ඔබේ මතක ශක්තිය දියුණු කිරීමට ඔබට හැක
“මට තියෙන්නේ ඉතා දුර්වල මතක ශක්තියක්.” ඔබ කවදා හෝ එසේ පවසා තිබේද? එසේනම්, බලාපොරොත්තු සුන් කර නොගන්න. උපකාරවත් යෝජනා ස්වල්පයක් හා සුළු වෑයමක් පුදුම එළවන දියුණුවක් ඇති කළ හැක. ඔබේ මොළය අඩුවෙන් තක්සේරු නොකරන්න. එයට ඇති හැකියාවන් මවිතාකාරය.
මොළය එහි පුදුමසහගත ක්‍රියා ඉටු කරන්නේ කෙසේද? මෑත වසරවලදී පෙර කෙදිනකටත් වඩා මොළය සියුම් ලෙස පරීක්ෂා කර තිබේ. එහෙත් තීක්ෂ්ණ බුද්ධිය වැඩි වුවද, මොළය දේවල් ඉටු කරන ආකාරය සම්බන්ධයෙන් ඇත්තෙන්ම අප දන්නේ ඉතා ස්වල්පයකි.
අප කරුණු ඉගෙනගෙන, ඒවා මතක තබාගන්නා ආකාරය පැහැදිලි නැති නමුත්, මෙම අවුල නිරාකරණය කිරීමට පර්යේෂකයෝ වෑයම් කරති. ඉගෙනීමේදී මෙන්ම මතක තබාගැනීමේදී මොළයේ ස්නායු සෛල නොහොත් නියුරෝන බිලියන 10 සිට බිලියන 100 දක්වා ප්‍රමාණයක් සම්බන්ධ වන බවට තක්සේරු කර ඇත. එහෙත් නියුරෝන අතර බොහෝ සබඳතා, ඊට වඩා දස දහස් ගුණයකින් වැඩිව තිබේ. එක් මතයක් නම්, භාවිත කරන අතරතුර සම්බන්ධකයන් නොහොත් උපාගම ශක්තිමත් කරනු ලබන විට, ඉගෙනීම සිදු වන බවයි.
අප වැඩෙන විට, මානසික හැකියාව පහත වැටිය හැක; අපේ ප්‍රතික්‍රියා ප්‍රමාද විය හැක. මොළයේ සෛල අලුත්වැඩියා නොවන අතර, වැඩිහිටියන්ගේ සමහර සෛල නිරතුරුවම ක්ෂය වී යයි. එහෙත් අපේ මොළ භාවිත කරන තරමටම, වඩාත් දිගු කාලයක් සඳහා අපට අපේ මානසික හැකියාවන් රැකගත හැක.
අපේ මානසික ආකල්පය මොළයට බලපෑම් කරයි. සර්ව ශුභවාදී, සතුට දනවන ස්වභාවයක් ඕනෑම වියකදී මොළයේ ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කරයි. යම් වෙහෙසක් ප්‍රයෝජනවත් විය හැකි නමුත්, දිගු කලක් පුරා අධික ලෙස වෙහෙසීම මොළයේ කාර්යක්ෂමතාව දුබල කරයි. මානසික පීඩනය මුදාහරිනු වස් උපකාර කිරීමට ශාරීරික ව්‍යායාමයට හැක.
මෙය දිරිගන්වනවා විය හැකි වුවත්, අපේ වයස කුමක් වුවත් අපට තවදුරටත් වැදගත් කාරණා අමතක විය හැක. අපට දියුණු කරගත හැකිද? බොහෝදෙනෙකුට අසීරුතාවක් තිබෙන එක් පාර්ශ්වයක් වනාහි, අපට හමු වන අයගේ නම් මතක තබාගැනීමය.
ජනයාගේ නම් මතක තබාගැනීම
නම් වඩාත් හොඳින් මතක තබාගැනීමට සරල යෝජනා ස්වල්පයක් ඔබට මහත් සේ උපකාරවත් විය හැක. පුද්ගලයා කෙරෙහි උනන්දුවක් දැක්වීම උපකාරයකි. පුද්ගලයෙකුට සිය නම වැදගත්ය. අපට බොහෝවිට මතක තබාගැනීමට නොහැක්කේ මන්දයත්, එය පළමු වරට ඇසුණු විට අප එය හරියට මතකයට නොගත් බැවිනි. එබැවින් හඳුන්වා දුන් විට නම පැහැදිලිව අහගන්න. අවශ්‍ය නම් එය යළි උච්චාරණය කිරීමට හෝ ඊට ඇතුළත් අකුරු පැවසීමට ඉල්ලා සිටින්න. ඔබේ සාකච්ඡාවේදී එය කිහිප වතාවක් භාවිත කරන්න. ඔබ සමුගන්නා විට, පුද්ගලයාව නමින් අමතන්න. මෙම කරුණු ස්වල්පය උපකාරවත් වන ආකාරය දැක ඔබ පුදුම වනු ඇත.
