යෙහෝවාට භය වන පිණිස ඔබේ හෘදය ගොඩනඟා ගන්න
‘නිතරම මට භයවීමටත් මාගේ සියලු ආඥා රක්ෂා කිරීමටත් හැකි වන ලෙස ඔවුන් [තමන්ගේ හෘද ගොඩනඟා ගන්නේ නම්, NW] යහපත.’—ද්විතීය කථාව 5:29.
1. යම් දවසක මිනිසුන් භයෙන් තොරව ජීවත් වන බවට අපට නිසැක විය හැක්කේ මන්ද?
භය සියවස් ගණනාවක් පුරා මිනිස් සංහතියට වරින් වර තර්ජන එල්ල කර තිබේ. කුසගින්න, ලෙඩ රෝග, අපරාධ හා යුද්ධය වැනි දේවලට තිබෙන භය නිසා මිනිසුන් දශලක්ෂ ගණනක් දිවි ගෙවන්නේ කනස්සල්ලෙනි. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශයේ පෙරවදනෙහි භයෙන් තොර ලොවක ජීවත් වීමට මිනිසුන් තුළ පවතින ආශාව ගැන සඳහන් වන්නේ ඒ හේතුව නිසාය.a එවන් ලොවක් ඇති වන බවට දෙවි විසින්ම සහතික වී තිබීම සතුටට කරුණකි. එහෙත් එය මිනිසුන් දරන ප්‍රයත්නවල ප්‍රතිඵලයක් ලෙස ඇති වන්නක් නොවේ. තමන් විසින් බිහි කරනු ලබන ධර්මිෂ්ඨ නව ලොවේ ජීවත් වන අය ‘කිසිවෙකු නිසා භයට පත් නොවන’ බව අනාගතවක්තෘ මීකා මාර්ගයෙන් යෙහෝවා අපට පොරොන්දු කරයි.—මීකා 4:4.
2. (අ) දෙවිට භයවීමට ශුද්ධ ලියවිල්ල අපව දිරිමත් කරන්නේ කෙසේද? (ආ) දෙවිට භයවීම නමැති අපේ යුතුකම ගැන අප සලකා බලද්දී මතු විය හැකි ප්‍රශ්න මොනවාද?
2 අනිත් අතට භය ඒකාන්ත අන්දමකින් බලපෑ හැකිය. යෙහෝවාට භය වන්න කියා ශුද්ධ ලියවිල්ලෙහි දෙවිගේ සේවකයන්ව නිතර නිතර දිරිමත් කර ඇත. මෝසෙස් ඉශ්රායෙල්වරුන්ට මෙසේ පැවසුවේය. ‘ඔබේ දෙවි වූ යෙහෝවාට ඔබ භය වෙන්ටත් සේවය කරන්නත් ඕනෑය.’ (ද්විතීය කථාව 6:13) ඊට සියවස් ගණනාවකට පසු සාලමොන් මෙසේ ලීවේය. ‘දෙවිට භයව ඔහුගේ ආඥා පවත්වන්න. මේ වනාහි සියලු මනුෂ්‍යයන්ගේ යුතුකමය.’ (දේශනාකාරයා 12:13) දේවදූතයන්ගේ අධීක්ෂණය යටතේ අප කරගෙන යන සාක්ෂි දැරීමේ කාර්යයේදී අප මිනිසුන්ගෙන් උදක්ම ඉල්ලා සිටින්නේද ‘දෙවිට භයව ඔහුට ගෞරව දෙන්න’ කියාය. (එළිදරව් 14:6, 7) යෙහෝවාට භයවීම පමණක් මදිය. ක්‍රිස්තියානීන් තමන්ගේ මුළු හෘදයෙන්ම ඔහුට ප්‍රේම කළ යුතුය. (මතෙව් 22:37, 38) දෙවිට ප්‍රේම කරන අතරම ඔහුට භයවීමට අපට හැක්කේ කෙසේද? ප්‍රේමනීය දෙවි කෙනෙකුට භය විය යුත්තේ මන්ද? දේවභයක් වර්ධනය කරගැනීමෙන් අප ලබන ප්‍රයෝජන මොනවාද? මේ ප්‍රශ්නවලට උත්තර සලකා බැලීමට කලින් අප මුලින්ම කළ යුත්තේ දෙවිට භයවීම යන්නෙන් අදහස් කරන දෙය තේරුම්ගැනීමයි. අප තේරුම්ගත යුතු තවත් දෙයක් වන්නේ එවන් භයක් යෙහෝවා හා අප අතර තිබෙන සබඳතාවේ ප්‍රධාන අංගයක් වන ආකාරයයි.
