යෞවන අය අසති . . .
මට විනෝද විය හැක්කේ කොහොමද?
“මම හිතනවා අපිට විනෝද වෙන්න ගොඩක් දේවල් කරන්න හම්බ වෙනවයි කියලා. අපේ සභාවේදී කට්ටිය එක්ක එකට ඉන්න කොහොම හරි උත්සාහ කරනවා. අපි හොඳ විදිහට විනෝද වෙනවා. ලෝකයේ ඉන්න හුඟක් ළමයින්ට එහෙම කියන්න බෑ.”—ජෙනිෆර්
විනෝදය—මෙය සෑම කෙනෙකුටම විටින් විට අවශ්‍යයි. ද වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා කියන්නේ, විනෝදය, “කෙනෙකුගේ මානසික සහ ශාරීරික සෞඛ්‍යයට වැදගත් ආකාරයකින් දායක” විය හැකි බවයි. ඇයි, බයිබලයම කියන්නේ, “සිනාසෙන්ට කාලයක්” තියෙනවා කියාය; එසේ ඒ කාලය තියෙන්නේ, කෙනෙකුට ප්රීතිවීමටයි!—දේශනාකාරයා 3:1, 4.a
“විනෝදය” යන වදනේ අර්ථය රැගෙන තිබෙන්නේ, “යළි ප්‍රාණවත් කරනවා, ප්‍රීතිමත් කරනවා, විඩා නිවනවා” යන තේරුම දෙන ලතින් යෙදුමකිනි. (වෙබ්ස්ටර්ස් නිව් කොලීජියේට් ඩික්ෂනරි) කනගාටුවට කරුණක් නම්, “විනෝදය” සඳහා යෞවනයන් කරන බොහෝ දේවල්—එනම් අශිෂ්ට උත්සවවලට සහභාගි වීම හෝ මත්ද්‍රව්‍ය සහ මත්පැන් අනිසි භාවිතය හෝ නීති විරෝධී ලිංගික කටයුතුවල යෙදීම වැනි දේ—කොහෙත්ම යළි ප්‍රාණවත් කරනවා වෙනුවට, විනාශකාරි දේවල්ය. එබැවින් යහපත් මෙන්ම ප්‍රියජනක විනෝදය සෙවීම අභියෝගයක් විය හැකියි. එහෙත්, මුලදී උපුටා දැක්වූ ජෙනිෆර් ඇඟවූ පරිදි, එය කළ හැක!
එකට දේවල් කිරීම
මෑතකදී, මෙම විෂය සම්බන්ධව පිබිදෙව්! විසින් යෞවනයන් ගණනාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවක් කරන ලදි. අනිත් යෞවනයන් සමඟ එකට දේවල් කිරීමෙන් ආස්වාදයක් ලබන බව බොහෝදෙනෙක් කියා සිටියෝය. ඔබටත් එලෙසම හැඟෙනවාද—නමුත් බොහෝවිට ඔබව කපාහැර තිබෙනවායයි හැඟෙනවාද? එසේනම් මූලික පියවර ගන්න එක හොඳ අදහසක් නොවේද? උදාහරණයක් හැටියට, දකුණු අප්‍රිකානු ගැහැනු ළමයෙක් වන ලී, කියන්නේ මෙසේය: “මම යම් චිත්‍රපටයක් බලන්න ඕන වුණාම, මම මගේ මිතුරියකට දුරකථනයෙන් කතා කරලා ඒ ගැන කියනවා; ඊට පස්සේ, අපි අපේ අනිත් යාළුවන්ටත් ඒ බව දන්වනවා.” සාමාන්‍යයෙන්, ඔවුන් දහවල් කාලයේදී චිත්‍රපට නැරඹීමට යන අතර, ඉන්පසු ඔවුන්ගේ දෙමව්පියන් විසින් ගෙනයන ලදුව, ප්‍රදේශයේ ඇති භෝජන ශාලාවකින් ඔවුහු එකට ආහාරයක් අනුභව කරති.
