වසර 2000—පරිගණකවල ඇණහිටීම් ඔබට බලපානු ඇද්ද?
පරිගණකය දසුනට අවතීර්ණ වීමත් සමඟ, එය විදුලිය යොදාගැනීමට පටන් ගත්දා සිට මිනිසා බිහි කළ ශ්‍රේෂ්ඨතම නිර්මාණය ලෙස හැඳින්වූ බව සඳහන් වෙයි. එදා සිට ශතක ගණනාවක් ගෙවී ගොස් ඇති අතර, පරිගණක නොමැතිව මෙතරම් කාලයක් කටයුතු කළේ කෙසේදැයි බොහෝදෙනෙක් දැන් කල්පනා කරයි. ඔබ මේ දැන් කියවන සඟරාව පවා සූදානම් කළේ පරිගණකයේ ආධාරයෙනි. ගබඩා කරගත් තොරතුරු මතකයේ තබාගෙන ඒවා ක්ෂණිකව ලබා දීමේ හැකියාව පරිගණකවලට ඇත. ආහ්හ්හ්! අසිරිමත් පරිගණකය! එය කොතරම් කදිම මෙවලමක්ද! ඒවා නැතුව ලොව කුමක් කරයිද?
ලෝකයේ නවීකරණය වූ පෙදෙස්වල, මිනිසුන්ගේ ජීවිතයේ සෑම අංගයක්ම පාහේ පරිගණක මගින් බලපෑම් ලබා ඇත. ඔබ විශ්‍රාම ආදායම, රජයෙන් ලැබෙන ආදායම් චෙක්පත්, බදු වන්දි හා රක්ෂණ වන්දි යනාදිය මත යැපෙයි නම්, ඒවා ලැබීම රඳා පවතින්නේ පරිගණක මතයි. ඔබ වෘත්තියක නියැලෙන්නෙක් නම්, බොහෝදුරට ඔබේ වේතනය පවා පරිගණකගත කොට ඇත. බැංකු ආයතනවල තැන්පත් කරනු ලබන මුදල් ගැන මෙන්ම බැංකුවෙන් ගෙවන පොලිය සම්බන්ධයෙන්ද පරිගණක වාර්තා තබාගනියි. නූතන නිවෙස්වල ඇති විදුලි ජනක හා ජලශෝධක යන්ත්‍ර වැනි ඒවා එය මගින් පාලනය වෙයි. සෞඛ්‍ය ගැටලු නිර්ණය කිරීමේදී හා ජීවිත බේරාගැනීමේදී වෛද්‍යවරුන්ට, චිකිත්සකාගාර හා රෝහල්වලට ඒවා මහෝපකාරි වෙයි. කාලගුණ තත්වයන් මැන බැලීමට හා ගුවනේදී ගුවන් යානා එකිනෙක ගැටීමෙන් වළකාලීමටද පරිගණක යොදාගැනෙයි.
ඒවා කොතරම් බුද්ධිමත්ද?
පරිගණක ඒවා ක්‍රමලේඛගත කරන මිනිසුන්ට වඩා බුද්ධිමත් නොවේ. පරිගණකයක් ගැටලු විසඳන්නේ ඒවාට උපදෙස් දී ඇති ආකාරයට පමණි. එයට හොඳ තීරණ ගැනීමට සහජ හැකියාවක් නැත. එයට වැරදුණු විට, එයින් හෙළි කරන්නේ ඒවා ක්‍රමලේඛගත කළ හෝ වින්‍යාස කළ මිනිසුන්ගේ අසම්පූර්ණත්වය පමණයි. එය නිවැරදි වූ විට, මනුෂ්‍යයා ඒ සඳහා ගෞරවය ලබයි. මනුෂ්‍යයාට වඩා ඉක්මනින් පරිගණකය කාර්යයන් ඉටු කළත්, මිනිසා පිළිතුරු ලබාගැනීමේ ක්‍රමය එයට සපයා නැතිනම් ගැටලුවකට උත්තරයක් සපයන්න එයට නොහැකියි.
