ජීවිත කතාව
‘හෙට කුමක් වේදැයි ඔබ දන්නේ නැත’
පැවසුවේ හ’බට් ජෙනිංස්
“මම ටෙමා නගරයෙන් ඝානාවේ පිහිටි වොච් ටවර් කාර්යාලයට ආපහු යද්දී, නගරයට යන්න විදිහක් බලමින් පාරේ හිටිය තරුණයෙක්ව ට්‍රක් රථයේ දාගෙන ගියා. යන ගමන් ඔහුට සාක්ෂි දරන්න මම ඒ අවස්ථාව යොදාගත්තා. මම හිතුවේ මම හොඳට සාක්ෂි දැරුවා කියලයි! ඒත්, මේ තරුණයාට බහින්න ඕන වුණ තැනට අපි ආපුවහම ඔහු රථයෙන් බැහැලා දුවන්න පටන්ගත්තා!”
මේ සිද්ධියෙන් මට තේරුණා මොකක්හරි අසාමාන්‍ය දෙයක් මට සිද්ධ වෙනවා කියලා. ඒ ගැන විස්තර කරන්න ඉස්සෙල්ලා කැනේඩියානු ජාතිකයෙක් වූ මම ඝානාවලට ආවේ කොහොමද කියල කියන්නම්.
එදා 1949 දෙසැම්බර් මැදභාගයේ දවසක කැනඩාවේ ටොරොන්ටෝවල උතුරු ප්‍රදේශයක අපි වැඩ කර කර හිටියා. අලුත් නිවසකට ජල මාර්ගයක් සපයලා දෙන්න ඕන වුණු නිසා අපි අයිස්වලින් මිදුණු බිම මීටරයක් විතර යටට හෑරුවා. ඊට පස්සේ සීතලත් මහන්සියත් නිසා අපි ගිනි ගොඩක් වටේට එක් රොක් වෙලා සාමාන්‍යයෙන් අපිව ගෙනියන්න එන ට්‍රක් රථය එනකම් බලාගෙන හිටියා. එහෙම ඉන්නකොට, එකපාරටම ආනල්ඩ් ලෝටන් කියලා එතන හිටපු සේවකයෙක් “යුද්ධ සහ යුද්ධ ප්රවෘත්ති” ගැනත්, “මේ ලෝකයේ අන්තිමය” ගැනත්, මම කවදාවත්ම අහලා තිබුණේ නැති ඒ වගේ තවත් දේවල් ගැනත් කියන්න පටන්ගත්තා. හැමෝම එකපාරටම කතාව නවත්තලා සැකයෙන් වගේ ඔහු දිහා බලන්න පටන්ගත්තා. සමහරුන්ට ඔහු එක්ක කේන්තිත් ගියා. ‘මේ හාදයාට නම් තියෙන්නේ පුදුම නිර්භීතකමක්! කිසිකෙනෙක් අහන්න කැමති නැති වුණත් මෙයා නවත්වන්නේ නැහැ’ කියලා මම ඒ වෙලාවෙ හිතුවා මට මතකයි. නමුත් ඔහු කිව්ව දේවල් මගේ හිතේ තැන්පත් වුණා. මේ වෙනකොට IIවෙනි ලෝක යුද්ධය අවසන් වෙලා වැඩි කලක් ගත වෙලා තිබුණේ නැහැ. මගේ පවුලේ අය ඒ කාලේ ඉඳන්ම හිටපු ක්රිස්ටඩෙල්ෆියන් ආගමෙන් නම් මම කවදාවත් ඒ වගේ දේවල් අහලා තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා, මම ඔහුට ඇහුම්කන් දුන්නේ ලොකු උනන්දුවකිනුයි.
වැඩි කල් යන්න කලින් මම තව තවත් දේවල් දැනගන්න ආනල්ඩ් ළඟට ගියා. ඔහුත්, ඔහුගේ බිරිඳ ජීනුත් මාත් එක්ක කොච්චර ඉවසීමකින් කටයුතු කරන්න ඇද්ද කියලා දැන් මට හිතෙනවා. එතකොට මට අවුරුදු 19යි, කිසි දෙයක් ගැන ඒ තරම් දැනුමකුත් තිබුණේ නැහැ. ආරාධනාවක් නැතුවම මම නිතරම ඒගොල්ලන්ගේ ගෙදරට ගියා ඒගොල්ලෝ එක්ක කතා කරන්න. යම් ප්‍රමිති සහ සදාචාරය සම්බන්ධයෙන් මගේ මනසේ ගොඩ ගැහිලා තිබුණ ළාමක අදහස් නිවැරදි කරගන්න ඒගොල්ලෝ මට උදව් කළා. පාර අයිනේ ගිනි ගොඩ ළඟදී ලබපු ඒ මුල් අද්දැකීමෙන් මාස දහයකට පස්සේ, 1950 ඔක්තෝබර් 22වෙනිදා යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු හැටියට මම බව්තීස්ම වුණා. දැන් ටොරොන්ටෝවල කොටසක් වෙලා තියෙන උතුරු යෝක්වල තිබුණ විලෝඩේල් සභාවටයි මම ගියේ.
