පාඩම් ලිපිය 33
ගීතිකාව 130 සමාව දෙන්න
වරදක් කරපු කෙනෙක් දිහා යෙහෝවා බලන විදිහට බලන්න සභාවට පුළුවන් කොහොමද?
“කාගේ හරි අතින් පාපයක් වුණොත් එයාගේ උදව්වට කෙනෙක් ඉන්නවා.”—1 යොහ. 2:1.
ලිපියේ අරමුණ
මුල් සියවසේ කොරින්ති සභාවේ හිටපු සහෝදරයෙක් බරපතළ වරදක් කළාම ඒක හසුරවපු විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම් ගැන බලමු.
1. යෙහෝවාට මිනිස්සු ගැන තියෙන්නේ මොන වගේ බලාපොරොත්තුවක්ද?
යෙහෝවා අපිව නිර්මාණය කරද්දීම තීරණ ගන්න හැකියාව අපිට දුන්නා. හැම දවසකම අපි ගොඩක් තීරණ ගන්නවා. කෙනෙක්ට ජීවිතේ ගන්න පුළුවන් වැදගත්ම තීරණේ තමයි එයාගේ ජීවිතේ යෙහෝවාට කැප කරලා ඔහුගේ පවුලේ අයත් එක්ක එකට එකතු වෙලා ඔහුට නමස්කාර කරන්න ගන්න තීරණේ. ඒ දේ හැමෝම කරනවා දකින්නයි යෙහෝවා කැමති. මොකද යෙහෝවා මිනිස්සුන්ට ගොඩක් ආදරෙයි. ඔහුට ඕනෙ එයාලා සතුටින් ඉන්නවා දකින්න. ඔහුත් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගෙන එයාලා සදහටම ජීවත් වෙනවා දකින්නයි ඔහු ආස.—ද්වි. 30:19, 20; ගලා. 6:7, 8.
2. බරපතළ වරදක් කළත් තවමත් පසුතැවෙන්නේ නැති අය ගැන යෙහෝවාට දැනෙන්නේ කොහොමද? (1 යොහන් 2:1)
2 ඒ කොහොමවුණත් යෙහෝවා කාටවත් බල කරන්නේ නැහැ ඔහුට නමස්කාර කරන්න කියලා. ඒ තීරණේ ගන්න ඔහු අපි එක් එක් කෙනාට ඉඩ දීලා තියෙනවා. හැබැයි බව්තීස්ම වුණ කෙනෙක් යෙහෝවාගේ නීතියක් කඩලා බරපතළ වරදක් කළොත්? එයා පසුතැවිලි වෙන්නේ නැත්නම් එයාව සභාවෙන් අයින් කරන්න ඕනේ. (1 කොරි. 5:13) එහෙම කෙනෙක්ව සභාවෙන් අයින් කළත් එයා පසුතැවිලා ආයෙත් යෙහෝවා ළඟට එන කල් ඔහු ආසාවෙන් බලාගෙන ඉන්නවා. යෙහෝවා ජීවිත පූජාව දුන්න වැදගත්ම හේතුවලින් එකක් තමයි පසුතැවිලි වෙන අයට සමාව දෙන්න පුළුවන්කම ලැබෙන එක. (1 යොහන් 2:1 කියවන්න.) අපේ ආදරණීය දෙවියන් බරපතළ වැරදි කරන අයගෙන් ඉල්ලනවා පසුතැවිලි වෙන්න කියලා.—සෙක. 1:3; රෝම 2:4; යාකො. 4:8.
3. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?
3 බරපතළ වැරදි ගැනත් ඒවා කරන අය ගැනත් යෙහෝවාට හැඟෙන්නේ කොහොමද කියලා ඔහු අපිට කියලා දෙනවා. ඔහුට ඕනෙ අපිටත් ඒ විදිහටම හැඟෙනවා දකින්නයි. ඒක කරන්න මේ ලිපිය අපිට උදව් කරනවා. අපි මේ ලිපියෙන් (1) කොරින්ති සභාවේ කෙනෙක් බරපතළ වරදක් කළාම පාවුල් සභාවේ අයට දීපු මඟ පෙන්වීම් මොනවාද, (2) ඒ වරද කරපු කෙනා පසුතැවුණාම මොනවා කරන්න කියලද පාවුල් කිව්වේ සහ (3) බරපතළ වැරදි කරන අය ගැන යෙහෝවාට හැඟෙන විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා බලමු.
