කනස්සල්ලට හේතු වෙන හැම බරක්ම යෙහෝවා දෙවිට භාර දෙන්න
“[යෙහෝවා දෙවි] ඔබ ගැන සැලකිලිමත් වන නිසා ඔබේ කනස්සල්ලට හේතු වන සෑම බරක්ම ඔහු පිට තබන්න.”—1 පේතෘ. 5:7.
1, 2. (අ) කනස්සල්ලක් ඇති වෙන එක ගැන අපි පුදුම වෙන්න ඕනෙ නැත්තේ ඇයි? (ලිපියේ මුල් පින්තූරය බලන්න.) (ආ) මේ ලිපියේ කතා කරන්නේ මොනවා ගැනද?
සාතන් දන්නවා එයාට ඉතුරු වෙලා තියෙන්නේ තව කෙටි කාලයක් කියලා. ඒ නිසා එයා “ගොරවන සිංහයෙකු මෙන් කවරෙකුව හෝ ගිල දැමීමට සොයමින් ඔබ මොබ ඇවිදිනවා.” (1 පේතෘ. 5:8; එළි. 12:17) එහෙමනම් දෙවිගේ සේවකයන් වන අපිට සමහර අවස්ථාවලදී කනස්සල්ලක් දැනෙන එක පුදුමයක් නෙමෙයි. අතීතයේ හිටපු දෙවිගේ සේවකයනුත් කනස්සලු වුණ අවස්ථා තිබුණා. ආපු ප්‍රශ්න ගැටලු නිසා දාවිත් රජ කනස්සලු වුණා. (ගීතා. 13:2) “සියලු සභාවන් ගැන සිතන විට මගේ සිතට මහත් බරක් දැනේ” කියලා පාවුල් කිව්වා. (2 කොරි. 11:28) ඒත් කනස්සල්ලෙන් යටපත් නොවී ඉන්න අපිට පුළුවන් කොහොමද?
2 යෙහෝවා දෙවි අතීතයේ හිටපු ඔහුගේ සේවකයන්ට කනස්සල්ලෙන් ගොඩ එන්න උදව් කළා. අදත් ඒ දේම කරන්න දෙවිට පුළුවන්. බයිබලේ කියන්නේ “ඔහු ඔබ ගැන සැලකිලිමත් වන නිසා ඔබේ කනස්සල්ලට හේතු වන සෑම බරක්ම ඔහු පිට තබන්න” කියලයි. (1 පේතෘ. 5:7) කනස්සල්ලට හේතු වන සෑම බරක්ම දෙවි පිට තබනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? ඒ ගැන අපි පැති 4කින් බලමු. (1) හිතේ තියෙන බර යෙහෝවා දෙවිට කියන්න. (2) බයිබලේ කියවලා ඒ ගැන හොඳට හිතන්න. (3) දෙවිගෙන් බලය ඉල්ලන්න. (4) ඔයාට හැඟෙන විදිහ විශ්වාසවන්ත කෙනෙක් එක්ක කතා කරන්න. ඒ කාරණා 4 ගැන සාකච්ඡා කරද්දී ඔයාට තව දියුණු වෙන්න පුළුවන් පැති අඳුනගන්න.
“සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න”
3. “සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න” ඔයාට පුළුවන් කොහොමද?
3 හිතට දැනෙන බර යෙහෝවා දෙවිට භාර දෙන්න පුළුවන් 1වෙනි විදිහ යාච්ඤාව. ඔයාට කනස්සල්ලක් දැනෙද්දී හැඟෙන, දැනෙන විදිහ දෙවිට කියන්න. “අනේ දෙවියනි, මාගේ යාච්ඤාවට සවන් දෙන්න” කියලා දාවිත් දෙවිට කන්නලව් කළා. “ඔබේ සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න. එවිට ඔහු ඔබව ශක්තිමත් කරන්නේය” කියලත් එයා කිව්වා. (ගීතා. 55:1, 22) හිතට බරක් වෙලා තියෙන ප්‍රශ්නේ විසඳගන්න ඔයාට පුළුවන් හැම දේම කළා කියලා හිතන්න. ඒත් තාමත් හිතින් ඒ ගැන ඔයා වද වෙනවා ඇති. එහෙම වෙලාවලදී ඒ කාරණේ දෙවිට භාර දෙන්න. ඊටපස්සේ ඒ ගැන තවත් කනස්සලු වෙන්න අවශ්‍ය නැහැ. ඒ වගේ අවස්ථාවකදී යාච්ඤාව අපේ හිතට සහනයක් වෙන්නෙත් කනස්සල්ලෙන් යටපත් නොවී ඉන්න උදව්වක් වෙන්නෙත් කොහොමද?—ගීතා. 94:18, 19.
