ඕනෑම ආත්මික දුර්වලතාවක් හඳුනාගෙන එය ජයගන්නා අයුරු
ග්‍රීක මිථ්‍යා කථාවලට අනුව, අකිලීස්, ට්‍රෝජන් සටනේ ග්‍රීක සටන්කරුවන් අතුරින් වීරවත්ම තැනැත්තා වුණා. ට්රෝවය යන නගරයට විරුද්ධව කළ සටනකි එය. පුරාවෘත්තයට අනුව, අකිලීස්ව ඔහුගේ මව විසින් ඔහු බිළිඳෙකුව සිටියදී ස්ටික්ස් නදියේ ගිල්වූ අතර, එනයින් ඔහුට ඕනෑම දෙයකට යටත් නොවී සිටීමේ හැකියාව ලැබුණා. එහෙත්, ඔහුගේ මව අල්ලාගෙන සිටි විලුඹ හරියට එය අදාළ වූයේ නැහැ. එමනිසයි වාග් සම්ප්රදායේ විලුඹට මර්මස්ථානයක් කියා කියන්නේ. ට්රෝවයේ ප්‍රයම් රජුගේ පුත්‍ර වූ පැරිස් විසින් අකිලීස්ව මරණයට පත් කළේ ඊ ගසක් විලුඹට විදීමෙනුයි.
ක්‍රිස්තියානීන් ක්‍රිස්තුස්ගේ සෙබළුන් වන අතර, ආත්මික යුද්ධයක නිරතව සිටියි. (2 තිමෝති 2:3) “අපේ පොරබැදීම වනාහි මාංසයට සහ රුධිරයට විරුද්ධව නොව, අධිපතිකම්වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනීන්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත් විරුද්ධවය” කියා ප්‍රේරිත පාවුල් පැහැදිලි කරයි. ඔව්, අපේ සතුරන් වන්නේ වෙන කවුරුත් නොව සාතන් නමැති යක්ෂයා හා ඔහුගේ භූතයන්ය.—එපීස 6:12.
‘යුද්ධ දක්ෂයෙක්’ හැටියට හඳුන්වා ඇති යෙහෝවා දෙවිගෙන් අපට ලැබෙන උපකාරය නැතිනම්, ඇත්තෙන්ම මෙම සටන අපට තනිව කරගෙන යෑමට බැරි එකක් බව නොකිවමනායි. (නික්මයාම 15:3) අපේ විෂකර සතුරන්ගෙන් අපව ආරක්ෂා කරගනු වස්, අපට ආත්මික යුද්ධායුධ කට්ටලයක් ලබා දී තිබෙනවා. එනිසයි ප්‍රේරිතවරයා මෙසේ උනන්දු කළේ: “යක්ෂයාගේ උපායවලට විරුද්ධව සිටින්ට නුඹලාට පුළුවන්වන පිණිස [දෙවිගේ] සියලු යුද්ධායුධ පැළඳගන්න.”—එපීස 6:11.
යෙහෝවා දෙවි විසින් සපයන යුද්ධායුධ කට්ටලය, ඕනෑම ආත්මික ප්‍රහාරයකට මුහුණ දිය හැකි, ගුණයෙන් හොඳම කට්ටලය බවට කිසිම සැකයක් නැහැ. පාවුල් දුන් ලැයිස්තුව ගැන මඳකට කල්පනා කර බලන්න: සැබෑකම නමැති පටිය, ධර්මිෂ්ඨකම නමැති ළයවැස්ම, ශුභාරංචිය නමැති වහන්, ඇදහිල්ල නමැති විශාල පලිහ, ගැළවීම නමැති ආරක්ෂක තොප්පිය සහ ආත්මය නමැති කඩුව. මීට වඩා හොඳ ආයුධ කට්ටලයක් කෙනෙකුට ලැබේවිය කියා හිතන්නවත් පුළුවන්ද? තනිව ජයගැනීමට ඇති හැකියාව ඉතා අඩු එකක් වුවත්, මෙවැනි යුද්ධායුධ කට්ටලයක් ඇතුව ක්‍රිස්තියානි සෙබළෙකුට ජයග්‍රාහකයෙක් හැටියට අවසානය දැකීමට සෑම ප්‍රස්තාවක්ම තිබෙනවා.—එපීස 6:14-17.
