බාරාක්ගේ ඇදහිල්ල නිසා බලවත් හමුදාවක් පරාජයට
සටනට සැරසී සිටින විශාල සතුරු සේනාවක් ඉදිරියෙහි ඔබ සිටිනවා කියා සිතෙන් මවාගන්න. නවීනතම යුධෝපාංගවලින් සන්නද්ධ වී සිටින ඔවුන් ඒවා ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටියි. ඔවුන් ඉදිරියේ ඔබත් ඔබේ මිතුරනුත් අසරණයි කියා පැවසුවොත් නිවැරදියි.
ඊශ්‍රායෙලයේ විනිශ්චයකරුවන් සිටි කාලයේ බාරාක්, දෙබොරා සහ තවත් ඊශ්‍රායෙලිතයන් 10,000ක් මෙවන් අද්දැකීමකට මුහුණ දුන්නා. හමුදාපති සිසෙරාගේ මෙහෙයුම යටතේ සිටි කානානිවරු තමයි සතුරු හමුදාව වූයේ. ඔවුන්ගේ යුද්ධායුධවලට රථ ඇතුළත් වුණා. එම රථවල රෝදවලට සවි කර තිබුණේ තියුණු යකඩ උල් තල. මෙම සිද්ධිය සිදු වුණේ තාබෝර් කන්ද සහ කීෂොන් ඔයේ මිටියාවතේදීයි. එහි සිදු වූ සිදුවීම් සලකා බලන කල පෙනී යන්නේ, බාරාක් විශිෂ්ට ඇදහිල්ලක් තිබූ මිනිසෙක් බවයි. මෙම ගැටුමට මුල් වූ සිද්ධීන්වලට අවධානය දෙන්න.
ඊශ්‍රායෙල්වරුන් යෙහෝවාට මොරගසයි
ඊශ්‍රායෙල්වරු නිර්මල නමස්කාරය දිගින් දිගටම අත්හැරිය ආකාරයත් එයින් ඔවුන්ට අත් වූ විනාශකාරී ප්‍රතිඵල ගැනත් විනිශ්චයකාරයන්ගේ පොතේ සඳහන් වෙනවා. සෑම අවස්ථාවකම යෙහෝවාගේ දයාව ඉල්ලා ඔවුන් කළ අවංක අයැදුම්වලට ප්‍රතිචාරය දැක්වීමක් වශයෙන් යෙහෝවා ඔවුන්ව ගලවාගැනීමට නියෝජිතයෙකුව පත් කළ අතර ඒ තුළින් ඔවුන් නිදහස ලැබුවා. කොහොමවුණත් ඔවුන් නැවතත් දෙවිට විරුද්ධව කැරලිගැසුවා. එම ක්‍රියාකලාපයට අනුව ‘ඒහුද් [මෝවබ්වරුන්ගේ පීඩාවෙන් ඔවුන්ව ගලවාගත් විනිශ්චයකරුවෙක්] මැරුණායින් පසු ඊශ්‍රායෙල් පුත්‍රයෝ නැවත යෙහෝවාගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කළා.’ ඇත්තම කියනවා නම් ‘ඔවුන් අමුතු දෙවිවරුන්ට නමස්කාර කිරීමට පටන්ගත්තා.’ මෙහි ප්‍රතිඵලය කුමක්ද? “යෙහෝවා හාශොර්හි රජකම් කළ කානාන්හි රජ වූ යාබින් අතට ඔවුන් පාවා දුන්නේය. ඔහුගේ සේනාවේ අධිපතියා . . . සිසෙරාය. ඊශ්‍රායෙල් පුත්‍රයෝ යෙහෝවාට මොරගැසුවෝය. මක්නිසාද [සිසෙරාට] යකඩ රථ නවසියයක් තිබුණේය. ඔහු ඊශ්‍රායෙල් පුත්‍රයන්ට විසි අවුරුද්දක් බලවත් ලෙස පීඩා කළේය.”—විනිශ්චයකාරයන් 4:1-3; 5:8.