නම් සඳහා ඔබේ මතකය තවදුරටත් වැඩිදියුණු කළ හැකි තවත් යෝජනාවක් වන්නේ, ඔබට ඔබේ මනසෙහි පින්තූරයක් ඇඳගත හැකි යම් දෙයක් සමඟ පුද්ගලයෙකුගේ නම සම්බන්ධ කිරීමය. පින්තූරයට ක්‍රියාත් එකතු කිරීමට ඔබට හැකි නම්, එය වඩාත් උපකාරවත් වනු ඇත.
උදාහරණයක් වශයෙන්, සාමාන්‍යයෙන් හඳුනන කෙනෙකුගේ මුල් නම, එනම් නදුන් යන නම මතක තබාගැනීමට එක් තැනැත්තෙකුට අසීරුතාවක් තිබිණ. එබැවින් ඔහු මේ තැනැත්තා දුටු විට “නදුන්” යන වචනයේ අර්ථයට සමීපව යන “නැදුන් ගස” ගැන මතක තබාගත්තේය. එම තැනැත්තා මෙම නැදුන් ගස් අතරේ සිටගෙන සිටින පින්තූරය ඔහු සිතේ ඇඳගත්තේය. එය සැමවිටම ක්‍රියාත්මක විය; නදුන් යන නම ඉබේම ඔහුගේ මතකයට නැඟිණ.
බොහෝ නම්වල කිසිම අර්ථයක් නොතිබෙනවා විය හැකි බැවින්, නමට සමාන වචනයක් ආදේශ කරගැනීමට ඔබට අවශ්‍ය වනු ඇත. ඔබ ආදේශ කරගන්නා වචනය ඔබේ නමට හරියටම නොගැළපෙනවා නම් වුවත් ප්‍රශ්නයක් නැත. ඔබ සම්බන්ධ කරගත් දෙය මගින් ඔබට නම වඩාත් හොඳින් මතකයට නංවාලීමට හැකි වනු ඇත. ඔබ ඔබේම වචන හා පින්තූර සාදාගන්නා විට, ඇති වන බලපෑම වඩාත් ප්රබලය.
උදාහරණයක් වශයෙන්, ඔබට කාන්ති බුලත්සිංහල මහත්මියව හඳුන්වා දී ඇත. ඔබට ආදේශකයක් වශයෙන් බුලත් වැල යොදාගත හැකියි. සරුවට වැඩී ඇති බුලත් වැලක් සිතේ ඇඳගන්න.
ඔබ යම් කලකට මෙය උද්යෝගයෙන් පුහුණු විය යුතු නමුත්, එය ඇත්තෙන්ම ක්‍රියාත්මක වේ. හෞ ටු ඩිවෙලප් ඒ සුපර්-පවර් මෙමරි යන සිය පොතෙහි හැරි ලොරේන් මෙම ක්‍රමය පැහැදිලි කරන අතර, ජනයා සමඟ ගැවසෙන බොහෝ අවස්ථාවලදී ඔහු එය යොදාගෙන ඇත. ඔහු මෙසේ පවසයි: “බොහෝ අවස්ථාවලදී මට විනාඩි පහළොවකදී හෝ ඊට අඩු කාලයකදී, එක නමක් හෝ අමතක නොකර, සියදෙනෙකු සිට දෙසියදෙනෙකු දක්වා හමුවීමට සිදු වී ඇත!”
ලැයිස්තු මතකයෙහි තබාගන්නා අයුරු
එකිනෙකට සම්බන්ධ නොවන අයිතම ලැයිස්තුවක් මතක තබාගැනීමේ හැකියාව වැඩිදියුණු කරගැනීමට ඔබට හැක්කේ කෙසේද? සම්බන්ධ කිරීමේ ක්‍රමය ලෙසින් හැඳින්වෙන සරල ක්‍රමයක් තිබේ. එය ක්‍රියාත්මක වන්නේ මෙලෙසිනි: ලැයිස්තුවේ සෑම අයිතමක් සඳහාම ඔබ සිතින් රූපයක් මවාගන්නා අතර, ඉන්පසු පළමු අයිතමේ රූපය දෙවන අයිතමේ රූපය සමඟ සම්බන්ධ කරන්න, ඉන්පසු දෙවන හා තුන්වන අයිතම යනාදිය සඳහාද එලෙසම කරන්න.
