පාඩම් ලිපිය 42
කීකරු වෙන්න ඔයා ලෑස්තිද?
‘ස්වර්ගයෙන් පැමිණෙන ප්‍රඥාව තිබෙන කෙනෙක් කීකරු වීමට සූදානම්.’—යාකො. 3:17.
ගීතිකාව 101 එක්සත්ව සේවය කරමු
මේ ලිපියෙන්a
1. සමහර වෙලාවට කීකරු වෙන එක අමාරු ඇයි?
කීකරු වෙන එක අමාරුයි කියලා ඔයාටත් හිතිලා තියෙනවාද? දාවිත් රජටත් එහෙම හිතුණා. ඒ නිසයි එයා එක අවස්ථාවක දෙවියන්ට කිව්වේ “දිගටම ඔබේ කැමැත්ත කිරීමට මා තුළ ආශාවක් ඇති කරගැනීමට මට උපකාර කරන්න” කියලා. (ගීතා. 51:12) දාවිත් කියන්නේ යෙහෝවාට ගොඩක් ආදරේ කරපු කෙනෙක්. ඒත් සමහර වෙලාවට කීකරු වෙන්න එයාටත් අමාරු වුණා. අපි ගැනත් කියන්න තියෙන්නේ ඒ ටිකමයි නේද? ඇත්තටම ඇයි අපිට කීකරු වෙන්න අමාරු? ඒකට හේතු කීපයක් අපි බලමු. (1) පාපය උරුම කරගත්ත අය විදිහට අකීකරුකම කියන්නේ අපේ ඇඟ ඇතුළෙම තියෙන දෙයක්. (2) සාතන් කොයි වෙලෙත් උත්සාහ කරන්නේ එයා වගේම කැරලිගහන්න අපිවත් පොලඹවන්න. (2 කොරි. 11:3) (3) අපි වට වෙලා ඉන්නේ සාතන් වගේම කැරලිගහන, දෙවියන්ට අකීකරු මිනිස්සුන්ගෙන්. (එෆී. 2:2) ඒ නිසා අපේම පව්කාරකම එක්ක විතරක් නෙවෙයි අකීකරු වෙන්න යක්ෂයාගෙන් සහ මේ ලෝකෙන් එන බලපෑමට විරුද්ධවත් අපිට ලොකු සටනක් කරන්න වෙනවා. ඒකයි යෙහෝවා දෙවියන්ටත් ඔහු අධිකාරියක් දීලා තියෙන අයටත් කීකරු වෙන්න අපි ලොකු උත්සාහයක් ගන්න ඕනේ.
2. “කීකරු වෙන්න සූදානම්” කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? (යාකොබ් 3:17)
2 යාකොබ් 3:17 කියවන්න. යාකොබ් දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් කිව්වා ප්‍රඥාවන්ත අය “කීකරු වෙන්න සූදානම්” කියලා. ඒ කියන්නේ යෙහෝවා යම් කෙනෙක්ට අධිකාරියක් දීලා තියෙනවා නම් අපි ඒ කෙනාට කැමැත්තෙන්ම කීකරු වෙන්න සූදානමින් ඉන්න ඕනෙ කියන එකයි. හැබැයි කෙනෙක් දෙවියන්ගේ නීතියට පිටින් යන දෙයක් කරන්න කියද්දී ඒකට කීකරු වෙන එක යෙහෝවා කොහොමටවත් අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ.—ක්‍රියා 4:18-20.
3. අපි අධිකාරියක් තියෙන අයට කීකරු වෙනවාද නැද්ද කියන එක ගැන යෙහෝවා සැලකිලිමත් ඇයි?
3 මිනිස්සුන්ට කීකරු වෙනවාට වඩා යෙහෝවා දෙවියන්ට කීකරු වෙන එක ලේසියි කියලා අපිට හිතෙන්න පුළුවන්. මොකද ඔහු මඟ පෙන්වීමක් දුන්නොත් ආයේ ඒකේ කියන්න කිසිම අඩුවක් නැහැ. (ගීතා. 19:7) ඒත් අධිකාරියක් තියෙන මිනිස්සුන්ගේ තත්වේ නම් ඊට හාත්පසින්ම වෙනස්. ඒ වුණත් දෙවියන් දෙමාපියන්ට, උසස් බලධාරීන්ට සහ වැඩිමහල්ලන්ට යම් ප්‍රමාණයක අධිකාරියක් දීලා තියෙනවා. (හිතෝ. 6:20; 1 තෙස. 5:12; 1 පේතෘ. 2:13, 14) ඒ නිසයි අපි එයාලට කීකරු වෙන්න ඕනේ. එහෙම කරන එකෙන් අපි ඇත්තටම කීකරු වෙන්නේ යෙහෝවාට. ඇත්ත, සමහර වෙලාවට එයාලා දෙන මඟ පෙන්වීම් පිළිගන්න, ඒවාට කීකරු වෙන්න ලේසි නැහැ. ඒත් ඒක කරන්නේ කොහොමද කියලා අපි දැන් බලමු.
