හතරවන පරිච්ඡේදය
ඔබ මොනතරම් අද්විතීයද!
සෑම උදෑසනකම ඔබේ වැඩකටයුතු ආරම්භ කරන්න කලින්, ඔබේ පෙනුම කෙසේද කියා ඔබ කැඩපතකින් බලාගන්නවාද? ඒ අවස්ථාවේදී යම් යම් දේවල් ගැඹුරින් කල්පනා කර බලන්න තරම් කාලයක් ඔබට නැති වෙන්න පුළුවන්. එනමුත් සිතා බැලීමකින් තොරව, ක්ෂණිකව කරන එවැනි ක්‍රියාවකට කොයිතරම් දේවල් ඇතුළත් වෙනවාද කියා සලකා බැලීමට දැන් මොහොතක් ගන්න. එය ඔබව විස්මයට පත් කරාවි.
ජීවිතය සඳහා අත්‍යවශ්‍ය නොවුවත්, හැම වර්ණයකින්ම ඔබව දැකබලා ගැනීමේ හැකියාව ඔබේ ඇස් ඔබට ලබා දෙනවා. ඔබේ කන්වල පිහිටීම ත්‍රිමාන ශාබ්දික ශ්‍රවණයක් ලබා දෙයි; මේ අනුව ප්‍රේම කරන යමෙකුගේ කටහඬ වැනි ශබ්දයන් පැමිණෙන දිශාව නිශ්චය කරගන්න ඔබට පුළුවන්. අප එය එතරම් වැදගත් යමක් සේ ගණන් නොගැනීමට ඉඩ තිබුණත්, ශ්‍රව්‍ය ඉන්ජිනේරුවන් සඳහා වන පොතක් මෙසේ අදහස් පළ කරයි: “මිනිස් ශ්‍රවණ පද්ධතිය ඕනෑම කෝණයකින් සලකා බලද්දී, එහි සියුමැළි ක්රියාකාරිත්වයන් මෙන්ම ව්‍යූහයන්වල නිර්මාණයට යම් හිතකර මැදිහත් වීමක් සම්බන්ධ වෙනවා යන නිගමනයට පිටුපෑම අමාරුයි.”
ඔබේ නාසයටත් අරුම පුදුම නිර්මාණයක් හිමියි. එමගින් ඔබේ දිවිය රැකගන්නා වාතය ආශ්වාස කිරීමට ඔබට පුළුවන්. සංවේද ප්‍රතිග්‍රාහක දශලක්ෂ ගණනකිනුත් සන්නද්ධ වී ඇති බැවින්, විවිධාකාර ගඳ සුවඳ වර්ග 10,000ක්ම හඳුනාගැනීමේ හැකියාව ඔබ සතුයි. ආහාරයක රස භුක්ති විඳිද්දී, තවත් සංවේදයක් ක්‍රියාත්මක වෙයි. රසාංකුර දහස් ගණනක් ඔබට විවිධාකාර රසයන් ලබා දෙයි. තවද ඔබේ දිවේ තිබෙන වෙනත් ප්‍රතිග්‍රාහක ඔබට හැකියාවක් ලබා දෙනවා ඔබේ දත් පිරිසිදුද නැද්ද කියා වටහාගන්න.
ඔව්, දෘෂ්ටිය, ශ්‍රවණය, ගඳ සුවඳ, රස සහ ස්පර්ශය යන පංච ඉන්ද්රියයන් ඔබට තිබෙනවා. රාත්රියේදී වඩාත් හොඳ දෘෂ්ටියකුත්, වඩාත් සංවේදී ගඳ සුවඳ දැනීමේ හැකියාවකුත්, වඩාත් තියුණු ශ්‍රවණ හැකියාවකුත් ඇතැම් සතුන්ට තිබෙන බව ඇත්තයි. එනමුත් මිනිසා මෙම ඉන්ද්රියයන් පහම සමබරව භුක්ති විඳින බැවින්, ඔහුට බොහෝ ආකාරවලින් තම විශිෂ්ටත්වය පෙන්නුම් කිරීමට ඉඩ සලසයි.
කෙසේවෙතත්, මෙම හැකියාවන්ගෙන් අපට ප්‍රයෝජන ලැබිය හැක්කේ මන්ද කියා සලකා බලමු. මේ සියල්ලක්ම රඳා පවතින්නේ අපේ හිස් කබල ඇතුළේ තිබෙන කිලෝග්‍රෑම් 1.4ක බරකින් යුත් ඉන්ද්‍රියක් මතයි. ඒ තමයි අපේ මොළය. සතුන්ට ක්‍රියාත්මක වන මොළයක් තිබෙනවා. කෙසේවෙතත්, මිනිස් මොළය අසමසමයි. එමනිසා අප අද්විතීයයි කියා අවිවාදයෙන් පැවසිය හැකියි. ඒ කෙසේද? තවද අර්ථවත්, කල්පවතින ජීවිතයක් භුක්ති විඳීම සඳහා අපට තිබෙන උනන්දුවට මෙම අද්විතීයභාවය සම්බන්ධ වන්නේ කෙසේද?
ඔබේ අරුම පුදුම මොළය
සෑහෙන කාලයක් පුරා මිනිස් මොළය පරිගණකයකට සමාන කර තිබුණත්, මෑතකාලීන සොයාගැනීම්වලින් පෙනී යන්නේ එම සැසඳීමෙහි සෑහෙන අඩුවක් තිබෙන බවයි. වෛද්‍ය රිචඩ් රෙස්ටැක් මෙසේ ඇසුවා: “සමස්තයක් වශයෙන් තත්පරයකට ආවේග සියකෝටි කෝටියක් පිට කරන උපාගම (සම්බන්ධක) සියකෝටි දශලක්ෂයක් සහිත නියුරෝන සියකෝටි 50කින් සමන්විත ඉන්ද්‍රියක ක්‍රියාකාරිත්වයේ අල්ප මාත්‍රයක්වත් යමෙක් තේරුම්ගන්නේ කෙසේද?” ඔහුගේ උත්තරය? “වඩාත්ම දියුණු ස්නායු බඳු ජාලීය පරිගණකයක ක්‍රියාකාරිත්වය සැසඳිය හැක්කේ . . . ගෙමැස්සෙකුගේ මානසික හැකියාවෙන් දසදහසෙන් එකකට පමණයි.” එසේනම්, පුදුම දනවන අන්දමකින් ඊටත් වඩා ශ්‍රේෂ්ඨ වූ මිනිස් මොළයකට වඩා පරිගණකයක් කොතරම් බාලද කියා සලකා බලන්න.
මිනිසා නිපදවා තිබෙන එකම පරිගණකයකටවත් හැකියාවක් තිබෙනවාද ස්වයංක්‍රීයව අලුත්වැඩියා වී, එහි ක්‍රමලේඛය නැවත ලිවීමට හෝ ගත වන කාලයත් සමඟ තවත් දියුණු වීමට? පරිගණක පද්ධතියක් සකස් කරන විට, අලුත් ක්‍රමලේඛ උපදේශ ලියා ඇතුල් කිරීමට ක්‍රමලේඛකයෙක් අවශ්‍යයි. අපේ මොළය අපේ ජීවිතයේ ළාබාල වියේ මෙන්ම මහලු වියේදීද එවන් කාර්යයන් ස්වයංක්‍රීයව සිදු කරනවා. මොළය හා සසඳද්දී තිබෙන සුපිරි පරිගණක පවා අතිශයින් බාලයි කියා පැවසුවොත්, එය අතිශයෝක්තියක් නොවේ. විද්‍යාඥයන් මොළය “මෙතෙක් දන්නා සංකීර්ණම ව්‍යූහය” සහ “විශ්වයේ පවතින සංකීර්ණම වස්තුව” හැටියට හඳුන්වා තිබෙනවා. මිනිස් මොළය සැලකිලිමත් මැවුම්කරුවෙකුගේ නිපැයුමක් බව නිගමනය කිරීමට බොහෝදෙනෙකුට හේතුපාදක වී ඇති සොයාගැනීම් සමහරක් දැන් සලකා බලමු.
පාවිච්චියට ගන්න නැත්නම් අහිමි කරගන්න
මෝටර් රථ සහ ජෙට් යානා වැනි ප්‍රයෝජනදායක යන්ත්‍ර, මිනිසුන් නිර්මාණය කොට සවි කරන ස්ථාවර යාන්ත්‍රික සහ විදුලි පද්ධතීන් මගින් සාමාන්‍යයෙන් සීමා වී තිබෙනවා. ඊට වෙනස්ව, අපේ මොළය අඩුම තරමින් ගත් කල බෙහෙවින් සමර්ථකමින් වැඩි ජෛව පද්ධතියක් ලෙස හැඳින්වූවොත් නිවැරදියි. එය පාවිච්චියට හෝ අනිසි භාවිතයට ගන්නා ආකාරය අනුව දිගටම වෙනස් වෙමින් පැවතිය හැකියි. අපේ මොළය අපේ ජීවිත කාලය පුරාම වර්ධනය වන ආකාරය ගත් කල, සාධක දෙකක් ඊට සම්බන්ධ බව පැවසිය හැකියි. එනම්, අපේ සංවේදී ඉන්ද්රියයන් තුළින් අප උරාගන්නා දේවල් සහ අප කල්පනා කිරීමට තෝරාගන්නා දේවල්.