4. කනස්සල්ලෙන් ඉද්දී යාච්ඤා කරන්න ඕනෙ ඇයි?
4 ෆිලිප්පි 4:6, 7 කියවන්න. හිතට දැනෙන කනස්සල්ල ගැන යෙහෝවා දෙවිට අත් නෑර කියද්දී ඔහු මොනවද කරන්නේ? දෙවි තමන්ගේ බලයෙන් අපේ හිතට සමාදානය ලබා දෙනවා. ඒ සමාදානය අපේ හිත සන්සුන් කරනවා. කනස්සල්ලක් ඇති කරන සිතුවිලි, හැඟීම් පාලනය කරගන්න උදව් කරනවා. ප්‍රශ්නේ ඒ වෙලාවෙම විසඳෙන්නේ නැති වෙයි. ඒත් සන්සුන් මනසකින් ඒකට මුහුණ දෙන්න දෙවි ලබා දෙන සමාදානය නිසා පුළුවන්. දෙවිගේ සේවකයන් හුඟදෙනෙක්ට වගේ ඔයාටත් පුළුවන් “දෙවි ලබා දෙන සමාදානය” අද්දකින්න. ඔයාගේ මනසට පීඩනයක් දැනෙද්දී දෙවි ඔයාට කියන මේ වචන මතක් කරගන්න. “කලබල නොවන්න. මන්ද ඔබේ දෙවි මමය. මම ඔබව ශක්තිමත් කරන්නෙමි. ඔබට පිහිට වන්නෙමි.” ඒ පොරොන්දුව විශ්වාස කරන්න.—යෙසා. 41:10.
දෙවිගේ වචනයෙන් ලැබෙන සහනය
5. හිතේ සාමය ඇති කරගන්න දේවවචනය අපිට උදව් වෙන්නේ කොහොමද?
5 හිතේ තියෙන බර දෙවිට භාර දෙන 2වෙනි විදිහ බයිබලේ කියවලා ඒ ගැන හොඳින් කල්පනා කරන එක. බයිබලේ තියෙන්නේ දෙවිගේ අදහස්. අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවි අපිට අවශ්‍ය හොඳම මඟ පෙන්වීම් බයිබලේ ඇතුළත් කරලා තියෙනවා. ඒ මඟ පෙන්වීම් අදාළ කරගන්නවා නම් මානසික පීඩනය අඩු කරගන්න, කනස්සලු වෙන්න හේතු වෙන දේවලින් වළකින්න අපිට පුළුවන්. කනස්සල්ලක් දැනෙන ඕනම වෙලාවකදී බයිබලේ කියවලා දෙවි ඔයාට කියන්න හදන්නේ මොකක්ද කියලා හොඳට හිතන්න. දෙවි දෙන උපදෙස අදාළ කරගන්න පුළුවන් කොහොමද කියලත් හිතන්න. ඒක ඔයාට ශක්තියක් වෙයි. දේවවචනය කියවන කෙනෙක්ට ‘භය නැතුව, ධෛර්යවත්ව, එඩිතරව’ ප්‍රශ්නවලට මුහුණ දෙන්න පුළුවන් කියලා දෙවිම කියන්නේ ඒ නිසයි.—යොෂු. 1:7-9.
6. යේසුස් කියපු දේවල් අපිට ශක්තියක් වෙන්නේ කොහොමද?
