සදාකාල ජීවනයට එකම මඟ
“මාර්ගයද සැබෑවද ජීවනයද මමය.”—යොහන් 14:6.
1, 2. යේසු සදාකාල ජීවනයට යන මඟ සමාන කළේ කුමකටද? එමෙන්ම ඔහුගේ නිදර්ශනයේ ඇති වැදගත්කම කුමක්ද?
තම ප්‍රසිද්ධ කන්ද උඩ දේශනාවේදී යේසු සදාකාල ජීවනයට යන මඟ, පුද්ගලයෙක් දොරටුවකින් ඇතුල් වන මාර්ගයකට සමාන කරනවා. ජීවනයට යන මෙම මඟ, ලෙහෙසි පහසු එකක් නොවන බව යේසුස් අවධාරණය කරන බව සලකන්න. ඔහු මෙහෙම පවසනවා: “පටු දොරටුවෙන් ඇතුල්වෙන්න. මක්නිසාද විනාශයට යන දොරටුව විශාලය, පාරත් පළලය, එයින් ඇතුල්වන්නෝද බොහෝය. මක්නිසාද [සදාකාල] ජීවනයට යන දොරටුව පටුය, පාර අවහිරය, ඒක සම්බවන්නේ ස්වල්ප දෙනෙකුටය.”—මතෙව් 7:13, 14.
2 මේ නිදර්ශනයේ වැදගත්කම ඔබට පැහැදිලිද? ජීවනය සඳහා ඇත්තේ එක පාරක් හෝ එක මඟක් පමණයි කියා එය එළිදරව් කරන්නේ නැද්ද? එමෙන්ම ජීවනයට යන මඟෙහි මංමුළා වීමෙන් වැළකීම සඳහා අපේ පැත්තෙන් හොඳ අවධානයක් අවශ්‍ය බව හෙළි වෙන්නේ නැද්ද? එසේනම්, සදාකාල ජීවනයට යන මේ එකම මඟ කුමක්ද?
යේසුස් ක්‍රිස්තුස්ගේ කාර්යභාරය
3, 4. (අ) අපගේ ගැළවීම සම්බන්ධයෙන් යේසුගේ අතිවැදගත් කාර්යභාරය බයිබලයේ පෙන්වන්නේ කෙසේද? (ආ) මනුෂ්‍යවර්ගයාට සදාකාල ජීවනය ලබාගත හැකි බව දෙවි පළමුවරට අනාවරණය කළේ කවදාද?
3 ප්‍රේරිත පේතෘස් ප්‍රකාශ කළ විදිහට, පැහැදිලිවම, ඒ මාර්ගය සම්බන්ධයෙන් යේසුස්ට වැදගත් කාර්යභාරයක් තියෙනවා. ඔහු මෙසේ පැවසුවා: “වෙන කිසිවෙකු තුළ ගැළවීම නැත්තේය. මක්නිසාද අපේ ගැළවීමට අවශ්‍යවූ, මනුෂ්‍යයන් අතරේ දෙනලද වෙන කිසි නාමයක් [යේසුස්ගේ නාමය ඇරෙන්න] ස්වර්ගයෙන් යට නැත්තේය.” (ක්‍රියා 4:12) ඒ හා සමානව ප්‍රේරිත පාවුල් මෙලෙස ප්‍රකාශ කළා: “[දෙවිගේ] දීමනාව නම්, අපගේ ස්වාමිවූ යේසුස් [ක්‍රිස්තුස්] තුළ සදාකාල ජීවනයය.” (රෝම 6:23) සදාකාල ජීවනයට එකම මඟ තමා තුළින් වන බව යේසුම හෙළි කළා. එනිසා ඔහු මෙසේ ප්‍රකාශ කළා: “මාර්ගයද සැබෑවද ජීවනයද මමය.”—යොහන් 14:6.
4 එමනිසා සදාකාල ජීවනය ලබාගැනීමේදී අප යේසුස්ගේ කාර්යභාරය පිළිගැනීම ඉතාමත් වැදගත් දෙයක්. එහෙයින් ඔහුගේ කාර්යභාරය අපි වඩාත් ගැඹුරට පරීක්ෂා කර බලමු. ආදම් පව් කිරීමෙන් පසු, මනුෂ්‍යවර්ගයාට සදාකාල ජීවිතය භුක්ති විඳිය හැකි බව යෙහෝවා දෙවි දැන්වූයේ කවදාද කියා ඔබ දන්නවාද? ඒ ආදම් පව් කළ වහාමයි. යේසුස් ක්‍රිස්තුස්ව මනුෂ්‍යවර්ගයාගේ ගැළවුම්කරු ලෙස දීම සඳහා ඇති කළ සැපයුම පළමුවරට පුරෝකථනය කළේ කෙසේද කියා දැන් අපි පරීක්ෂා කර බලමු.
