පාඩම් ලිපිය 36
යෙහෝවා දෙවියන්ගේ සෙනඟ ධර්මිෂ්ඨකමට ඇලුම් කරනවා
“දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට මහත් ඇල්මක් දක්වන අය සන්තෝෂවත්. මන්ද ඔවුන් තෘප්තියට පත් වෙයි.”—මතෙ. 5:6.
ගීතිකාව 9 යෙහෝවා දෙවි අපේ රජයි
මේ ලිපියෙන්a
1. යෝසෙප් මුහුණ දුන්නේ මොන දේටද? ඒ වෙලාවේ එයා කළේ මොකක්ද?
“මාත් සමඟ සයනය කරන්න.” දවසක් පොතිෆර්ගේ බිරිඳ යෝසෙප්ට ඒ වගේ යෝජනාවක් කළා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් ‘ඇයි යෝසෙප් බෑ කිව්වේ, ඒ වෙලාවේ පොතිෆර් ගෙදර හිටියෙත් නෑනේ’ කියලා. අනික යෝසෙප් කියන්නේ ඒ ගෙදර හිටපු දාසයෙක්. ස්වාමිදුවට යටත් නොවුණ නිසා එයාගේ මුළු ජීවිතේම විනාශ වෙන්න තිබුණා. හැබැයි කොච්චර කරදර කළත් යෝසෙප් ඒකට කැමති වුණේම නැහැ. ඒ ඇයි? බලන්න යෝසෙප් කියන දේ. “මේ තරම් දුෂ්ට දෙයක් කර දෙවිට විරුද්ධව මම පව් කරන්නේ කොහොමද?”—උත්. 39:7-12.
2. අනාචාරය කියන්නේ දෙවියන්ට විරුද්ධව කරන බරපතළ වරදක් කියලා යෝසෙප් දැනන් හිටියේ කොහොමද?
2 අනාචාරයේ යෙදෙන එක දෙවියන්ට විරුද්ධව කරන “දුෂ්ට දෙයක්” කියලා යෝසෙප් දැනන් හිටියේ කොහොමද? “අනාචාරයේ නොහැසිරෙන්න” කියලා මෝසෙස්ගේ නීතියේ පැහැදිලිව කියලා තිබුණා. (නික්. 20:14) හැබැයි ඒ නීතිය දුන්නේ යෝසෙප්ගේ කාලේ ඉඳලා අවුරුදු දෙසීයකට විතර පස්සේ. නීතිය නැති වුණාට අනාචාරය ගැන යෙහෝවා දෙවියන් හිතන විදිහ යෝසෙප් දැනන් හිටියා. ඒ කොහොමද? උදාහරණෙකට මුල් මිනිස් යුවළව නිර්මාණය කරද්දී යෙහෝවා දෙවියන් ආදම්ට දුන්නේ එක බිරිඳක් විතරයි කියලා යෝසෙප් අනිවාර්යයෙන්ම දැනන් ඉන්න ඇති. ඒ වගේම වෙනත් පුරුෂයන්ගෙන් කරදර වෙන්න යද්දී යෝසෙප්ගේ මිත්තණියක් වන සාරාව යෙහෝවා දෙවියන් දෙසැරයක්ම බේරගත්ත විදිහ, එයාගේ ආච්චි වන රෙබෙකාව බේරගත්ත විදිහ යෝසෙප් දැනන් ඉන්න ඇති. (උත්. 2:24; 12:14-20; 20:2-7; 26:6-11) ඒවා ගැන හොඳට කල්පනා කරපු එක යෝසෙප්ට උදව් වුණා යෙහෝවා දෙවියන් ඉස්සරහා හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද කියලා පැහැදිලිවම තේරුම්ගන්න. මොකද යෝසෙප් යෙහෝවා දෙවියන්ට ගොඩක් ආදරේ කළා. ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලටත් ආදරේ කළා. ඒ නිසයි යෙහෝවාගේ හිත සතුටු වෙන විදිහට වැඩ කරන්න යෝසෙප්ට පුළුවන් වුණේ.
3. මේ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?
