අපගේ නැංගුරම බලාපොරොත්තුවයි, පෙලඹීම ප්‍රේමයයි
“දැන් පවතින්නේ ඇදහිල්ල, බලාපොරොත්තුව, ප්‍රේමය යන මේ තුනය; මෙයින් ඉතා උතුම් එක නම් ප්‍රේමයය.”—1 කොරින්ති 13:13.
1. ප්‍රේරිත පාවුල් අපට දුන්නේ කුමන අනතුරු ඇඟවීමද?
නැවක් මෙන් අපගේ ඇදහිල්ල බිඳී යා හැකියි කියා ප්‍රේරිත පාවුල් අපට අනතුරු අඟවයි. “ඇදහිල්ල සහ යහපත් හෘදයසාක්ෂියක් ඇතුව” සිටීම ගැන ඔහු කතා කරන අතර, “සමහරු ඒ හෘදයසාක්ෂිය අත්හැරදමා, ඇදහිල්ල නමැති නැව බිඳගත්තෝය” කියා පවසයි. (1 තිමෝති 1:19) පොදු යුගයේ පළමුවන සියවසේදී නෞකා තැනීමට යොදාගත්තේ ලී වර්ගයි. මුහුදට ඔරොත්තු දෙන්න ඒවාට තිබුණු ශක්තිය රඳා පැවතුණේ භාවිත කළ ලීවල ගුණය සහ දක්ෂ ලෙස නැව තනා තිබීම මතයි.
2. අපගේ ඇදහිල්ල නමැති නැව හොඳින් තනාගත යුත්තේ මන්ද? ඒ සඳහා අපගෙන් කුමක් අවශ්‍ය වේද?
2 අපගේ ඇදහිල්ල නමැති නැව, මිනිස් සංහතිය නමැති කැලඹිලිකාර මුහුදෙහි ගිලෙන්න ඉඩ නොදී පවත්වාගත යුතුයි. (යෙසායා 57:20; එළිදරව් 17:15) එමනිසා එය හොඳට තැනිය යුතුයි. මෙය නම් රඳා පවතින්නේ අප මතමයි. යුදෙව් හා රෝම සමාජ නමැති ‘මුහුදු’ මුල් ක්‍රිස්තියානීන් සඳහා විශේෂයෙන් කැලඹිලි සහිත වූ අවස්ථාවක, යූද් මෙසේ ලිව්වා: “ප්‍රේමවන්තයෙනි, නුඹලා වනාහි නුඹලාගේ ඉතා ශුද්ධ ඇදහිල්ල පිට නුඹලාම ගොඩනඟාගනිමින්, [ශුද්ධාත්මය] තුළ සිට යාච්ඤාකරමින්, සදාකාල ජීවනය පිණිස අපගේ ස්වාමිවූ යේසුස් [ක්‍රිස්තුස්ගේ] දයාව බලාසිටිමින්, [දෙවිගේ] ප්‍රේමයෙහි පවතින්න.” (යූද් 20, 21) “ශුද්ධවන්තයන්ට භාරදුන් ඇදහිල්ල උදෙසා” සටන් කිරීම ගැනත් යූද් කතා කළ නිසා, “ඉතා ශුද්ධ ඇදහිල්ල” යන ප්‍රකාශය, ගැළවීම පිළිබඳ ශුභාරංචිය ඇතුළුව, ක්‍රිස්තියානි ඉගැන්වීම්වල මුළු පරාසයටම යොමු දක්වනවා විය හැකියි. (යූද් 3) එම ඇදහිල්ලේ අත්තිවාරම ක්‍රිස්තුස්ය. සැබෑ ක්‍රිස්තියානි ඇදහිල්ලට ඇලී සිටින්න නම්, ශක්තිමත් ඇදහිල්ලක් අවශ්‍යමයි.
“නිකාය විරෝධී” කුණාටුවට මුහුණ දීම
3. ඇතමුන් “නිකාය විරෝධී භීතිය” පාවිච්චි කරන්නේ කෙසේද?