මානසික ක්‍රියාකාරිත්වයට පරම්පරාවෙන් පරම්පරාවට බලපාන සාධක ඇතැම්විට බලපෑවත්, අපව පිළිසිඳගත් අවස්ථාවේදී අපේ මොළයේ අවසාන ධාරිතාවද එහි ක්‍රියාකාරිත්වයද අපේ ප්රවේණි මගින් සීමා කර නැහැ. පුලිට්සර් ත්‍යාගය දිනූ කර්තෘ රොනල්ඩ් කෝට්යූලක් මෙසේ ලියයි: “වර්තමානයේදී විද්‍යාව තුළින් අනාවරණය වී ඇති තරමටම මොළය වෙනස්වනසුලුයි කියා කිසිවෙක් මින් පෙර කවදාකවත් විශ්වාස කළේ නැහැ.” පර්යේෂකයන් 300කට වැඩි පිරිසක් සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීමෙන් පසු ඔහු නිගමනය කළේ, “මොළය එක සේ පවතින ඉන්ද්‍රියක් නොවන” බවයි. “එය අද්දැකීම්වලට අනුව බෙහෙවින් සකස් වෙන, නිරන්තර වෙනස් වීම්වලට භාජන වන සෛල සම්බන්ධයන් රාශියකින් සමන්විත ඉන්ද්‍රියකි.”—මොළයේ ඇතුල් පැත්ත, ඉංග්‍රීසියෙන්.
කෙසේවෙතත්, අපේ මොළය සකස් කිරීමට තිබෙන එකම මඟ අපේ අද්දැකීම් නොවේ. අපේ චින්තනයද එයට බලපෑම් කරයි. මානසික ලෙස උදාසීනව සිටින අයගේ මොළයන්ට වඩා, මානසික ලෙස ක්‍රියාශීලීව සිටින පුද්ගලයන්ගේ මොළයන්ට ස්නායු සෛල (නියුරෝන) අතර ඇති සම්බන්ධක (උපාගම), සියයට 40කින් වැඩි බව විද්‍යාඥයන්ගේ සොයාගැනීම්වලින් පෙනී යයි. ස්නායු විද්‍යාඥයන්ගේ නිගමනය මෙයයි: එය පාවිච්චියට ගන්න, නැත්නම් අහිමි කරගන්න. කෙසේවෙතත්, වයෝවෘද්ධ අය ගැන පැවසිය හැක්කේ කුමක්ද? පුද්ගලයෙක් වයසට යද්දී, මොළයේ සෛල යම්දුරකට අඩු වී යන බව පෙනෙන අතර, මහලු වියට පා තැබීම නිසා මතක ශක්තිය නැති වී යා හැකියි. එනමුත්, කලින් සිතූ තරමට, ඒ වෙනස එතරම් කැපීපෙනෙන්නක් නොවේ. මිනිස් මොළය පිළිබඳ නැෂනල් ජියෝග්රැෆික් සඟරාවේ කළ වාර්තාවක මෙසේ පළ වුණා: “මානසික වශයෙන් ක්‍රියාශීලී වීම තුළින් අලුත් සම්බන්ධක උත්පාදනය කිරීමටත්, පරණ ඒවා පවත්වාගෙන යෑමටත් ඇති හැකියාව . . . මහලු අය විසින් පවත්වාගෙන යනවා.”
අපේ මොළයේ නම්යසුලුභාවය සම්බන්ධයෙන් මෑතක කර ඇති සොයාගැනීම් බයිබලයෙහි තිබෙන උපදෙස් සමඟද එකඟයි. එම ප්රඥාපූර්ණ ග්‍රන්ථය එහි පාඨකයන්ට දිරිගන්වන්නේ, මනසට ගන්නා “ඒකාන්ත දැනුම” තුළින් ‘ඔවුන්ගේ මනස් යළි සකස් කිරීමෙන් පරිවර්තනය කරනු ලබන්න’ හෝ ‘අලුත් කරනු ලබන්න’ කියායි. (රෝම 12:2; කොලොස්සි 3:10; NW) ජනයා බයිබලය අධ්‍යයනය කොට, එහි උපදෙස් අදාළ කරගන්නා විට, මෙය සිදු වන ආකාරය යෙහෝවාගේ සාක්ෂිකරුවන් නිරීක්ෂණය කර තිබෙනවා. නානාවිධ සමාජීය සහ අධ්‍යාපන පසුබිම්වලින් පැමිණෙන දහස් සංඛ්‍යාතයක් එසේ කර තිබෙනවා. ඔවුන් තම පෞද්ගලික අනන්‍යතාව රැකගත්තද, පළමු සියවසේ ලේඛකයෙක් විස්තර කරන “මනසින් තැන්පත්බව” විදහාපෙන්වන නිසා, ඔවුන් තම ජීවිත තුළ වැඩි සන්තෝෂයක් අද්දකින අතර, වඩාත් සමබර පුද්ගලයන් වී තිබෙනවා. (ක්‍රියා 26:24, 25, NW) මෙලෙස දියුණු වීමට තිබෙන හැකියාව බොහෝදුරට හිස් කබල ඇතුළේ ඉදිරිපසට වෙන්න පිහිටා ඇති මස්තිෂ්ක බාහිකයේ කොටසක් හොඳින් භාවිත කිරීමේ ප්රතිඵලයකි.
ඔබේ ලලාට ඛණ්ඩිකාව
මස්තිෂ්ක බාහිකය යනුවෙන් හැඳින්වෙන මොළයේ බාහිර ස්තරයේ නියුරෝන වැඩි හරියක්ම පේශීන් සහ සංවේද ඉන්ද්‍රියයන්වලට ඍජුවම සම්බන්ධ වී නැහැ. නිදසුනකට, ලලාට ඛණ්ඩිකාව සාදන නියුරෝන සියකෝටි ගණන සලකා බලන්න. (56වන පිටුවේ රූපසටහන බලන්න.) ඔබ වචනයක් ගැන සිතන විට හෝ අතීත සිදුවීමක් මතකයට නංවන විට, ලලාට ඛණ්ඩිකාව සක්‍රීය වන බව මොළය හා සම්බන්ධව කර ඇති සියුම් පරීක්ෂණවලින් ඔප්පු වෙනවා. මොළයේ ඉදිරිපස කොටස ඔබට අද්විතීයබවක් ගෙන ඒමට විශේෂ කාර්යභාරයක් දරනවා.
“පුරෝලලාට බාහිකය . . . සිතුවිලිවල, බුද්ධියේ, චේතනාවල සහ පෞද්ගලිකත්වයේ ප්‍රවර්ධනයට බෙහෙවින් සම්බන්ධයි. පැහැදිලි ස්වරූපයක් දිය නොහැකි අදහස් ජනිත කරවීමට, හොඳ විනිශ්චයක් දීමට, උත්සාහවන්තකම දැක්වීමට, සැලසුම් කිරීමට, අනුන් සඳහා සැලකිල්ල දැක්වීමට සහ හෘදය සාක්ෂිය ක්‍රියාත්මක වීමට අවශ්‍ය කරවන අද්දැකීම් එමගින් සම්බන්ධ කරනු ලබනවා. . . . මොළයේ මෙම කොටස මෙයාකාරයෙන් ප්‍රවර්ධනය වීම මනුෂ්‍යයන් සහ වෙනත් සතුන් අතර ඇති ඉමහත් පරතරයට ප්‍රධාන හේතුවක්.” (මැරියබ්ගේ මානව ව්‍යූහ විද්‍යාව සහ භෞතවේදය) මූලිකව පුරෝලලාට බාහිකයේ භාවිතය අවශ්‍ය කරවන, ගණිත, දාර්ශනික සහ නීතික ක්ෂේත්රයෙහි මනුෂ්‍යයන් අත් කරගෙන ඇති සමර්ථයන් දෙස බලද්දී, මෙම පරතරය පිළිබඳව සාක්ෂි අපට ප්රත්යක්ෂ වෙනවා.
මෙම ක්ෂේත්රයේදී සත්වයන්ට ඉතා ප්‍රාථමික හෝ නොපවතින තරම් වූ ක්‍රියාකාරිත්වයක් තිබුණත්, වඩා උත්කෘෂ්ට මානසික ක්රියාකාරිත්වයන්ට දායක වන විශාල නම්‍යසුලු පුරෝලලාට බාහිකයක් මනුෂ්‍යයන්ට ඇත්තේ මන්ද? මෙම පුරෝලලාට බාහිකයන් දෙක අතර ඇති පරතරය කොතරම් විශාලද කිවහොත්, “මොළයේ ප්‍රමාණයෙන් පුදුමාකාර ප්රසාරණයක් සිදු වූ” බව, අප පරිණාමයෙන් බිහි වූවායයි කියා සිටින ජීව විද්‍යාඥයන් පවසනවා. අපේ මස්තිෂ්ක බාහිකයේ අරුම පුදුම ප්‍රසාරණය සැලකිල්ලට ගනිමින්, ජීව විද්‍යාඥ මහාචාර්ය රිචඩ් එෆ්. ටොම්සන් මෙසේ පිළිගනී: “මෙහෙම සිදු වුණේ ඇයි කියා අපට තවමත් පැහැදිලි අවබෝධයක් නැහැ.” මොළයේ මෙවන් අසහාය වූ ධාරිතාවක් සමඟින් මිනිසාව මැවීම මෙයට හේතුව විය නොහැකිද?
සම කළ නොහැකි සන්නිවේදන කුසලතා
අපේ අද්විතීයභාවයට මොළයේ වෙනත් කොටස්ද දායක වෙනවා. අපේ පුරෝලලාට බාහිකය පිටුපස, මොළයේ මතුපිට දිවයන තීරයක් වන චලන බාහිකය පිහිටා තිබෙනවා. අපේ පේශීන් සමඟ සම්බන්ධ වන නියුරෝන සියකෝටි ගණනක් එහි අන්තර්ගතයි. වානරයන් හෝ වෙනත් සතුන්ට වඩා අප බෙහෙවින් වෙනස් වීමට සලස්වන අංග ලක්ෂණ එයටත් තිබෙනවා. “(1) ඉමහත් දක්ෂතාවක් අවශ්‍ය කරවන කාර්යයන් කිරීමට අත, ඇඟිලි සහ මහපටැඟිල්ල භාවිත කිරීමේ සහ (2) කතා කිරීමට මුඛය, තොල්, දිව සහ මුහුණේ පේශීන් භාවිතා කිරීමේ කැපීපෙනෙන හැකියාවක්” ප්‍රාථමික චලන බාහිකයෙන් අපට ලබා දෙනවා.—ගයිටන්ගේ වෛද්‍ය භෞතවේද අත්පොත, ඉංග්‍රීසියෙන්.
