අන්තිම සතුරා වන මරණය නැති කරයි
“අන්තිම සතුරා වන මරණයද නැති කරනු ඇත.”—1 කොරි. 15:26.
1, 2. ආදම් සහ ඒවට ඒදන් උයනේ තිබුණේ මොන වගේ ජීවිතයක්ද? මතු වෙන්නේ මොන වගේ ප්‍රශ්නද?
පරිපූර්ණ පුද්ගලයන් වුණ ආදම් සහ ඒව ඒදන් උයනේ හිටපු කාලේදී ඔවුන්ට කිසිම සතුරෙක් හිටියේ නැහැ. දෙවිගේ දරුවන් විදිහට ඔවුන්ට දෙවි එක්ක කිට්ටු බැඳීමක් තිබුණා. (උත්. 2:7-9; ලූක් 3:38) ඒ වගේම දෙවි ඒ දෙන්නාට ලොකු වැඩ කොටසක් භාර දීලත් තිබුණා. (උත්පත්ති 1:28 කියවන්න.) “මුළු පොළොව පුරාම මනුෂ්‍යයන්ව පදිංචි කර එය රැකබලා ගන්න” කියන වගකීම ඒ වැඩ කොටසට අයිති වුණා. ඒක ඉටු කරන්න ඔවුන් සදාකාලයටම ජීවත් වෙන්න ඕන වුණේ නැහැ. ඒත් “පොළොව මත සිටින සියලු සතුන්ව” රැකබලා ගන්න කියලා දෙවි දුන්න වගකීම ඉටු කරන්න නම් ඔවුන් සදාකාලයටම ජීවත් වෙන්න ඕනෙ වුණා. කවදාවත් මැරෙන්නේ නැතුව සතුටින් ඒ කාර්යය කරන්න ඒ දෙන්නාට අවස්ථාව තිබුණා.
2 ඒත් දැන් කාරණා සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට පෙරළිලා තියෙන්නේ ඇයි? මරණය කියන ලොකුම සතුරාත් අපේ සතුට නැති කරන තවත් සතුරනුත් මිනිස් ජීවිතවලට ඇතුළු වුණේ කොහොමද? යෙහෝවා දෙවි ඒ සතුරන්ව නැති කරලා දාන්නේ කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර බයිබලේ තියෙනවා.
ආදරෙන් කරපු අනතුරු ඇඟවීමක්
3, 4. (අ) දෙවි ආදම් සහ ඒවට දුන්න ආඥාව මොකක්ද? (ආ) ඒකට කීකරු වෙන එක වැදගත් වුණේ ඇයි?
3 ආදම් සහ ඒවව නිර්මාණය කළේ සදාකල් ජීවත් වෙන්න මිසක් අමරණීය පුද්ගලයන් විදිහට නෙමෙයි. මොකද ජීවිතය පවත්වාගෙන යන්න දිගටම හුස්ම ගන්න, වතුර බොන්න, නිදාගන්න, කෑම කන්න ඔවුන්ට සිද්ධ වුණා. ඒත් ඒ හැම දේකටම වඩා ඔවුන්ට ජීවිතය දීපු දෙවිත් එක්ක කිට්ටු බැඳීමක් තියාගන්න එක අත්‍යවශ්‍ය වුණා. (ද්වි. 8:3) ඔවුන්ට සතුටින් හැමදාම ජීවත් වෙන්න පුළුවන් වුණේ දෙවිගේ මඟ පෙන්වීම් අනුව ජීවත් වුණා නම් විතරයි. දෙවි ආදම්ට පැහැදිලිව මෙහෙම කියලා තිබුණා. “ඔබට උයනේ සියලු ගස්වලින් ඕනෑ තරම් කන්න පුළුවන. නමුත් ‘හොඳ හා නරක හඳුනාගැනීම’ යන නමින් හැඳින්වෙන ගසෙන් ඔබ නොකෑ යුතුය. මන්ද එයින් කෑ දවසේදීම ඔබ අනිවාර්යයෙන්ම මැරෙන්නෙහිය.”—උත්. 2:16, 17.
