සියවසකට පෙර 1921
1921 ජනවාරි 1 ‘මුරටැඹ’ සඟරාවේ මේ වගේ ප්‍රශ්නයක් බයිබල් ශිෂ්‍යයන්ගෙන් අහලා තිබුණා. “මේ අවුරුද්දේ අපි ආසාවෙන් ඉන්නේ මොන වැඩේ කරන්නද?” ඒ ප්‍රශ්නෙට උත්තරේ විදිහට සඟරාවේ යෙසායා 61:1, 2 කියන දේ සඳහන් කරලා තිබුණා. එතන මෙහෙම කියනවා. ‘යෙහෝවා දෙවි මෘදු ගුණැති අයට ශුභාරංචිය ප්‍රකාශ කරන පිණිස මාව අභිෂේක කළේය. යෙහෝවා දෙවි කරුණාව දක්වන අවුරුද්ද ගැන ප්‍රකාශ කරන්නත් ඔහු තම සතුරන්ට දඬුවම් කිරීමට නියම කර ඇති දවස ගැන ප්‍රකාශ කරන්නත් ඔහු මාව එව්වේය.’ ඒ පද දැක්කාම බයිබල් ශිෂ්‍යයන්ට ශුභාරංචිය දේශනා කරන එක කොච්චර වැදගත්ද කියලා මතක් වුණා.
නිර්භීතව සාක්ෂි දරන්නන්
ශුභාරංචිය දේශනා කරන්න නම් බයිබල් ශිෂ්‍යයන්ට ලොකු නිර්භීතකමක් ඕනෙ වුණා. මොකද එයාලට මෘදු ගුණැති අයට ‘ශුභාරංචිය’ කියන්න විතරක් නෙවෙයි දුෂ්ටයන්ට දෙවියන් “තම සතුරන්ට දඬුවම් කිරීමට නියම කර ඇති දවස” ගැන දැනුම් දෙන්නත් සිද්ධ වුණා.
සහෝදර ජේ. එච් හොස්කින් හිටියේ කැනඩාවේ. කොච්චර විරුද්ධවාදිකම්වලට මුහුණ දුන්නත් එයා බය නැතුව දේශනා කළා. 1921දී දවසක් එයාට මෙතෝදිස්ත පූජකයෙක්ව හම්බ වුණා. “අපි බයිබලේ තියන දේවල් ගැන ටිකක් කතා කරමු. සමහර කාරණාවලදී අපි දෙන්නාට එකඟ වෙන්න බැරි වෙයි. හැබැයි අපි තරහ ගන්නේ නැතුව සාමකාමීව මේ සාකච්ඡාව කරමු” කියලා එයා ඒ පූජකයාට කිව්වා. ඊටපස්සේ වුණ දේ ගැන සහෝදර හොස්කින් මෙහෙම කියනවා. “අපිට වැඩි වෙලා කතා කරන්න හම්බ වුණේ නෑ. පූජකයාට කොච්චර තරහ ගියාද කියනවා නම් එයා හයියෙන් දොරට ගැහුවා. මං හිතුවේ ගහපු පාරට ඒ දොරේ තිබුණ වීදුරුවක් කඩාගෙන වැටෙයි කියලා.”
අන්තිමේදී “ඔයා ඕවා ගිහින් දෙවියන් ගැන දන්නේ නැති අයට කියන්න” කියලා ඒ පූජකයා කෑගැහුවා. ඒ වෙලාවේ සහෝදර හොස්කින් මුකුත්ම නොකියා එතනින් ආවා. හැබැයි එන ගමන් එයා එයාටම කියාගත්තා ‘මං කතා කළේ ඒ වගේ කෙනෙක් එක්ක තමයිනෙ’ කියලා.