මුල් සියවසේදී
4. කොරින්ති සභාවේ වුණේ මොකක්ද? (1 කොරින්ති 5:1, 2)
4 1 කොරින්ති 5:1, 2 කියවන්න. අලුතෙන් පිහිටවපු කොරින්ති සභාව ගැන පාවුල්ගේ තුන්වෙනි මිෂනාරි ගමනේදී හිතාගන්න බැරි දෙයක් එයාට ආරංචි වෙනවා. එහේ හිටපු සහෝදරයෙක් එයාගේ තාත්තාගේ දෙවෙනි බිරිඳත් එක්ක දුරාචාරයේ යෙදුණා. එයා හැසිරුණ විදිහ කොච්චර පිළිකුල්ද කියනවා නම් පාවුල් මෙහෙම කිව්වා. ‘ඒ වගේ හැසිරීමක් ලෝකේ මිනිස්සු අතරේවත් වෙනවා කියලා මං අහලා නැහැ.’ හැබැයි සභාවේ අය ඒකට මුකුත් නොකර දිගටම එයාට සභාවේ ඉන්න ඉඩහැරියා. සමහරවිට එයාලා හිතන්න ඇති දෙවියන් පව්කාර මිනිස්සුන්ව හොඳින් තේරුම් අරන් එයාලට දයාව පෙන්නන නිසා මේ කෙනාට සභාවේ ඉන්න ඉඩහරින එකෙන් එයාලත් ආදර්ශයට ගන්නේ දෙවියන්ව කියලා. හැබැයි යෙහෝවා ඔහුගේ සෙනඟ අතරේ වැරදි දේවල් වෙද්දී ඒක කවදාවත් සැහැල්ලුවට ගන්නේ නැහැ. කිසිම ලැජ්ජ බයක් නැතුව හැසිරුණ ඒ කෙනා නිසා සභාවේ හොඳ නමට වෙන්නේ හානියක්. ඒ වගේම එයා දිගටම සභාවේ හිටියොත් සභාවේ අනිත් අයත් එයා වගේ වැඩ කරන්න පටන්ගනියි. ඉතින් පාවුල් කොරින්ති සභාවේ අයට මොනවා කරන්න කියලද කියන්නේ?
5. පාවුල් සභාවේ අයට කරන්න කිව්වේ මොකක්ද? එයා ඒකෙන් අදහස් කළේ මොකක්ද? (1 කොරින්ති 5:13) (පින්තූරයත් බලන්න.)
5 1 කොරින්ති 5:13 කියවන්න. කොරින්තියේ අයට ලියුමක් ලියන්න යෙහෝවා පාවුල්ට මඟ පෙන්නුවා. ඒ ලියුමේ පාවුල් කිව්වා පසුතැවිලි වෙන්නේ නැති ඒ කෙනාව සභාවෙන් අයින් කරන්න කියලා. සභාවේ අය කොහොමද එයාට සලකන්න ඕනේ? පාවුල් කිව්වා ‘ඒ කෙනාගෙන් අයින් වෙන්න’ කියලා. මොකක්ද එයා ඒකෙන් අදහස් කළේ? එයා කිව්වා “ඒ වගේ කෙනෙක් එක්ක කෑම කන්නවත් එපා” කියලා. (1 කොරි. 5:11) සාමාන්‍යයෙන් අපි කෙනෙක් එක්ක එකට ඉඳගෙන කෑමක් ගද්දී අපි එයාත් එක්ක කතාබහ කරනවා. එහෙම කතා කරකර ඉද්දී එයාත් එක්ක තව කාලේ ගත කරන්න අපි පෙලඹෙන්න පුළුවන්. ඒකෙන් තේරෙනවා පාවුල් අදහස් කළේ ඒ කෙනා එක්ක අනවශ්‍ය විදිහට කාලේ ගත කරන්න එපා කියලා. ඒක උදව් වෙනවා එයාගේ නරක බලපෑමෙන් සභාව ආරක්ෂා කරගන්න. (1 කොරි. 5:5-7) ඒ වගේම එයාව කිට්ටුවෙන් ආශ්‍රය කරන එක නතර කළාම එයාටම තේරෙයි එයා යෙහෝවාගේ හිතට කොච්චර දුකක් දුන්නාද කියලා. ඒක තේරුම් ගියාම එයා කරපු වරද ගැන ලැජ්ජ හිතිලා පසුතැවෙන්න එයා පෙලඹෙයි.