4 හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද කියන දේ තීරණය කරන්න අයිතිය තියෙන්නේ දෙවිට විතරයි. “‘හොඳ හා නරක හඳුනාගැනීම’ යන නමින් හැඳින්වෙන ගසෙන්” නියෝජනය කළේ දෙවිට තියෙන ඒ අයිතියයි. දෙවි ආදම්ව නිර්මාණය කරලා තිබුණේ ඔහුගේ ගතිලක්ෂණ ඇතුවයි. ඒ වගේම ආදම්ට හෘදය සාක්ෂියකුත් තිබුණා. ඒ නිසා හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද කියන දේ ආදම් දැනගෙන හිටියා. ඒත් ඒ ගහ දකින දකින වතාවක් ගානේ ඔවුන්ට මතක් වුණ දෙයක් තිබුණා. ඒ තමයි දෙවිගේ මඟ පෙන්වීම් නැතුව ඔවුන්ට ජීවත් වෙන්න බැහැ කියන කාරණය. ඔවුන් ඒ ගහේ ගෙඩි කෑවා නම් ඒක හරියට ‘අපිට ඔයාගේ නීති එපා’ කියලා දෙවිට කියනවා වගේ දෙයක්. එහෙම කළා නම් දෙවි කියපු විදිහටම ඔවුනුත් ඔවුන්ගේ දරුවනුත් මිය යනවා.
මරණය මිනිස් පවුල ගිලගත් හැටි
5. ආදම් සහ ඒව දෙවිට අකීකරු වුණේ ඇයි?
5 ආදම්, දෙවි කරන්න එපා කියපු දේ ගැන ඒවටත් කියලා තිබුණා. දෙවි ආදම්ට කියපු දේ ඒව ඒ විදිහටම සර්පයෙක්ව යොදාගෙන කතා කරපු සාතන්ට කිව්ව එකෙන් ඒක පැහැදිලියි. (උත්. 3:1-3) ඒ වෙනකොට සාතන් හිටියෙ දෙවි සතු බලතල තමන්ට ලබාගන්න එක ගැන හිතහිතයි. ඒ වගේම දෙවිගේ පාලනයට යටත් වෙන්නේ නැතුව ස්වාධීනව ජීවත් වෙන්නත් ඔහු ආශාවෙන් හිටියා. (යාකොබ් 1:14, 15 බලන්න.) ඒ නිසා සාතන් ඒවට කිව්වා දෙවි බොරුකාරයෙක් කියලා. දෙවිට අකීකරු වුණොත් මැරෙනවා වෙනුවට දෙවි වගේ වෙන්න පුළුවන් කියලත් කිව්වා. (උත්. 3:4, 5) ඒ බොරුව විශ්වාස කරපු ඒව හිතුමනාපෙට වැඩ කරලා ඒ පලතුර කෑවා විතරක් නෙමෙයි ආදම්ටත් ඒක කන්න කිව්වා. (උත්. 3:6, 17) සාතන් ඒවව රැවැට්ටුවා. (1 තිමෝති 2:14 කියවන්න.) තමන් කරන්නේ වරදක් කියලා ආදම් හොඳටම දැනගෙන හිටියත් ඔහුට ඕන වුණේ බිරිඳ කියපු දේ කරන්නයි. ඒ සර්පයාව ඔවුන් දැක්කේ ඔවුන්ට හොඳක් කරන්න හදන යාළුවෙක් විදිහට වුණත් සාතන් කිසිම දයාවක් නැති සතුරෙක්. තමන්ගේ බොරුව නිසා දරුණු ප්‍රතිඵල ඇති වෙනවා කියලා ඒ සතුරා දැනගෙන හිටියා.
6, 7. දෙවි ආදම් සහ ඒවට දුන්නේ මොන වගේ විනිශ්චයක්ද?
