අමතක කරන අසන්නන් බවට පත් නොවන්න
“නුඹලාම රවටාගනිමින් වචනය අසන්නෝ පමණක් නොවී එය පිළිපදින්නෝ වෙන්න.”—යාකොබ් 1:22.
1. පුරාණ ඉශ්රායෙල්හි ජනතාව කුමන ප්රාතිහාර්යයන් දැකීමේ වරප්‍රසාදය ලැබුවාද?
පුරාණ මිසරයේදී යෙහෝවා විසින් සිදු කරන ලද ප්රාතිහාර්යයන් කෙසේ විස්තර කළ හැකිද? ඒවා මනස්වල නොමැකෙන සේ කෙටුණු සුවිශේෂ සිද්ධීන් විය. පීඩා දසයම පුදුම දනවන ඒවා කියා අවිවාදයෙන්ම පැවසිය හැකිය. මෙම පීඩා දසයේ නිමාවෙන් අනතුරුව, දෙබෑ වූ රතු මුහුද මැදින් එගොඩට ගමන් කළ ඉශ්රායෙල් ජාතිය මවිතකර ගැළවීමක් අද්දුටූහ. (ද්විතීය කථාව 34:10-12) මෙවැනි සුවිශේෂ සිදුවීම් ඔබ දුටුවා නම් එය ඔබට කෙසේ බලපායිද? ඒවා සිදු කළ තැනැත්තාව මම නම් කවදාවත්ම අමතක කරන්නේ නැහැ කියා ඔබ පැවසිය හැක. එනමුත් ගීතිකාකරු සඳහන් කළ දේ සලකා බලන්න. “ඔව්හු [ඉශ්‍රායෙලිතයෝ] මිසරයේදී මහත් දේද හාම්ගේ දේශයේදී ආශ්චර්ය ක්‍රියාද රතු මුහුද ළඟදී භයංකර ක්‍රියාද කළාවූ තමුන්ගේ ගැළවුම්කාර [දෙවි] මතකනැතිකළෝය.”—ගීතාවලිය 106:21, 22.
2. දෙවිගේ බලවත් ක්‍රියා සම්බන්ධයෙන් ඉශ්‍රායෙලිතයන් තුළ වූ අගය කිරීම කෙටි කාලීන එකක් කියා පැහැදිලි වන්නේ කුමකින්ද?
2 රතු මුහුදෙන් එගොඩ වූ ඉශ්‍රායෙලිතයෝ ‘යෙහෝවාට භයව යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබුවෝය.’ (නික්මයාම 14:31) මෙම ජයග්‍රහණය සිහි කිරීමට ඉශ්රායෙල් පුරුෂයන් මෝසෙස් සමඟ ගීයක් ගැයූ අතර, මිරියාම් සහ වෙනත් ස්ත්‍රීන් ඊට ප්‍රතිචාරය දැක්වූයේ කිංකිණි බැඳි කුඩා රබන්වලට ගසමින් නැටීමෙනි. (නික්මයාම 15:1, 20) ඔව්, යෙහෝවාගේ බලවත් ක්‍රියා ඔහුගේ සෙනඟට ප්‍රබල ආකාරයකින් බලපෑවේය. එනමුත්, එම ක්‍රියා කරන තැනැත්තා උදෙසා ඔවුන් තුළ ඇති වූ අගය වැඩි කල් පැවතුණේ නැත. ඇත්තෙන්ම, වැඩි කල් නොගොස් බොහෝදෙනෙකු ක්‍රියා කළ ආකාරය බලද්දී, ඔවුන්ගේ මතක ශක්තියේ බරපතළ ආබාධයක් තිබුණා කියා සිතන්නට අප පෙලඹිය හැක. ඔවුහු යෙහෝවාට විරුද්ධව මැසිවිලි නඟන්නත් කොඳුරන්නත් පටන්ගත්තෝය. සමහරු රූප නමස්කාරයෙහි සහ ලිංගික දුරාචාරයෙහි යෙදුණාහ.—නික්මයාම 14:27; 25:1-9.
අමතක වීමට හේතු විය හැක්කේ කුමක්ද?
3. අපගේ අසම්පූර්ණකම් නිසා, අපට කුමක් අමතක විය හැකිද?