6. පාවුල්ගේ ලියුම හම්බ වුණාම සභාවේ අය මොනවාද කළේ? වරද කරපු කෙනා පෙලඹුණේ මොකක් කරන්නද?
6 කොරින්ති සභාවේ අයට ලියුම යැව්වාට පස්සේ පාවුල් කල්පනා කරන්න ඇති එයාලා ඒකේ තිබුණ දේවල් කොහොම භාරගන්න ඇද්ද කියලා. වැඩි දවසක් යන්න කලින් තීතස් පාවුල්ට සතුටුදායක ආරංචියක් ගෙනාවා. පාවුල්ගේ ලියුමේ තිබුණ දේවල් අදාළ කරගෙන කොරින්ති සභාවේ අය ඒ වරද කරපු කෙනාව සභාවෙන් අයින් කරලා තිබුණා. (2 කොරි. 7:6, 7) ඊටත් වඩා සතුටුදායක දේ තමයි ලියුමේ තිබුණ මඟ පෙන්වීම් සභාවේ අය අදාළ කරගත්ත නිසා වරද කරපු කෙනාත් පසුතැවිලි වෙන්න පටන් අරන් තිබුණා. එයා හිතපු, වැඩ කරපු විදිහ වෙනස් කරගෙන යෙහෝවාගේ ධර්මිෂ්ඨ ප්‍රතිපත්තිවලට එකඟව ආයෙත් වැඩ කරන්න පටන්ගත්තා. (2 කොරි. 7:8-11) දැන් පාවුල් සභාවේ අයට මොනවා කියයිද?
පසුතැවිලි වුණ කෙනාට සලකන්න ඕන විදිහ
7. වරද කරපු කෙනාව සභාවෙන් අයින් කරපු නිසා ලැබුණ ප්‍රතිඵල මොනවාද? (2 කොරින්ති 2:5-8)
7 2 කොරින්ති 2:5-8 කියවන්න. පාවුල් කිව්වා “ඔයාලාගෙන් වැඩිදෙනෙක් ඒ කෙනාට දෙන්න ඕනෙ හික්මවීම දැනටමත් දීලයි තියෙන්නේ. දීපු හික්මවීම දැන් ඇති” කියලා. ඒ කියන්නේ වරද කරපු කෙනාව සභාවෙන් අයින් කළාම එයා තේරුම්ගත්තා එයා පසුතැවිලි වෙන්න ඕනෙ කියලා. එයා පසුතැවුණ නිසා දැන් දිගටම එයාව හික්මවන්න ඕනෙ නැහැ.—හෙබ්‍රෙ. 12:11.
8. පාවුල් ඊළඟට සභාවේ අයට කරන්න කිව්වේ මොකක්ද?
8 වරද කරපු කෙනා පසුතැවුණ නිසා පාවුල් වැඩිමහල්ලන්ට කිව්වා එයාට ආයෙත් සභාවට එන්න ඉඩ දෙන්න කියලා. ඒ වගේම “එයාට හදවතින්ම සමාව දීලා එයාව සනසන්න” කියලත් “ඔයාලාගේ ආදරේ එයාට දැනෙන්න සලස්වන්න” කියලත් පාවුල් එයාලට කිව්වා. සභාවේ අය කියන කරන දේවලින් එයාලා ඒ කෙනාට ඇත්තටම සමාව දුන්නා කියලත් එයාට ගොඩක් ආදරෙයි කියලත් දැනෙන්න සලස්වනවා දකින්නයි පාවුල් කැමති වුණේ. එහෙම කරන එකෙන් එයාට දැනෙයි එයා සභාවට ආයේ ආපු එක සභාවේ අයට කොච්චර සතුටක්ද කියලා.