3 ඔයා දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට ඇලුම් කරන කෙනෙක්ද? ඒ ගැන කිසිම සැකයක් නැහැ. හැබැයි අපි හැමෝම පාපය උරුම කරගෙන ඉන්න නිසා පරෙස්සම් වුණේ නැත්නම් ධර්මිෂ්ඨකම ගැන මේ ලෝකේ අය හිතන විදිහ අපිටත් බලපාන්න පුළුවන්. (යෙසා. 5:20; රෝම 12:2) ඒත් ධර්මිෂ්ඨකම කියන්නේ මොකක්ද? දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට ඇලුම් වෙද්දී අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද? ඒ ගැන අපි මේ ලිපියෙන් බලමු. ඒ වගේම දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට ඇලුම් කරන්න අපිට උදව් වෙන දේවල් තුනක් ගැනත් අපි බලමු.
ධර්මිෂ්ඨකම කියන්නේ මොකක්ද?
4. “ධර්මිෂ්ඨයි” කියද්දී හුඟක් අයගේ මනසට එන්නේ මොකක්ද?
4 ධර්මිෂ්ඨ කෙනෙක් කියද්දී සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ ඔළුවට එන්නේ තමන් අනිත් අයට වඩා උසස් කියලා හිතන, අනිත් අයව විනිශ්චය කරන, ඕනාවට වඩා ධර්මිෂ්ඨ වෙන්න හදන කෙනෙක්ව. හැබැයි යෙහෝවා නම් ඒ වගේ අයට පොඩ්ඩක්වත් කැමති නැහැ. යේසුස්ගේ කාලේ හිටපු පරිසිවරුත් එයාලා ගැන මහා ඉහළින් හිතුවා. එයාලා පිළිපැද්දේ එයාලම හදාගත්ත ප්‍රමිති. (දේශ. 7:16; ලූක් 16:15) ඒකයි යේසුස් එයාලව පිළිකුල් කළේ. ඒකෙන් තේරෙනවා සැබෑ ධර්මිෂ්ඨකමයි, මිනිස්සු හිතන ධර්මිෂ්ඨකමයි අහසට පොළොව වගේ කියලා.
5. බයිබලේ කියන විදිහට ධර්මිෂ්ඨකම කියන්නේ මොකක්ද? උදාහරණ දෙන්න.
5 “ධර්මිෂ්ඨකම” කියන්නේ ලස්සන ගුණාංගයක්. සරලව කිව්වොත් ඒකෙන් අදහස් කරන්නේ දෙවියන් ඉස්සරහා හැම වෙලේම හරි දේ කරනවා කියන එකයි. දෙවියන්ගේ උසස් සදාචාර ප්‍රමිතිවලට අනුව ජීවත් වෙනවා කියන අදහසත් ඒකට ඇතුළත්. ඒක තේරුම්ගන්න මේ උදාහරණය බලන්න. වෙළෙන්දන්ට නීතියේ කියලා තිබුණා ‘නිවැරදි බර තියෙන මිනුම් පඩි’ පාවිච්චි කරන්න කියලා. (ද්වි. 25:15) මුල් භාෂාවට අනුව “නිවැරදි” කියලා පරිවර්තනය කරලා තියෙන හෙබ්‍රෙව් වචනය “ධර්මිෂ්ඨකම” කියලත් පරිවර්තනය කරන්න පුළුවන්. ඒ කියන්නේ දෙවියන් ඉස්සරහා ධර්මිෂ්ඨ කෙනෙක් වෙන්න නම් කෙනෙක් හැම වෙලේම හොර, බොරු නැතුව අවංක වෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි ධර්මිෂ්ඨ කෙනෙක් අසාධාරණයත් පිළිකුල් කරනවා. එයා උත්සාහ කරන්නේ “යෙහෝවා දෙවියන්ව සියල්ලේදී සතුටු කරන්න.” (කොලො. 1:10) ඒ නිසයි ඕනම දෙයක් කරන්න කලින් ඒ ගැන දෙවියන්ට හැඟෙන විදිහ ගැන එයා දෙසැරයක් හිතන්නේ.
