යෞවන අය අසති . . .
විනෝද වෙන්න පුළුවන් අනික් යෞවනයන්ට විතරද?
“අපි විනෝද වෙන්න හරි ආසයි, ඒත් එහෙම කරන්න හරි අමාරුයි,” යනුවෙන් 15-හැවිරිදි ජේසන් දොස් නැඟුවේය.
විශේෂයෙන්ම තරුණ කාලයේදී, විනෝද වීමට කැමැත්තක් දැක්වීම ස්වාභාවික දෙයකි! යෞවනයන්ගෙන් බහුතරයකට, විනෝද වීම වනාහි, ආහාර ගැනීම හා නිදාගැනීම තරම්ම වැදගත් දෙයකි. තම තුල්‍යයන් මෙන්ම ජනසන්නිවේදන මාධ්‍යය මගින් පොලඹවනු ලබන යෞවනයෝ, දැඩි ආශාවකින් යුතුව විනෝද ක්‍රියාකාරකම් රැසක් ලුහුබඳිති. එක් සමීක්ෂණයකට අනුව, යෞවනයන් සවස් කාලය ගත කිරීමට වඩාත්ම කැමති ක්‍රම පිළිබඳ ලැයිස්තුවක මුලින්ම සඳහන් වූයේ, මිත්‍රයන් බැහැදැකීම, රූපවාහිනිය නැරඹීම, චිත්‍රපටවලට යෑම, සාද පැවැත්වීම සහ නැටීමය. කියවීම, ක්‍රීඩා කිරීම සහ සංගීතයට සවන් දීම යනාදියද ජනප්‍රිය දේවල් අතර විය.
විනෝද විය හැකි ක්‍රම මෙතරම් බොහොමයක් තිබියදීත්, තමන්ට ප්‍රමාණවත් ලෙසින් විනෝද වීමට නොහැකි බව, ජේසන් වැනි සමහර යෞවනයන්ට හැඟෙන්නේ මන්දැයි තේරුම්ගැනීමට වැඩිහිටියන්ට අපහසුතාවක් තිබිය හැකිය. එහෙත් ඇතැම් ක්‍රිස්තියානි යෞවනයන් ප්‍රකාශ කර තිබෙන්නෙත් එම දෙයමය. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකාරියක වන කේසි නමැති යෞවනියක්, මෙලෙස එය පැහැදිලි කළාය: “ඉස්කෝලේ ඉන්න හැම යාළුවෙක්ම පාටි දානවා නැත්නම් හැම තිස්සෙම වෙන දේවල් කරනවා දකින්න පුළුවන්; එතකොට හරිම පාළු ගතියක් දැනෙනවා.” එහෙත් තත්වය ඇත්තෙන්ම එතරම්ම නරකද?
බයිබලයේ විනෝද වීම තහනම් කර තිබේද? කිසිසේත් නැත. බයිබලය යෙහෝවඃවහන්සේව හඳුන්වන්නේ “සන්තෝෂවත් දෙවියන්වහන්සේ” හැටියටය. (1 තිමෝති 1:11, NW) එමනිසා, සාලමොන් රජ පැවසූ මතු සඳහන ඔබට පුදුමයක් නොවිය යුතුය: “සෑම දේටම ප්‍රස්තාවක් . . . ඇත. . . . අඬන්ට කාලයක් සහ සිනාසෙන්ට කාලයක්ය; විලාපකියන්ට කාලයක් සහ නටන්ට කාලයක්ය.” (දේශනාකාරයා 3:1, 4) මෙහිදී ‘සිනාසීම’ සඳහා භාවිත කර තිබෙන මුල් හෙබ්‍රෙව් වචනය හා ඊට සම්බන්ධ වචනවලට, ‘උත්සවයක් පැවැත්වීම,’ ‘සෙල්ලම් කිරීම,’ ‘ක්‍රීඩා කිරීම,’ ‘විනෝද වීම’ සහ ‘ප්‍රීතියෙන් කල් ගෙවීම’ යන අර්ථද දිය හැකිය.—2 සාමුවෙල් 6:21; යෝබ් 41:5; විනිශ්චයකාරයන් 16:25; නික්මයාම 32:6; උත්පත්ති 26:8.