ඊශ්‍රායෙලයේ මනුෂ්‍යයන් ජීවත් වූ ආකාරය පිළිබඳව ලියවිලිවල මෙසේ සඳහන් වී තිබෙනවා. “[ඒ දවස්වල] මාවත් හිස්ව තිබුණේය. මගීහුද අතුරු පාරවලින් ගියෝය.” (විනිශ්චයකාරයන් 5:6, 7) මනුෂ්‍යයන් සිටියේ රථවලින් පැමිණෙන කොල්ලකරුවන්ට බියෙනුයි. “ඊශ්‍රායෙලයේ මනුෂ්‍යයන් ජීවත් වුණේ බියෙන් යටපත් වෙලා. මුළු සමාජයම අසරණව කිසිවක් කරකියාගත නොහැකි තත්වයකයි හිටියේ.” එසේ පැවසුවේ එක් විශාරදයෙක්. මීට පෙර කළා හා සමානව අධෛර්යයට පත්ව සිටි ඊශ්‍රායෙල්වරු උපකාරය පතා යෙහෝවාට මොරගැසුවා.
යෙහෝවා නායකයෙක්ව පත් කරයි
කානානීය කෲර පීඩාව පැවති කාලයේ ඊශ්‍රායෙල් ජාතිය ජාතික අර්බුදයකට මුහුණ දුන්නා. එවිට යෙහෝවා තම විනිශ්චයන් හා උපදෙස් ලබා දීමට අනාගතවක්තෘවරියක් වූ දෙබොරාව උපයෝගි කරගත්තා. එසේ කිරීමෙන් යෙහෝවා ඇයට ඊශ්‍රායෙල් ජාතිය වෙනුවෙන් මවක් ලෙස කටයුතු කිරීමේ භාග්‍යය ලබා දුන්නා.—විනිශ්චයකාරයන් 4:4; 5:7.
දෙබොරා බාරාක්ව ගෙන්වාගෙන ඔහුට මෙහෙම පැවසුවා. “ඔබ ගොස් නප්තලී පුත්‍රයන්ගෙනුත් සාබුලොන් පුත්‍රයන්ගෙනුත් මනුෂ්‍යයන් දස දහසක් රැස් කරගෙන තාබෝර් කන්දට යන්න කියාත්, මම යාබින්ගේ සේනාවේ අධිපතියා වූ සිසෙරාද ඔහුගේ රථද සමුදාවද කීෂොන් ඔය ළඟ ඔබ වෙතට රැස් කර ඔහු ඔබ අතට පාවා දෙන්නෙමියි කියාත් ඊශ්‍රායෙල්ගේ දෙවි වූ යෙහෝවා අණ කළා නොවේද?” (විනිශ්චයකාරයන් 4:6, 7) “යෙහෝවා අණ කළා නොවේද?” කියා කීමෙන් දෙබොරා අවධාරණයෙන් කියා සිටියේ තමාට කිසිම පෞද්ගලික අධිකාරයක් බාරාක් කෙරෙහි නැති බවයි. ඇය ක්‍රියා කළේ දිව්‍ය අණ ප්‍රකාශ කිරීමේ මාධ්‍යය ලෙස පමණයි. බාරාක් ක්‍රියා කළේ කොහොමද?
“එවිට බාරාක් ඈට කතා කොට, ඔබ මා සමඟ යනවා නම් මම යන්නෙමි. ඔබ මා සමඟ නොයනවා නම් මමත් නොයන්නෙමියි කීය.” (විනිශ්චයකාරයන් 4:8) බාරාක් දෙවි දුන් වගකීම බාරගැනීමට මැළිකමක් දැක්වූයේ ඇයි? ඔහු බියගුලු ආකාරයකින් ක්‍රියා කළාද? දෙවිගේ පොරොන්දු කෙරෙහි ඔහුට විශ්වාසයක් තිබුණේ නැද්ද? ඇත්තෙන්ම බාරාක් පැවරුම ප්‍රතික්ෂේප කළේවත් යෙහෝවාට අකීකරු වුණේවත් නැහැ. ඒ වෙනුවට ඔහුගේ ප්‍රතිචාරයෙන් ඇඟවූයේ තමන්ගේම උත්සාහයෙන් දෙවිගේ අණ ක්‍රියාත්මක කිරීමට නොහැකියි කියා ඔහුට හැඟුණු බවයි. දෙවිගේ නියෝජිතයාගේ පැමිණීම දිව්‍ය මඟ පෙන්වීම තිබෙන බවට සහතිකයක් වනු ඇති අතර එය ඔහු තුළත් ඔහුගේ සගයන් තුළත් නිසැකකමක් ඇති කිරීමට හේතුවක්ද වෙයි. එමනිසා බාරාක් කළ ඉල්ලීම දුර්වලකමේ ලක්ෂණයක් නොවෙයි. ඇත්තෙන්ම එයින් පෙන්නුම් කළේ ශක්තිමත් ඇදහිල්ලක් ඔහුට තිබූ බවයි.