6. දෙවියන් දීලා තියෙන ප්‍රතිපත්ති සීයට සීයක් හරියි කියලා අපිට විශ්වාස කරන්න තියෙන හේතු මොනවාද? (යෙසායා 55:8, 9)
6 බයිබලේ යෙහෝවා දෙවියන්ව හඳුන්වන්නේ “ධර්මිෂ්ඨකමේ උල්පත” කියලා. (යෙරෙ. 50:7) අපේ නිර්මාතෘ විදිහට හරි වැරැද්ද ගැන ප්‍රමිති දෙන්න හැකියාව තියෙන එකම කෙනා ඔහුයි. අපි පාපය උරුම කරගෙන ඉන්න නිසා සමහර වෙලාවට හරි වැරැද්ද මොකක්ද කියලා අපිට තේරුම්ගන්න බැහැ. හැබැයි යෙහෝවා පරිපූර්ණයි. ඒ නිසා හරි වැරැද්ද ගැන හොඳටම දන්නේ ඔහුයි. (හිතෝ. 14:12; යෙසායා 55:8, 9 කියවන්න.) අපිව දෙවියන්ගේ ගතිලක්ෂණ ඇතුව නිර්මාණය කරලා තියෙන නිසා ඔහුගේ උසස් සදාචාර ප්‍රමිති අනුව ජීවත් වෙන්න අපිට පුළුවන්. (උත්. 1:27) අපි දෙවියන්ට ගොඩක් ආදරෙයි. ඒ ආදරේ අපිව පොලඹවනවා පුළුවන් උපරිමයෙන් ඔහුගේ ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන්න.—එෆී. 5:1.
7. දෙවියන්ගේ ප්‍රමිති අපිට ඕනෙ ඇයි? පැහැදිලි කරන්න.
7 හිතන්න එක එක බැංකුවෙන් එයාලට ඕන ඕන විදිහට සල්ලිවල වටිනාකම තීරණය කරනවා කියලා. එහෙම නැත්නම් ගොඩනැඟිලි ඉදි කරන ආයතන ඉදි කිරීමේ අමුද්‍රව්‍ය එයාලට හිතෙන හිතෙන ප්‍රමාණවලින් දානවා කියලා. එහෙමත් නැත්නම් හිතන්න දොස්තරලා එයාලට කැමති කැමති විදිහට ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙනවා කියලා. එහෙම වුණොත් නම් අවුල් ජංජාලයක් වෙයි, ජීවිත පවා නැති වෙයි. ඒකෙන් තේරෙනවා ප්‍රමිතියක් තියෙන එක කොච්චර වැදගත්ද කියලා. යෙහෝවා දෙවියන් ප්‍රමිති දීලා තියෙන්නෙත් අපේම ආරක්ෂාවටයි.
8. යෙහෝවා දෙවියන් ඉස්සරහා හරි දේ කරන අයට ලැබෙන ආශීර්වාද මොනවාද?
8 දෙවියන් ඉස්සරහා හරි දේ කරන අයට ආශීර්වාද කරනවා කියලා ඔහු පොරොන්දු වෙනවා. ඔහු ඒ ගැන කියන දේ බලන්න. “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.” (ගීතා. 37:29) එදාට සාමය, සතුට පිරිලා ඉතිරිලා යයි! යෙහෝවා දෙවියන්ට ඕනෙ අපිට ඒ වගේ ජීවිතයක් දෙන්න. එහෙම බලද්දී ඔහු කැමති විදිහට ජීවත් වෙන එකෙන් ගොඩක් ප්‍රයෝජන තියෙනවා. ඒත් දෙවියන්ගේ ප්‍රමිති ගැන අගය වැඩි කරගන්න පුළුවන් කොහොමද? ඒකට උදව් වෙන දේවල් තුනක් අපි බලමු.
අගය තවත් වැඩි කරගන්න
9. ධර්මිෂ්ඨකමට ඇලුම් වෙන්න අපිට උදව් වෙන්නේ මොනවාද?
9 1වෙනි පියවර: ප්‍රමිති දීපු කෙනාට ආදරේ කරන්න. දෙවියන්ගේ ප්‍රමිතිවලට ඇලුම් කරන්න කලින් අපි දෙවියන්ට ආදරේ කරන්න ඕනේ. ඒ ආදරේ වැඩි වෙන තරමටම ඔහුගේ ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන්න අපි පෙලඹෙනවා. හිතන්න, ආදම් සහ ඒවගේ හිතේ ඇත්තටම යෙහෝවා ගැන ආදරයක් තිබුණා නම් එයාලා දෙවියන්ට අකීකරු වෙයිද?—උත්. 3:1-6, 16-19.
10. යෙහෝවා හිතන විදිහ තවත් හොඳින් තේරුම්ගන්න ආබ්‍රහම් කළේ මොකක්ද?