යෙහෝවාගෙන් ලැබෙන ආත්මික යුද්ධායුධ කට්ටලය හොඳම ගුණයෙන් යුතු සුරක්ෂිතබවේ ප්‍රභවයක් වුවත්, අප දේවල් අගය නොකොට නොසැලකිය යුතුයි. අපරාජිතයෙක් හැටියට දුටු අකිලීස්ව මනසේ තබාගනිමින්, අපටත් යම් දුර්වල තැනක්, එනම් ආත්මික මර්මස්ථානයක් නොහොත් අකිලීස් විලුඹක් ඇති බව සිතිය නොහැකිද? අපව බලාපොරොත්තු නැති තත්වයකදී අසු වුණොත් එය මාරාන්තික විය හැකියි.
ඔබේ ආත්මික යුද්ධායුධ කට්ටලය පරීක්ෂා කරන්න
කදිම ශාරීරික තත්වයක සිටියායි කියැවෙන, දෙවතාවක් ඔලිම්පික් රන් පදක්කම් දිනාගත් හිම සරණියෙහි යෙදෙන්නෙක්, පුහුණු සැසිවාරයකදී හදිසියේ වැටී මරණයට පත් වූවා. ඉන් මඳ කලකට පසු, කල්පනාවට තුඩු දෙන පුවතක් ද නියූ යෝක් ටයිම්ස්හි වාර්තා වූවා: “හෘදයාබාධ ඇති වන අමෙරිකානුවන් 6,00,000න් අඩකට ඊට කලින් කිසිම රෝග ලක්ෂණයක් දක්නට ලැබෙන්නේ නැහැ.” එසේනම් අපට නිකම්ම හැඟෙන ආකාරයෙන් අපේ සෞඛ්‍යය මැනගත නොහැකියි.
අපේ ආත්මික ශුභසාධනය සම්බන්ධයෙන් ගත් කලත්, තත්වය එයමයි. බයිබලයේ උපදේශය වන්නේ මෙයයි: “එහෙයින් තමා කෙලින් සිටින්නේයයි සිතන තැනැත්තේ නොවැටෙන්ට බලාගනීවා.” (1 කොරින්ති 10:12) ලබාගැනීමට තිබෙන හොඳම ආත්මික යුද්ධායුධ කට්ටලය, අපේ යුද්ධායුධ කට්ටලය වුවත් දුර්වලතාවන් වර්ධනය විය හැකියි. මෙසේ වන්නේ අප පාපය ඇතුව ඉපදී ඇති නිසාත්, දෙවිගේ කැමැත්ත කිරීමට තිබෙන අපේ අධිෂ්ඨානය යටපත් කිරීමට අපගේ පාපතර හා අසම්පූර්ණ නැඹුරුවාවන්ට පහසුවෙන්ම හැකි නිසාත්ය. (ගීතාවලිය 51:5) අපට හොඳ චේතනා තිබුණත්, අපේ දුර්වලතාවන් අමතක කර, ආත්මික වශයෙන් කිසිම ගැටලුවක් නැතැයි සිතීමට අපේ හෘදය අපව රැවටිය හැකියි. එසේ කරන්නේ, නිවැරදි සේ පෙනෙන නමුත් සාවද්‍ය හේතු සාධක හෝ නිදහසට කරුණු ඉදිරිපත් කිරීමෙනි.—යෙරෙමියා 17:9; රෝම 7:21-23.
මීට අමතරව, අප ජීවත් වන්නේ හරි වැරැද්ද බොහෝදුරට පටලවාගෙන හෝ විකෘති කොට ඇති ලෝකයකයි. පුද්ගලයෙක් තමාට හැඟෙන ආකාරය අනුව හරි වැරැද්ද නිශ්චය කිරීමට ඉඩ තිබෙනවා. මෙවන් සිතීමේ රටාවක් ප්‍රචාරණ දැන්වීම්, ප්‍රසිද්ධ විනෝදාස්වාදයන් හා ජනමාධ්‍ය මගින් ප්‍රවර්ධනය කරනු ලබයි. අප පරෙස්සම් වුණේ නැතිනම්, එවන් සිතීමේ රටාවකට අපත් නොදැනුවත්ව පිවිසෙන්න පුළුවන්. එනයින් අපේ ආත්මික යුද්ධායුධ කට්ටලය දුර්වල වන්න පටන්ගත හැකියි.