චලන බාහිකය ඔබේ කතා කිරීමේ හැකියාවට බලපාන අන්දම ලුහුඬින් සලකා බලමු. ඉන් අඩකට වැඩි ප්‍රමාණයක් වැය වන්නේ සන්නිවේදන ඉන්ද්රියයන් පාලනය කිරීමටයි. මනුෂ්‍යයන්ගේ සැසඳිය නොහැකි කතා කිරීමේ කුසලතාව පැහැදිලි කිරීමට මෙය උපකාරයක් වෙනවා. සන්නිවේදනයේදී (ලිවීමට, සාමාන්‍ය අභිනයට හෝ සංඥා භාෂාවට) අපේ අත්වලින් යම් කාර්යයක් ඉටු වුවත්, ප්‍රධාන වැඩ කොටස භාර වී ඇත්තේ මුඛයටයි. ළදරුවෙකුගේ මුල්ම වචනය හෝ වේවා වයසක කෙනෙකුගේ කතාව හෝ වේවා, කතා කිරීමට මනුෂ්‍යයන් සතු හැකියාව අරුමයක් බව අවිවාදයෙන් නම් කළ හැකියි. අනේකවිධ ශබ්දයන් නිපදවීමට, දිවේ, තොල්වල, හක්කේ, උගුරේ සහ පපුවේ පේශී 100ක් පමණ සහයෝගයෙන් ක්‍රියා කරනවා. මෙම වෙනස සැලකිල්ලට ගන්න: “මලල ක්‍රීඩකයෙකුගේ බත් කෙණ්ඩයේ තන්තු 2,000ක් මෙහෙයවීමට මොළයේ එක සෛලයකට හැකියාවක් තිබුණත්, ස්වරාලයේ තන්තු ගත් කල, ඉන් 2කට හෝ 3කට මොළයේ එක සෛලයක් බැගින් යොදාගැනේ. අපේ මොළය විශේෂයෙන්ම සන්නද්ධ වී තිබෙන්නේ සන්නිවේදනය සඳහා බව මින් අදහස් කරන්නේ නැද්ද?
ඔබේ මුඛයෙන් පිට වන සෑම කෙටි වාක්‍ය ඛණ්ඩයක්ම සුවිශේෂ රටාවක් අනුගමනය කරන පේශීන්වල චලනයක් මත රඳා පවතිනවා. එක් ප්‍රකාශයක සම්පූර්ණ තේරුම, පේශීන් රාශියක් චලනය වන ආකාරය අනුවද, නිමේෂයක් ඇතුළත ඒවායේ චලනය වීම්වල විෂමතා අනුවද වෙනස් විය හැකියි. “අප සාමාන්‍යයෙන් තත්පරයකට ශබ්ද 14ක් පමණ පහසුවෙන් පිට කරනවා” යයි භාෂණ ප්‍රවීණ වෛද්‍ය විලියම් එච්. ප’කින්ස් පැහැදිලි කරයි. “ඒ කියන්නේ, වෙනත් හේතූන් සඳහා, අපේ දිව, තොල්, හක්ක හෝ අපේ භාෂණ යන්ත්‍රයේ වෙනත් ඕනෑම අංගයක් චලනය කරද්දී, ඒවා මෙහෙයවීමට හැකි වේගය මෙන් දෙගුණයකි. එනමුත් භාෂණය සඳහා ඒවා එකට එකතු කළොත්, නිපුණ යතුරු ලියන්නන් සහ පියානෝ වාදකයන්ගේ ඇඟිලි ක්‍රියාත්මක වන්නාක් මෙන් ඒවා ක්‍රියාත්මක වෙනවා. ඒවා චලනය වන අන්දම ගත් කල, මනා ලෙස ගැළපෙන සම්භාව්‍ය සංගීත කෘතියක් බඳුයි.”
“අද ඔයාට කොහොමද?” යන සරල ප්රශ්නය ඇසීමට අවශ්‍ය නිශ්චිත දත්ත බ්රොකාගේ ප්‍රදේශය කියා හැඳින්වෙන ඔබේ මොළයේ ලලාට ඛණ්ඩිකාවේ කොටසක ගබඩා කෙරේ. සමහරුන් එය සලකන්නේ ඔබේ භාෂණ මධ්‍යස්ථානය ලෙසයි. නොබෙල් ත්‍යාගලාභී ස්නායු විද්‍යාඥ ශ්‍රීමත් ජොන් එකල්ස් මෙසේ ලිව්වා: “බ්රොකා නමැති භාෂණ ප්‍රදේශයට අනුරූප . . . කිසිදු ප්‍රදේශයක් වානරයන් තුළ ඇති බව හඳුනාගෙන නැහැ.” ඉදිරියේදී ඒ හා සමාන ප්‍රදේශ සත්වයන් තුළ සොයාගත්තද, වානරයන්ට ඉතා සරල වූ භාෂණ ශබ්ද අතළොස්සක් හැර වෙනත් භාෂණයක් ඉගැන්වීමට විද්‍යාඥයන්ට දැනට බැරි වී තිබීම යථාර්ථය ලෙස පිළිගත යුතුයි. එනමුත්, ඔබට ඉතා සංකීර්ණ භාෂාවක් කතා කළ හැකියි. එසේ කිරීමට, ඔබ ඔබේ භාෂාවේ ව්‍යාකරණයට අනුව වචන එකට හසුරුවනවා. කතාවේදීත්, ලිවීමේදීත් එසේ කිරීමට බ්රොකාගේ ප්‍රදේශය ඔබට උපකාරවත් වෙනවා.
ඇත්තෙන්ම, ඔබ අඩුම තරමින් එක භාෂාවක්වත් දැන එහි වචනවල තේරුම දැනගත්තොත් මිසක, භාෂණය නමැති ආශ්චර්යය ක්‍රියාත්මක කළ නොහැකි බව අමුතුවෙන් කිව යුතු නැහැ. ව’නිකගේ ප්‍රදේශය කියා හැඳින්වෙන ඔබේ මොළයේ විශේෂ වූ තවත් කොටසක් මීට ඇතුළත් වෙනවා. මෙතැන, නියුරෝන සියකෝටි ගණනක්, කතා කරන හෝ ලියනු ලබන වචනවල තේරුම නිශ්චය කරගන්නවා. කරන ප්‍රකාශයන්වල අදහස අවබෝධ කරගැනීමටත්, අසන හෝ කියවන දේ වටහාගැනීමටත් ව’නිකගේ ප්‍රදේශය ඔබට උපකාර කරයි; මේ තොරතුරු ඉගෙනගත හැකි ඔබට, ඥානවන්තව ප්‍රතිචාරය දැක්විය හැකියි.
ව්‍යක්ත ලෙස කතා කිරීමට ඊට වඩා සංකීර්ණ සාධක සම්බන්ධයි. නිදසුනකට, “කොහොමද?” කියා පැවසූ විට, එයින් අඟවන දේවල් බොහොමයක් තිබිය හැකියි. ඔබ සිටින්නේ සතුටින්ද, උනන්දුවෙන්ද, උදාසීනවද, හදිසියකින්ද, කෝපයෙන්ද, දුකෙන්ද හෝ භයෙන්ද කියන කාරණය ඔබේ කටහඬේ ස්වරයෙන් පිළිබිඹු කරන අතර, මෙම චිත්තවේගීය අවස්ථාවල විවිධාකාර මට්ටම් පවා ඉන් හෙළි විය හැකියි. හැඟීම්බරව අදහස් ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ඔබේ මොළයේ වෙනත් ප්‍රදේශයකින් සැපයේ. එමනිසා, ඔබ අදහස් හුවමාරුවේ යෙදෙද්දී, ඔබේ මොළයේ කොටස් කිහිපයක්ම ක්‍රියාත්මක වන බව පැහැදිලියි.
සංඥා භාෂාව භාවිත කිරීමට චිම්පන්සීන්ට සුළු වශයෙන් උගන්වා තිබුණත්, එහි භාවිතය ආහාර සහ වෙනත් මූලික අවශ්‍යතා සඳහා කරන ලද සරල ඉල්ලීම්වලට සීමා වී තිබෙනවා. භාෂණයක් නැති සරල අදහස් හුවමාරු ක්‍රමයක් චිම්පන්සීන්ට ඉගැන්වීමට වෑයම් කර ඇති ආචාර්ය ඩේවිඩ් ප්රෙමැක් මෙසේ නිගමනය කළා: “මනුෂ්‍ය භාෂණයට පැහැදිලි කළ නොහැකි තරම් ප්‍රබල හැකියාවක් තිබෙන නිසා එය පරිණාමවාදයට බලවත් පහරක්.”
අපද මෙසේ කල්පනා කළ හැකියි: “සිතුවිලි සහ හැඟීම් අනුන්ට ප්‍රකාශ කිරීමේ, තොරතුරු විමසීමේ සහ ප්‍රතිචාරය දැක්වීමේ අරුම පුදුම කුසලතාව මනුෂ්‍යයන්ට ඇත්තේ මන්ද?” “[මානව] භාෂණය අතිවිශේෂ” යමක් බව පවසන භාෂාව සහ භාෂා විද්‍යා විශ්වකෝෂය (ඉංග්‍රීසියෙන්) මෙසේ පිළිගනී: “සත්ව අදහස් හුවමාරුවෙහි භාෂණයට සම්බන්ධ කළ හැකි ඇතැම් ගතිලක්ෂණ සෙවීමට දරා ඇති ප්රයත්නයන්, භාෂාව මෙන්ම භාෂණය සහ සත්ව හැසිරීම අතර ඇති ඉමහත් පරතරය අඩු කිරීමට එතරම් උපකාරවත් වී නැහැ.” මහාචාර්ය ලූට්විච් ක’ල’ මෙම වෙනස මෙසේ කැටි කොට දැක්වූවා: “මනුෂ්‍ය භාෂණය අභිරහසකි. එය දිව්‍යමය වූ ත්‍යාගයකි, ආශ්චර්යයකි.”