සෙසු නමස්කාරකයන් සමඟ ඉදිරියට යමින්
මට අලුත ලැබුණ විශ්වාසය අත්අරින්නේ නෑ කියලා තාත්තා දැනගත්තහම මට ගෙදර ඉන්න ලේසි වුණේ නැහැ. මේ කාලෙදී වාහනයකින් ආපු බීපු මනුස්සයෙක් තාත්තාගේ වාහනේ හප්පලා තිබුණ නිසා නිතරම ඔහුට කේන්ති ගියා. අම්මටයි, මල්ලිලා දෙන්නටයි, නංගිලා දෙන්නටයි මූණ දෙන්න සිද්ධ වුණේ කටුක තත්වයකටයි. බයිබල් සත්‍යය සම්බන්ධයෙනුත් ලොකු කලබගෑනියක් ඇති වුණා. ඉතින් මගේ දෙමාපියන් එක්ක සාමයෙන් ඉන්නත්, ‘සත්‍යතාවේ මාර්ගයේ’ දිගටම යන්නත් ඕන නිසා මම ගෙදරින් යන එක හොඳයි කියලා මට හිතුණා.—2 පේතෘස් 2:2.
වර්ෂ 1951 ග්‍රීෂ්ම ඍතුවේ අගභාගයේදී මම ඇල්බර්ටා කෝල්මන්හි පදිංචි වෙලා එහි තිබුණ පුංචි සභාවකට ගියා. එහි රොස් හන්ට් සහ කීත් රොබින්ස් යන තරුණයන් දෙන්නා පූර්ණ-කාලීන දේශනා සේවයක් වූ ස්ථාවර පුරෝගාමී සේවයේ නිරත වෙලා හිටියා. එම ස්වේච්ඡා දේවසේවයේ යෙදෙන්න කියා ඔවුන් මටත් උනන්දු කළා. වර්ෂ 1952 මාර්තු 1වෙනිදා මමත් ස්ථාවර පුරෝගාමී සේවයට එක් වුණා.
මට ලැබුණ දිරිගැන්වීම ගැන මම මතක් කරන්නේ හරිම ආසාවකින්. මට හුඟක් දේවල් ඉගෙනගන්න තිබුණා. ඒ සඳහා සුදුසුම දේ වුණේ පුරෝගාමී සේවයේ යෙදීමයි. ඇල්බර්ටාවල ලෙත්බ්‍රිජ් සභාවේ අවුරුද්දක් විතර පුරෝගාමී සේවයේ යෙදුණට පස්සේ, සංචාරක අවේක්ෂකයෙකු හැටියට සේවය භාරගන්න කියලා, මම හිතුවෙත් නැති විදිහට මට ආරාධනාවක් ලැබුණා. මට භාර වෙලා තිබුණේ, කැනඩාවේ නැඟෙනහිර වෙරළ තීරයේ නිව් බ්රන්ස්වික්හි මොන්ග්ටන්වල ඉඳලා ක්විබෙක්හි ගැස්පේ දක්වා විසිර තිබුණ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවල සේවය කරන්නයි.
සත්‍යය තුළ නවකයෙක්ව හා වයස අවුරුදු 24ක්ව හිටිය මට හැඟුණේ, එම සේවයට ප්‍රමාණවත් සුදුසුකමක් මට නැහැ කියලයි. විශේෂයෙන්ම මේරූ සාක්ෂිකරුවන් එක්ක සේවය කරන්න තිබුණ නිසා මට එහෙම හැඟුණා. ඊළඟ මාස කීපයේදී මම ඒ සඳහා අවංක වෑයමක් දැරුවා. එතකොට තවත් පුදුම දෙයක් සිද්ධ වුණා.