එවැනි භයානක තත්වයකට වැටෙනවා වෙනුවට, අප බයිබලයේ උපදේශයට අවනත විය යුතුයි: “නුඹලා ඇදහිල්ලෙහි සිටිනවාද කියා නුඹලාම පරීක්ෂාකර බලන්න; නුඹලාවම සෝදිසිකර බලන්න.” (2 කොරින්ති 13:5) අප එසේ කරන විට, වර්ධනය වී ඇති ඕනෑම දුර්වලතාවක් හඳුනාගෙන, අපේ සතුරන් ඒවා හඳුනාගෙන ප්‍රහාරයක් දියත් කිරීමට කලින් ඒවා සකස් කරගැනීමට අපට හැකි වනු ඇත. නමුත්, එවන් පරීක්ෂණයක් අප පවත්වන්න යන්නේ කොහොමද? මෙම ආත්ම-සෝදිසියේදී අප අවධානයෙන් සිටිය යුතු සමහරක් රෝග ලක්ෂණ මොනවාද?
රෝග ලක්ෂණ හඳුනාගැනීම
ආත්මික දුර්වලතාව ඇඟවිය හැකි එක් පොදු රෝග ලක්ෂණයක් වන්නේ, අපේ පෞද්ගලික අධ්‍යයන පුරුදුවල ක්රමානුකූල බිඳ වැටීමයි. සමහරුන්ට අධ්‍යයන කිරීමට උවමනා බව හැඟුණත්, එසේ කිරීමට ඔවුන් අසමත් වන බව පෙනෙන්ට තිබෙනවා. අද පවතින කාර්ය බහුල ජීවිතය හේතුකොටගෙන, එවන් නරක තත්වයකට පහසුවෙන්ම වැටිය හැකියි. කොහොම වුණත්, තත්වය තවත් භයානක වන්නේ, තමන්ට හැකි අවස්ථාවලදී බයිබල් ප්‍රකාශන කියවන නිසාත්, රැස්වීම් සමහරකට යාගත හැකි වන නිසාත්, තමන්ගේ තත්වය එතරම්ම නරක නැතැයි සමහරුන්ට හැඟෙන බැවින්ය.
එවන් හේතු සාධකයක් තමන්වම රවටාගැනීමේ එක් ස්වරූපයකි. එය හරියට නිකම්, ආහාර ගැනීමට වෙලාවක් නැතැයි සිතන, එක් වැඩකින් තවත් වැඩකට මාරු වන අතරතුරේදී හදිසියෙන් කෑම ටිකක් කටේ දාගන්නා තැනැත්තෙකු වගෙයි. ඔහුට හාමතේ සිටීමට සිදු නොවුණත්, කවදා හෝ දවසක යම් යම් සෞඛ්‍ය ගැටලුවලට ඔහු මුහුණ දිය හැකියි. එයාකාරයෙන්ම, පෝෂ්‍යදායී ආත්මික ආහාර නිතිපතා ගන්නේ නැතිනම්, අපේ ආත්මික යුද්ධායුධ කට්ටලයේ දුර්වල තැන් අප වර්ධනය කරගන්න පුළුවන්. ලෞකික බොරු ප්‍රචාරයන් හා ආකල්ප මගින් නිතිපතා අපට ප්‍රහාර එල්ල වෙද්දී, සාතන්ගේ මාරාන්තික ප්රහාරයන්වලට පහසුවෙන්ම යටත් වීමට ඉඩ කඩ තිබිය හැකියි.