3 රහස්‍ය නිකායන් හා සම්බන්ධ බිහිසුණු සාමූහික දිවි නසාගැනීම්, මිනීමැරීම්, ත්‍රස්තවාදී ප්රහාරයන් සම්බන්ධයෙන් මෑත වර්ෂ කිහිපය තුළදී ආරංචි වී තිබෙනවා. මෙවැනි භයානක නිකායන්ගෙන් අහිංසක ජනතාවව, විශේෂයෙන් බාලවයස්කරුවන්ව ආරක්ෂා කිරීමට අවංක දේශපාලන නායකයන් ඇතුළු බොහෝ පුද්ගලයන් දක්වන සැලකිල්ල අප තේරුම්ගත යුතුයි. මෙම දරුණු අපරාධ පිටුපස කිසිදු සැකයක් නොමැතිව සිටින “මේ ලෝකයේ දෙවියා,” ඇතමුන් තුළ නිකාය විරෝධී භීතියක් ඇති කර තිබෙන අතර, මෙය යෙහෝවාගේ සෙනඟට එරෙහිව අතකොළුවක් සේ යොදාගන්නා බව පෙනේ. (2 කොරින්ති 4:4; එළිදරව් 12:12) අපගේ වැඩයට විරුද්ධව ජනයාව උසිගැන්වීමට ඇතමුන් මෙම තත්වයන් තම වාසියට හරවාගෙන තිබෙනවා. ඇතැම් රටවල, ඔවුන් “භයානක නිකායන්ගෙන්” ජනතාව ආරක්ෂා කරගැනීමේ මතුපිට ඉලක්කය ඇතුව ව්‍යාපාරයක් දියත් කර ඇතත්, “භයානක නිකාය” ගණයට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව වැරදිසහගතව ඇතුල් කිරීමෙන් ඔවුන් වක්‍රාකාරව අප පිට එම වරද පටවා තිබෙනවා. ඒ හේතුවෙන් ඇතැම් යුරෝපීය රටවල ගෙයින් ගෙට සාක්ෂිදැරීම අසීරු කාර්යයක් බවට පත්ව ඇති අතර, ප්‍රතිඵලයක් වශයෙන් අප සමඟ බයිබලය පාඩම් කරමින් සිටි ඇතමුන් ඔවුන්ගේ පාඩම නතර කර තිබෙනවා. තවද මෙය අපගේ සහෝදරයන් සමහරදෙනෙකුගේ අධෛර්යයට හේතු වී තිබෙනවා.
4. විරුද්ධවාදිකම් අපව අධෛර්යයට පත් නොකළ යුත්තේ මන්ද?
4 කෙසේවෙතත්, විරුද්ධවාදිකම් අපව අධෛර්යයට පත් කරනවා වෙනුවට ඒවා අපි සැබෑ ක්‍රිස්තියානි ධර්මයෙහි සිටින බවට අපගේ විශ්වාසය තවත් ශක්තිමත් කළ යුතුයි. (මතෙව් 5:11, 12) මුල් ක්‍රිස්තියානීන් භේදකාරි නිකායක් කියා චෝදනාවට ලක් වූ අතර, ඔවුන් “ගැන සියලු තැන්හි විරුද්ධව කථා” කළා. (ක්‍රියා 24:5; 28:22) එනමුත් ප්‍රේරිත පේතෘස් සෙසු ඇදහිලිවන්තයන්ගේ බිය සැක දුරු කරමින් මෙසේ ලිව්වා: “ප්‍රේමවන්තයෙනි, නුඹලා සෝදිසි කිරීම පිණිස පැමිණෙන නුඹලා අතරේ තිබෙන ගිනිමය පීඩාව ගැන අපූර්ව කාරණාවක් නුඹලාට සිද්ධවෙන්නාක්මෙන් පුදුම නොවෙන්න. නුමුත් [ක්‍රිස්තුස්ගේ] තේජසේ එළිදරව්වීමේදීත් නුඹලා ඉතා මහත් ප්‍රීතියකින් ප්‍රීතිවන පිණිස [ඔහුගේ] දුක් විඳීමෙහි නුඹලා පංගුකාරයන් වන ප්‍රමාණයට ප්‍රීතිවෙන්න.” (1 පේතෘස් 4:12, 13) ඊට සමාන අදහසක් පළ කරමින්, මුල් සියවසේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් මෙසේ ලිව්වා: “මාගේ සහෝදරයෙනි, නුඹලාගේ ඇදහිල්ල සෝදිසිකිරීමෙන් ක්ෂාන්තිගුණය [විඳදරාගැනීම, NW] උපදින බව දැන, අනේකාකාර පරීක්ෂාවලට වැටෙන කල, ඒ සියල්ල ප්‍රීතියක්යයි සිතන්න. නුමුත් නුඹලා කිසිවකින් අඩුව නොසිට සියලු ආකාරයෙන්ම සම්පූර්ණව සිටින පිණිස ක්ෂාන්තිගුණය [විඳදරාගැනීම, NW] සම්පූර්ණලෙස ක්‍රියාකෙරේවා.” (යාකොබ් 1:2-4) චණ්ඩ මාරුතයකදී හමන සුළං නෞකාවක ඔරොත්තු දීමේ ශක්තිය පරීක්ෂා කරන්නාක් මෙන්, විරුද්ධවාදීකම් නමැති කුණාටු අපගේ ඇදහිල්ල නමැති නැවේ දුර්වලකම් මොනවාදැයි හෙළි කරනවා.
පීඩාවල ප්‍රතිඵලය විඳදරාගැනීම
5. අපගේ ඇදහිල්ල පීඩාවන් යටතේ ස්ථාවරව පවතීද යන්න ස්ථිර කරගත හැක්කේ කෙසේද?