ක්‍රීඩා කටයුතුද සෞඛ්‍යදායක ව්‍යායාම සහ සනීපදායක ඇසුර සඳහා ප්‍රස්තා උදා කරයි. (1 තිමෝති 4:8) තරුණ රෝලින් කියන්නේ: “ඉස්සෙල්ලාම මං මගේ පවුලේ අයත් එක්ක මට යන්න ඕනෙ කොහෙද කියල කතා කරගන්නවා; ඊට පස්සෙ පුංචි කණ්ඩායමකට අපිත් එක්ක හවුල් වෙන්න අඬගහනවා” කියාය. ඇත්තෙන්ම, ක්‍රිස්තියානි යෞවනයන් විසින් අන් අය සමඟ සහභාගි විය හැකි සිත්ගන්නාසුලු සනීපදායි ක්‍රීඩා පෙළක් සොයාගෙන තිබේ: කිහිපයක් සඳහන් කළොත් ක්‍රිකට් ගැසීම, බයිසිකල් පැදීම, සෙමෙන් සෙමෙන් දිවීම සහ ටෙනිස් ගැසීම, එල්ලේ ගැසීම, පාපන්දු සහ වොලි බෝල් ගැසීම යනාදියයි.
ඇත්තවශයෙන්ම, හොඳින් විනෝද වීමට අධික මුදලක්වත් විසිතුරු බඩු මුට්ටුවත් අවශ්‍ය වන්නේ නැත. “මගේ දෙමව්පියෝ, මිතුරෝ සහ මම බොහෝ අවස්ථාවල, ආස්වාදජනක පැය ගණනාවක්, අසල පිහිටි කඳුකර සහ වනාන්තර ප්‍රදේශ හරහා පයින් ගමන් කර තිබෙනවා” යයි නහඹර වියේ පසු වන එක්තරා ක්‍රිස්තියානි ගැහැනු ළමයෙක් පවසන්නීය. “නැවුම් සුළං තියෙන තැනක, හොඳ යහළුවන් එක්ක ඉන්න එක කොච්චර ආස්වාදයක්ද!”
ගොඩනංවනසුලු සමාජ ආශ්‍රය
කෙසේවෙතත්, බොහෝ යෞවනයන්ට ප්‍රීතිවීම කීමෙන් අදහස් කරන්නේ, සමාජ ඇසුරෙහි යෙදීමයි. “කෑමට සහ සින්දු අහන්න මිතුරන්ට ආරාධනා කිරීමෙන් අපි මහත් ආස්වාදයක් ලබනවා” කියා තරුණ අවේඩ පවසන්නීය. ක්‍රිස්තියානීන් අතර සමාජ ආශ්රයටත් නියමිත ස්ථානයක් තිබේ. යේසුස්වහන්සේම පවා විශේෂ ආහාර වේල්, මංගල උත්සව සහ අනිකුත් සමාජ ඇසුරුවලට සහභාගි වූසේක. (ලූක් 5:27-29; යොහන් 2:1-10) ඒ හා සමානව, මුල් ක්‍රිස්තියානීහුද ආහාර සහ ගොඩනංවනසුලු ඇසුරක් සඳහා එකට එක්කාසු වූ විට ආස්වාදයක් භුක්තිවින්දාහ.—යූද් 12, සසඳන්න.
ඔබේ දෙමව්පියන් එවැනි ඇසුරක් සංවිධානය කිරීමට ඔබට ඉඩහැරියොත්, ගැටලු වළක්වාගෙන සියල්ලන්ටම ප්‍රීතිමත් කාලයක් සහතික කිරීමට කුමක් කළ හැකිද? යතුර නම් පරෙස්සමින් සැලසුම් කිරීමයි. (හිතෝපදේශ 21:5) මෙය මෙසේ නිදර්ශනය කරමු: නියම විදිහට හැසිරවිය හැකි මිතුරන් සංඛ්‍යාවක් පමණක් ආරාධනා කිරීම නුවණට හුරු බව පැහැදිලිය. එවැනි කුඩා සමූහ ආශ්‍රයන් “මංගල්‍යඝෝෂා” හෝ “අශික්ෂිත උත්සව” බවට හැරීමේ ඉඩ කඩ අඩුය.—ගලාති 5:21; බයිංටන්.