බාරාක්ගේ ප්‍රතිචාරය මෝසෙස්, ගිඩියොන් සහ යෙරෙමියාගේ ප්‍රතිචාරයට සමාන කරන්න පුළුවන්. මෙම මනුෂ්‍යයන්ටත් දෙවිගේ පැවරුම් ඉටු කිරීමට තමන්ගේ හැකියාව ගැන විශ්වාසයක් තිබුණේ නැහැ. මෙම හේතුව නිසා ඔවුන්ව මද ඇදහිල්ලක් තිබූ අය ලෙස සැලකුවේ නැහැ. (නික්මයාම 3:11-4:17;33:12-17; විනිශ්චයකාරයන් 6:11-22, 36-40; යෙරෙමියා 1:4-10) දෙබොරාගේ ආකල්පය ගැන කුමක් පැවසිය හැකිද? ඇය කිසිවෙකුවත් පාලනය කිරීමට උත්සාහ කළේ නැහැ. ඇය කටයුතු කළේ යෙහෝවාගේ යටහත් පහත් සේවිකාවක් ලෙසයි. “සැබවින් මම ඔබ සමඟ යන්නෙමි” යනුවෙන් ඈ බාරාක්ට පැවසුවා. (විනිශ්චයකාරයන් 4:9) සටනේදී බාරාක් සමඟ සිටීම සඳහා සුරක්ෂිතභාවයක් තිබූ තම නිවස අත්හැර යන්න පවා ඇය කැමැත්තක් දැක්වුවා. දෙබොරාත් ඇදහිල්ල හා ධෛර්යය සම්බන්ධයෙන් කදිම ආදර්ශයක්.
ඇදහිල්ලෙන් ඔවුන් බාරාක් අනුව යයි
ඊශ්‍රායෙල් හමුදාවන් රැස් වූයේ සුප්‍රකට කන්දක් වන තාබෝර්හිදීයි. එම ස්ථානය ඒ සඳහා ඉතාමත් සුදුසුයි. මන්දයත් එම කන්ද අසල ජීවත් වූ නප්තලී සහ සාබුලොන් ගෝත්‍රවලට එය සුපුරුදු රැස්වීමේ ස්ථානයක් වුණා. දෙවි අණ කර තිබූ ලෙස සෙබළු දස දහසක් සමඟ දෙබොරාද බාරාක් පසුපසින් මෙම කන්දට නැග්ගා.
බාරාක් සමඟ ගිය සෑම කෙනෙකුටම අවශ්‍ය වූයේ ඇදහිල්ලයි. කානානිවරුන්ගෙන් ජය අත් කර දෙන බවට යෙහෝවා බාරාක්ට පොරොන්දු වී තිබුණා. එහෙත් මේ සඳහා ඊශ්‍රායෙල් ජාතිකයන්ට කුමානාකාරයේ ආයුධද තිබුණේ? එයට පිළිතුර විනිශ්චයකාරයන් 5:8හි සඳහන් වෙනවා. ‘ඊශ්‍රායෙල්හි සතළිස් දහසක් අතරේ පලිහක්වත් හෙල්ලයක්වත් දකිනු ලැබුයේ නැත.’ ඊශ්‍රායෙල් ජාතිකයන්ට එතරම් ආයුධ තිබුණේ නැහැ. ඔවුන්ට හෙල්ල සහ පලිහ තිබුණත් යකඩ උල් තල සහිත රථ සමඟ සසඳන කල ඒවා බලවත් ආම්පන්න නොවෙයි. බාරාක් තාබෝර් කන්දට ගිය බව දැනගත් විට විගස සිසෙරා යුධ රථ සමඟින් තම හමුදාව කීෂොන් ඔය ළඟට කැඳෙව්වා. (විනිශ්චයකාරයන් 4:12, 13) නමුත් සිසෙරා එක් දෙයක් වටහාගැනීමට අසමත් වුණා. ඒ, තමන් සටන් කරන්නේ සර්වබලධාරී දෙවි සමඟයි කියන එක.