9. පසුතැවුණ සහෝදරයාට සමාව දෙන්න සමහරු අදිමදි කරන්න ඇත්තේ ඇයි?
9 කොරින්ති සභාවේ හිටපු සමහරු පසුතැවිලා ආයෙත් සභාවට එන කෙනාව පිළිගන්න අදිමදි කරන්න ඇද්ද? බයිබලේ ඒ ගැන හරියටම කියන්නේ නැහැ. ඒත් එහෙම වෙන්න ඇති කියලා අපිට හිතන්න පුළුවන්. ඒ කෙනා කරපු වරද නිසා සභාවට ආපු ප්‍රශ්න ගැන හිතලා සමහරු කේන්තියෙන් ඉන්න ඇති. එයා කරපු දේ පෞද්ගලිකව බලපාපු සමහරුන්ට ඒ වෙද්දීත් ලොකු වේදනාවක් දැනෙන්න ඇති. තවත් සමහරු හිතන්න ඇති ‘යෙහෝවාගේ ප්‍රතිපත්තිවලට කීකරු වෙන්න සභාවේ අය කොච්චර මහන්සි වුණාද, එහෙම එකේ මේ වගේ වරදක් කරපු කෙනෙක්ව ආයෙත් සභාවට පිළිගන්න එක අසාධාරණ නැද්ද’ කියලා. (ලූක් 15:28-30) එයාලා ඒ කොහොම හිතුවත් පසුතැවිලි වුණ ඒ සහෝදරයාට එයාලාගේ ආදරේ පෙන්නන එක වැදගත් වුණේ ඇයි?
10-11. වැඩිමහල්ලන් පසුතැවිලි වුණ කෙනාට සමාව දුන්නේ නැත්නම් මොනවා වෙන්න පුළුවන්ද?
10 ටිකක් හිතන්න, ඒ කෙනා අවංකවම පසුතැවුණත් වැඩිමහල්ලන් එයාට ආපහු සභාවට එන්න දෙන්නේ නැත්නම් එයාට කොහොම හැඟෙයිද? එයා ආයෙත් සභාවට ආවාම සභාවේ අය එයාට ආදරෙන් සලකන්නේ නැත්නම් එයාට කොහොම දැනෙයිද? පාවුල් කිව්වා “එයා ගොඩක් දුක් වෙලා කලකිරෙයි” කියලා. එයාට හිතෙයි ආයේ කවදාවත් යෙහෝවාගේ පවුලේ කොටසක් වෙන්න එයාට බැහැ කියලා. යෙහෝවාත් එක්ක එයාගේ බිඳුණු බැඳීම ආයේ හදාගන්න එයා උත්සාහයක් ගන්න එකකුත් නැහැ.
11 පසුතැවිලි වෙන ඒ කෙනාට සභාවේ අය සමාව දුන්නේ නැත්නම් තව මොනවාද වෙන්න පුළුවන්? සභාවේ අයට යෙහෝවාත් එක්ක තියෙන බැඳීම නැති වෙන්න පුළුවන්. ඇයි එහෙම කියන්නේ? මොකද එහෙම කරද්දී එයාලා ආදර්ශයට ගන්නේ සමාව දෙන්න කැමැත්තෙන් ඉන්න යෙහෝවාව නෙවෙයි, කිසිම හිතක් පපුවක් නැති කෲර සාතන්ව. ඇත්තටම එයාලා කරන්නේ සාතන්ගේ අතකොළුවක් වෙලා ඒ කෙනාව යෙහෝවාගෙන් සම්පූර්ණයෙන්ම ඈත් කරන්න සාතන්ට උදව් කරන එකයි.—2 කොරි. 2:10, 11; එෆී. 4:27.