6 මේ පොළොවේ ඉද්දී යේසුස් මිනිසුන්ට කියපු, උගන්වපු දේවල් බයිබලේ සඳහන් වෙනවා. ඔහු නිතරම කතා කළේ මිනිසුන්ගේ හිතට සහනයක්, ප්රබෝධයක් දැනෙන විදිහට. ප්‍රශ්නවලින් මිරිකිලා හිටපු අයට ඔහුගේ වදන් සැනසීමක් වුණා. ඒ නිසා එයාලා යේසුස්ට ඇහුම්කන් දුන්නේ හරිම ආසාවෙන්. (මතෙව් 11:28-30 කියවන්න.) අනිත් අයගේ අවශ්‍යතා ගැනත් යේසුස් නිතරම සැලකිලිමත් වුණා. (මාක් 6:30-32) එදා යේසුස් එක්ක දේශනා කරන්න විවිධ ප්‍රදේශවලට ගිය නියෝජිතයන්ට උදව් කරනවා කියලා ඔහු පොරොන්දු වුණා. ඒ පොරොන්දුව ඔහු අදත් ඉටු කරනවා. ඇත්ත, යේසුස් අද මේ පොළොවේ අපි අතරේ නැහැ. ඒත් ඔහු අපේ රජ විදිහට අපි ගැන සැලකිලිමත්. අපි ඉන්න තත්වය තේරුම්ගන්නවා. ඒ නිසා අපිට දුකක්, කනස්සල්ලක් දැනෙන ඕනම වෙලාවක යේසුස් අපිට අවශ්‍ය උදව් ලබා දෙනවා කියලා ස්ථිරයි. යේසුස්ගේ වදන් අපේ හිතට ධෛර්යයක්, බලාපොරොත්තුවක් ලබා දෙනවා. ඒ නිසා කනස්සල්ලෙන් යටපත් වෙන්නේ නැතුව ඉන්න අපිට පුළුවන්.—හෙබ්‍රෙ. 2:17, 18; 4:16.
දෙවිගේ බලයේ උදව්වෙන් ඇති වෙන ගුණාංග
7. ඔයා දෙවිගේ බලය ඉල්ලලා යාච්ඤා කරද්දී දෙවි උත්තර දෙන විදිහෙන් ඔයා ප්‍රයෝජන ලබන්නේ කොහොමද?
7 දෙවිගෙන් බලය ඉල්ලන අයට ඔහු ඒක අනිවාර්යයෙන්ම දෙනවා කියලා යේසුස් සහතික වුණා. (ලූක් 11:10-13) කනස්සල්ල අඩු කරගන්න දෙවිගේ බලය අපිට උදව් වෙන්නේ කොහොමද? “කෙනෙක් තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වෙද්දී” දෙවි ළඟ තියෙන ලස්සන ගුණාංග වර්ධනය කරගන්න එයාට පුළුවන් වෙනවා. (ගලාති 5:22, 23 කියවන්න; කොලො. 3:10) ඒ ගුණාංග අපේ ජීවිතෙන් පෙන්නද්දී කනස්සල්ලට හේතු වෙන දේවල් අඩු කරගන්න අපිට පුළුවන්. ඒ අපි බලන 3වෙනි පැත්තයි. ඒ ගුණාංග අපිට උදව් වෙන විදි කීපයක් ගැන බලමු.
8-12. දෙවිගේ බලය ක්‍රියාත්මක වෙද්දී ඇති වෙන ගුණාංග අපිට උදව් වෙන්නේ කොහොමද?
8 “ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය.” අපි අනිත් අයට ගෞරවයෙන් සලකන්න වෑයමක් දරද්දී කේන්තිය, නුරුස්සන ගතිය වගේ හැඟීම් පාලනය කරගන්න අපිට පුළුවන්. ඒ වගේම අනිත් අයට ආදරෙන් සලකද්දී හිත් අමනාපකම් ඇති වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. ඒ නිසා හිතේ බරක් නැතුව අනිත් අය එක්ක සාමයෙන් ඉන්න අපිට පුළුවන්.—රෝම 12:10.
9 “බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම.” බයිබලේ කියන්නේ ‘එකිනෙකාට කරුණාවද ඉමහත් දයානුකම්පාවද පෙන්වන්න. එකිනෙකාට කැමැත්තෙන්ම සමාව දෙන්න’ කියලයි. (එෆී. 4:32) ඒ උපදෙසට කීකරු වෙනවා නම් අපි ප්‍රශ්න දුරදිග ගෙනියන්නේ නැතුව ඉක්මනින්ම ඒවා විසඳගන්නවා. එතකොට එකිනෙකා අතරේ තියෙන සාමය රැකගන්න පුළුවන්. එකිනෙකා අතින් අඩුපාඩුකම් වෙද්දී ඒවා ලොකු ප්‍රශ්න කරගන්නේ නැතුව යෙහෝවා දෙවිගේ හිත සතුටු වෙන විදිහට වැඩ කරන්නත් ඒ ගුණාංග උදව් වෙනවා.
