුළුවන් හොඳම ප්‍රතිකාරය හැටියට මම දැක්කේ, ඊට මූලික හේතුසාධකය වන දුම්කොළ සම්පූර්ණයෙන්ම නැති කර දැමීමයි. එමෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල මන්දපෝෂණය නිසා මෙන්ම ධනවත් රටවල අධිපෝෂණය හේතුවෙන් ඇති වන රෝග ගැන මොකක්ද කියන්න පුළුවන්? දුක්ඛදායක ප්‍රතිඵලවලට පිළියම් කිරීමට වෑයම් කරනවා වෙනුවට, ඒවා ඇති කරන හේතුසාධකයන් ඉවත් කිරීම වඩාත් සුදුසු දෙය නොවෙයිද? පොළොවෙහි මෙතරම් දුක් වේදනා පවතින්නේ ඇයි? විහින් විනාශයට යන මෙම සමාජයෙහි යම් බරපතළ දෝෂයක් තියෙනවා කියලයි මට හැඟුණේ; මේකට රජය වගකියන්න ඕනෙ කියලා මම තීරණය කළා.
විප්ලවවාදියෙක් ලියා තිබුණු පොතක් මගේ ප්‍රියතම පොත වුණා; මම ඒකෙ වාක්‍ය පාඨයන් බිත්තිවල ලිව්වා. දෙවිකෙනෙක් හෝ ස්වාමියෙක් වුවමනා නැති, ඇදහිල්ල හෝ සදාචාර නීති නැති කෙනෙක් වෙමින්, ටිකෙන් ටික මමත් විප්ලවවාදියෙක් බවට පත් වුණා. මම ආගම හා දෙවිව දැක්කේ, අනිත් මනුෂ්‍යයන්ව යටත් කරගෙන ඔවුන්ව සූරාකෑමේ අදහසින් බලවතුන් හා ධනවතුන් විසින් මවාගත් දේවල් හැටියටයි. ‘පොළොවේ ඉන්න අපි වෙනුවෙන් වෙහෙසී වැඩ කරන්න; එතකොට ස්වර්ගයේ පාරාදීසයේදී ඔබට මහත් විපාකයක් ලැබෙයි’ කියා ධනවතුන් කියන බව පෙනෙන්න තිබුණා. නමුත් දෙවිවරුන්ගේ කාලය හමාරයි. ඒ ගැන ජනයාට දැනුම් දෙන්න ඕනේ. ප්‍රසිද්ධ තැන්වල තමන්ගේ අදහස් ලිවීම, ඔවුන්ට කියලා දෙන්න පුළුවන් එක විදිහක්.
ප්‍රතිඵලයක් වශයෙන්, මගේ ඉගෙනීමේ කටයුතු ගැන තිබුණ සැලකිල්ල අඩු වෙලා ගියා. මේ අතරතුරේදී මම භූගෝල විද්‍යාව හා පරිසර විද්‍යාව ඉගෙනගන්න මොන්ට්පෙලියර්හි වෙන විශ්වවිද්‍යාලයකට ඇතුල් වුණා; එහි කැරලිකාර තත්වයක් රජයමින් තිබුණා. පරිසර විද්‍යාව ගැන වැඩි වැඩියෙන් ඉගෙනගනිද්දී, අපේ අලංකාර පෘථිවිය දූෂණය කරන බව දැකීමෙන් මගේ කලකිරීම තව තවත් වැඩි වුණා.
හැම අවුරුද්දකම ගිම්හාන නිවාඩුවේදී, මම පාරේ යන වාහන නවත්වා ඒවායේ යමින් යුරෝපය පුරාම කිලෝමීටර් දහස්ගණනක් ගමන් කළා. රියැදුරන් සියගණනක් එක්ක ගමන් කිරීමෙන් හා කතා කිරීමෙන්, මනුෂ්‍ය සමාජයට වින කරන දුෂ්ට දේවල් සහ පිරිහීම මගේ දෙනෙතින්ම මම දැක්කා. වතාවක, පාරාදීසය සොයමින් ඉන්නකොට, අලංකාර ක්‍රීත් දූපතේ තේජාන්විත මුහුදු වෙරළවල් කීපයක් මම දැක්කා; ඒවා තෙල්වලින් දූෂණය වෙලා තිබුණා. මට ලොකු දුකක් ඇති වුණා. පොළොවේ කොහේ හරි පාරාදීසයක් තිබුණාද?