10 ආදම් සහ ඒවගේ තැනට වැටෙන්න අපි කවුරුත් කැමති නැහැ. ඒ නිසයි යෙහෝවා දෙවියන් ගැන, ඔහුගේ ගතිලක්ෂණ ගැන, ඔහු හිතන විදිහ ගැන අපි වැඩි වැඩියෙන් තේරුම්ගන්න ඕනේ. එහෙම කරද්දී යෙහෝවා ගැන තියෙන ආදරේ දවසින් දවස වැඩි වෙනවා. ඒ දේම තමයි ආබ්‍රහම් කළෙත්. දෙවියන් සමහර තීරණ ගත්තේ ඇයි කියලා තේරුණේ නැති වුණත් ආබ්‍රහම් කවදාවත් දෙවියන්ට විරුද්ධව කැරලිගැහුවේ නැහැ. ඒ වෙනුවට එයා ඒක අවස්ථාවක් කරගත්තා යෙහෝවා මොන වගේ කෙනෙක්ද කියලා තව තවත් හොඳින් තේරුම්ගන්න. උදාහරණයක් බලන්න. දවසක් එයා දැනගත්තා දෙවියන් සොදොම් සහ ගොමෝරාව විනාශ කරන්න යනවා කියලා. ‘“මුළු පොළොවෙම විනිශ්චයකරු වන” යෙහෝවා දෙවියන් දුෂ්ටයන් එක්ක ධර්මිෂ්ඨයන්වත් විනාශ කරයිද’ කියලා එයා හිතුවා. ඒ නිසා එයා දෙවියන්ගෙන් ප්‍රශ්න වැලක් ඇහුවා. යෙහෝවා ඉවසීමෙන් ඒ හැම එකකටම උත්තර දුන්නා. අන්තිමේදී ආබ්‍රහම් තේරුම්ගත්තා දෙවියන්ට මිනිස්සුන්ගේ හිත් කියවන්න පුළුවන් නිසා ඔහු කවදාවත් ධර්මිෂ්ඨ කෙනෙක්ට අසාධාරණයක් කරන්නේ නැහැ කියලා.—උත්. 18:20-32.
11. යෙහෝවා දෙවියන්ට ආදරෙයි කියලත් ඔහුව විශ්වාස කරනවා කියලත් ආබ්‍රහම් පෙන්නුවේ කොහොමද?
11 සොදොම් සහ ගොමෝරාව ගැන කරපු කතාබහ ආබ්‍රහම්ට ගොඩක් බලපෑවා. ඒකෙන් පස්සේ දෙවියන් ගැන එයාට තිබ්බ ආදරේ තවත් වැඩි වෙන්න ඇති. හැබැයි ඔහොම අවුරුද්දෙන් අවුරුද්ද ගෙවිලා යද්දී ආබ්‍රහම්ගේ විශ්වාසය සෝදිසියට ලක් වෙන දවසක් ආවා. දෙවියන් එයාට කිව්වා එයාගේ එකම පුතා වන ඊසාක්ව පූජා කරන්න කියලා. ඒ වෙද්දී දෙවියන් මොන වගේ කෙනෙක්ද කියලා ආබ්‍රහම් හොඳටම තේරුම් අරගෙනයි හිටියේ. ඒ නිසා පුතාව පූජා කරන්න කිව්වාම ආබ්‍රහම් එක ප්‍රශ්නයක්වත් දෙවියන්ගෙන් ඇහුවේ නැහැ. දෙවියන් කරන්න කියපු දේ කොච්චර අමාරු වුණත් කල් දාන්නේ නැතුව ඒක කළා. දෙවියන් ගැන දැනන් හිටපු දේවල් ඒ වෙලාවේ ආබ්‍රහම් මතක් කරගන්න ඇති. මොකද එයා දැනන් හිටියා ඔහු කවදාවත් අසාධාරණයක් කරන්නේ නැහැ කියලා. ඊසාක් මැරුණත් යෙහෝවා දෙවියන් එයාව නැවත නැඟිටවයි කියලා ආබ්‍රහම් තේරුම් අරන් හිටියා. (හෙබ්‍රෙ. 11:17-19) අනිත් අතට දෙවියන් ආබ්‍රහම්ට පොරොන්දු වෙලයි තිබුණේ ඊසාක්ගෙන් ලොකු ජාතියක් ඇති කරනවා කියලා. ඒ වෙද්දී ඊසාක්ට ළමයි හිටියේ නැති නිසා ඒ පොරොන්දුව කොහොම හරි ඉෂ්ට වෙන්න ඕනෙ කියලා ආබ්‍රහම් හිතන්න ඇති. ආබ්‍රහම් යෙහෝවා දෙවියන්ට ගොඩක් ආදරේ කළා. ඒ නිසා යෙහෝවා හැම වෙලේම කරන්නේ හරි දේ කියලා එයා විශ්වාස කළා. ඒ විශ්වාසය තමයි එයාව පෙලඹුවේ කොච්චර අමාරු වුණත් යෙහෝවාට කීකරු වෙන්න.—උත්. 22:1-12.