වානරයෙක් සංකේත භාවිත කරන ආකාරය සහ ළමයින්ට තිබෙන සංකීර්ණ භාෂා හැකියාව අතර ඇත්තේ මොනතරම් පුදුමාකාර වෙනසක්ද! අප නිරීක්ෂණය කර ඇති හැකියාවක් වන “අවට පරිසරය තේරුම්ගැනීමට ආශාවෙන් ප්‍රශ්න කන්දරාවක් ඇසීමට පුරුදු වී සිටින අවුරුදු තුනේ දරුවන් තුළ පවා දක්නට ලැබෙන” හැකියාවට ශ්‍රීමත් ජොන් එකල්ස් යොමු දැක්වූවා. “ඊට වෙනස්ව වානරයෝ ප්‍රශ්න අසන්නේ නැතැයි” ඔහු තවදුරටත් පැවසුවා. ඔව්, ජීවිතයේ අර්ථය හා සම්බන්ධ ප්‍රශ්න ඇතුළුව, ප්‍රශ්න ඇසීමේ පුරුද්ද ඇත්තේ මනුෂ්‍යයන්ට පමණයි.
මතක ශක්තිය පමණක් නොවේ!
ඔබ කැඩපතකින් බලන විට, බාල හෝ තරුණ කාලයේ ඔබේ පෙනුම ගැන සිතමින්, ඉදිරියට මොන වගේ පෙනුමක් තිබිය හැකිදැයි සිතා යම් සැසඳීමක් කිරීමෙහි හෝ රූපලාවණ්‍ය ද්‍රව්‍ය ආලේප කළොත් මොන වගේ පෙනුමක් තිබෙයිද කියා ඔබ කල්පනා කරනවා ඇති. මෙවැනි සිතුවිලි නොදැනුවත්වම පාහේ පැනනැඟුණත්, කිසිම සතෙකුට අත් විඳිය නොහැකි අතිවිශේෂ වූ යමක් සිදු වෙමින් පවතිනවා.
සාමාන්‍යයෙන් වර්තමානයේ අවශ්‍යතා අනුව ජීවත් වී ක්‍රියා කරන සතුන් මෙන් නොව, මනුෂ්‍යයන්ට අතීතය ගැන සිතමින්, අනාගතය සඳහා සැලසුම් ඇති කරන්න පුළුවන්. එසේ කිරීමට මූලික වන දෙයක් වන්නේ, මොළයට අසීමිත මතක ශක්තියක් තිබීමයි. සතුන්ට යම්දුරකට මතක ශක්තියක් ඇති බව ඇත්තයි. මේ හේතුවෙන්, නැවතත් තම ලැගුම්පොළ කරා යන්නත්, තම ආහාර සඟවා ඇති තැන කොහේද කියා මතක් කරගන්නත් උන් සමත් වෙනවා. කෙසේවෙතත්, මිනිස් මතක ශක්තිය ඊටත් වඩා බෙහෙවින් ඉහළ තලයකයි තිබෙන්නේ. “ලෝකයේ විශාලම පුස්තකාලවල තිබෙන පොත් තරම්, වෙළුම් දෙකෝටියක” තොරතුරු අපේ මොළයේ ගබඩා කළ හැකි බව එක් විද්‍යාඥයෙක් තක්සේරු කළා. ඇතැම් ස්නායු විද්‍යාඥයන්ගේ තක්සේරුවලට අනුව, සාමාන්‍ය ආයුෂ කාලයක් තුළදී පුද්ගලයෙක් තම මොළයට තිබෙන ධාරිතාවෙන් පාවිච්චියට ගන්නේ සියයට එකෙන් 1/100ක් (.0001) පමණයි. ‘සාමාන්‍ය ජීවිත කාලයක් තුළ පාවිච්චියට නොගන්නා තරම් අතිවිශාල ධාරිතාවක් ඇති මොළයක් අපට තිබෙන්නේ ඇයි’ කියා ඇසීම උචිත නොවේද?
සුපිරි පරිගණකයක් මෙන්, අපේ මොළය කියන්නේ අතිවිශාල තොරතුරු ගබඩාවකුත් නොවෙයි. ජීව විද්‍යාඥ මහාචාර්යවරුන් වන රොබට් ඕන්සටයින් සහ රිචඩ් එෆ්. ටොම්සන් මෙම අදහස් ලියා දැක්වූවා: “ජෛව විශ්වයේ වඩාත්ම අරුම පුදුම සංසිද්ධිය නම් කළොත්, ඒ තමයි ඉගෙනීමටත්, තොරතුරු රැස් කිරීමටත්, ඒවා නැවත සිහියට නංවාගැනීමටත් මිනිස් මනස සතු හැකියාව. භාෂාව, චින්තනය, දැනුම, සංස්කෘතිය හෝ වේවා, අපව මනුෂ්‍යයන් බවට පත් කරවන සෑම දෙයක්ම, මෙම පුදුමසහගත සමර්ථකමේ ප්‍රතිඵලයක් වෙනවා.”
එපමණක්ද නොව, ඔබට සවිඥානක මනසක් ඇත. එතුළ සාමාන්‍ය අදහසක් ගැබ්ව ඇතැයි පෙනුණත්, කිසිදු සැකයකින් තොරව ඔබ අද්විතීය කරවන යම් කිසිවක් ඉන් ඇඟවෙනවා. මනස විස්තර කර තිබෙන්නේ “බුද්ධිය, තීරණ ගැනීම, ප්රත්යක්ෂ ඥානය, තමා ගැන වැටහීමකින් සහ හැඟීමකින් සිටීම යන සියල්ල තැන්පත් කර ඇති සංකීර්ණ වස්තුවක්” ලෙසිනුයි. ඇළ දොළ ගංගා මුහුදට ගලා බසින්නාක් මෙන්, මතක සටහන්, සිතුවිලි, රූප, ශබ්ද සහ හැඟීම් අඛණ්ඩව අපේ මනස තුළට ප්‍රවේශ වෙනවා හෝ එතුළින් පිට වෙනවා. එක් නිර්වචනයකට අනුව, විඥානය යනු “මිනිසෙකුගේ මනසට පහළ වන්නේ කුමක්ද යන්න පිළිබඳ වැටහීමකි.”
මොළයේ භෞතික ව්‍යූහය මෙන්ම එතුළ සිදු වන විද්‍යුත් රසායන ක්‍රියාවලීන් සමහරක් තේරුම්ගැනීමේදී නූතන පර්යේෂකයන් සැලකිය යුතු පියවරවල් ඉදිරියට ගෙනැවිත් තිබෙනවා. සුපිරි පරිගණකයක පරිපථ සැලසුම් සහ ක්‍රියාකාරිත්වය පැහැදිලි කර දීමටත් ඔවුන් සමත්. කෙසේවෙතත්, මොළය සහ පරිගණකයක් අතර ඇත්තේ අතිමහත් පරතරයක්. ඔබේ වටපිටාව සම්බන්ධයෙන් ඔබට හැඟීමක් ලබා දෙන මොළයක් ඇති අතර, ඔබේ පැවැත්ම ගැන අවබෝධයක් ඔබ සතුයි. එනමුත් පරිගණකයකට එවැනි හැඟීමක් කොහෙත්ම නැහැ. මේ වෙනස මන්ද?
අපේ මොළයේ භෞතික ක්‍රියාවලීන් ආශ්රයෙන් විඥානය ඇති වන්නේ කෙසේද සහ මන්ද යන්න අභිරහසකි. එක් ස්නායු ජීව විද්‍යාඥයෙක් මෙසේ අදහස් දැක්වූවා: “විද්‍යාවට එය කොහොම පැහැදිලි කළ හැකිද කියා මට තේරෙන්නේ නැහැ.” මහාචාර්ය ජේම්ස් ට්රේෆිල්ගේ නිරීක්ෂණය වුණේ මෙයයි: “විද්‍යා ක්ෂේත්රයේදී අපට අසන්නවත් දන්නේ නැති එකම ප්‍රධාන ප්රශ්නය, . . . මනුෂ්‍යයෙකු සවිඥානකව සිටිනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න හා සම්බන්ධයි.” එසේ වීමට එක හේතුවක් නම්, මොළය තේරුම්ගැනීමට උත්සාහයක් වශයෙන් විද්‍යාඥයන් මොළයම පාවිච්චියට ගැනීමයි. තවද මොළයේ භෞතික සැකැස්ම හැදෑරු පමණින් ප්‍රශ්නවලට උත්තර අනිවාර්යයෙන්ම ලැබෙන්නේ නැහැ. විඥානය “පැවැත්ම හා බැඳි වඩාත්ම සංකීර්ණ අභිරහස්වලින් එකක්” වන බව නිරීක්ෂණය කළ ආචාර්ය ඩේවිඩ් චාමස් පැවසුවේ, “ඒ අභිරහසේ මුලට යෑම සඳහා මොළය පිළිබඳව දැනුම පමණක් [විද්‍යාඥයන්ට] ප්‍රමාණවත් නොවෙන්න ඉඩ තියෙයි” කියායි.