ගරු බිය, ගැඹුරු ගෞරවය හා භය
3. දෙවි කෙරෙහි භයවීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
3 දෙවි කෙරෙහි භයෙන් සිටීම, තමන්ගේ මැවුම්කරු කෙරෙහි ක්‍රිස්තියානීන් තුළ තිබිය යුතු හැඟීමකි. දෙවි කෙරෙහි දක්වන භය මෙලෙස විග්රහ කළ හැක. “මැවුම්කරු කෙරෙහි ගෞරවය උපදවන විස්මයක් හා ගැඹුරු ගෞරවයක් මෙන්ම ඔහුව අසතුටට පත් කිරීම සඳහා දැඩි අකමැත්තකි. මෙය කෙනෙකුගේ යහපතට හේතු වන අකමැත්තකි.” මේ අනුව දෙවි කෙරෙහි ඇති භය අපේ ජීවිතයේ වැදගත් පැති දෙකක් වන දෙවි කෙරෙහි මෙන්ම ඔහු පිළිකුල් කරන හැසිරීම කෙරෙහි අප දරන ආකල්පයට බලපායි. එම පැති දෙක තීරණාත්මක සාධකයන් වන නිසා ඒවා කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්වීම වටී. වයින්ගේ එක්ස්පොසිටරි ඩික්ෂනරි ඔෆ් නියූ ටෙස්ටමන්ට් වර්ඩ්ස් නමැති ශබ්දකෝෂයෙහි පෙන්වා දෙන පරිදි ක්‍රිස්තියානීන් සම්බන්ධයෙන් ගත් කල එවන් ගෞරවාන්විත භයක් ‘අධ්‍යාත්මික මෙන්ම සදාචාරාත්මක කාරණාවලදී පුද්ගලයෙකුගේ චේතනා පාලනය කරයි.’
4. අපේ මැවුම්කරු කෙරෙහි ගරු බියක් හා ගැඹුරු ගෞරවයක් ඇති කරවන හැඟීම් ගොඩනඟා ගත හැක්කේ කෙසේද?
4 අපේ මැවුම්කරු කෙරෙහි ගරු බියක් හා ගැඹුරු ගෞරවයක් ගොඩනඟා ගැනීමට අපට හැක්කේ කෙසේද? ස්වාභාවික පරිසරයේ අලංකාර දසුනක්, මනබඳින දිය ඇල්ලක් හෝ හිරු බැස යෑමේ චිත්තාකර්ෂණීය දසුනක් දකින විට අප තුළ ඇති වන්නේ දෙවි කෙරෙහි ගෞරවය මුසු වූ විස්මයකි. මවන ලද එවන් දේවලින් පිළිබිඹු වන දෙවිගේ බලය ඇදහිල්ල නමැති ඇස්වලින් අප වටහාගන්න විට ගෞරවය මුසු වූ විස්මයේ හැඟීම් අප තුළ තියුණු වේ. එපමණක්ද නොව, අප තුළ ගරු බියක් ඇති කරවන යෙහෝවාගේ මැවිල්ල සමඟ සසඳන කල අපගේ නොවැදගත්කම දාවිත් මෙන් අපටත් ඒත්තු යයි. ඔහු මෙසේ පැවසුවේය. “ස්වකීය ඇඟිලිවැඩයවූ ඔබගේ අහස්තලයත් ඔබ පිහිටෙවු සඳ හා තාරකාත් බලා කල්පනාකරන කල; ඔබ මනුෂ්‍යයා සිහිකිරීමට ඔහු කවරෙක්ද? ඔබ මනුෂ්‍යපුත්‍රයා සැලකීමට ඔහු කවරෙක්ද?” (ගීතාවලිය 8:3, 4) ගරු බිය මගින් දෙවි කෙරෙහි ගැඹුරු ගෞරවයක් අප තුළ ඇති කරවයි. යෙහෝවා අප වෙනුවෙන් කරන සෑම දෙයක් සඳහාම ඔහුට ස්තුති කිරීමටත් ප්‍රශංසා කිරීමටත් අපව පොලඹවන්නේ එම ගැඹුරු ගෞරවයයි. දාවිත් මෙසේද ලීවේය. “මම ඔබට ස්තුතිකරන්නෙමි; මක්නිසාද මම භයානකලෙසත් පුදුම ලෙසත් සාදනලද්දෙමි. ඔබගේ කර්මාන්ත ආශ්චර්යමත්ය; මාගේ ආත්මයද ඒ බව මනාකොට දනියි.”—ගීතාවලිය 139:14.