5 ක්‍රිස්තියානීන්ට තම විඳදරාගැනීමේ ශක්තිය සහ තම ඇදහිල්ලේ ස්ථිරත්වය ගැන සහතික විය හැක්කේ පීඩා නමැති කුණාටුවලට සාර්ථකව මුහුණ දුන්නායින් පසුව පමණයි. අපගේ විඳදරාගැනීම කැලඹිලි සහිත මුහුදුවල “සම්පූර්ණලෙස ක්‍රියා” කරන්න යන්නේ, ශක්තිමත් ඇදහිල්ල ඇතුළුව “කිසිවකින් අඩුව නොසිට සියලු ආකාරයෙන්ම සම්පූර්ණව” සිටියොත් පමණයි. පාවුල් මෙසේ ලිව්වා: “බොහෝ ඉවසීමෙන්ද [විඳදරාගැනීමෙන්ද, NW] පීඩාවලින්ද හිඟකම්වලින්ද විපත්තිවලින්ද, . . . අපි [දෙවිගේ] සේවකයන් මෙන් අපම පිළිගන්වමු.”—2 කොරින්ති 6:4, 10ආ.
6. අප “විඳින පීඩාවලදීත් ප්‍රීතිමත්” විය යුත්තේ මන්ද? මෙය අපගේ බලාපොරොත්තුව ශක්තිමත් කරන්නේ කෙසේද?
6 ඇතැම් අවස්ථාවලදී අපට මුහුණ දීමට සිදු වන පීඩා නමැති චණ්ඩ මාරුත සැලකිය යුත්තේ, අපගේ ඇදහිල්ල නමැති නැව යහපත් මෙන්ම ස්ථිර තත්වයක පවතින බව ඔප්පු කිරීමට ප්‍රස්තාවන් හැටියටයි. රෝමයේ ක්‍රිස්තියානීන්ට පාවුල් මෙසේ ලිව්වා: “පීඩා විඳීමෙන් විඳදරාගැනීමද, විඳදරාගැනීමෙන් අනුමැතිය ලත් තත්වයක්ද, අනුමැතිය ලත් තත්වයකින්, බලාපොරොත්තු වීමද උපදින බව දැන, අප විඳින පීඩාවලදීත් ප්‍රීතිමත් වෙමු. මෙම බලාපොරොත්තුව ලජ්ජාවට පත් නොවන්නේය.” (රෝම 5:3-5, NW) පීඩාවන් යටතේ ස්ථිරව සිටීම අපට යෙහෝවාගේ අනුමැතිය ලබා දෙනවා. ප්‍රතිඵලයක් වශයෙන්, මෙය අපගේ බලාපොරොත්තුව ශක්තිමත් කරයි.
ඇතමුන්ගේ නැව් බිඳී යෑමට හේතු
7. (අ) පාවුල්ගේ වදන්වලින් පෙනෙන පරිදි, ඇතමුන් තම ආත්මික නැව බිඳගෙන තිබුණේ කෙසේද? (ආ) අදදින ඇතමුන් සත්‍යයෙන් මුළාව ගොස් ඇත්තේ කෙසේද?
7 ‘නැව බිඳගැනීමේ’ අන්තරාව ගැන පාවුල් අනතුරු ඇඟවූ විට, ඔහු කල්පනා කරමින් සිටියේ තම යහපත් හෘදයසාක්ෂිය “අත්හැරදමා” තම ඇදහිල්ල නැති කරගත් අය ගැනයි. (1 තිමෝති 1:19) ඔවුන් අතර, සත්‍යය ගැන මුළා වී අපහසාත්මක කතා කියූ ඇදහිල්ල අත්හැර ගිය හිමෙනියස්ද අලෙක්ෂන්දර්ද සිටියා. (1 තිමෝති 1:20; 2 තිමෝති 2:17, 18) අදදින, සත්‍යයෙන් මුළාව ගොස් ඇති ඇදහිල්ල අත්හරින්නන්, ‘විශ්වාස වූ නුවණ ඇති දාසයාව’ වාචික ප්‍රහාරයකට ලක් කරන අතර, ඔවුන් ඇත්තෙන්ම කරමින් සිටින්නේ, ආත්මික වශයෙන් ඔවුන්ට කන්න දුන්න අත හපා කෑමයි. “මාගේ ස්වාමියා ප්‍රමාදවන්නේයයි” ව්‍යංගයෙන් කියමින්, ඇතමුන් “නපුරු දාසයා” මෙන් කටයුතු කරයි. (මතෙව් 24:44-49; 2 තිමෝති 4:14, 15) මෙම දුෂ්ට දේවල පිළිවෙළේ අවසානය ළඟ බව ඔවුන් පිළිනොගන්නා අතරතුර, යෙහෝවාගේ සෙනඟ අතර හදිසිතාවේ හැඟීමක් පවත්වාගනිමින් ආත්මික වශයෙන් අවදිව සිටින දාස පංතියව විවේචනයට ලක් කරයි. (යෙසායා 1:3) ඇදහිල්ල අත්හළ මෙවන් පුද්ගලයන්, ‘සමහරුන්ගේ ඇදහිල්ල පෙරළීමට’ සමත් වන අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් එම අයගේ ආත්මික නැව බිඳීයයි.—2 තිමෝති 2:18.