ඒ කෙසේවෙතත්, අප සැවොම සවිඥානකව සිටිනවා. නිදසුනකට, අතීතයේ සිදුවීම් පිළිබඳව අපට තිබෙන විචිත්‍ර මතක සටහන් පරිගණකයක ගබඩා කර ඇති තොරතුරු බිටු මෙන් නොවෙයි. අපේ අද්දැකීම් ගැන ගැඹුරින් කල්පනා කර බැලිය හැකි අපට, ඒවායෙන් පාඩම් ඉගෙනගෙන, අපේ අනාගතය හැඩගැස්වීමට ඒවා යොදාගත හැකියි. අනාගතයේදී ගත හැකි ක්‍රියාමාර්ගයන් කිහිපයක්ම සලකා බැලීමට අපට හැකි අතර, ඒ එක් එක් ක්‍රියාමාර්ගයෙන් සිදු විය හැකි බලපෑම කිරා මැන බැලීමට අපට පුළුවන්. විග්රහ කර බැලීමේ, නිර්මාණය කිරීමේ, අගය කිරීමේ සහ ප්‍රේම කිරීමේ හැකියාව අප සතුයි. අතීතය, වර්තමානය සහ අනාගතය ගැන සුහද සංවාද ගෙන යෑමටත් අපට පුළුවන්. හැසිරීම ගැන අපට සදාචාරමය සාරධර්මයන් ඇති අතර, ක්ෂණිකව ප්‍රයෝජන අත් කර දිය හැකි හෝ නොහැකි තීරණ ගැනීමට එම සාරධර්මයන් යොදාගත හැකියි. කලාව සහ සදාචාරාත්මක අලංකාරයට අපේ සිත් ඇදී යනවා. අප තුළ පහළ වන අදහස් හැඩගැස්වීමත් තවත් වැඩිදියුණු කිරීමත් අපට අපේ මනසින් කළ හැකි අතර, මෙම අදහස් ක්‍රියාත්මක කළොත් වෙනත් පුද්ගලයන් ප්‍රතික්‍රියා කරන ආකාරය සිතාගැනීමටත් පුළුවන්.
එවැනි සාධක හේතුවෙන් මිහිපිට වෙනත් ජීවීන් සහ මනුෂ්‍යයා අතර ඉමහත් පරතරයක් ඇති බවට ඔප්පු කරන වටහාගැනීමේ ශක්තියක් ජනිත කරවනවා. බල්ලෙක්, පූසෙක් හෝ කුරුල්ලෙක් කැඩපතකින් බැලුවොත්, උන් ප්‍රතිචාරය දක්වන්නේ උගේම වර්ගයේ තවත් සතෙකුව දකින්නාක් මෙනි. එනමුත් ඔබ කැඩපතකින් බැලුවත්, කලින් සඳහන් කළ හැකියාවන්ගෙන් සමන්විත මම නමැති පුද්ගලයා දෙසයි බලන්නේ කියා ඔබට වැටහෙයි. ‘ඇතැම් කැස්බෑවන් අවුරුදු 150කටත්, ඇතැම් ගස් අවුරුදු 1,000කටත් වැඩිය ජීවත් වෙනවා. ඒවා සාමාන්‍ය දේවල්. හැබැයි බුද්ධිමත් මනුෂ්‍යයෙක් අවුරුදු 100ක් කරා එළඹුණොත් ඔහුට මහත් ප්‍රසිද්ධියක් ලැබෙනවා. ඒ ඇයි?’ මෙවැනි උභතෝකෝටික ප්‍රශ්න ගැන සිතා බැලීමටත් ඔබට පුළුවන්. වෛද්‍ය රිචඩ් රෙස්ටැක් මෙසේ කියයි: “පුළුල් දෘෂ්ටිකෝණයකින් සිය ක්‍රියාකාරිත්වය සෝදිසි කොට, මෙනයින් සාමාන්‍ය අද්දැකීමෙන් යම් දුරකට අබිබවා යන්න සමත් වන්නේ මිනිස් මොළය පමණයි. ඇත්තෙන්ම, අප ගන්නා ක්‍රියාමාර්ගයක් නැවත සකස් කරගැනීමට සහ ලොවේ අපට හිමි තැන යළි නිර්වචනය කිරීමට අප සතු හැකියාව නිසයි මෙලොවේ අන් කිසි සතෙකුට වඩා අප උත්කෘෂ්ට වන්නේ.”
මිනිසාගේ විඥානය ඇතමුන්ට ප්‍රහේලිකාවක්. දියුණු වන ජීවය (ඉංග්‍රීසියෙන්) යන පොත, එය නිකම්ම ජෛවීය ක්‍රියාවලියකින් බිහි වූවා යන පැහැදිලි කිරීමට අනුග්‍රහය දැක්වූවත් මෙසේ පිළිගනී: “පරදින්නාට බරපතළ දඩ ගෙවීමට සිදු වන සූදුවකට සම කළ හැකි ක්‍රියාවලියකින් [පරිණාමයෙන්], අලංකාරයට ප්‍රියබව, සත්‍යයට ප්‍රේමවීම, දයානුකම්පාව, නිදහස එමෙන්ම ඒ සියල්ලට වඩා මනුෂ්‍ය ස්වභාවයේ අද්විතීය පරාසය ජනිත වුණේ කොහොමද කියා අසන කොට, අප මහත් අවුලකටයි පත් වන්නේ. අපේ අධ්‍යාත්මික හැකියාවන් ගැන මෙනෙහි කරන්න කරන්න, අපේ පුදුමයද ඒ සමඟම වැඩි වෙනවා.” ඒ අදහස්වල සෑහෙන ඇත්තක් ගැබ් වී තිබෙනවා. එමනිසා මිනිසාගේ අද්විතීයභාවය පිළිබඳ අපේ දෘෂ්ටිය පුළුල් කරගැනීමට අපේ විඥානය පිළිබඳ සාක්ෂි කිහිපයක් සලකා බැලිය හැකියි. අප ගැන සලකන බුද්ධිමත් නිර්මාතෘවරයෙක්, මැවුම්කරුවෙක් සිටින බව බොහෝදෙනෙකු තරයේ විශ්වාස කිරීමට හේතු මෙයින් පැහැදිලි වෙයි.
කලාව සහ සෞන්දර්යය
මහාචාර්ය මයිකල් ලේටන්, අනුකූලතාව, හේතු ඵල නියාමය සහ මනස (ඉංග්‍රීසියෙන්) යන පොතෙහි මෙසේ ඇසුවා: “මිනිසා මෙතරම් ආශාවකින් කලා ක්ෂේත්රයට අවතීර්ණ වන්නේ මන්ද?” ගණිතය වැනි මානසික ක්‍රියාවලියක් මනුෂ්‍යයන්ට පැහැදිලි ප්‍රයෝජන අත් කර දෙන බව ඇතැම් අය පැවසුවත්, කලා ක්ෂේත්රයෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? කලා ප්‍රදර්ශන සහ සංගීත සන්දර්ශන නැරඹීම සඳහා ජනයා බොහෝ දුර ගෙවා පැමිණෙන බව පැවසීමෙන් ලේටන් තම කාරණය පැහැදිලි කළා. මෙවන් ක්‍රියාවකට සම්බන්ධ වන්නේ කුමන අභ්‍යන්තර පෙලඹීමක්ද? ඒ හා සමානව, ලොව වටා වෙසෙන ජනයා තම නිවසේ හෝ කාර්යාලයේ බිත්තිවල සිත්ගන්නා පින්තූර හෝ චිත්‍ර එල්ලා තබනවා. එසේත් නැතහොත් සංගීතය සලකා බලන්න. වැඩි ජන පිරිසක් නිවසේදී හෝ ඔවුන්ගේ මෝටර් රථවලදී යම් ආකාරයක සංගීතයකට සවන් දෙන්න කැමැත්තක් දක්වනවා. ඇයි? සංගීතය වරක් උචිතෝන්නතියට දායක වුණ නිසාද? කොහෙත්ම නැහැ! “කලාව, මානව විශේෂයට සම්බන්ධ පැහැදිලි කළ නොහැකි තරම් ලොකුම සංසිද්ධිය විය හැකි” යයි ලේටන් කියනවා.
කොහොම වුණත්, කලාවෙන් සහ සෞන්දර්යයෙන් ආස්වාදයක් ලැබීම අප “මනුෂ්‍යයන්” කියා දැනෙන්න සලස්වන දෙයට අයත් බව අපි දන්නවා. සත්වයෙකු උස් බිමක සිට වර්ණවත් අහස් කුස දෙස බලනවා විය හැකියි. එනමුත් එම දසුනේ සුන්දරත්වයට උගේ හිත ඇදී යනවාද? හිරු රැසින් දිදුලන දිය ඇල්ලක් අපේ නෙත් ගැටෙනවා. නිවර්තන වර්ෂා වනාන්තරයක වර්ණවත් විවිධත්වයට අප සිත් වසඟ වෙනවා. පොල් ගස්වලින් ගහන වූ වෙරළවල් අපේ ප්රබෝධයට හේතු වන අතර, නීල වර්ණ ඇතිරිල්ලක විසිරුණු දියමන්ති මෙන් අහස් කුස සිසාරා විහිදී ඇති තාරකාවන් අපේ අමානන්දයට හේතු වෙනවා. මෙවන් දේවල් දැක අප තුළ ගැඹුරු හැඟීම් ජනිත වන්නේ නැද්ද? එවන් සුන්දරත්වයක් අපේ හදවත් ප්‍රීති ප්‍රමෝදයෙන් ඉපිළ යෑමටත් අපේ හැඟීම් කුල්මත් කිරීමටත් සලස්වනවා. ඒ ඇයි?
අපේ අඛණ්ඩ පැවැත්ම සඳහා ඉතා සුළු වශයෙන් ප්‍රයෝජනවත් වන දේවල්වලට අප තුළ මෙතරම් සහජ ආශාවක් ඇත්තේ මන්ද? සෞන්දර්යය සඳහා අප සතු අගය කොහෙන්ද පැමිණෙන්නේ? මිනිසාගේ මැවීම සිදු කළ අවස්ථාවේදී ඒවා අප තුළ පැලපදියම් කළ මැවුම්කරුවෙකු සිටින බව අප සැලකිල්ලට ගන්නේ නැත්නම්, මෙම ප්‍රශ්නවලට සෑහීම ගෙන දෙන උත්තර තිබෙන බව පැවසිය නොහැකියි. සදාචාර අලංකාරය සම්බන්ධයෙන්ද මෙය සැබෑවක් වෙනවා.