පොරොන්දු වූ වංශය
5. ඒවව රැවටූ සර්පයාව අපට හඳුනාගත හැක්කේ කෙසේද?
5 යෙහෝවා දෙවි සංකේතාත්මක භාෂාවකින් පොරොන්දු වූ ගැළවුම්කරුව හඳුන්වා දුන්නා. ඔහු මෙය කළේ, ඒව සමඟ කතා කළ, එමෙන්ම තහනම් ගෙඩිය කෑම තුළින් දෙවිට අකීකරු වීමට පෙලඹවූ ‘සර්පයාට’ දඬුවම ප්‍රකාශ කළ විටයි. (උත්පත්ති 3:1-5) ඇත්තෙන්ම එම සර්පයා වචනානුසාරයෙන්ම සර්පයෙක් වූයේ නැහැ. ඔහු බලවත් අදෘශ්‍යමාන මැවිල්ලක් වූ අතර, “යක්ෂයා හෙවත් සාතන් යයි නම් ලත්, ආදි සර්පයා” ලෙස ඔහුව බයිබලයේ හඳුන්වනවා. (එළිදරව් 12:9, නව අනුවාදය) සාතන් ඒවව රවට්ටන්න මේ පහත් සතාව තමා වෙනුවෙන් කතා කිරීමට පාවිච්චි කළා. එමනිසා සාතන්ට දඬුවම් පනවමින් දෙවි ඔහුට මෙසේ පැවසුවා: “මම තා සහ ස්ත්‍රිය අතරෙහිද තාගේ වංශය සහ ඇගේ වංශය අතරෙහිද සතුරුකම තබන්නෙමි; ඒ වංශය [ස්ත්‍රියගේ වංශය] තාගේ හිස පොඩිකරන්නේය, තෝ ඔහුගේ විලුඹ පොඩිකරන්නෙහිය.”—උත්පත්ති 3:15.
6, 7. (අ) “වංශය” බිහි කරන ස්ත්‍රිය කවුද? (ආ) පොරොන්දු වූ වංශය කවුද? එමෙන්ම ඔහු ඉටු කරන්නේ කුමක්ද?
6 සාතන් සතුරුකම් කරන හෝ වෛර කරන මේ “ස්ත්‍රිය” කව්ද? එළිදරව් 12වන පරිච්ඡේදයේ ‘ආදි සර්පයාව’ හඳුන්වා දෙනවා වගේම, සාතන් වෛර කරන මේ ස්ත්‍රියවත් හඳුන්වා දෙනවා. පළවන පදයේ ඇය, “සූර්යයා පැළඳගෙන, පාදයට චන්ද්‍රයාද හිස පිට තාරකා දොළොසකින් යුක්ත ඔටුන්නක්ද” ඇති කෙනෙක් ලෙස සඳහන් වෙනවා. මෙම ස්ත්‍රිය විශ්වාසවන්ත දේවදූතයන්ගෙන් යුත් දෙවිගේ ස්වර්ගීය සංවිධානය නියෝජනය කරන අතර, ඇය බිහි කරන ‘පිරිමි දරුවා’ නියෝජනය කරන්නේ යේසුස් ක්‍රිස්තුස් රජකම් කරන දෙවිගේ රාජ්‍යයයි.—එළිදරව් 12:1-5.
7 එහෙමනම්, උත්පත්ති 3:15හි යොමු දක්වා ඇති සාතන්ගේ “හිස” පොඩි කර, ඔහුට මරණීය පහරක් එල්ල කරන ස්ත්‍රියගේ “වංශය” නැත්නම් පැවතෙන්නා කව්ද? ඒ තමයි දෙවි විසින් ස්වර්ගයේ සිට එවූ, කන්‍යාවක් තුළින් ආශ්චර්යවත් ආකාරයකින් ඉපදුණු මිනිසා වන යේසුස්. (මතෙව් 1:18-23; යොහන් 6:38) යේසුස් ක්‍රිස්තුස්, නැත්නම් මේ වංශය නැවත නැඟිටුණු ස්වර්ගීය පාලකයෙක් හැටියට, සාතන්ව පරාජය කිරීමේ මූලිකත්වය ගෙන එළිදරව් 12:10 පවසන ආකාරයට ‘දෙවිගේ . . . රාජ්‍යයද තමන් ක්‍රිස්තුස්ගේ ආණ්ඩු බලයද’ පිහිටුවන්න යන බව එළිදරව් 12වන පරිච්ඡේදය හෙළි කරනවා.
8. (අ) දෙවි සැපයුවේ තම මුල් අරමුණට සම්බන්ධ කිනම් අලුත් දෙයක්ද? (ආ) දෙවිගේ නව ආණ්ඩුව සකස් වන්නේ කාගෙන්ද?