අපේ ආත්මික යුද්ධයේ ඇති හදිසිතාවේ හැඟීම නැති කරගැනීම, ආත්මික දුර්වලතාවේ තවත් රෝග ලක්ෂණයක්. සාමය පවතින කාලයේදී, සටනක ඇති පීඩනය හා අන්තරාව සෙබළෙකුට නොදැනේ. ඒ හේතුවෙන් සූදානම්ව සිටීමේ හදිසිතාව ඔහුට නොදැනිය හැකියි. හදිසියෙන්ම සේවයට වාර්තා කරන්න කියා ඔහුගෙන් ඉල්ලා සිටියොත්, ඔහු සූදානම් නැති තත්වයක සිටින්න පුළුවන්. ආත්මිකවත් තත්වය එයමයි. හදිසිතාවේ හැඟීම අපෙන් ලිස්සා යෑමට අප ඉඩ දුන්නොත්, අප හමුවට ආ හැකි ප්රහාරයන්ට විරුද්ධව සිටීමට අප සූදානම් නැති තත්වයක සිටින්න පුළුවන්.
අප මෙම තත්වයට වැටුණොත්, අපට එය දැනගත හැකි වන්නේ කොහොමද? තත්වයේ නියම ස්වභාවය අනාවරණය කළ හැකි ප්‍රශ්න සමහරක් අපට අපෙන්ම අසාගන්න පුළුවන්: මට විනෝද ගමනක යෙදීමට තිබෙන ආශාවම ක්ෂේත්‍ර සේවයේ සහභාගි වීමටත් තිබෙනවාද? සාප්පු සවාරියක් යන්න නැතිනම් රූපවාහිනිය නරඹන්න තිබෙන ආශාවම මට රැස්වීම්වලට සූදානම් වීමටත් තිබෙනවාද? ක්‍රිස්තියානියෙක් වන විට අතහැරීමට සිදු වූ ලුහුබැඳීම් හා ප්‍රස්තාවන් ගැන මම පසුතැවෙනවාද? වෙනත් අය ගත කරනවායයි කියන සැප පහසු ජීවිතයට මම ඊර්ෂ්‍යා කරනවාද? මේවා කල්පනාව පුබුදුවාලන ප්‍රශ්න වන නමුත්, අපේ ආත්මික යුද්ධායුධ කට්ටලයේ ඕනෑම දුර්වලතාවක් හඳුනාගැනීමට උපකාරවත් වෙයි.
අපට ඇති ආරක්ෂක කට්ටලය ආත්මික එකක් වන හෙයින්, අපේ ජීවිතයේ දෙවිගේ ආත්මය නිදහසේ ගලායෑම ඉතා වැදගත් දෙයක්. අපේ සියලු ක්‍රියාකාරකම්වලදී දෙවිගේ ශුද්ධාත්මයේ ඵල කොයි තාක් දුරට විදහාපෙන්වනවාද කියා මෙයින් පිළිබිඹු වෙයි. අනුන් ඔබ අකමැති දෙයක් කරන විට ඔබ ඉක්මනින් කුපිත වෙනවාද එහෙමත් නැතිනම් යම් නොරිස්සුම් ගතියක් ඔබ පෙන්වනවාද? උපදෙස් පිළිපැදීම අමාරු යමක් සේ ඔබට දැනෙනවාද? එසේත් නැතිනම් අනුන් සැමවිටම ඔබේ වැරදි සොයනවා කියා ඔබට හැඟෙනවාද? වෙනත් මිනිසුන් ලබා තිබෙන ආශීර්වාද හෝ ඔවුන්ගේ අත් කරගැනීම් ගැන ඔබට දැඩි ඊර්ෂ්‍යාවක් දැනෙනවාද? වෙනත් අය සමඟ, විශේෂයෙන්ම ඔබේ තුල්‍යයන් සමඟ පෑහී සිටින එක අපහසුද? අපේ ජීවිතය දෙවිගේ ආත්මයෙන් පිරී පවතිනවාද එසේත් නැතිනම් මාංසයේ ක්‍රියාවන් කූට අන්දමින් එළි දකිනවාද කියා දැනගැනීමට අවංක ආත්ම ඇගයීමක් අපට උපකාර කරන්න යනවා.—ගලාති 5:22-26; එපීස 4:22-27.