බාරාක් සිසෙරාගේ හමුදාව පරාජය කරයි
පහර දීමේ මොහොත පැමිණි විට දෙබොරා බාරාක්ට කතා කර “නැඟිටින්න, මක්නිසාද යෙහෝවා සිසෙරා ඔබ අතට පාවා දෙන දවස මේය. යෙහෝවා ඔබට පෙරටුව යනවා නොවේදැයි කීවාය.” ඒ අනුව බාරාක් සහ ඔහුගේ මිනිසුන්ට තාබෝර් කන්දෙන් බැස මිටියාවතට යන්න සිදු වුණා. නමුත් එහිදී සිසෙරාට වැඩි වාසි අත් වන බවයි පෙනෙන්නට තිබුණේ. ඔබ බාරාක්ගේ හමුදාවේ සිටියා නම් ඔබට කෙසේ හැඟේවිද? එම උපදෙස් ලැබුණේ යෙහෝවාගෙන් බව සිහි කරමින් ඔබ කැමැත්තෙන් කීකරු වී කටයුතු කරයිද? බාරාක් සහ ඔහුගේ මිනිසුන් දස දහස්දෙනා එයට කීකරු වුණා. “යෙහෝවා සිසෙරා හා ඔහුගේ සියලු රථද ඔහුගේ මුළු සේනාවද බාරාක් ඉදිරියෙහි කඩු මුවහතින් කලඹා විසුරුවා දැමුවේය.”—විනිශ්චයකාරයන් 4:14, 15.
යෙහෝවාගේ ආධාරය ඇතුව බාරාක් සිසෙරාගේ හමුදාව පරාජය කළා. මෙම යුද්ධය පිළිබඳ වාර්තාවේ සිදු වූ සියලු දේ සඳහන් වන්නේ නැහැ. නමුත් බාරාක් සහ දෙබොරා ගැයූ ජයග්‍රාහී ගීතයේ ‘අහසෙන් සහ වලාකුළුවලින් වතුර වෑස්සුණේය’ යනුවෙන් සඳහන් වෙනවා. වැසි කුණාටුව නිසා සිසෙරාගේ රථ මඩෙහි එරුණා විය හැකි අතර එයින් වාසිය අත් වුණේ බාරාක්ටයි. කානානිවරුන්ගේ ප්‍රධාන අවිය ඔවුන්ටම බාධාවක් වුණා. සිසෙරාගේ හමුදාවේ සිටි මැරුම් කෑ අය පිළිබඳව ගීතයේ සඳහන් වන්නේ මෙසේයි. ‘කීෂොන් [ඔයේ] වතුරට . . . ඔවුන් ගසාගෙන ගියා.’—විනිශ්චයකාරයන් 5:4, 21.
මෙම විස්තරය විශ්වාස කළ හැකිද? කීෂොන් මිටියාවතේ තිබුණේ වියළී ගිය ඔයක්. නමුත් කුණාටුවක් හෝ නොකඩවා හැළෙන වර්ෂාවක් නිසා එවැනි දිය පාරවල් මහත් වේගයෙන් ගලා යන ජල ධාරාවන් බවට පත් වෙනවා. පළමුවෙනි ලෝක මහ යුධ සමයේදී මෙම ප්‍රදේශයේ ඇති තද මැටි පස මතට විනාඩි 15ක් වැනි සුළු වේලාවකට ඇද හැළුණු වර්ෂාව නිසා හමුදාමය උපායන් සියල්ල අසාර්ථක වු බවයි පැවසෙන්නේ. වර්ෂ 1799 අප්‍රියෙල් 16වන දා නැපෝලියන් සහ තුර්කීයයන් සමඟ ඇති වූ යුද්ධය සම්බන්ධයෙන් වාර්තා වන්නේ මෙවැන්නක්. “කීෂොන් ඔයේ මිටියාවතෙන් එගොඩ වී ගැලවීමට තැත් කළ තුර්කීයයන් බොහෝදෙනෙක් ජලයට යට වී මිය ගියා.”
යුදෙව් ඉතිහාසඥයෙක් වන ෆ්ලේවියස් ජොසිෆස් පවසන්නේ මෙසේයි. සිසෙරාගේ සහ බාරාක්ගේ හමුදාවන් මුණගැසෙන්න ඔන්න මෙන්න තියෙද්දී, “අහසින් මහ වැසි සහ හිම කැට සහිත චණ්ඩ මාරුතයක් හටගෙන, සුළඟ මගින් වැහි බිඳු කානානිවරුන්ගේ මුහුණට කඩා වැටුණා. එයින් ඔවුන්ගේ පෙනීම බොඳ වූ අතර ඊතල සහ ගල් විදින පටිවලින් ඔවුන්ට කිසි ප්‍රයෝජනයක් වූයේ නැහැ.”