ගිලියද් පාසැලට සහ පසුව ගෝල්ඩ් කෝස්ට්වලට
වර්ෂ 1955 සැප්තැම්බර්වලදී, නියූ යෝක්, සවුත් ලාන්සිංහි ශිෂ්‍යයන් සීයක් විතර සහභාගි වන ගිලියද් වොච්ටවර් බයිබල් පාසැලේ 26වන පංතියට සහභාගි වෙන්න මටත් ආරාධනාවක් ලැබුණා. මාස පහක් පුරා ලැබුණ ඒ පුහුණුවයි, අධ්‍යාපනයයි තමයි ඇත්තෙන්ම මට වුවමනා වෙලා තිබුණේ. අමුතුම උද්යෝගයක් තිබුණ ඒ වගේ කණ්ඩායමක් එක්ක ඉන්න ලැබීමෙන් මගේ උද්යෝගයත් දෙගුණ තෙගුණ වුණා. අද දක්වා මගේ ජීවිතයට ආලෝකයක් වෙලා තියෙන තවත් දෙයක් වර්ධනය වෙන්න පටන්ගත්තෙත් මේ කාලයේදීමයි.
මිෂනාරි සේවය සඳහා සූදානම් වෙමින් සිටි ශිෂ්‍යයන් අතර අයිලින් ස්ටබ්ස් කියන තරුණ සහෝදරියත් හිටියා. අයිලින්ව මම දැක්කේ යම් ස්ථාවරත්වයකින් ඉන්න, දේවල් සැහැල්ලුවට නොගෙන උනන්දුවෙන් වැඩ කරන, විනීත මෙන්ම සිනාමුසු මුහුණින් ඉන්න තැනැත්තියක් හැටියටයි. මම ඔයාව බඳින්න කැමතියි කියලා ගොත ගගහා එයාට කිව්වහම මට හිතෙන විදිහට එයා ටිකක් භය වුණා. ඒත් එයා පැනලා දිව්වේ නැහැ! දෙන්නම කතාබහ කරලා එකඟ වුණාට පස්සේ අයිලින් එයාගේ මිෂනාරි පැවරුම භාරගෙන කොස්ටාරිකාවලට ගියා. මම මගේ පැවරුම සඳහා බටහිර අප්‍රිකාවේ ගෝල්ඩ් කෝස්ට්වලට (දැන් ඝානාවට) ගියා.
වර්ෂ 1956 මැයි මාසයේ උදෑසනක මට නියූ යෝක්, බෘක්ලින්වල පිහිටි ගොඩනැඟිල්ලේ දහවන තට්ටුවේ තිබුණ සහෝදර නේදන් නෝර්ගේ කාර්යාලයට යන්න සිද්ධ වුණා. ඒ කාලෙදී වොච් ටවර් සමිතියේ සභාපති වෙලා හිටියේ ඔහුයි. ගෝල්ඩ් කෝස්ට්, ටෝගෝලන්තය (දැන් ටෝගෝ), අයිවරි කෝස්ට් (දැන් කෝටෙ ඩෙ අයිවොරි) ඉහළ වෝල්ටාව (දැන් බ’කිනා ෆාසෝ) සහ ගැම්බියා යන රටවල දේශනා වැඩය අධීක්ෂණය කරන්න මාව ශාඛා සේවක හැටියට පත් කරලා තිබුණා.
සහෝදර නෝර් කිව්ව දේ මට අද වගේ මතකයි. “දැන්මම පැවරුම භාරගන්න ඕනෙ නැහැ. හදිසියක් නැහැ, එහෙ ඉන්න පළපුරුදු සහෝදරයන්ගෙන් ඉගෙනගන්න. ඊට පස්සේ, හරි දැන් මට පුළුවන් කියලා හිතෙනකොට ශාඛා සේවක හැටියට වැඩ භාරගන්න ඕනෙ. . . . මේ ඔයාගේ පත්වීමේ ලිපිය. ඇවිල්ලා දවස් හතකින් වැඩේ භාරගන්න ඕනෙ” කියලා ඔහු කිව්වා.
‘දවස් හතකින්’, ‘එහෙනම් ඇයි “හදිසියක් නැහැ” කිව්වේ’ කියලා මම හිතුවා. මම ඔහුගෙන් සමුගත්තේ අන්දමන්ද වෙලයි.
ඊළඟ දවස් කීපය නොදැනිම ගත වෙලා ගියා. තවත් කල් නොයවා මම ගෝල්ඩ් කෝස්ට් බලා යාත්‍රා කරන බඩු නැවකට නැග්ගා. කෙමෙන් කෙමෙන් සමිතියේ බෘක්ලින් කාර්යාල පසු කරමින් මාව රැගත් නැව ඊස්ට් රිවර් ඔස්සේ දවස් 21ක ගමනක් ඇරඹුවා.