බයිබල් කාලවලදී, දෙවියන්වහන්සේගේ ජනයා, සංගීත භාණ්ඩ වාදනය කිරීම, ගැයීම, නැටීම, කතා බහේ යෙදීම සහ ක්‍රීඩා කිරීම වැනි නොයෙක් ආකාර යහපත් ක්‍රියාකාරකම්වලින් සතුටක් ලැබූහ. එමෙන්ම භෝජන සංග්‍රහයන් මෙන්ම ප්‍රීතිමත් ආශ්‍රය සඳහා, ඔවුන්ට විශේෂ අවස්ථාද තිබිණ. (යෙරෙමියා 7:34; 16:9; 25:30; ලූක් 15:25) යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පවා විවාහ මංගල්‍යයකට සහභාගි වුණා!—යොහන් 2:1-10.
එබැවින්, යහපත් ආකාරයකින් විනෝද වීම, අදදින සිටින ක්‍රිස්තියානි යෞවනයන්ට තහනම් කර නැත. ඇත්තවශයෙන්ම, බයිබලය මෙසේ පවසයි: “තරුණය, නුඹේ යෞවන වයසේදී ප්‍රීතිවෙන්න; නුඹේ යෞවන දවස්වල නුඹේ සිත නුඹ සන්තෝෂකෙරේවා.” කෙසේවෙතත්, මෙම වචන සමඟම, මතු සඳහන් වන අනතුරු ඇඟවීමත් සාලමොන් දුන්නේය: “නුමුත් මේ සියල්ල ගැන දෙවියන්වහන්සේ නුඹ විනිශ්චයට පමුණුවන බව දැනගන්න.” (දේශනාකාරයා 11:9) එසේය, ඔබ ගන්නා තීරණ සම්බන්ධයෙන් දෙවියන්වහන්සේ ඉදිරියේ ඔබ වගකිව යුතුව සිටින්නෙහිය. එමනිසා විනෝදාස්වාදය සම්බන්ධයෙන් ගත් කල, ඔබ “ඥානය නැත්තන්මෙන් නොව ඥානවන්තයන් මෙන් ප්‍රවේසමෙන් හැසිරෙන්ට බලා[ගත]” යුතුය. (එපීස 5:15, 16) ඊට හේතුව? මේ සම්බන්ධයෙන් යෞවනයන් බොහෝදෙනෙකු නොමේරූ තීරණ ගන්නා බැවිනි.
විනෝදය පාලනය කළ නොහැකි තත්වයකට පත් වන විට
අතීතයේ, බයිබල් කාලවලදී සිදු වූ දෙයක් සලකා බලන්න. ඇතැම් ඉශ්‍රායෙලිතයෝ, විනෝදාස්වාදය සම්බන්ධයෙන් තමන්ට තිබූ සමබරතාව සම්පූර්ණයෙන්ම නැති කරගෙන, මුළු රාත්‍රිය පුරාම නොහික්මුණු සාදයන් පැවැත්වූහ! අනාගතවක්තෘ යෙසායා මෙසේ පැවසුවේය: “මද්‍යපානය පස්සේ යන පිණිස උදෑසනම නැගිටින්නාවූ, මුද්‍රිකපානයෙන් ඇවිළෙන ලෙස රෑවෙන තුරු ප්‍රමාද වෙන්නාවූ අයට දුක් වේ! ඔවුන්ගේ මංගල්‍යවල වීණාව සහ කුඩා වීණාවත් රබානත් නළාවත් මුද්‍රිකපානයත් ඇත.” එකට එකතු වී, ආහාර, සංගීතය සහ නැටුම් යනාදියෙන් වින්දනයක් ලැබීම වැරදි බව ඉන් අදහස් කළේ නැත. එහෙත් මෙලෙස විනෝද වූවන් පිළිබඳව යෙසායා මෙසේ පවසයි: “ඔවුන් ස්වාමීන්වහන්සේගේ ක්‍රියාව සලකන්නේ . . . නැත.”—යෙසායා 5:11, 12.
අදදින බොහෝ යෞවනයෝ එම දෙයම කරති—ඔවුහු විනෝදාස්වාදය තෝරාගන්නා විට, දෙවියන්වහන්සේ ගැන වැඩි සැලකිල්ලක් නොදක්වති. ඇතමෙක් “විනෝදය” සඳහා, විවාහයට පෙර ලිංගික සම්බන්ධකම් පැවැත්වීම, වස්තු මංකොල්ලකෑම, මත්ද්‍රව්‍ය අනිසි ලෙස භාවිතය මෙන්ම වෙනත් අපරීක්ෂාකාරි හැසිරීම්වල යෙදීමෙන්, කිසිම තැකීමකින් තොරව දේවප්රමිති නොසලකා හරිති. එහෙත්, වෙනත් අවස්ථාවලදී, මෙම යෞවනයන් ඇත්තෙන්ම දුෂ්ට වීමට වෙර දරන බවක් නොපෙනේ. එහෙත් පමණ දැන දේවල් කිරීමට සහ සීමාව ඉක්මවීමෙන් වැළකීමට ඔවුහු අසමත් වෙති. (හිතෝපදේශ 23:20; 1 තිමෝති 3:11) එමනිසා විනෝදයෙන් කාලය ගත කිරීම සඳහා ඔවුන් එකට එකතු වන විට, දේවල් පාලනය කළ නොහැකි තත්වයකට පෙරළේ.—1 කොරින්ති 10:6-8, සසඳන්න.
