පසුගිය වසරෙන්
නන් දෙසින් වාර්තා ලොව වටා සිදුවීම්
දුර ඈත පළාත්වල අයටත් ශුභාරංචිය
කැනඩාවේ ඉන්න විවිධ ජන කණ්ඩායම්වලටත් ශුභාරංචිය දේශනා කරන්න ඕන නිසා ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ කියන වීඩියෝ එක ඒ රටේ කතා කරන භාෂා 8කට පරිවර්තනය කරලා තියෙනවා. 2014 ඔක්තෝබර් මාසෙදී සහෝදරයන් ආක්ටික් ප්‍රදේශයේ දවස් දහයක විශේෂ වැඩසටහනක් දියත් කළා. ඒකෙදි ඔවුන් ගම්මාන 14ක ඉන්න හැම කෙනෙක්ටම වගේ ඉනුක්ටිටුට් භාෂාවෙන් ඒ වීඩියෝ එක පෙන්නුවා. ඒ ගම්මානවල 12,000ක් විතර ඉන්නවා.
කළමනාකරු පුදුම වුණා
2014 සැප්තැම්බර් මාසෙදී දකුණු කොරියාවේ සෝල් නගරයේ සාංකම් කියන ක්‍රීඩාංගණයේ ජාත්‍යන්තර සමුළුවක් තිබ්බා. ඒකට සහභාගි වුණ ගණන 56,000කට වැඩියි. අපේ සහෝදර සහෝදරියන්ගේ හොඳ හැසිරීම, සහයෝගෙන් වැඩ කරපු එක අගය කරපු ඒ ක්‍රීඩාංගණයේ කළමනාකරු මෙහෙම කිව්වා. “ඒ හැමෝම හොඳට හැසිරුණා. එයාලා මේ ක්‍රීඩාංගණය පිරිසිදු කරන අපේ අයටත් වඩා හොඳට මේක පිරිසිදු කරනවා දැක්කම මට පුදුම හිතුණා. අපේ අයත් වැඩ ගැන සාක්ෂිකරුවන් වගේ හිතනවා නම් කොච්චර හොඳද? ආගම හරි විදිහට අදහන්න නම් අපිත් සාක්ෂිකරුවන් වගේ වෙන්න ඕනේ.”
යෙහෝවා දෙවි පුහුණු කළා
ස්වීඩනයේ අනිකුත් ආගමික සංවිධානවලට ලබා දෙන ආර්ථික වාසි තමන්ටත් ලබා දෙන්න කියලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කළ ඉල්ලීම 2012 මැයි මාසයේදී රජයෙන් ප්‍රතික්ෂේප කළා. ඒ නිසා පාලක මණ්ඩලයේ අනුමැතිය ඇතුව සහෝදරයන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළා.
තීන්දුවක් දෙන්න කලින් සාක්ෂිකරුවන්ට වාචිකව කරුණු ඉදිරිපත් කරන්න අවස්ථාවක් දෙන්න අධිකරණය තීරණය කළා. ඒ නිසා විවිධ රටවල්වලින් ආව සහෝදරයන් කිහිපදෙනෙක් එකතු වෙලා අධිකරණයෙදී අහයි කියලා හිතන ප්‍රශ්නවලට උත්තර දෙන විදිහ කලින්ම පුහුණු වෙන්න සැලසුම් කළා. ඔවුන් ඒක කළේ ස්ටොක්හෝම්වල තියෙන නමස්කාර මධ්‍යස්ථානයෙදි.
ඔවුන් පුහුණු වෙමින් ඉද්දී නමස්කාර මධ්‍යස්ථානයේ දොරේ බෙල් එක වැදුණා. සහෝදරයෙක් ගිහින් බලද්දී ඇවිත් හිටියේ අවුරුදු 13ක සහ14ක ගැහැනු ළමයි දෙන්නෙක්. එයාලට ඕන වෙලා තිබුණේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන තොරතුරු දැනගන්න. ඒ සහෝදරයා මෙහෙම කියනවා. “එදා අපි හිටියේ ලොකු වැඩක නිසා මට හිතුණා එයාලට වෙන දවසක එන්න කියන්න.”
ඒත් ඒ සහෝදරයා එයාලා එක්ක කතා කළා. සමාජයෙන් සාක්ෂිකරුවන්ට ඇති වෙන ප්‍රශ්න සහ සාක්ෂිකරුවන් ඡන්දය නොදෙන එක ගැන එයාලා ප්‍රශ්න ඇහුවා. ඊටපස්සේ, එයාලා අහපු ප්‍රශ්න සහ ඔහු ඒවාට උත්තර දුන්න විදිහ ඒ සහෝදරයා අනිත් සහෝදරයන් එක්ක කිව්වා.