12. යෙහෝවාව ආදර්ශයට ගන්න සභාවේ අයට පුළුවන් කොහොමද?
12 කොරින්ති සභාවේ අය සාතන්ව ආදර්ශයට ගන්නේ නැතුව යෙහෝවාව ආදර්ශයට ගන්න නම් කරන්න ඕනෙ මොනවාද? පසුතැවිලි වෙන කෙනාට යෙහෝවා සමාව දෙන විදිහට එයාලත් සමාව දෙන්න ඕනේ. බලන්න, යෙහෝවා සමාව දෙන විදිහ ගැන බයිබලේ කියලා තියෙන දේවල්. දාවිත් කිව්වා “යෙහෝවා දෙවියනි, ඔබ සමාව දෙන්න කැමති, යහපත් දෙවි කෙනෙක්” කියලා. (ගීතා. 86:5) මීකා කිව්වා ‘දෙවියනි, ඔබ වගේ තවත් දෙවි කෙනෙක් ඉන්නවාද? ඔබේ සෙනඟගේ වරදට ඔබ සමාව දෙනවා. ඔවුන්ගේ වැරදි අමතක කරලා දානවා’ කියලා. (මීකා 7:18) යෙසායා මෙහෙම කිව්වා. “දුෂ්ටයා ඔහු යන මාර්ගයෙන් ඉවත් වේවා! අනුන්ට උගුල් අටවන කෙනා නපුරු සිතුවිලිවලින් ඉවත් වේවා! ඔහුට දයාව පෙන්නන යෙහෝවා ළඟට, අපේ දෙවියන් ළඟට හැරී ඒවා! දෙවියන් අදිමදි නොකර ඔහුට සමාව දෙයි.”—යෙසා. 55:7.
13. පසුතැවිලි වෙන කෙනාව ආයෙත් සභාවට පිළිගන්න ඕනෙ ඇයි? (“පසුතැවිලි වුණ කෙනාව සභාවට පිළිගත්තේ කොයි අවස්ථාවේදීද?” කියන කොටුව බලන්න.)
13 කොරින්ති සභාවේ අය යෙහෝවාව ආදර්ශයට ගන්න නම් පසුතැවුණ ඒ කෙනාට සමාව දීලා එයාලාගේ ආදරේ එයාට දැනෙන්න සලස්වන්න ඕනේ. පාවුල් කිව්වා එයාලා ඒ කෙනාට සමාව දුන්නොත් එයාලා පෙන්නන්නේ ‘හැම කාරණයකදීම එයාලා කීකරු වෙනවා’ කියලයි. (2 කොරි. 2:9) ඇත්ත, ඒ කෙනාව සභාවෙන් අයින් කරලා මාස කීපයක් තමයි ගිහින් තිබුණේ. ඒ වුණත් එයා ලැබුණ හික්මවීම නිසා පසුතැවිලි වෙන්න පෙලඹුණා. ඉතින් එයාව ආයෙත් සභාවට පිළිගන්න එක කල් දදා ඉන්න කිසිම හේතුවක් තිබුණේ නැහැ.
යෙහෝවාගේ යුක්තිය, දයාව ආදර්ශයට ගන්න
14-15. කොරින්ති සභාවේ වුණ සිද්ධියෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (2 පේතෘස් 3:9) (පින්තූරයත් බලන්න.)
14 කොරින්ති සභාවේ වුණ ඒ සිද්ධිය බයිබලේට ඇතුළත් කළේ “අපිට උගන්නන්න.” (රෝම 15:4) ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් බරපතළ වරදක් කරලා පසුතැවෙන්නේ නැති කෙනෙක්ට සභාවේ දිගටම ඉන්න යෙහෝවා ඉඩ දෙන්නේ නැහැ කියලා. සමහරු හිතනවා යෙහෝවා “දයාවන්ත” නිසා වරදක් කරලා පසුතැවුණේ නැති කෙනෙක්ට වුණත් සභාවේ දිගටම ඉන්න ඉඩ දෙයි කියලා. හැබැයි යෙහෝවා දයාව පෙන්නන්නේ ඒ විදිහට නෙවෙයි. යෙහෝවා දයාවන්තයි කියලා ඔහු කවදාවත් පහත් හැසිරීමක් අනුමත කරන්නේ නැහැ. හරි වැරැද්ද ගැන ඔහු දාලා තියෙන ප්‍රමිති වෙනස් කරන්නෙත් නැහැ. (යූද් 4) පසුතැවිලි වෙන්නේ නැති කෙනෙක්ට දිගටම සභාවේ ඉන්න ඉඩහරින එක ඇත්තටම දයාවන්ත දෙයක් නෙවෙයි. මොකද එයා නිසා මුළු සභාවටම හානියක් වෙන්න පුළුවන්.—හිතෝ. 13:20; 1 කොරි. 15:33.