8 යේසුස් ක්‍රිස්තුස්ගේ හස්තය යටතේ තිබෙන මේ රාජ්‍යය, මිනිසාට පොළොව මත සදාකාල ජීවනය භුක්ති විඳීම සඳහා වූ දෙවිගේ මුල් අරමුණ සම්බන්ධ ඔහුගේ සැපයුමේ අලුත් දෙයක් වෙනවා. සාතන්ගේ කැරලිගැසීමෙන් පසුව, මේ අලුත් රාජ්‍ය ආණ්ඩුව මාර්ගයෙන් දුෂ්ටකමේ නපුරු ඵලවිපාක මකා දැමීම සඳහා යෙහෝවා වහාම ක්‍රියා කළා. මෙම ආණ්ඩුවට අයත් වන්නේ තමන් පමණක් නොවන බව මේ පොළොව මත සිටිද්දී යේසුස් එළිදරව් කළා. (ලූක් 22:28-30) අනිත් අයව මනුෂ්‍යවර්ගයා අතරින් තෝරාගැනීමට නියමිතව තිබූ අතර, මේ අය ස්ත්‍රියගේ වංශයේ සහයක කොටසක් ස්ථාපිත කරවමින් පාලනය කිරීමේ හවුල් වීම සඳහා ස්වර්ගයේදී ඔහු සමඟ සම්බන්ධ වෙන්න යනවා. (ගලාති 3:16, 29) යේසුස් සමඟ හවුල් පාලකයන් වීමට යන මේ අයගේ සංඛ්‍යාව බයිබලයේ 1,44,000ක් ලෙස දක්වා තිබෙනවා. මේ සියලුදෙනාවම රැගෙන තිබෙන්නේ පොළොවේ සිටින පව්කාර මනුෂ්‍යවර්ගයා අතරිනුයි.—එළිදරව් 14:1-3.
9. (අ) මනුෂ්‍යයෙක් හැටියට යේසු පොළොවට පැමිණීම අවශ්‍ය වූයේ ඇයි? (ආ) යේසු යක්ෂයාගේ ක්‍රියා මකා දැම්මේ කෙසේද?
9 කෙසේවෙතත්, එම රාජ්‍යය එහි පාලනය ආරම්භ කිරීමට ප්‍රථමයෙන්, වංශයේ ප්‍රාථමික කොටස වන යේසුස් ක්‍රිස්තුස් පොළොව මත පෙනී සිටීම අත්‍යවශ්‍ය වුණා. ඒ ඇයි? මන්දයත් යෙහෝවා දෙවි විසින් ඔහුව පත් කර තිබුණේ “යක්ෂයාගේ ක්‍රියා විනාශකරන [හෝ මකා දමන] පිණිසය.” (1 යොහන් 3:8) ආදම්ගෙන් පැවතෙන සියල්ලන් මත පාපයේ සහ මරණයේ දෝෂය ගෙන ඒමට හේතු වූ ආදම්ව පාපයට පෙලඹවීමත් සාතන්ගේ ක්‍රියාවලට අයත් වුණා. (රෝම 5:12) යේසුස් තම ජීවිතය මිදීමේ මිලයක් කොට දීමෙන් යක්ෂයාගේ මේ ක්‍රියාව මකා දැමුවා. මෙසේ ඔහු පාපයේ සහ මරණයේ දෝෂයෙන් මනුෂ්‍යවර්ගයාව මිදීම සඳහා පදනම සැපයූ අතර, සදාකාල ජීවනය සඳහා මාර්ගය විවෘත කළා.—මතෙව් 20:28; රෝම 3:24; එපීස 1:7.
මිදීමේ මිලයෙන් ඉටු වන්නේ කුමක්ද?
10. යේසු සහ ආදම් සමාන වූයේ කෙසේද?
10 යේසුස්ගේ ජීවිතය ස්වර්ගයේ සිට ස්ත්‍රියකගේ ගර්භාශයකට මාරු කළ නිසා, ඔහු ආදම්ගේ පාපයෙන් කැළැල් නොවූ පරිපූර්ණ මනුෂ්‍යයෙක් හැටියට ඉපදුණා. ඔහුට පොළොව මත සදාකාලයටම ජීවත් වීමේ හැකියාව තිබුණා. ඒ හා සමානව, ආදම්වත් මැව්වේ පරිපූර්ණ මනුෂ්‍යයෙක් හැටියට පොළොව මත සදාකාල ජීවිතය භුක්ති විඳීමේ අපේක්ෂාව ඇතුවයි. මෙම මනුෂ්‍යයන් දෙදෙනා අතරේ ඇති සමානකම, මෙසේ පවසන විට ප්‍රේරිත පාවුල්ගේ මනසේ තිබුණා: “පළමුවෙනි මනුෂ්‍යයාවූ ආදම් ජීවමාන ප්‍රාණයක් වුණේය. . . . අන්තිම ආදම් [යේසුස් ක්‍රිස්තුස්] ජීවනදායක ආත්මයක් විය. පළමුවෙනි මනුෂ්‍යයා භූමියෙන්ය, භූමිකය. දෙවෙනි මනුෂ්‍යයා ස්වර්ගයෙන්ය.”—1 කොරින්ති 15:45, 47.