දෙමාපියන්ට කීකරු වෙන්න
4. ගොඩක් දරුවන් දෙමාපියන්ට අකීකරු ඇයි?
4 අද ලෝකේ ඉන්න හුඟක් ළමයි “දෙමාපියන්ට අකීකරුයි.” (2 තිමෝ. 3:1, 2) ඒ වගේ ළමයින්ගෙන් තමයි අපේ දරුවෝ වට වෙලා ඉන්නේ. ඒත් ඇයි හුඟදෙනෙක් දෙමාපියන්ට අකීකරු? ඒකට බලපාන හේතු කීපයක්ම තියෙන්න පුළුවන්. සමහරු හිතනවා ‘අම්මලා කියන්නේ එකක්, කරන්නේ තව එකක්. ඒ නිසා එයාලට කීකරු වෙන්න ඕනෙ නෑ’ කියලා. තවත් අය කියන්නේ “අම්මලාට තියෙන්නේ ආදි කාලේ අදහස්. ඒවා අද කාලෙට ගැළපෙන්නේ නෑ” කියලා. දෙමාපියෝ දාන නීති තද වැඩියි කියලා හිතන අයත් ඉන්නවා. හැබැයි දරුවෝ ඒ කොහොම හිතුවත් බයිබලේ කියන්නේ මෙහෙමයි. “දෙවිගේ කැමැත්තට එකඟව ඔබේ දෙමාපියන්ට කීකරු වන්න. මන්ද දෙමාපියන්ට කීකරු වීම දෙවි සලකන්නේ ධර්මිෂ්ඨ දෙයක් ලෙසටයි.” (එෆී. 6:1) ඒත් දෙවියන් කියන ඒ දේට කීකරු වෙන්න අමාරුයි කියලා ඔයාට හිතෙනවාද? එහෙමනම් ඒක කරන්න උදව් වෙන්නේ මොනවාද?
5. යේසුස් ඔහුගේ දෙමාපියන්ට කීකරු වුණ එක විශේෂ දෙයක් වෙන්නේ ඇයි? (ලූක් 2:46-52)
5 කීකරුකම ගැන අපිට ඉන්න හොඳම ආදර්ශය යේසුස්. (1 පේතෘ. 2:21-24) ඔහු පරිපූර්ණ කෙනෙක් වුණත් ඔහුගේ දෙමාපියන් පාපය උරුම කරගත්ත අය. එයාලා අතින් අඩුපාඩුකම් වෙද්දී, එයාලා යේසුස්ව වරදවා තේරුම්ගද්දී යේසුස් දිගටම එයාලට ගෞරවයෙන් සැලකුවා. (නික්. 20:12) යේසුස්ට අවුරුදු 12දී වුණ සිද්ධියක් දැන් අපි බලමු. (ලූක් 2:46-52 කියවන්න.) යෝසෙප් සහ මරියා යෙරුසලමට ගිහිල්ලා එද්දී එයාලට යේසුස්ව මඟහැරුණා. හරි නම් උත්සවයට ගිහිල්ලා ආපහු එන කල් දරුවන්ව පරෙස්සම් කරගන්න එක යෝසෙප්ගෙයි, මරියාගෙයි වගකීම. ඒත් එයාලට යේසුස්ව හම්බ වුණාම මරියා ඒකට වරද පැටෙව්වේ යේසුස්ට. ඕනෙ නම් යේසුස්ට තිබ්බා “වරද මගේ අතේ නෙවෙයි, ඔයාලාගේ අතේනේ” කියලා කියන්න. හැබැයි යේසුස් හරිම ගෞරවයෙන් තමයි මරියාට කතා කළේ. බයිබලේ කියනවා ඒ වෙලාවේ ‘යේසුස් පැවසූ දෙයෙහි නියම අර්ථය අවබෝධ කරගන්න ඔවුන්ට හැකි වුණේ නැහැ’ කියලා. ඒ කොහොමවුණත් ‘යේසුස් දිගටම එයාලට කීකරු වුණා.’
6-7. දෙමාපියන්ට කීකරු වෙන්න දරුවන්ට උදව් වෙන්නේ මොනවාද?
