යෞවන අය අසති . . .
හැමතිස්සෙම මමම වැරදි මොකද?
“මගේ තාත්තගේ ඇඟට සමහර දේවල් අල්ලන්නේ නැහැ, ඒ වගේම එයාට සිගරට් බොන අය එක්ක වැඩ කරන්න වෙනවා. එයා ගෙදර එනකොට, සමහර වෙලාවට එයාට හොඳටම කේන්ති ගිහිල්ලා. එයා දේවල් නැති කරගන්නවා, හැබැයි මම තමයි ඒකට වැරදිකාරයා වෙන්නෙ. මම කිව්වහම එයයි නැති කරගත්තෙ කියල, එයාට හොඳටම තරහ යනවා, ඒ වගේම මට කියනවා එයාව හරිගස්සන්නෙ නැතුව ඉන්න තිබුණා කියල.”—නව යොවුන් වියැති ගැහැනු ළමයෙක්.
ඔබට සමහරවිට හිතෙනවද කොහෙන් ගියත් ඔබටමයි පවුලෙ අය වරද පටවන්නෙ කියලා? මොනව වැරදුණත් ඔබ තමයි වැරදිකාරයා වෙන්නෙ වගෙයිද පෙනෙන්නෙ? එවැනි ආකාරයකටයි 14 වියැති ජෝයිට හැඟෙන්නෙ. ඇය තනි-මාපිය පවුලක ජීවත් වන අතර, ඇය බොහෝවිට ඇයගේ මල්ලීවත් නංගීවත් බලාගන්නවා. “ඒගොල්ලන් සණ්ඩු කරන්න පටන්ගන්න කොට මම ඉන්නෙ පල්ලෙහා තට්ටුවෙ. ඒගොල්ලන් හරිම මෝඩ බොළඳ විදිහටයි වැඩ කරන්නෙ, හැබැයි තාත්තා ගෙදර ආවාම, මම ඒක නවත්වන්න එතන හිටපු නැති නිසා මට කෑගහනවා” කියමින් ජෝයි පැමිණිලි කරනවා.
නරක් වෙලා, කම්මැළියා හෝ කිසිම වගකීමකින් කටයුතු කරන්නෙ නැහැ යයි ඔබේ දෙමාපියන් ඔබට කියනවා නම් හෝ ඔබගේ අඩුපාඩුකම් නිවැරදි කරන්න බැරි බවට හඟවන වෙනත් දේවලින් ඔබව හංවඩු ගහනවා නම්, ඔබ අසාර්ථක වෙනවා දකින්න ඔවුන් අපේක්ෂා කරනවා කියා සමහර අවස්ථාවලදී පෙනෙන්න පුළුවන්. රාමොන්ගේ පවුලේ අය ඔහුට උගත් පිස්සා—එනම් ඔහු බෙහෙවින් නොරිස්සූ විකට නමක් පටබැන්දා. ආදරයට කිව්වත්, ඔබගේ අඩුපාඩුකම් උලුප්පා දක්වන විකට නමක් හෝ ලේබලයක්, ඒ අයුරෙන්ම ඔබත් රුස්සන්නේ නැති වෙන්න පුළුවන්. වැඩිදියුණු වෙන්න ඔබව පොලඹවනවා වෙනුවට, මෙම නිෂේධාත්මක ලේබලය ඔබ අතෙයි සැමවිටම වරද තියෙන්නෙ යන හැඟීම් තවදුරටත් තහවුරු කරන්න පුළුවන්.
දොස් නැඟීම විශේෂයෙන්ම වේදනාකාරි විය හැක්කේ එය අනිසි අනුග්රහයේ ප්‍රතිඵලයක් මෙන් පෙනෙන විටෙකදියි. “මම තමයි මැද ළමයා, ඉතින් මට තමයි හැම වෙලාවෙම ඕනෙම දේක නරක හරිය හම්බ වෙන්නෙ” යයි ෆ්රැන්කි නම් නව යොවුන් වියැත්තෙක් පවසයි. ඔබේ සොයුරු සොයුරියන් සැමවිටම අහිංසකයන් මෙන්ද, යම් කරදරයක පළමු ඉඟි පහළ වූ සැණින් ඔබව වරදකරු හැටියට තීන්දු වනවා මෙන්ද දිස්වෙන්න පුළුවන්.