3 ඉශ්‍රායෙලිතයන් තුළ මෙලෙස අගයේ ඌනතාවක් ඇති වූයේ කෙසේද යන්න මනස අවුල් කරවන්නකි. කෙසේවෙතත්, මේ හා සමාන දෙයක් අපට පවා සිදු විය හැක. අප දෙවි සිදු කළ යම් ප්රාතිහාර්යයක් දැක නැති බව ඇත්තයි. කොහොම නමුත්, දෙවි සමඟ අප ඇති කරගෙන තිබෙන සම්බන්ධය මගින් කිසිදා අමතක නොවන ආකාරයේ අද්දැකීම් අප ලබා ඇති බවට සැකයක් නැත. අප මුලින්ම බයිබලයේ තිබෙන සත්‍යය පිළිගත් ආකාරය අපගෙන් සමහරදෙනෙකුට අදටත් මතක් විය හැක. ඔබ යෙහෝවාට යාච්ඤාවෙන් කැප වුණු අවස්ථාව සහ සැබෑ ක්‍රිස්තියානියෙකු වශයෙන් බව්තීස්ම වූ අවස්ථාව ඔබගේ ඉමහත් ප්‍රීතියට හේතු වූ අද්දැකීමක් වන්නට ඇත. අපගේ ජීවිතයේ විවිධ අවස්ථාවලදී, යෙහෝවා අපට පෞද්ගලිකව උපකාර කර ඇති ආකාරයද අපගෙන් වැඩිදෙනා අද්දැක තිබේ. (ගීතාවලිය 118:15) දෙවිගේ ඒකජාතක පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්ගේ ජීවිත පූජාව තුළින් අපි සැමෝම ගැළවීමේ බලාපොරොත්තුවක් ලබා ඇත්තෙමු. (යොහන් 3:16) කෙසේවෙතත්, අපගේ අසම්පූර්ණකම් නිසා, වැරදි ආශාවන් ඇති වෙද්දී සහ ජීවිතයේ කනස්සල්ල ඇති කරවන දේවලට මුහුණ දෙද්දී, යෙහෝවා අප වෙනුවෙන් කර ඇති යහපත් දේවල් පහසුවෙන්ම අමතක වී යා හැක.
4, 5. (අ) අමතක කරන අසන්නන් බවට පත්වීමේ අන්තරාව ගැන යාකොබ් අනතුරු අඟවන්නේ කෙසේද? (ආ) කැඩපතකින් මුහුණ බැලූ මනුෂ්‍යයා ගැන යාකොබ් දුන් උපහැරණය අපට අදාළ කරගත හැක්කේ කෙසේද?
4 යේසුස්ගේ අර්ධ සහෝදර වූ යාකොබ් සෙසු ක්‍රිස්තියානීන්ට ලියූ ලිපියේදී අමතක කරන අසන්නන් බවට පත්වීමේ ඇති අන්තරාව ගැන අනතුරු ඇඟවීය. ඔහු මෙසේ ලීවේය. “නුඹලාම රවටාගනිමින් වචනය අසන්නෝ පමණක් නොවී එය පිළිපදින්නෝ වෙන්න. මක්නිසාද යමෙක් වචනය අසන නුමුත් එය පිළිපදින්නේ නැත්නම්, ඔහු කැඩපතකින් තමාගේ ස්වාභාවික මුහුණ බලන මනුෂ්‍යයෙකුට සමානය. මක්නිසාද ඔහු තමාම බලාගනිමින් සිට අහක්ව ගිය කල, තමා කෙබඳු මනුෂ්‍යයෙක්ව සිටියේදැයි එවෙලේම මතක නැතිකරයි.” (යාකොබ් 1:22-24) යාකොබ් කීමට උත්සාහ කළේ කුමක්ද කියා ඔබට තේරුණාද?
5 අප සාමාන්‍යයෙන් උදෑසන අවදි වූ විට, අපගේ පෙනුමේ යම් සකස් කිරීම් කිරීමට කැඩපතක් දෙස බලන්නෙමු. දවස ගෙවී යන අතරතුරේ අප විවිධ ක්‍රියාකාරකම්වල නියැලෙද්දී, අපගේ මනස වෙනත් දේවලට යොමු වෙයි. එවිට අප කැඩපතෙහි දුටු දේ අපගේ කල්පනාවෙන් බැහැර වේ. මෙවන් දෙයක් ආත්මික ආකාරයකින්ද සිදු විය හැක. අප දේවවචනය නමැති කැඩපත දෙස බලමින්, අප කරන දේ සහ යෙහෝවා අපගෙන් අපේක්ෂා කරන දේ අතර යම් සැසඳීමක් කරද්දී අඩුපාඩු මොනවාද කියා හොඳ හැටි තේරුම් යයි. එම තේරුම්ගැනීම, අපගේ පෞද්ගලිකත්වයේ යම් සකස් කිරීම් කරගැනීමට අප තුළ පෙලඹීමක් ඇති කළ යුතුය. එනමුත්, අප අපගේ එදිනෙදා ජීවිතයේ වැඩකටයුතුවල නිරත වෙද්දී යම් ගැටලුවලට මුහුණ දෙන විට, ආත්මික කාරණා පහසුවෙන්ම අමතක වී යා හැක. (මතෙව් 5:3, NW; ලූක් 21:34) මෙය හරියට, දෙවි අප වෙනුවෙන් කර ඇති ප්‍රේමනීය ක්‍රියාවන් අමතක කර දැමීමක් මෙනි. මෙවැනි දෙයක් සිදු වුවහොත්, අප පව්කාර නැඹුරුවාවන්ට වඩාත් පහසුවෙන්ම ගොදුරු විය හැක.
6. යෙහෝවාගේ වදන් අමතක නොකර සිටීමට කුමන ශුද්ධ ලියවිලිමය කොටස අපට උපකාරවත් විය හැකිද?