10 “විශ්වාසය.” සල්ලි හම්බ කරන එක ගැන, තව තව දේවල් ලබාගන්න එක ගැන හිතලා සමහරු කනස්සලු වෙනවා. (හිතෝ. 18:11) “තිබෙන දේවල් ගැන සෑහීමට පත් වන්න” ඉගෙනගන්නවා නම් අපි ඒ දේවල් ගැන අනවශ්‍ය විදිහට කනස්සලු වෙන්නේ නැහැ. යෙහෝවා දෙවි පොරොන්දු වෙලා තියෙන්නේ “මා ඔබව කිසි ලෙසකින්වත් අත්හරින්නේ නැත. මම ඔබව කිසිදාක අසරණ නොකරන්නෙමි” කියලා. ඒ පොරොන්දුව ගැන අපිට නොසැලෙන විශ්වාසයක් තියෙනවා නම් තියෙන දේවල් ගැන අපි සෑහීමට පත් වෙනවා. අපිට අවශ්‍ය දේවල් දෙන්න දෙවිට පුළුවන් කියලා අපිට නිසැකයි. ඒ නිසා අපිටත් මෙහෙම කියන්න පුළුවන්. “මට උපකාර කරන්නේ යෙහෝවා දෙවිය. මම බිය නොවන්නෙමි. මිනිසාට මට විරුද්ධව කළ හැක්කේ කුමක්ද?”—හෙබ්‍රෙ. 13:5, 6.
11 “මෘදුකම, තමාව පාලනය කරගැනීම.” මේ ගුණාංග අපිට තියෙනවා නම් අපි යමක් කියන්න, කරන්න කලින් හුඟක් සැලකිලිමත් වෙනවා. කනස්සල්ලක් ඇති කරන්න පුළුවන් දේවලින් වළකින්න ඒක උදව්වක්. ඒ වගේම “දැඩි වෛරය, උදහස, කෝපය, කෑගැසීම, නින්දාසහගත කතා” වගේ නරක ගති අපේ ජීවිතවලින් අයින් කරන්න පුළුවන් වෙන්නෙත් ඒ ගුණාංග අපිට තියෙනවා නම් විතරයි.—එෆී. 4:31.
12 ‘මහත් බලයක් ඇති දෙවිට යටත් වෙලා කනස්සල්ලට හේතු වන සෑම බරක්ම ඔහු පිට තබන්න’ නම් අපි නිහතමානී වෙන්න ඕනේ. (1 පේතෘ. 5:6, 7) තමන්ට කරන්න පුළුවන් මොනවද, බැරි මොනවද කියලා නිහතමානී කෙනෙක් තේරුම්ගන්නවා. (මීකා 6:8) තමන්ගේ හැකියාව ගැන විශ්වාසය තියලා වැඩ කරන්නේ නැතුව යෙහෝවා දෙවි ගැන විශ්වාසය තියලා වැඩ කරන්න එහෙම කෙනෙක් පෙලඹෙනවා. එතකොට යෙහෝවා දෙවිගේ ආදරේ, උදව් ලැබෙන නිසා කනස්සල්ලෙන් යටපත් නොවී ඉන්න එයාට පුළුවන්.
“කිසිවිටක කනස්සලු නොවන්න”
13. “කිසිවිටක කනස්සලු නොවන්න” කියද්දී යේසුස් අදහස් කළේ මොකක්ද?