සදාචාර සාරධර්මයන්
ඉහළම ගණයේ අලංකාරය වන්නේ යහපත් ක්‍රියා බව බොහෝදෙනා අවබෝධ කරගෙන සිටිනවා. නිදසුනක් ලෙස, පීඩා හමුවේ ප්‍රතිපත්තිවලට පක්ෂව සිටීම, අනුන්ගේ වේදනාව තුනී කිරීමට පරාර්ථකාමීව ක්‍රියා කිරීම සහ අපේ සිත් රිදවූ කෙනෙකුට සමාව දීම වැනි ක්‍රියාවන් සදාචාර හැඟීම් ඇති ඕනෑම බුද්ධිමත් පුද්ගලයෙකුගේ සිත්ගන්නවා. පුරාණ බයිබල් හිතෝපදේශයක සඳහන් කර ඇත්තේ මෙබඳු අලංකාරයක් ගැනයි: “සිහි කල්පනාව ඇති මනුෂ්‍යයා ඉක්මනට නොකිපෙයි; වරදක් නොසලකා හැරීමද ඔහුගේ ගෞරවයක්ය [අලංකාරයක්ය, NW].” එසේ නැතහොත් තවත් හිතෝපදේශයක නිරීක්ෂණය පරිදි, “මනුෂ්‍යයෙකුගේ ප්‍රිය ගතිය ඔහුගේ කරුණාවන්තකමය.”—හිතෝපදේශ 19:11, 22.
ඇතැම් පුද්ගලයන්, සමහරවිට කණ්ඩායම් පවා, උසස් සදාචාර ප්‍රමිති නොසලකා හරින හෝ ඒවා පාගා දමන බව අප කවුරුත් දන්නා දෙයක්. එහෙත් බහුතරයක් එසේ කරන්නේ නැහැ. හැම ප්‍රදේශයකම වාගේ තිබෙන, හැම කාලපරිච්ඡේදයකම පාහේ දැකගත හැකි සදාචාර සාරධර්මයන් නික්මෙන්නේ කුමන උල්පතකින්ද? සදාචාරයට උල්පතක් නැත්නම්, මැවුම්කරුවෙක් නැත්නම්, හරි වැරැද්ද නිකම්ම පුද්ගලයන් තුළ හෝ මිනිස් සමාජය තුළ ඉබේම ජනිත වුණාද? උදාහරණයක් සලකා බලන්න: පුද්ගලයන් හා කණ්ඩායම් වැඩි පිරිසක් මිනීමැරීම වැරදි යමක් සේ සලකනවා. එනමුත් ‘වැරදියි කියා පවසන්නේ කුමක් සමඟ සැසඳීමෙන්ද’ කියා යමෙකු ඇසිය හැකියි. පොදුවේ මිනිස් සමාජයටම යම් පදනමක් සපයන, බොහෝ රටවල නීතිවලට ඇතුළත් කර ඇති යම් සදාචාර හැඟීමක් ඇති බවට කිසිම සැකයක් නැහැ. සදාචාරය සම්බන්ධයෙන් වූ මෙම ප්‍රමිතිය පැමිණෙන්නේ කොහෙන්ද? සදාචාර සාරධර්ම ඇති, මනුෂ්‍යයන් තුළ හෘදය සාක්ෂියක් නොහොත් ආචාරධර්මීය හැඟීමක් පැලපදියම් කළ බුද්ධිමත් මැවුම්කරුවෙකුගෙන් විය නොහැකිද?—රෝම 2:15, 16 සසඳන්න.
අනාගතය ගැන සිතා බලන්නත් ඒ සඳහා සැලසුම් කරන්නත් ඔබට හැකියි
අනාගතය සම්බන්ධයෙන් සලකා බැලීමට අපට තිබෙන හැකියාව මිනිස් විඥානය සතු තවත් පැත්තකි. මනුෂ්‍යයන් සතුන්ට වඩා උසස් බව පෙන්නුම් කිරීමට සලස්වන ගතිලක්ෂණ තිබේද කියා විමසූ විට, මහාචාර්ය රිචඩ් ඩෝකින්ස් පිළිගත්තේ මිනිසාට ඇත්තෙන්ම අද්විතීය ගුණාංග තිබෙන බවයි. “සවිඥානක, පරිකල්පන බුද්ධියෙන් යුත් දුරදක්නා නුවණක් යොදාගනිමින් ඉදිරිය සඳහා සැලසුම් කිරීමට ඇති හැකියාව” සඳහන් කිරීමෙන් පසුව, ඩෝකින්ස් මෙසේද එකතු කළා: “පරිණාමවාදයට කවදත් අදාළ වී ඇති එකම දේ කෙටි-කාලීන ප්‍රයෝජනයි. දිගු-කාලීන ප්‍රයෝජන කිසිවිටක වැදගත් වී නැහැ. ඒ අනුව පුද්ගලයාගේ කෙටි-කාලීන යහපතට අහිතකරව තිබියදී යම් කිසිවක් පරිණාමය විය නොහැකි බවට කියැවේ. එනමුත් උදාහරණයක් වශයෙන් ‘මෙම කැලෑව එළිපෙහෙළි කිරීමෙන් ලබන කෙටි-කාලීන ලාභය ගැන අමතක කර, දිගු-කාලීන ප්‍රයෝජනයක් තිබේද කියා සිතමු’ කියා කීමට දැන් ඉතිහාසයේ මුල්ම වතාවට අවම වශයෙන් කිහිපදෙනෙකු හරි පෙලඹෙනවා. මගේ මතයට අනුව, එලෙස සිතීම මිනිසාගේ අතිවිශේෂ වූ අද්විතීය වූ හැකියාවක්.”
සවිඥානක, දිගු-කාලීන සැලසුම් සඳහා මනුෂ්‍යයන් සතු හැකියාව අසමසම යමක් බව වෙනත් පර්යේෂකයන් සනාථ කරනවා. ස්නාසා භෞතවේදී විලියම් එච්. කැල්වින් මෙසේ අදහස් දක්වයි: “හෝමෝනවල බලපෑම හේතුවෙන් ඇතැම් සතුන් ශීත ඍතුව සඳහා සූදානම් වීමට හා සංසර්ගයේ යෙදීමට පෙලඹුණත්, සතුන් විනාඩි කිහිපයකට වඩා කලින් සැලසුම් කරන බවට තිබෙන සාක්ෂි නැති තරම්ය.” සතුන් ශීත ඍතුවට කලින් ආහාර ගබඩා කරනවා වුණත්, දේවල් හොඳින් විග්රහ කර බැලීමට සහ සැලසුම් කිරීමට උන්ට බැහැ. ඊට වෙනස්ව, මනුෂ්‍යයන්, අනාගතය, ඈතට දිව යන මතු අනාගතය පවා සැලකිල්ලට භාජන කරනවා. ඇතැම් විද්‍යාඥයන්, අවුරුදු සිය කෝටි ගණනකට ඔබ්බෙන් විශ්වයෙහි සිදු විය හැකි දේ ගැන සිතා බලනවා. සතුන්ට වඩා මෙතරම් වෙනස් වන මිනිසාට අනාගතය ගැන සිතන්නත්, සැලසුම් යොදන්නත් හැකියාව ඇත්තේ ඇයි කියා ඔබ කවදාහරි සිතුවාද?
මනුෂ්‍යයන් ගැන බයිබලය කියන්නේ මෙසේයි: “[මැවුම්කරු] ලෝකයද [සදාකාලයද, 1938 අනුවාදයේ පාදසටහන] ඔවුන්ගේ සිත්වල තබා තිබේ.” නව අනුවාදය එය මෙලෙස පරිවර්තනය කරයි: “[ඔහු] අතීතය හා අනාගතය පිළිබඳ හැඟීම් මිනිසුන්ගේ සිත්හි තබා ඇත.” (දේශනාකාරයා 3:11) විශේෂ වූ මෙම හැකියාව අප දෛනිකව පාවිච්චි කරනවා. උදාහරණයකට කැඩපතකින් අපේ පෙනුම බලා තව අවුරුදු 10කින් හෝ 20කින් අපේ පෙනුම මොන වගේ වෙයිද කියා සිතීම වැනි සාමාන්‍ය ක්‍රියාවලදී වුණත් එය පාවිච්චියට ගන්නවා. තවද කාලයේ සහ අභ්‍යවකාශයේ අනියතබව වැනි සංකල්ප ගැන මොහොතක් හරි කල්පනා කළත්, දේශනාකාරයා 3:11හි සඳහන් දේ අපි සනාථ කරමිනුයි සිටින්නේ. මැවුම්කරුවෙකු ‘මිනිසාගේ සිතෙහි සදාකාලය තබා ඇති’ බවට වූ අදහස මෙම හැකියාව තිබීමෙන් පමණක්ම සනාථ වෙයි.
මැවුම්කරුවෙකු වෙත ඇදීගොස්
කෙසේවෙතත්, සෞන්දර්යයෙන් ආස්වාදයක් ලැබීමෙන්, සෙසු ජනයාට යහපත කිරීමෙන් සහ අනාගතය ගැන සිතීමෙන් බොහෝදෙනෙක් සෑහීමට පත් වන්නේ නැහැ. මහාචාර්ය සී. ස්ටීවන් එවන්ස් මෙසේ අදහස් දක්වයි: “අප ප්‍රේමය ලබන උච්චම අගනාම අවස්ථාවලදී පවා යම් කිසිවක් අහිමි වී තිබෙන බව පුදුමසහගත ලෙස අපට පෙනී යනවා. අපට තවමත් යමක් ඕනෑ කියා හැඟුණත්, ඒ මොකක්ද කියා අප දන්නේ නැති බවයි පෙනී යන්නේ.” මෙම පෘථිවියෙහි අප සමඟ සිටින සතුන් මෙන් නොව සවිඥානක මනුෂ්‍යයන්ට තවත් අවශ්‍යතාවක් දැනෙනවා.