ඊළඟ දවසේ පූජාවේදී ඒ පූජකයා කියපු දේ ගැන සහෝදර හොස්කින් මෙහෙම කිව්වා. “මං තරම් මිනිසුන්ව රවට්ටන කෙනෙක් මේ නගරේ නෑ,හරි නම් මාව වෙඩි තියලා මරන්න ඕනෙ කියලා එයා කිව්වා.” ඒ මොන දේ වුණත් හොස්කින් බය නැතුව ශුභාරංචිය දේශනා කළා. ඒ වගේම එයාට හුඟක් අය අහුම්කන් දුන්නා. ඒ ගැන එයා මෙහෙම කියනවා. “ඒ කාලේ කරපු සේවය මට කවදාවත් අමතක වෙන්නේ නෑ. සමහර අය මං ළඟටම ඇවිත් කිව්වා ‘ඔයා සේවය කරන්නේ දෙවියන් වෙනුවෙන් කියලා අපි දන්නවා. ඔයාට ඕනෙ කරන මොනවා හරි තියෙනවා නම් කියන්න. අපි ඒවා ගෙනල්ලා දෙන්නම්’ කියලා.”
බයිබලය අධ්‍යයනය කරන්න අත්වැලක්
උනන්දුව දක්වන අයට තවත් දියුණු වෙන්න උදව් කරන්න ‘රන්වන් යුගය’a කියන සඟරාවේ බයිබලය අධ්‍යයනය කරන්න වැඩසටහනක් පළ වුණා. ඒකේ දරුවන්ට තිබුණ කොටසේ දෙමව්පියන්ට එයාලගේ දරුවන් එක්ක සාකච්ඡා කරන්න ප්‍රශ්න තිබුණා. ඉතින් “දෙමව්පියන් ඒ සඟරාවේ තිබුණු ප්‍රශ්න දරුවන්ගෙන් අහලා ඒවාට බයිබලෙන්ම උත්තර හොයාගන්න එයාලට උදව් කළා.” “බයිබලේ පොත් කීයක් තියෙනවාද?” වගේ ප්‍රශ්නවලින් දරුවන්ට බයිබලය ගැන මූලික දැනුමක් ලැබුණා. අනිත් අතට “යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් හැමෝටම විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න වෙනවාද?” වගේ ප්‍රශ්නවලින් බය නැතුව සාක්ෂි දරන අය වෙන්න දරුවන්ව සූදානම් කළා.
යුග පිළිබඳ දිව්‍ය සැලැස්ම කියන කොටස හදලා තිබුණේ ‘ශුද්ධ ලියවිලි පිළිබඳ අධ්‍යයනය’ කියන පොතේ 1වෙනි වෙළුමෙන් ගත්ත තොරතුරුවලිනුයි. ඒ කොටසේ අද්දැකීම් තියෙන බයිබල් ශිෂ්‍යයන්ව තවත් හිතන්න පොලඹවන විදිහේ ප්‍රශ්න තිබුණා. ඒ වැඩසටහන්වලින් හුඟදෙනෙක් ප්‍රයෝජන ගත්තා. හැබැයි 1921 දෙසැම්බර් 21 ‘රන්වන් යුගය’ සඟරාවේ ඒ වැඩසටහන් දෙකම නවත්තනවා කියලා දැනුම් දුන්නා. එකපාරටම ඒ වගේ වෙනසක් කළේ ඇයි?
අලුත් පොතක්!
ඒ කාලේ පෙරමුණ ගත්ත සහෝදරයන්ට තේරුණා අලුතෙන් සත්‍යයට එන අයට බයිබලේ තියෙන දේවල් පිළිවෙලකට ඉගෙනගන්න උදව් ඕනෙ කියලා. ඒ නිසා 1921 නොවැම්බර් මාසේදී ‘දෙවිගේ වීණාව’ කියන පොත මුදාහැරියා. ඒ පොත ගන්න කැමති වුණ අයට ඒක අධ්‍යයනය කරන්න තිබුණ වැඩසටහනකට හවුල් වෙන්න කියලා දිරිගැන්නුවා. ඒකෙන් “දෙවියන් මිනිසුන්ට දෙන්න යන සදාකාල ජීවිතය” ගැන තනියම අධ්‍යයනය කරලා දැනගන්න මිනිසුන්ට පුළුවන් වුණා. ඒ වැඩසටහන සිද්ධ වුණේ කොහොමද?