උදාහරණයක් හැටියට, 50 හා 60 ගණන්වල ඇතැම් පරිගණකයන් ක්‍රමලේඛගත කළ කාලයේදී මිනිසා එතරම් දුරදිග බලා වැඩ කළේ නැහැ. පරිගණක මතකය එකල මිල අධික වූ නිසා, මතකයේ තොරතුරු ගබඩා කළ හැකි විවිධ ක්‍රම ක්‍රමලේඛගත කරන්නන් සොයා බැලුවා. පරිගණකයක සෑම අකුරක් හෝ ඉලක්කමක් සඳහාම ඉඩ අවශ්‍ය වේ. එහෙයින් දත්ත රැස් කිරීමේදී ඉඩ කඩ රැකගැනීම සඳහා මුල් ක්‍රමලේඛගත කරන්නන්, කෙටි කේතයක් නැතිනම් සංකේතයක් ඇති කළා; එයින් අවුරුද්දේ පළමුවන ඉලක්කම් දෙක කපාහරිනු ලැබුවා. උදාහරණයක් හැටියට, වර්ෂ 1965 “65” හැටියටද, 1985 “85” ලෙසටද, 1999 “99” හැටියටද දිගටම ගෙන ගියා. දිනවල මුද්‍රිත පිටපතක් ලබාගැනීමේදී “85” ඉදිරියෙන් “19” එකතු කර 1985 ලබාගැනීම සරල කාර්යයක් වූවා. පසුගිය දශක කිහිපය පුරා, මෙම කෙටි මඟ යොදාගනිමින් ක්‍රමලේඛ මිලියන ගණනක් සකසා ඇත. විසිඑක්වන සියවසේ ආරම්භය දක්වාම තම ක්‍රමලේඛයන් භාවිතයේ තිබෙනු ඇතැයි ඔවුන් නොසිතූ නිසා, හානි රහිතයයි පෙනෙන්ට ඇති මෙම කෙටි මඟට බරපතළ ප්‍රතිවිපාක තිබෙන බව ක්‍රමලේඛගත කරන්නන් වැඩිදෙනෙක් සිතුවේ නැහැ. කොහොම වුණත්, මෙම කෙටි මඟ යොදාගැනෙන ක්‍රමලේඛයන් ගණනාවක් තවමත් භාවිතයේ ඇති අතර, එය වසර 2000 යන්න “00” හැටියට යොදනු ඇත.
නමුත් කාරණය වන්නේ, “00” යන්න සමහර පරිගණක තේරුම්ගනු ඇත්තේ 1900 හැටියටයි. උදාහරණයක් වශයෙන්, වර්ෂ 1999 පටන්ගන්නා පස් අවුරුදු ණයක් පරිගණකයක් ගණනය කරද්දී, එහි අවසාන ගෙවීම 1904දී කරනු ඇතැයි නියම කිරීමේදී ඇති වන ව්‍යාකූලත්වයේ තරම සිතන්න! තවත් තත්වයන්වලදී, දින ගණනයන් පරිගණක ක්‍රමලේඛය නැවැත්වීමට හේතු විය හැකි අතර, ඉන්පසුව එහි දෝෂයක් ඇති බව පෙන්නුම් කළ හැක; එසේත් නැතිනම් වඩාත් බැරෑරුම් තත්වයන්වලදී, ක්‍රමලේඛය සම්පූර්ණයෙන්ම ඇණහිටිනු ඇත.
“විදුලියේ සොයාගැනීමට සමාන පෙරළියක් මයික්‍රෝචිපය (Microchip) මගින් ඇති කර තිබුණත්, එහි නිර්මාතෘවරුන් සිතුවාටත් වඩා වැඩි අමාරු තත්වයකටයි අප දැන් පත්ව සිටින්නේ. වර්ෂ 1900 හා 2000 අතර ඇති වෙනස හඳුනාගත නොහැකි පරිගණක පද්ධති හා මයික්රෝචිප ලොව පුරා දක්නට තිබෙනවා. තවද මෙම පද්ධති මොනවාදැයි හඳුනාගෙන ඒවා වෙනසකට ලක් නොකෙරුවොතින්, ලෝක ව්‍යාප්ත ව්‍යසනයකට හේතු වනු ඇතැයි” ටොරොන්ටෝ ස්ටාර් නමැති පුවත්පත සඳහන් කළා.