6 ප්‍රේරිත පාවුල් කොරින්තිවරුන්ට දේවානුභාවයෙන් ලියූ පළමු ලිපියේදී පාළුකරයේ සැරිසරමින් සිටි අමතක කරනසුලු ඉශ්‍රායෙලිතයන් ගැන කතා කළේය. මුල් සියවසේ ක්‍රිස්තියානීන් පාවුල්ගේ වදන් සැලකිල්ලට ගැනීමෙන් ප්‍රයෝජන ලැබුවාක් මෙන්, යෙහෝවාගේ වදන් අමතක නොකර සිටීමට අපටත් උපකාර කරන්න එම ඔවදන්වලට පුළුවන. අපි දැන් 1 කොරින්ති 10:1-12 සලකා බලමු.
ලෞකික තෘෂ්ණාවන් ප්‍රතික්ෂේප කරන්න
7. යෙහෝවා තමන්ට ප්‍රේම කරන බවට ඉශ්‍රායෙලිතයන් ලැබූ ප්‍රබල මෙන්ම ප්‍රතික්ෂේප කළ නොහැකි සාක්ෂි මොනවාද?
7 පාවුල් ඉශ්‍රායෙලිතයන් ගැන කියන දේ ක්‍රිස්තියානීන්ට අනතුරු ඇඟවීමක් සේ සැලකිය හැක. පාවුල් මෙසේ ලියයි. “සහෝදරයෙනි, අපගේ පියවරු සියල්ලන් වලාකුළ යට සිටි බවත්, සියල්ලන්ම මුහුද මැදින් ගිය බවත්, සියල්ලන්ම වලාකුළෙහිද මුහුදෙහිද මෝසෙස්ට බව්තීස්මකරනු ලැබූ බවත් . . . නුඹලා නොදැන සිටිනවාට නොකැමැත්තෙමි.” (1 කොරින්ති 10:1-4) දෙවි තම ශ්‍රේෂ්ඨ බලය විදහා පෑ නොයෙකුත් අවස්ථාවන් මෝසෙස්ගේ කාලයේ විසූ ඉශ්රායෙල් ජනතාව දැක තිබිණ. දවාලෙහි ඔවුන්ගේ ගමනට මඟ පෙන්වීම සඳහා දෙවි ප්රාතිහාර්යමය ලෙස වලාකුළක් සැපයීය. රතු මුහුදෙන් එගොඩ වී ගැළවීම කරා යෑමට ඔවුන්ට මඟ පෙන්වූයේ මෙම වලාකුළයි. (නික්මයාම 13:21; 14:21, 22) මෙයින් පෙනී යන්නේ එම ඉශ්‍රායෙලිතයන් යෙහෝවා තමන්ට ප්‍රේම කරන බවට ප්‍රබල මෙන්ම ප්‍රතික්ෂේප කළ නොහැකි සාක්ෂි ලැබූ බවයි.
8. ආත්මික දේවල් සම්බන්ධයෙන් ඉශ්‍රායෙලිතයන් තුළ තිබූ අමතක වීමේ ස්වභාවයේ ප්‍රතිඵලය කුමක් වීද?
8 ‘එසේ වී නුමුත් ඔවුන්ගෙන් වැඩිදෙනාට දෙවි ප්‍රසන්න නොවීය. එබැවින් ඔවුහු කාන්තාරයෙහි හෙළා දමනු ලැබුවෝය’ කියා පාවුල් තවදුරටත් කියයි. (1 කොරින්ති 10:5) මොනතරම් කනගාටුදායක දෙයක්ද! ඇත්තෙන්ම මිසරයෙන් ගැළවී ආ ඉශ්රායෙලිතයන්ගෙන් බහුතරයක් පොරොන්දු දේශයට ඇතුල් වීමේ වරම අහිමි කරගත්තෝය. මෙයට හේතු වූයේ ඔවුන්ගේ ඇදහිල්ලේ ඌනතාවයි. ප්‍රතිඵලයක් වශයෙන් ඔවුහු පාළුකරයෙහිම මරු දුටූහ. (හෙබ්‍රෙව් 3:16-19) අපට මෙයින් උගත හැක්කේ කුමක්ද? පාවුල් මෙසේ පිළිතුරු දෙයි. “ඔවුන් නපුරු දේවලට ආශාවුණාක්මෙන් අප විසිනුත් ආශා නොවන පිණිස මේ කාරණා අපට ආදර්ශ විය.”—1 කොරින්ති 10:6.
9. යෙහෝවා තම සෙනඟගේ ආත්මික අවශ්‍යතා පිරිමසා තිබුණේ කෙසේද? ඊට ඉශ්‍රායෙලිතයන් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?
