“අප කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිටය”
‘අපේ දෙවිට අපව මුදාගන්ට පුළුවන්’
පුරාණ බැබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් දූරා නම් සමභූමියේ දැවැන්ත රන් රූපයක් තනා එය විවෘත කිරීම සඳහා ලොකු උත්සවයක් සංවිධානය කර තිබුණා. මෙම උත්සවයට සහභාගි වන ලෙස කළ ආරාධනාව පිළිගනිමින් රජයේ සියලුම උසස් නිලධාරීන් පැමිණ සිටියා. තූර්ය භාණ්ඩවල ශබ්දය ඇසුණු විට පැමිණ සිටි සියලුදෙනාම එම රන් රූපය ඉදිරියේ වැඳ වැටී ඊට නමස්කාර කළ යුතු වුණා. මෙසේ නොකරන අයව ඇවිළෙන ගිනි උදුනකට දමන බවට රජ නියෝගයක් නිකුත් කර තිබුණා. කිසිම කෙනෙක් එවැනි නියෝගයකට පිටුපායි කියා හිතන්න පුළුවන්ද?
එතැන රැස් වී සිටි අයව පුදුමයෙනුත් පුදුමයට පත් කරමින් යෙහෝවා දෙවිගේ සේවකයන් තුන්දෙනෙක් වූ ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ මෙම රන් රූපයට නමස්කාර කිරීමෙන් වැළකී සිටියා. එසේ කළේ එකම සැබෑ දෙවි වන යෙහෝවා දෙවිට පමණක් තනි භක්තිය පිරිනැමිය යුතු බව ඔවුන් දැන සිටි නිසයි. (ද්විතීය කතාව 5:8-10) නෙබුකද්නෙෂර් රජ ඔවුන්ගෙන් මේ ගැන ප්‍රශ්න කළ විට ඔවුන් තමන්ගේ ස්ථාවරය ගැන නිර්භීතව මෙසේ පැවසුවා. “අප විසින් සේවය කරන අපේ දෙවිට දැවෙන ගිනි උදුනෙන් අප මුදාගන්ට පුළුවනි; රජ්ජුරුවෙනි, ඔබ අතින් අප ගලවන්නේය; එසේ නුවූවත් රජ්ජුරුවෙනි, ඔබගේ දෙවිවරුන්ට සේවය කරන්නේවත් ඔබ පිහිටෙව් රන් රූපයට නමස්කාර කරන්නේවත් නොවෙමු.”—දානියෙල් 3:17, 18.
මොවුන් තිදෙනාව ගිනි උදුනට දැමූ විට දේවදූතයෙකු එවා ආශ්චර්යවත් ලෙස දෙවි ඔවුන් තිදෙනාව බේරාගත්තා. කෙසේවෙතත් ඔවුන් තමන්ගේ ජීවිතය නැති වුණත් යෙහෝවා දෙවිට කීකරුව සිටීමට ඒ වන විට තීරණය කර තිබුණා.a ඔවුන් එදා මුහුණ පෑ තත්වය හා සමාන තත්වයකට ඉන් සියවස් හයකට පමණ පසු යේසුස්ගේ ගෝලයන්ට මුහුණ පාන්න සිදු වුණා. යේසුස්ගේ ගෝලයන් යුදෙව් අධිකරණයේදී මෙසේ පැවසුවා. “අප කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිටය.”—ක්‍රියා 5:29.
අපට ඉගෙනගත හැකි පාඩම්
ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ ඇදහිල්ල පැවැත්වීම, කීකරුකම දැක්වීම හා පක්ෂපාත වීම ගැන කදිම ආදර්ශයක් තැබුවා. මේ හෙබ්‍රෙව් තරුණයන් තුන්දෙනාට යෙහෝවා දෙවි කෙරෙහි ලොකු ඇදහිල්ලක් තිබුණා. ඔවුන් එය ක්‍රියාවලින් පෙන්නුවා. දෙවිගේ වචනයේ මඟ පෙන්වීම්වලට අනුව පුහුණු කරන ලද හෘදය සාක්ෂියක් ඔවුන්ට තිබුණු නිසා කිසිම ආකාරයකින් බොරු නමස්කාරයට හෝ ජාතිවාදී හැඟීම්වලට තුඩු දෙන දේවලට සම්බන්ධ වුණේ නැහැ. අද දින සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ද දෙවි කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තබා ක්‍රියා කරනවා. බයිබලයේ ඉගැන්වීම්වලට අනුව පුහුණු කරන ලද හෘදය සාක්ෂියක් තිබෙන නිසා ඔවුන් දෙවිගේ නීති හා ප්‍රතිපත්තිවලට පටහැනි උත්සවවලට සහභාගි වන්නේවත් බොරු නමස්කාරය හා සම්බන්ධ දේවලට හවුල් වන්නේවත් නැහැ.