ආත්මික දුර්වලතා ජයගැනීමට ඒකාන්ත පියවර
ආත්මික දුර්වලත්වයේ රෝග ලක්ෂණ හඳුනාගන්නවා කියන්නේ එකක්; නමුත් ඒවාට මුහුණ දී කාරණා නිවැරදි කරගැනීමට පියවර ගන්නවා කියන්නේ සම්පූර්ණයෙන්ම වෙන දෙයක්. කනගාටුවට කරුණක් වන්නේ, බොහෝදෙනෙක් නිදහසට කරුණු දීමත්, ගැටලුව සුළු කිරීමත් එසේත් නැතිනම් එවැන්නක් පවතිනවාය කියා පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීමත්ය. එය හරියට යුද්ධායුධ කට්ටලයේ අංග සමහරක් නොමැතිව යුද්ධයට යන භයානක තත්වයක් වගෙයි. එවැනි මාර්ගයක් ගැනීමෙන් අපව සාතන්ගේ ප්‍රහාරවලට සම්පූර්ණයෙන්ම නිරාවරණය කරන්න යනවා. ඒ වෙනුවට, අපට පෙනෙන මොනයම් හෝ ගැටලුවක් ඒකාන්තව නිවැරදි කරගැනීම සඳහා පියවර ගැනීමට අප උත්සුක විය යුතුයි. අපට කළ හැක්කේ කුමක්ද?—රෝම 8:13; යාකොබ් 1:22-25.
ක්‍රිස්තියානි මනස හා හෘදය පාලනය කරගැනීම ඇතුළත් ආත්මික යුද්ධයක නිරත වීමේදී අපේ ඉන්ද්රියයන් ආරක්ෂා කරගැනීම සඳහා අප හැකි සෑම දෙයක්ම කළ යුතුයි. යුද්ධායුධ කට්ටලයේ අංග අතරට, අපේ හදවත ආරක්ෂා කරන “ධර්මිෂ්ඨකම නැමති ළයවැස්ම” හා අපේ මනස ආරක්ෂා කරන “ගැළවීම නමැති ආරක්ෂාතොප්පිය” අයත් බව මතකයේ තබාගන්න. මෙම සැපයුම් ඵලදායී ලෙස භාවිත කිරීමට ඉගෙනගන්නවා කීමෙන් අදහස් කරන්නේ ජයග්‍රහණයයි. එසේ නොවුවොත් පරාජය අත් වෙයි.—එපීස 6:14-17; හිතෝපදේශ 4:23; රෝම 12:2.
“ධර්මිෂ්ඨකම නැමති ළයවැස්ම” නිසියාකාරව පළඳිනවා කියන්නේ, ධර්මිෂ්ඨකම සඳහා අප සතුව ඇති ප්‍රේමයත් නොපනත්කම සඳහා ඇති වෛරයත් අප නිතරම සෝදිසි කරනවා කියන එකයි. (ගීතාවලිය 45:7; 97:10; ආමොස් 5:15) ලෝකයාගේ තත්වයටම ඔබේ ප්‍රමිතිත් පහත වැටී තිබෙනවාද? එක් කලෙක අපව තිගැස්සූ අපව බාධාවට පත් කළ, සැබෑ ජීවිතයේ හෝ රූපවාහිනියේ, චිත්‍රපටවල හෝ පොත් හා සඟරාවල විදහාදක්වන දේවල් දැන් විනෝදජනකයි කියා අපට හැඟෙනවාද? නිදහස හා අලුත්ම විලාසය කියා ලෝකයා විසින් උලුප්පා දක්වා ඇති දේ, ඇත්තෙන්ම ගුප්ත අන්දමින් සැඟවී තිබෙන දුරාචාරය හා අහංකාරය බව වටහාගැනීමට ධර්මිෂ්ඨකම සඳහා ඇති ප්‍රේමය අපට උපකාර වනු ඇත.—රෝම 13:13, 14; තීතස් 2:12, 13.