සමහර ප්‍රවීණයන් පළ කරන අනාවැකි
“මා ඇතුළුව හැමෝම කල්පනා කරන්නේ මෙය කොතරම් බරපතළ දෙයක් වෙයිද කියායි. හැබැයි හරියටම දැනගන්න වෙන්නේ 2000 අලුත් අවුරුද්දේදී නැතිනම් ඊට සති දෙක තුනකට පස්සෙයි” කියා එ.ජ. යූටාහි සෙනෙට් සභික රොබට් බෙනට් පවසා සිටියා. “ආර්ථිකයටත් මිනිසුන්ටත් පුදුමාකාර අන්දමින් අසීරුතාවක් ඇති කරන ප්‍රතිඵල පැනනැඟෙයි . . . කියා කියන්න හොඳ පදනමක් තිබෙනවා” කියා එක්සත් ජනපදයේ ජනාධිපතිගේ සහයකයෙක් සේ කටයුතු කරන තැනැත්තෙක් පැවසුවා.
එක්සත් ජනපද මධ්‍යම රහස් ඔත්තු සේවයෙහි නියෝජිතවරියක් පැවසුවේ මෙසේයි: “බලශක්ති ජාලයේ, සන්නිවේදන හා බැංකු සේවාවේ ඇති විය හැකි ගැටලු සම්බන්ධයෙන් අප ඇත්තෙන්ම සැලකිල්ලෙන් ඉන්නේ.” ලොව දසතින් එන වාර්තාවලට අනුව, පරිගණකයේ දින ගණන් 2000 හා ඉන් ඔබ්බට යෑම හේතුවෙන් දැනටමත් සමහර පරිගණක ගැටලු අද්දැක ඇත.
“ප්රවීණයන්ගේ මතයට අනුව සෞඛ්‍ය අංශයේ තවත් ප්‍රශ්න ඇතිවීම අනිවාර්යයි, මන්දයත් රෝහල්වල හෝ සෞඛ්‍ය සේවා සංවිධානවල රෝගීන්ගේ වියදම් ගණන් බැලීම හා රක්ෂණ වාර්තා වැනි දෑ අනතුරේ තිබෙන නිසා” යයි එ.ජ. පුවත් හා ලෝක වාර්තාව (ඉංග්‍රීසියෙන්) ප්‍රකාශ කළා. “රෝගීන්ව පරීක්ෂා කරන ජෛව වෛද්‍ය මෙවලම් පවා ඇණහිටීමේ අවදානමට ලක්ව ඇත. විදුලි දෙපාර්තමේන්තු මෙම ගැටලුව විසඳීමට දැනටමත් ප්‍රමාද වී ඇති නිසා, ප්‍රාදේශීය වශයෙන් ඇති වන විදුලි බල ඇණහිටීම් තර්ජනයක් විය හැකියි.” මෙම බියකරු හැඟීමම එක් කැනේඩියානු පුවත්පතක් මගින් ප්රතිරාවය කළා: “අපේ ආරෝග්‍ය ශාලා ඇතුළු වෛද්‍ය තාක්ෂණ සියල්ලක්ම රැඳී පවතින්නේ සියල්ලටම උපකාරයක් වන මයික්‍රෝචිපය මතයි; එමනිසා පද්ධතියේ අඩාල වීම මිනිසුන්ව මරණයට පත් කළ හැකියි.” “අප ඉන්න ක්ෂේත්රය නිසා, එය අප සෑම කෙනෙකුටම පුදුමාකාර අයුරින් බලපායි. සමහරක් විට වෙනත් ආයතන ජීවිතයත් මරණයත් අතර ඉන්න තත්වයක නොසිටිනවා වෙන්න පුළුවන්” කියා එක් රෝහල් විධායකයෙක් පැවසුවා.