6 දුවේ පුතේ, ඔයාගේ දෙමාපියන් අතින් අඩුපාඩුකම් වෙද්දී, එයාලා ඔයාව වරදවා තේරුම්ගද්දී එයාලට කීකරු වෙන්න අමාරුයි කියලා ඔයාටත් හිතෙනවාද? එහෙමනම් දෙමාපියන්ට කීකරු වෙන්න ඔයාට උදව් වෙන්නේ මොනවාද? ඒකට උදව් වෙන එක දෙයක් තමයි යෙහෝවාට ඒ ගැන හැඟෙන විදිහ ගැන හිතන එක. බයිබලේ කියන්නේ ඔයා දෙමාපියන්ට ‘කීකරු වෙද්දී ඒ ගැන ස්වාමීන් සතුටු වෙනවා’ කියලා. (කොලො. 3:20) ඔයාගේ දෙමාපියෝ ඔයාව හරියට තේරුම්ගන්නේ නැති වෙද්දී, එයාලා අසාධාරණ නීති දාද්දී යෙහෝවාටත් ඒක පේනවා. හැබැයි ඒ මොන දේ වුණත් ඔයා දෙමාපියන්ට කීකරු වෙනවා නම් ඔහුගේ හිතට දැනෙන්නේ පුදුම සතුටක්.
7 ඔයාට උදව් වෙන දෙවෙනි දේ තමයි දෙමාපියන්ට හැඟෙන විදිහ ගැන හිතන එක. ඔයා දෙමාපියන්ට කීකරු වෙද්දී ඒකෙන් එයාලා ගොඩක් සතුටු වෙනවා. ඔයා එයාලාගේ විශ්වාසෙත් දිනාගන්නවා. (හිතෝ. 23:22-25) ඒ විතරක් නෙවෙයි ඔයාලා අතර තියෙන බැඳීමත් තව ශක්තිමත් වෙනවා. බලන්න ඒ ගැන බෙල්ජියමේ ඉන්න ඇලෙක්සාන්ඩ්‍රේ කියන දේ. “මං අම්මාටයි, තාත්තාටයි කීකරු වෙද්දී අපි වෙනදාටත් වඩා කිට්ටු වුණා. දැන් අපි ඉන්නේ කලින්ටත් වඩා සතුටින්.”b තුන්වෙනි දේ තමයි දෙමාපියන්ට කීකරු වෙන එකෙන් ඔයාට දැන් වගේම අනාගතයේදී ලැබෙන ප්‍රයෝජන ගැන හිතන එක. බ්‍රසීලයේ ඉන්න පාවුලෝ ඒ ගැන මෙහෙම කියනවා. “ඇත්තටම අම්මලාට කීකරු වෙන එකෙන් යෙහෝවා දෙවියන්ටයි, අධිකාරියක් තියෙන අනිත් අයටයි කීකරු වෙන්න මට ලේසි වුණා.” කීකරුකම ඔයාගේ අනාගතයට බලපාන විදිහ ගැන බයිබලේ මෙහෙම කියනවා. “එය ඔබේ යහපතට හේතු වෙයි. එවිට පොළොවෙහි බොහෝ කාලයක් ජීවත් වෙන්න ඔබට පුළුවන්.” (එෆී. 6:2, 3) දෙමාපියන්ට කීකරු වෙන්න ඒක කොච්චර හොඳ හේතුවක්ද!
8. හුඟක් දරුවන් කැමැත්තෙන්ම දෙමාපියන්ට කීකරු වෙන්නේ ඇයි?
8 හුඟක් දරුවන් තේරුම් අරන් ඉන්නවා දෙමාපියන්ට කීකරු වෙද්දී ඒකෙන් හැම වෙලාවෙම වෙන්නේ හොඳක් කියලා. බ්‍රසීලයේ ඉන්න ලුයීසාගේ අද්දැකීම බලන්න. අම්මලා එයාට ෆෝන් එකක් දෙන්නේ නැත්තේ ඇයි කියලා මුලදී එයාට තේරුම්ගන්න අමාරු වුණා. මොකද එයාගේ වයසේ හැමෝටම වගේ ෆෝන් තිබුණා. හැබැයි බලන්න එයා කියන දේ. “අම්මලා ඒ වගේ දෙයක් කළේ මාව කොටු කරන්න නෙවෙයි මාව පරෙස්සම් කරගන්න කියලා මට පස්සේ තමයි තේරුණේ.” එක්සත් ජනපදයේ ඉන්න යෞවනියක් වන එලිසබෙත් දෙමාපියන්ට කීකරු වෙන්න තාමත් ලොකු සටනක් කරනවා. එයා කියන දේ බලන්න. “අම්මලා සමහර නීති දාන්නේ ඇයි කියලා මට ඇත්තටම තේරෙන්නේ නෑ. හැබැයි ඒ වගේ වෙලාවට මං හිතනවා එයාලා කලින් දාපු නීතියක් නිසා මං ආරක්ෂා වුණ විදිහ.” ආර්මේනියාවේ ඉන්න මොනිකා කියනවා හිතුමතේට වැඩ කරද්දී මොකක් හරි ප්‍රශ්නයක් වෙනවා කියලා. හැබැයි එයා කියනවා අම්මලා කියපු දේ අහපු එකෙන් එයාට කවදාවත් වැරදිලා නැහැ කියලා.