5. අප යෙහෝවාට භය විය යුත්තේ මන්ද? මේ සම්බන්ධයෙන් අපට තිබෙන කදිම ආදර්ශය කුමක්ද?
5 ගරු බිය හා ගැඹුරු ගෞරවය මගින්, මැවුම්කරු වශයෙන් දෙවිගේ බලය හා මුළු විශ්වයේම පාලකයා වීමට අයිතිය තිබෙන තැනැත්තා වශයෙන් ඔහුගේ අධිකාරය කෙරෙහි හිතකර භයක් අප තුළ ඇති කරවයි. “මෘගයාගෙනුත් උගේ රූපයෙනුත් . . . ජයගෙන එන්නන්,” එනම් ස්වර්ගයේ ඔවුන්ට හිමි තත්වයෙහි සිටින ක්‍රිස්තුස්ගේ ආලේප ලත් අනුගාමිකයන් මෙසේ ප්‍රකාශ කරනවා ප්‍රේරිත යොහන් දර්ශනයකදී දුටුවේය. “සර්ව පරාක්රමවූ [යෙහෝවා දෙවි,] ඔබගේ ක්‍රියා මහත්ය, විස්මපත්ය. ජාතීන්ගේ රජ්ජුරුවෙනි, ඔබගේ මාර්ග ධර්මිෂ්ඨය, සැබෑය. [යෙහෝවා], ඔබගේ නාමයට භය නොවන්නෙත් ගෞරව නොකරන්නෙත් කවුද?” (එළිදරව් 15:2-4) දෙවිගේ බල මහිමය ගැන සිතන විට ඇති වන ගැඹුරු ගෞරවාන්විත හැඟීම් මගින් දෙවි කෙරෙහි භය ජනිත කරවයි. උත්තරීතර අධිකාරය හොබවන්නා වශයෙන් දෙවිට ගෞරව කිරීමට ක්‍රිස්තුස් සමඟ ස්වර්ගයේ සිටින එම හවුල් පාලකයන් තුළ පෙලඹීමක් ඇති කරන්නේ එම භයයි. යෙහෝවා කර තිබෙන සෑම දෙයක් ගැනත් ඔහු මුළු විශ්වයම ධර්මිෂ්ඨ ලෙස පාලනය කරන ආකාරය ගැනත් කල්පනා කරද්දී, ඔහු කෙරෙහි භයක් ඇති කරගැනීමට අපට අපමණ හේතු නැද්ද?—ගීතාවලිය 2:11; යෙරෙමියා 10:7.
6. යෙහෝවාව අසතුටට පත් කිරීම ගැන, අපේම යහපතට බලපාන ආකාරයේ දැඩි අකමැත්තක් අප තුළ තිබිය යුත්තේ මන්ද?
6 කෙසේවෙතත්, දෙවි කෙරෙහි භයක් ඇතුව සිටීමට ඇතුළත් විය යුත්තේ ගරු බියක් හා ගැඹුරු ගෞරවයක් පමණක් නොවේ. ඔහුව අසතුටු කිරීමෙන් හෝ ඔහුට අකීකරු වීමෙන් අපව වළක්වන, අපේම යහපතට බලපාන ආකාරයේ දැඩි අකමැත්තක්ද ඊට අයත් වේ. ඒ මන්ද? යෙහෝවා ‘උදහස් වීමට ප්‍රමාද, අධිකතර කරුණාවෙන්’ යුක්ත කෙනෙකු වුවත්, “වරදකරුවන් කවර ප්‍රකාරයකින්වත් නිදහස් නොකරන” බව අප අමතක නොකළ යුතු බැවිනි. (නික්මයාම 34:6, 7) යෙහෝවා ප්‍රේමයෙන් හා දයාවෙන් පූර්ණ වුවත්, අධර්මිෂ්ඨකම් හා හිතාමතා කරන වැරදි ඉවසන්නේ නැත. (ගීතාවලිය 5:4, 5; හබක්කුක් 1:13) හිතාමතාම හා පසුතැවිලි වන්නේ නැතුව යෙහෝවාගේ ඇස් හමුවෙහි නපුරු දේවල් කරන අයට හා ඔහුට විරුද්ධ වන අයට හානිකර විපාකවලින් ගැළවිය නොහැක. ප්‍රේරිත පාවුල් පැවසූ පරිදි “ජීවමානවූ [දෙවිගේ] අත්වලට අසුවීම භයානක දෙයක්ය.” එවන් තත්වයකට පත් නොවීමට දැඩි අකමැත්තක් තිබෙනවා නම් අපට හානිකර විපාකවලින් ආරක්ෂා විය හැක. එම දැඩි අකමැත්ත අපේම යහපතට හේතු වේ.—හෙබ්‍රෙව් 10:31.
