ලෝකය පාලනය කරන්නේ කවුද?
පාතාල ලෝකයේ නායකයන් ගැන ඔබ අසා ඇති. ඔවුන් දුෂ්ට ක්‍රියාවන් සඳහා සැලසුම් යොදන්නේ හොර රහසෙයි. සිරගතව සිටින අවස්ථාවලදී පවා ඔවුන් තම සැලසුම් සාර්ථකව දියත් කරනවා. ඔවුන්ගේ සැලසුම්වලට අනුව සිදු කෙරෙන අමානුෂික හා දුෂ්ට ක්‍රියාවන් ගැන පුවත්පත්වලින් හෙළි වෙනවා. උදාහරණ ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ඇති වන ගැටුම්, මහා පරිමාණයෙන් සිදු වන ගණිකා වෘත්තිය සහ මෙහෙකාරකමට මිනිසුන්ව විකිණීම වැනි දේවල් ගැන ඔබ කියවා ඇති. ඔවුන් තමන් ගැන තොරතුරු සැඟවීමට උත්සාහ කළත් එම කුරිරු ක්‍රියාවන් පිටුපස යම් දුෂ්ට පිරිසක් සිටිය යුතු බවට ඇති තරම් සාක්ෂි තිබෙනවා.
ඒ හා සමානව අද ලොව පුරාම සිදු වන සියලුම දුෂ්ටකම් පිටුපස යම් කෙනෙක් සිටිය යුතුයි කියා ඔබට සිතෙන්නේ නැද්ද? ඒ සෑම දුෂ්ට ක්‍රියාවක් පිටුපසම සිටින්නේ යක්ෂයා බව ශුද්ධ බයිබලයේ සඳහන් වී තිබෙනවා. අපේ ඇසට නොපෙනුණත් අපට වඩා බලවත් පුද්ගලයෙක් වන යක්ෂයා, මිනිසුන්ව නොමඟ යැවීමට ‘අමුතුම ආකාරයේ ලකුණු සිදු කරමින්, අධර්මිෂ්ඨ ක්‍රියාවන්’ කරන බව එහි සඳහන් වෙනවා. ඔහු ‘ආලෝකය ලබා දෙන දූතයෙකු ලෙස පෙනී සිටින’ බවත් එහි සඳහන් වෙනවා. (2 තෙසලෝනික 2:9, 10; 2 කොරින්ති 11:14) පාතාල ලෝකයේ සිටින නායකයන් මෙන් ඔහුද උත්සාහ කරන්නේ තමන් ගැන තොරතුරු සැඟවීමටයි. නමුත් ලොව පුරාම සිදු වන දුෂ්ට ක්‍රියාවලින් ඔහුගේ පැවැත්ම ගැන පැහැදිලි සාක්ෂි ලැබෙනවා. ඒ වුණත් යක්ෂයෙක් සිටින බව පිළිගැනීමට බොහෝදෙනා කැමති නැහැ. එයට හේතු වී තිබෙන වැරදි මත කිහිපයක් අපි දැන් සලකා බලමු.
◼ “ප්‍රේමණීය දෙවි කෙනෙක් යක්ෂයෙක්ව නිර්මාණය කරයිද?” මුළු විශ්වයම නිර්මාණය කළේ යෙහෝවා දෙවි බව බයිබලයේ සඳහන් වෙනවා. ඔහු ගැන එහි මෙසේ පවසනවා. “දෙවි පර්වතයකි. ඔහු කුමක් කළත් එහි කිසි අඩුවක්වත් දෝෂයක්වත් දක්නට නැත. දෙවි තමන් කරන සියල්ලේදී යුක්තිය ඉටු කරයි. ඔහු විශ්වාසවන්ත දෙවි කෙනෙකි. ඔහු අතින් කිසිම අසාධාරණයක් නම් සිදු නොවෙයි. දෙවි ධර්මිෂ්ඨය, ප්‍රතිපත්තිගරුකය.” (ද්විතීය කතාව 32:4; ගීතාවලිය 5:4) එවැනි දෙවි කෙනෙක් කිසි දිනක දුෂ්ටයෙකුව නිර්මාණය කරයි කියා සිතන්න බැහැ. බයිබලයේද එවැනි දෙයක් සඳහන් වන්නේ නැහැ.