යළිත් කෘෂිකාර්මික ජීවන මාර්ගයකට
සමාජයේ දුක් කම්කටොලුවලට විසඳුමක් හැටියට කෘෂිකාර්මික ජීවන මාර්ගයකට යළි හැරෙන්න කියා ප්‍රංශයේ පරිසරවිද්යාඥයන් පැවසුවා. මගේ දෑතේ වීර්යයෙන් වැඩ කරන්න මට ඕනෙ වුණා. එනිසා මම දකුණු ප්‍රංශයේ සෙවෙන්ස් කඳුවැටියේ පාමුල පිහිටි පුංචි ගමක ගල්වලින් සෑදූ පරණ ගෙයක් මිල දී ගත්තා. “පාරාදීසය දැන්” යයි කියන අමෙරිකානු හිපියන්ගේ උද්යෝග පාඨය මම දොරේ ලිව්වා. සංචාරයක යෙදෙමින් සිටි ජර්මානු ජාතික ගැහැනු ළමයෙක් අපේ ගමේ නැවතුන අවස්ථාවේදී ඇය මගේ පෙම්වතිය බවට පත් වුණා. ආණ්ඩුවේ නියෝජිතයෙක් වූ නගරාධිපති ඉදිරියේ විවාහ වීමට මම කැමති වුණේ නැහැ. එහෙමනම් පල්ලියේ විවාහය? ඒ ගැන හිතන්නවත් බැහැ!
අපි වැඩිහරියක් ඇවිද්දේ සපත්තු සෙරෙප්පු දාන්නේ නැතුවයි; මට දිග කොණ්ඩයකුත්, මූණ පුරාම වැවුණ රැවුලකුත් තිබුණා. පලතුරු හා එළවළු වැවීම කෙරෙහි මගේ සිත ඇදී ගියා. ගිම්හානයේදී අහස නිල්පාටට තිබුණු අතර රැහැයියන් සින්දු කිව්වා. කැළෑ මල්වල සුවඳ දසත විහිදුණා; අපි වැව්ව මධ්‍යධරණී පලතුරු වන මිදි හා අත්තික්කාවල රස වෑහුණා! පෙනෙන්න තිබුණේ හරියට අපට පාරාදීසයට නියම තැනක් ලැබිලා වගෙයි.
දෙවි කෙරෙහි ඇදහිල්ලක් හටගනියි
විශ්වවිද්‍යාලයේදී මම සෛල විද්‍යාව, කලලවේදය හා ව්‍යූහ විද්‍යාව ඉගෙනගෙන තිබූ අතර, මේ හැම ක්රියාවලියකම සංකීර්ණත්වය හා එකඟතාවය මගේ සිතට තදින් කාවැදී තිබුණා. මට මගේම කියලා වත්තක් තිබුණ නිසා හැමදාම මැවිල්ල දිහා බලන්නත්, ඒ ගැන මෙනෙහි කරන්නත් පුළුවන් වුණා; එහි අලංකාරය හා එයින් ඉටු කළ හැකි දේවල් ගැන බලද්දී මාව පුදුමයට පත් වුණා. මැවිල්ල නමැති පොතේ පිටු දිනෙන් දින මා ඉදිරියේ දිග හැරුණා. දිනක් කඳුකරයේ ඈතට ඇවිදගෙන යද්දී, ජීවිතය පිළිබඳව ගැඹුරට මෙනෙහි කරද්දී, මැවුම්කරුවෙක් සිටිය යුතුයි යන නිගමනයට මම පැමිණුණා. දෙවි කෙරෙහි විශ්වාස කිරීමට මම මගේ හෘදයෙන් නියම කරගත්තා. කලින්, මට මගේ හෘදයේ හිස් බවක්, හිතට වද දෙන තනිකමක් දැනී තිබුණා. දෙවි කෙරෙහි විශ්වාස කරන්න මම පටන්ගත්ත දවසේ මම මටම මෙහෙම කිව්වා: ‘පස්කල්, ඔයා ආයි කවදාවත් තනි වෙන්නේ නැහැ.’ ඒක ඇත්තෙන්ම විශිෂ්ට හැඟීමක්.