‘ඔහුට ඇලුම්ව සිටින්න’
7. යෙහෝවාගේ ගැළවීමේ බලය කෙරෙහි විශ්වාසය තැබීමට අපට තිබෙන හේතු මොනවාද?
7 දෙවි කෙරෙහි ඇති ගෞරවාන්විත භය හා ඔහු සතු ගරු බිය දනවන බලය ගැන තිබෙන තියුණු අවබෝධය, යෙහෝවා කෙරෙහි දැඩි විශ්වාසයක් හා නිසැකකමක් ඇතුව සිටීම සඳහා පදනම සපයයි. පියා ළඟ සිටින විට දරුවෙකුට සුරක්ෂිත බවක් දැනෙන්නාක් මෙන් යෙහෝවාගේ මඟ පෙන්වීමේ හස්තය යටතේ සිටින විට අපට සුරක්ෂිත බවක් හා නිසැකකමක් දැනෙයි. යෙහෝවා ඉශ්රායෙල්වරුන්ව මිසරයේ වහල්භාවයෙන් නිදහස් කරගැනීමෙන් පසු ඔවුන් ඊට ප්‍රතිචාරය දැක්වූ ආකාරය සැලකිල්ලට ගන්න. ‘යෙහෝවා මිසරවරුන්ට කළ මහත් ක්‍රියාව ඉශ්රායෙල්වරු දුටූහ. සෙනඟ යෙහෝවාට භයව ඔහුව විශ්වාස කළෝය.’ (නික්මයාම 14:31) ‘යෙහෝවාගේ දූතයා ඔහුට භය ඇත්තන් හාත්පස කඳවුරු බැඳ, ඔවුන්ව ආරක්ෂා කරන’ බව එලිෂාගේ අද්දැකීමෙන්ද තහවුරු වේ. (ගීතාවලිය 34:7; 2 රාජාවලිය 6:15-17) යෙහෝවාගේ සේවකයන්ගේ නවීන දින ඉතිහාසයෙන් මෙන්ම අපේ පෞද්ගලික අද්දැකීම්වලින්ද තහවුරු වන්නේ තමන්ට සේවය කරන අය වෙනුවෙන් දෙවි ඔහුගේ බලය යොදවන බවයි. (2 ලේකම් 16:9) මේ නිසා “[යෙහෝවා] කෙරෙහි භයවීමෙන් බලවත් නිසැකකමක්” ඇති වන බව අපි කෙමෙන් කෙමෙන් වටහාගන්නෙමු.—හිතෝපදේශ 14:26.
8. (අ) දෙවිගේ මාර්ගවල ගමන් කිරීමට දෙවිට ඇති භය අපව පොලඹවන්නේ මන්ද? (ආ) අප යෙහෝවාට “ඇලුම්ව” සිටිය යුතු ආකාරය පැහැදිලි කරන්න.
8 දෙවි කෙරෙහි තිබෙන හිතකර භය මගින් ඔහු කෙරෙහි දැඩි විශ්වාසයක් හා ඔහු ගැන නිසැකකමක් අප තුළ ඇති කරනවා පමණක් නොව, ඔහුගේ මාර්ගවල ගමන් කිරීමටද එය අපව පොලඹවයි. දේවමාළිගාව කැප කළ අවස්ථාවේදී සාලමොන් යෙහෝවාට මෙසේ යාච්ඤා කළේය. ‘ඔබ අපේ පියවරුන්ට දුන් භූමිය මතු පිට [ඉශ්රායෙල්වරුන්] ජීවත් වන සියලු දවස්වලදී ඔවුන් ඔබ කෙරෙහි භය වී ඔබගේ මාර්ගවල හැසිරෙත්වා [ගමන් කරත්වා, NW].’ (2 ලේකම් 6:30) මීට කලින් මෝසෙස් ඉශ්රායෙල්වරුන්ව මෙසේ උනන්දු කළේය. ‘නුඹලාගේ දෙවි වූ යෙහෝවා අනුව ගොස්, ඔහුට භයව, ඔහුගේ ආඥා රක්ෂා කොට, ඔහුගේ හඬට කීකරුව ඔහුට සේවය කර ඔහුට ඇලුම්ව සිටින්න.’ (ද්විතීය කථාව 13:4) යෙහෝවාගේ මාර්ගවල ගමන් කිරීමටත් ඔහුට “ඇලුම්ව” සිටීමටත් ආශාවක් ඇති වන්නේ දෙවි කෙරෙහි දැඩි විශ්වාසයක් හා නිසැකකමක් ඇතුව සිටීම මගින් බව එම වගන්තිවලින් පැහැදිලි වේ. තම පියා කෙරෙහි දැඩි විශ්වාසයක් තබන කුඩා දරුවෙකු පියාට ඇලුම්කමක් දක්වමින් ඔහුගේ අතේ එල්ලී සිටින්නාක් මෙන් යෙහෝවාට ඇලුම්ව සිටීමටත් කීකරු වීමටත් සේවය කිරීමටත් අපව පොලඹවන්නේ දේවභයයි.—ගීතාවලිය 63:8; යෙසායා 41:13.