“උසස් බලධාරීන්ට” කීකරු වෙන්න
9. නීතිවලට කීකරු වෙන එක ගැන හුඟක් අයට හිතෙන්නේ කොහොමද?
9 හුඟක් අය කියනවා රටකට පාලකයෝ ඉන්න ඕනෙ කියලා. ඒ වගේම ඒ “උසස් බලධාරීන්” දාන නීතිවලින් අඩුම තරමින් සමහර ඒවාටවත් අපි කීකරු වෙන්න ඕනෙ කියලා එයාලා කියනවා. (රෝම 13:1) හැබැයි එහෙම කියන මිනිස්සුම රජයෙන් දාන සමහර නීතිවලට අකීකරු වෙනවා. ඒ එයාලා ඒ නීතිවලට අකමැති නිසා. නැත්නම් ඒවා අසාධාරණයි කියලා හිතන නිසා. උදාහරණෙකට බදු ගෙවන එක ගැන හිතන්න. යුරෝපයේ එක රටක ඒ ගැන සමීක්ෂණයක් කළා. ඒකට හවුල් වුණ අයගෙන් හතරෙන් එකක්ම කිව්වේ “රජයෙන් ගහන බද්දක් සාධාරණ නැත්නම් අපි ඒක ගෙවන්න ඕනෙ නෑ” කියලා. එහෙම බලද්දී ඒ රජයට ලැබෙන්න ඕනෙ බදු මුදල්වලින් 35%ක්ම ලැබෙන්නේ නැති එක අහන්නත් දෙයක්ද!
10. අපි සමහර නීතිවලට අකමැති වුණත් ඒවාට කීකරු වෙන්නේ ඇයි?
10 මේ ලෝකේ තියෙන ආණ්ඩු නිසා මිනිස්සු ගොඩක් දුක් විඳිනවා කියලත් ඒ ආණ්ඩු තියෙන්නේ සාතන්ගේ පාලනය යටතේ කියලත් දෙවියන් ළඟදීම ඒ ආණ්ඩු නැති කරලා දානවා කියලත් බයිබලේ කියනවා. (ගීතා. 110:5, 6; දේශ. 8:9; ලූක් 4:5, 6) ඒ වගේම බයිබලේ කියනවා “යමෙක් බලධාරීන්ට විරුද්ධව ක්‍රියා කළොත් ඔහු විරුද්ධ වන්නේ දෙවි පිහිටුවා ඇති සැලැස්මටයි” කියලා. ඇත්තටම යෙහෝවා දෙවියන් තාවකාලිකව මිනිස්සුන්ට යම් අධිකාරියක් දීලා තියෙන්නේ යම් තාක් දුරකට මේ ලෝකේ සාමය රකින්න. ඒ වගේම දේවල් පිළිවෙළකට වෙන්න. ඒ නිසා තමයි බයිබලේ අපිට කියන්නේ “සියලුදෙනාටම දිය යුතු දේ දෙන්න” කියලා. ඒ දිය යුතු දේට බදු ගෙවන එකත් ගෞරවය පෙන්නන එකත් කීකරු වෙන එකත් ඇතුළත්. (රෝම 13:1-7) හැබැයි ආණ්ඩුවලින් දාන සමහර නීතිවලට කීකරු වෙන්න අමාරුයි, ඒවා අසාධාරණයි කියලා අපිට හිතෙන්න පුළුවන්. ඒවාට කීකරු වෙන එකෙන් අපිට පාඩුවක් වෙන්නත් පුළුවන්. හැබැයි මොන දේ වුණත් අපි යෙහෝවාගේ නීතියක් කැඩෙන්නේ නැති තාක් කල් බලධාරීන්ට කීකරු වෙනවා. මොකද එහෙම කරන්න කියලා කියන්නේ යෙහෝවා දෙවියන්.—ක්‍රියා 5:29.
11-12. උසස් බලධාරීන්ට කීකරු වෙන්න අමාරු වුණත් යෝසෙප් සහ මරියා කළේ මොකක්ද? (ලූක් 2:1-6) ඒකෙන් ලැබුණ ප්‍රතිඵල මොනවාද? (පින්තූරත් බලන්න.)