8. තම ඇදහිල්ල නමැති නැව බිඳගැනීමට ඇතමුන්ට හේතු වී තිබෙන්නේ කුමක්ද?
8 වෙනත් කැප වූ ක්‍රිස්තියානීන් තම ඇදහිල්ල නමැති නැව බිඳගෙන තිබෙන්නේ තම හෘදයසාක්ෂිය අත්හැර දමා, මෙම ලෝකයෙහි සීමාන්තික සැපසෙල්ලමට සහ ලිංගික දුරාචාරයට ඇදවැටෙමිනුයි. (2 පේතෘස් 2:20-22) තවත් සමහරු තම නැව බිඳගන්නේ ඔවුන්ගේ මතයට අනුව දේවල නව පිළිවෙළ නමැති වරාය තවමත් ක්ෂිතිජයෙහි දිස් වී නැති නිසයි. ඇතැම් බයිබල් අනාවැකිවල ඉටුවීමේ කාලය ගණනය කරන්න බැරි නිසාත්, ඔවුන්ගේ මනසින් ‘යෙහෝවාගේ දවස’ කල් දමන නිසාත්, ඔවුන් සැබෑ නමස්කාරය අත්හැර දමනවා. (2 පේතෘස් 3:10-13; 1 පේතෘස් 1:9) වැඩි කලක් යන්න මත්තෙන් මෙම වර්තමාන දේවල පිළිවෙළෙහි අඳුරු, කැලඹිලි සහිත මුහුදෙහි ඔවුන් අසරණ වෙනවා. (යෙසායා 17:12, 13; 57:20) දෙවිගේ සංවිධානය අත්හැර ගොස් ඇති සමහර අය එය සැබෑ ආගම බව තවමත් විශ්වාස කළත්, යෙහෝවා දෙවි පොරොන්දු වී ඇති නව ලොව එන තෙක් බලා සිටීමට තරම් ඉවසීම සහ විඳදරාගැනීම ඔවුන්ට නැති බව පැහැදිලියි. ඔවුන්ට ඕනෑ විදිහට පාරාදීසයේ ජීවිතය ඉක්මනින් පැමිණ නැහැ.
9. කැප වූ ක්‍රිස්තියානීන් කිහිපදෙනෙකු කුමක් කරමින් සිටීද? මෙම කාරණා අපට මඟ පෑදිය යුත්තේ කුමක් සලකා බැලීමටද?
9 ලෝකයේ ඇතැම් ප්‍රදේශවල සිටින කැප වූ ක්‍රිස්තියානීන් තම ඇදහිල්ල නමැති නැවේ රුවල් බා තිබෙනවා. නැව තවමත් පාවෙනවා. හැබැයි පූර්ණ ඇදහිල්ලෙන් යුතුව ඉදිරියට ඇදී යනවා වෙනුවට, ඔවුන් තම වේගය අඩාල කරගෙන යාත්‍රා කරනවා. “පාරාදීසය ළඟදීම” පැමිණෙයි කියන බලාපොරොත්තුවෙන් පෙලඹී සිටි සමහරුන් එය අත් කරගැනීමට වෙහෙස මහන්සිය නොබලා වෙර දැරුවා. දේශනා සේවයේ ජ්වලිතව නිරත වෙමින්, සියලුම රැස්වීම්, එක්රැස්වීම් සහ සමුළුවලට නිතිපතා යෑමෙන් ඔවුන් එම වෑයම පිළිබිඹු කළා. නමුත් ඔවුන් අපේක්ෂා කළ තරමට වඩා ඔවුන්ගේ බලාපොරොත්තුවල ඉටුවීම දුරස් බව සිතමින්, ඔවුන් දැරීමට කැමති වූ ප්රයත්නය දැන් අඩු කර තිබෙනවා. දේශනා සේවය අඩු කිරීම, රැස්වීම්වලට නිතිපතා නොපැමිණීම සහ එක්රැස්වීම් හෝ සමුළු වැඩසටහන්වල කොටස් අතපසු කිරීම ගැන එතරම් කරදරයකට පත් නොවීමෙන් මෙය ප්රත්යක්ෂ වෙනවා. තවත් සමහරු විනෝදයට සහ ද්‍රව්‍යමය පහසුකම් ලබාගැනීමට වැඩි කාලයක් මිඩංගු කරනවා. මෙම කාරණා හේතුවෙන්, යෙහෝවාට වූ අපගේ කැපවීමට එකඟව, අපගේ ජීවිතයේ ප්‍රධානතම පෙලඹීම කුමක් විය යුතුදැයි අප සලකා බැලිය යුතුයි. ඔහුගේ සේවය තුළ අප පෙන්වන ජ්වලිතය, “පාරාදීසය ළඟදීම” පැමිණෙයි යන බලාපොරොත්තුව මත රඳා පැවතිය යුතුද?