9 පාළුකරයේ සිටියත්, ඉශ්‍රායෙලිතයන්ට තම ආත්මික දෘෂ්ටිය බොඳ කර නොගෙන සිටීමට උපකාරවත් වූ බොහෝ කාරණා තිබිණ. ඔවුන් සමඟ යෙහෝවා ගිවිසුමක් ඇති කරගත් අතර, ඔවුහු, ඔහු වෙනුවෙන්ම කැප වූ ජාතියක් බවට පත් වූහ. තවද ඔවුන්ට පූජක තන්ත්රයක්, නමස්කාර මධ්‍යස්ථානයක් ලෙස මණ්ඩපයක් සහ යෙහෝවාට පූජා ඔප්පු කිරීමේ සැලැස්මක් දී තිබිණ. මේවා ආත්මික දීමනා විය. එනමුත් මේවා සම්බන්ධයෙන් ප්‍රීති වෙනවා වෙනුවට, ඔවුහු දෙවි ද්‍රව්‍යමය වශයෙන් තමන්ට සැපයූ දේවල් ගැන නොසෑහුණු ආකල්පයක් තමන් තුළම වර්ධනය වීමට ඉඩ දුන්නෝය.—ගණන් කථාව 11:4-6.
10. දෙවිව නිතරම අපගේ මනසෙහි තබාගත යුත්තේ මන්ද?
10 පාළුකරයේ සිටි ඉශ්‍රායෙලිතයන්ට වෙනස්ව, අදදින යෙහෝවාගේ ජනතාව දෙවිගේ අනුමැතිය දිනාගෙන සිටිති. එනමුත්, පෞද්ගලික මට්ටමකින් අප සැමදෙනාම දෙවිව අපගේ මනසෙහි තබාගැනීම අතිවැදගත්ය. එසේ කළහොත්, අපගේ ආත්මික දෘෂ්ටිය බොඳ කළ හැකි ආත්මාර්ථකාමී තෘෂ්ණාවන් ප්‍රතික්ෂේප කිරීමට හැකි වේ. “අභක්තිකකමද, ලෞකික තෘෂ්ණාද එපාකර, . . . සිහියෙන් යුක්තවද ධර්මිෂ්ඨලෙසද භක්තිවන්තලෙසද මේ ලෝකයෙහි ජීවත්” වීමට අප අදිටන් කරගෙන සිටිය යුතුය. (තීතස් 2:12, 13) කුඩා කල සිට ක්‍රිස්තියානි සභාව සමඟ ඇසුරු කර ඇති අය, ලෝකයට සම්බන්ධ නොවී සිටීමෙන් යම් හොඳ දේවල් තමන්ගෙන් ගිලිහී යනවා කියා කිසිදාක නොසිතිය යුතුය. අපගේ සිත් තුළත් එවැනි හැඟීම් පහළ වේ නම්, යෙහෝවා ගැනත්, ඔහු අප වෙනුවෙන් පොරොන්දු වී ඇති සුවිශේෂ ආශීර්වාදයන් ගැනත් මෙනෙහි කිරීම නුවණට හුරුය.—හෙබ්‍රෙව් 12:2, 3.
යෙහෝවාට පූර්ණ කීකරුකමක්
11, 12. යම් කැපූ රූපයක් ඉදිරියෙහි වැඳ නොවැටුණත්, රූප නමස්කාරයේ වරදට කෙනෙකු හසු විය හැක්කේ කෙසේද?
11 පාවුල් ඊළඟට තවත් අවවාදයක් දෙයි. ඔහු මෙසේ ලියයි. “සෙනඟ කන්ටද බොන්ටද හිඳ, ක්‍රීඩාකරන්ට නැගුටුණෝයයි ලියා තිබෙන ලෙස, ඔවුන්ගෙන් සමහරෙකුමෙන් රූපවඳින්නෝ නොවෙන්න.” (1 කොරින්ති 10:7) පාවුල් මෙහිදී සඳහන් කරන්නේ, ඉශ්‍රායෙලිතයන් ආරොන්ට බල කරමින් රන් වස්සෙකු සාදවාගත් අවස්ථාව ගැනයි. (නික්මයාම 32:1-4) සමහරවිට අප රූප නමස්කාරයට කෙළින්ම සම්බන්ධ නොවනවා විය හැක. කෙසේවෙතත්, යෙහෝවා දෙවිට ආත්ම පූර්ණ නමස්කාරයක් පිරිනැමීමට අපට බාධාවක් විය හැකි අපගේම ආත්මාර්ථකාමී තෘෂ්ණාවන්ට ඉඩ දීමෙන් අපත් යම් ආකාරයක රූප වඳින්නන් බවට පත් විය හැක.—කොලොස්සි 3:5.
12 තවත් අවස්ථාවකදී පාවුල් ආත්මික කාරණාවලට වඩා ද්‍රව්‍යමය දේවලට මුල් තැන දුන් අය සම්බන්ධයෙන් ලීවේය. ‘ක්‍රිස්තුස්ගේ වධකණුවට සතුරන්ව හැසිරෙන’ මොවුන් සම්බන්ධයෙන් ඔහු ලිව්වේ “ඔවුන්ගේ කෙළවර විනාශයය, ඔවුන්ගේ දෙවියෝ බඩය” කියාය. (පිලිප්පි 3:18, 19) ඇත්තෙන්ම ඔවුන් නමස්කාර කරමින් සිටියේ යම් කැපූ රූපයකට නොව, නමුත් ඔවුන් ආශා කරමින් සිටි භෞතික දේවලටය. සෑම ආශාවක්ම නුසුදුසුයි කියා අප මෙහිදී කියනවා නොවේ. යෙහෝවා මනුෂ්‍යයන් වශයෙන් අපව මවා තිබෙන්නේ, විවිධ භෞතික අවශ්‍යතාවන් ඇති වන ආකාරයටය. තවද අපට විවිධ දේවල්වලින් ආස්වාදයක් ලබාගැනීමේ හැකියාවද ලබා දී ඇත. එනමුත්, දෙවි සමඟ ඇති තම සම්බන්ධතාවට වඩා විනෝදය පස්සේ හඹා යෑම මුල් තැනට දමන අයව අපට හැඳින්විය හැක්කේ රූපවඳින්නන් හැටියටයි.—2 තිමෝති 3:1-5.