ඊට ටික කලකට පස්සේ, මගේ පෙම්වතියට හා මට, චූටි දුව අමාන්ඩීන්ව ලැබුණා. ඇය මට මගේ පණ වගෙයි. මේ වෙද්දී මම දෙවි කෙරෙහි විශ්වාස කළ නිසා, මම දැනගෙන හිටිය සදාචාර නීති කීපයට ගරු කරන්න පටන්ගත්තා. සොරකම් කිරීම හා බොරු කීම නැවැත්වූ මට, මා සමඟ ගැවසුණු අය එක්ක ඇති වෙන ගැටලු ගොඩකින් වැළකෙන්න ඒක උපකාරවත් වන බව වැටහුණා. ඇත්තෙන්ම, අපට ගැටලු තිබුණු අතර, මම බලාපොරොත්තු වෙන තරමේම පාරාදීස තත්වයක් තිබුණේ නැහැ. ප්‍රාදේශීය මිදි වගා කරන්නන් කෘමිනාශක හා ශාකනාශක පාවිච්චි කළ අතර එයින් මගේ වගාවන්ට හානි සිදු වුණා. දුෂ්ටකමට හේතුව සම්බන්ධයෙන් මගේ ප්‍රශ්නයට පිළිතුරු ලැබී තිබුණේ නැහැ. ඒ විතරක් නොවෙයි, මම පවුල් ජීවිතය ගැන බොහෝ දේ කියවලා තිබුණත්, මගේ පෙම්වතිය එක්ක සැර වාද ඇතිවීම නැවතුණේ නැහැ. අපිට හිටියේ යාළුවෝ ටිකදෙනයි; ඔවුනුත් අවංක අය නෙවෙයි; ඔවුන්ගෙන් සමහරු මගේ පෙම්වතිය සමඟ සම්බන්ධයක් ඇති කරගැනීමට පවා වෑයම් කළා. මීට වඩා හොඳ පාරාදීසයක් තිබිය යුතුයි.
මගේ යාච්ඤාවලට පිළිතුරු
මගේ ජීවිතය ගෙනියන්න මට මඟ පෙන්වන්න කියලා, මම දන්න විදිහට නිතරම දෙවිට යාච්ඤා කළා. දවසක් ඉරිදා උදේ වරුවක මිත්‍රශීලී ස්ත්‍රියක් වූ අයිරින් ලෝපේස් හා ඇගේ පුංචි පුතා අපේ නිවසට ආවා. ඈ යෙහෝවාගේ සාක්ෂිකාරියක්. ඇය පැවසූ දේට මම සවන් දීගෙන සිටිය අතර, නැවත එන්නදැයි ඇසූ විට මම හා කිව්වා. මාව බලන්න පිරිමි දෙන්නෙක් ආවා. අපේ සංවාදයෙන් පස්සේ මට පාරාදීසය හා දේවරාජ්‍යය යන දේවල් දෙක මතක තිබුණා. එම අදහස් මගේ හෘදයේ තැන්පත් කරගත් අතර, මට පිරිසිදු හෘදය සාක්ෂියක් හා සැබෑ සන්තෝෂය ලබාගන්න ඕනෙ නම් දෙවිගේ ප්‍රමිති අනුව මගේ ජීවිතය හැඩගස්වාගන්න ඕනෙ කියන එක ඊට පසු මාස කීපයේදී මට වැටහුණා.
අපේ ජීවිත දෙවිගේ වචනයට එකඟ කරගැනීමට, මගේ පෙම්වතිය මුලින් මාව විවාහ කරගැනීමට කැමති වුණා. පස්සේ ඇය දෙවිට හා ඔහුගේ නීතිවලට සරදම් කළ අය එක්ක ආශ්‍රයට වැටුණා. දිනක්, වසන්තයේ එක හවසක ගෙදර ආවහම මාව සෑහෙන කම්පනයකට පත් වුණා. අපේ නිවස හිස්ව තිබුණා. මගේ පෙම්වතිය අපේ තුන්-හැවිරිදි දැරිවියත් අරගෙන ගිහින් තිබුණා. ඔවුන් නැවත එයි කියා දවස් ගානක් මම මඟ බලාගෙන හිටියත් කිසි ඵලක් වුණේ නැහැ. දෙවිට දොස් පවරනවා වෙනුවට උපකාරය පතා මම දෙවිට යාච්ඤා කළා.