ඊළඟ දවසේ වාචිකව කරුණු ඉදිරිපත් කිරීමට සහෝදරයෝ අධිකරණයට ගියා. කලින් දවසේ ගැහැනු ළමයි දෙන්නා අහපු ගොඩක් ප්‍රශ්න එදා අධිකරණයෙනුත් අහද්දී සහෝදරයන්ට පුදුම හිතුණා. සාක්ෂිකරුවන් වෙනුවෙන් පෙනී හිටපු සහෝදරයෙක් ඒ ගැන කිව්වේ මෙහෙමයි. “නම් දරාපු නීතීඥයෝ ඉස්සරහා කතා කරන්න වුණ නිසා බයක් දැනෙයි කියලා හිතුණත් ඒ වෙලාවේ මට දැනුණේ ලොකු සන්සුන්කමක්. අධිකරණයෙදි උත්තර දෙන්න ඊයේ දෙවි අපිව පුහුණු කළා. ඇත්තටම දෙවි අපිත් එක්ක ඉන්නවා කියලා මට දැනුණා.”
අධිකරණය සාක්ෂිකරුවන්ට පක්ෂව තීන්දුවක් දුන්නා. ඒ නිසා සාක්ෂිකරුවන්ගේ ඉල්ලීම නැවත සලකා බලන්න කියලා රජයට කිව්වා.
කෙන්ගේ සම්මාදම
හයිටිවල ඉන්න කෙන්ට අවුරුදු 6යි. එයා ඉන්න පැත්තේ අලුතින් නමස්කාර මධ්‍යස්ථානයක් හදනවා කියලා දැනගත්ත දවසේ ඉඳන් කෙන් හිටියේ හරිම සතුටින්. ඒ නිසා එයා කාටත් හොරෙන් පෙට්ටියක් තියාගෙන ඉස්කෝලෙ යද්දී අම්මයි තාත්තයි එයාට දෙන සල්ලි ඒකට දැම්මා. නමස්කාර මධ්‍යස්ථානය හදන්න පටන්ගන්න කල්ම කෙන් මේ වැඩේ කළා. පස්සේ එයා එකතු කරපු සල්ලි සහෝදරයන්ට දුන්නම ඒ සල්ලිවලින් ලොකු හාල් ගෝණියක් ගන්න පුළුවන් වුණා. ශාලාව හදන්න ආපු සහෝදරයන්ට දවස් ගාණක් යන කල් දවල් කෑම ඉව්වේ ඒ හාල්වලින්.
ජෙනරාල්වරයා අවසර දෙයි
ඉබෝලා වයිසරය පැතිරුණ නිසා ගිය අවුරුද්ද පුරාම සියරා ලියොන්වලට ඇතුල් වෙන්න සිද්ධ වුණේ විශේෂ අවසරයක් ඇතුවයි. ඉබෝලා වයිරසය පැතිරිලා තිබුණ පළාත්වලට යන්න නම් චාරිකා සේවකයන්ට සහ පාර්සල් ප්රවාහණය කරපු අයට බැජ් කාඩ් සහ වාහන සඳහා විශේෂ බලපත්‍ර ලබාගන්න වුණා. සහන සේවා කමිටුවේ සහෝදරයන් ඒ පළාත්වලට පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය, උෂ්ණත්වමාන සහ ආහාර ගෙනියන්න සැලසුම් කළා. ඒකට ඕන ලියකියවිලි එයාලට ලැබුණේ හිතුවෙවත් නැති විදිහට.
උදාහරණෙකට මේ අද්දැකීම බලන්න. එක අවස්ථාවක බැජ් කාඩ් 34ක් සහ වාහන බලපත්‍ර 11ක් ඉල්ලලා සහෝදරයන් අයදුම්පතක් ඉදිරිපත් කළා. ඒත් ඒකට අනුමැතිය ගන්න නම් හමුදාවේ ජෙනරාල්වරයෙක්ව හම්බ වෙන්න සහෝදරයන්ට සිද්ධ වුණා. නියමිත දවසේ ශාඛා කාර්යාලයේ සහෝදරයෝ දෙන්නෙක් එයාව හම්බ වෙන්න ගියේ එදාම අවසරපත්‍ර ලබාගන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන. ඒත් කාර්යාලය පුරාම ඒ අයදුම්පත හෙව්වත් ඒක හම්බ වුණේ නැහැ. ඒ වෙලාවේ ජෙනරාල්වරයා දැන් ඔහුගේ කාර්යාලය වහනවා කියලත් ආයෙත් අයදුම්පත් බලන්නේ සති දෙකකට පස්සේ කියලත් එයාගේ ලේකම්ට කිව්වා. ඒ වෙලාවේ සහෝදරයෝ යෙහෝවා දෙවිගෙන් උදව් ඉල්ලලා යාච්ඤා කළා. ටික වෙලාවකින් ජෙනරාල්වරයා සහෝදරයන්ගෙන් මෙහෙම ඇහුවා. “ඔයාලට බැජ් කාඩ් සහ වාහන බලපත්‍ර කීයක් ඕනෙද?” සහෝදරයන් ගාණ කිව්වම “එච්චර දෙන්න බැහැ” කියලා එයා කෑගහලා කිව්වා.
අපි කරන දේවල් සහ අපි කරන සහන සේවය ඉබෝලා හැදිලා ඉන්න අයට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියලා සහෝදරයෝ ජෙනරාල්වරයාට පැහැදිලි කළා. ටික වෙලාවක් කල්පනා කරපු ජෙනරාල්වරයා එයාගේ ලේකම්ට මෙහෙම කිව්වා. “මෙයාලට ඕන කරන හැම දේම දෙන්න.”