12. ආබ්‍රහම් වගේ වෙන්න අපිට පුළුවන් කොහොමද? (ගීතාවලිය 73:28)
12 අපිත් ආබ්‍රහම් වගේ දිගටම දෙවියන් ගැන, ඔහු හිතන විදිහ ගැන තේරුම්ගන්න උත්සාහ කරන්න ඕනේ. එහෙම කරන තරමටම අපේ හිතේ ඔහු ගැන තියෙන ආදරේ වැඩි වෙනවා. ඒ වගේම ඔහුට දවසින් දවස ළං වෙනවා. (ගීතාවලිය 73:28 කියවන්න.) දෙවියන් කැමති විදිහට අපේ හෘදය සාක්ෂිය පුහුණු කරගන්නත් අපිට පුළුවන් වෙනවා. (හෙබ්‍රෙ. 5:14) එතකොට ඔහු අකමැති දෙයක් කරන්න එන පෙලඹීම්වලට අපි අහු වෙන්නේ නැහැ. මොකද යෙහෝවාගේ හිත රිද්දන්න, ඔහුත් එක්ක තියෙන බැඳීම පලුදු කරගන්න අපි පොඩ්ඩක්වත් කැමති නැහැ. දෙවියන්ගේ ප්‍රමිති අපිට වටිනවා කියලා පෙන්නන්න පුළුවන් තව විදිහක් මොකක්ද?
13. ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව දිගටම ජීවත් වෙන්න අපිට පුළුවන් කොහොමද? (හිතෝපදේශ 15:9)
13 2වෙනි පියවර: දවසින් දවස ධර්මිෂ්ඨකම ගැන තියෙන අගය වැඩි කරගන්න. මාංස පේශි ශක්තිමත්ව තියාගන්න නම් අපි හැමදාම ව්‍යායාම් කරන්න ඕනේ. ඒ වගේ තමයි ධර්මිෂ්ඨකමට ඇලුම් වෙන්නත් අපි හැම දවසකම ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනේ. හැබැයි දෙවියන් කවදාවත් අපිට කරන්න බැරි දෙයක් අපෙන් ඉල්ලන්නේ නැහැ. (ගීතා. 103:14) “ධර්මිෂ්ඨ මාර්ගය අත් නොහරින තැනැත්තාට” ඒ කියන්නේ හරි දේ කරන්න දිගටම උත්සාහ කරන කෙනාට ඔහු ගොඩක් ආදරේ කරනවා කියලා පොරොන්දු වෙනවා. (හිතෝපදේශ 15:9 කියවන්න.) උදාහරණෙකට හිතන්න ඔයා පුරෝගාමි සේවය කරන්න එහෙම නැත්නම් බෙතෙල් සේවය කරන්න ගොඩක් ආසාවෙන් ඉන්නවා කියලා. එහෙමනම් ඔයාට සිද්ධ වෙනවා ඉලක්ක තියාගෙන හැම දවසකම ඒ වෙනුවෙන් මහන්සි වෙන්න. ධර්මිෂ්ඨකමට ඇලුම් වෙනවා කියන්නෙත් ඒ වගේ දෙයක්. ඒක දවසෙන් දෙකෙන් කරන්න බැහැ. ඒකට වෑයමක් දරන්න ඕනේ. එහෙම කරද්දී යෙහෝවාත් අපි ළඟින්ම ඉඳන් ඉවසීමෙන් අපිට උදව් කරනවා.—ගීතා. 84:5, 7.
14. “ධර්මිෂ්ඨකම නමැති ළයවැස්ම” කියන්නේ මොකක්ද? ඒක අපි දාගෙන ඉන්න ඕනෙ ඇයි?
14 යෙහෝවා දෙවියන් අපෙන් ඉල්ලන දේවල් අපිට බරක් නෙවෙයි. (1 යොහ. 5:3) ඒවා නිසා තමයි අපිට හැම දවසකම ආරක්ෂාව ලැබෙන්නේ. මතකද යුද්ධායුධ කට්ටලයක් ගැන පාවුල් කිව්වා? (එෆී. 6:14-18) ඒ යුද්ධායුධ කට්ටලයේ මොන කොටසෙන්ද අපේ හදවත ආරක්ෂා වෙන්නේ? ඒ “ධර්මිෂ්ඨකම නමැති ළයවැස්මෙන්.” ඒ කියන්නේ දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලින්. ළයවැස්මකින් සොල්දාදුවෙක්ගේ හදවත ආරක්ෂා වෙනවා වගේ මේ ළයවැස්මෙන් අපේ ඇතුළාන්ත පුද්ගලයා ආරක්ෂා වෙනවා. ඒ නිසයි ධර්මිෂ්ඨකම කියන ළයවැස්ම අපි දාගෙන ඉන්නවාද කියලා හැම දවසකම සෝදිසි කරන්න ඕනේ.—හිතෝ. 4:23.