බලාපොරොත්තුව නැංගුරමකට සමානයි
10, 11. පාවුල් අපගේ බලාපොරොත්තුව කුමක් සමඟද සසඳන්නේ? මෙම සැසඳීම යෝග්‍ය වූයේ මන්ද?
10 යෙහෝවා, ආබ්‍රහම් තුළින් ආශීර්වාද පැමිණෙන බවට පොරොන්දුවක් දුන් බව පාවුල් පැහැදිලි කළා. ඊළඟට එම ප්‍රේරිතවරයා මෙසේ පැහැදිලි කළා: “[දෙවි] . . . දිවුරුමකින් මැදහත් [වූයේය]. මෙසේ කළේ [දෙවි] විසින් බොරුකියන්ට බැරිවූ වෙනස් නොවන කාරණා දෙකක් [ඔහුගේ වචනය සහ දිවුරුම] කරණකොටගෙන, අප ඉදිරියේ තබා තිබෙන බලාපොරොත්තුව අල්ලාගැනීමට ආරක්ෂාව පිණිස පලා ආවාවූ අපට මහත් ධෛර්යයක් ලැබෙන පිණිසය. ඒ බලාපොරොත්තුව ආත්මයේ [ප්‍රාණයට, NW] සත්තකවූ, ස්ථිරවූ, . . . නැංගුරමක් මෙන් අපට ඇත්තේය.” (හෙබ්‍රෙව් 6:17-19; උත්පත්ති 22:16-18) ආලේප ලත් ක්‍රිස්තියානීන් ඉදිරියෙහි ඇති බලාපොරොත්තුව නම්, ස්වර්ගයෙහි අමරණීය ජීවිතයක් ලැබීමයි. අදදින, යෙහෝවාගේ සේවකයන්ගෙන් බහුතරයකටම ඇත්තේ පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමේ විශිෂ්ට බලාපොරොත්තුවයි. (ලූක් 23:43) එවැනි බලාපොරොත්තුවක් නොමැතිව, අපට ඇදහිල්ලක් තිබිය නොහැකියි.
11 නැංගුරමක් කියන්නේ නැවක් ගසාගෙන යන්නේ නැතුව ජලය මතුපිට නවත්වා තැබීම පිණිස පාවිච්චි කරන ප්‍රබල ආරක්ෂක උපකරණයකි. කිසිම නාවිකයෙකු නැංගුරමක් නොමැතිව තම නෞකාව යාත්‍රා කරන්නේ නැහැ. පාවුල් ගිය ගමන්වල කිහිප වතාවක්ම නැව බිඳී තිබුණු බැවින්, නාවිකයන්ගේ ජීවිත ඔවුන්ගේ නැව්වල නැංගුරම් මත නිතරම පාහේ රඳා පැවතුණු බව ඔහු තම අද්දැකීමෙන් ඉගෙනගත්තා. (ක්‍රියා 27:29, 39, 40; 2 කොරින්ති 11:25) කපිතාන්වරයාට කැමති දිශාවකට යාත්‍රා කිරීමේ පහසුව සලසා දුන් එන්ජිමක් මුල් සියවසේ නැව්වලට තිබුණේ නැහැ. හබල් යුද නෞකා හැරෙන්න, වෙනත් නැව් ප්‍රධාන වශයෙන් යාත්‍රා කිරීම සඳහා සුළඟ මත රඳා පැවතුණා. පර්වතයක් මත වැදීමේ අන්තරාව ඉස්මතු වුණා නම්, කපිතාන්වරයාට කරන්න තිබුණු එකම විකල්පය වූයේ නැංගුරම්ලා කුණාටුව පහ වී යන තෙක් බලා සිටීමයි. එසේ කළේ නැංගුරම මුහුදු පත්ලට හොඳින් සවි වී තිබේය යන විශ්වාසයෙනුයි. එමනිසා පාවුල් ක්‍රිස්තියානියෙකුගේ බලාපොරොත්තුව ‘ප්‍රාණයට සත්තකවූ, ස්ථිරවූ, නැංගුරමක්’ හා සමාන කළා. (හෙබ්‍රෙව් 6:19) විරුද්ධවාදිකම් නමැති කුණාටු අප හමුවට පැමිණෙන විට, එසේ නැතහොත් වෙනත් පීඩාවන් අද්දකින විට, ජීවමාන ප්‍රාණ වශයෙන් අපව ශක්තිමත්ව තබාගන්නේ නැංගුරමක් මෙන් ක්‍රියා කරන අපගේ විශිෂ්ට බලාපොරොත්තුවයි. එමනිසා අපගේ ඇදහිල්ල නමැති නැව අනතුරු සහිත සැකයේ වැලි කණ්ඩි මතට හෝ ඇදහිල්ල අත්හැර යෑමේ භයානක පර්වත මතට ගසාගෙන යන්නේ නැහැ.—හෙබ්‍රෙව් 2:1; යූද් 8-13.
12. යෙහෝවාගෙන් ඉවත්ව යෑමෙන් වැළකීමට අපට පුළුවන් වන්නේ කෙසේද?