11 උසස් බලධාරීන් දාන නීතිවලට කීකරු වෙන එක ගැන යෝසෙප් සහ මරියා අපිට හොඳ ආදර්ශයක්. (ලූක් 2:1-6 කියවන්න.) මරියා යේසුස්ව පිළිසිඳගෙන මාස නවයක් විතර වෙද්දී එයාලාගේ කීකරුකම සෝදිසියට ලක් වුණ දවසක් ආවා. රෝම අධිරාජ්‍යයා වුණ ඔගස්ටස් සීසර් නියෝගයක් නිකුත් කළා හැමෝම තමන්ගේ උපන් ගමට ගිහිල්ලා ලියාපදිංචි වෙන්න ඕනෙ කියලා. ඒ නිසා යෝසෙප්ටයි, මරියාටයි බෙත්ලෙහෙමට යන්න වුණා. ඒක කි.මී. 150ක විතර හරිම දුෂ්කර ගමනක්. ටිකක් හිතන්න කඳුකර පාරවල්වල ඒ වගේ දුර ගමනක් යන එක විශේෂයෙන්ම මරියාට කොච්චර අමාරු වෙන්න ඇද්ද! යෝසෙප් වගේම මරියාත් මරියාගෙයි, දරුවාගෙයි ආරක්ෂාව ගැන ගොඩක් වධ වෙන්න ඇති. බැරි වෙලාවත් ගමන අතරමඟදී මරියාට දරුවා ලැබෙන්න අමාරු වුණොත් එයාලා කොච්චර අසරණ වෙයිද! අනික මරියාගේ කුසේ මේ ඉන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි, අනාගත ගැලවුම්කරු! හැබැයි ආණ්ඩුවට කීකරු නොවී ඉන්න එයාලා ඒ එක දෙයක්වත් නිදහසට හේතුවක් කරගත්තාද?
12 නැහැ. එයාලා ඒ මොන දේ ගැන කරදර වුණත් ඒ නීතියට කීකරු වුණා. එයාලාගේ කීකරුකමට යෙහෝවා ආශීර්වාද කළා. බෙත්ලෙහෙමට යන කල්ම මරියාට කිසිම කරදරයක් වුණේ නැහැ. ඒ වගේම එයාට පුළුවන් වුණා නිරෝගී දරුවෙක්ට උපත දෙන්න. ඒකෙන් බයිබල් අනාවැකිත් ඉටු වුණා.—මීකා 5:2.
13. අපි පෙන්නන කීකරුකම සහෝදරයන්ට බලපාන්නේ කොහොමද?
13 උසස් බලධාරීන්ට කීකරු වෙන එකෙන් ගොඩක් ප්‍රයෝජන ලැබෙනවා. එකක් තමයි නීති කැඩුවාම ලැබෙන දඬුවම්වලින් අපි ආරක්ෂා වෙන එක. (රෝම 13:4) ඒ විතරක් නෙවෙයි බලධාරීන්ට කීකරු වෙද්දී අපිට වගේම අනිත් අයටත් ප්‍රයෝජන ලැබෙනවා. උදාහරණෙකට බලධාරීන්ගේ හිතේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන පැහැදීමක් ඇති කරන්න ඒක උදව් වෙනවා. ඒක තේරුම්ගන්න මීට කාලෙකට කලින් නයිජීරියාවේ වුණ සිද්ධියක් අපි බලමු. දවසක් රැස්වීමක් අතරතුරේදී අපේ නමස්කාර මධ්‍යස්ථානයකට හමුදා නිලධාරීන් කඩා පැන්නා. ඒගොල්ලෝ ආවේ කවුරු හරි බදු ගෙවන එකට විරුද්ධව කැරලිගහනවාද කියලා හොයලා බලන්න. හැබැයි එතන හිටපු ප්‍රධාන නිලධාරියා එකපාරටම කිව්වා “යෙහෝවා දෙවිගේ සක්ෂිකරුවෝ නං කවදාවත් බදු ගෙවන්නේ නැතුව ඉන්නේ නෑ, ඒ නිසා අපි යමු” කියලා. අමතක කරන්න එපා, ඔයා නීතියකට කීකරු වෙන හැම වතාවකම යෙහෝවා දෙවියන්ගේ සෙනඟට තියෙන හොඳ නම රකින්න ඔයා දායක වෙනවා කියලා. දවසක ඒක සහෝදරයන්ව යම් විදිහකින් ආරක්ෂා කරන්න හේතුවක් වෙන්නත් පුළුවන්.—මතෙ. 5:16.
14. උසස් බලධාරීන්ට කැමැත්තෙන්ම “කීකරු වෙන්න” සහෝදරියකට උදව් වුණේ මොකක්ද?