අයිලිනුයි මායි ලිපි හුවමාරු කරගත්තා. අපි ආපහු 1958දී මුණගැහිලා ඒ අවුරුද්දෙම අගෝස්තු 23වෙනිදා විවාහ වුණා. මේ නියම සහකාරිය ලබා දුන්න එක ගැන යෙහෝවාට ස්තුති කරන්න මම කවදාවත් අමතක කරන්නේ නැහැ.
අවුරුදු 19ක් පුරා සෙසු මිෂනාරිවරුන් එක්කත්, සමිතියේ ශාඛා කාර්යාලයේ හිටිය අප්‍රිකානු ජාතික සහෝදර සහෝදරියන් එක්කත් සේවය කිරීමට ලැබුණු වරප්‍රසාදය මම අගය කළා. පුංචි බෙතෙල් පවුල ඒ කාලපරිච්ඡේදයේදී සාමාජිකයන් 25දෙනෙක් දක්වා වැඩි වුණා. ඒ දවස් අපිට අභියෝගාත්මක, වැදගත් සිද්ධීන්ගෙන් පිරි, ඵලදායී දවස් වුණා. ඒත්, මම අවංකවම තවත් දෙයක් කියන්න ඕන. උහුලන්න බැරි රස්නෙත් එක්ක තෙත් දේශගුණය පුද්ගලිකව මට අභියෝගයක් වුණා. මට නිතරම දාඩිය දැම්ම නිසා නිතරම ඇඟේ ඇලෙනසුලු ගතියක් තිබුණා. සමහර වෙලාවට ඒක මට මහ වදයක් වුණා. කොහොමවුණත්, 1956දී ඝානාවල හිටියේ රාජ්‍ය ප්‍රචාරකයන් 6,000කට ටිකක් වැඩියෙන් වුණත්, 1975 වෙද්දී ඒ සංඛ්‍යාව 21,000ක් දක්වා වැඩි වුණහම සේවය කිරීම ඇත්තෙන්ම ප්‍රීතිමත් එකක් වුණා. ඒ වගේම දැන් එහෙ සාක්ෂිකරුවන් 60,000කට වඩා වැඩිදෙනෙක් ක්‍රියාශීලීව ඉන්නවා දැකීම ඇත්තෙන්ම ඊටත් වඩා ප්‍රීතියක්.
අපි නොහිතුව විදිහේ ‘හෙට දවසක්’
වර්ෂ 1970දී, හරියටම නිශ්චය කරගන්න බැරි ලෙඩක් මට හැදුණා. සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂණයක් කළහම, මට “කිසිම ලෙඩක් නැහැ” කියලයි කිව්වේ. එහෙමනම් මට හැම තිස්සෙම අසනීප ගතියක්, විඩාවට පත් වෙන ගතියක්, හරිම අපහසුවක් දැනුණේ ඇයි? මේකට පිළිතුර සොයාගැනීමට දේවල් දෙකක් හේතු වුණා. ඒවා සිද්ධ වුණේ පුදුම විදිහකටයි. ‘හෙට කුමක් වේදැයි ඔබ දන්නේ නැත’ කියා යාකොබ් ලිව්ව දේ ඇත්තම තමයි.—යාකොබ් 4:14, නව අනුවාදය
මුල්ම ඉඟිය අද්දැක්කේ මම එදා වාහනයේ දාගෙන ගිය තරුණයාට සාක්ෂියක් දැරුව අවස්ථාවෙයි. අපි යද්දී, හුස්ම ගන්නවත් ඉඩක් නොතියා, මම තොරතෝංචියක් නැතුව දෙඩෙව්වයි කියන එක මට පොඩ්ඩක්වත් තේරුණේ නැහැ. මේ තරුණයාට බහින්න ඕන වුණ තැනට අපි ආපු ගමන්ම ඔහු ට්‍රක් රථයෙන් බැහැලා දුවන්න පටන්ගත්තහම මට පුදුම හිතුණා. මොකද ඝානා ජාතිකයන්ගෙන් වැඩිදෙනෙක් සාමාන්‍යයෙන්ම සන්සුන්, ඉක්මනට කලබල නොවන අයයි. හැබැයි ඔහුගේ ප්‍රතිචාරය ඊට වඩා හාත්පසින්ම වෙනස් එකක්. මම එතන ඉඳගෙන ටිකක් වෙලා කල්පනා කළා. මගේ මොකක්හරි ගැටලුවක් තිබුණා කියලා මට වැටහුණා. නමුත් හරියටම මොකක්ද කියලා මම දැනගෙන හිටියේ නැහැ. ඒත්, අනිවාර්යයෙන්ම මට ගැටලුවක් තිබුණා.