“ගැළවීම නමැති ආරක්ෂාතොප්පිය” පළඳිනවා කීමෙන් අදහස් කරන්නේ අප ඉදිරියේ ඇති අසිරිමත් ආශීර්වාද පැහැදිලිව අපේ මනසේ තබාගැනීමයි. මෙය කළ හැක්කේ, ලෝකයේ ඇති නෙත් පිනවන සියල්ලෙන් අපේ මනස වෙනතකට යොමු කිරීමෙන් අපව වළක්වාගැනීමෙනි. (හෙබ්‍රෙව් 12:2, 3; 1 යොහන් 2:16) මෙවැනි දෘෂ්ටියක් තබාගැනීම, ද්‍රව්‍යමය වාසිය හෝ පෞද්ගලික වාසියට ඉදිරියෙන් ආත්මික කාරණා තබාගැනීමට උපකාර කරයි. (මතෙව් 6:33) එහෙයින්, මෙම යුද්ධායුධ කට්ටලය නිසි තැන දීම සඳහා අප අපෙන්ම මෙසේ අවංකව අසාගත යුතුයි: මම ජීවිතයේ ලුහුබඳිමින් සිටින්නේ මොනවාද? කුමන සුවිශේෂී ආත්මික ඉලක්කද මට තිබෙන්නේ? ඒවා අත් කරගැනීම සඳහා මම මොනවද කරමින් සිටින්නේ? ඉතිරිව සිටින ආලේප ලත් ක්‍රිස්තියානියෙකුගෙන් කෙනෙක් හෝ වේවා ‘මහත් සමූහයට’ අයත් කෙනෙක් හෝ වේවා අප මෙසේ පැවසූ පාවුල්ගේ ආදර්ශය අනුකරණය කළ යුතුයි: “මම තවමත් අල්ලාගත්තෙමියි නොසිතමි. නුමුත් එකක් කරමි, එනම්, පස්සෙන් තිබෙනදේ මතකනැතිකොට, ඉස්සරහට තිබෙන ඒවා දෙසම බලාගන යමින්, . . . දිනුම පිණිස දිනුම්පළ කරා දුවමි.”—එළිදරව් 7:9; පිලිප්පි 3:13, 14.
අපේ ආත්මික යුද්ධායුධ කට්ටලය පිළිබඳ පාවුල්ගේ විස්තරය මෙම උනන්දු කිරීමෙන් අවසන් වෙයි: “සෑම ආකාරයකම යාච්ඤාවන්ගෙන්ද ඉල්ලීම්වලින්ද ආත්මය කරණකොටගෙන සෑම අවස්ථාවකදීම යාච්ඤා කරන්න. එමෙන්ම සියලු ශුද්ධවන්තයන් උදෙසාද නොකඩවාම සියලු ඉල්ලීම්වලින් අවදිව සිටින්න.” (එපීස 6:18, NW) මෙයින් අදහස් කරන්නේ, ආත්මික දුර්වලකම් වළක්වාගැනීමට හෝ ජයගැනීමට අපට ඒකාන්ත පියවර දෙකක් ගත හැකි බවයි. එනම්, දෙවි සමඟ හොඳ සබඳතාවක් ගොඩනැඟීම හා සෙසු ක්‍රිස්තියානීන් සමඟ කිට්ටු සම්බන්ධකමක් වර්ධනය කරගැනීමයි.
“සෑම ආකාරයකම” යාච්ඤා (අපේ පාප කියා දීම, සමාව අයැදීම, මඟ පෙන්වීම ඉල්ලා සිටීම, ආශීර්වාද සඳහා ස්තුතිය, හෘදයාංගමව එන ස්තුති ප්‍රශංසා) මගින් යෙහෝවා වෙතට අප හැරීමට පුරුදු වීමෙන් හා “සෑම අවස්ථාවකදීම” (ප්‍රසිද්ධියේ, රහසින්, පෞද්ගලිකව, නිරායාසයෙන්) එසේ කිරීමෙන් යෙහෝවා සමඟ කුළුපගබවක් වර්ධනය වන්න යනවා. අපට තිබිය හැකි හොඳම ආරක්ෂාව එයයි.—රෝම 8:31; යාකොබ් 4:7, 8.