කොටස් වෙළඳපොළේ බිඳවැටීමක්, කුඩා පරිමාණ ව්‍යාපාරවල අසාර්ථක වීම් හා තැතිගත් තැන්පත්කරුවන් විසින් බැංකු ආයතනවලින් ලහි ලහියේ මුදල් ආපසු ගැනීම, බලාපොරොත්තු සුන් කරගත් බොහෝදෙනෙක් පළ කරන අනාවැකි වේ. එක්සත් ජනපදයේ, ආරක්ෂක උප-ලේකම් ජගත් සහස්ර පරිගණක දෝෂය එල් නීන්ඥෝ කාලගුණ රටාවට සම කරමින් මෙසේ පැවසුවා: “අපි නොසිතන අප්‍රසන්න දේවල් සමහරකට අපිට මුහුණ දෙන්න සිදු වෙයි කියල කියන්න මං මුල් වෙනවා.”
“වර්ෂ 2000 ජනවාරි 1වන දින වන විට, පරිගණක සාදා නොතිබුණොතින්, රුසියාවේ ව්‍යාපාර කෙරෙහි ඇති කරන බලපෑම තැතිගන්වනසුලු එකක්” බව අමෙරිකානු වාණිජ මණ්ඩලයේ සභාපති කියා සිටියා. රොයිටර් පුවත් වාර්තා මෙසේ පවසයි: “ඊළඟ සහස්‍රයේ ඇතිවීමට යන ඛේදවාචක ගැන ජර්මානු ආයතන ඇස් වසාගෙන සිටී; ඉතින් එහි ප්රතිවිපාකය යුරෝපය පුරා ව්‍යසනයක් ඇති කිරීමට ඉඩ කඩ තිබෙනවා.” “එම විවේචනයන්ම ඔස්ට්‍රියාව, ස්විට්සර්ලන්තය, ස්පාඤ්ඤය, ප්‍රංශය හා ඉතාලියටද එක සේ අදාළ කළ හැකි බව” එක් පර්යේෂක අධ්‍යක්ෂකවරයෙක් කියා සිටිනවා.
තායිලන්තයේ ඇති පරිගණක ගැටලුව වෙතට බැංකොක් පෝස්ට්ද අවධානය යොමු කරයි. එහි මෙසේ පැවසේ: “මෙම කලාපයේ දත්ත සැකසුරුවම් කාර්යාල ඊළඟ සහස්‍රය සම්බන්ධයෙන් ද්වන්ද්ව ගැටලුවකට මුහුණපායි. එනම්, තම පරිගණක පද්ධතිවල වසර 2000 (Y2K) ගැටලුව මඟහරවා ගැනීම හා එක්සත් ජාතීන්ගේ තොරතුරු සේවයට එකඟව නව ජන සංගණනයක් සකස් කිරීමයි.” අයර්ලන්තය, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, චීනය, ජපානය, නවසීලන්තය හා හොංකොංද මේ ගැටලුවලටම මුහුණපායි. ඇත්තෙන්ම මෙය විසඳුමක් ඉල්ලා කන්නලව් කරන ජගත් ගැටලුවකි.
පුදුමාකාර වියදමක්
පරිගණක ගැටලු විසඳීමට පුදුමාකාර වූ වියදමක් යන බව සමහර ප්‍රවීණයෝ පවසයි. උදාහරණයක් හැටියට, කළමනාකරණය හා අයවැය පිළිබඳ එ.ජ. කාර්යාලය කියා සිටින්නේ රජයේ ෆෙඩරල් ආණ්ඩුවේ පරිගණකවල දෝෂය ඉවත් කිරීමට පමණක් ඩොලර් බිලියන 4.7ක් වැය වන බවයි. ඩොලර් බිලියන 30ක වියදම වඩා යථාර්ථවාදී ඇස්තමේන්තුවක් වන බව ප්‍රවීණයන්ගෙන් යුත් එක් කණ්ඩායමක් පැවසුවා. ලෝක ව්‍යාප්ත විසඳුමක් සඳහා ගෙවිය යුතු මිල කොපමණද? තැතිගන්වන ලෙස “ඩොලර් බිලියන 600ක් මෘදුකාංග (Software) සැකසීමටත්, සමහරක් සැකසීම් වරදින විට ඇති වන නොවැළැක්විය හැකි නඩුහබවලට ඩොලර් ට්‍රිලියනයක් වැය වන” බවත් නියූ යෝක් පෝස්ට් වාර්තා කරයි. “නඩත්තු කිරීම්වල වියදම, නඩුහබ හා බංකොලොත් වූ ව්‍යාපාරවලට යන වියදම ඩොලර් ට්‍රිලියන 4ක් පමණ” වනු ඇතැයි තවත් ප්‍රවීණයන්ගෙන් යුත් කණ්ඩායමක් කියා සිටියා. “වසර 2000 ගැටලුව මනුෂ්‍ය ඉතිහාසයේ වියදම් අධිකතම ගැටලුව බවට පත් වෙමින් තිබෙන බව” නියූ යෝක් පෝස්ට් ලීවා. “මනුෂ්‍යවර්ගයා මුහුණ දී ඇති විශාලතම, අවදානමින් වැඩිම මෙන්ම වියදම් අධිකතම ව්‍යාපෘතිය මෙය විය හැකි බව” තවත් වාර්තාවක් කියා සිටියා.