දෙවෙනි ඉඟිය වුණේ, මගේ තත්වය ගැන කළ අවංක සාකච්ඡාවකින් පස්සේ අයිලින් කිව්ව මේ දෙයයි. “ගැටලුව ශාරීරික එකක් නෙවෙයි නම් මේක මානසික රෝගයක් වෙන්න ඕන.” ඉතින් මම වරද්දන්නේ නැතුව මගේ රෝග ලක්ෂණ හැම එකක්ම ලියාගෙන මනෝචිකිත්සක වෛද්‍යවරයෙක් ළඟට ගියා. මං මගේ ලැයිස්තුව කියෙව්වහම ඔහු කිව්වේ “මේක ඇත්තෙන්ම මානසික රෝගයක්. ඔයාට හැදිලා තියෙන්නේ උන්මාද විෂාද සයිකෝසියාව” කියලයි.
එකපාරටම මට කතා කරගන්න බැරුව ගියා! ඊළඟ අවුරුදු කීපයේදී මට දිගටම මේ තත්වයත් එක්ක සටන් කරන්න සිද්ධ වුණා. මම මේකට විසඳුමක් සොයන එක නතර කළේ නැහැ. ඒත් ඇත්තෙන්ම කළ යුතු දේ මොකක්ද කියලා කවුරුත් දැනගෙන හිටියේ නැහැ. ඒක මොනතරම් කලකිරවන සටනක් වුණාද!
හැම වෙලාවෙම අපේ අභිප්‍රාය වෙලා තිබුණේ අපේ පූර්ණ-කාලීන සේවා වරප්‍රසාදය රැකගන්නයි. ඒ විතරක්ද තව කොච්චර දේවල් තිබුණද කරන්න! මම හද පත්ළෙන්ම උද්යෝගයෙන් බොහෝ වාරයක් යාච්ඤා කළා. ‘යෙහෝවා ඔබ කැමති නම්, මම ජීවත්ව මේක කරන්නම්.’ (යාකොබ් 4:15) ඒත් එහෙම කරන්න බැරි වුණා. ඉතින් යථාර්ථයට මූණ දෙමින්, 1975 ජූනිවලදී අපි සැලසුම් කළා ඝානාවත්, අපේ කිට්ටු මිතුරන් බොහෝදෙනෙකුවත් දාලා ආපහු කැනඩාවට යන්න.
යෙහෝවා ඔහුගේ සෙනඟ තුළින් ආධාර සපයයි
මම නැහැයි කියලා පාඩුවක් වෙන්නේ නැහැ කියලත්, මේ වගේ ගැටලුවක් තියෙන්නේ මට විතරක් නෙවෙයි කියලත් මම ඉක්මනින්ම වටහාගත්තා. මම 1 පේතෘස් 5:9 තියෙන වචනවල සත්‍යතාව අද්දැක්කා. “ලෝකයෙහි සිටින නුඹලාගේ සහෝදරයන් කෙරෙහි එම දුක්ම පැමිණෙන බව [දැනගන්න].” මේක තේරුම්ගත් මම, අපි දෙන්නටම නොහිතුව විදිහට වෙනස් තත්වයකට මූණ දෙන්න සිද්ධ වුණත් ඇත්තෙන්ම යෙහෝවා අපිට උපකාර කරලා තියෙන විදිහ ගැන කල්පනා කරන්න පටන්ගත්තා. “සහෝදරයන්” නොයෙක් ආකාරයෙන් අපිට උදව් කරන්න ආව එක මොනතරම් අගනා දෙයක්ද!
අපිට ද්‍රව්‍යමය අතින් ඒ තරම් දෙයක් තිබුණේ නැතත්, යෙහෝවා අපිව අත්හැරියේ නැහැ. ද්‍රව්‍යමය අතිනුත්, වෙනත් ආකාරවලිනුත් අපේ උදව්වට එන්න ඔහු ඝානාවේ හිටිය අපේ මිතුරන්ව පෙලඹෙව්වා. අපේ හිත් තුළ දුක්බර හැඟීම් තෙරපෙද්දී, අපි හුඟක් ආදරේ කළ මිතුරන්ගෙන් සමුගෙන නොහිතුව විදිහට ආ ‘හෙට දවසට’ මූණ දෙන්න පියවර තැබුවා.