විනිශ්චයකාරයන් 5:20හි සඳහන් වෙන්නේ, “තාරකාවෝ අහසේ සිට යුද්ධ කළෝය. ස්වකීය හසරවලදී සිසෙරාට විරුද්ධව සටන් කළෝය” යනුවෙනුයි. තාරකාවන් සිසෙරාට විරුද්ධව සටන් කළේ කොහොමද? සමහරෙක් මෙම ප්‍රකාශය දිව්‍ය උපකාරයට යොමු දක්වනවා කියා උපකල්පනය කරනවා. වෙනත් අයගේ මතය වන්නේ දේවදූතයන් සහය දුන් බව හෝ උල්කාපාත වර්ෂාවක් ඇති වූ බව හෝ සිසෙරා රඳා සිටි ජ්‍යෝතිඃ ශාස්ත්රයේ අනාවැකි බොරු වූ බවයි. මෙම යුද්ධයේදී තාරකා සටන් කළේ කෙසේද කියා බයිබලයේ කිසි විස්තරයක් දී නැහැ. කොහොමවුණත් ඊශ්‍රායෙල් හමුදාව වෙනුවෙන් ලැබුණු යම් ආකාරයක දිව්‍ය උපකාරය එම ප්‍රකාශයෙන් ඇඟවෙන බව සිතන්න පුළුවනි. ඒ කොයි වෙතත් ඊශ්‍රායෙල්වරු එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. “බාරාක් රථ හා සේනාව පස්සේ . . . එළවාගෙන ගියේය. සිසෙරාගේ මුළු සේනාව කඩු මුවහතින් වැටුණේය. එක් කෙනෙක්වත් ඉතුරු වුණේ නැත.” (විනිශ්චයකාරයන් 4:16) හමුදාපති සිසෙරාට මොකද වුණේ?
පීඩා කරන්නා ‘ස්ත්‍රියකගේ අතට’ හසු වෙයි
“හාශොර්හි රජ වූ යාබින් හා කේනිය වූ හෙබෙර්ගේ වංශය අතරේ සමාදානය තිබුණු බැවින් සිසෙරා කේනිය හෙබෙර්ගේ භාර්යාව වූ යායෙල්ගේ කූඩාරමට පයින් පලා ගියේය” යනුවෙන් බයිබලයේ සඳහන් වෙනවා. වෙහෙසට පත්ව සිටි සිසෙරාව යායෙල් තම කූඩාරමට ආරාධනා කර බීමට කිරි දී ඔහුව රෙද්දකින් වැසුවා. එවිට ඔහුට නින්ද ගියා. යායෙල් සාමාන්‍යයෙන් කූඩාරම් වැසියන් නිතර භාවිත කරන “කූඩාරම් ඇණයක් හැරගෙන මිටියකුත් අතේ ඇතුව හීන්සැරේ ඔහු ළඟට ගොස්, නිදාගෙන තෙහෙට්ටු වී සිටියාවූ ඔහුගේ නළල් කෙළවරට ඇණය පොළොවට යන තෙක් ගසා එය සිදුරු කළාය. මෙසේ ඔහු විසංඥව මළේය.”—විනිශ්චයකාරයන් 4:17-21.
ඉන්පසු යායෙල් බාරාක්ව හමු වී ‘එන්න, ඔබ සොයන මනුෂ්‍යයා ඔබට පෙන්වන්නම්’ කියා පැවසුවා. තවදුරටත් වාර්තාවෙහි සඳහන් වන්නේ මෙසේයි. ‘ඔහු ඈ වෙතට ආ කල සිසෙරා වැටී මැරී ඉන්නවාත් ඇණය ඔහුගේ නළල් කෙළවරේ ඇනී තිබෙනවාත් දුටුවා.’ එය බාරාක්ට කොතරම් ඇදහිල්ල ශක්තිමත් කරවන අද්දැකීමක් වන්න ඇද්ද! මන්ද “ඔබ යන ගමන ඔබේ ගෞරවය පිණිස නොවන්නේය; මක්නිසාද යෙහෝවා ස්ත්‍රියක් අතට සිසෙරා පාවා දෙනවා ඇත” යනුවෙන් දෙබොරා අනාගතවක්තෘවරිය ඔහුට කලින් පවසා තිබුණා.—විනිශ්චයකාරයන් 4:9, 22.