“අනියම්ලෙස හැසිරෙන” අය සමඟ සමාජ ආශ්රයෙන් වළකින ලෙස මුල් සියවසේ ක්‍රිස්තියානීන්ට අවවාද කරනු ලැබිණ. (2 තෙසලෝනික 3:11-15) අදදින සමාජ ඇසුරක් ස්ථිරවම කඩාකප්පල් කිරීමට කළ යුතුව තිබෙන්නේ, පාලනය කිරීමට නොහැකි සහ දඩබ්බරයයි නම් දරා ඇති අයව ආරාධනා කිරීම පමණි. ආරාධනා කරන්නේ කාවද යන්න ගැන ඔබ විසින් පරෙස්සම් විය යුතු අතරම, එකම මිතුරු කැලකට විතරක්ම සීමා වෙන්නත් එපා. ‘පුළුල් වන්න;’ වයස්ගත අය ඇතුළු සභාවේ සිටින අනෙකුත් අයවත් දැන හඳුනාගන්න.—2 කොරින්ති 6:13
ඔබ කෑම්බීම් සපයන්න යනවාද? එසේනම්, ඔබේ අමුත්තන්ට විනෝද වීම සඳහා අධික ලෙස වියදම් කරමින් එසේ කළ යුතු නැත. (ලූක් 10:38-42) “සමහරක් දාට අපි රෑට පීට්ස කනවා” කියන්නේ, දකුණු අප්‍රිකානු ගැහැනු ළමයෙක් වන සැන්චය. අමුත්තන් පවා යම් දෙයක් හෝ ආහාරයක් ගෙන ඒමට ඉදිරිපත් වේවි.
ඇසුරකදී—ඒ කියන්නේ නිකම්ම ටීවී බලනවාට, සින්දු අහනවාට සහ කතා කර කර ඉන්නවාට අමතරව ඔබට කළ හැකි සමහරක් දේවල් මොනවාද? සැන්ච කියන්නේ, “අපි සැන්දෑව කල් ඇතුව සැලසුම් කරනවා” කියායි. “අපි ක්‍රීඩා කර තිබෙනවා නැත්නම් කෙනෙක් පියානෝව වාදනය කරන විට, අපි එක්කහු වෙලා සින්දු කියනවා.” අප්‍රිකානු යෞවනයෙක් වන මසේනා කියන්නේ: “සමහර වෙලාවට අපි කාඩ්ස් සෙල්ලම් කරනවා, දාං අදිනවා ඒ වගේම චෙස් සෙල්ලම් කරනවා” කියාය.
කලින් සඳහන් කළ ජෙනිෆර්, පිබිදෙව්!ට මෙසේ කීවාය: “අපේ සභාවේ ඉන්න වැඩිමහල්ලෙක් බයිබල් ක්‍රීඩා කරන්න අපට අඬගහනවා. හොඳින් සෙල්ලම් කරන්න නම් බයිබලේ ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනෙ.” පිබිදෙව්! නියෝජිතයා අනික් යෞවනයන්ගෙන් මෙසේ ඇසුවේය: “බයිබල් ක්‍රීඩා කරන එක එතන්ට ගැළපෙන්නේ නෑ කියල ඔයගොල්ලන්ට හිතෙන්නේ නැද්ද?” සියලුදෙනාම වගේ කෑගසා මෙහෙම පිළිතුරු දුන්හ; “නෑ!”