අයිලින්ගේ අක්කා ලෙනෝරාත්, ඇගේ මහත්තයා වූ ඇල්වන් ෆ්රීසනුත් කාරුණිකව අපිව භාරගෙන මාස කීපයක්ම අපිට ත්‍යාගශීලීව අවශ්‍ය දේවල් සැපයුවා. ප්‍රසිද්ධ මනෝචිකිත්සකයෙක් හොඳ විශ්වාසයකින් අනාවැකියක් පළ කළේ මෙහෙමයි. “තව මාස හයකින් ඔයාට හොඳටම හොඳ වෙනවා.” සමහරවිට මා තුළ විශ්වාසයක් ඇති කරවන්න වෙන්න ඇති එහෙම කිව්වේ. ඒත් අවුරුදු හයක් ගත වුණත් ඒ අනාවැකිය නම් සැබෑ වුණේ නැහැ. මේ දක්වා මම bipolar mood disorder (දෙයාකාර මනෝස්වභාවයක් විදහාපෑමේ රෝගයක්) වශයෙන් හඳුන්වන රෝගයට මූණ දෙමින් ඉන්නවා. රෝගයේ බරපතළකම නොඅඟවන ඒ වගේ නමකින් රෝගය හැඳින්නුවත්, එහෙම හැඳින්නුව පමණින්ම බහුලව තිබෙන රෝග ලක්ෂණවලින් නම් මිදෙන්න බැරි බව එයින් පෙළෙන අය තමයි දන්නේ.
ඒ කාලෙ වෙනකොට, සහෝදර නෝර්ටත් අසනීපයක් හැදිලා තිබුණා. ඒ නිසා අන්තිමේදී 1977 ජූනිවලදී ඔහු මියගියා. අසනීප තත්වයේ හිටියත් ඔහු කාලය හොයාගෙන ශක්තිය අරං සැනසීමේ වචන හා උපදෙස් ලියා දිරිගැන්වීමේ දීර්ඝ ලිපි මට එව්වා. මම ඒ ලිපි තවමත් සුරක්ෂිතව තියාගෙන ඉන්නවා. කිසිම හේතුවක් නැතුව දිගටම මතු වුණ අසාර්ථක වීමේ හැඟීම් මැඩපවත්වාගන්න ඔහුගේ වචන මට හුඟක් උපකාරවත් වුණා.
වර්ෂ 1975 අගභාගයේදී අපිට අපේ අගනා පූර්ණ-කාලීන සේවා වරප්‍රසාද අත්හැරලා මගේ සෞඛ්‍ය තත්වය ගැන සැලකිලිමත් වෙන්න සිද්ධ වුණා. දවාලේ තියෙන සාමාන්‍ය එළියේ ඉද්දිත් මගේ ඇස් රිදෙන්න පටන්ගත්තා. හදිසියෙන් ඇහුණ තියුණු හඬවල් හරියට වෙඩි හඬවල් වගේ මා තුළ දෝංකාරය දුන්නා. සෙනඟ එහාට මෙහාට යන එකත් මට මහ වදයක් වුණා. ඒ නිසා ක්‍රිස්තියානි රැස්වීම්වලට යන එකත් ඇත්තෙන්ම ලොකු සටනක් වුණා. කොහොමවුණත්, ආත්මික ආශ්‍රයේ වටිනාකම ගැන මම හොඳින් තේරුම් අරගෙනයි තිබුණේ. කොහොමහරි රැස්වීම්වලට යන්න ඕන නිසා මම සාමාන්‍යයෙන් රාජ්‍ය ශාලාවට ගියේ සෙනඟ ඇවිත් සන්සුන්ව ඉඳගෙන ඉන්නකොටයි. ඒ වගේම වැඩසටහන අවසන් වෙනවත් එක්කම මම එයින් පිට වෙලා ගියා.
ප්‍රසිද්ධ දේශනා සේවයේ හවුල් වීම තවත් විශාල අභියෝගයක් වුණා. සමහර වෙලාවට ගෙයක් ළඟට ගියහම දොරේ සීනුව නාද කරන්න තරම්වත් ධෛර්යය උපදවාගන්න මට බැරි වුණා. කොහොමවුණත්, අපේ දේශනා සේවයෙන් අපටත්, අපට හොඳ ප්‍රතිචාරයක් දක්වන අයටත් ගැළවීම ලබාගන්න පුළුවන් බව මම තේරුම් අරගෙන තිබුණ නිසා මම ඒක අත්හරින්නේ නම් නැහැ කියලා හිතුවා. (1 තිමෝති 4:16) ටික වෙලාවකට පස්සේ, ආපහු ශක්තිය උපදවාගෙන ඊළඟ ගෙදරට ගිහින් නැවතත් උත්සාහයක් දැරුවා. මේ වගේ දේශනා සේවයේ දිගටම හවුල් වීමෙන් සෑහෙන දුරකට ආත්මික සෞඛ්‍යයක් පවත්වාගන්න මට පුළුවන් වුණ නිසා අසනීප තත්වයට වඩාත් හොඳින් මූණ දෙන්න මට හැකියාව ලැබුණා.