6 ලස්සන ජීවිතයකුත් ඒ ජීවිතය සතුටින් ගත කරන්න ඕන කරපු හැම දේමත් දුන්න යෙහෝවා දෙවිට විරුද්ධව ආදම් සහ ඒව කැරලිගැහුවා. සිද්ධ වෙන්නේ මොකක්ද කියලා යෙහෝවා දෙවි හොඳින් දැනගෙන හිටියා. (1 ලේක. 28:9; හිතෝපදේශ 15:3 කියවන්න.) ඒත් ආදම්, ඒවට වගේම සාතන්ටත් දෙවි ගැන හැඟෙන්නේ කොහොමද කියලා පෙන්නන්න දෙවි ඔවුන්ට අවස්ථාව දුන්නා. ඔවුන් කරපු දේ නිසා ආදරණීය තාත්තා කෙනෙක් වුණ දෙවිගේ හිතට ලොකු දුකක් දැනෙන්න ඇති. (උත්පත්ති 6:6 බලන්න.) ඒත් යුක්තිසහගත විනිශ්චයකරුවෙක් වුණ දෙවි කලින් කියපු විදිහටම වැරදිකරුවන්ට දඬුවම් දෙන්න පසුබට වුණේ නැහැ.
7 හොඳ හා නරක හඳුනාගැනීමේ ගහෙන් කෑවොත් වෙන දේ ගැන ආදම් සහ ඒව හොඳටම දැනගෙන හිටියා. මොකද “එයින් කෑ දවසේදීම ඔබ අනිවාර්යයෙන්ම මැරෙන්නෙහිය” කියලා දෙවි ඔහුට කියලා තිබුණා. ඒ නිසා ඉර බහින්න කලින් ඔවුන් මැරෙයි කියලා ආදම් හිතන්න ඇති. ඒත් එදා හැන්දෑවේ දෙවි ඔවුන් දෙන්නාට කතා කළා. (උත්. 3:8) දෙවි ධර්මිෂ්ඨ විනිශ්චයකරුවෙක් නිසා ඉස්සෙල්ලාම ඔවුන්ට කියන්න තියෙන්නේ මොනවද කියලා අහලා බැලුවා. (උත්. 3:9-13) ඊළඟට වරදකරුවන්ට මරණ දඬුවම නියම කළා. (උත්. 3:14-19) ඒත් දෙවි ඔවුන් දෙන්නාව ඒ වෙලාවෙම මරලා දැම්මේ නැහැ. එහෙම කළා නම් මිනිසුන් සඳහා දෙවිට තිබුණ අරමුණ ඉටු වෙන්නේ නැහැ. ඒ නිසා දරුවන්ව බිහි කරන්න අවශ්‍ය තරම් කාලයක් ජීවත් වෙන්න දෙවි ඔවුන්ට ඉඩහැරියා. ඒත් කරපු වරදේ ප්‍රතිඵල නම් ඒ වෙලාවේ ඉඳලම බලපෑවා. ආදම් සහ ඒව මිය ගියා කියලා දෙවි සැලකුවේ ඔවුන් වරද කරපු දවසේමයි. ඒ වගේම අවුරුදු 1,000ක් කියන්නේ යෙහෝවා දෙවිට එක දවසක් වගෙයි. ඒ විදිහට බලද්දී නම් ඔවුන් මිය ගියේ වරද කරපු දවසේමයි.—2 පේතෘ. 3:8.
8, 9. ආදම් කරපු පාපය ඔහුගෙන් පැවතෙන හැමෝටම බලපෑවේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)
8 ආදම් සහ ඒව කරපු වැරදි දරුවන්ටත් බලපෑවද? ඔව්. රෝම 5:12 මෙහෙම කියනවා. “එක් මිනිසෙකු පව් කළ නිසා මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය ඇතුල් විය. එහි ප්‍රතිඵලය මරණයයි. සියලුදෙනා තුළම මෙම පව්කාර ස්වභාවය තිබෙන නිසා මරණය සියලුදෙනාටම උරුම විය.” ඒ වගේම “එක මිනිසෙකු අකීකරු වූ නිසා බොහෝදෙනෙකුව වරදකරුවන් ලෙස ගණන් ගනු ලැබීය” කියලත් පාවුල් කිව්වා. (රෝම 5:19) ඉස්සෙල්ලාම මිය ගියේ ආබෙල්. (උත්. 4:8) ඊටපස්සේ ආදම්ගේ දරුවොත් මුනුබුරොත් වයසට ගිහින් මිය ගියා. පාපය සහ මරණය කියන සතුරන් දෙන්නාගෙන් බේරෙන්න කිසිම කෙනෙකුට පුළුවන් වුණේ නැහැ. පාපය සහ මරණය ආදම්ගෙන් පැවතෙන අයට උරුම වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා අපිට හරියටම කියන්න බැරි වුණත් ඒකේ ප්‍රතිඵල නම් අපේ ඇස් පනාපිටම සිද්ධ වෙනවා.
