2000 නව පිටුවක් පෙරළයිද?
වසර 2000 සම්බන්ධයෙන් යම් විශේෂත්වයක් තිබෙනවාද? බටහිර රටවල වෙසෙන ජනයා සාමාන්‍යයෙන් එය සලකන්නේ තුන්වන සහස්‍රයේ පළමු වසර හැටියටයි. එය උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට බොහෝ විසිතුරු දේවල් සූදානම් කෙරෙමින් තිබෙනවා. නව සහස්‍රය උදා වන තෙක් ගෙවී යන තත්පර ගණන සටහන් කිරීමට යෝධ විද්‍යුත් ඔරලෝසු සවි කෙරේ. නව වසරට පා තැබීමට පෙර දා රාත්‍රිය සඳහා ප්‍රිය සම්භාෂණ උත්සව සැලසුම් කරමින් සිටියි. සහස්‍රයේ-අවසානය කියා සඳහන් වන ටී-ෂර්ට්, කුඩා සාප්පුවල මෙන්ම සුපිරි වෙළඳසැල්වලත් විකිණීම සඳහා ගොඩ ගැසෙයි.
ලොකු පොඩි හැම පල්ලියක්ම වසර පුරා දිවෙන උත්සවවලට සහභාගි වනු ඇත. රෝමානු කතෝලිකයන් වෙනුවෙන් සංවිධානය කර ඇති “රෝමානු කතෝලික පල්ලියේ සහස්ර ජුබිලිය” වශයෙන් හඳුන්වන “උත්සවය” ආරම්භ කිරීම සඳහා IIවන ජුවාම් පාවුලු පාප් ලබන වසරේ මුලදී ඊශ්‍රායෙල් වෙත යෑමට නියමිතයි. භක්තිවන්තයන් මෙන්ම කුතුහලයෙන් සිටින්නන් මිලියන දෙකහමාරක් හා මිලියන හයක් අතර සංචාරක පිරිසක් ලබන වසරේ ඊශ්‍රායෙල් වෙත යෑමට සැලසුම් කරන බවට ගණන් බලා තිබේ.
මේ තරම් ජනකායක් ඊශ්රායෙලයට යෑමට සැලසුම් කරන්නේ මන්ද? පාප් වෙනුවෙන් කතා කරමින්, වතිකානු නිලධාරියෙක් වන රොජර් කාර්දිනල් ඒචගරි මෙසේ පැවසුවා: “වසර 2000, ක්‍රිස්තුස්ව හා ඔහු මේ දේශයෙහි ගත කළ ජීවිතය උත්සවාකාරයෙන් සැමරීමක්. ඒ නිසා පාප් මෙහෙ එන එක සාධාරණ දෙයක් කියලා අපි හිතනවා.” වසර 2000 ක්‍රිස්තුස්ට සම්බන්ධ වී තිබෙන්නේ කෙසේද? වසර 2000 ක්‍රිස්තුස්ගේ උත්පත්තියේ සිට හරියටම අවුරුදු 2,000ක් ලකුණු කරන බව පොදුවේ සිතන දෙයක්. නමුත් එය එසේ වෙනවාද? අපි බලමු.
සමහර ආගමික කණ්ඩායම්වල සාමාජිකයන්ට වසර 2000 ඊටත් වඩා වැදගත්. ලබන වසරේදී පමණ යේසුස් නැවතත් ඔලීව කන්දට පැමිණ, එළිදරව් පොතේ පවසා ඇති අර්මගෙදොන් යුද්ධයේ හවුල් වෙමින් මෙගිද්දෝ මිටියාවතේ සටන් කරයි කියා ඔවුන් ඒත්තුගෙන සිටිනවා. (එළිදරව් 16:14-16) මේ සිද්ධීන් ගැන බලාපොරොත්තුවෙන් එ.ජ. වැසියන් සියගණනක් තම නිවෙස් හා තමන් සතු දේවලින් වැඩිහරියක් විකුණමින්, ඊශ්‍රායෙල්හි පදිංචියට යනවා. තම නිවෙස් අත්හැරිය නොහැකි අයගේ ප්‍රයෝජනය තකා, එ.ජ. ප්රමුඛ පෙළේ එවැන්ජලිස්තවරයෙක් යේසුස්ගේ නැවත පැමිණීම රූපවාහිනියෙන් වර්ණවත්ව පෙන්වීමට පොරොන්දු වී ඇති බවට වාර්තා වී තිබෙනවා!
බටහිර රටවල, තුන්වන සහස්‍රය ඇරඹීම සඳහා කඩිනමින් සැලසුම් යොදමින් සිටිනවා. කෙසේවුවත්, වෙනත් රටවල ජනයා සිටින්නේ තමන්ගේ සාමාන්‍ය කටයුතුවල නිරත වෙමිනුයි. ලෝක ජනගහනයෙන් වැඩි කොටසක් වන මෙම ජනයා, නාසරෙත්හි යේසුස්ව මෙසියස් හැටියට විශ්වාස කරන්නේ නැහැ. ඒ විතරක් නොවේ, ඔවුන් ක්‍රි.පූ. හා ක්‍රි.ව. නමැති දවස් ගණින ක්‍රමය පිළිගන්නෙත් නැහැ.a උදාහරණයක් වශයෙන්, බොහෝ මුස්ලිම් ජාතිකයන් ඔවුන්ගේම දිනදර්ශනය යොදාගන්නා අතර, ඒ අනුව ලබන වසර 2000 නොව 1420 වනු ඇත. මෙකා සිට මෙඩිනාවලට ප්‍රොපේත මහම්මත් පලාගිය දවසේ සිටයි මුස්ලිම් ජාතිකයන් අවුරුදු ගණන් කරන්නේ. සමස්තයක් වශයෙන් ගත් කල, ලොව පුරා ජනයා විවිධ දිනදර්ශන 40ක් පමණ භාවිත කරනවා.
වසර 2000න් ක්‍රිස්තියානීන්ට යමක් අර්ථවත් වෙනවාද? වසර 2000 ජනවාරි 1වනදා ඇත්තෙන්ම විශේෂ දවසක්ද? ඊළඟ ලිපියෙහි මෙම ප්‍රශ්නවලට උත්තර සපයනු ඇත.
[පාදසටහන]
a ක්‍රිස්තු පූර්ව හා ක්‍රිස්තු වර්ෂ (ක්‍රි.පූ.-ක්‍රි.ව.) වශයෙන් දවස් ගණින ක්‍රමයේදී, යේසුස්ගේ උපතට පෙර සම්ප්‍රදායානුකූල කාලයේදී සිදු වුණ සිද්ධීන් ගණන් ගන්නේ “ක්‍රි.පූ.” වර්ෂ (ක්‍රිස්තු පූර්ව) වශයෙන්; ඊට පසු සිදු වුණ ඒවා “ක්‍රි.ව.” වර්ෂ (ක්‍රිස්තු වර්ෂ—“අපගේ ස්වාමීන්ගේ වර්ෂයේ”) වශයෙන් නම් කර තිබෙනවා. කෙසේවුවත්, සමහර දැන උගත් ප්‍රවීණයන් “පො.යු.පෙ.” (අපේ පොදු යුගයට පෙර) හා “පො.යු.” (අපේ පොදු යුගයේ) යන ආගමික නොවූ නම් භාවිත කිරීමට කැමැත්තක් දක්වනවා.