අනික් අතට, “සියලු ශුද්ධවන්තයන් උදෙසා” යාච්ඤා කිරීමට අපට උනන්දු කර තිබෙනවා. එනම් අපේ සෙසු ක්‍රිස්තියානීන් උදෙසායි. තාඩන පීඩන යටතේ සිටින හෝ වෙනත් අපහසුතාවන්ට නතුව සිටින දුර ඈත රටවල සිටින අපේ ආත්මික සහෝදරයන්ව අපේ යාච්ඤාවලදී අපට මතක් කළ හැකියි. නමුත් දෛනිකව එකට වැඩ කරන ආශ්‍රය කරන ක්‍රිස්තියානීන් ගැන කුමක් කිව හැකිද? යේසුස් තම ගෝලයන් වෙනුවෙන් යාච්ඤා කළාක් මෙන් ඔවුන් වෙනුවෙනුත් යාච්ඤා කිරීම සුදුසුයි. (යොහන් 17:9; යාකොබ් 5:16) එවැනි යාච්ඤා අපව එකිනෙකාට කිට්ටුව තබන අතර, “නපුරාගෙන්” එල්ල වන ප්රහාරයන්ට ස්ථිරව විරුද්ධ වීම සඳහාත් අපව ශක්තිමත් කරයි.—2 තෙසලෝනික 3:1-3.
අවසාන වශයෙන් ප්‍රේරිත පේතෘස්ගේ ප්‍රේමනීය උනන්දු කිරීම අපි තරයේ මනසේ තබාගනිමු: “සියලු දේවල අන්තිමය ළංවී තිබේ. එබැවින් නුඹලා සිහියෙන් යුක්තව සිට, යාච්ඤාකිරීම පිණිස පිබිද සිටින්න. ඇරත් ප්‍රේමය පව් රාශියක් වසන බැවින්, සියලු දේවලට වඩා එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇතුව සිටින්න.” (1 පේතෘස් 4:7, 8) අපේ හදවත් හා මනස් දූෂණය කිරීමට අපේ මෙන්ම වෙනත් අයගේ මිනිස් අසම්පූර්ණකම්වලට ඉඩහැරීම හරිම පහසුයි. එමගින් ඒවා බාධක හා බාධාවන් බවට පත් වෙනවා. මනුෂ්‍යයන්ගේ මෙම දුර්වලකම සාතන් ඉතා හොඳින් දන්නවා. ඔහුගේ කපටි උපක්‍රමවලින් එකක් වන්නේ බෙදීම් ඇති කර අප කෙරෙහි බලපැවැත්වීමයි. එහෙයින්, අන්‍යයන් කෙරෙහි දැඩි ප්‍රේමයකින් යුතුව අප එවැනි පාපවලට සමාව දීමට ඉක්මන් වී, අපේ ජීවිතයට ඇතුල් වීමට ‘අප යක්ෂයාට ඉඩ නෑරිය’ යුතුයි.—එපීස 4:25-27.
දැන් ආත්මිකව ශක්තිමත්ව සිටින්න
ඔබේ කොණ්ඩය අවුල් වී ඇති බව හෝ ටයිපටිය ඇද වී ඇති බව දැක්කොත් ඔබ කුමක්ද කරන්නේ? ඔබට හැකි ඉක්මනින්ම ඔබ දේවල් හරිගැස්වීමට යනවා. එවන් බාහිර පෙනුමේ දෝෂ ගණනකට නොගනිමින් ඒවා ගැන නොතකා සිටින්න යන්නේ ඇත්තෙන්ම අතළොස්සක් පමණයි. ඒ හා සමාන ඉක්මන් හැඟීමකින් අප අපේ ආත්මික දුර්වලතා සම්බන්ධයෙනුත් ප්‍රතික්‍රියා කරමු. බාහිර පෙනුමේ දෝෂයන් හේතුවෙන් මිනිසුන්ගේ අප්‍රසාදයට ලක් විය හැකි බව ඇත්තයි. නමුත් නිවැරදි කර නොගත් ආත්මික දෝෂයන් නිසා අපට අහිමි වන්නේ යෙහෝවාගේ අනුමැතියයි.—1 සාමුවෙල් 16:7.