15. ධර්මිෂ්ඨකම කියන ළයවැස්ම ඔයාට පැළඳගන්න පුළුවන් කොහොමද?
15 ධර්මිෂ්ඨකම කියන ළයවැස්ම පැළඳගන්න පුළුවන් කොහොමද? ඔයා දෙයක් කියන්න කලින්, සිංදුවක් අහන්න කලින්, ෆිල්ම් එකක් බලන්න කලින්, පොතක් කියවන්න කලින් ඔයාගෙන්ම මෙහෙම අහගන්න. “මං මේ කරන්න යන දේ ගැන යෙහෝවා සතුටු වෙයිද? මං මගේ හිත පුරවගන්න යන්නේ මොන දේවල්වලින්ද? මේ දේවල්වල වැඩිපුරම තියෙන්නේ අනාචාරය, සැහැසියාව, කෑදරකම, තමන් ගැන විතරක් හිතන එක වගේ යෙහෝවා අධර්මිෂ්ඨයි කියලා සලකන දේවල්ද?” (ෆිලි. 4:8) ඒ විදිහට ඔයා ඕනම දෙයක් කරන්න කලින් දෙවියන් ඒ ගැන කියන දේ හොයලා බලනවා නම් ධර්මිෂ්ඨකම කියන ළයවැස්ම ඇඳගෙන ඔයාගේ හදවත ආරක්ෂා කරගන්න ඔයාට පුළුවන්.
16-17. දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව අපිට හැමදාටම ජීවත් වෙන්න පුළුවන් කියලා යෙසායා 48:18න් පැහැදිලි වෙන්නේ කොහොමද?
16 ‘යෙහෝවා දෙවියන්ගේ හිත සතුටු වෙන විදිහට හැමදාම ජීවත් වෙන්න මට පුළුවන් වෙයිද?’ ඔයාටත් එහෙම හිතිලා තියෙනවාද? බලන්න යෙසායා 48:18 දෙවියන් කියන දේ. (කියවන්න.) එතන ඔහු කියනවා “ඔබේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළි මෙන් වන්නේය” කියලා. අපි දැන් ටිකක් මුහුදු වෙරළකට යමු. මහා ඝෝෂාවක් එක්ක එක පිට එක රළ ගහන විදිහ ඔයාට පෙනෙයි. ඒ දිහා බලාගෙන ඉන්න ගමන් ඔයාට හිතෙයිද ‘තව ටික දවසකින් මේ රළ ගහන එක නවතියි’ කියලා? නැහැ නේද? මොකද ඔයා දන්නවා ඒක කවදාවත් නතර වෙලත් නැහැ, නතර වෙන්නෙත් නැහැ කියලා.
17 ඔයාගේ ධර්මිෂ්ඨකමත් මුහුදේ රළ වගේ කරගන්න ඔයාට පුළුවන් කොහොමද? දෙයක් කරන්න කලින්, තීරණයක් ගන්න කලින් යෙහෝවාගේ කැමැත්ත මොකක්ද කියලා හොයන්න. හරි දේ කරන්න කොච්චර අමාරු වුණත් ඒකෙන් යෙහෝවා සතුටු වෙන නිසා ඒක කරන්න. ඔයා හැමදාම එහෙම කරද්දී ඔහු ඔයාව අත්හරියි කියලා ඔයා හිතනවාද? නොනවතින මුහුදු රළ වගේ දිගටම ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්න ඔහුගේ උදව්වෙන් ඔයාටත් පුළුවන්.—යෙසා. 40:29-31.
18. අනිත් අයව අපේ මිම්මෙන් මනින්න හොඳ නැත්තේ ඇයි?