12 පාවුල් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට මෙසේ අනතුරු ඇඟෙව්වා: “සහෝදරයෙනි, ජීවමාන [දෙවි] කෙරෙන් අහක්ව යන්නාවූ නොඇදහිලිකාර නපුරු සිතක් [හෘදයක්, NW] නුඹලා අතරෙන් කිසිවෙකු තුළ නොතිබෙන හැටියට බලාගන්න.” (හෙබ්‍රෙව් 3:12) ග්‍රීක් පාඨයේ, ‘අහක්ව යෑම’ යන්නෙහි පදගතාර්ථ තේරුම “ඉවත්ව සිටීමයි,” එනම් ඇදහිල්ල අත්හැර යෑමයි. කොහොම නමුත් එයාකාරයෙන්ම අපගේ නැව සහමුලින්ම බිඳී යෑම අපට වළක්වාගන්න පුළුවන්. පරීක්ෂා නමැති වඩාත්ම දරුණු කුණාටු ඉදිරියෙහි පවා යෙහෝවාට ඇලී සිටින්න ඇදහිල්ල සහ බලාපොරොත්තුව අපට උපකාර කරනවා. (ද්විතීය කථාව 4:4; 30:19, 20) ඇදහිල්ල අත්හළ ඉගැන්වීම් නමැති සුළඟින්, අපගේ ඇදහිල්ල ඈත මෑත වීසි වෙන නැවක් බවට පත් නොවේවි. (එපීස 4:12, 14) තවද නැංගුරමක් මෙන් ක්‍රියා කරන බලාපොරොත්තුව ඇතුව, යෙහෝවාගේ සේවකයන් වශයෙන් අපට මුහුණ දෙන්න සිදු වන කුණාටුවලට මුහුණ දෙන්න අපට හැකි වෙයි.
අපව පොලඹවන ප්‍රේමය සහ ශුද්ධාත්මය
13, 14. (අ) අපගේ බලාපොරොත්තුව නමැති නැංගුරම පමණක්ම ප්‍රමාණවත් නොවන්නේ මන්ද? (ආ) යෙහෝවාට පරිශුද්ධ සේවය පිරිනැමීමේදී අපව පොලඹවන බලය කුමක් විය යුතුද? ඒ මන්ද?
13 යෙහෝවාට සේවය කිරීමේ එකම චේතනාව පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව නම්, ක්‍රිස්තියානියෙකු නව පිළිවෙළ දක්වා ප්‍රගතියක් ලබන්න යන්නේ නැහැ. තම බලාපොරොත්තුව නමැති නැංගුරම තම ජීවිතයෙහි ස්ථාවරත්වයක් ගෙන දෙන සාධකය හැටියට තැබුවද, එයට මෙන්ම ඔහුගේ ඇදහිල්ලට ප්‍රේමය නමැති පොලඹවනසුලු බලය එකතු කළ යුතුයි. “පවතින්නේ ඇදහිල්ල, බලාපොරොත්තුව, ප්‍රේමය යන මේ තුනය; මෙයින් ඉතා උතුම් එක නම් ප්‍රේමයය” යනුවෙන් ලියූ විට පාවුල් මෙම කාරණය අවධාරණය කළා.—1 කොරින්ති 13:13.
14 පරිශුද්ධ සේවය පිරිනැමීමේදී අපව පොලඹවන බලය විය යුත්තේ අප වෙනුවෙන් යෙහෝවා දක්වා ඇති අපරිමිත ප්‍රේමයට ප්‍රතිචාරයක් වශයෙන් ඔහුට හෘදයාංගම ප්‍රේමය දැක්වීමයි. ප්‍රේරිත යොහන් මෙසේ ලිව්වා: “ප්‍රේම නොකරන්නා [දෙවිව] නාඳුනයි; මක්නිසාද [දෙවි] ප්‍රේමයය. අප කෙරෙහි තිබෙන [දෙවිගේ] ප්‍රේමය ප්‍රකාශ කරනු ලැබුවේ [දෙවි] ස්වකීය ඒකජාතක [පුත්‍රයා] කරණකොටගෙන අප ජීවත්වන පිණිස [ඔහුව] ලෝකයට එවූ කාරණයෙන්ය. අප ප්‍රේමකරන්නේ [ඔහු] පළමුකොට අපට ප්‍රේමකළ නිසාය.” (1 යොහන් 4:8, 9, 19) යෙහෝවා කෙරෙහි තිබෙන කෘතඥතාවේ ප්‍රතිඵලයක් වශයෙන්, අපගේ සැලකිල්ල මූලිකව යොමු විය යුත්තේ අපගේම ගැළවීම අත් කරගැනීම මත නොව, නමුත් යෙහෝවාගේ ශුද්ධ නාමය විශුද්ධ වීම සහ ඔහුගේ ධර්මිෂ්ඨ පරමාධිපත්‍යය නිදොස් වීම සිදු වෙනවා දැකීම මතයි.