දෙවි නිර්මාණය කළ පරිපූර්ණ පුද්ගලයන් නිතරම කළ යුත්තේ නිවැරදි දේ පමණයි කියා තවත් අය සිතනවා. නමුත් දෙවි කිසිම පුද්ගලයෙකුව රොබෝවරයෙක් ලෙස නිර්මාණය කළේ නැහැ. ඒ වෙනුවට තීරණ ගැනීමේ නිදහස දෙවි ඔවුන්ට දුන්නා. ඒ නිසා හරි දේ කරනවාද වැරදි දේ කරනවාද කියා තීරණය කිරීමට ඔවුන්ට හැකියි.
යමෙක් වැරදි දේ කිරීමට තීරණය කළොත් දෙවි ඒ දෙයින් ඔහුව වළක්වනවා නම් තීරණ ගැනීමට ඔහු දුන් නිදහසෙන් පලක් තිබෙයිද? දෙවි කිසිම විටෙක එලෙස කටයුතු කරන්නේ නැහැ. උදාහරණයකට, යක්ෂයා “සත්‍යයට ඇලී සිටියේ නැහැ” කියා යේසුස් පැවසුවා. (යොහන් 8:44) ඉන් පැහැදිලි වන්නේ යක්ෂයා බවට පත් වූ දේවදූතයා කාලයක් පුරා “සත්‍යයට ඇලී සිටි” බවයි.a නමුත් ඔහු තමන්ට ලැබී තිබුණු නිදහස අයුතු ලෙස යොදාගත්තා. ඇත්තෙන්ම යෙහෝවා දෙවි තමන් නිර්මාණය කළ අයට තීරණ ගැනීමේ නිදහස ලබා දුන්නේ ඔවුන්ට ප්‍රේම කළ නිසා සහ ඔවුන්ව විශ්වාස කළ නිසයි.—හයවන පිටුවේ ඇති “පරිපූර්ණත්වය අහිමි විය හැකිද” යන කොටුව බලන්න.
◼ “යක්ෂයා, දෙවි යටතේ සේවය කරන කෙනෙක්.” ඇතැම් අය එසේ සිතන්නේ යෙහෝවා දෙවි සහ යක්ෂයා අතර ඇති වූ සංවාදයක් නිසයි. එම සංවාදයේදී තමා “පොළොවේ සෑම තැනකම ගමන්” කළ බව යක්ෂයා පැවසුවා. (යෝබ් 1:7) පර්සියානු ඔත්තුකරුවන් කළේද එවැනි කාර්යයක් බව බයිබලයේ ඇති සිද්ධීන් විස්තර කරන පොතක සඳහන් වෙනවා. රජු යටතේ සේවය කළ ඔවුන් රට පුරා ගොස් ඔවුන් දැනගත් තොරතුරු රජුට පැවසුවා. යක්ෂයා සැබවින්ම දෙවිගේ ඔත්තුකරුවෙක් නම් ඔහු “පොළොවේ සෑම තැනකම ගමන් කර” පැමිණි බව දෙවිට පැවසීමට අවශ්‍යද? යක්ෂයා දෙවිගේ ඔත්තුකරුවෙක් කියා යෝබ් පොතේ සඳහන් වී නැහැ. ඒ වෙනුවට එහි යක්ෂයාව හඳුන්වා තිබෙන්නේ “විරුද්ධකාරයා” යන අර්ථය ඇති සාතන් යන නමිනුයි. (යෝබ් 1:6) එසේනම් යක්ෂයා, දෙවි යටතේ සේවය කරන කෙනෙක් යන මතය පැමිණියේ කෙසේද?