“ඒක හොඳ අභියෝගයක්” එක් නහඹර ගැහැනු ළමයෙක් පැවසුවාය. “හොඳට විනෝද වෙන්න පුළුවන්!” කියා තවකෙක් කීය. බයිබල් ක්‍රීඩා විනෝදය සඳහා කරන විට, එහි තරඟකාරි ස්වභාවය ඉක්මවා යා නොදී තබාගත් විට, ඒවා ප්‍රසන්නය; අධ්‍යාපනික ගුණයෙන් වැඩිය!—වර්ෂ 1972 ජුනි 22 එවේක්! කලාපයේ “මේකිං ගෙට්-ටුගෙදර්ස් එන්ජොයබල් යෙට් බෙනෙෆිෂල්” බලන්න.
පවුලේ විනෝදය
බයිබල් කාලවලදී පවුල් එකට එකතු වී යම් ආකාරයක විනෝදයක යෙදීම අසාමාන්‍ය දෙයක් නොවීය. (ලූක් 15:25) කෙසේවෙතත්, ද කිඩ්ස්’ බුක් අබව්ට් පේරන්ට්ස්හි තරුණ කර්තෘවරුන් නිරීක්ෂණය කළේ, “දෙමව්පියන් සහ දරුවන් මේ කාලයේ කොපමණ කාර්යබහුලද කීවොත්, යම් විනෝද ක්‍රියාවක් සැලසුම් කිරීමට කිසිවෙකුට කාලයක් නැත . . . දෙමව්පියන් සහ දරුවන් විසින් සෑම සතියකම යම් කාලයක්, සම්පූර්ණයෙන්ම විනෝදය වෙනුවෙන් ගත කිරීමට වගබලා ගැනීම වැදගත්යයි අපට සිතේ.”
“සිකුරාදා අපේ පවුලේ දවස” එසේ පවසන්නේ අප්‍රිකානු යුවතියක් වන පාකිය. “අපි සාමාන්‍යයෙන් එකට සෙල්ලම් කරනවා.” ඔබේ සහෝදරයා හෝ සහෝදරියවද අමතක නොකරමු. තරුණ බ්‍රොන්වින් කියන්නේ: “මගේ සහෝදරිය සමඟ චිත්‍ර ඇඳීමෙන් සහ අනිකුත් කලාත්මක දේවල් කිරීමෙන් ආස්වාදයක් ලබනවා” කියායි. පවුලේ අය සමඟ කිරීම සඳහා සමහර විනෝද වීම් සම්බන්ධව ප්‍රමුඛත්වය ගෙන යම් යෝජනා ඉදිරිපත් කිරීමට ඔබට හැකිද?
ඔබ සම්පූර්ණයෙන්ම තනි වූ විට
ඔබ තනිව සිටී නම් කුමක්ද? ඔබ තනි වී නිරසබවට පත් විය යුතුය කියා එයින් අදහස් කරන්නේ නැහැ. එවන් අවස්ථාවන් ඵලදායී, ආස්වාදජනක ආකාරයෙන් ගත කිරීමට ක්‍රම බොහොමයක් තිබේ. උදාහරණයකට, විනෝදාංශ. බයිබල් කාලවල පටන් පුරුෂයෝ සහ ස්ත්‍රීහු සංගීතය අධ්‍යයනය කිරීම වඩාත් සඵල යමක් බව සොයාගනු ලැබූහ. (උත්පත්ති 4:21; 1 සාමුවෙල් 16:16, 18) “මම පියානෝව වාදනය කරනවා” කියා රේචල් කියයි. “නිරසබවක් හැඟුණාම කරන්න පුළුවන් දෙයක් තමයි ඒක.” ඔබ සංගීතයට නැඹුරුවාවක් නැත්නම්, මැසීම, වතුවැඩ කිරීම, මුද්දර එකතු කිරීම හෝ විදේශ භාෂාවක් ඉගෙනගැනීම වැනි දෙයක් කළ හැකියි. වැඩිපුර යමක් හැටියට, ඉදිරි වසරවලදී ප්‍රයෝජනවත් විය හැකි දක්ෂතාවන් වර්ධනය කරගැනීමත් කළ හැකියි.