9 පාපය සහ මරණය බයිබලේ සමාන කරන්නේ “සියලු ජාතීන්ව වෙළාගත් අඳුරු වලාවක්” විදිහටයි. “ඔවුන් වටා එතී තිබෙන දැලක්” විදිහටයි. (යෙසා. 25:7) ඒකෙන් බේරෙන්න කිසිම කෙනෙකුට බැහැ. බයිබලේ කියන්නේ “ආදම් නිසා සියලුදෙනාම මිය යති” කියලයි. (1 කොරි. 15:22) ඒ නිසා පාවුල් මෙහෙම අහනවා. “මගේ මරණයට හේතු වන මේ ශරීරයෙන් මාව බේරගන්නේ කවුද?” පාවුල්ව බේරගන්න පුළුවන් කෙනෙක් ඇත්තටම ඉන්නවද?a—රෝම 7:24.
පාපය සහ මරණය නැති කරයි
10. (අ) යෙහෝවා දෙවි මරණය නැති කරනවා කියලා පෙන්නන බයිබල් පද මොනවද? (ආ) ඒ පදවලින් යෙහෝවා දෙවි ගැනත් ඔහුගේ පුතා ගැනත් අපිට තේරුම්ගන්න පුළුවන් මොනවද?
10 පාවුල්ව බේරගන්න පුළුවන් එකම කෙනා යෙහෝවා දෙවි විතරයි. බයිබලේ ඒ ගැන මෙහෙම කියනවා. “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මරණය සදහටම ගිල දමා සියලුදෙනාගේ ඇස්වලින් කඳුළු පිස දමන්නේය.” (යෙසා. 25:8) තමන්ගේ දරුවන්ට වේදනාවක් ගේන දේ අයින් කරලා ඒ අයගේ ඇස්වලින් කඳුළු පිහ දාන තාත්තා කෙනෙක් වගේ දෙවිත් මරණය කියන දේ සදහටම නැති කරන්නේ හරිම සතුටෙන්. ඒ දේ කරන්න යේසුත් දෙවි එක්ක හවුල් වෙනවා. 1 කොරින්ති 15:22 කියන්නේ “ක්‍රිස්තුස් නිසා සියලුදෙනාටම ජීවනය ලැබේ” කියලයි. “මාව බේරගන්නේ කවුද” කියලා පාවුල් අහපු ප්‍රශ්නෙට ඔහුම උත්තර දෙන්නේ මෙහෙමයි. “මා දෙවිට කොතරම් ස්තුතිවන්ත විය යුතුද! මන්ද ඔහු අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් මාව බේරාගන්නේය.” (රෝම 7:25) ආදම් සහ ඒව පව් කළා කියලා යෙහෝවා දෙවි මිනිසුන්ට දක්වපු ආදරේ අඩුවක් කළේ නැහැ. මුල් මිනිස් යුවළව නිර්මාණය කරන්න හවුල් වුණ යේසුත් එදා වගේම තවමත් මිනිසුන්ට ආදරෙයි. (හිතෝ. 8:30, 31) ඒත් දෙවි පාපයෙන් සහ මරණයෙන් මිනිසුන්ව බේරගන්නේ කොහොමද?
11. මිනිසුන්ට උදව් කරන්න යෙහෝවා දෙවි කළේ මොකක්ද?