13 මතෙව් 6:34 කියවන්න. යේසුස් කිව්වේ “කිසිවිටක කනස්සලු නොවන්න” කියලා. බැලූ බැල්මට ඒක කරන්න බැරි දෙයක් වගෙයි පේන්නේ. ඒත් යේසුස් ඇත්තටම අදහස් කළේ මොකක්ද? යේසුස් අදහස් කළේ දෙවිගේ සේවකයන් කවදාවත් කනස්සලු වෙන්නේ නැහැ කියලා නෙමෙයි. මොකද දාවිත්, පාවුල් වගේ විශ්වාසවන්ත සේවකයනුත් සමහර අවස්ථාවලදී කනස්සලු වුණා. යේසුස් ඔහුගේ ගෝලයන්ට කියන්න හැදුවේ ඕනෑවට වඩා කනස්සලු වෙන එකෙන්වත් හේතුවක් නැතුව කනස්සලු වෙන එකෙන්වත් ප්‍රශ්න විසඳන්න බැහැ කියලයි. හැම දවසකම අපි අභියෝගවලට මුහුණ දෙනවා. ඒ නිසා අතීතය ගැන, ඉස්සරහට වෙයි කියලා හිතෙන දේවල් ගැන කනස්සලු වෙන එකෙන් වෙන්නේ තව තවත් බර අපේ ඔළුවට දාගන්න එකයි. යේසුස් කියපු දේ හුඟක් කනස්සල්ලෙන් ඉන්න කෙනෙක්ට උදව් වෙන්නේ කොහොමද?
14. දාවිත් වගේ කනස්සල්ල අඩු කරගන්න අපිට පුළුවන් කොහොමද?
14 අතීතයේ කරපු වැරදි ගැන හිතලා සමහරු කනස්සලු වෙනවා. අවුරුදු ගාණක් ගත වෙලා තිබුණත් ඒ අය තාමත් හිතින් දුක් වෙනවා. එක අවස්ථාවක දාවිත්ටත් ඒ වගේ දුකක් දැනුණා. එයා කිව්වේ “සිතේ වේදනාවෙන් මම කෙඳිරිගෑවෙමි” කියලයි. (ගීතා. 38:3, 4, 8, 18) ඒත් දාවිත්ට ලොකු විශ්වාසයක් තිබුණා යෙහෝවා දෙවි දයාවන්ත, සමාව දෙන්න කැමති දෙවි කෙනෙක් කියලා. එයාගේ වරදට දෙවි සමාව දුන්නා කියලා තේරුම්ගත්ත නිසා හිතේ වේදනාවෙන් ගොඩ එන්න එයාට පුළුවන් වුණා.—ගීතාවලිය 32:1-3, 5 කියවන්න.
15. (අ) දැන් අපි අද්දකින දේවල් ගැන කනස්සලු වෙන්න අවශ්‍ය නැත්තේ ඇයි? (ආ) කනස්සල්ල අඩු කරගන්න ඔයාට කරන්න පුළුවන් මොනවද? (“කනස්සල්ල අඩු කරගන්න උදව් වෙන දේවල්” කියන කොටුව බලන්න.)
15 දැන් ඔයා අද්දකින යම් කටුක දෙයක් නිසා සමහරවිට ඔයා ඉන්නේ ලොකු පීඩනයකින් වෙන්න ඇති. 55වෙනි ගීතිකාව ලියද්දී දාවිත් හිටියෙත් කනස්සල්ලෙන්. ඒ වෙලාවේ එයාගේ ජීවිතේ තිබුණේ අනතුරේ නිසා එයා හිටියේ බයෙන්. (ගීතා. 55:2-5) ඒත් යෙහෝවා දෙවි ගැන තිබුණ විශ්වාසය නැති වෙන තරමට එයා කනස්සල්ලෙන් යටපත් වුණේ නැහැ. එයාට උදව් කරන්න කියලා දෙවිට කන්නලව් කළා. ඒ වගේම ඒ ප්‍රශ්නෙදී එයාගේ පැත්තෙනුත් යම් දෙයක් කරන්න ඕනෙ කියලා දාවිත් තේරුම්ගත්තා. (2 සාමු. 15:30-34) මොකක්ද පාඩම? ප්‍රශ්නෙකට මුහුණ දීලා ඉද්දී කනස්සල්ලෙන් යටපත් වෙන්නේ නැතුව ඒක විසඳගන්න ඔයාට කරන්න පුළුවන් දේ කරන්න. යෙහෝවා දෙවි ඔයාට උදව් කරයි කියන විශ්වාසයෙන් ඉන්න.