ඊට ටික දවසකට පස්සේ, මම බයිබලය අරගෙන, මගේ අත්තික්කා ගහ යට ඉඳගෙන කියවන්න පටන්ගත්තා. ඇත්තටම මට ඒක බිම තියන්න හිතුණේ නැහැ. මනෝවිග්රහයේ යෙදෙන්නන් හා මනෝවිද්‍යාඥයන් ලියුව හැම විදිහකම පොත් කියවලා තිබුණත්, ඒ විදිහේ ප්‍රඥාවක් මට වෙන කොතැනකවත් සම්බ වෙලා නැහැ. මේ පොත දේවානුභාවයෙන් ලියවුණු එකක් විය යුතුයි. යේසුගේ ඉගැන්වීම් හා මිනිස් ස්වභාවය සම්බන්ධයෙන් ඔහුගේ අවබෝධය මාව මවිතයට පත් කළා. ගීතාවලියෙන් මම සැනසීමක් ලැබුව අතර හිතෝපදේශයෙහි ප්‍රායෝගික ප්‍රඥාවෙන් පුදුමයට පත් වුණා. යමෙකුව දෙවි වෙත ඇදගැනීමට මැවිල්ල ගැන අධ්‍යයනය හුඟක් හොඳ දෙයක් වුණත්, එයට “[ඔහුගේ] මාර්ගවල අල්පමාත්රයක්” පමණයි හෙළි කිරීමට හැකි වන්නේ කියන එක මම ඉක්මනින්ම වටහාගත්තා.—යෝබ් 26:14.
සාක්ෂිකරුවන් මට සදාකාල ජීවනයට මග පෙන්වන සත්‍යය හා ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කරගැනීම යන පොතුත් දීලා ගිහින් තිබුණා.a ඒවා කියවීමෙන් මගේ ඇස් ඇරුණා. වසංගත මෙන් පැතිර ඇති දූෂණයට, යුද්ධවලට, වැඩිවර්ධනය වන සැහැසියාවට හා න්‍යෂ්ටික සමූලඝාතනයේ තර්ජනයට මිනිස්සු මුහුණ දෙන හේතුව අවබෝධ කරගන්න සත්‍යය පොත මට උපකාර කළා. මගේ වත්තේදී මම දැක්ක රතු අහස, ඊළඟ දවසේ ඇති වෙන කදිම කාලගුණය ගැන ඉඟියක් දුන්නා වාගේම, මේ සිද්ධීන් දෙවිගේ රාජ්‍යය අත ළඟ බව ඔප්පු කළා. පවුල් ජීවිතය පොත ගැන බලද්දී, මගේ පෙම්වතියට ඒක පෙන්වලා, අපි බයිබල් උපදෙස් පිළිපදිනවා නම් අපිට සන්තෝෂයෙන් සිටින්න පුළුවන් කියලා ඇයට කියන්න හැකි නම් කියා මම හිතුවා. නමුත් ඒ වගේ දෙයක් කරන්න හැකියාවක් තිබුණේ නැහැ.
ආත්මික ප්‍රගතිය ලැබීම
මට තවත් වැඩියෙන් දැනගන්න ඕන වුණ නිසා මාව බලන්න එන්න කියලා සාක්ෂිකරුවෙක් වූ රොබට්ගෙන් මම ඉල්ලා සිටියා. ඔහුව පුදුමයට පත් කරමින්, මට බව්තීස්ම වෙන්න ඕනෙ කියලා මම ඔහුට කිව්වා; එවිට බයිබල් පාඩමක් පටන්ගත්තා. ඉගෙනගනිමින් සිටි දේවල් අනිත් අයට කියන්න මම ප්‍රමාදයකින් තොරව පටන්ගත් අතර, රාජ්‍ය ශාලාවේදී ලබාගත් ප්‍රකාශන බෙදාහරින්නත් මම පටන්ගත්තා.