11 ආදම් කරපු වරදට දඬුවම විදිහට යෙහෝවා දෙවි ඔහුට මරණය නියම කළා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මිනිස් සංහතියටම පාපයත් මරණයත් උරුම වුණා. “එක මිනිසෙකු කළ වරද නිසා සෑම තරාතිරමකටම අයත් මිනිසුන්ව වරදකරුවන් බව ප්‍රකාශ කරන ලදි” කියලා රෝම 5:18 කියනවා. ඒ දෙයින් ඔප්පු වෙන තවත් දෙයක් තියෙනවා. ඒ තමයි යෙහෝවා දෙවි තමන්ගේ ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති කඩන්නේ නැහැ කියන දේ. (රෝම 5:12, 16) දෙවි වරදකරුවන්ට දඬුවම නියම කළත් මිනිසුන්ට තියෙන ආදරේ නිසා ඔවුන්ට උදව් කරන්නත් දෙවි පියවර ගත්තා. තමන්ගේ ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති කඩන්නේ නැතුව මිනිසුන්ට උදව් කරන්න දෙවි කළේ මොකක්ද? යේසුස් ඒකට උත්තර දුන්නේ මෙහෙමයි. “මනුෂ්‍ය පුත්‍රයා පැමිණියේ . . . බොහෝදෙනෙකුව මුදවාගැනීම සඳහා තම ජීවිතය පූජා කරන්නයි.” (මතෙ. 20:28) යේසුස් පරිපූර්ණ මිනිසෙක් වුණ නිසා නියමිත වන්දිය ගෙවන්න ඔහුට පුළුවන් වුණා. යේසුස්ගේ ජීවිත පූජාව නිසා යුක්තිය ඉටු වුණේ කොහොමද?—1 තිමෝ. 2:5, 6.
12. යෙහෝවා දෙවි බලාපොරොත්තු වුණ යුක්තිය ඉටු වුණේ කොහොමද?
12 පරිපූර්ණ මිනිසෙක් විදිහට පොළොවේ හිටපු යේසුස්ට අවශ්‍ය නම් සදාකාලයටම ජීවත් වෙන්න අවස්ථාව තිබුණා. ඒත් තමන්ගේ ආදරණීය තාත්තා ගැනත් මිනිසුන් ගැනත් යේසුස්ගේ හිතේ තිබුණ අසීමිත ආදරේ නිසා පරිපූර්ණ මිනිසෙක් විදිහට මේ පොළොවේ ගත කරන්න තිබුණ ජීවිතය ඔහු පූජා කළා. ඔහු පූජා කරපු ජීවිතය ආදම් නැති කරගත්ත ජීවිතයට නියමිත වන්දිය වුණා. ඊටපස්සේ යෙහෝවා දෙවි ඔහුව නැවත නැඟිට්ටෙව්වේ ස්වර්ගයේ ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් විදිහටයි. (1 පේතෘ. 3:18) නැති කරගත්ත පරිපූර්ණ ජීවිතයට තවත් පරිපූර්ණ ජීවිතයක් වන්දියක් විදිහට ගෙවපු නිසා යේසුස්ගේ ජීවිත පූජාවෙන් යෙහෝවා දෙවි බලාපොරොත්තු වුණ යුක්තිය ඉටු වුණා. ඒ නිසා ආදම්ගෙන් පැවතෙන අයට ආයෙත් සදාකල් ජීවත් වෙන්න අවස්ථාව ලැබුණා. යේසුස්ව ‘ජීවනය ගෙන දෙන අන්තිම ආදම්’ කියලා පාවුල් හැඳින්නුවේ ඒ නිසයි.—1 කොරි. 15:45.
13. මිය ගිය අය වෙනුවෙන් “අන්තිම ආදම්” ඉදිරියේදී කරන්නේ මොකක්ද?