ඊසාක් වැනි ඇදහිලිවන්ත මනුෂ්‍යයන්, මෙනෙහි කිරීමට හුදකලා අවස්ථාවන් සොයාගත් බව බයිබලය අපට පවසයි. (උත්පත්ති 24:63) හාන්ස් නම් තරුණ ඕස්ට්‍රියානු මනුෂ්‍යයා කියන්නේ: “ඉඳල හිටලා, මම වත්තේ නිස්කලංක තැනකට ගිහිං ඉඳගෙන, ඉර බහිනවා බලං ඉන්නවා. ඒක මට ලොකු සතුටක් ගෙනෙනවා වගේම මගේ දෙවි වූ යෙහෝවඃවහන්සේට වඩා කිට්ටු බව හැඟෙන්න මට උදව් කරලා තියෙනවා” කියලයි.
යෙහෝවඃවහන්සේගේ සේවය තුළ “ප්‍රීතිය”
යෙහෝවඃ දෙවියන්වහන්සේට සේවය කිරීම තුළ ක්‍රිස්තුස්වහන්සේ “ප්‍රීතිය” සොයාගන්නා බවට බයිබලය අනාවැකි පළ කළේය. (යෙසායා 11:3) දෙවියන්වහන්සේට පරිශුද්ධ සේවය පිරිනැමීම ඇත්තෙන්ම විනෝදය නොවුණත්, එය ප්රබෝධකර සහ තෘප්ති උපදන දෙයකි.—මතෙව් 11:28-30.
කලින් සඳහන් කළ හාන්ස්, තවත් ආස්වාදජනක අද්දැකීමක් මතක් කරයි. ඔහු මෙසේ කීවේය: “එක්රැස්වීම් ශාලාවක් (නමස්කාරය පිණිස) හදමින් අපි ගත කළ ඒ සති අන්ත මතක් කරන්න මමත් මගේ යාළුවනුත් ආසයි. එකට වැඩ කරන හැටි අපි ඉගෙනගත්තා; ඒවගේම අපි එකිනෙකාව වඩා හොඳින් දැන හඳුනාගත්තා. ආපසු හැරිලා බලද්දී, ප්‍රයෝජනවත් වගේම විනෝදජනක දෙයක් කළ බවට අපි තුළ තෘප්තිකර හැඟීමක් ඇති වෙනවා.”
මෙම ක්‍රිස්තියානි යෞවනයන්ගේ සාක්ෂිවලින් චමත්කාරජනක ලෙස පැහැදිලි වන කරුණක් තිබේ: එනම්, විනෝද වන එක ඔබට අනිවාර්යයෙන්ම අහිමි විය යුතු දෙයක් නොවන බවයි. බයිබල් ප්‍රතිපත්ති අනුගමනය කරන්න. සිතේ මවාගැනීමේ ශක්තිය වැඩි කරගන්න! හොඳ දේ සඳහා මූලික පියවර ගැනීමට ඉදිරිපත් වන්න! ඔබව කඩා දමනවා නොව, ඒත් හැම අයුරින්ම ඔබව ගොඩනඟන, ආස්වාදජනක මඟක ඔබ සිටින බව, ඔබට සොයාගත හැකිවනු ඇත.
[පාදසටහන]
a අපේ 1996 ඔක්තෝබර් 8 කලාපයේ, “යෞවනයෝ අසති . . . විනෝද වෙන්න පුළුවන් අනික් යෞවනයන්ට විතරද?” යන ලිපිය බලන්න.
[28වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“නැවුම් සුළං තියෙන තැනක, හොඳ යහළුවන් එක්ක ඉන්න එක කොච්චර ආස්වාදයක්ද!”
[29වන පිටුවේ පින්තූර]
ඔබේ මිතුරන් සමඟ විනෝද වීමට අධික ලෙස මුදල් වියදම් කිරීමට ඕනෑ නැහැ