18 3වෙනි පියවර: විනිශ්චය කරන එක යෙහෝවාට බාර දෙන්න. දෙවියන් ඉස්සරහා හරි දේ කරන්න අපි හැම දවසකම ලොකු සටනක් කරනවා. හැබැයි අපි මතක තියාගන්න ඕනෙ දෙයක් තියෙනවා. අපි කවදාවත් ඕනාවට වඩා ධර්මිෂ්ඨ වෙලා අපේ මිම්මෙන් අනිත් අයව විනිශ්චය කරන්න හොඳ නැහැ. මොකද අනිත් අය කරන කියන දේවල් විනිශ්චය කරන්න අපිට කිසිම අයිතියක් නැහැ. ඒ අයිතිය තියෙන්නේ යෙහෝවා දෙවියන්ට විතරයි. ඔහු තමයි මේ “මුළු පොළොවෙම විනිශ්චයකරු” (උත්. 18:25) ඒ නිසයි යේසුස් මෙහෙම කිව්වේ. “තවදුරටත් අනුන්ව විනිශ්චය නොකරන්න. එවිට ඔබවත් විනිශ්චය කරනු ලබන්නේ නැහැ.”—මතෙ. 7:1.b
19. දෙවියන් යුක්තිය ඉටු කරයි කියලා යෝසෙප්ට විශ්වාසයක් තිබුණා. ඒක අපි දන්නේ කොහොමද?
19 අපි යෝසෙප් ගැන ආයෙත් බලමු. අනිත් අය කොච්චර නරක විදිහට සැලකුවත් යෝසෙප් කවදාවත් එයාලව විනිශ්චය කරන්න ගියේ නැහැ. එයාගේ අයියලා එයාට නරක විදිහට සලකලා එයාව දාසකමට වික්කා. ඊටපස්සේ එයා මැරුණා කියලා තාත්තාට බොරුත් කිව්වා. ඒ සිද්ධිය වෙලා අවුරුදු ගාණකට පස්සේ යෝසෙප්ට ආයෙත් එයාගේ අයියලාව හම්බ වුණා. එතකොට යෝසෙප් කිසිම දෙයක් කරකියාගන්න බැරි කොලු ගැටයෙක්වත් දාසයෙක්වත් නෙවෙයි. එයා ඊජිප්තුවේ බලවත් පාලකයෙක්. ඒත් ඒ කාලේ වෙද්දී යෝසෙප්ගේ අයියලා එයාලගේ වැරදි හදාගෙනයි තිබුණේ. හැබැයි කරපු දේවල් මතක තියන් ඉඳලා යෝසෙප් එයාලට දඬුවම් කරයි කියලා එයාලා බය වුණා. ඒත් යෝසෙප් එයාලට දරුණු විදිහට සැලකුවේවත් එයාලගෙන් පළිගත්තෙවත් නැහැ. යෝසෙප් එයාලට කිව්වා “භය වෙන්න එපා. දෙවිගේ තැන ගන්න මට අයිතියක් නැහැ” කියලා. (උත්. 37:18-20, 27, 28, 31-35; 50:15-21) ඒකෙන් පැහැදිලියි යෝසෙප් නිහතමානී වෙලා විනිශ්චය කරන එක යෙහෝවාට බාර දුන්නා කියලා.
20-21. ඕනාවට වඩා ධර්මිෂ්ඨ වෙන එකෙන් වළකින්න පුළුවන් කොහොමද?
20 අපිටත් පුළුවන් විනිශ්චය කරන එක යෝසෙප් වගේ දෙවියන්ට භාර දෙන්න. උදාහරණෙකට සහෝදරයෙක් ‘ඒක කරන්න ඇත්තේ මෙන්න මේ හේතුව නිසයි’ කියලා හිතන්න අපිට කිසිම අයිතියක් නැහැ. මොකද අපිට බැහැ අනිත් අයගේ හිත් කියවන්න. කෙනෙක්ගේ “සිතුම් පැතුම් සෝදිසි කරන්න” පුළුවන් යෙහෝවා දෙවියන්ට විතරමයි. (හිතෝ. 16:2) ඔහු හැමෝටම ආදරෙයි. කෙනෙක් මොන පසුබිමේ, මොන සංස්කෘතියේ හිටියත් ඔහුට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඔහු අපිටත් දිරිගන්වන්නේ “හදවත්වල තියෙන ප්‍රේමය තව තවත් වැඩි කරගන්න” කියලා. (2 කොරි. 6:13) ඒ නිසා හිතින්වත් සහෝදරයන්ව විනිශ්චය කරන්න එපා. ඒ වෙනුවට මුළු හිතින්ම එයාලට ආදරේ කරන්න.