මේ තරුණයන් තිදෙනාට යෙහෝවා දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තිබුණා. මේ නිසා දෙවිට තිබෙන ඔවුන්ගේ කීකරුකම නැති කර දැමීමට බබිලෝනියේ රජ ඔවුන්ට දුන් නිලතලවලටවත් කීර්තියටවත් හැකි වුණේ නැහැ. දෙවිට අකීකරු වී ඔහු සමඟ තිබෙන මිත්‍රත්වය නැති කරගන්නවාට වඩා වධ විඳ මිය යන්න ඔවුන් කැමති වුණා. මොවුනුත් මෝසෙස් වගේ ‘අදෘශ්‍යමාන තැනැත්තාව දකින්නාක් මෙන් දිගටම ස්ථිරව සිටියා.’ (හෙබ්‍රෙව් 11:27) යෙහෝවා දෙවි තමන්ගේ ජීවිත එම විපතින් ගලවාගත්තත් නැතත් දිගටම ඔහුට පක්ෂපාතව සිටීමට ඔවුන් අධිෂ්ඨාන කරගෙන සිටියා. පසු කාලයකදී පාවුල් “ගින්නෙහි බලය නිවා දැම්මෝය” යනුවෙන් පැවසුවේ මේ හෙබ්‍රෙව් තරුණයන් තුන්දෙනා ගැන විය හැකියි. (හෙබ්‍රෙව් 11:34) පීඩා පරීක්ෂා හමුවේ එවැනි ඇදහිල්ලක් හා කීකරුකමක් දැක්වූ යෙහෝවාගේ සේවකයන් මේ කාලයේදීත් දැකිය හැකියි.
ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝගේ ආදර්ශයෙන් අපට ඉගෙනගත හැකි තවත් දෙයක් නම්, දෙවි ඔහුට පක්ෂපාතව සිටින අයට ආශීර්වාද කරන බවයි. ගීතිකාකරු මෙසේ ගායනා කළා. “යෙහෝවා . . . ස්වකීය ශුද්ධවන්තයන් [හෙවත් පක්ෂපාත අයව] අත් නාරින්නේය.” (ගීතාවලිය 37:28) යෙහෝවා දෙවි හෙබ්‍රෙව් තරුණයන් තුන්දෙනාව ආශ්චර්යවත් ලෙස ගලවාගත්තාක් මෙන් අපවත් ගලවාගනියි කියා බලාපොරොත්තු නොවිය යුතුයි. කෙසේවෙතත් අද අපිට කුමන ආකාරයේ දුක් ගැටලුවලට මුහුණ දීමට සිදු වුණත් අපේ ස්වර්ගික පියාණන් ඒවා සමඟ ක්‍රියා කිරීමට අවශ්‍ය උපකාරය සපයන බවට නම් නිසැක වෙන්න පුළුවන්. සමහරවිට දෙවි අපි මුහුණ දෙන ප්‍රශ්නයට පිළිතුරක් ලබා දෙන්න පුළුවන්. එසේත් නැත්නම් ඒවා දරාගැනීමට ශක්තිය දෙන්න පුළුවන්. අපි මරණය දක්වාම විශ්වාසවන්තව සිටිනවා නම් අපිව නැවත නැඟිටුවන්නත් යෙහෝවා දෙවිට හැකියි. (ගීතාවලිය 37:10, 11, 29; යොහන් 5:28, 29) අපේ විශ්වාසවන්තභාවය පරීක්ෂණයට ලක් වන සෑම අවස්ථාවකදීම මිනිසුන්ට වඩා දෙවිට කීකරු වනවා නම් අප ඇදහිල්ල, කීකරුකම, පක්ෂපාතකම යන ගුණාංග තුන විදහා පෙන්වනවා කියා පැවසිය හැකියි.
[පාදසටහන]
a වර්ෂ 2006 යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දිනදර්ශනයේ ජූලි/අගෝස්තු මාස බලන්න.
[9වන පිටුවේ කොටුව⁄පින්තූරය]
ඔබ දැනගෙන සිටියාද?
• හෙබ්‍රෙව් තරුණයන් තුන්දෙනා ඉහත කී පරීක්ෂණයට මුහුණ දෙන විට ඔවුන්ට අවුරුදු 30කට ආසන්න වුණා.
• ගිනි උදුන රත් කරන්න පුළුවන් උපරිම ප්‍රමාණයට රත් කර තිබුණා.—දානියෙල් 3:19.