13. රන් වස්සා හා සම්බන්ධ සිද්ධියෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?
13 ඉශ්‍රායෙලිතයන් මිසරය හැර ගියායින් පසු, ඔවුහු වැඳ වැටී නමස්කාර කිරීම සඳහා රන් වස්සෙකු සෑදුවෝය. රූප නමස්කාරය ගැන අනතුරු ඇඟවීමක් ලැබෙනවාට අමතරව, මෙම වාර්තාවෙන් අපට තවත් වැදගත් පාඩමක් උගත හැක. ඉශ්‍රායෙලිතයෝ යෙහෝවාගෙන් ලැබූ පැහැදිලි මඟ පෙන්වීමකට අකීකරු වූවෝය. (නික්මයාම 20:4-6) යෙහෝවාව තම දෙවි වශයෙන් ප්‍රතික්ෂේප කිරීම ඔවුන්ගේ අභිප්‍රාය නොවීය. ඇත්තෙන්ම මෙම රන් වස්සාට පූජා ඔප්පු කරද්දී, ඔවුන් එම අවස්ථාව හැඳින්වූයේ ‘යෙහෝවා වෙනුවෙන් පවත්වන මංගල්‍යයක්’ ලෙසයි. ඔවුන්ගේ අකීකරු ක්‍රියාකලාපය දෙවි නොසලකා හරියි කියා සිතමින් ඔවුහු කෙසේ හෝ තමන්වම රවටාගත්තෝය. ඔවුන්ගේ ක්‍රියාව යෙහෝවාට විශාල නිග්‍රහයක් වූ අතර, එයින් ඔහුගේ උදහස ඇවිස්සුණේය.—නික්මයාම 32:5, 7-10; ගීතාවලිය 106:19, 20.
14, 15. (අ) අමතක කරන අසන්නන් බවට පත්වීම සම්බන්ධයෙන් ඉශ්‍රායෙලිතයන්ට නිදහසට කිසිදු හේතුවක් ඉදිරිපත් කළ නොහැකිව තිබුණේ මන්ද? (ආ) අමතක කරන අසන්නන් බවට පත් නොවන්න අප අදිටන් කරගෙන සිටිනවා නම්, යෙහෝවාගේ ආඥා සම්බන්ධයෙන් අප කුමක් කරනු ඇද්ද?
14 සාමාන්‍යයෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු සත්‍යය අත්හැර බොරු ආගමකට සම්බන්ධ වන්නේ ඉතා කලාතුරකිනි. කොහොම නමුත්, සභාව තුළ සිටියදීම, සමහරුන් වෙනත් ආකාරවලින් යෙහෝවාගේ මඟ පෙන්වීම ප්‍රතික්ෂේප කළ හැකිය. අමතක කරන අසන්නන් වීම සම්බන්ධයෙන් ඉශ්‍රායෙලිතයන්ට නිදහසට කිසිදු හේතුවක් ඉදිරිපත් කළ නොහැකිව තිබිණ. ඔවුන්ට දස පනත ගැන අවබෝධයක් තිබුණු අතර, ‘මා ඇර අන් දෙවිවරුන් සාදා නොගන්න; රිදීයෙන් දෙවිවරුන්වත් රනින් දෙවිවරුන්වත් සාදා නොගන්න’ නමැති දෙවිගේ ආඥාව මෝසෙස් තුළින් ඔවුන්ට ලැබී තිබිණ. (නික්මයාම 20:18, 19, 22, 23) එසේ තිබියදීත්, ඉශ්‍රායෙලිතයෝ රන් වස්සා ඉදිරියෙහි වැඳ වැටුණෝය.