15 ඒත් අපි දන්නවා යෙහෝවා කැමති නැහැ කිසිම කෙනෙක් විනාශ වෙනවා දකින්න. ඔහුට ඕනෙ පුළුවන් තරම් දෙනෙක්ව බේරගන්න. කෙනෙක් හිතන පතන, වැඩ කරන විදිහ වෙනස් කරගෙන ආයෙත් ඔහුගේ යාළුවෙක් වෙන්න කැමති වුණොත් ඔහු එයාට දයාව පෙන්නනවා. (එස. 33:11; 2 පේතෘස් 3:9 කියවන්න.) ඒ නිසයි කොරින්ති සභාවේ වරද කරපු කෙනා පසුතැවිලා, ඒ වැරදි මාර්ගයෙන් හැරිලා ආවාම යෙහෝවා පාවුල් මාර්ගයෙන් සභාවට කිව්වේ එයාට සමාව දීලා එයාව ආයෙත් ආදරෙන් පිළිගන්න කියලා.
16. කොරින්ති සභාවේ සිද්ධිය ගැන දැනගත්තාට පස්සේ ඔයාට යෙහෝවා ගැන දැනෙන්නේ කොහොමද?
16 කොරින්ති සභාවේ වුණ ඒ සිද්ධිය අපිට පෙන්නලා දෙනවා යෙහෝවා කොච්චර ආදරණීය, ධර්මිෂ්ඨ, සාධාරණ කෙනෙක්ද කියලා. (ගීතා. 33:5) යෙහෝවාට තියෙන ඒ ලස්සන ගුණාංග නිසා ඔහුට තව වැඩියෙන් ප්‍රශංසා කරන්න ඔයා පෙලඹෙන්නේ නැද්ද? යෙහෝවා පෙන්නන දයාව අපි ගොඩක් අගය කරනවා. මොකද අපි හැමෝම පව්කාරයන්. යෙහෝවා අපි වෙනුවෙන් ඔහුගේ පුතාගේ ජීවිතේ දුන්න එකත් අපි ගොඩක් අගය කරනවා. මොකද ඒ නිසයි අපේ පව්වලට සමාව ලැබෙන්නේ. යෙහෝවා ඔහුගේ සෙනඟට ඇත්තටම ආදරෙයි කියලත් ඔහුට ඕනෙ අපි සදහටම සතුටින් ඉන්නවා දකින්න කියලත් දැනන් ඉන්න එක අපිට මොන තරම් සහනයක්ද!
17. අපි ඊළඟ ලිපි දෙකෙන් බලන්නේ මොනවා ගැනද?
17 අද කෙනෙක් බරපතළ වරදක් කළොත් වැඩිමහල්ලන්ට කොහොමද පුළුවන් යෙහෝවා වගේ ආදරෙන් ඒ කෙනාට පසුතැවිලි වෙන්න උදව් කරන්න? කෙනෙක්ව සභාවෙන් අයින් කරන්න නැත්නම් සභාවට ආයෙත් පිළිගන්න වැඩිමහල්ලන් තීරණේ කළොත් සභාවේ අය කොහොමද ඒක භාරගන්න ඕනේ? ඒ ප්‍රශ්නවලට උත්තර අපි ඊළඟ ලිපි දෙකෙන් බලමු.
ගීතිකාව 109 හද පත්ලෙන් නැඟෙනා ප්‍රේමය