16. දෙවිගේ නමේ අර්ථය දැනගද්දී ඔයාගේ විශ්වාසය ශක්තිමත් වෙන්නේ කොහොමද?
16 සමහරු ඉස්සරහට වෙයි කියලා හිතන දේවල් ගැන කනස්සලු වෙනවා. ඒත් තාමත් වෙලා නැති දේවල් ගැන අපි දුක් වෙන්න ඕනෙ නැහැ. මොකද හුඟක් වෙලාවට ප්‍රශ්න අපි හිතන තරම්ම නරක අතට හැරෙන්නේ නැහැ. ඒ වගේම දෙවිට කරන්න බැරි දෙයක් නැහැ කියලා මතක තියාගන්න. දෙවිගේ නමේ අර්ථය තේරුම් අරන් ඉන්න එක ඒක කරන්න අපිට උදව්වක්. ඒ නමේ අර්ථය “තමන් අරමුණු කරන දේ ඉටු කිරීමට ඉතා ක්‍රියාශීලීව කටයුතු කරන තැනැත්තා” කියන එකයි. (නික්. 3:14) දෙවි මිනිසුන් සඳහා අරමුණු කරලා තියෙන හැම දෙයක්ම අනාගතයේදී ඉටු කරනවා කියලා දෙවිගේ නමෙන්ම පැහැදිලියි. ඒ නිසා අනාගතය ගැන හිතලා වද වෙන්න ඕනෙ නැහැ. දෙවිට විශ්වාසවන්තව ඉන්න අයට දෙවි අනිවාර්යයෙන්ම ආශීර්වාද කරනවා. අතීතයේ වුණ දේවල්, දැන් අද්දකින ප්‍රශ්න, ඉස්සරහට වෙයි කියලා හිතන දේවල් නිසා ඇති වෙන කනස්සල්ලෙන් යටපත් නොවී ඉන්න දෙවි අපිට උදව් කරනවා.
විශ්වාසවන්ත කෙනෙක් එක්ක කතා කරන්න
17, 18. කනස්සල්ලෙන් ඉද්දී කෙනෙක් එක්ක කතා කරන එක ඔයාට උදව් වෙන්නේ කොහොමද?
17 කනස්සල්ලෙන් යටපත් නොවී ඉන්න උදව් වෙන 4වෙනි දේ ඔයාගේ හිතට වද දෙන දේ ගැන විශ්වාසවන්ත කෙනෙක් එක්ක කතා කරන එක. ඔයාට හැඟෙන විදිහ අවංකව එයාට කියන්න. අපි යම් දෙයක් ගැන වද වෙද්දී අපිට පේන්නේ ඒ ප්‍රශ්නේ විතරයි. ඒත් ඒ ගැන ඔයා සැමියා, බිරිඳ, කිට්ටු යාළුවෙක් නැත්නම් වැඩිමහල්ලෙක් එක්ක කතා කළොත් ඒ ප්‍රශ්නේ දිහා වෙනත් විදිවලින් බලන්න ඔයාට උදව් කරන්න එයාට පුළුවන්. බයිබලේ කියන්නේ “මිනිසෙකු තම සිතේ ඇති කනස්සල්ල නිසා මානසිකව වැටෙයි. නමුත් දිරිගන්වනසුලු වචනයකින් ඔහුගේ සිත ප්‍රීතිමත් වෙයි” කියලයි. (හිතෝ. 12:25) ඒ වගේම “සිතේ තිබෙන දේ හෙළි නොකරන විට සැලසුම් අසාර්ථක වෙයි. නමුත් උපදේශකයන් බොහෝදෙනෙකු සිටින විට සැලසුම් සාර්ථක වෙයි” කියලත් බයිබලේ කියනවා.—හිතෝ. 15:22.
18 කනස්සලු වෙන එක අඩු කරගන්න දෙවි අපිට රැස්වීම් මාර්ගයෙනුත් උදව් කරනවා. හැම සතියකම රැස්වීම්වලට ගියාම අපි ගැන අවංකවම සැලකිලිමත් වෙන, අපිව දිරිගන්වන්න කැමැත්තෙන් ඉන්න සහෝදර සහෝදරියන්ව ඇසුරු කරන්න අපිට අවස්ථාව ලැබෙනවා. (හෙබ්‍රෙ. 10:24, 25) ඒ විදිහට අපි ‘එකිනෙකාව දිරිගන්වද්දී’ හෙම්බත් වෙලා ඉන්න අයට දැනෙන්නේ ලොකු ශක්තියක්. කනස්සල්ලෙන් ගොඩ එන්න ඒක උදව්වක්.—රෝම 1:12.