15 අපත් අමතක කරන අසන්නන් බවට පත් වූවා නම්, අපගේ නිදහසට වලංගු හේතුවක් ඇතැයි පැවසිය හැකිද? ජීවිතයේ නොයෙකුත් පැති සම්බන්ධයෙන් දෙවි අපට පැහැදිලි මඟ පෙන්වීම් ශුද්ධ ලියවිල්ල තුළින් ලබා දී ඇත. නිදසුනකට, ණයක් ගෙන එය නැවත නොගෙවීමේ සිරිත යෙහෝවාගේ වචනයෙහි පැහැදිලිවම හෙළා දැක තිබේ. (ගීතාවලිය 37:21) දරුවන් තම දෙමාපියන්ට කීකරු විය යුතුය. පියවරුන් තම දරුවන්ව ‘යෙහෝවාගේ අවවාදයන්ට’ එකඟව ඇති දැඩි කළ යුතුය. (එපීස 6:1-4) තනිකඩ ක්‍රිස්තියානීන්ට උපදෙස් දී තිබෙන්නේ ‘ස්වාමීන් තුළ පමණක්’ විවාහ වන්නට කියාය. දෙවිගේ සේවයෙහි නියුතු විවාහකයන්ට මෙසේ පවසා ඇත: “විවාහය සියල්ලන් අතරෙහි ගෞරව ඇතුව, යහන නොකිලුටුව තිබේවා; මක්නිසාද වේශ්‍යාකම්කරන්නන්ද කාමමිථ්‍යාචාරිකයන්ද [දෙවි විනිශ්චය කරන්නේය].” (1 කොරින්ති 7:39; හෙබ්‍රෙව් 13:4) අමතක කරන අසන්නන් බවට පත් නොවීමට අප අදිටන් කරගෙන සිටිනවා නම්, දෙවි අපට දී තිබෙන මෙම නියෝගයන් සහ වෙනත් ඒවා සුළු කොට නොතකමින්, අප ඒවා ඉතා බැරෑරුම් ලෙස සිතට ගෙන ඒවාට එකඟව කටයුතු කරනු ඇත.
16. රන් වස්සාට වැඳ වැටී නමස්කාර කිරීමේ ප්‍රතිඵල විස්තර කරන්න.
16 ඉශ්‍රායෙලිතයන්ට ඕනෑ වුණේ ඔවුන්ට රිසි පරිද්දෙන් යෙහෝවාට නමස්කාර කරන්නයි. යෙහෝවා මෙය පිළිගත්තේ නැත. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් 3,000දෙනෙකුව විනාශ කරන ලදි. මෙසේ කරන ලද්දේ රන් වස්සාට වැඳ වැටී නමස්කාර කිරීමේ ක්‍රියාවේදී ඔවුන් කැරලිකාර ලෙස පෙරමුණ ගෙන ක්‍රියා කළ නිසා විය හැකිය. එම වරදට සම්බන්ධ වූ වෙනත් අයද යෙහෝවාගෙන් පහර ලැබූහ. (නික්මයාම 32:28, 35) දෙවිගේ වචනය කියෙව්වත්, තමන්ට ඕන ඕන ආකාරයෙන් දෙවිට කීකරු වන්න තීරණය කරන අයට මෙයින් මොනතරම් බලගතු පාඩමක් උගත හැකිද!
“වේශ්‍යාකම කෙරෙන් පලා දුවන්න”
17. පළමුවන කොරින්ති 10:8හි සඳහන් වන්නේ කුමන සිද්ධිය ගැනද?
17 ආත්මික ආකාරයකින් අමතක කරනසුලු ස්වභාවයකට පත් කළ හැකි එක් පැත්තක් පාවුල් මෙසේ පෙන්වා දෙයි. “ඔවුන්ගෙන් සමහරෙක් වේශ්‍යාකම් කළාක්මෙන් අපි වේශ්‍යාකම් නොකරමු, එයින් එක දවසෙහි විසිතුන්දහස් දෙනෙක් විනාශවුණෝය.” (1 කොරින්ති 10:8) පාවුල් මෙහිදී සඳහන් කළේ ඉශ්‍රායෙලිතයන් 40 වසරක් පුරා පාළුකරය මැදින් ගමන් කරන අතරතුර මෝවබ් මිටියාවතේදී සිදු වූ දෙයක් ගැනයි. යොර්දාන් ගඟට නැඟෙනහිරින් තිබූ දේශයන් යටත් කරගැනීමේදී ඉශ්‍රායෙලිතයන් යෙහෝවාගේ උපකාරය ලැබුවද, වැඩිදෙනා ඒ උපකාරය අමතක කර දමමින් ඒ සඳහා කිසිදු අගයක් නොදැක්වූහ. පොරොන්දු දේශයේ අද්දරදීම ඔවුහු ලිංගික දුරාචාරයේ උගුලටත්, පිළිකුල්සහගත බාල්පෙයෝර් නමස්කාරයටත් හසු වූහ. මෙම පව්කාර ක්‍රියාමාර්ගයට මුල් වූ 1,000දෙනෙකු ඇතුළුව, ඊට සම්බන්ධ වූ 24,000දෙනෙකුව විනාශ කරන ලදි.—ගණන් කථාව 25:9.
18. ලිංගික දුරාචාරයට මඟ පෑදිය හැක්කේ කෙබඳු ආකාරයේ ක්රියාකලාපයක්ද?