ජීවත් වෙන්න මාර්ගයක් ඕන නිසා, මම පෙදරේරු වැඩ පාඨමාලාවක් හදාරන්න පටන්ගත්තා. දෙවිගේ වචනයෙන් පුද්ගලයෙකු මත ඇති කළ හැකි යහපත් බලපෑම සම්බන්ධයෙන් දැන සිටි මම, සෙසු ශිෂ්‍යයන්ට හා ගුරුවරුන්ට අවිධිමත්ව දේශනා කිරීමට සෑම ප්‍රස්තාවක්ම අල්ලගත්තා. එක හැන්දෑවක, මට කොරිඩෝරයකදී සර්ජ්ව මුණගැහුණා. ඔහුගේ අතේ සඟරා කීපයක් තිබුණා. “ඔයා කියවන්න ආසයි වගේ” කියා මම ඔහුට පැවසුවා. “ඔව්, ඒ වුණාට මේක කියවලා මට ඇති වෙලා තියෙන්නෙ.” “එහෙමනම් කියවන්න හොඳ දෙයක් දෙන්නද?” කියා මම ඔහුගෙන් ඇසුවා. දේවරාජ්‍යය ගැන අපි හොඳ සංවාදයක යෙදුණට පස්සේ, ඔහු බයිබල් පොත් පත් කීපයක් ලබාගත්තා. ඊළඟ සතියේදී, ඔහු මාත් එක්ක රාජ්‍ය ශාලාවට ආවා; බයිබල් පාඩමක් පටන්ගත්තා.
මට ගෙයින් ගෙට දේශනා සේවයේ යන්න පුළුවන්ද කියලා දවසක් මම රොබට්ගෙන් ඇහැව්වා. ඔහු ඔහුගේ ඇඳුම් අල්මාරිය ළඟට ගිහින් මට ඇඳුම් කට්ටලයක් අරන් දුන්නා. ඊළඟ ඉරිදා, මම ඔහු එක්ක දේවසේවයේ යමින් මගේ මුල් පියවර තිබ්බා. අන්තිමේදී, 1981 මාර්තු 7වෙනිදා බව්තීස්ම වෙමින් මම පෞද්ගලිකවම යෙහෝවා දෙවිට මගේ කැපවීම සංකේතවත් කළා.
විපත්තියේදී උපකාරය
මේ අතරතුරේදී, අමාන්ඩීන් සහ ඇගේ මව පිටරටක ජීවත් වන බව මට සොයාගන්න පුළුවන් වුණා. මාව දුකට පත් කරමින්, ඇගේ මව ඒ රටේ නීතියට අනුව සියල්ල සකස් කරගෙන, මගේ දුවව බැලීම මට තහනම් කළා. මට කර කියාගන්න දෙයක් නැතුව ගියා. අමාන්ඩීන්ගේ මව විවාහ වෙලා සිටි අතර මගේ බලාපොරොත්තු අන්තයටම සුන් කරමින්, මගෙන් කිසිම දෙයක් විමසන්නේ නැතුව, ඇගේ ස්වාමිපුරුෂයා මගේ දුවව හදාගන්න ගත් බවට නිල දැනුම් දීමක් කරලා තිබුණා. මගේ දරුවා වෙනුවෙන් මට ඉන් ඉදිරියට කිසි අයිතිවාසිකමක් තිබුණේ නැහැ. නීතිමය පියවර ගත්තත්, ඇයව බැලීමට අයිතිය ලබාගන්න මට බැරි වුණා. මට මොනතරම් වේදනාවක් දැනුණද කියනවා නම් මගේ දුක වාවගන්න බැරි වුණා.