“අදදින ලෞකික සාදයන්හි සිදු වන්නේ කුමක්ද?” යනුවෙන් සමහරක් යෞවනයන්ගෙන් මෑතකදී පිබිදෙව්! විමසීය. නව යොවුන්වියේ පසු වන එක් දැරියක් මෙසේ පිළිතුරු දුන්නාය: “මත්ද්‍රව්‍ය හා මත්පැන් පාවිච්චි වෙනවා. ඒක ඇත්තටම සිද්ධ වෙනවා.” තම පාසැලේ සිටි, සාදවලට යන සමහරක් පිරිමි ළමුන් සම්බන්ධයෙන් යෞවන ඇන්ඩෲ මෙසේ පැවසුවේය: “ඒගොල්ලන් කරන එකම දේ තමා, තමන් බීපු ප්‍රමාණය ගැන පුරසාරම් දෙඩීම.” ජේසන් මෙලෙසත් පැවසීය: “ලෞකික පාටිවලදී හැම තිස්සෙම වාගේ නරක දේවල් සිද්ධ වෙනවා.” බයිබලය “මංගල්‍යඝෝෂා” නැතහොත් “සූරාධූර්ත උත්සව” හෙළාදකින බැවින්, දේවභය ඇති යෞවනයෝ එබඳු දේවල් සිදු වන සමාජීය එක්රැස්වීම්වලින් වැළකී සිටිති.—ගලාති 5:21, නව අනුවාදය.
පෙනෙනාකාරයට හානිදායක නොවන විනෝදාස්වාදයේ පවා අනතුරුදායක තත්වයන් මතු විය හැකිය. නිදසුනක් හැටියට, අදදින තිබෙන ඉතාමත්ම ජනප්‍රිය චිත්‍රපට බොහොමයක, නිරුවත, ඉතා අශික්ෂිත කාමුක ක්‍රියා සහ පිළිකුල්සහගත සාහසිකකම හුවා දක්වනු ලැබේ. ජනප්‍රිය ගීවල බොහෝවිට කාමුක අදහස් ඇති පද අඩංගු වේ. රොක් සංගීත සන්දර්ශන වනාහි සාමාන්‍යයෙන්, මත්ද්‍රව්‍ය අනිසි ලෙස භාවිත කිරීම, ආරවුල් මෙන්ම සාහසිකකම් සිදු වන ස්ථාන වේ.a
දෙමව්පියන් එපායයි පවසන විට
මෙයට මූලික හේතුව කුමක්ද? ඔබ ක්‍රිස්තියානියෙකු නම්, ඔබගේ තුල්‍යයන් සතුටක් ලබන සෑම දෙයක්ම ඔබට කළ නොහැක. ඊට හේතුව නම්, තම අනුගාමිකයන් “ලෝකයාගෙන් නොවන” බව යේසුස්වහන්සේ පැවසීමයි; එයින් අදහස් කරන්නේ අනිත් අයට වඩා වෙනස්ව සිටීමයි. (යොහන් 15:19) ඔබේ දෙමව්පියන් දේවභය ඇති අය නම්, ඔවුහු මෙම කරුණ ගැන හොඳින් දැන සිටිති. එමනිසා, සමහර අවස්ථාවලදී, ඔබව ආරක්ෂා කිරීමට තිබෙන ඕනෑකම නිසා, ඇතැම් දේවල්—එනම් වෙනත් යෞවනයන්ට කිරීමට නිදහස තිබෙන දේවල් කිරීමෙන් ඔබව වැළැක්වීමට හෝ ඒවා ස්ථිර ලෙස තහනම් කිරීමට හෝ ඔබේ දෙමව්පියන්ට හැකිය. මෙය හැමවිටම පිළිගැනීමට පහසු දෙයක් නොවේ. “මිනිස්සු විනෝද වෙන්න ආසයි!” කියා නව යොවුන්වියේ පසු වන එක් දැරියක් පැවසුවාය. “අපේ දෙමව්පියන්ට තරුණ කාලයේදී, විනෝද වෙන්න නිදහස තිබුණා, ඒත් සමහරවිට අපිට හැඟෙන්නේ, එයාලා අපිව හිර කරලා තියාගන්න කැමතියි කියලයි.”