රෝගය නිදන්ගතව තිබුණ නිසා, මේ පිළිවෙළ තියෙන තාක් කල් මට නං ආයි මේ දෙයාකාර විෂාදයෙන් ගොඩ එන්න ලැබෙන එකක් නැහැ කියලා මම දන්නවා. වර්ෂ 1981 පිබිදෙව්! (ඉංග්‍රීසියෙන්) සඟරාවේ කදිම ලිපි පෙළක් පළ වුණා.a ඒවායේ උපකාරයෙන් මේ රෝගයේ ස්වභාවය ගැන වඩාත් හොඳින් තේරුම්ගන්න මට පුළුවන් වුණා වගේම සාර්ථකව ඊට මූණ දෙන ඵලදායී ක්‍රමත් ඉගෙනගන්න පුළුවන් වුණා.
සාර්ථකව මූණ දීමට ඉගෙනගැනීම
මගේ භාර්යාව මං හිටපු තත්වයට අනුව හැඩගැසුණේ නැත්නම් හා පරිත්‍යාගයන් කළේ නැත්නම් මේ කිසි දෙයක් මට කරගන්න බැරි වෙනවා. ඔබත් එවැනිම තත්වයකට මූණ දෙන සත්කාර කරන්නෙක් නම් ඈ කියන දේ ඔබ අගය කරාවි.
“කෙනෙකුගේ මානසික ස්වභාවය වෙනස් වෙනකොට පෞද්ගලිකත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. යම් දෙයක් සැලසුම් කරමින් සහ අදහස් ඉදිරිපත් කරමින් උද්යෝගයෙන් සිටින කෙනෙක් තවත් ටික වෙලාවකින් විඩාවට පත්, නිෂේධාත්මක අදහස් දෙන, කෝපයෙන් හැසිරෙන පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන්. මේක රෝගයක් කියලා වටහා නොගත්තොත් සත්කාර කරන්නන් තුළ තද කෝපයක් සහ වියවුලක් ඇති වෙනවා. එහෙම වෙන්නේ කරන්න හිතාගෙන ඉන්න දේවල් එකපාරටම වෙනස් කරන්න සිද්ධ වෙන නිසයි. එතකොට වෙන්නේ කලකිරීමේ හෝ ප්‍රතික්ෂේප වීමේ හැඟීම් එක්ක තනියම සටනක් කරන්නයි.”
මට හොඳ සුවයක් දැනෙන අවස්ථාවලදී මට ටිකක් බය හිතෙනවා. මට “අමුතුම උද්යෝගයක්” ඇති වෙද්දී ඊළඟ මොහොතේ මානසික ස්වභාවය එක පාරටම වෙනස් වෙලා “උදාසීන” තත්වයකට පත් වෙන බව මට ඉවෙන් වගේ දැනෙනවා. ඒ නිසා “අමුතුම උද්යෝගයක්” තියෙනවට වඩා “උදාසීන” ගතියක් තියෙන එක හොඳයි. මොකද එතකොට දවස් ගණනාවක්ම මාව අක්‍රිය තත්වයකට පත් වෙන නිසා නුසුදුසු දෙයක් කරන්න මාව පෙලඹෙන්නේ නැහැනේ. ඒ වගේම, ඕනෑවට වඩා ප්‍රීතියෙන් ඉන්නකොට අනතුරු ඇඟවීමෙනුත්, දුකෙන් ඉන්නකොට මාව සැනසීමෙන් හා මට අත දීමෙනුත් අයිලින් මට හුඟක් උපකාර කරනවා.