නමුත් ක්‍රම කීපයකින් යෙහෝවාගේ වචනය මාව උසුලාගත්තා. දිනක් සෑහෙන දුකකින් ඉන්න කොට, මම හිතෝපදේශ 24:10හි වූ මේ වචන නැවත නැවතත් කියෙව්වා: “නුඹ විපත්ති දවසේදී කලකිරෙන්නෙහි නම් නුඹේ ශක්තිය අල්පය.” මානසිකව බිඳවැටෙන්නේ නැතුව ඉන්න මේ වාක්‍යය මට උපකාර කළා. තවත් අවස්ථාවකදී, මගේ දුවව දකින්න දැරූ වෑයම නිෂ්ඵල වුණහම, මම දේශනා සේවයේ ගිය අතර, මම හැකි තරම් තදින් මගේ පොත් බෑග් එකේ මිට අල්ලගත්තා. ඒ වගේ අමාරු අවස්ථා මැද, මට ගීතාවලිය 126:6 පවසන දෙයෙහි සත්‍යතාව අද්දකින්න හැකි වුණා. එහි මෙසේ පවසනවා: “ඔහු බීජ මල්ල රැගෙන හඬමින් පිටත්ව යන්නේ නුමුත්, තමාගේ ගොයම් මිටි රැගෙන ප්‍රීතියෙන් එන්නේය.” කෙනෙකුට දරුණු පරීක්ෂාවලට මුහුණ දෙන්න සිදු වන විට, ඒවා විසඳන්න තමන්ට පුළුවන් හැම දෙයක්ම කළාට පස්සේ, ඔහුට ඒවා පැත්තකට දමා, යෙහෝවාගේ සේවයෙහි අධිෂ්ඨානයෙන් යුතුව ඉදිරියට ගමන් කරන්න සිදු වෙනවා යන වැදගත් පාඩම මම ඉගෙනගත්තා. තමාගේ ප්‍රීතිය දිගටම තබාගන්න එකම මාර්ගය මේකයි.
වඩා හොඳ දෙයක් වෙත එළඹෙමින්
මම කරලා තියෙන වෙනස්කම් දැකලා මගේ ආදරණීය දෙමාපියන් මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය දිගටම කරගෙන යන්න උදව් කරන්න හැදුවා. මම ඔවුන්ට ස්තුතිවන්ත වුණා; නමුත් මට ඒ වෙන කොට තිබුණේ වෙන ඉලක්කයක්. සත්‍යය මාව දර්ශනවාදය, ගූඪවාදය හා ජ්‍යොතිඃ ශාස්ත්‍රය යනාදියෙන් නිදහස් කර තිබෙනවා. යුද්ධයෙන් එකිනෙකාව කවදාවත් නොමරන සැබෑ මිත්රයනුත් මට ඒ වෙද්දී සිටියා. ඒ වගේම පොළොවේ මේ තරම් දුක් වේදනා තිබෙන්නේ ඇයි කියන මගේ ප්‍රශ්නවලට මට අන්තිමේදී උත්තර ලැබුණා. කෘතඥ වීමක් වශයෙන් මගේ මුළු ශක්තියෙන් දෙවිට සේවය කරන්න මට වුවමනා වුණා. යේසු දේවසේවය සඳහා තමාගේ මුළු ජීවිතයම කැප කර තිබුණා; ඒ ආදර්ශයම අනුගමනය කරන්න මටත් ඕනෙ වුණා.
වර්ෂ 1983දී පූර්ණ-කාලීන දේවසේවකයෙක් බවට පත්වීමට, මම මගේ පෙදරේරු වැඩය නවත්වලා දැම්මා. මගේ යාච්ඤාවලට පිළිතුරු වශයෙන්, ජීවිකාව ගෙන යෑමට උපකාරයක් හැටියට, උයනක අර්ධ-කාලීන රැකියාවක් සොයාගන්න මට පුළුවන් වුණා. පෙදරේරු පාසැලේදී මම සාක්ෂිදැරුව තරුණයා වූ සර්ජ් සමඟ පුරෝගාමී පාසැලට සහභාගි වෙන්න ලැබීම මොනතරම් ප්‍රීතියක්ද! ස්ථාවර පුරෝගාමියෙක් හැටියට අවුරුදු තුනක් ගත කළාට පස්සේ, ඊටත් වඩා යෙහෝවාට සේවය කරන්න මට ආශාවක් ඇති වුණා. මේ නිසා 1986දී, පැරිස්වලින් වැඩි ඈතක නොවූ ප්රොවැං නම් දර්ශනීය නගරයෙහි විශේෂ පුරෝගාමියෙක් හැටියට මාව පත් කළා. බොහෝවිට, හවස් වරුවේ ගෙදර ආවහම, යෙහෝවා ගැන අන්‍යයන්ට කතා කරමින් ගත කළ ලස්සන දවස සඳහා මම දණින් වැටී යෙහෝවාට ස්තුති කළා. ඇත්තවශයෙන්ම, මගේ ජීවිතයේ වැඩිම සතුටක් ලැබෙන්නේ දෙවි සමඟ කතා කිරීමෙන් හා දෙවි ගැන කතා කිරීමෙනුයි.