දෙවිට ප්‍රේමවීම යනු ඔහුට භයවීමයි
9. දෙවිට ප්‍රේම කිරීම හා දෙවිට භයවීම අතර තිබෙන සබඳතාව විස්තර කරන්න.
9 දෙවිට භය වන අතරම ඔහුට ප්‍රේම කළ නොහැකි බව ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් දේවලින් අදහස් නොකරයි. ‘යෙහෝවාගේ සියලු මාර්ගවල ගමන් කරමින් ඔහුට ප්‍රේම කිරීමට හැකි වන පිණිස ඔහුට භය වන්න’ කියා ඉශ්රායෙල්වරුන්ට උපදෙස් දී තිබිණ. (ද්විතීය කථාව 10:12) මෙයින් පැහැදිලි වන්නේ දෙවිට භයවීම හා ප්‍රේම කිරීම අතර සමීප සබඳතාවක් තිබෙන බවයි. දෙවිගේ මාර්ගවල ගමන් කිරීමට අපව පොලඹවන්නේ දෙවි කෙරෙහි තිබෙන භයයි. මෙසේ අප දෙවිගේ මාර්ගවල ගමන් කිරීම අප ඔහුට ප්‍රේම කරන බවට සාක්ෂියක් වේ. (1 යොහන් 5:3) අප යමෙකුට ප්‍රේම කරන විට, ඔහුව හෝ ඇයව වේදනාවට පත් කිරීමට අප තුළ සාධාරණ භයක් ඇති වන නිසා මෙය තර්කානුකූල දෙයක් වේ. ඉශ්රායෙල්වරු පාළුකරයේ සිටි කාලයේදී කැරලිගැසීමෙන් යෙහෝවාව වේදනාවට පත් කළහ. අපේ ස්වර්ගික පියාව එසේ දුකට පත් කරවන කිසිවක් කරන්න අපට නම් කිසිම වුවමනාවක් නැති බව නිසැකයි. (ගීතාවලිය 78:40, 41) අනිත් අතට ‘යෙහෝවා තමන් කෙරෙහි භය ඇත්තන්ට ප්‍රසන්න වන’ නිසා අප ඔහුට කීකරුව හා විශ්වාසවන්තව සිටින විට ඔහුගේ සිතට දැනෙන්නේ ඉමහත් සතුටකි. (ගීතාවලිය 147:11; හිතෝපදේශ 27:11) දෙවිට තිබෙන ප්‍රේමය ඔහුව සතුටු කිරීමට අපව පොලඹවන අතර, දෙවිට තිබෙන භය ඔහුට වේදනා ගෙන දීමෙන් අපව වළක්වයි. මෙම ගුණාංග දෙක එකිනෙක හා බැඳී පවතිනවා මිස එකිනෙකට විරුද්ධව පවතින ගුණාංග නොවේ.
10. යෙහෝවාට භයවීමෙන් තමන් ප්‍රීතියක් ලැබූ බව යේසුස් පෙන්නුවේ කෙසේද?