11. (අ) ආදම් සහ යේසු මනුෂ්‍යවර්ගයා මත ඇති කළේ කිනම් බලපෑමද? (ආ) යේසුගේ පූජාව අප සැලකිය යුත්තේ කෙසේද?
11 මේ දෙදෙනාගේ, ඒ කියන්නේ මෙතෙක් පොළොව මත පය ගසා ඇති මේ පරිපූර්ණ මිනිසුන් දෙදෙනා අතරේ තිබෙන සමානත්වය යේසු “සියල්ලන් උදෙසා [අනුරූප, NW] මිදීමේ මිලයක් කොට තමන්ම දුන්නා” කියන බයිබල් ප්‍රකාශයෙන් අවධාරණය කරනවා. (1 තිමෝති 2:6) යේසුස් අනුරූප වුණේ කාටද? ඇයි, පරිපූර්ණ මනුෂ්‍යයෙක්ව සිටියදී ආදම්ට! මුල් ආදම්ගේ පාපය මුළු මිනිස් පවුලම මරණයේ දෝෂය යටතට ගෙනාවා. ‘අන්තිම ආදම්ගේ’ පූජාව, අපිට සදාකාල ජීවනය ලබන්න හැකි වන ලෙස පාපයෙන් සහ මරණයෙන් මිදීමේ පදනම සැපයුවා! යේසුස්ගේ පූජාව මොනතරම් අනර්ඝද! ප්‍රේරිත පේතෘස් මෙසේ සඳහන් කරනවා: “නුඹලා මුදනු ලැබුවේ රන් රිදී වැනිවූ දිරායන දේවල් කරණකොටගෙන [නොවේ].” ඒ වෙනුවට පේතෘස් පැහැදිලි කරන්නේ, “කැලලක්වත් පලුද්දක්වත් නැති බැටළු පැටවෙකුගේ ලේ වැනිවූ [ක්‍රිස්තුස්ගේ] අනර්ඝ ලෙය කරණකොටගෙන” කියායි.—1 පේතෘස් 1:18, 19.
12. අපව මරණයට නියම වීමේ දෝෂය නැති කර දමන ආකාරය බයිබලය විස්තර කරන්නේ කෙසේද?
12 මිනිස් පවුලට ඇති වූ මරණයේ දෝෂය මකා දමන ආකාරය ගැන බයිබලය ලස්සනට පැහැදිලි කරනවා. එය මෙසේ පවසනවා: “එක වරදක් [ආදම්ගේ] කරණකොටගෙන දඬුවමට පත්කිරීම පිණිස විනිශ්චය සියලුම මනුෂ්‍යයන් කෙරෙහි පැමුණුණාක්මෙන්ම, එක ධර්මිෂ්ඨ ක්‍රියාවක් [යේසුගේ මරණයේදී උච්චම අවස්ථාවට පැමිණි ඔහුගේ සම්පූර්ණ අඛණ්ඩතාවේ මාර්ගය] කරණකොටගෙන ජීවනයේ ධර්මිෂ්ඨකිරීම පිණිස දීමනාව සියලු මනුෂ්‍යයන් කෙරෙහි වූයේය. මක්නිසාද එක මනුෂ්‍යයාගේ [ආදම්ගේ] අකීකරුකම කරණකොටගෙන බොහෝදෙනා පව්කාරයන් කරනු ලැබුවා සේම, එක්කෙනාගේ [යේසුස්ගේ] කීකරුකම කරණකොටගෙන බොහෝදෙනා ධර්මිෂ්ඨකරනු ලබන්නෝය.”—රෝම 5:18, 19.
මවිතකර බලාපොරොත්තුවක්
13. සදාකාලයටම ජීවත් වීම සම්බන්ධයෙන් බොහෝදෙනෙකුට එලෙස හැඟෙන්නේ මන්ද?
13 දෙවිගේ මේ සැපයුම අපව බොහෝ සේ ප්‍රීතිමත් කළ යුතුයි! ගැළවුම්කාරයෙකුව සැපයීම ගැන ඔබ ප්‍රීතියෙන් ඉපිල යන්නේ නැද්ද? අමෙරිකාවේ ප්‍රධාන නගරයක පුවත්පතක් මගින් වරක් මෙහෙයවූ සමීක්ෂණයකදී, “සදාකාලයටම ජීවත් වීමේ අපේක්ෂාව ඔබගේ සිත්ගන්නේ නැද්ද?” යන ප්රශ්නය ඇසූ විට, පුදුමයට කරුණක් වූයේ ප්‍රතිචාරය දැක්වූවන්ගෙන් සියයට 64.7ක් “නැහැ” කියා පිළිතුරු දීමයි. තමන්ට සදාකාලයටම ජීවත් වීමට අවශ්‍ය නැහැයි කියා ඔවුන් පවසන්නේ ඇයි? පෙනෙන විදිහට, මේ පොළොව මත ජීවිතය බොහෝ ගැටලු සමඟ පැටලී ඇති නිසායි. එක් පුද්ගලයෙක් පැවසුවේ මෙහෙමයි: “මට අවුරුදු 200ක පෙනුමක් තියෙනවා කියල හිතන්න කිසිම ආශාවක් නැහැ.”