ක්‍රිස්තු වර්ෂ පළමු සියවසේදී යුදෙව් නිකායක සාමාජිකයන් විසින් ලියැවුණු පොත්වල යක්ෂයාව හඳුන්වා තිබුණේ දෙවි යටතේ සේවය කරන කෙනෙක් ලෙසයි. රෙපරමාදු ප්‍රතිසංස්කරණවලට මූලික වූ මාටින් ලූතර් යක්ෂයා සම්බන්ධයෙන් දැරූ අදහසක් ඉතිහාසඥයෙක් වූ ජේ. බී. රසල් ඔහුගේ පොතක මෙසේ සඳහන් කළා. ‘වත්තක තියෙන වල් පැළෑටි උගුලන්න ආයුධයක් භාවිත කරනවා හා සමානව දෙවි දුෂ්ට මිනිසුන්ව ඉවත් කිරීමට යක්ෂයාව භාවිත කරනවා.’ (Mephistopheles) ඒ අදහසට අනුව, මිනිසුන්ව විනාශ කිරීමෙන් සතුටක් ලබන යක්ෂයා දෙවි යටතේ සේවය කරන කෙනෙක්. ප්‍රංශයේ සිටි ආගමික නායකයෙක් වූ ජෝන් කැල්වින්ද එම අදහස පිළිගත්තා. කොහොමවුණත් ලූතර්ගේ එම ඉගැන්වීම නිසා බොහෝදෙනා තුළ දෙවි සම්බන්ධයෙන් ප්‍රශ්න මතු වුණා. ඇත්තෙන්ම දුෂ්ටකම් සිදු කිරීමට ප්‍රේමණීය දෙවි කෙනෙක් පෙලඹෙයිද? (යාකොබ් 1:13) එම ඉගැන්වීම ඇතුළු විසිවන සියවසේ පැතිරුණු තවත් බොරු ඉගැන්වීම් නිසා ප්‍රේමණීය දෙවි කෙනෙක් සහ යක්ෂයෙක් සිටින බව අවිශ්වාස කිරීමට බොහෝදෙනෙක් පෙලඹුණා.
◼ “යක්ෂයා සැබෑ පුද්ගලයෙක් නොව, කෙනෙක් තුළ තිබෙන නපුරුකමයි.” එසේ සිතුවොත් බයිබලයේ සඳහන් ඇතැම් සිද්ධීන් කොහෙත්ම අර්ථයක් නැති ඒවා වෙනවා. යෝබ් 2:3-6හි සඳහන් දෙය ඊට උදාහරණයක්. යක්ෂයා සැබෑ පුද්ගලයෙක් නොවෙයි නම් දෙවි කතා කර තිබෙන්නේ කා සමඟද? නපුරුකම දෙවි තුළම තිබෙන දෙයක් නම් දෙවි ඒ දේවල් තමන්ටම කියාගත්තාද? යෝබ්ට ප්‍රශංසා කළ දෙවිම ඔහුට පීඩා කිරීමට තීරණය කරයිද? එම ඉගැන්වීම නිසා දෙවි නපුරු කෙනෙක් යන සිතුවිල්ල මිනිසුන් තුළ ඇති වී තිබෙනවා. නමුත් බයිබලයේ සඳහන් වෙන්නේ දෙවි තුළ ‘කිසි අධර්මිෂ්ඨකමක් නැහැ’ කියායි. (ගීතාවලිය 92:15) ‘යෝබ්ට විරුද්ධව තම බලය පාවිච්චි කිරීමට’ දෙවි කැමති වුණේ නැහැ. ඒ අනුව යක්ෂයා යනු මිනිසුන් හෝ දෙවි තුළ තිබෙන නපුරුකම කියා පැවසිය නොහැකියි. ඇත්තෙන්ම යක්ෂයා බවට පත් වුණේ තම කැමැත්තෙන්ම දෙවිගේ විරුද්ධකාරයා බවට පත් වූ දේවදූතයෙක්.
ලෝකය පාලනය කරන්නේ කවුද?
යක්ෂයෙක් සිටින බව බොහෝදෙනා විශ්වාස කරන්නේ නැහැ. නමුත් මේ තාක් දුරට දුෂ්ටකම් පැවතීමට හේතු ලෙස ඉදිරිපත් කර තිබෙන මතවලින්ද ඔවුන් සෑහීමට පත් වන්නේ නැහැ. යක්ෂයෙක් නැහැ කියා ප්‍රචලිත වී තිබෙන මතය නිසා මිනිසුන් දෙවි කෙනෙක් සිටින බවත් සදාචාර ප්‍රමිතිත් ප්‍රතික්ෂේප කිරීමට පෙලඹී තිබෙනවා.