උදාහරණයක් වශයෙන්, ඔබට සුපිරි වෙළඳසැලෙන් අයිතම පහක් ගැනීමට තිබේ: කිරි, පාන්, විදුලි බල්බයක්, ළූණු සහ අයිස් ක්‍රීම්. කිරි, පාන්වලට සම්බන්ධ කිරීමෙන් පටන්ගන්න. පාන් ගෙඩියකින් කිරි වත් කරනවා සිතේ මවාගන්න. සිනහ පහළ වන චිත්‍රයක් විය හැකි වුවත්, එය ඔබේ මතකයෙහි ඇති අයිතම සිහියට නඟාගැනීමට උපකාරවත් වනු ඇත. එමෙන්ම, ඔබ කිරි වත් කිරීම හා සම්බන්ධව මනසේ මැවූ දර්ශනය තුළට ක්‍රියාව ඇතුළත් කිරීමට වෑයම් කරන්න.
කිරි, පාන් සමඟ සම්බන්ධ කිරීමෙන් පසු, ඊළඟ අයිතම වන විදුලි බල්බය ගැන කල්පනා කරන්න. ඔබ හෝල්ඩරයක් තුළට පාන් ගෙඩියක් දැමීමට වෑයම් කරනවා සිතේ මවාගැනීමෙන් ඔබට පාන් ගෙඩිය, බල්බය සමඟ සම්බන්ධ කළ හැක. ඉන්පසු ඔබ ලොකු විදුලි බල්බයක පොතු අරිමින් අඬන ආකාරය සිතේ මවාගැනීමෙන් විදුලි බල්බය ළූණු ගෙඩියට සම්බන්ධ කරන්න. සැබවින්ම, සම්බන්ධ කිරීම ඔබම කරනවා නම් වඩාත් සුදුසුය. අන්තිම අයිතම වන ළූණු හා අයිස් ක්‍රීම් අතර සම්බන්ධයක් ඇති කිරීමට ඔබට හැකිද? ඔබ ළූණු අයිස්ක්‍රීම් කනවා සිතේ මවාගැනීමට ඔබට හැක!
ඔබට ලැයිස්තුව මතකයට නඟාගත හැකිදැයි බලන්න. ඉන්පසු ඔබේම ලැයිස්තුවක් සමඟ ඔබේ මතකය පරීක්ෂා කර බලන්න. ඔබට ඕනෑතරම් දීර්ඝ ලෙස ලැයිස්තුව සාදාගන්න. සම්බන්ධය වැඩියෙන් මතකයේ සිටින ලෙසින් එය සාදාගැනීමට, ඔබට එය හාස්‍යජනක නැතහොත් විහිළුවක් හෝ අසමාන එකක් ලෙසින් පවා සාදාගත හැකි බව මතක තබාගන්න. චිත්‍රය තුළට ක්‍රියාව දැමීමට වෑයම් කරන්න, එමෙන්ම එක් අයිතමක් තවත් එකකට ආදේශ කරන්න.
මෙම ක්‍රමය හුදෙක් ලැයිස්තුව කටපාඩම් කරගන්නවාට වඩා වැඩි කාලයක් ගන්නවායයි කියා ඇතැමෙකු අකමැත්ත පළ කළ හැක. කෙසේවුවද, මෙය යොදාගන්නවාට වඩා විස්තර කිරීමට වැඩි කාලයක් ගත වේ. යම් පුහුණු වීමක් ලද පසු, ඔබ විගස සම්බන්ධය සාදාගනු ඇති අතර, සම්බන්ධ කිරීමේ ක්‍රමයක් නොමැතිව ඉගෙනීමට ඔබ වෑයම් කරද්දී යන වේගයට වඩා, ඔබේ මතකය මෙන්ම ඉගෙනගැනීමේ වේගය වැඩි වනු ඇත. ක්‍රමයක් යොදා නොගෙන මිශ්‍ර අයිතම 15ක ලැයිස්තුවක් මතක තබාගැනීමට 15දෙනෙකුට පවසා සිටි විට ඔවුන්ගේ සාමාන්‍ය ගණන 8.5 විය. වෙනත් ලැයිස්තුවක් භාවිත කොට, මනසේ චිත්‍ර ඇඳගනිමින් සම්බන්ධ කිරීමේ ක්‍රමය යොදාගත් විට, එම කණ්ඩායමේම සාමාන්‍ය ගණන 14.3ක් විය. සැබවින්, ඔබ බඩු ගැනීමට යන විට මේ අයිතම ලැයිස්තුව ලියාගෙන යෑමට මතක තබාගන්නවා නම්, ඔබේ සාමාන්‍ය ගණන 15ක් එනම් සියයට 100ක් වනු ඇත!
