නෝවාගේ නැව සොයාගෙනද?
මෑත කාලයේදී නෝවාගේ නැව සොයාගැනීම සම්බන්ධ තොරතුරු බොහෝදෙනාගේ කතාබහට ලක් වී තිබෙනවා. ක්‍රිස්තු පූර්ව 2370 සහ 2369 අතර කාලයේදී ඇති වූ මහා ජලගැල්මෙන් නෝවා ඇතුළු ඔහුගේ පවුලේ අය දිවි ගලවාගත්තේ එම සුවිශාල නැවෙනුයි. එම නැව සොයාගැනීමට හැකි වුවහොත් එය ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් සොයාගැනීමක් වන බවට සැකයක් නැහැ. කොහොමවුණත් තවමත් ඒ සම්බන්ධව පර්යේෂණ කටයුතු සිදු වෙමින් පවතිනවා. එම ඓතිහාසික නැව සම්බන්ධයෙන් විවිධ අදහස් තිබුණත් ඒ ගැන අපි දන්නේ කුමක්ද?
“නැව අරරත් කඳුකරය මත නැවතිණ” කියා බයිබලයේ සඳහන් වෙනවා. (උත්පත්ති 8:4, නව ලොව පරිවර්තනය, NW) අරරත් කන්ද පිහිටා තිබෙන්නේ නැඟෙනහිර තුර්කියේ, ආර්මේනියාව සහ ඉරාන දේශ සීමාවලට යාබදවයි.
අරරත් කඳුකරයේ සිදු කර ඇති පර්යේෂණවලින් උනන්දුව ඇති කරන තොරතුරු බොහොමයක් ලැබී තිබුණත් ඒවා ඔප්පු කිරීමට නිශ්චිත සාක්ෂි නැහැ. අරරත් කන්දේ චන්ද්‍රිකා ඡායාරූප නිරීක්ෂණය කිරීමෙන් නෝවාගේ නැව එම ස්ථානයේ තිබෙන බව ඇතැමුන් පවසනවා. එමෙන්ම තාර ආලේපිත ලී සොයාගැනීම ගැනත් එම නැව සියැසින් දුටු බවටත් කටකතා තිබෙනවා. කොහොමවුණත් ඒවායේ සත්‍යතාව ඔප්පු කිරීමට සාක්ෂි අවශ්‍යයි. නමුත් අරරත් කන්දේ පර්යේෂණ කටයුතු සිදු කිරීම පහසු වී නැහැ. එක් හේතුවක් නම් නැව තිබෙනවායැයි සැක කරන ස්ථානය අඩි 15,000ක් පමණ උස් වීමයි. එමෙන්ම දේශපාලනමය අර්බුධකාරී තත්වයන් නිසා විදේශීය පර්යේෂකයන්ට අරරත් කන්ද තරණය කිරීමටද අවසර ලැබී නැහැ.
කොහොමවුණත් එම නැව සොයාගැනීම ගැන උනන්දුවෙන් සිටින අය එහි පර්යේෂණ කටයුතු සිදු වෙනවා දැකීමට කැමැත්තෙන් සිටිනවා. ඔවුන් සිතන්නේ හිමෙන් වැසුණු අරරත් කඳු මුදුනේ අයිස් යට එම නැව තිබෙනවා කියායි. ඔවුන් පවසන ආකාරයට එම නැව එහි තිබෙනවාද කියා සොයාගත හැකි වන්නේ උණුසුම් දේශගුණයක් පවතින කාලයක පමණයි.
නෝවාගේ නැව අරරත් කඳු මුදුණේ තිබෙන බව බොහෝදෙනා විශ්වාස කරන්නේ ඇතැමුන් ඒ ගැන පවසා ඇති දේවල් නිසයි. උදාහරණයකට අතීතයේ සිටි සමහර ඉතිහාසඥයන් අරරත් කන්දේ එම නැව තිබෙනවා කියා පැවසූ බව පළමු සියවසේ සිටි යුදෙව් ඉතිහාසඥයෙකු වූ ජොසිෆස් පැවසුවා. සමහරුන් එම නැවේ ලී කොටස් සිහිවටන ලෙස රැගෙන ගිය බවත් ඔහු පැවසුවා. ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ බැබිලෝනියේ සිටි ලේඛකයෙක් වන බරාසස් ඒ අතරින් කෙනෙක් බවත් ජොසිෆස් සඳහන් කළා.