මට ලැබුණ තවත් විශාල ප්‍රීතියක් තමයි, දකුණු ප්‍රංශයේ කුඩා ගමක් වන සේබසාන්හි ජීවත් වුණු වයස 68ක් වූ මගේ අම්මාගේ බව්තීස්මය. මගේ අම්මා බයිබලය කියවන්න පටන්ගත්තහම මම ඇයට මුරටැඹ හා පිබිදෙව්! දායක යැව්වා. ඇය තර්කානුකූලව සිතන තැනැත්තියක් නිසා වැඩි කලක් යන්න කලින් තමා කියවමින් සිටි දෙයෙහි සත්‍යතාව ඇය වටහාගත්තා.
බෙතෙල්—කැපීපෙනෙන ආත්මික පාරාදීසයක්
විශේෂ පුරෝගාමීන්ගේ සංඛ්‍යාව අඩු කිරීමට වොච් ටවර් සමිතිය තීරණය කළ විට, මම උපස්ථායක පුහුණු පාසැලට හා ප්‍රංශයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය වන බෙතෙල් සඳහා අයැදුම්පත් යැව්වා. මට කොයිතරම් උපරිම සේවයක් කළ හැකිදැයි තීරණය කිරීම සඳහා යෙහෝවාට ඉඩහැරීමට මට ඕනෙ වුණා. මාස කීපයකට පස්සේ, 1989 දෙසැම්බර්වලදී, වයඹදිග ප්‍රංශයේ ලූවෙයාහි බෙතෙල් එකට ආරාධනයක් ලැබුණා. මගේ දෙමාපියන් හොඳටම අසනීප වුණ වෙලාවේ ඔවුන්ව බලාගැනීමට මගේ සහෝදරයාට හා නෑනාට උපකාර කරන්න පුළුවන් තැනක එය පිහිටා තිබුණ නිසා එය හොඳ අතට සිද්ධ වුණ දෙයක් වුණා. මම කිලෝමීටර් දහස්ගණනක් එපිට මිෂනාරි සේවයෙහි යෙදී සිටියා නම් මට මේක කරන්න ලැබෙන්නේ නැහැ.
මගේ අම්මා මාව බලන්න බෙතෙල් එකට කීප වතාවක් ආවා. මගෙන් ඈත්ව ජීවත් වීම ඇයට කරන්න සිදු වුණ පරිත්‍යාගයක් වුණත්, ඇය නිතරම මට මෙහෙම කිව්වා: “පුතා, බෙතෙල් එකේම ඉන්න. ඔයා මේ විදිහට යෙහෝවාට සේවය කරන එක මට සතුටක්.” මගේ මවයි පියයි දෙන්නම දැන් මියගොස් තිබීම කනගාටුවට කරුණක්. සැබෑ පාරාදීසයක් බවට පොළොව පත් වුණහම ඔවුන්ව දකින්න මම මොනතරම් ආශාවකින්ද බලාගෙන ඉන්නේ!