14. සදාකාලයටම ජීවත් වීම සම්පූර්ණ සන්තෝෂයක් ගෙන දෙන දෙයක් වන්නේ මන්ද?
14 ඒත්, මිනිසුන් ලෙඩ දුක්වලින් පෙළීම, වයසට යෑම සහ වෙනත් දුක්ඛිත දේවලට මුහුණ දෙන ලෝකයක සදාකාල ජීවනය භුක්ති විඳීම ගැන බයිබලය කතා කරන්නේ නැහැ. මන්දයත් දෙවිගේ රාජ්‍යයේ පාලකයා වන යේසු සාතන් ඇති කළ එවැනි ගැටලු මකා දමන්න යනවා. බයිබලයට අනුව දෙවිගේ රාජ්‍යය මේ ලෝකයේ හිංසාකාරි ආණ්ඩු ‘පොඩි කර නැති කරන්න’ යනවා. (දානියෙල් 2:45) ඒ කාලයේදී, යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට ඉගැන්වූ යාච්ඤාවට පිළිතුරු වශයෙන්, දෙවිගේ “කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද” සිදු වෙන්න යනවා. (මතෙව් 6:9, 10) දෙවිගේ අලුත් ලෝකයේදී, සියලුම නපුරු දේවල්වලින් පොළොව පිරිසිදු කරනු ලැබුවාට පසුව, යේසුස්ගේ මිදීමේ පූජාවේ ප්‍රයෝජන සම්පූර්ණ ආකාරයෙන් අදාළ වෙන්න යනවා. ඔව්, සුදුසුකම් ලබන සියල්ලන්වම පරිපූර්ණ සෞඛ්‍යයට යළි ගෙනෙන්න යනවා!
15, 16. දෙවිගේ නව ලොවේදී කිනම් තත්වයන් පවතීවිද?
15 දෙවිගේ නව ලොවේ ජීවත් වන ජනයාට මෙම බයිබල් වගන්තියේ අදාළ වීමක් තියෙනවා; එහි මෙහෙම කියනවා: “එවිට දරුවෙකුගේ මාංසයට වඩා ඔහුගේ මාංසය අලුත්වී, ඔහු තමාගේ යෞවන දවස්වලට නැවත පැමිණෙනවා ඇත.” (යෝබ් 33:25) බයිබලයේ සඳහන්ව ඇති තවත් පොරොන්දුවක ඉටුවීමක් තියෙන්න යනවා. එහි මෙලෙස සඳහන් වෙනවා: “අන්ධයන්ගේ ඇස් පැහැදෙන්නේය, බිහිරන්ගේ කන්ද ඇරෙන්නේය. එකල කොරා මුවෙකු මෙන් පැන යන්නේය. ගොළුවාගේ දිව ගී කියන්නේය.”—යෙසායා 35:5, 6.
16 නිකම් සිතන්න; අපි කුමන වයස් මට්ටමක සිටියත්, ඒ කියන්නේ වයස අවුරුදු 80ක්, 800ක් හෝ ඊටත් වඩා වයසට ගියත්, අපේ ශරීර කදිම සෞඛ්‍ය තත්වයකින් පවතින්න යනවා! එය හරියට බයිබලයේ මෙසේ පොරොන්දු වෙනවා හා සමානයි: “තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකියන්නේය.” එම කාලයේදී මෙම පොරොන්දුවත් ඉෂ්ට වෙන්න යනවා: “[දෙවි] ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු [පිසදමන්නේය]; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය.”—යෙසායා 33:24; එළිදරව් 21:3, 4.
17. දෙවිගේ නව ලොවේ සිටින ජනයා මොන වගේ දේවල් කරයි කියා අපට අපේක්ෂා කළ හැකිද?