මෑත කාලයේදී නෝවාගේ නැව සම්බන්ධයෙන් උනන්දුවට තුඩු දුන් යමක් ප්‍රකාශ කළේ ආර්මේනියානු ජාතිකයෙක් වූ ජෝර්ජ් හාගෝපියාන් විසිනුයි. වර්ෂ 1900 මුල් අවදියේදී කුඩා දරුවෙකුව සිටි ඔහු තම මා මා සමඟ නෝවාගේ නැවට ගොඩ වූ බව පැවසුවා. කොහොමවුණත් 1972දී ඔහු මිය ගියා. නමුත් ඔහු පැවසූ දේ බොහෝදෙනා තුළ මහත් කුතුහලයක් ඇති කර තිබෙනවා.
විශ්වාසයට සැබෑ පදනමක්
පර්යේෂකයන් එම නැව සෙවීමට දරන උත්සාහය කොතරම් දුරට සාර්ථක වෙයිද කියා අප දන්නේ නැහැ. එසේ පැවසීමට එක් හේතුවක් නම් නෝවාගේ නැව කන්දේ නතර වූ නිශ්චිත ස්ථානය ගැන බයිබලයේ සඳහන් නොවීමයි. එහි සඳහන් වෙන්නේ “නැව අරරත් කඳුකරය මත” නතර වූ බව පමණයි.
අරරත් කඳුකරයේ උසම ස්ථානයේa නැව නතර වූ බව පර්යේෂකයන් පවසනවා. නමුත් යෙහෝවා දෙවි එම නැව අරරත් කඳු මුදුනේ නතර වීමට සැලැස්වූවා කියා බයිබලයෙහි සඳහන් වෙන්නේ නැහැ. නැව කඳුකරයේ නතර වූ පසු ජලය සිඳී යන තුරු මාස කිහිපයක්ම නෝවාට සහ ඔහුගේ පවුලේ අයට නැවෙහි සිටීමට සිදු වුණා. (උත්පත්ති 8:4, 5) එමනිසා නැවේ සිටි අයට සහ සතුන්ට කිසිම අනතුරක් සිදු නොවන ආකාරයෙන් නැව කඳුකරයේ සුරක්ෂිත තැනක නතර වුණා කියා සිතිය හැකියි. අනික් අතට නැව කඳු මුදුනක නතර වූවා නම් නෝවාටත් ඔහුගේ පවුලේ අයටත් නැවේ සිටි සතුන්ටත් කන්දෙන් පහළට බැසීම සඳහා විශාල වෙහෙසක් දැරීමට සිදු වෙනවා. ඒ අනුව බලද්දී නෝවාගේ නැව සියල්ලන්ට පහසු ස්ථානයක නතර වූවා කියා සිතිය හැකියි. එම නැව කුමන ස්ථානයක නතර වුණත් දිරාපත් වීම නිසා හෝ මිනිසුන් නැවේ ලී භාවිතයට ගැනීම නිසා කාලයත් සමඟ එය විනාශ වී ගියා විය නොහැකිද?
එම නැව සොයාගැනීම ආගමික වශයෙන්ද ඉතා වැදගත් වන බවට පර්යේෂකයන් දරන අදහස මෙහිදී සැලකිල්ලට ගත යුතුයි. එක් පර්යේෂකයෙක් ඒ ගැන මෙවැනි දෙයක් පැවසුවා. “මෙම නැව සොයාගනු ලැබුවොත් මිලියන ගණනකට නෝවාගේ කාලයේ ජල ගැල්මක් පැමිණි බවට තිබෙන විශ්වාසය තවත් වැඩි කරගැනීමට හැකි වෙනවා. එමෙන්ම කලින් ඒ ගැන විශ්වාසයක් නොතිබුණු අයට පවා ඒ ගැන විශ්වාස කිරීමට අවස්ථාව ලැබෙනවා.” වර්ෂ 2004දී පැවති මාධ්‍ය හමුවකදී එම පර්යේෂකයා පැවසුවේ නෝවාගේ නැව සොයාගන්න ලැබුණොත් එය “යේසුස්ගේ මරණයෙන් පසු ඉතිහාසයේ මෙතෙක් සිදු වී ඇති වැදගත්ම දේ” වන බවයි. නමුත් පර්යේෂණ කටයුතු දිගටම කරගෙන යෑමට ඔහුට අවස්ථාව ලැබුණේ නැහැ.