“තමන් සැබෑ කෙනෙක් නොවන බව ඔප්පු කිරීමට යක්ෂයා හැකි සෑම උත්සාහයක්ම දරනවා” කියා 19වන සියවසේ සිටි කවියෙකු වූ ෂාල්පියේ බෝඩලෙර් සඳහන් කළා. යක්ෂයා තමන් කවුද කියා සැඟවීමෙන් දෙවි ගැන මිනිසුන් තුළ සැක ඇති කර තිබෙනවා. සැබවින්ම යක්ෂයා කියා කෙනෙක් නැත්නම් අද සිදු වන දුෂ්ටකම්වලට වග කිව යුත්තේ දෙවි කියා සිතීමට මිනිසුන් පෙලඹෙන්නේ නැද්ද? යක්ෂයාට අවශ්‍ය වන්නේත් ඒ දේ කිරීමටයි.
පාතාල ලෝකයේ නායකයෙක් මෙන් යක්ෂයාද තම අරමුණ ඉටු කරගැනීම සඳහා තමන් ගැන සැබෑ තොරතුරු සඟවනවා. ඔහුගේ අරමුණ කුමක්ද? බයිබලයේ සඳහන් මේ දෙයින් එය පැහැදිලි වෙනවා. ‘විශ්වාසයක් නැති අයගේ මනස් මේ සමාජයේ දෙවියා [එනම් යක්ෂයා] අන්ධ කර ඇත. එමනිසා දෙවිගේ ස්වරූපයට සමානව සිටින ක්‍රිස්තුස් පිළිබඳ ශුභාරංචිය ගැන අප දේශනා කළත් අප පතුරුවන ඒ ශ්‍රේෂ්ඨ ශුභාරංචියේ ආලෝකය තමන් අතරේ බැබළෙන බව ඔවුන්ට පෙනෙන්නේ නැත.’—2 කොරින්ති 4:4.
සියලුම දුෂ්ටකම්වලට වග කිව යුත්තා වන යක්ෂයා සම්බන්ධයෙන් දෙවි කුමන පියවරක් ගනියිද? ඒ ගැන ඊළඟ ලිපියෙන් සලකා බලමු.
[පාදසටහන]
a යක්ෂයා දෙවිට විරුද්ධව කැරලිගැසූ වහාම දෙවි ඔහුව විනාශ නොකළේ ඇයි කියා දැනගැනීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 11වන පරිච්ඡේදය බලන්න.
[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
යක්ෂයා, දෙවි යටතේ සේවය කරන කෙනෙක්ද නැත්නම් දෙවිගේ සතුරෙක්ද?
[6වන පිටුවේ කොටුව⁄පින්තූරය]
“පරිපූර්ණත්වය අහිමි විය හැකිද”
දෙවි මිනිසුන්ව හා දේවදූතයන්ව පරිපූර්ණව නිර්මාණය කළත් ඔවුන්ට යම් සීමා තිබුණා. උදාහරණයකට, ආදම් කසළ, පස් හෝ ලී වර්ග ආහාරයට ගත්තා නම් ඔහුට විවිධ අපහසුතාවලට මුහුණ දීමට සිදු වෙනවා. ඔහු ගුරුත්වාකර්ෂණ නීතියට යටත් නොවී උස් ස්ථානයකින් පහළට පැන්නා නම් මරණයට පත් වීමට හෝ දරුණු ලෙස තුවාල වීමට ඉඩ තිබුණා.
ඉන් පැහැදිලි වන්නේ දෙවි දමා තිබෙන සීමාවන් නොසලකාහරිමින් දේවදූතයන් හෝ මිනිසුන් ක්‍රියා කළොත් ඔවුන්ට එහි නරක ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදු වන බවයි. කෙනෙක් තමන්ට ලැබී තිබෙන නිදහස අයුතු ලෙස භාවිත කරන විට පහසුවෙන්ම හරි දේ වෙනුවට වැරදි දේ කිරීමටත් යහපත වෙනුවට නපුර කිරීමටත් පෙලඹෙනවා.—උත්පත්ති 1:29; මතෙව් 4:4.