13 ළඟදීම “අන්තිම ආදම්” වන යේසුස් ආදම්ගෙන් පැවතෙන අයට සදාකල් ජීවිතය ලබා දෙනවා. අතීතයේදී මිය ගිය අයගෙන් වැඩිදෙනෙකුටත් ඒ අවස්ථාව ලැබෙනවා. ඔවුන්ව මරණයෙන් නැවත නැඟිටුවනවා. ඒ කියන්නේ ඔවුන්ට මේ පොළොවේ ජීවත් වෙන්න ආයෙත් අවස්ථාව දෙනවා කියන එකයි.—යොහ. 5:28, 29.
14. උරුම වෙලා තියෙන පාපයෙන් නිදහස් වෙන්න මිනිසුන්ට පුළුවන් වෙන්නේ කොහොමද?
14 උරුම වෙලා තියෙන පාපයෙන් නිදහස් වෙන්න මිනිසුන්ට පුළුවන් වෙන්නේ කොහොමද? යෙහෝවා දෙවි ඒක කරන්නේ ස්වර්ගයේ පිහිටුවලා තියෙන රාජ්‍යය මගිනුයි. ඒකේ පාලකයන් වෙන්නේ යේසුස් සහ මිනිසුන් අතරින් තෝරාගත්ත 1,44,000දෙනෙකුයි. (එළිදරව් 5:9, 10 කියවන්න.) ඒ 1,44,000දෙනා කලින් පාපය උරුම කරගත්ත මිනිසුන් වුණ නිසා ඔවුන් යටතේ ඉන්න මිනිසුන්ව හොඳින් තේරුම්ගන්න ඔවුන්ට පුළුවන්. ඔවුන් පාලනය කරන අවුරුදු 1,000 ඇතුළතදී යේසුස් එක්ක එකතු වෙලා මිනිසුන්ට පරිපූර්ණ අය වෙන්න උදව් කරනවා.—එළි. 20:6.
15, 16. (අ) “අන්තිම සතුරා වන මරණය” කියද්දී අදහස් කරන්නේ මොකක්ද? ඒක නැති කරලා දාන්නේ කවදාද? (ආ) 1 කොරින්ති 15:28 සඳහන් වෙන විදිහට යේසුස් ඉදිරියේදී කරන්නේ මොකක්ද?
15 දහස් අවුරුදු පාලනය අවසන් වෙද්දී දෙවිට කීකරුව ඉන්න හැම කෙනෙක්ම පාපයෙන් සහ මරණයෙන් නිදහස ලබලා ඉවරයි. පාවුල් ඒ ගැන මෙහෙම කියනවා. “ආදම් නිසා සියලුදෙනාම මිය යති. නමුත් ක්‍රිස්තුස් නිසා සියලුදෙනාටම ජීවනය ලැබේ. සෑම කෙනෙකුවම නැවත නැඟිටුවනු ලබන්නේ නිසි අනුපිළිවෙළකටය. පළමු පල ලෙස මුලින්ම නැඟිටුවනු ලැබුවේ ක්‍රිස්තුස්වය. ඉන්පසු ක්‍රිස්තුස් පැමිණ සිටින කාලයේදී නැවත නැඟිටුවනු ලබන්නේ ඔහුට අයිති වී සිටින [ඔහු එක්ක පාලනය කරන] අයවයි. අවසානයේදී සියලුම පාලන, බලතල හා අධිකාරිය හොබවන අයව නැති කර දැමූ පසු ඔහු රාජ්‍යය තම දෙවි හා පියාණන් වන තැනැත්තාණන්ට භාර දෙනු ඇත. දෙවි සියලු සතුරන් ඔහුගේ පාද යට දමන තුරු ඔහු රජකම් කළ යුතුයි. ඉන්පසු අන්තිම සතුරා වන මරණයද නැති කරනු ඇත.” (1 කොරි. 15:22-26) ඒ කියන්නේ ආදම්ගෙන් උරුම වුණ මරණය නැති කරලා දාලා මුළු මිනිස් සංහතියම “වෙළාගත් අඳුරු වලාව” සදහටම ඉවත් කරනවා කියන එකයි.—යෙසා. 25:7, 8.