නෝවාගේ නැව සොයාගැනීම නිසා ජලගැල්මක් පැමිණි බවට තිබෙන විශ්වාසය ස්ථිර වෙයි කියා හෝ එය විශ්වාස නොකළ අයට ඒ ගැන විශ්වාසයක් ඇති වෙයි කියා හෝ සිතිය හැකිද? බයිබලයේ පැහැදිලිව පෙන්නුම් කර තිබෙන ආකාරයට කෙනෙකු තුළ සැබෑ විශ්වාසයක් ඇති විය යුත්තේ දකින දේවලින් නොවෙයි. (2 කොරින්ති 5:7) ඇතැමුන් බයිබලයේ සඳහන් සිද්ධීන් සැක කරන නිසා ඒවා විශ්වාස කිරීමට නම් සාක්ෂි පෙනෙන්න තිබිය යුතුමයි කියා පවසනවා. නමුත් එවැනි අය සාක්ෂි දැක්කත් බයිබලයේ සඳහන් සිද්ධීන් විශ්වාස කරයි කියා සිතන්න බැහැ. උදාහරණයකට යේසුස්ද එක් අවස්ථාවකදී පැවසුවේ සමහර අය මළවුන් නැවත නැඟිටිනවා දැක්කත් එය විශ්වාස කරන්නේ නැහැ කියායි.—ලූක් 16:31.
බයිබලයේ පෙන්නුම් කරන ආකාරයට කෙනෙකු තුළ සැබෑ විශ්වාසයක් ඇති වීමට නම් ඊට ස්ථිර පදනමක් තිබිය යුතුයි. (හෙබ්‍රෙව් 11:1) එසේනම් නෝවාගේ ජල ගැල්ම ගැන බයිබලයේ සඳහන් දේ විශ්වාස කිරීමට අපට ස්ථිර පදනමක් තිබෙනවාද? ඇත්තෙන්ම යේසුස් ඒ සඳහා ස්ථිර පදනමක් සපයමින් මෙවැනි දෙයක් පැවසුවා. ‘නෝවා නැවට ඇතුල් වූ පසුව ජලගැල්ම ඇවිත්’ සියල්ලන්වම විනාශ කළේය. (ලූක් 17:26, 27) ජලගැල්ම විශ්වාස කිරීමට යේසුස් පැවසූ ඒ දෙය ස්ථිර පදනමක් සපයනවා කියා පැවසිය හැක්කේ ඇයි?
පොළොවට පැමිණීමට පෙර යේසුස් ස්වර්ගයේ ජීවත් වුණා. (යොහන් 8:58) ඒ නිසා නෝවා නැව සෑදූ ආකාරයත් ජලගැල්ම පැමිණි ආකාරයත් යේසුස් හොඳින් දුටුවා. ඒ අනුව ජලගැල්ම පැමිණි බව විශ්වාස කිරීමට හොඳම පදනම සපයන්නේ එම සිද්ධිය සියැසින් දුටු යේසුස්ද? නැතිනම් එම නැව සොයාගැනීමට තවමත් වෙර දරන පර්යේෂකයන්ද? යේසුස් සැපයූ සාක්ෂිය නිසා නෝවාගේ නැව පුරාණයේදී තිබුණු බව විශ්වාස කිරීමට අපට හොඳ පදනමක් තිබෙනවා.
[පාදසටහන]
a අරරත් කන්ද 1840 ගණන්වල සිට අක්‍රියාශීලී ගිනි කන්දක් බවට පත් වී තිබෙනවා. එය මුහුදු මට්ටමේ සිට අඩි 16,945ක් උසයි. එහි මුදුන වර්ෂය පුරාම හිමෙන් වැසී පවතිනවා.
[13වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
නෝවාගේ ජල ගැල්ම ගැන බයිබලයේ සඳහන් දේ විශ්වාස කිරීමට අපට ස්ථිර පදනමක් තිබෙනවාද?
[14වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
‘නෝවා නැවට ඇතුල් වූ පසුව ජලගැල්ම ඇවිත්’ සියල්ලන්වම විනාශ කළේය කියා යේසුස් පැවසුවා