15. යෙහෝවා සඳහා අපගේ ප්‍රේමය ඔහුගේ පරමාධිපත්‍යය හා සම්බන්ධ ප්‍රශ්නයට නෑකම් කියන්නේ කෙසේද?
15 යෙහෝවාට ඕනෑ වන්නේ අප පාරාදීසය නිසා නොව, ඔහුට ප්‍රේම කරන නිසා සේවය කරනවා දැකීමටයි. ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධියa (ඉංග්‍රීසියෙන්) නමැති බයිබල් විශ්වකෝෂය මෙසේ පවසයි: “තම පරමාධිපත්‍යයත්, තම මැවිල්ල එයට දක්වන සහයෝගයත් මූලිකවම පදනම්ව ඇත්තේ ප්‍රේමය මතය යන කාරණය හේතුවෙන් යෙහෝවා ප්‍රීති වෙයි. ඔහු පිළිගන්නේ තම කදිම ගුණාංග නිසාත් තම පරමාධිපත්‍යයේ ධර්මිෂ්ඨකම නිසාත් ඊට ප්‍රේම කරන, තම පරමාධිපත්‍යය අන් සියල්ලටම වඩා ඉහළින් සලකන අයව පමණයි. (1 කොරි 2:9) ස්වාධීනව සිටීමට උත්සාහ කරනවා වෙනුවට ඔහුගේ පරමාධිපත්‍යය යටතේ සිටීමට ඔවුන් තීරණය කරනවා. මෙසේ කරන්නේ, තම ප්‍රේමය, යුක්තිය හා ප්‍රඥාවට වඩා බෙහෙවින් වැඩි බවට ඔවුන් සම්පූර්ණයෙන්ම පිළිගන්නා ඔහුගේ ප්‍රේමය, යුක්තිය හා ප්‍රඥාව ගැනත්, ඔහු ගැනත් ඔවුන් සතු දැනුම හේතුකොටගෙනයි. (ගීතා 84:10, 11)”—2 වෙළුම 275 පිටුව.
16. යේසුස් සඳහා ප්‍රේමය අපගේ ජීවිතවල පොලඹවනසුලු බලයක් වන්නේ කෙසේද?
16 ක්‍රිස්තියානීන් වශයෙන්, යේසුස් අපට දැක්වූ ප්‍රේමයට ප්‍රතිචාරයක් වශයෙන් අපද ඔහුට ප්‍රේමය පෙන්වනවා. පාවුල් මෙසේ තර්ක කළා: “මක්නිසාද [ක්‍රිස්තුස්ගේ] ප්‍රේමය අප කෙරෙහි බලපවත්වන්නේය; එසේය, එක් කෙනෙක් සියල්ලන් වෙනුවට මැරුණේය කියාත්, එබැවින් සියල්ලෝම මැරුණෝය කියාත්, [ඔහු] සියල්ලන් වෙනුවට මැරුණේ, ජීවත්වන්නන් තවත් තමුන් උදෙසා ජීවත් නොවී, ඔවුන් වෙනුවට මැරී නැවත නැගුටුණාවූ [තැනැත්තා] උදෙසා ජීවත්වන පිණිසය.” (2 කොරින්ති 5:14, 15) අපගේ ආත්මික ජීවිත, අපගේ ඇදහිල්ල, අපගේ බලාපොරොත්තුව ගොඩනඟා ඇති අත්තිවාරම වනාහි ක්‍රිස්තුස්ය. ක්‍රිස්තුස් යේසුස් සඳහා අපගේ ප්‍රේමය අපගේ බලාපොරොත්තුව දීප්තිමත් කර, විශේෂයෙන්ම කුණාටු බඳු පරීක්ෂා හමුවේ අපගේ ඇදහිල්ල ශක්තිමත් කරයි.—1 කොරින්ති 3:11; කොලොස්සි 1:23; 2:6, 7.
17. යෙහෝවා අපට සපයන්නේ කුමන ක්‍රියාකාරි බලයද? එහි වැදගත්කම ක්‍රියා 1:8හි සහ එපීස 3:16, 19හි පෙන්වා ඇත්තේ කෙසේද?
17 ක්‍රිස්තියානීන් වශයෙන් අපගේ ජීවිතයේ ප්‍රධානතම පොලඹවන බලය දෙවි සහ ක්‍රිස්තුස් සඳහා වූ අපගේ ප්‍රේමය වුවත්, යෙහෝවා අපව පොලඹවන, අපව පණගන්වන, තම සේවයෙහි ඉදිරියටම යන්න අපට ශක්තිය සපයන වෙනත් යමක් සපයනවා. එය නම් ඔහුගේ ක්‍රියාකාරි බලය නොහොත් ශුද්ධාත්මයයි. “ආත්මය” ලෙස පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් සහ ග්‍රීක් වචනවල මූලික තේරුම, සුළඟ වැනි, වාතයේ දකින බලයක් බඳු චලනයකට යොමු දක්වනවා. පාවුල් ගමන් කළ රුවල් නැව් ගමනාන්තය කරා යෑමට අදෘශ්‍යමාන සුළඟේ බලය මත රඳා සිටියා. ඒ හා සමානව, අපගේ ඇදහිල්ල නමැති නැව මගින් යෙහෝවාගේ සේවය තුළ දිගටම ඉදිරියට ඇදී යන්න නම්, අපට ප්‍රේමය මෙන්ම දෙවිගේ අදෘශ්‍යමාන ක්‍රියාකාරි බලයේ ක්‍රියාකාරිත්වය අවශ්‍යයි.—ක්‍රියා 1:8; එපීස 3:16, 19.