14 ඒත් උසස් බලධාරීන්ට කැමැත්තෙන්ම කීකරු වෙන එක අමාරු වෙන අවස්ථා එන්න පුළුවන්. එක්සත් ජනපදයේ ඉන්න ජොවානාටත් වුණේ ඒ වගේම දෙයක්. බලන්න එයා කියන දේ. “බලධාරීන් අපේ පවුලේ අයට සෑහෙන්න කරදර කළා. ගොඩක් අසාධාරණකම් කළා. ඒ නිසා එයාලට කැමැත්තෙන්ම කීකරු වෙන්න මට ලොකු සටනක් කරන්න වුණා.” එයාට තේරුණා එයා හිතන විදිහ වෙනස් කරගන්න එයාගේ පැත්තෙන් ලොකු මහන්සියක් ගන්න ඕනෙ කියලා. ඉතින් එයා මේ දේවල් තුන කළා. (1) බලධාරීන් ගැන එයාට තියෙන කේන්තිය තව අවුස්සන විදිහේ තොරතුරු සෝෂල් මීඩියාවලින් බලන එක එයා සම්පූර්ණයෙන්ම නැවැත්තුවා. (හිතෝ. 20:3) (2) ආණ්ඩුවේ වෙනසක් වෙන කල් බලන් ඉන්නවා වෙනුවට යෙහෝවා ගැන විශ්වාසය තියලා වැඩ කරන්න උදව් ඉල්ලලා එයා යාච්ඤා කළා. (ගීතා. 9:9, 10) (3) දේශපාලන කාරණාවලදී පැති ගන්නේ නැතුව ඉන්න උදව් වෙන තොරතුරු අපේ සඟරා, පොත් පත්වලින් එයා කියෙව්වා. (යොහ. 17:16) ජොවානා දැන් බලධාරීන්ට කැමැත්තෙන්ම කීකරු වෙනවා, එයාලට ගෞරව කරනවා. එයා කියනවා දැන් ඒ නිසා එයාගේ මනසට “කියාගන්න බැරි තරම් සහනයක් දැනෙනවා” කියලා.
යෙහෝවා දෙවියන්ගේ සංවිධානයට කීකරු වෙන්න
15. සංවිධානයෙන් ලැබෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙන එක අභියෝගයක් වෙන්න පුළුවන් ඇයි?
15 යෙහෝවා දෙවියන් අපෙන් ඉල්ලනවා “පෙරමුණ ගෙන ක්‍රියා කරන අයට කීකරු වෙන්න” කියලා. (හෙබ්‍රෙ. 13:17) අපි දන්නවා අපේ නායකයා වන යේසුස් පරිපූර්ණයි. හැබැයි පෙරමුණ ගන්න සහෝදරයන් නම් පරිපූර්ණ අය නෙවෙයි. ඒ නිසා එයාලට කීකරු වෙන්න සමහරවිට අපිට ටිකක් අමාරු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම එයාලා අපි අකමැති දෙයක් කරන්න කියද්දී. එක අවස්ථාවක පේතෘස් පවා ඒ අභියෝගයට මුහුණ දුන්නා. එයාට දේවදූතයෙක් කිව්වා මෝසෙස්ගේ නීතියට අනුව අපවිත්‍රයි කියලා සලකපු සත්තුන්ව කන්න කියලා. හැබැයි පේතෘස් ඒ මඟ පෙන්වීම එකපාරක් නෙවෙයි තුන්පාරක්ම ප්‍රතික්ෂේප කළා. (ක්‍රියා 10:9-16) ඇයි ඒ? ඒ මඟ පෙන්වීම දුන්නේ ඇයි කියලා එයාට හරියටම තේරුණේ නැහැ. මොකද ඒ දේවදූතයා කරන්න කිව්වේ පේතෘස් කරනවා තියා කරන්න හිතුවේවත් නැති දෙයක්. ටිකක් හිතන්න, පරිපූර්ණ දේවදූතයෙක් දීපු මඟ පෙන්වීමකට කීකරු වෙන්නම පේතෘස්ට අමාරු වුණා නම් පාපය උරුම කරගත්ත සහෝදරයන් දෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙන්න අපිට කොච්චර අමාරු වෙයිද!