18 අදදින යෙහෝවාගේ සෙනඟ උසස් සදාචාර ප්‍රමිති රකින පිරිසක් ලෙස නම් දරා ඇත. එනමුත් ලිංගික දුරාචාරයේ යෙදීමේ පරීක්ෂාවට මුහුණ දෙන විට, ඇතැම් ක්‍රිස්තියානීන් දෙවි සහ ඔහුගේ ප්‍රතිපත්ති අමතක කර දමා තිබේ. මෙසේ ඔවුහු අමතක කරන අසන්නෝ බවට පත් වෙති. මුලදී, වේශ්‍යාකමෙහි යෙදීමට පරීක්ෂාවක් ඇති නොවිය හැක. සමහරවිට, එම පරීක්ෂාවට වෙනත් ස්වරූපයක් තිබිය හැක. කාමුක දර්ශන කිහිපයක් නැරඹීම, අසභ්‍ය විහිළු කිරීම හෝ විරුද්ධ ලිංගයේ අය සමඟ ඉඟි බිඟි පාමින් නොමනා ලෙස හැසිරීම, එසේ නැතහොත් දුරාචාරයට නැඹුරු, ආත්මික වශයෙන් දුර්වල පුද්ගලයන්ව කිට්ටුවෙන් ආශ්‍රය කිරීම ඊට ඇතුළත් විය හැක. මෙවැනි දේවලට යොමු වන ක්‍රිස්තියානීන් අවසානයේදී යම් පව්කාර ක්‍රියාවකට වැටී ඇත.—1 කොරින්ති 15:33; යාකොබ් 4:4.
19. “වේශ්‍යාකම කෙරෙන් පලා දුවන්න” අපට උපකාරවත් වන්නේ ශුද්ධ ලියවිල්ලේ සඳහන් කුමන උපදෙස්ද?
19 දුරාචාරමය ලෙස හැසිරීමේ පරීක්ෂාවට අප මුහුණ දෙනවා නම්, අප යෙහෝවාව අපගේ මනසින් බැහැර නොකළ යුතුය. එවන් අවස්ථාවකදී, ඔහුගේ වචනයෙහි අඩංගු සිහිගැන්වීම් පැවැත්වීමට වගබලා ගත යුතුය. (ගීතාවලිය 119:1, 2) ක්‍රිස්තියානීන් වශයෙන් අපගෙන් වැඩිදෙනා උපරිම උත්සාහයක් දරන්නේ සදාචාරමය ලෙස පවිත්‍රව සිටීමටයි. එනමුත් දෙවි ඉදිරියෙහි හරි දේ කිරීමට නිරන්තර උත්සාහයක් අවශ්‍ය වේ. (1 කොරින්ති 9:27) රෝමයේ සිටි ක්‍රිස්තියානීන්ට පාවුල් මෙසේ ලීවේය. “නුඹලාගේ කීකරුකම සියල්ලන්ටම ප්‍රකාශවී තිබේ. එබැවින් නුඹලා ගැන ප්‍රීතිවෙමි. එසේවී නුමුත් නුඹලා යහපත ගැන ප්‍රඥාවන්තව, නපුර ගැන නිවටව [ළදරුවන්ව, NW] සිටිනවාට කැමැත්තෙමි.” (රෝම 16:19) පව්කාර ඉශ්‍රායෙලිතයන් 24,000දෙනෙකු මරණ දඬුවම ලැබුවා සේම, වේශ්‍යාකම්කරන්නන් සහ වෙනත් පව්කාර ක්‍රියාවල නිරතවන්නන් යෙහෝවාගේ දැඩි විනිශ්චයට ලක් වනවා ඇත. (එපීස 5:3-6) එසේ නම්, අමතක කරන අසන්නන් නොවී “වේශ්‍යාකම කෙරෙන් පලා දුවන්න” අප නිරන්තර උත්සාහයක් දැරිය යුතුය.—1 කොරින්ති 6:18.
යෙහෝවාගේ සැපයුම්වලට නිතරම අගය දක්වමු
20. ඉශ්‍රායෙලිතයන් යෙහෝවාව පරීක්ෂා කළේ කෙසේද? එහි ප්‍රතිඵලය කුමක් වීද?
20 ක්‍රිස්තියානීන්ගෙන් බහුතරයක් ලිංගික දුරාචාරයෙහි පරීක්ෂාවට කවදාවත්ම හසු වන්නේ නැත. කොහොම වුණත්, දෙවිගේ අප්‍රසාදයට හේතු විය හැකි ආකාරයේ මැසිවිලි නැඟීමේ නැඹුරුවාවක් අප තුළ වර්ධනය වීම සම්බන්ධයෙන් අප පරෙස්සම් විය යුතුය. පාවුල් අපට මෙසේ අවවාද කරයි. “අපි [යෙහෝවාව] පරීක්ෂා නොකරමු, ඔවුන්ගෙන් සමහරෙක් පරීක්ෂාකොට සර්පයන්ගෙන් නාස්තිවුණෝය. නුඹලා නොකොඳුරන්න, ඔවුන්ගෙන් සමහරෙක් කොඳුරා, විනාශකයාගෙන් නාස්තිවුණෝය.” (1 කොරින්ති 10:9, 10) ඉශ්‍රායෙලිතයෝ මෝසෙස් සහ ආරොන්ට විරුද්ධව කෙඳිරූහ. ආශ්චර්යවත් ලෙස සපයා තිබූ මන්නා ගැන මැසිවිලි නැඟීමෙන්, යෙහෝවාට විරුද්ධව පවා කෙඳිරීමට ඔවුන් ධෛර්යවත් වූ බව පෙනේ. (ගණන් කථාව 16:41; 21:5) ඔවුන් වේශ්‍යාකමේ යෙදුණු විට යෙහෝවා උදහස් වූ ආකාරයටම ඔවුන් කෙඳිරූ විටත් ඔහු කෝප වුණාද? කෙඳිරූ බොහෝදෙනෙකුට සර්පයන් දෂ්ට කිරීමට සැලැස්වීමෙන් මරණයට පත් කළ බව බයිබල් වාර්තාවෙහි පෙන්වා තිබේ. (ගණන් කථාව 21:6) කලින් අවස්ථාවක කැරලිකාර කොඳුරන්නන් 14,700දෙනෙකුව විනාශ කරන ලදි. (ගණන් කථාව 16:49) මෙයින් පැහැදිලි වන්නේ කෙඳිරීම වේශ්‍යාකම තරම්ම බරපතළ බවයි. එබැවින්, යෙහෝවාගේ සැපයුම් සම්බන්ධයෙන් අගෞරවනීය ආකල්පයක් විදහාපෙන්වීමෙන් ඔහුගේ ඉවසීම පරීක්ෂාවට ලක් නොකරමු.