“ආගමික හැඟීමක් මිනිස් ස්වභාවයට ගැඹුරින් කාවැදී ඇති අතර, එය සෑම ආර්ථික තරාතිරමකම සහ අධ්‍යාපනික පසුබිමකම පාහේ අද්දැක ඇති දෙයක්.” මිනිසාගේ ආධ්‍යාත්මික ස්වභාවය (ඉංග්‍රීසියෙන්) යන ග්රන්ථයෙහි මහාචාර්ය ඇලිස්ට’ හාඩි කළ පර්යේෂණ මෙසේ කැටි කොට දැක්විය හැකියි. වෙනත් අධ්‍යයන බොහොමයකින් ස්ථාපිත වී ඇති යමක් මින් තහවුරු කෙරේ: එනම් මිනිසා දෙවි පිළිබඳ හැඟීමකින් සිටින බවයි. අදේවවාදීන් ලෙස හඳුන්වන පුද්ගලයන් සිටියත්, මිනිසුන් ජාතික මට්ටමකින් අදේවවාදීන් නොවෙයි. දෙවි එකම යථාර්ථයද? (ඉංග්‍රීසියෙන්) යන පොත මෙසේ නිරීක්ෂණය කරයි: “මිනිස් සංහතියේ මූලාරම්භයේ පටන්, . . . අර්ථය සඳහා සිදු කර ඇති ආගමික ගවේෂණය සෑම සංස්කෘතියකටම සහ සෑම වකවානුවකටම පොදු වූ අද්දැකීම වී තිබෙනවා.”
සහජ යමක් සේ පෙනෙන දෙවි පිළිබඳ මෙම වැටහීම පැමිණෙන්නේ කොහෙන්ද? මිනිසා අහම්බෙන් නියුක්ලෙයික් අම්ලය සහ ප්‍රෝටීන අණු එක්කාසු වීමක ප්‍රතිඵලයක් ලෙස බිහි වුණා නම්, කලාවට සහ සෞන්දර්යයට ඇල්මක්ද, ආගමකට ලැදියාවක්ද, සදාකාලය ගැන සිතා බැලීමටද මෙම අණු යොමු වන්නේ ඇයි?
මිනිසාගේ පැවැත්ම පරිණාමය හේතුවෙන් සිදු වූ බවට කරන පැහැදිලි කිරීම “ඉතා වැදගත් කාරණයකදී අපොහොසත් වෙයි” කියා ශ්‍රීමත් ජොන් එකල්ස් නිගමනය කළා. “අප සෑමදෙනාම අද්විතීය පෞද්ගලික හැඟීමක් ඇති පුද්ගලයන් වශයෙන් බිහි වූයේ කෙසේද යන්න පැහැදිලි කිරීමට එයට බැහැ.” අපේ මොළයේ සහ මනසේ ක්‍රියාකාරිත්වය ගැන ඉගෙනගන්න ඉගෙනගන්න, අප ගැන සලකන මැවුම්කරුවෙකු සිටින බවට මිනිසාගේ සවිඥානක පැවැත්ම සාක්ෂියක් වන බව දශලක්ෂ සංඛ්‍යාත ජනකායක්ම නිගමනය කිරීමට හේතුව දැනගැනීමට අපට තවත් පහසු වෙයි.
හැම තරාතිරමකින්ම පැමිණ ඇති ජනයා, අප මෙහි සිටින්නේ ඇයි, අප යන්නේ කොතැනටද යන වැදගත් ප්‍රශ්නවලට සෑහීම ගෙන දෙන උත්තර සෙවීම සඳහා මෙම බුද්ධිගෝචර නිගමනය තම පදනම කරගැනීමට හේතු වන දෑ අප ඊළඟ පරිච්ඡේදයෙන් සොයාගන්න යනවා.
[51වන පිටුවේ කොටුව]
චෙස් ශුරයාට එරෙහිව පරිගණකය
ඩීප් බ්ලූ නමැති දියුණු පරිගණකය ලෝක චෙස් ක්‍රීඩා ශූරයාව පැරදූ විට, “ඩීප් බ්ලූට මනසක් ඇති බව නිගමනය කිරීමට අපට සිදු වෙන්නේ නැද්ද” යන ප්රශ්නය ඉස්මතු වුණා.
යේල් සරසවියේ ඩේවිඩ් ජෙලන්ට’ නමැති මහචාර්යවරයා මෙසේ පිළිතුරු දුන්නා: “නැහැ. ඩීප් බ්ලූ කියන්නේ නිකම්ම යන්ත්‍රයක් විතරයි. මල් පෝච්චියක් මෙන් එයටද මනසක් නැහැ. . . . එයින් එළඹිය හැකි එකම නිගමනය මේකයි: මනුෂ්‍යයන් යන්ත්‍ර නිර්මාණ කිරීමේ ශූරයන් බවයි.”
මහාචාර්ය ජෙලන්ට’ මෙම මූලික වෙනසට යොමු දැක්වූවා: “මොළය කියන්නේ ‘තමා’ කියන පුද්ගලයාව බිහි කිරීමේ හැකියාවක් ඇති යන්ත්‍රයක්.” මානසිකව බොහෝ දේවල් ගැන රූප මැවීමට මොළයට හැකියාව තිබුණත්, පරිගණකයකට එසේ කළ නොහැකියි.”
ඔහුගේ නිගමනය: “මනුෂ්‍යයා සහ [පරිගණකය] අතර ඇති පරතරය ස්ථිර, කිසිදාක යා කළ නොහැකි එකක්. ජීවිතයේ පහසුවට, සෞඛ්යසම්පන්නබවට, සිත්ගන්නාසුලුබවට මෙන්ම ව්‍යාකූලබවට යන්ත්‍ර අඛණ්ඩව දායක වෙයි. තවද මනුෂ්‍යයන් දිගටම ඔවුන් කවදත් සැලකිලිමත් වී ඇති දේවලට සැලකිල්ල දක්වයි: එනම් තමා ගැන, එකිනෙකා ගැන සහ බොහෝදෙනා කරන්නාක් මෙන් දෙවි ගැන සැලකිල්ල දක්වයි. මේ කාරණා සම්බන්ධයෙන් බැලුවොත්, යන්ත්‍ර කිසිදාක ඒ මට්ටමට ළඟා වී නැහැ. කවදාකවත් ළඟා වෙයි කියා හිතන්නවත් බැහැ.”
[53වන පිටුවේ කොටුව]
සුපිරි පරිගණකය ගොළුබෙල්ලෙකුට සමානයි
“වත්මන් පරිගණක, දැකීමට, කතා කිරීමට, චලනය වීමට හෝ සාමාන්‍ය බුද්ධියක් පාවිච්චි කිරීමට අවුරුදු සතරක දරුවෙකුට තිබෙන හැකියාවටවත් ළඟා වන්නේ නැහැ. ගණනය කිරීමේ අද්විතීය හැකියාව එක් හේතුවක් බවට කිසිම සැකයක් නැහැ. ඉහළම ගණයේ අධිබල සුපිරි පරිගණකයකට ඇති තොරතුරු සැකසුම් ධාරිතාව පවා සමාන කළ හැක්කේ ගොළුබෙල්ලෙකුගේ ස්නායු පද්ධතියට පමණයි. එනම් [අපේ] හිස්කබලේ තිබෙන සුපිරි පරිගණකය සතු බලයෙන් අංශුමාත්රයක් පමණයි.”—මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ ස්නායු විද්‍යා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක, ස්ටීවන් පින්ක’.
[54වන පිටුවේ කොටුව]
“මිනිස් මොළය මුළුමනින්ම පාහේ [මස්තිෂ්ක] බාහිකයකින් සෑදී තිබෙනවා. නිදසුනකට, චිම්පන්සියෙකුගේ මොළයටත් බාහිකයක් තිබුණත්, එය ප්‍රමාණයෙන් ඉතා කුඩායි. බාහිකය අපේ කල්පනා ශක්තියට, මතක ශක්තියට සහ පරිකල්පන ශක්තියට දායක වෙයි. ඇත්තෙන්ම, අප මනුෂ්‍යයන් වන්නේ අපේ බාහිකය හේතුවෙනුයි.”—ඉතාලියේ මිලාන්වල අණුක ජීව විද්‍යා පර්යේෂණ කටයුතුවල අධ්‍යක්ෂක ඒඩ්වාර්ඩෝ බෝනිචිනෙල්ලි.
[55වන පිටුවේ කොටුව]
අංශු භෞතික විද්‍යාවයි ඔබේ මොළයයි
පහසුවෙන් ග්‍රහණය කළ නොහැකි ගණිත ක්ෂේත්රය හැසිරවීමට මොළය සතු හැකියාව ගැන මහාචාර්ය පෝල් ඩේවීස් මෙසේ අදහස් දැක්වූවා. “ගණිතය කියන්නේ ඔබේ ගෙමිදුලෙන් අහුළගන්න පුළුවන් දෙයක් නොවෙයි. එය මිනිස් මොළය මගින් උපදවන ලද්දක්. එනමුත් ගණිතය හොඳින්ම ක්‍රියාත්මක වන්නේ කොහෙද කියා ඇසුවොත්, එසේ සිදු වන්නේ අංශු භෞතික විද්‍යාව, තාරකා භෞතික විද්‍යාව සහ දෛනික වැඩ කටයුතුවලින් ඉතාමත් දුරස් වූ මූලික විද්‍යා ක්ෂේත්රවලයි කියා පැවසිය යුතුයි.” එයින් අදහස් කරන්නේ කුමක්ද? “විඥානයද ගණිත ක්ෂේත්රයෙහි නියැලීමට අප සතු හැකියාවද නිකම්ම නිකම් අහඹු සිද්ධියක්වත්, සුළු කාරණයක්වත්, පරිණාමයේ වැදගැම්මකට නැති අතුරු නිෂ්පාදනයක්වත් නොවන බවයි ඉන් මට පැහැදිලි වන්නේ.”—අප තනිවද සිටින්නේ?, ඉංග්‍රීසියෙන්.