මතවල විවිධත්වයක් ඇත
මෙය ඔබට බලපානු ඇත්තේ කොහොමද? ඔබ ජීවත් වන ප්‍රදේශය හා ඔබ කටයුතු කරන ආයතන දරන ප්රයත්නය මත, ඔබ කොයියම් අන්දමකින් හෝ බලනොපාන තත්වයක සිටින්න පුළුවන්. එහෙමත් නැත්නම්, යාන්තමින් අමාරු තත්වයක සිට බොහෝ සෙයින් අසීරු තත්වයක් දක්වා එය බලපෑ හැකියි. තවද මෙය විශේෂයෙන්ම 2000 ජනවාරි 1වනදාට පසු මුල් සතිවල ඇත්තක් විය හැකියි. සෞඛ්‍යාරක්ෂාව සඳහා ඔබ භාවිත කරන උපකරණ යනාදිය වැනි කාරණා සම්බන්ධයෙන් ඔබට ගැටලුවක් ඇත්නම්, එම සේවාව සපයන ආයතනය හෝ ව්‍යාපාරය අමතා, උපකරණය හෝ සේවාව කෙරෙහි එම වර්ෂය කෙබඳු ආකාරයකට බලපෑම් කරයිද කියා අසන්න.
පසුගිය වසර කිහිපය පුරා, වර්ෂ 2000 ගැටලුව සම්බන්ධයෙන් දහසකුත් එකක් අදහස් පළ කොට ඇත. සමහරුන් කියන්නේ ගැටලුව ඉතා බරපතළ එකක් බවයි; තවත් අය කියන්නේ එය උවමනාවට වඩා වැඩියෙන් විශාල කොට දක්වා ඇති බවයි. බැංකු බිඳවැටෙයි කියා චෝදනා කරන අය සිටින මුත්, බැංකු ප්‍රවීණයන් කියන්නේ වසර 2000 වන විට, ගැටලු වැඩි හරියක් විසඳා තිබෙනු ඇති බවයි. “දුරකථන ජාලය මහා ව්‍යසනයකට ළඟා වෙමින් තිබෙන බව කවුරුත් විශ්වාස කරන්නේ නැහැ” කියා එ.ජ. ෆෙඩරල් සන්නිවේදන කොමිසමේ ප්‍රධානියා පවසයි. කොහොම වුණත්, ඔහු පිළිගත්තේ නව ශතවර්ෂය එළඹීමත් සමඟ ගැටලු ඇති වන අතර, ඒවා කරදරකාරි වුණත් විනාශකාරි නොවනු ඇති බවයි. දැනටමත් බොහෝදෙනෙක් පරීක්ෂණාගාර වාතාවරණ යටතේ දින පරීක්ෂණ පවත්වමින් යයි. මෙමගින් බොහෝ ගැටලු මඟහරවා ගැනීමට ඉඩ ඇත. නමුත්, වර්ෂ 2000 ගැටලුව ඇත්තෙන්ම කොතරම් බරපතළදැයි දැනගැනීමට ලෝකයාට දැනට බලා සිටීමට සිදු වනු ඇත.