ඔබ මූලික වශයෙන් ඔවුන්ගේ දෘෂ්ටිය දරන නමුත්, එවන් කාරණාවලදී ඔබේ දෙමව්පියන්ගේ උපදෙස් අනුගමනය කිරීම පහසු දෙයක් නොවිය හැකිය. ජෙරඩ් කියා අපට හැඳින්විය හැකි, හොඳ ශරීර ශක්තියක් ඇති කඩවසම් තරුණයෙක් මෙය සිහියට නංවයි: “පාසැල් පැසි පන්දු කණ්ඩායමට එකතු වෙන්ට මම කැමති වුණා. ඒ කණ්ඩායමට බැඳෙන්න හුඟදෙනෙක් මට බල කළා, ඒක මට කරදරයක් වුණා. ඒත් මගේ දෙමව්පියන් එක්ක මම ඒ ගැන කතා කළා.” “නපුරු සමාග[මේ]” උවදුරු ගැන ජෙරඩ්ගේ දෙමව්පියන් ඔහුට පෙන්වා දුන් අතර, ඔහුගේ ක්‍රීඩා ක්‍රියාකාරකම් කොතරම් කාලය-වැය වන කාර්යයක්ද කියාත් ඔවුහු ඔහුට මතක් කර දුන්හ. (1 කොරින්ති 15:33) “එතැනින්ම ඔක්කෝම ඉවරයි,” යනුවෙන් ජෙරඩ් දුකින් පවසයි. ඔහු තම දෙමව්පියන්ගේ උපදෙස් පිළිපැද්ද නමුත්, තමාට පන්දු සෙල්ලම් කිරීමට නොහැකි වූ නිසා සිත්තැවුලට පත් වූයේය.
‘මට හරිම පාඩුවක්!’
ඔබගේ තත්වය කුමක් වුවත්, ඔබේ පාසැල් මිතුරු මිතුරියන් තමන් ගත කරන විනෝදාත්මක කාලය ගැන පුරසාරම් දොඩන විට, ඇතැම්විට කලින් කලට ඔබ අධෛර්යයට පත්වීමට ඉඩ තිබේ. ‘විනෝද වෙන්න පුළුවන් අනික් යෞවනයන්ට විතරද?’ කියා ඔබ ඇතැම්විට අසන්ට ඉඩ තිබේ. එසේය, ඔබට යම් පාඩුවක් සිදු වෙනවාය යන හැඟීම ඔබට මැඩපැවැත්විය හැක්කේ කෙසේද?
ඔබ ගීතාවලිය 73 කියවා ආසාප් නමැති බයිබල් ලේඛකයාගේ අද්දැකීම ගැන මෙනෙහි කළොත්, එය ඔබට උපකාරවත් විය හැකිය. දෙවන සහ තෙවන පදවල ඔහු මෙසේ තම වරද එළිපිට පිළිගනියි: “මාගේ පාද ඉවතයන්ට ළං විය; මාගේ අඩි නොලිස්සුවා පමණය. මක්නිසාද මම . . . අහංකාරීන් [පුරසාරම් දෙඩූවන්, NW] කෙරෙහි ඊර්ෂ්‍යාකෙළෙමි.” එසේය, ආසාප් සීමාවලින් කොටු වූ ජීවිතයක් ගත කළ අතර, තමන් කැමති ඕනෑම දෙයක් තමන්ට කළ හැකි බවට අනික් අය පුරසාරම් දෙඩූහ—පෙනෙනාකාරයට ඊට නරක විපාක තිබුණේද නැත. ඔවුන්ට වස්තු සම්භාරයක් තිබූ බවත්, හැමවිටම වැඩි වැඩියෙන් ලබමින් සිටි බවත් පෙනෙන්ට තිබිණ. (12වන පදය) එහෙයින් ආසාප් කොපමණ අධෛර්යයට පත් වූවාද කිවහොත් ඔහු මෙසේ විලාප නැඟුවේය: “මම මාගේ සිත පවිත්‍රව තබාගත්තෙත් පාපයෙන් වැළකී සිටියෙත් නිෂ්ඵලකමටද?”—ගීතාවලිය 73:13, ටුඩේ’ස් ඉංග්ලිෂ් වර්ෂන්.