දෙමාපියන් දොස් නඟන්න හේතුව
දරුවන් වැරදි කරන විට දෙමාපියන් ඒවා නිවැරදි කිරීම සාමාන්‍ය දෙයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඇයි, ගුණදායක, ඒකාන්ත නිවැරදි කිරීම් ඉදිරිපත් කිරීම, දේවබියැති දෙමාපියන් තම දරුවන්ව “යෙහෝවාගේ හික්මවීමෙන්ද, මානසික ශික්ෂණයෙන්ද” ඇති දැඩි කරන එක ක්‍රමයක් වෙනවා. (එපීස 6:4, NW) එහෙත්, සමහර අවස්ථාවලදී, හොඳම දෙමාපියන් පවා අනවශ්‍ය ආකාරයට ප්‍රතික්‍රියා කරන්න හෝ වැරදි නිගමනවලට එළඹෙන්න හෝ ඉඩ තියෙනවා. යේසු තරුණ වියේ ඉන්න කොට සිදු වූ සිදුවීමක් මතකයට නඟන්න. මේ අවස්ථාවේදී යේසු අතුරුදහන් වී හිටියා. නමුත් අවසානයේදී ඔහු බයිබල් සාකච්ඡා පවත්වමින් දේවමාළිගාවෙයි හිටියේ. ඒ වුණත්, ඔහුගේ දෙමාපියන් ඔහුව හොයාගත් විට, ඔහුගේ මව ඔහුගෙන් මෙසේ ඇසුවා: “පුත්‍රය, කුමක් නිසා අපට මෙසේ කෙළෙහිද? බලව, නුඹේ පියාද මමද සෝකවෙමින් නුඹ සෙවුවෙමුය.”—ලූක් 2:48.
යේසු පරිපූර්ණව හිටිය නිසා, යේසු අපචාරාත්මක හැසිරීමක යෙදෙයි කියා භය වෙන්න කිසිදු හේතුවක් තිබුණේ නැහැ. නමුත් සෑම ප්‍රේමනීය දෙමාපියෙක්ම මෙන්, ඔහුගේ මවට ඇගේ දරුවා කෙරෙහි වගකීමකින් යුත් හැඟීමක් තිබුණු අතර, ඔහුගේ යහපත අනතුරට ලක් වී ඇති බවට භය වෙමින්, දැඩි අන්දමින් ප්‍රතික්‍රියා කළා. ඊට සමානවම, ඔබගේ දෙමාපියන් පවා ඕනෑවට වඩා ප්‍රතික්‍රියා කරන්න ඉඩ තියෙනවා. එසේ කරන්නේ ඔවුන් ඔබට නපුරු වෙන්න හෝ කුරිරු වෙන්න හදන නිසා නොව, නමුත් ඔවුන් ඇත්තටම ඔබ ගැන සැලකිලිමත් වන නිසා පමණයි.
එමෙන්ම, අපි ජීවත් වෙන්නේ “කටයුතු කිරීමට අසීරු වූ අර්බුදකාරි කාලවල්[වල]” බවත් මතක තබාගන්න. (2 තිමෝති 3:1, NW) ඔබේ නිවස බලාගනිමින් ඒ සඳහා වැඩ කරමින් සිටින ඔබේ දෙමාපියෝ සැලකිය යුතු පීඩනයක් යටතේ සිටින අතර, මෙය ඔබට සලකන ආකාරයට බලපෑ හැක. (දේශනාකාරයා 7:7, සසඳන්න.) එක් මානසික සෞඛ්‍ය සේවිකාවක් මෙසේ අදහස් දැක්වූවා: “සමහර පවුල්වල, යම් අර්බුදයකට මුහුණපාන විට, දෙමාපියන් ඔවුන්ගේ ඉවසීම නැති කරගන්න ඉඩ තියෙන අතර, ඔවුන් සාමාන්‍යයෙන් සාධාරණ මිනිසුන් වුවද ඉක්මන් තීරණ ගන්න පුළුවන්.”
තනි දෙමාපියන්ට දේවල් සාකච්ඡා කරන්න කලත්‍රයෙක් නැහැ; ඉතින් ඒ නිසාම තමන්ගේ දරුවන් මත තමන්ගේ කලකිරීම් පිට කරන්න ඔවුන්ට වැඩි නැඹුරුවාවක් තියෙනවා. දෙමාපියෙකුගේ පෞද්ගලික කලකිරීම්වල බරින් ප්‍රහාර ලැබීම සෙල්ලමක් නොවන බව පිළිගන්න ඕනෙ. දාහත් හැවිරිදි ලූසි මෙසේ පවසයි: “මම මොකක් හරි කරලා මම දඬුවං විඳින්න වටිනවා නං ඒකට කමක් නැහැ. හැබැයි අම්මිට කේන්ති ගිහිල්ලා ඉන්න නිසා මට දඬුවං ලැබෙනවා නං ඒක හරිම අසාධාරණයි.”