10 දෙවිට ප්‍රේම කරන අතරම ඔහුට භයවීමට අප හැක්කේ කෙසේද කියා යේසුස් ක්‍රිස්තුස් ජීවත් වූ ආකාරයෙන් පැහැදිලි වේ. අනාගතවක්තෘ යෙසායා යේසුස් ගැන මෙසේ ලීවේය. ‘යෙහෝවාගේ ආත්මය, එනම් ප්‍රඥාව හා නුවණේ ආත්මයද මන්ත්‍රණය හා බලයේ ආත්මයද දැනගැන්ම හා යෙහෝවා කෙරෙහි භයවීමේ ආත්මයද ඔහු කෙරෙහි පිහිටන්නේය. යෙහෝවා කෙරෙහි භයින් සිටීම ඔහුගේ ප්‍රීතිය වන්නේය.’ (යෙසායා 11:2, 3) මෙම අනාවැකියට අනුව සිය ස්වර්ගික පියාට භයවීමට යේසුස්ව පොලඹවනු ලැබුවේ දෙවිගේ ආත්මයයි. එපමණක්ද නොව, මෙම භය අනවශ්‍ය පීඩනයක් ඇති කරන දෙයක් නොව තෘප්තිය ඇති කරවන දෙයක් වූ බවද එහි සඳහන් දේවලින් පැහැදිලි වේ. දෙවිගේ කැමැත්ත කිරීමේදී හා ඔහුව සතුටු කිරීමේදී යේසුස් ඉතාමත් දුෂ්කර තත්වයන් යටතේදී පවා ප්‍රීතිය අද්දැක්කේය. වධ කණුවක එල්ලා මරන්න ආසන්නව සිටියදී ඔහු යෙහෝවාට මෙසේ පැවසුවේය. “මා කැමතිලෙස නොව ඔබ කැමතිලෙස වේවා.” (මතෙව් 26:39) මෙවන් දේවභයක් තම පුත්‍රයා තුළ තිබූ නිසා යෙහෝවා ඔහුගේ ඉල්ලීම්වලට සවන් දුන්නේය. ඔහුව ශක්තිමත් කළේය. දිගටම මරණය නමැති නින්දෙහි පසුවීමට ඉඩ නොහැරියේය.—හෙබ්‍රෙව් 5:7.
යෙහෝවාට භයවීමට ඉගෙනගනිමු
11, 12. (අ) අප දෙවිට භයවීමට ඉගෙනගත යුත්තේ මන්ද? (ආ) යෙහෝවාට භයවීමට යේසුස් අපට උගන්වන්නේ කෙසේද?
11 ස්වාභාවික පරිසරයේ බල මහිමය දකින විට නිරායාසයෙන්ම අප තුළ ගරු බියක් පහළ වේ. එහෙත් දෙවි කෙරෙහි භය එසේ ඉබේම ඇති වන දෙයක් නොවේ. මේ නිසයි, උතුම් දාවිත් වන යේසුස් ක්‍රිස්තුස් අපට මෙසේ ඇරයුම් කරන්නේ. ‘දරුවෙනි, එන්න, මට කන් දෙන්න. යෙහෝවා කෙරෙහි භයවීම මම නුඹලාට උගන්වන්නෙමි.’ (ගීතාවලිය 34:11) යෙහෝවාට භයවීම ගැන යේසුස්ගෙන් අපට ඉගෙනගත හැක්කේ කෙසේද?
12 අපේ ප්‍රේමනීය ස්වර්ගික පියාගේ ශ්‍රේෂ්ඨ පෞද්ගලිකත්වය අවබෝධ කරගැනීමට උපකාර කිරීමෙන්, යෙහෝවා කෙරෙහි භයවීමට යේසුස් අපට උගන්වයි. (යොහන් 1:18) යේසුස් සිය පියාගේ පෞද්ගලිකත්වය පරිපූර්ණ ලෙස පිළිබිඹු කරන නිසා දෙවි සිතන ආකාරය හා දෙවි අන් අය සමඟ කටයුතු කරන ආකාරය යේසුස්ගේ ආදර්ශයෙන් අනාවරණය වේ. (යොහන් 14:9, 10) එපමණක්ද නොව, අපේ පාපවලට සමාව ඉල්ලා යාච්ඤාව තුළින් යෙහෝවා වෙත ළඟාවීමේ හැකියාව යේසුස්ගේ ජීවිත පූජාව නිසා අපට තිබේ. මෙලෙස දෙවි අපට අසාමාන්‍ය ලෙස දයාව පෙන්වා තිබීමම ඔහුට භයවීමට අප තුළ පෙලඹවීමක් ඇති කරවයි. ගීතිකාකරු මෙසේ ලීවේය. “ඔබ කෙරෙහි භය ඇතුව සිටින පිණිස ඔබ වෙත කමාව ඇත්තේය.”—ගීතාවලිය 130:4.
13. යෙහෝවා කෙරෙහි භයවීම සඳහා හිතෝපදේශ පොතෙහි සඳහන් අපට උපකාරවත් වන පියවර මොනවාද?