වාසනාවකට මෙන්, ආසාප් දුරදිග නොබලා කටයුතු කිරීමට පෙර ප්‍රකෘති ස්වභාවයට පැමිණියේය. ඔහු “දෙවියන්වහන්සේගේ ශුද්ධ ස්ථානයට” ගොස්, එම යහපත් වටාපිටාවෙහිදී, කාරණා ගැන බැරෑරුම් ලෙස කල්පනා කරන්ට විය. විනෝද වීමෙහි එල්බගෙන සිටින අභක්තිකයන් පිළිබඳව ඉක්මනින්ම ආසාප් අපූරු නිගමනයකට බැස්සේය: “සැබවින් ඔබ ඔවුන් ලිස්සන තැන්වල සිටුවනසේක. ඔබ ඔවුන් විනාශයට හෙළනසේක.”—ගීතාවලිය 73:16, 18.
විනෝද වීමෙහි එල්බගෙන සිටින ඔබගේ තුල්‍යයන් බොහෝදෙනෙකු සම්බන්ධයෙන්ද එම දෙයම පැවසිය හැක. තමන් දැන් හොඳ කාලයක් ගත කරමින් සිටින බව ඔවුන්ට හැඟිය හැක. එහෙත් පාපයෙන් ලැබෙන සතුට තාවකාලික දෙයකි! (හෙබ්‍රෙව් 11:25) ඔවුහු බයිබල් ප්‍රමිති අනුගමනය නොකරන නිසා “ලිස්සන තැන්වල” සිටගෙන සිටින අතර, හිටිහැටියේම, අනතුරු ඇඟවීමකින් තොරව, මහත් වැටීමක් අද්දැකීමේ නිරන්තර අවදානමේ සිටිති. දෙවියන්වහන්සේගේ වචනය මෙසේ ප්‍රකාශ කරයි: “මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපා ගන්නේය.” (ගලාති 6:7) “විනෝද” ක්‍රියාකාරකම්වල යෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් දැනටමත් අකල් මරණවලට, ලිංගිකව පැතිරෙන රෝගවලට, අනවශ්‍ය ගැබ්ගැනීම්වලට හෝ සිර අඩස්සිවීම්වලට ගොදුරු වූ, ඔබේම වයසේ යෞවනයන් ගැන ඔබ අසා ඇති. එසේනම් එවැනි දේවලට සම්බන්ධ නොවී සිටීම ඔබට ප්‍රයෝජනදායක නොවන්නේද?—යෙසායා 48:17.
සාලමොන් මතු සඳහන පැවසූ විට අපට යහපත් උපදෙසක් දුන්නේය: “නුඹේ සිත පව්කාරයන්ට ඊර්ෂ්‍යා නොකොට, හැම කල්හිම ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව තිබේවා. මක්නිසාද සැබවින් විපාකයක් ලැබෙන්ට තිබේ; නුඹේ බලාපොරොත්තුවද සිඳදමනු නොලැබේ.” (හිතෝපදේශ 23:17, 18) එසේය, පොළොව මත පාරාදීසයක සදාකල් ජීවත්වීමේ අපේක්ෂාව කෙනෙකුට අහිමි කරවන තාවකාලික “හොඳ” කාලයක් කිසිසේත් වටින්නේ නැත.
ඒ අතරතුරේදී, ඇත්තෙන්ම හොඳ කාලයක් ඉඳහිට ගත කිරීම සඳහා වූ ඔබේ ස්වභාවික ආශාව තෘප්තිමත් කරගැනීමට ඔබට කුමක් කළ හැකිද? එසේ කිරීම සඳහා සුරක්ෂිත, වැඩදායී ක්‍රම තිබෙනවාද? මුදල් මෙන්ම වෙනත් සම්පත් සීමිත නම් තත්වය කුමක්ද? පිබිදෙව්! ලොවවටා සිටින යෞවනයන්ගෙන් යෝජනා සහ අදහස් විමසුවේය. මේවා මෙම ලිපි මාලාවන්හි ඉදිරි ලිපියක සාකච්ඡා කරයි.
[පාදසටහන]
a අපගේ 1995 දෙසැම්බර් 22 එවේක්! කලාපයේ, “යෞවන අය අසති . . . මා රොක් සංගීත සන්දර්ශනවලට යා යුතුද?” යන ලිපිය බලන්න.
[26වන පිටුවේ පින්තූරය]
ලෝකයා විනෝදයයි හඳුන්වන දේවල ඔබට සහභාගි විය නොහැකි නිසා, ඔබට යම් පාඩුවක් සිදු වෙනවායයි හැඟිය යුතුද?