කෙනෙක් පොතක් ගත්තාම එයාට ඒත් එක්කම පුංචි කාඩ් එකක් හම්බ වුණා. එයා පළවෙනි සතියේ කියවන්න ඕනෙ පොතෙන් මොන කොටසද කියලා ඒ කාඩ් එකේ ලකුණු කරලා තිබුණා. ඊළඟ සතියේ එයාට තවත් කාඩ් එකක් හම්බ වුණා. ඒ කාඩ් එකේ එයා කලින් කියවපු කොටසට අදාළ ප්‍රශ්න තිබුණා. ඒකේ අන්තිමට එයා ඊළඟ සතියේ කියවන්න ඕනෙ කොටසත් ලකුණු කරලා තිබුණා.
මේ විදිහට සති 12ක් යන කල්ම අලුත් බයිබල් ශිෂ්‍යයාට කාඩ් හම්බ වෙනවා. ඒක එයාට යවන්නේ එයා ඉන්න ප්‍රදේශයේ ළඟම තියෙන සභාවෙන්. සාමාන්‍යයෙන් ඒ කාඩ් යවන්න පැවරුණේ වයසට ගිහින් ඉන්න නිසා හරි වෙන මොකක් හරි හේතුවක් නිසා හරි ගෙදරටම කොටු වෙලා ඉන්න සහෝදර සහෝදරියන්ටයි. උදාහරණෙකට ඇමරිකාවේ මිල්වේල්වල හිටපු සහෝදරි ඇනා කේ. ගාඩ්නර් මෙහෙම කියනවා. “‘දෙවිගේ වීණාව’ පොත මුදාහැරියාට පස්සේ රෝද පුටුවේ හිටපු මගේ අක්කා තේල්ට කරන්න ගොඩක් වැඩ තිබුණා. එයා හැම සතියකම පොත ගත්ත අයට ප්‍රශ්න ලියලා තිබුණ කාඩ් යැව්වා.” කෙනෙක් ඒ වැඩසටහන ඉවර කළාට පස්සේ සභාවේ කෙනෙක් එයාව බලන්න ගිහින් බයිබලය ගැන තවත් දේවල් කියලා දුන්නා.
කරන්න තව ලොකු වැඩ කොටසක් තියෙනවා
ඒ අවුරුද්ද අවසානයේදී සහෝදර ජේ. එෆ්. රදෆර්ඩ් හැම සභාවකටම ලියුමක් එව්වා. ඒ ලියුමේ එයා මෙහෙම සඳහන් කරලා තිබුණා. “මේ අවුරුද්දේ අපි කලින් අවුරුදුවලටත් වඩා වැඩියෙන් මිනිසුන්ට දෙවියන්ගේ රාජ්‍යය ගැන දේශනා කරලා දෙවියන්ට ළං වෙන්න උදව් කරලා තියෙනවා. හැබැයි තව කරන්න ගොඩක් වැඩ තියෙනවා. ඒ නිසා දෙවියන් වෙනුවෙන් කරන ඒ වැදගත් වැඩේට හවුල් වෙන්න කියලා පුළුවන් තරම් දෙනෙක්ව දිරිගන්වන්න.” බයිබල් ශිෂ්‍යයන් ඒකට කීකරු වුණ නිසා 1922දී හරිම නිර්භීතව ලොකු සාක්ෂියක් දරන්න එයාලට පුළුවන් වුණා.
a ඒ සඟරාව 1937දී “කොන්සලේෂන්” කියලත් 1946දී “එවේක්!” කියලත් හැඳින්නුවා.