ඔයාගේ සවිය දෙවි එක්ක තියෙන බැඳීමයි
19. යෙහෝවා දෙවිත් එක්ක තියෙන බැඳීම ඔයාට ශක්තියක් කියලා ස්ථිර වෙන්න පුළුවන් ඇයි?
19 හිතේ තියෙන බර යෙහෝවා දෙවිට භාර දෙන එක කොච්චර වැදගත්ද කියලා කැනඩාවේ ඉන්න වැඩිමහල්ලෙක් තේරුම්ගත්තා. එයාගේ රැකියාව නිසා එයා නිතරම හිටියේ ලොකු පීඩනයකින්. එයාට තිබුණ මානසික රෝගී තත්වයක් නිසාත් එයා කාංසාව අද්දැක්කා. ඒත් එයාට දිගටම ශක්තිමත්ව ඉන්න උදව් වුණේ මොනවද? හැම දේටම වඩා එයා මුල් තැන දුන්නේ දෙවිත් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්නයි. අමාරු තත්වයන්ට මුහුණ දෙද්දී සහෝදරයන් එයාත් එක්ක ඉඳලා එයාව ශක්තිමත් කළා. එයාට හැඟෙන විදිහ ගැන එයා බිරිඳත් එක්ක කතා කළා. එයා ඉන්න තත්වය යෙහෝවා දෙවි දකින විදිහ තේරුම්ගන්න වැඩිමහල්ලන්ගෙන්, චාරිකා සේවකගෙන් එයාට හුඟක් උදව් ලැබුණා. වෛද්යවරයෙක්ගෙනුත් එයා උදව් ගත්තා. වැඩවලටම හිර වෙලා ඉන්නේ නැතුව විවේක ගන්න, ව්‍යායාම කරන්න පුළුවන් වෙන විදිහට එයා කාලසටහන සකස් කරගත්තා. කනස්සල්ලෙන් යටපත් වෙන්නේ නැතුව ඒ හැඟීම් පාලනය කරගන්න කාලයත් එක්කම එයා ඉගෙනගත්තා. යම් තත්වයක් වෙනස් කරන්න එයාගේ පැත්තෙන් එයාට දෙයක් කරන්න බැරි අවස්ථාවලදී එයා ඒ කාරණය යෙහෝවා දෙවිට භාර දුන්නා.
20. (අ) අපිට දැනෙන කනස්සල්ල යෙහෝවා දෙවිට භාර දෙන්න පුළුවන් කොහොමද? (ආ) ඊළඟ ලිපියෙන් අපි බලන්නේ මොනවද?
20 හිතට දැනෙන කනස්සල්ල යෙහෝවා දෙවිට භාර දෙන එක කොච්චර වැදගත්ද කියලා අපි මේ ලිපියෙන් දැනගත්තා. එහෙම කරන්න නම් දෙවිට යාච්ඤා කරන්න ඕනෙ කියලත් නිතිපතා බයිබලේ කියවලා ඒ ගැන හොඳට හිතන්න ඕනෙ කියලත් අපි දැනගත්තා. ඒ විතරක් නෙමෙයි දෙවිගේ බලය ඉල්ලන එක, විශ්වාසවන්ත කෙනෙක් එක්ක අපිට දැනෙන කනස්සල්ල ගැන කතා කරන එක, නිතිපතා රැස්වීම්වලට සහභාගි වෙන එක වැදගත් කියලත් අපි ඉගෙනගත්තා. දෙවිට විශ්වාසවන්තව ඉන්න අයට දෙවි අනිවාර්යයෙන්ම ආශීර්වාද කරනවා. ඒ බලාපොරොත්තුව දැන් අපි අද්දකින දේවලට නොසැලී මුහුණ දෙන්න ශක්තියක් වෙන්නේ කොහොමද කියලා ඊළඟ ලිපියෙන් බලමු.—හෙබ්‍රෙ. 11:6.