16. ලැබුණ මඟ පෙන්වීම සාධාරණ නැහැ කියලා සමහරවිට පාවුල්ට හිතෙන්න ඇති. ඒත් එයා කළේ මොකක්ද? (ක්‍රියා 21:23, 24, 26)
16 පාවුල්ටත් ඒ වගේ මඟ පෙන්වීමක් ලැබුණා. සමහර වෙලාවට එයාට හිතෙන්න ඇති ඒ මඟ පෙන්වීම අසාධාරණයි කියලා. හැබැයි එයා ඔප්පු කළා එයා “කීකරු වීමට සූදානම්” කෙනෙක් කියලා. පාවුල් “මෝසෙස්ට දෙන ලද නීතියට විරුද්ධ දෙයක්” උගන්වනවා කියලත් මෝසෙස්ගේ නීතියට අගෞරව කරනවා කියලත් යුදෙව් ක්‍රිස්තියානීන් අතර කසුකුසුවක් ගියා. (ක්‍රියා 21:21) ඒ නිසා යෙරුසලමේ හිටපු වැඩිමහල්ලන් පාවුල්ට මඟ පෙන්නුවා පුරුෂයන් හතරදෙනෙක් එක්ක දේවමාලිගාවට ගිහිල්ලා චාරිත්‍රානුකූලව පවිත්‍ර වෙන්න කියලා. මොකද එහෙම කරන එකෙන් යුදෙව් ක්‍රිස්තියානීන් කරපු ඒ චෝදනාවලට කිසිම පදනමක් නැහැ කියලා හැමෝම දැනගන්නවා. හැබැයි පාවුල් හොඳටම දැනන් හිටියා ඒ වෙද්දී ක්‍රිස්තියානීන් හිටියේ මෝසෙස්ගේ නීතිය යටතේ නෙවෙයි කියලා. අනිත් අතට එයාගේ අතින් කිසි වරදක් වෙලා තිබුණෙත් නැහැ. ඒ වුණත් පාවුල් අදිමදි කරන්නේ නැතුව ඒ මඟ පෙන්වීමට කීකරු වුණා. එයා ‘පහුවදා ඒ මිනිසුන් සමඟ ගොස් ඔවුන් සමඟ තමාවද චාරිත්‍රානුකූලව පවිත්‍ර කරගත්තා.’ (ක්‍රියා 21:23, 24, 26 කියවන්න.) පාවුල් ඒ විදිහට කීකරු වුණ නිසා සහෝදරයන් අතර තිබුණ එක්සත්කම රැකුණා.—රෝම 14:19, 21.
17. ස්ටෙෆනිගේ අද්දැකීමෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?
17 දැන් අපි සහෝදරි ස්ටෙෆනිගේ අද්දැකීම බලමු. එයාගේ රටේ පෙරමුණ ගන්න සහෝදරයන් ගත්ත තීරණයකට කීකරු වෙන්න සැරයක් එයාට ගොඩක් අමාරු වුණා. එයායි, එයාගේ මහත්තයායි වෙනත් භාෂාවක් කතා කරන කණ්ඩායමක හරිම සතුටින් සේවේ කරකර හිටියේ. හැබැයි ඔය අතරේ ඒ කණ්ඩායම විසුරුවාහරින්න ශාඛා කාර්යාලය තීරණය කළා. ඊටපස්සේ ඒ දෙන්නාට එයාලාගේ මව් භාෂාව කතා කරන සභාවකට පැවරුමක් ලැබුණා. බලන්න ස්ටෙෆනි ඒ ගැන කියන දේ. “ඒක දැනගත්ත වෙලේ ඉඳන් හිතට හරි අමාරුයි. මට හිතුණෙම අපේ භාෂාව කතා කරන සභාවල එහෙමටයි කියලා ලොකු අවශ්‍යතාවක් නෑ කියලා.” හැබැයි ඒ කොහොමවුණත් ස්ටෙෆනි ඒ අලුත් මඟ පෙන්වීමට කීකරු වුණා. කාලයත් එක්කම එයා තේරුම්ගත්තා සහෝදරයෝ ඒ තීරණය ගත්තේ හරිම වෙලාවේදී කියලා. බලන්න එයා කියන දේ. “පවුලේ අය නැතුව තනියම සත්‍යයේ ඉන්න හුඟදෙනෙක් අලුත් සභාවේ ඉන්නවා. එයාලට අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් වෙන්න අපිට පුළුවන් වුණා. ආයෙත් ක්‍රියාශීලී වුණ සහෝදරියක් එක්කත් මං දැන් පාඩමක් කරනවා. ඒ විතරක් නෙවෙයි දැන් මට පෞද්ගලික අධ්‍යයනය කරන්නත් හොඳට වෙලාව තියෙනවා. එදා ලැබුණ මඟ පෙන්වීමට කීකරු වෙන්න මං මගේ උපරිමය කළා. ඒ ගැන හිතද්දී මට මං ගැනම ලොකු සතුටක් දැනෙනවා.”
18. කීකරු වෙන එකෙන් ප්‍රයෝජන ලැබෙන්නේ කොහොමද?