ඔබ කියවන දේ මතක තබාගැනීම
තොරතුරු වැඩි වෙමින් පවතින මෙම යුගයේ අපගෙන් වැඩිදෙනෙකුට උපකාර අවශ්‍ය තවත් පාර්ශ්වයකි, දක්ෂ ලෙස අධ්‍යයනය කිරීම. පාසැලේදී, ව්‍යාපාරයේදී, පෞද්ගලික වැඩිදියුණුව සඳහා මෙන්ම ප්‍රසිද්ධියේ කතා කිරීමට සූදානම් වීමේදී අධ්‍යයනය අත්‍යවශ්‍යය. ඊට අමතරව, ක්‍රිස්තියානියෙකු පෞද්ගලික බයිබල් පාඩම සඳහා කාලය වෙන් කළ යුතුය.—යොහන් 17:3.
‘එහෙත් මා අධ්‍යයනය කර තිබෙන දේ මතක තබාගැනීමේදී මට අසීරුතාවක් තියෙනවා,’ යයි ඔබ පැවසිය හැක. කළ හැක්කේ කුමක්ද? ඔබේ අධ්‍යයන කාලයෙන් ඵල නෙළීමට ඉගෙනීම, ඔබ කියවන දේ මතක තබාගැනීමට ඔබට උපකාර කළ හැක. මෙන්න යෝජනා කිහිපයක්.
ඔබ අධ්‍යයනය කරන විට, පෞද්ගලික සංවිධානය වැදගත් වේ. පොත් පත්, පෑන් පැන්සල් හා කඩදාසි පහසුවෙන් ලබාගත හැකි තැනක තබාගන්න. බාධාවන් අඩු, ප්‍රමාණවත් ආලෝකයක් ඇති ප්‍රසන්න තැනක පාඩම් කිරීමට වෑයම් කරන්න. ගුවන්විදුලි යන්ත්‍රය හා රූපවාහිනිය නිවා දමන්න.
පාඩම් කිරීම සඳහා ස්ථිර වේලාවක් තබාගන්න. ඇතමුන්ට, එක දිගටම බොහෝ වේලාවක් ගත කරනවාට වඩා සෑම දිනකම කෙටි කාලවල් තුළ පාඩම් කිරීම වඩාත් ඵලදායී විය හැක. ඔබේ කාලය කොටස්වලට බෙදාගැනීම සුදුසුය. නොනවත්වා පැය දෙකක් පුරා පාඩම් කරනවා වෙනුවට, අතරින්පතර විනාඩි කිහිපයක කෙටි විවේකයන් ගනිමින්, කාලය විනාඩි 25 සිට 40හේ කාලවලට වෙන් කිරීම සුදුසු විය හැක. මෙය මතකයේ වේගය වැඩි කිරීමට දායක වන බව පර්යේෂණ මගින් පෙන්වා ඇත.
ඔබ අධ්‍යයනය කරන කාලය තුළ ඔබට සලකා බැලීමට වුවමනා කුමන කරුණුදැයි තීරණය කරගන්න. මෙය සිත යොමු කර තබාගැනීමට ආධාර වේ. පොතක් කියවීමට පටන්ගැනීමට පෙර, එය කලින් සෝදිසි කර බැලීමට විනාඩි කිහිපයක් ගන්න. තේමාව දෙස බලන්න. පොත සංක්ෂිප්ත කොට දක්වන පටුන සෝදිසි කර බලන්න. ඉන්පසු පෙරවදන හෝ හැඳින්වීම කියවන්න. එහි කර්තෘගේ ඉලක්කය හා දෘෂ්ටිකෝණය සඳහන් කර තිබිය හැක.
පරිච්ඡේදයක් කියවීමට පටන්ගැනීමට පෙර, එය කලින් සෝදිසි කර බලන්න. උපමාතෘකා, උපහැරණ, සටහන්, සාරාංශ මෙන්ම මුල සහ අග ඡේද දෙස බලන්න. සෑම ඡේදයකම පළමු වාක්‍යය උඩින්පල්ලෙන් බලන්න. මෙම වාක්‍යවල බොහෝවිට හේතු දැක්වීමේ ප්‍රධාන කරුණු අඩංගුය. එහි සමස්ත අදහස වටහාගන්න. ඔබෙන්ම මෙසේ අසන්න: ‘ලේඛකයා ඔප්පු කරන්ට අදහස් කළේ කුමක්ද? මෙම කරුණුවලින් මට ලබාගත හැක්කේ කුමක්ද? ප්‍රධාන තර්කයන් මොනවාද?’