[56, 57වන පිටුවේ කොටුව⁄පින්තූර]
(මුද්‍රිත පිටපත බලන්න)
චලන බාහිකය
ලලාට ඛණ්ඩිකාව
පුරෝලලාට බාහිකය
බ්රොකාගේ ප්‍රදේශය
ව’නිකගේ ප්‍රදේශය
• මස්තිෂ්ක බාහිකය යනු බුද්ධියට වැඩියෙන්ම සම්බන්ධ මොළයේ මතුපිට පෙදෙසයි. මිනිස් මස්තිෂ්ක බාහිකයක් පැතලි කළොත්, යතුරුලියනය සඳහා භාවිත කරන කොළ සතරක් ආවරණය කළ හැකියි. චිම්පන්සියෙකුගේ එකකින් ආවරණය වන්නේ එක් කොළයක් පමණයි. මීයෙකුගේ එකකින් මුද්දරයක තරම් ප්‍රමාණයක් පමණයි ආවරණය වන්නේ.—සයන්ටිෆික් අමෙරිකන්.
[58වන පිටුවේ කොටුව]
හැම ජන සමූහයකටම එකක් ඇත
මුළු ඉතිහාසය පුරාම යම් ජන සමූහයක් තව ජන සමූහයක් මුණගැසුණු විට, අනික් සමූහය භාෂාවක් කතා කරන බව දුටුවා. භාෂා ඉව (ඉංග්‍රීසියෙන්) මෙසේ අදහස් දක්වයි: “ගොළු ගෝත්‍රයක් තවමත් සොයාගෙන නැති අතර, ‘භාෂාවේ තෝතැන්නක්’ ලෙස කටයුතු කළ ප්‍රදේශයක් තිබූ බවටවත්, ඊට කලින් භාෂා නොතිබූ සමූහයන්ට භාෂා විකාශනය වූ බවටවත් කිසිම වාර්තාවක් නැහැ. . . . සංකීර්ණ භාෂාවක් ලොවේ හැම තැනම තිබෙන බවට වූ සොයාගැනීම, භාෂාවේදීන්ගේ පුදුමයට හේතු වන අතරම එය, භාෂාව . . . විශේෂ මිනිස් සහජාසයෙන් බිහි වූ යමක් බව විශ්වාස කිරීමට මූලිකම හේතුව වෙනවා.”
[59වන පිටුවේ කොටුව]
භාෂාව සහ බුද්ධිය
මිනිස් බුද්ධිය වානරයන් වැනි සත්වයන්ගේ බුද්ධියට වඩා බෙහෙවින් උත්කෘෂ්ට වන්නේ මන්ද? එක් හේතුවක් වන්නේ අප විසින් පදඝටනාව භාවිත කිරීමයි. එනම්, වචන සෑදීමට ශබ්ද එකතු කිරීමත්, වාක්‍ය සෑදීමට වචන එකතු කිරීමත්. න්‍යායික ස්නාසා භෞතවේදී ආචාර්ය විලියම් එච්. කැල්වින් එය මෙසේ පැහැදිලි කරයි:
“කැලෑ චිම්පන්සීන් අර්ථයන් 36ක් පමණ දැක්වීමට ශබ්දයන් 36ක් පමණ පාවිච්චි කරනවා. ශබ්දයක අර්ථය තවත් කාවැද්දීමට එය නැවත සඳහන් කළත්, උන් තම වාග්මාලාවට අලුත් වචනයක් එකතු කිරීම සඳහා ශබ්ද තුනක් එකට සම්බන්ධ කරන්නේ නැහැ.
“මනුෂ්‍යයන් වන අපත් ශබ්දයන් 36ක් පමණ භාවිත කරනවා. එනමුත් ඒවාට අර්ථයක් මුසු වන්නේ එකට සංයෝග කළ විට පමණයි: අපි තේරුමක් නැති ශබ්ද සංයෝග කර තේරුමක් ඇති වචන සාදනවා.” “එක ශබ්දයක/එක තේරුමක” සිට පදඝටනාව භාවිත කිරීමට මිනිසාට පමණක් විශේෂ වූ හැකියාව දක්වා වූ පිම්ම “කිසිවෙකු මෙතෙක් දුරට පැහැදිලි කර නැතැයි” ආචාර්ය කැල්වින් සඳහන් කරයි.
[60වන පිටුවේ කොටුව]
ඔබ කුරුටු ගානවා පමණක් නොවේ
“භාෂාවකින් අදහස් හුවමාරු කරන්න සමත් වන්නේ මිනිසා, එනම් හෝමේ සේපියන්ස් විතරද? පිළිතුර ‘භාෂාව’ යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න මත රඳා පවතී. මන්ද අභිනය, ගඳ සුවඳ දැනෙන්න සැලැස්වීම, නාද කිරීම, හැඬලීම, ගී ගැයීම සහ සමහරවිට මීමැස්සන්ගේ නැටීම වැනි ක්‍රමවලින් හැම දියුණු සතෙකුම පාහේ නිතැතින්ම අදහස් හුවමාරු කරන නිසයි. එනමුත් පැහැදිලි ව්‍යූහයක් ඇති ව්‍යාකරණානුකූල භාෂාවක් ඇත්තේ මිනිසාට පමණයි. තවද සතුන් යම් දේවල් නියෝජනය කරන චිත්‍ර කොහොමටවත් අඳින්නේ නැහැ. මෙය ඉතා වැදගත් කාරණයක් විය හැකියි. වැඩිම වුණොත්, උන්ට කුරුටු ගාන්න විතරයි පුළුවන්.”— ආර්. එස්. සහ ඩී. එච්. ෆවුට්ස් යන මහාචාර්යවරුන්.
[61වන පිටුවේ කොටුව]
“මිනිස් මනසට අවධානය යොමු කළොත්, අරුම පුදුම සංකීර්ණත්වයකින් යුත් සැලැස්මවල් අපේ දෙනෙතට හසු වෙනවා” කියා මහාචාර්ය ඒ. නෝඑම් චොම්ස්කි සඳහන් කරයි. “භාෂාව ඉන් එක් උදාහරණයකි. එනමුත් තවත් උදාහරණ රැසක් තිබෙනවා. මනුෂ්‍යයන්ට අද්විතීය වූ සංඛ්‍යා පද්ධතියේ පහසුවෙන් ග්‍රහණය කළ නොහැකි සංකල්ප සමඟ කටයුතු කිරීමට මොළය සතු හැකියාව සලකා බලන්න.”
[62වන පිටුවේ කොටුව]
ඇසීමේ “දායාදය” ඇතුව
අපේ විශ්වයේ අනාගතය පිළිබඳව, භෞතිකඥ ලෝරන්ස් ක්‍රවුස් මෙසේ ලිව්වා: “අපට කෙළින්ම දැකගත නොහැකි දේවල් ගැන ප්‍රශ්න අසන්න අප ධෛර්යය උපදවාගන්නේ, එසේ අසන්න අපට පුළුවන් නිසයි. අපේ දරුවන් එහෙමත් නැත්නම් ඔවුන්ගේ දරුවන් කවදාහරි ඒවාට උත්තර සපයාවි. පරිකල්පන ශක්තිය අපට දායාද කර ඇත්තකි.”
[69වන පිටුවේ කොටුව]
විශ්වය සහ අප එහි ජීවත්ව සිටීම අහඹු දෙයක් නම්, අපේ ජීවිතවලට කල්පවතින අර්ථයක් තිබිය නොහැකියි. එනමුත් විශ්වයේ අපේ ජීවත් වීම නිර්මාණයක ප්‍රතිඵලයක් නම්, සෑහීම ගෙන දෙන අර්ථයක් එයට තිබිය යුතුයි.
[72වන පිටුවේ කොටුව]
භයංකර වන සතුන්ගෙන් බේරීමේ ප්‍රතිඵලයක්ද?
එංගලන්තයේ කේම්බ්‍රිජ් සරසවියේ ජොන් පෝල්කිංහෝන් මෙසේ නිරීක්ෂණය කළා:
“අප විසින් භෞතික ලෝකය තේරුම්ගැනීමට මූලික වන ක්වොන්ටම් ක්ෂේත්රය පිළිබඳ න්‍යාය ලෙස හැඳින්වෙන යමක් න්‍යායික භෞතිකඥ පෝල් ඩිරැක් සොයාගත්තා. ඩිරැක්ට එම න්‍යාය සොයාගන්න හැකි වුණෙත්, අයින්ස්ටයින්ට සාපේක්ෂතාවාදය සොයාගන්න හැකි වුණෙත්, අපේ මුතුන්මිත්තන් භයංකර වනසතුන්ගෙන් බේරීමේ අතුරු ඵලයක් හේතුවෙන් කියා මට කොහොමටවත් විශ්වාස කරන්න බැහැ. ඊටත් වඩා බෙහෙවින් ගැඹුරු, අභිරහස් යමක් සිදු වෙනවා විය යුතුයි. . . .
“විද්‍යාව මගින් හෙළි කර තිබෙන භෞතික ලෝකයේ තර්කානුකූල පිළිවෙළ මෙන්ම මනාව පැහැදිලි සෞන්දර්යය දෙස බලද්දී, බුද්ධියක් ඇති බවට ලකුණු පැහැදිලිවම පහළ කරවන ලොවක් තමයි අප දකින්නේ. ආගමකට ලැදි කෙනෙකුට නම්, මැවුම්කරුගේ මනස පිළිබඳවයි අවබෝධයක් ලැබෙන්නේ.”—කොමන්වීල්.
[63වන පිටුවේ පින්තූරය]
ප්‍රශ්න ඇසීමේ පුරුද්ද ඇත්තේ මනුෂ්‍යයන්ට පමණයි. ඉන් සමහරක් ජීවිතයේ අර්ථය හා සම්බන්ධයි
[64වන පිටුවේ පින්තූරය]
සතුන් මෙන් නොව, මනුෂ්‍යයන් තමා ගැනත් අනාගතය ගැනත් අවබෝධයකින් සිටිනවා
[70වන පිටුවේ පින්තූරය]
සෞන්දර්යය අගය කරන්නේ, අනාගතය ගැන කල්පනා කරන්නේ සහ මැවුම්කරුවෙකු වෙතට ඇදී යන්නේ මනුෂ්‍යයන් පමණයි