17 ඒ නව ලොවේදී, අසීමිත ලෙස ඉගෙනගැනීමේ හැකියාව ඇතුව නිර්මාණය කළ අපේ පුදුමාකාර මොළය අපේ මැවුම්කරු බලාපොරොත්තු වූ ආකාරයටම පාවිච්චි කරන්න අපිට පුළුවන් වෙන්න යනවා. අපි ඉටු කරන්න යන පුදුමාකාර දේවල් ගැන නිකම් හිතල බලන්න! අසම්පූර්ණ මනුෂ්‍යයන් පවා පොළොවේ මූලද්‍රව්‍ය සම්භාරයෙන් අපි අවට දකින සෑම දෙයක්ම සාදා තියෙනවා. ඒවා අතර සෙලියුලර් දූරකථන, මයික්‍රෆෝන, ඔරලෝසු, පේජර, පරිගණක, ගුවන් යානා, ඔව් ඔබ නම් කරන ඕනෑම දෙයක් තිබෙන්න යනවා. ඒ කිසිම දෙයක් ඔවුන් විශ්වයේ ඈත තැනකින් ගෙනා දේවලින් සාදා නැහැ. අප ඉදිරියේ ඇති, පැමිණෙන්නාවූ භූමික පාරාදීසය මත නිමක් නැති ජීවිතය ගැන සලකද්දී, නිර්මාණාත්මක ඉටු කරගැනීම් සඳහා ඇති හැකියාව අසීමිත වෙන්න යනවා!—යෙසායා 65:21-25.
18. දෙවිගේ නව ලොවේදී ජීවිතය කිසිවිටකත් නීරස නොවනු ඇත්තේ මන්ද?
18 ජීවිතය නීරස වන්නේ නැහැ. දස දහස් වාරයක් අනුභව කරල තිබුණත්, අප දැනුත් අපේ ඊළඟ කෑම වේල ආශාවෙන් බලා සිටිනවා. මිනිස් පරිපූර්ණත්වය තුළ, පාරාදීස පොළොවේදී වඩා ඉහළ මට්ටමකින් ප්‍රණීත ආහාරවල රසය අප භුක්ති විඳින්න යනවා. (යෙසායා 25:6) එමෙන්ම, පොළොව මත සිටින බොහෝ සතුන්ව රැකබලා ගැනීමේ සතුටද, චිත්තාකර්ෂණීය හිරු බැසයෑම්, කඳු, ගංගා සහ නිම්න දැකීමේ සදාකාලික සතුටද අපි භුක්ති විඳින්න යනවා. ඇත්තෙන්ම, දෙවිගේ අලුත් ලෝකයේදී ජීවිතය කිසිවිටකත් ඒකාකාරි වන්නේ නැහැ!—ගීතාවලිය 145:16.
දෙවිට ඕනෑ කරන දේ කිරීම
19. දෙවිගේ ජීවනයේ තෑග්ග ලබාගැනීම සඳහා කිරීමට අවශ්‍ය දේවල් තිබෙන බව විශ්වාස කිරීම සාධාරණ වන්නේ මන්ද?
19 පාරාදීසයක සදාකාලයටම ජීවත් වීමේ දෙවිගේ අනගි තෑග්ග ඔබගේ පැත්තෙන් කිසිදු උත්සාහයක් දරන්නේ නැතුව ලබාගන්න ඔබ අපේක්ෂා කරනවාද? දෙවි යමක් ඉල්ලා සිටීම සාධාරණ නැද්ද? නිසැකවම සාධාරණයි. දෙවි එම තෑග්ග අප ඉදිරියට නිකම්ම විසි කරන්නේ නැහැ. ඔහු එය අප වෙතට දිගු කරනවා; එය ලබාගන්න අප එය වෙත යා යුතුයි. ඔව්, වෑයම ඊට ඇතුළත් වෙනවා. ධනවත් තරුණ පාලකයා යේසුස්ගෙන් ඇසූ මෙම ප්‍රශ්නයම ඔබත් අසාවි: ‘සදාකාල ජීවනය ලබාගන්න පිණිස මොන යහපත් දෙයක් කළ යුතුද?’ එහෙමත් නැත්නම්, පාවුල්ගෙන් පිලිප්පියේ හිරගෙයි මුලාදෑනියා ඇසූ ආකාරයට, ඔබ එම ප්රශ්නය මෙහෙම අසාවි: ‘ගැළවෙන පිණිස මා විසින් කුමක් කටයුතුද?’—මතෙව් 19:16; ක්‍රියා 16:30.
20. සදාකාල ජීවනය ලබාගැනීම සඳහා අතිවැදගත් අවශ්‍යතාවක් වන්නේ කුමක්ද?
20 තම මරණයට පෙර රාත්රියේදී යාච්ඤාවෙන් තම ස්වර්ගීය පියාට මෙසේ පැවසූ විට යේසු මූලික අවශ්‍යතාවක් පෙන්නුවා: “මින් අදහස් කරන්නේ සදාකාල ජීවනයය—එනම් එකම සැබෑ දෙවි වන ඔබ ගැන සහ ඔබ විසින් එවන ලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැන ඔවුන් විසින් දැනුම ලබාගැනීමය.” (යොහන් 17:3, NW) අපිට සදාකාල ජීවනය සලසා දුන් යෙහෝවා ගැනත්, අපි වෙනුවෙන් මියගියාවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් දැනුම ලබාගැනීම සාධාරණ අවශ්‍යතාවක් නෙවෙයිද? ඒත් එවැනි දැනුමක් නිකම්ම ලබාගන්නවාට වඩා වැඩි දෙයක් අවශ්‍ය කරනවා.