16 පාවුල් මෙහෙම කියනවා. “සියල්ල පුත්‍රයාට යටත් කළ පසු පුත්‍රයාද තමන්ට සියල්ල යටත් කර දුන් තැනැත්තාණන්ට යටත් වනු ඇත. එසේ කරන්නේ දෙවි සියලුදෙනාගේම එකම පාලකයාණන් ලෙස කටයුතු කිරීම සඳහාය.” (1 කොරි. 15:28) දේවරාජ්‍යයේ පාලනය යෙහෝවා දෙවි යේසුස්ට දුන්නේ යම් අරමුණකටයි. ඒ අරමුණ ඉටු කළාට පස්සේ යේසුස් තමන්ට දීලා තිබුණ සියලුම බලතලත් ඒ වෙනකොට පරිපූර්ණව ඉන්න මිනිස් පවුලත් යෙහෝවා දෙවිට ආයෙත් භාර දෙනවා. යේසුස් ඒ දේ කරන්නේ හරිම සතුටෙන්.
17. සාතන්ට මොකද වෙන්නේ?
17 මිනිසුන්ට මේ තරම් දෙයක් කරපු සාතන්ට මොකද වෙන්නේ? ඒකට උත්තර එළිදරව් 20:7-15 තියෙනවා. දහස් අවුරුදු පාලනය ඉවර වුණාට පස්සේ සාතන්ව ටික කාලෙකට නිදහස් කරනවා. ඒ පරිපූර්ණ මිනිසුන්ව රවට්ටන්න ඔහුට ගන්න පුළුවන් අන්තිම උත්සාහයත් ගන්න ඔහුට අවස්ථාවක් දෙන්නයි. ඊටපස්සේ සාතන්වත් ඔහුගේ පැත්ත ගන්න අයවත් විනාශ කරනවා. “දෙවෙනි මරණය” කියලා හඳුන්වන්නේ ඒ විනාශයයි. (එළි. 21:8) ආදම්ගෙන් උරුම වුණ මරණය නැති කරලා දැම්මත් “දෙවෙනි මරණය” නැති වෙන්නේ නැහැ. මොකද දෙවෙනි මරණය ලබන අය ආයේ කවදාවත් ජීවත් වෙන්නේ නැති නිසයි. අපි දෙවිට දිගටම විශ්වාසවන්තව ඉන්නවා නම් දෙවෙනි මරණය ගැන අපිට බය වෙන්න කිසිම හේතුවක් නැහැ.
18. දෙවි ආදම්ට භාර දීපු කාර්යය ඉටු වෙන්නේ කොහොමද?
18 එදාට මිනිසුන් හැම කෙනෙක්ම පරිපූර්ණයි. සදාකල් ජීවත් වෙන්න දෙවි ඒ හැමෝටම අවස්ථාව ලබා දෙනවා. මිනිසුන්ගේ සතුට නැති කරන කිසිම සතුරෙක් ඒ වෙනකොට නැහැ. දෙවි ආදම්ට භාර දීපු කාර්යය ඔහු නැතුව වුණත් ඒ විදිහටම ඉටු වෙනවා. ඔහුගෙන් පැවතෙන අය මේ පොළොවත් සතුන්වත් රැකබලා ගෙන සතුටින් ජීවිතේ ගත කරයි. මිනිසුන්ගේ අන්තිම සතුරා වන මරණය ළඟදීම නැති කරද්දී අපිට මොන තරම් සතුටක් දැනෙයිද!
a ‘ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස්’ පොතේ (සිංහලෙන් නැහැ.) මෙහෙම කියනවා. “මිනිසුන් මහලු වෙලා මිය යන්නේ ඇයි කියලා හොයන්න විද්‍යාඥයන් කොයි තරම් පර්යේෂණ කළත් ඔවුන් වැදගත් දෙයක් අමතක කරනවා. ඒ තමයි පළමු මිනිසුන් දෙදෙනාට මරණ දඬුවම නියම කළේ ඔවුන්ගේ නිර්මාතෘයි කියන දේ. ඒ නිසා ඇත්තටම මිනිසුන් මැරෙන්නේ ඇයි කියලා හොයාගන්න විද්‍යාඥයන්ට බැහැ.”—2වෙනි වෙළුම, 247 පිටුව.