21. (අ) පාවුල් දේවානුභාවයෙන් සපයන අවවාදය කුමක්ද? (ආ) යාකොබ් 1:25ට අනුව සැබෑ සන්තෝෂය ලබාගැනීමට අපට හැක්කේ කෙසේද?
21 පාවුල් සෙසු ක්‍රිස්තියානීන්ට ලියූ අවවාදාත්මක ලැයිස්තුව අවසන් කළේ මෙම අවවාදය සමඟිනි. “ඒ සියල්ල ආදර්ශයක් වශයෙන් ඔවුන්ට සිද්ධවුණේය; ඒවා ලියා තිබෙන්නේ කාලවල කෙළවරට පැමිණ සිටින්නාවූ අපට අවවාද පිණිසය. එහෙයින් තමා කෙළින් සිටින්නේයයි සිතන තැනැත්තේ නොවැටෙන්ට බලාගනීවා.” (1 කොරින්ති 10:11, 12) ඉශ්‍රායෙලිතයන්ට මෙන්ම, අපටද යෙහෝවාගෙන් ආශීර්වාද බොහොමයක් ලැබී තිබේ. එනමුත් අප ඔවුන්ට වඩා වෙනස් විය යුතුය. දෙවි අප වෙනුවෙන් කරමින් සිටින යහපත් දේවල් අමතක කර ඒ දේවලට අගය නොදැක්වීමට අපි කිසිදාක නොපෙලඹෙමු. ජීවිතයේ කනස්සල්ල ඇති කරවන දේවලින් අප බර වී සිටින විට, දේවවචනයෙහි සපයා දී ඇති පුදුම දනවන පොරොන්දු ගැන අගයෙන් යුතුව මෙනෙහි කරමු. යෙහෝවා සමඟ ඇති අපගේ වටිනා සම්බන්ධතාව නිතර සිහියේ තබාගනිමු. අපට භාර දී ඇති රාජ්‍යය දේශනා කිරීමේ වැඩය විශ්වාසයෙන් ඉටු කරමු. (මතෙව් 24:14; 28:19, 20) මෙවැනි ආකාරයකින් ක්‍රියා කරනවා නම්, එයින් අපට සැබෑ සන්තෝෂයක් නෙළාගත හැක. ඔව්, ශුද්ධ ලියවිල්ල මෙසේ පොරොන්දු කරයි. “නිදහස්කමේ සම්පූර්ණ ව්‍යවස්ථාව දෙස බලාගන, මතක නැතිකරන අසන්නෙක් නොවී, ක්‍රියාකරන කෙනෙක්ව, එසේ පවතින්නාවූ තැනැත්තේම තමාගේ ක්‍රියාකිරීමෙහිදී ආශීර්වාද ලබන්නේය.”—යාකොබ් 1:25.
ඔබේ පිළිතුර කුමක්ද?
• අප අමතක කරන අසන්නන් බවට පත් විය හැක්කේ කෙසේද?
• දෙවිට පූර්ණ ලෙස කීකරු වීම අත්‍යවශ්‍ය වන්නේ මන්ද?
• “වේශ්‍යාකම කෙරෙන් පලා දුවන්න” අපට හැක්කේ කෙසේද?
• යෙහෝවාගේ සැපයුම් සම්බන්ධයෙන් අපට තිබිය යුත්තේ කෙබඳු ආකාරයේ ආකල්පයක්ද?
[15වන පිටුවේ පින්තූරය]
ඉශ්‍රායෙලිතයෝ යෙහෝවා ඔවුන් වෙනුවෙන් කළ මහත් ක්‍රියා අමතක කළහ
[16වන පිටුවේ පින්තූරය]
යෙහෝවාගේ සේවකයෝ උසස් සදාචාර ප්‍රමිති රැකීමට අදිටන් කරගෙන සිටිති