අපගේ ගමනාන්තය වෙතට!
18. අපගේ ඇදහිල්ලට අනාගතයේදී එල්ල විය හැකි ඕනෑම පරීක්ෂණයක් විඳදරාගන්න අපට උපකාරවත් වන්නේ කුමක්ද?
18 අප දේවල නව පිළිවෙළ කරා එළඹීමට කලින් අපගේ ඇදහිල්ල සහ ප්‍රේමය තියුණු පරීක්ෂණයකට භාජන විය හැකියි. එනමුත් යෙහෝවා අපට “සත්තකවූ, ස්ථිරවූ” නැංගුරමක්, එනම් අපගේ විශිෂ්ට බලාපොරොත්තුව අපට සපයා ඇත. (හෙබ්‍රෙව් 6:19; රෝම 15:4, 13) විරුද්ධවාදිකම් හෝ වෙනත් පීඩාවලින් අප පහර ලබන විට, අපගේ බලාපොරොත්තුව ශක්තිමත් නැංගුරමක් සේ කටයුතු කරනවා නම් අපට විඳදරාගත හැකියි. එක කුණාටුවක් නිසල වී තවත් එකක් ඇරඹෙන්න කලින්, අපගේ බලාපොරොත්තුව ස්ථිර කරන්නත්, ඇදහිල්ල ශක්තිමත් කරන්නත් අපි අදිටන් කරගනිමු.
19. අපගේ ඇදහිල්ල නමැති නැව නිසි ගමන් මාර්ගයෙහි තබාගනිමින්, දෙවිගේ නව ලොව නමැති වරාය කරා ගෙන යෑමට අපට හැකි වන්නේ කෙසේද?
19 ‘ප්‍රාණයට නැංගුරම’ ගැන සඳහන් කරන්න කලින්, පාවුල් මෙසේ පැවසුවා: “නුඹලාගෙන් එකිනෙකා අන්තිම දක්වා බලාපොරොත්තුවේ නිසැකකම සඳහා එම උත්සාහවන්තකම [“වේගය වැඩි කිරීම” NW පාදසටහන] පෙන්වනවාට අපි ආශා ඇත්තෙමුව. ඒ වනාහි නුඹලා අලස නොවී, ඇදහිල්ලද ඉවසිලිවන්තකමද කරණකොටගෙන පොරොන්දු උරුමකරගන සිටින්නන්ගේ අඩිපාරේ යන්නන් වෙන පිණිසය.” (හෙබ්‍රෙව් 6:11, 12) යෙහෝවා සහ ඔහුගේ පුත්‍රයා සඳහා ප්‍රේමයෙන් පෙලඹී, ශුද්ධාත්මයෙන් බලවත්ව, දෙවිගේ පොරොන්දු නව ලොව නමැති වරාය කරා යන තෙක් අපගේ ඇදහිල්ල නමැති නැව නිසි ගමන් මාර්ගයෙහි තබාගැනීමට උත්සාහ කරමු.
[පාදසටහන]
a Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිතයි.
පුනරීක්ෂණය
◻ පාවුල් අපගේ ඇදහිල්ල සම්බන්ධව දුන්නේ කිනම් අනතුරු ඇඟවීමද?
◻ ඇතමුන් ආත්මික වශයෙන් නැව බිඳගෙන ඇත්තේ කෙසේද? වෙනත් අය මන්දගාමී වන්නේ කෙසේද?
◻ අපගේ ඇදහිල්ලට මුසු කළ යුත්තේ කිනම් දිව්‍ය ගුණාංගයද?
◻ දෙවිගේ පොරොන්දු වූ නව ලොව නමැති වරාය කරා ඒමට අපට කුමක් ඉවහල් වේවිද?
[16වන පිටුවේ පින්තූරය]
ජීවිතයේ කුණාටුවලට ඔරොත්තු දෙන්න අපගේ ඇදහිල්ල නමැති නැව හොඳින් තැනිය යුතුයි
[17වන පිටුවේ පින්තූරය]
අපගේ ඇදහිල්ල නමැති නැව බිඳී යා හැකියි
[18වන පිටුවේ පින්තූරය]
ක්‍රිස්තියානීන් වශයෙන් අපගේ ජීවිතයට නැංගුරමක් සේ කටයුතු කරන්නේ බලාපොරොත්තුවයි