13 අප තුළ දේවභය ගොඩනඟා ගැනීමට ඉවහල් වන පියවර කිහිපයක් අනුපිළිවෙළින් හිතෝපදේශ පොතෙහි මෙසේ දැක්වේ. “මාගේ පුත්‍රය, නුඹ මාගේ කීම් පිළිගෙන, මාගේ ආඥා නුඹ වෙත තබාගෙන, ප්‍රඥාවට ඇහුම්කන්දී ඥානයට නුඹේ සිත යොමුකරන්නෙහි නම්, එසේය, නුඹ නුවණට හඬගසා, ඥානයට නුඹේ ශබ්දය නඟන්නෙහි නම්, . . . නුඹ [යෙහෝවා] කෙරෙහි භයවීම තේරුම්ගන්නෙහිය, [දෙවි] හැඳිනගැනීමටද පැමිණෙන්නෙහිය.” (හිතෝපදේශ 2:1-5) එමනිසා දෙවිට භයවීමට නම්, අප ඔහුගේ වචනය අධ්‍යයනය කරමින් එහි තිබෙන මඟ පෙන්වීම් තේරුම්ගැනීමට අවංක වෑයමක් දරා, එහි උපදෙස් අදාළ කරගත හැකි ආකාරය කෙරෙහි කිට්ටු අවධානයක් දිය යුතුය.
14. ඉශ්රායෙල්හි විසූ රජවරුන්ට දුන් උපදෙස් අපට අනුගමනය කළ හැක්කේ කෙසේද?
14 ව්‍යවස්ථාවේ පිටපතක් සාදා ‘එහි සඳහන් නියෝග පවත්වන පිණිසද තමාගේ දෙවි වූ යෙහෝවාට භයවීමට ඉගෙනගන්න පිණිසද තමාගේ ජීවිතයේ සියලු දවස්වලදී එය කියවන්න’ කියා පුරාණ ඉශ්රායෙල්හි විසූ සෑම රජ කෙනෙකුටම උපදෙස් දී තිබිණ. (ද්විතීය කථාව 17:18-20) යෙහෝවාට භයවීමට ඉගෙනගන්න නම් බයිබලය කියවීම හා අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍යයි. බයිබල් ප්‍රතිපත්ති අපේ ජීවිතවලට අදාළ කරගනිද්දී දෙවිගෙන් පැමිණෙන ප්‍රඥාව හා දැනුම අපි ක්‍රමානුකූලව අත් කරගන්නෙමු. දේවභය විදහාපෙන්වීමෙන් අපේ ජීවිතවල අප අද්දකින යහපත් ප්‍රතිඵල නිසා ‘යෙහෝවා කෙරෙහි භයවීම අප තේරුම්ගන්නා’ අතර, දෙවි සමඟ තිබෙන අපේ සබඳතාව අපි උතුම් වස්තුවක් ලෙස සලකන්නෙමු. ඊට අමතරව, සෙසු ඇදහිලිවන්තයන් සමඟ නිතිපතා එකට එක්රැස් වීමෙන් බාලයන්ට මෙන්ම මහලු අයටද දෙවිගෙන් ලැබෙන ඉගැන්වීම්වලට සවන් දිය හැක. එලෙස, දෙවිට භයවීමට ඉගෙනගනිමින් ඔහුගේ මාර්ගවල ගමන් කළ හැක.—ද්විතීය කථාව 31:12, 13ආ.
යෙහෝවාට භය වන සියල්ලෝම සන්තෝෂ වෙති
15. දෙවි කෙරෙහි භයෙන් සිටීම ඔහුට කරන නමස්කාරයට සම්බන්ධ වන්නේ කිනම් ආකාරවලින්ද?
15 දෙවිට භයවීම, අප යෙහෝවාට කරන නමස්කාරයේ ප්‍රධාන අංගයක් වන නිසා, එය අප සියලුදෙනාම වර්ධනය කරගත යුතු යහපත් ආකල්පයක් බව අප මෙතෙක් සලකා බැලූ දේවලින් පැහැදිලි වේ. දෙවි කෙරෙහි දැඩි විශ්වාසයෙන් සිටීමටත් ඔහුගේ මාර්ගවල ගමන් කරමින් ඔහුට ඇලී සිටීමටත් අපට උපකාරවත් වන්නේ දෙවිට ඇති භයයි. යේසුස් ක්‍රිස්තුස් සම්බන්ධයෙන් සැබෑවක් වූවාක් මෙන් දැනුත් සදහටමත් අපේ කැපවීමට එකඟව ජීවත් වීමට අපව පොලඹවන්නෙත් දෙවි කෙරෙහි තිබෙන භයයි.
16. තමන්ට භය වන්න කියා යෙහෝවා අපව දිරිමත් කරන්නේ මන්ද?