තදින්ම ලෙඩේ තියෙන වෙලාවට අනිත් හැම දෙයක්ම පැත්තකට දාන තරමටම තමන්ටම වැඩි අවධානයක් දීම ඇත්තෙන්ම අනතුරුදායකයි. මේ උන්මාද ගතිය තියෙන කාලපරිච්ඡේදයේදී කලකිරීමේ ස්වභාවයකින් ඉන්නකොට කෙනෙක් අනිත් අයගෙන් සම්පූර්ණයෙන්ම වෙන් වෙලා ඉන්නත්, එහෙම නැත්නම් අනිත් අයගේ හැඟීම් හා ප්‍රතික්‍රියාවන් තේරුම්ගැනීමට අසමත් වෙන්නත් ඉඩ තියෙනවා. මුලදී මට මානසික හා චෛතසික ගැටලුවක් තිබුණා කියන එක පිළිගන්න අමාරු වුණා. ඒකට හේතුව වුණේ, කරන්න ගිය වැඩේ අසාර්ථක වුණ නිසයි, එහෙමත් නැත්නම් ගැටලුව තිබුණේ තවත් පුද්ගලයෙක් තුළයි කියන සිතුවිල්ල එක්ක පොරබදින්න මට සිද්ධ වුණ නිසයි. මේ නිසා, ‘වටපිටාවේ කිසි වෙනසක් වෙලා නැහැ, ගැටලුව බාහිර එකක් නෙවෙයි අභ්‍යන්තර එකක්’ කියලා නිතරම මතක් කරගන්න මට සිද්ධ වුණා. මගේ ඒ සිතුවිල්ල ටිකෙන් ටික වෙනස් කරගන්න මට පුළුවන් වෙලා තියෙනවා.
මේ අවුරුදු ගණනාව පුරා මගේ තත්වය සම්බන්ධයෙන් අපි අපිටම අවංක වෙන්න විතරක් නෙවෙයි අනිත් අය එක්කත් අවංකව කටයුතු කරන්න ඉගෙනගත්තා. ශුභවාදී ආකල්පයක් පවත්වාගන්නත්, අපිව පාලනය කරන්න රෝගයට ඉඩ නොදෙන්නත් අපි වෑයම් කරනවා.
අදට වඩා හොඳ ‘හෙට දවසක්’
නිරතුරුවම යාච්ඤා කිරීමෙන් හා සෑහෙන වෑයමක් දැරීමෙන් අපිට යෙහෝවාගේ ආශීර්වාදය හා උපකාරය ලැබිලා තියෙනවා. අපි දෙන්නම දැන් වයසයි. මම දැන් නොකඩවාම වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රමාණවත්ව, දිගටම ප්‍රතිකාර ගන්න නිසා මගේ තත්වය සෑහෙන දුරට හොඳයි. අපිට ලැබෙන ඕනෑම සේවා වරප්‍රසාදයක් අපි අගය කරනවා. මම සභා වැඩිමහල්ලෙක් හැටියට දිගටම සේවය කරනවා. අපි නිතරම උත්සාහ කරන්නේ අනිත් ඇදහිලිවන්තයන්ට උදව් කරන්නයි.
යාකොබ් 4:14 කියන දේ ඇත්තයි. ‘හෙට කුමක් වේද කියා ඔබ දන්නේ නැහැ.’ මේ වත්මන් පිළිවෙළ පවතින තාක් කල් සැබෑව වන්නේ එයයි. කොහොමවුණත්, යාකොබ් 1:12ත් [න. අ.] සත්‍යය වෙන්න යනවා. ‘කම්කටොලු ඉවසන මනුෂ්‍යයා භාග්‍යවන්තයෙකි. ඔහු පරීක්ෂාවෙන් ජය ලැබූ කල, දෙවිට ප්‍රේම කරන්නවුන්ට ඔහු පොරොන්දු වූ, ජීවන කිරීටය ලබන්නේය.’ හෙට දවසේ යෙහෝවා අපිට ආශීර්වාද කරන බව මතකයේ තබාගෙන අද දවසේ අපි හැමෝම ස්ථිරව සිටිමු.
[පාදසටහන]
a ඉංග්‍රීසියෙන් පළ වූ පිබිදෙව්! කලාපවල 1981 අගෝස්තු 8 “ජීවිතයට සාර්ථකව මූණ දෙන්න ඔබට හැකියි,” 1981 සැප්තැම්බර් 8 “විෂාදයෙන් මිදිය හැකි අයුරු” සහ 1981 ඔක්තෝබර් 22 “දරුණු විෂාදය පළවාහැරීම” යන ලිපි බලන්න.
[26වන පිටුවේ පින්තූරය]
මගේ කලාගාරයේ හුදෙකලා වී,
[26වන පිටුවේ පින්තූරය]
මගේ භාර්යාව වන අයිලින් එක්ක
[28වන පිටුවේ පින්තූරය]
1963දී ඝානා, ටෙමාහි පැවැත්වූ “සදාකාල ශුභාරංචිය” නමැති එක්රැස්වීමේදී