අපේ ඕනෑම ආකාරයක ආත්මික දුර්වලතාවක් මුලිනුපුටා දමමින් ආත්මිකව ශක්තිමත්ව සිටීමට අවශ්‍ය සියලුම උපකාර යෙහෝවා අපට ප්‍රේමනීයව ලබා දී තිබෙනවා. ක්‍රිස්තියානි රැස්වීම්, බයිබල් ප්‍රකාශන හා මේරූ සැලකිලිමත් සෙසු ක්‍රිස්තියානීන් මගින්, අප කුමක් කළ යුතුද යන්න ගැන මතක් කිරීම් හා මඟ පෙන්වීම් ඔහු නිරතුරුවම සපයනවා. ඒවා පිළිගෙන අදාළ කරගැනීම තිබෙන්නේ අපේ අතෙයි. මෙය සඳහා වෑයම හා ආත්ම හික්මවීම අවශ්‍යයි. නමුත් ප්‍රේරිත පාවුල් අවංකවම පැවසූ දේ මතකයට නඟන්න: “මා දුවන්නේ සැකයෙන් මෙන් නොවේය; පහරදෙන්නේ හුළඟට පහරදෙන්නාක්මෙන් නොවේය. නුමුත් මාගේ ශරීරය දමනයකර වහල්කමට පමුණුවමි. එසේ කරන්නේ අනුන්ට දේශනාකළාට පසු කොයිලෙසකින්වත් මාම එපාකරනු නොලබන පිණිසය.”—1 කොරින්ති 9:26, 27.
සාවධානීව සිටීමෙන් ආත්මික මර්මස්ථානයක් නොහොත් අකිලීස් විලුඹක් වර්ධනය වීමට කිසිදාක ඉඩ නොදෙන්න. ඒ වෙනුවට, නිහතමානිව හා ධෛර්යවත්ව අපට ඇති ආත්මික දුර්වලතාවන් හඳුනාගෙන ඒවා ජයගැනීමට අවශ්‍ය සියල්ලම කරමු.
[19වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“නුඹලා ඇදහිල්ලෙහි සිටිනවාද කියා නුඹලාම පරීක්ෂාකර බලන්න; නුඹලාවම සෝදිසිකර බලන්න.”—2 කොරින්ති 13:5.
[21වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“යාච්ඤාකිරීම පිණිස පිබිද සිටින්න. ඇරත් ප්‍රේමය පව් රාශියක් වසන බැවින්, සියලු දේවලට වඩා එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇතුව සිටින්න.”—1 පේතෘස් 4:7, 8
[20වන පිටුවේ කොටුව⁄පින්තූරය]
ඔබෙන්ම අසන්න . . .
◆ සාප්පු සවාරියක් යන්න නැතිනම් රූපවාහිනිය නරඹන්න තිබෙන ආශාවම මට රැස්වීම්වලට සූදානම් වීමටත් තිබෙනවාද?
◆ වෙනත් අය ගත කරනවායයි කියන සැප පහසු ජීවිතයට මම ඊර්ෂ්‍යා කරනවාද?
◆ අනුන් මම අකමැති දෙයක් කරන විට මම ඉක්මනින් කුපිත වෙනවාද එහෙමත් නැතිනම් යම් නොරිස්සුම් ගතියක් මම පෙන්වනවාද?
◆ උපදෙස් පිළිපැදීම අමාරු යමක් සේ මට දැනෙනවාද? එසේත් නැතිනම් අනුන් සැමවිටම මගේ වැරදි සොයනවා කියා මට හැඟෙනවාද?
◆ වෙනත් අය සමඟ පෑහී සිටින එක මට අපහසුද?
◆ ලෝකයාගේ තත්වයටම මගේ ප්‍රමිතිත් පහත වැටී තිබෙනවාද?
◆ මට සුවිශේෂී ආත්මික ඉලක්කයන් තිබෙනවාද?
◆ මගේ ආත්මික ඉලක්ක අත් කරගැනීමට මම මොනවද කරමින් සිටින්නේ?
[18වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
අකිලීස්: Great Men and Famous Women යන පොත ඇසුරෙන්; රෝම සෙබළුන් හා 21වන පිටුව: Historic Costume in Pictures/Dover Publications, Inc., New York