සිත යොමු කර තබාගැනීම වැදගත්ය. ඔබ මුළුමනින්ම ඊට යොමුව සිටිය යුතුය. රහස නම්, ඔබේ අධ්‍යයන කාලය හැකි තරම් ක්‍රියාශීලී තත්වයක තබාගැනීමය. කරුණුවල ප්‍රායෝගික පැති සලකාබැලීම මගින් උද්යෝගය පුබුදුවා තබාගන්න. මනසේ චිත්‍ර ඇඳගන්න. ඔබ කියවන තොරතුරු අදාළ වන්නේ ගඳ සුවඳ, රස සහ ස්පර්ශය සම්බන්ධයෙන් නම්, එය සිතේ මවාගනිමින්, සංවේද ඉන්ද්‍රීන් භාවිත කරන්න.
ඔබට තොරතුරුවල අර්ථය තේරෙන විට, ඔබ සටහන් ගැනීමට සූදානම්ව සිටියි. දක්ෂ සටහන් ගැනීම මගින් කරුණු සම්බන්ධයෙන් ඔබේ අවබෝධය හා මතකය වේගවත් කරනු ලැබිය හැක. සටහන් සම්පූර්ණ වාක්‍යයන් වීමට අවශ්‍ය නැති මුත්, එය ඔබට ප්‍රධාන අදහස මතක් කරගැනීමට ආධාර වන ප්‍රධාන වචන හෝ වාක්‍ය ඛණ්ඩයන් විය යුතුය.
කරුණු අවබෝධ වීම යන්නෙන්, එහි සියල්ල අනාගතයේදී ඔබට මතකයට නංවාගන්ට හැකි වන බව අදහස් නොවේ. සත්‍යය නම් ඉගෙනගෙන පැය 24ක් තුළදී, කරුණුවලින් සියයට 80ක් පමණ අඩුම තරමින් තාවකාලිකව හෝ අමතක වී යා හැකි වීමයි. එය අධෛර්යය කරවන්නක් වන නමුත්, කරුණු යළි මතක් කිරීම මගින් එම සියයට 80න් සමහරක් හෝ වැඩි ප්‍රමාණයක් යළි ලබාගත හැක. සෑම අධ්‍යයන සැසිවාරයකින් පසුව, විනාඩි කිහිපයකට පුනරීක්ෂණය කරන්න. හැකි නම් දිනකට පසුව, ඊළඟට සතියකට පසුව, ඉනික්බිතිව මාසයකට පසුව පුනරීක්ෂණය කරන්න. ඔබේ වටිනා අධ්‍යයන කාලයෙන් උපරිමය ලබාගැනීමට හා ඔබ කියවා ඇති දෙය මතක තබාගැනීමට, මෙම කරුණු අදාළ කරගැනීම ඔබට උපකාරයක් විය හැක.
එබැවින් ඔබේ මොළය අඩුවෙන් තක්සේරු නොකරන්න. දේවල් මතක තබාගැනීමට ඇති ඔබේ හැකියාව වැඩිදියුණු කළ හැක. “අපේ විශ්වයේ අප මෙතෙක් සොයාගෙන තිබෙන වඩාත් සංකීර්ණ දෙය” වශයෙන් විද්‍යාඥයෙක් මොළය වෙත යොමුදැක්වීය. ප්‍රශංසාව හිමි විය යුත්තේ ගරුබිය දනවන ප්‍රඥාව හා බලය සතු එහි මැවුම්කරුවාණන් වන යෙහෝවඃවහන්සේටය.—ගීතාවලිය 139:14.
[15වන පිටුවේ රූප සටහන]
ලැයිස්තු මතක තබාගැනීමට, සම්බන්ධ කිරීමේ ක්‍රමය යොදාගන්න: සෑම අයිතමකටම මනසේ චිත්‍රයක් මවාගන්න. ඉන්පසු පළමු රූපය සමඟ දෙවන එකද, එලෙසම ඉන්පසු අනෙක් ඒවාද සම්බන්ධ කරන්න
බඩු ලැයිස්තුව:
1. කිරි 1 සහ 2 සම්බන්ධ කර
2. පාන් 2 සහ 3 සම්බන්ධ කර
3. විදුලි බල්බය 3 සහ 4 සම්බන්ධ කර
4. ළූණු 4 සහ 5 සම්බන්ධ කර
5. අයිස් ක්‍රීම්