21. ඇදහිල්ල තැබීමේ අවශ්‍යතාව අත් කරගනිමින් සිටින බව අප පෙන්වන්නේ කෙසේද?
21 බයිබලය මෙසේ පවසනවා: [පුත්‍රයා] කෙරෙහි අදහන්නාට සදාකාල ජීවනය ඇත.” පසුව ඔහු ඊට මෙහෙමත් එකතු කරනවා: “නුමුත් [පුත්‍රයාට] කීකරු නොවන්නා ජීවනය නොදක්නේය, [දෙවිගේ] උදහස ඔහු කෙරෙහි පවතියි.” (යොහන් 3:36) ඔබගේ ජීවිතයේ අවශ්‍ය වෙනස්කම් කිරීමෙන් සහ එය දෙවිගේ කැමැත්තට අනුකූල වන ආකාරයට ගෙන ඒමෙන්, පුත්‍රයා කෙරෙහි ඇදහිල්ල තබන බව ඔබට පෙන්වන්න පුළුවන්. ඔබ අනුගමනය කළා විය හැකි ඕනෑම වැරදි මාර්ගයක් ප්‍රතික්ෂේප කළ යුතු අතර දෙවිව සතුටු කරන ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍යයි. ප්‍රේරිත පේතෘස් අණ කළ දේ ඔබ කිරීම අවශ්‍යයි. ඔහු මෙසේ පැවසුවා: “එබැවින් [යෙහෝවා] ඉදිරියෙන් සැනසිලි කාලයන් පැමිණෙන ලෙසද, . . . නුඹලාගේ පාපයත් මකාදමනු ලබන පිණිසද, පශ්චාත්තාපව හැරෙන්න.”—ක්‍රියා 3:19, 20.
22. යේසුගේ අඩි පාර අනුගමනය කිරීමට කුමන ක්‍රියා ඇතුළත් වෙනවාද?
22 අපට සදාකාල ජීවනය භුක්ති විඳිය හැක්කේ යේසු කෙරෙහි ඇදහිල්ල තැබීමෙන් පමණක් බව අපි කිසිවිටකත් අමතක නොකරමු. (යොහන් 6:40; 14:6) අප යේසු කෙරෙහි ඇදහිල්ල තබන බව පෙන්වන්නේ ‘ඔහුගේ අඩි පාර සමීපව අනුගමනය කිරීම’ තුළිනුයි. (1 පේතෘස් 2:21, NW) එය කිරීමට අයත් වන්නේ මොනවාද? දෙවිට කළ යාච්ඤාවේදී යේසු මෙසේ ප්‍රකාශ කළා: “[දෙවියනි,] මෙන්න, . . . ඔබගේ කැමැත්ත කරන්ට ඇවිත් සිටිමි.” (හෙබ්‍රෙව් 10:7) දෙවිගේ කැමැත්ත කිරීමට එකඟ වීමෙන් සහ යෙහෝවාට ඔබගේ ජීවිතය කැප කිරීමෙන් යේසුව අනුකරණය කිරීම අත්‍යවශ්‍යයි. ඉන්පසු ඔබ එම කැපවීම වතුර බව්තීස්මයෙන් සංකේතවත් කිරීම අවශ්‍යයි. මන්දයත් යේසුත් තමන්වම බව්තීස්මය සඳහා ඉදිරිපත් කළා. (ලූක් 3:21, 22) එවැනි පියවර ගැනීම මුළුමනින්ම සාධාරණයි. ‘ක්‍රිස්තුස්ගේ ප්‍රේමය අප කෙරෙහි බලපවත්වන’ බව ප්‍රේරිත පාවුල් සඳහන් කළා. (2 කොරින්ති 5:14, 15) කිනම් ආකාරයකින්ද? ඇත්තෙන්ම, අප වෙනුවෙන් තම ජීවිතය දීමට යේසු පෙලඹුණේ ප්‍රේමය නිසයි. ඔහු කෙරෙහි ඇදහිල්ල තැබීම තුළින් ප්‍රතිචාරය දක්වන්න එය අප කෙරෙහි බලපැවැත්විය යුතු නැද්ද? ඔව්, අන් අයට උපකාර කිරීමේදී තමන්වම දීම සම්බන්ධයෙන් වූ ඔහුගේ ප්‍රේමනීය ආදර්ශය අනුගමනය කිරීමට, එය අප කෙරෙහි බලපැවැත්විය යුතුයි. ක්‍රිස්තුස් ජීවත් වුණේ දෙවිගේ කැමැත්ත කිරීම සඳහායි. තවදුරටත් අප සඳහාම ජීවත් නොවී, අපත් එලෙසම කළ යුතුයි.