21 එතකොට සත්‍යයේ නැති කෙනෙක්ව විනිශ්චය කරන්න අපිට පුළුවන්ද? (1 තිමෝ. 2:3, 4) ඒක තේරුම්ගන්න මෙහෙම හිතන්න. සත්‍යයේ නැති පවුලේ කෙනෙක්ට ඔයා කොච්චර දේශනා කළත් එයා පණිවිඩේ පිළිගන්නේ නැහැ. ඒ වෙලාවට ඔයා හිතනවාද ‘මෙයා නං ජීවිතේට සත්‍යයට එන එකක් නෑ’ කියලා? නැහැ නේද? මොකද යෙහෝවා දෙවියන් පසුතැවිලි වෙන්න “මුළු මිනිස් වර්ගයාටම” අවස්ථාව දීලා තියෙනවා. (ක්‍රියා 17:30) මතක තියාගන්න වෙන කෙනෙක්ව විනිශ්චය කරනවා කියන්නේ අපි ඕනාවට වඩා ධර්මිෂ්ඨ වෙන්න හදනවා කියන එකයි. ඕනාවට වඩා ධර්මිෂ්ඨ වෙන එකත් අධර්මිෂ්ඨකමක්!
22. ධර්මිෂ්ඨකමට ඇලුම් කරන්න ඔයා අධිෂ්ඨාන කරගෙන ඉන්නේ ඇයි?
22 දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව ජීවත් වෙද්දී අපිට ලොකු සතුටක් දැනෙනවා. ඒ වගේම අපේ සහෝදරයන්ට අපි හොඳ ආදර්ශයක් වෙනවා. ඒක එයාලට උදව් වෙනවා දෙවියන් එක්ක, අපිත් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න. ඒ නිසා දිගටම “දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට මහත් ඇල්මක් දක්වන්න.” (මතෙ. 5:6) අපි දන්නවා මේ ලෝකය තියෙන්නේ අධර්මිෂ්ඨකමෙන් පිරිලා. හැබැයි බය වෙන්න එපා අධර්මිෂ්ඨ ලෝකෙක ජීවත් වුණත් දිගටම හරි දේ කරන්න යෙහෝවා ඔයාට උදව් කරනවා. ඒ වෙනුවෙන් ඔයා කොච්චර මහන්සි වෙනවාද කියලා ඔහු දකිනවා. ඒ නිසයි ඔහු කියන්නේ ‘ධර්මිෂ්ඨ අයට ඔහු ප්‍රේම කරනවා’ කියලා.—ගීතා. 146:8.
ගීතිකාව 139 පාරාදීසය සිතින් මවාගන්න
a මේ දුෂ්ට ලෝකේ ධර්මිෂ්ඨ කෙනෙක්ව හොයාගන්නත් නැති තරම්. ඒත් මිලියන ගාණක් දෙවියන්ගේ සෙනඟ ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරනවා. ඔයාත් ඒ අයගෙන් කෙනෙක්ද? ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්න ඔයාට පුළුවන් වුණේ ඔයා යෙහෝවා දෙවියන්ට ගොඩක් ආදරේ නිසයි. අනිත් අතට ධර්මිෂ්ඨකමට ඇලුම් කරන අයට ඔහුත් ගොඩක් ආදරෙයි. ඒත් ධර්මිෂ්ඨකම කියන්නේ මොකක්ද? ධර්මිෂ්ඨකම ගැන තියෙන අගය දවසින් දවස වැඩි කරගන්න උදව් වෙන්නේ මොනවාද? ධර්මිෂ්ඨකමට ඇලුම් වෙන එකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද? අපි ඒ ගැන බලමු.
b බරපතළ වරදක් කරපු කෙනෙක් ඇත්තටම පසුතැවිලි වෙනවාද නැද්ද කියලා තේරුම්ගන්න වැඩිමහල්ලන්ට විනිශ්චය කමිටුවක් තියන්න වෙනවා. (1 කොරි. 5:11; 6:5; යාකො. 5:14, 15) ඒ වෙලාවට වැඩිමහල්ලෝ හරිම නිහතමානීව පිළිගන්නවා එයාලට අනිත් අයගේ හිත් කියවන්න බැහැ කියලා. ඒ වගේම එයාලා මේ විනිශ්චය කරන්නේ යෙහෝවා දෙවියන් වෙනුවෙන් කියලා. (2 ලේක. 19:6) ඒ නිසා තීරණයක් ගද්දී වැඩිමහල්ලන් දෙවියන් පෙන්නන දයාව, යුක්තිය වගේ ගුණාංග ගැන හොඳට හිතනවා.