“පාරාදීසය දැන්” යන නම ලබන්න යම් නිවසක් සුදුසුව තිබේද එය බෙතෙල් නිවසයි, එනම් “දෙවිගේ ගෘහයයි” කියා මම ඇත්තෙන්ම විශ්වාස කරනවා. හේතුව නම්, සැබෑ පාරාදීසය මූලිකව ආත්මික එකක් වන අතර, බෙතෙල්හි එම ආත්මිකත්වය රජයමින් තිබෙනවා. ආත්මයේ ඵල වගා කිරීමේ ප්‍රස්තාව අපට තිබෙනවා. (ගලාති 5:22, 23) බයිබලයෙන් දිනපදය සාකච්ඡා කරන විට හා මුරටැඹ සඟරාවෙන් පවුල් පාඩම කරන විට අප ලබන මහඟු ආත්මික ආහාර, බෙතෙල් සේවයේ යෙදීමට ශක්තිමත් වීම සඳහා උපකාරයක් වෙනවා. තවදුරටත්, දශක ගණනක් විශ්වාසවන්තව යෙහෝවාට සේවය කර ඇති ආත්මික මනසක් ඇති සහෝදර සහෝදරියන් සමඟ ඇසුරු කිරීමට හැකිවීම, බෙතෙල් ගෘහය, ආත්මිකව වැඩිවර්ධනය වීමට ඇති අද්විතීය ස්ථානයක් බවට බෙතෙල් පත් කරවනවා. දැන් මගේ දුවගෙන් ඈත් වෙලා අවුරුදු 17ක් ගෙවී ගිහින් තිබුණත්, මට බෙතෙල්හි ජ්වලිත යෞවනයන් ගණනාවක්ම හම්බ වෙලා තියෙනවා; මං ඔවුන්ව සලකන්නේ මගේම දරුවන් හැටියටයි; ඔවුන්ගේ ආත්මික ප්‍රගතිය දැකීම මට ලොකු සතුටක්. පසුගිය වසර අට පුරා, මට විවිධ පැවරුම් හතක් ලැබුණා. මේ වෙනස් කිරීම් සැමවිටම පහසු නැතත්, දිගු කාලීනව බලද්දී එම පුහුණුව ප්‍රයෝජනවත් එකක්.
සිය ගුණයක් ඵල දරන බෝංචි වර්ගයක් මම කලින් වගා කරමින් සිටියා. ඒ වගේම, කෙනෙක් නරක දේ වැපුරුවොත්, නරක දේවල් සිය ගුණයක් කපාගන්න බවත්, එයත් එක අස්වැන්නකින් පමණක් නොවන බවත් මම අද්දැක තිබෙනවා. අද්දැකීම් කියන්නේ පාසැලක්; එහිදී පාඩම් ඉගෙනගන්න වෙන්නේ ලොකු පාඩුවක් සිදු කරගෙනයි. ඒ පාසැලට කවදා හෝ ඇතුල් වෙනවාට වඩා මුල ඉඳන්ම යෙහෝවාගේ මාර්ගවල ඇති දැඩි වුණා නම් කොයිතරම් හොඳද! ක්‍රිස්තියානි දෙමාපියන් යටතේ ඇති දැඩි වුණු යෞවනයන්ට ඒක මොනතරම් කදිම වරප්‍රසාදයක්ද! යෙහෝවාගේ සේවය තුළ හොඳ වපුරා, සිය ගුණයක් සාමය හා සෑහීම නෙළාගැනීම වඩාත් සුදුසු දෙය බවට සැකයක් නැහැ.—ගලාති 6:7, 8.
මම පුරෝගාමියෙකුව සිටි කාලයේදී, විප්ලවවාදී උද්යෝගපාඨ බිත්තියේ ලියූ ආගමික පොත් සාප්පුව පසු කරගෙන සමහර අවස්ථාවලදී ගියා. ඒ විතරක් නෙවෙයි මම ඒකෙ ඇතුලටත් ගිහින්, ජීවමාන දෙවි හා ඔහුගේ අරමුණ ගැන අයිතිකාරයා එක්ක කතා කරලත් තියෙනවා. ඔව්, දෙවි ජීවමානයි! ඒ විතරක් නෙවෙයි, එකම සැබෑ දෙවි තම දරුවන්ව අත් නොහරින විශ්වාසවන්ත පියෙක්. (එළිදරව් 15:4) සියලු ජාතීන්ගෙන් තවත් දහස් සංඛ්‍යාතයක් ජීවමාන දෙවි වූ යෙහෝවාට සේවය කිරීමෙන් හා ප්‍රශංසා කිරීමෙන් ආත්මික පාරාදීසය මෙන්ම, එන්න තිබෙන යළි පිහිටුවන පාරාදීසය දැන් සොයාගනීවා!
[පාදසටහන]
a Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිතයි.
[26වන පිටුවේ පින්තූර]
මැවිල්ලේ පුදුමයන්ගෙන් පෙලඹුණු මම දෙවිව විශ්වාස කිරීමට හෘදයෙන් නියම කරගත්තා. (දකුණ) අදදින බෙතෙල් සේවයෙහි