යායෙල්ගේ ක්‍රියාව ද්‍රෝහිකමක් ලෙස සැලකිය හැකිද? යෙහෝවා එය එසේ සැලකුවේ නැහැ. මන්ද “කූඩාරම්හි ස්ත්රීන්ට වඩා ඈ ආශීර්වාද ලත්තියක් වන්නීය” යනුවෙන් බාරාක් සහ දෙබොරාගේ ජයග්‍රාහී ගීතයේ පැවසේ. සිසෙරාගේ මරණය ගැන වැරදි වැටහීමක් ඇති කර නොගැනීමට එම ගීතය උපකාරවත් වෙනවා. ඔහුගේ මවව විස්තර කර තිබෙන්නේ ඔහු යුධ බිමෙන් ආපසු පැමිණෙන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටින තැනැත්තියක් ලෙසටයි.“ඔහුගේ රථය මෙතෙක් කල් පමා වන්නේ මක්නිසාදැයි” ඇය අසයි. එවිට “ඇගේ නැණවත් කුලඟනෝ” ඔහු යුද්ධයේ කොල්ලය වන අලංකාර ගෙත්තම් වස්ත්‍ර සහ එකිනෙකාට තරුණියන් බෙදාගන්නවා ඇතැයි යනුවෙන් පවසමින් ඇගේ බිය සංකා දුරලීමට උත්සාහ දරනවා. කුලඟනෝ මෙසේ අසනවා. ‘ඔවුහු කොල්ලය බෙදාගෙන එකිනෙකාට තරුණියක් එසේය, තරුණියන් දෙන්නෙක්ද, සිසෙරාට නානා වර්ණ ගෙත්තම් වස්ත්‍රයක්, කොල්ලය ගත් අයගේ කරවල් පිට දැමීම සඳහා නානා වර්ණ ගෙත්තම් කළ වස්ත්‍ර දෙකක් නොලැබූදැයි කීවෝය.’—විනිශ්චයකාරයන් 5:24, 28-30.
අපට පාඩමක්
බාරාක්ගේ වාර්තාවෙන් අපට වැදගත් පාඩම් කිහිපයක් උගන්වනවා. එනම්, යම් කෙනෙක් තම ජීවිතයෙන් යෙහෝවාව අයින් කළොත් ගැටලු සහ අධෛර්යය වීම් අනිවාර්යයෙන්ම අද්දකිනවා යන්නයි. දෙවි වෙතට හැරී ඔහු කෙරෙහි ඇදහිල්ල තබනවා නම් නොයෙක් ආකාර පීඩා තිබුණත් නිදහස ලබාගත හැකියි. ඒ වගේම අප කීකරුකමේ ස්වභාවයක් වර්ධනය කරගත යුතුයි. එසේ නොවේද? යම් අවස්ථාවල දෙවි අපෙන් බලාපොරොත්තු වන දේ මනුෂ්‍යයන්ගේ කෝණයෙන් අසාධාරණ ලෙස පෙනුණත් ඔහුගේ උපදෙස් සෑමවිටම අපගේ යහපතට දායක වන බවට නිසැක විය හැකියි. (යෙසායා 48:17, 18) බාරාක්ට ‘විදේශිකයන්ගේ සේනාව පලවාහැරීමට’ හැකි වූයේ, යෙහෝවා කෙරෙහි ඇදහිල්ල තැබීම හා දිව්‍ය උපදෙස්වලට කීකරු වීම නිසයි.—හෙබ්‍රෙව් 11:32-34.
දෙබොරා සහ බාරාක්ගේ ගීතය හද උණුසුම් කරවන ආකාරයෙන් අවසන් වන්නේ මෙසේයි. “යෙහෝවා, මෙසේ ඔබගේ සියලු සතුරෝ විනාශ වෙත්වා, නමුත් ඔබට ප්‍රේම කරන්නෝ සූර්යයා ස්වකීය වික්‍රමයෙන් නික්ම එන්නාක් මෙන් වෙත්වා.” (විනිශ්චයකාරයන් 5:31) යෙහෝවා සාතන්ගේ දුෂ්ට ලෝකයට විනාශය ගෙනෙන විට මෙය මොන තරම් සැබෑවක් වේවිද!
[29වන පිටුවේ පින්තූරය]
බාරාක්ව කැඳවීමට යෙහෝවා දෙබොරාව උපයෝගි කරගත්තා
[31වන පිටුවේ පින්තූරය]
කීෂොන් ඔය ඉවුරු තලා යයි
[හිමිකම් විස්තර]
Pictorial Archive (Near Eastern History) Est.
[31වන පිටුවේ පින්තූරය]
තාබෝර් කන්ද