18 කීකරුකම කියන්නේ අපිට ඉගෙනගන්න පුළුවන් දෙයක්. හැබැයි යේසුස් කීකරුකම ඉගෙනගත්තේ හැම දෙයක්ම හොඳට වෙද්දී විතරක් නෙවෙයි. ඒ වෙනුවට “විවිධාකාර දුක් පීඩා විඳලා.” (හෙබ්‍රෙ. 5:8) අපිත් අභියෝගවලට මුහුණ දෙද්දී තමයි හුඟක් වෙලාවට යේසුස් වගේ කීකරු වෙන්න ඉගෙනගන්නේ. කොරෝනා පටන්ගත්ත මුල් කාලේ ඔයාට මතකද? ඒ දවස්වල නමස්කාර මධ්‍යස්ථානයේ රැස්වීම් තියන එක, ගෙයින් ගෙට සේවේ යන එක නවත්තන්න කියලා අපිට මඟ පෙන්වීමක් ලැබුණා. ඒකට කීකරු වෙන එක ඔයාටත් අමාරු වුණාද? ඒ කොහොමවුණත් ඒ මඟ පෙන්වීමට කීකරු වුණ එක ඔයාගේ ජීවිතේට ලොකු ආරක්ෂාවක් වුණා. ඒකෙන් සහෝදර සහෝදරියන් අතර තිබුණ එක්සත්කම රැකුණා. ඒ වගේම ඔයාගේ කීකරුකම නිසා යෙහෝවා දෙවියන්ගේ හිතත් සතුටු වුණා. අපි දන්නවා ළඟ ළඟම එන මහත් පීඩාවේදී අපිට ලැබෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙන එක මත තමයි අපේ ජීවිත රැඳිලා තියෙන්නේ කියලා. එදාට මොන මඟ පෙන්වීම ලැබුණත් ඒකට කීකරු වෙන්න පහුගිය කාලේ අපිට ලැබුණ පුහුණුව ගොඩක් උදව් වෙයි.—යෝබ් 36:11.
19. කීකරු වෙන්න ඔයා අධිෂ්ඨාන කරගෙන ඉන්නේ ඇයි?
19 අපි බලපු විදිහට කීකරු වෙන එකෙන් අපිට කියලා නිම කරන්න බැරි තරම් ආශීර්වාද ලැබෙනවා. හැබැයි අපි යෙහෝවාට කීකරු වෙන්නේ ආශීර්වාද ලබාගන්නම නෙවෙයි. ඔහුට තියෙන ආදරේ නිසා. ඔහුගේ හිත සතුටු කරන්න ඕනෙ නිසා. (1 යොහ. 5:3) ඇත්තටම යෙහෝවා අපි වෙනුවෙන් කරලා තියෙන දේවල්වල ණය අපිට කවදාවත් ගෙවලා ඉවර කරන්න බැහැ. (ගීතා. 116:12) හැබැයි අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ තමයි ඔහුට සහ අධිකාරියක් තියෙන අයට කීකරු වෙන එක. එහෙම කරද්දී අපි පෙන්නනවා අපි ප්‍රඥාවන්තයි කියලා. ප්‍රඥාවන්ත අයට විතරයි යෙහෝවාගේ හිත සතුටු කරන්න පුළුවන්.—හිතෝ. 27:11.
ගීතිකාව 89 දෙව්ට කීකරු වීමෙන් ලැබේ ආශීර්වාද
a අපි හැමෝම පාපය උරුම කරගත්ත අය. ඒ නිසා අපිට මඟ පෙන්වීමක් දෙන්න අයිතියක් තියෙන කෙනෙක් වුණත් දෙයක් කරන්න කියද්දී ඒකට කීකරු වෙන එක සමහර වෙලාවට ලේසි නැහැ. අපි මේ ලිපියෙන් බලමු දෙමාපියන්ට, “උසස් බලධාරීන්ට” සහ ක්‍රිස්තියානි සභාවේ පෙරමුණ ගන්න සහෝදරයන්ට කීකරු වෙන එකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද කියලා.
b දෙමාපියන් දාලා තියෙන සමහර නීති තද වැඩියි කියලා ඔයාට හිතෙනවා නම් ඒ ගැන එයාලත් එක්ක කතා කරන්න. ඒකට jw.org වෙබ් අඩවියේ තියෙන “මට දාලා තියෙන නීති තද වැඩියි කියලා අම්මලාට කියන්නේ කොහොමද?” කියන ලිපියේ තියෙන තොරතුරු ඔයාට උදව් වෙයි.
c පින්තූරේ අදහස: යෝසෙප් සහ මරියා සීසර්ගේ නීතියට කීකරු වෙලා ලියාපදිංචි වෙන්න බෙත්ලෙහෙමට ගියා. අද ඉන්න ක්‍රිස්තියානීනුත් “උසස් බලධාරීන්ට” කීකරු වෙනවා. ඒ නිසා එයාලා මාර්ග නීති පිළිපදිනවා. බදු ගෙවනවා. ඒ වගේම සෞඛ්‍යාරක්ෂාව ගැන දාලා තියෙන නීතිවලටත් කීකරු වෙනවා.