16 දේවභය කිසිවිටකත් නිරස හැඟීමක් ඇති කරන දෙයක් නොවේ. එමෙන්ම අනවශ්‍ය සීමා තහංචිවලින් අපව කොටු කරන දෙයක්ද නොවේ. බයිබලය මෙසේ අප තුළ නිසැකකමක් ඇති කරවයි. “[යෙහෝවා] කෙරෙහි භයවන්නාවූ, [ඔහුගේ] මාර්ගවල හැසිරෙන්නාවූ සියල්ලෝම භාග්‍යවන්තයෝය [සන්තෝෂ වෙති, NW].” (ගීතාවලිය 128:1) තමන්ට භයෙන් සිටින්න කියා යෙහෝවා අපව දිරිමත් කරන්නේ එයින් අපට ආරක්ෂාවක් ලැබෙන බව ඔහු දන්න නිසාය. යෙහෝවාගේ ප්‍රේමනීය සැලකිල්ල ඔහු මෝසෙස්ට පැවසූ මෙම වදන්වලින් අපට තේරුම්ගත හැක. ‘ඔවුන්ටද ඔවුන් සමඟ ඔවුන්ගේ දරුවන්ටද සදාකාලේටම ශුභ සිද්ධ වන පිණිස නිතරම මට භයවීමටත් මාගේ සියලු ආඥා රක්ෂා කිරීමටත් ඔවුන් [තමන්ගේ හෘද ගොඩනඟා ගන්නේ නම්, NW] යහපත!’—ද්විතීය කථාව 5:29.
17. (අ) දෙවිට භයවීමෙන් අප ලබන ප්‍රයෝජන මොනවාද? (ආ) ඊළඟ ලිපියේදී සලකා බලන්නේ දේවභය හා සම්බන්ධ කිනම් පැතිද?
17 එලෙස අපත් දෙවි කෙරෙහි භයක් ඇති කරගැනීමට අපේ හෘදය ගොඩනඟා ගන්නවා නම් අපටත් ශුභ සිද්ධ වනු ඇත. කිනම් ආකාරවලින්ද? පළමුව, එවන් ආකල්පයක් දැරීමෙන් දෙවිව සතුටු කිරීමට අපට හැක. එමෙන්ම එය ඔහු වෙතට අපව ළං කරවයි. ‘ඔහු තමන් කෙරෙහි භය ඇත්තන්ගේ ආශාව ඉෂ්ට කර දෙන්නේය. ඔවුන්ගේ මොරගැසීම අසා ඔවුන් ගළවන්නේය’ යන වදන්වල සත්‍යතාව දාවිත් පෞද්ගලිකව අද්දැක්කේය. (ගීතාවලිය 145:19) දේවභය වැරදි දේවල් ගැන අප දරන ආකල්පයට බලපායි. මෙය අප ලබන දෙවන ප්‍රයෝජනයයි. (හිතෝපදේශ 3:7) මෙවන් භයක් අපේ ආත්මිකත්වයට සිදු විය හැකි අනතුරුවලින් අපව ආරක්ෂා කරන ආකාරය ඊළඟ ලිපියේදී පරීක්ෂා කෙරේ. එමෙන්ම දෙවිට භය වී වැරදි දේවලින් වැළකී සිටියාවූ පුරුෂයන් පිළිබඳව ශුද්ධ ලියවිල්ලේ සඳහන් ආදර්ශ සමහරක්ද ඊළඟ ලිපියේදී සලකා බලනු ඇත.
[පාදසටහන]
a එක්සත් ජාතීන්ගේ මහ සභාව විසින් 1948 දෙසැම්බර් 10වන දින මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශය සකස් කරන ලදි.
ඔබට උත්තර දිය හැකිද?
• දෙවිට භයවීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? එමෙන්ම එය අපට බලපාන්නේ කෙසේද?
• දෙවිට භයවීම හා දෙවි සමඟ ගමන් කිරීම අතර තිබෙන සම්බන්ධය කුමක්ද?
• දෙවිට භයවීම හා දෙවිට ප්‍රේම කිරීම එකිනෙකට බැඳී පවතින බව යේසුස්ගේ ආදර්ශයෙන් පැහැදිලි වන්නේ කෙසේද?
• යෙහෝවාට භයවීම සඳහා අපේ හෘදයන් ගොඩනඟා ගැනීමට අපට හැකි මාර්ග මොනවාද?
[17වන පිටුවේ පින්තූරය]
ව්‍යවස්ථාවේ පෞද්ගලික පිටපතක් සාදාගෙන එය දිනපතා කියවන්න කියා ඉශ්රායෙල්හි රජවරුන්ට නියෝග කර තිබිණ
[18වන පිටුවේ පින්තූරය]
පුතෙකු තම පියා කෙරෙහි දැඩි විශ්වාසයක් තබන්නාක් මෙන් යෙහෝවා කෙරෙහි දැඩි විශ්වාසයක් තැබීමට අපව පොලඹවන්නේ ඔහු කෙරෙහි තිබෙන භයයි
[15වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Stars: Photo by Malin, © IAC/RGO 1991