23. (අ) ජීවනය ලබන අය එකතු කළ යුත්තේ කුමකටද? (ආ) ක්‍රිස්තියානි සභාව තුළ සිටින අයගෙන් අවශ්‍ය කරන්නේ කුමක්ද?
23 කාරණයේ අවසානය ඒක නෙවෙයි. පොදු යුගයේ 33 පෙන්තකොස්ත දවසේදී 3,000ක් බව්තීස්ම කළ විට ඔවුන්ව ‘එකතු කරනු ලැබූ’ බව බයිබලය පවසනවා. එකතු කරනු ලැබුවේ කුමකටද? “ඔවුන් ප්‍රේරිතයන්ගේ ඉගැන්වීම්වලට තමන්වම කැප කරමින් එකිනෙකා සමඟ ඒවා බෙදාගනිමින් නොකඩවාම එහි යෙදී සිටියා” කියා ලූක් පැහැදිලි කරනවා. (ක්‍රියා 2:41, 42, NW) ඔව්, ඔවුන් බයිබලය පාඩම් කිරීම සඳහා සහ ආශ්‍රය සඳහා එක්රැස් වූ අතර, එසේ ක්‍රිස්තියානි සභාවට එකතු කරනු ලැබුවා නැතහොත් එහි කොටසක් බවට පත් වුණා. මුල් ක්‍රිස්තියානීන් ආත්මික උපදෙස් ලබාගැනීම සඳහා නොකඩවාම රැස්වීම්වලට පැමිණියා. (හෙබ්‍රෙව් 10:25) අදදින සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවනුත් මෙය කරන අතර, ඔවුන් සමඟ රැස්වීම්වලට පැමිණෙන්න කියා ඔබට දිරිගන්වන්න කැමතියි.
24. ‘සැබෑ ජීවනය’ කුමක්ද? එමෙන්ම එය යථාර්ථයක් වන්නේ කෙසේද සහ කවදාද?
24 මිලියන ගණනක් සදාකාල ජීවනයට මඟ පෙන්වන පටු අවහිර පාරේ ගමන් කරනවා. මේ අවහිර වූ පාරේ රැඳී සිටීමට වෑයම අවශ්‍යයි! (මතෙව් 7:13, 14) පාවුල් කළ හද උණුසුම් කරවන ආයාචනයේදී ඔහු මෙය මෙසේ ඇඟෙව්වා: “ඇදහිල්ලේ යහපත් සටනෙන් සටන්කොට සදාකාල ජීවනය අල්ලාගන්න, ඊට නුඹ කැඳවනු [ලැබුවෙහිය].” මෙම සටන, ‘සැබෑ ජීවනය ලබාගන්නා’ පිණිස දිගටම කරගෙන යෑම අවශ්‍යයි. (1 තිමෝති 6:12, 19) ඒ ජීවිතය, ආදම්ගේ පාපයෙන් අප මතට ගෙනා වේදනා සහ දුක් විඳීම් සහිත මේ වර්තමාන ජීවිතය නොවෙයි. ඒ වෙනුවට, සැබෑ ජීවිතය වන්නේ, මේ දේවල පිළිවෙළ අවසන් වූ වහාම යෙහෝවා දෙවිටත් ඔහුගේ පුත්‍රයාටත් ප්‍රේම කරන්නන් උදෙසා ක්‍රිස්තුස්ගේ මිදීමේ පූජාව අදාළ කළ විට, ඉක්මනින්ම යථාර්ථයක් වෙන්න යන දෙවිගේ නව ලෝකයේ ජීවිතයයි. අප සියලුදෙනාම, ‘සැබෑ ජීවනය’ එනම් දෙවිගේ තේජාන්විත නව ලෝකයේ සදාකාලික ජීවිතය තෝරාගනිමු.
ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?
◻ උත්පත්ති 3:15හි සඳහන් වන සර්පයා, ස්ත්‍රිය සහ වංශය වන්නේ කවුරුන්ද?
◻ යේසු ආදම්ට අනුරූප වූයේ කෙසේද? එමෙන්ම මිදීමේ මිලයෙන් හැකි කරවූයේ කුමක්ද?
◻ දෙවිගේ නව ලොව ඔබට එතරම් සන්තෝෂවත් වීමට සලස්වන කුමක් දෙස ඔබට ආශාවෙන් බලා සිටිය හැකිද?
◻ දෙවිගේ නව ලොවේ ජීවත් වීම සඳහා කිනම් අවශ්‍යතාවන් අප අත් කරගත යුතුද?
[10වන පිටුවේ පින්තූරය]
තරුණ මහලු සියලුදෙනාටම නිමක් නැති ජීවිතයක් සඳහා එකම මඟ යේසුයි
[11වන පිටුවේ පින්තූරය]
දෙවිගේ නියමිත කාලයේදී මහලු අය නැවත යෞවන ශක්තියට පැමිණෙන්න යනවා