අනිසි අනුග්‍රහයක් දැක්වීම තවත් කරුණක්. දෙමාපියෙක් සාමාන්‍යයෙන් තම සියලු දරුවන්ට ප්‍රේම කළත්, එක් දරුවෙක් වෙතට වැඩියෙන් කිට්ටු වීම අසාමාන්‍ය දෙයක් නොවේ.a (උත්පත්ති 37:3, සසඳන්න.) අඩුවෙන් ප්‍රේමය ලබන දරුවා ඔබයයි හැඟීමම වේදනාකාරි දෙයක්. එහෙත් ඔබගේ අවශ්‍යතා මඟහරින බවක් හෝ ඔබගේ සොයුරු සොයුරියන් කර ඇති දේවලට ඔබට වරද පැටවෙන බවක් හැඟෙනවා නම්, එවිට අමනාපය ඇතිවීම නොවැළැක්විය හැක්කක්. “මට ඉන්නවා මල්ලි කෙනෙක් ඩැරන් කියලා, එයා තමයි අම්මිගේ පොඩි සාන්තුවරයා. අම්මි මටයි හැම තිස්සෙම බනින්නෙ, කවදාවත් ඩැරන්ට නං නෙමෙයි” යයි යෞවන රොක්සෑන් පවසයි.
පීඩිත පවුල්
හොඳ පවුල්වල අසාධාරණ ආකාරයට දොස් නැඟීම ඉඳහිට සිදු වෙන්න පුළුවන්. නමුත් පීඩිත පවුල්වල, දෙමාපියන් විසින් දොස් නැඟීමේ, ලජ්ජා කිරීමේ, සමච්චල් කිරීමේ නොනැවතී සිදු වන රටාවක් තිබෙන්න පුළුවන්. සමහරවිට වැරදි පැටවීම “තික්තකමත් කෝපයත් උදහසත් කෝලාහලත් අපහාසත් සියලු ක්‍රෝධත්” සමඟ මුසු වෙන්න පුළුවන්.—එපීස 4:31.
එවැනි දෙමාපිය උදහසේ පිපිරීම්වලට යෞවනයෙකු මත දොස් පැවරිය හැකිද? අකීකරු පුතෙක් හෝ දුවක් දෙමාපියෙකුට “ශෝකයක්” විය හැකි බව සැබෑවක්. (හිතෝපදේශ 17:25) කොහොම වුණත්, “නුඹලාගේ දරුවන්ට කෝප [පදගතාර්ථයෙන් “උදහස ඇවිස්සීම”] නූපදව[න්න]” කියා බයිබලය කියන්නේ දෙමාපියන්ටයි. (එපීස 6:4) සියලුම ක්‍රිස්තියානීන් මෙන්, ක්‍රිස්තියානි දෙමාපියෙක් “නපුරේදී තමාවම වළක්වාගෙන” ආත්මදමනය දක්වන්න අවශ්‍යයි. (2 තිමෝති 2:24, NW) ඉතින් දෙමාපියෙක් ආත්මදමනය නැති කරගන්නා විට, ඒ සඳහා තම දරුවාගේ අඩුපාඩුකම්වලට දොස් නඟන්න බැහැ.
දෙමාපියෙක් චිත්තවේගීය කාන්සාවෙන්, කනස්සල්ලෙන් නැත්නම් තමන් ගැන අඩු වටිනාකමේ හැඟීමකින් වධ විඳිනු ලබන බවට වාචික ප්රහාරයන් සාක්ෂියක් වෙන්න පුළුවන්. තවද එයින් විවාහ ප්‍රශ්න ගැටලු හෝ මත්පැනට ඇබ්බැහි වීම වැනි ගැටලුද අඟවන්න පුළුවන්. එක් මූලාශ්‍රයකට අනුව, ඇබ්බැහි වූ දෙමාපියන්ගේ දරුවෝ බොහෝවිට වැරදි පැටවෙන අය බවට පත් වෙනවා. “ඔවුන් කරන කිසිම දෙයක් හරි නැහැ. ඔවුන්ට ‘මෝඩයි’, ‘නරකයි’, ‘ආත්මාර්ථකාමියි’ කියා කියන්න පුළුවන්. ඉන්පසුව එම දරුවා (හෝ දරුවන්), හඳුනාගත් ‘ගැටලුව’ හැටියට පවුලේ සාමාජිකයන්ගේ අවධානයට ලක් වන අතර, අනිත් පවුල් සාමාජිකයන් සතු ඔවුන්ගේ නොසන්සුන්කමේ හැඟීම් හා ගැටලු මේ හේතුවෙන් යටපත් වී යනවා.”
අසාධාරණ දොස් නැඟීම සමඟ කටයුතු කිරීම
වෛද්‍ය කැත්ලින් ම’කෝයි මෙසේ අදහස් දක්වනවා: “දරුවෙකුගේ පෞද්ගලිකත්වයට නම් දැමීම, පහත් කොට සැලකීම සහ විවේචනය කිරීම . . . නව යොවුන් වියැති කෙනෙකුගේ ආත්ම අභිමානය අඩුවීමට, කනස්සල්ලට හා කතා බහේ අඩුවීමට දායක වන කරුණක් වෙන්න පුළුවන්.” එසේත් නැතිනම් බයිබලයම එය පෙන්වන ආකාරයට, හිංසාකාරි සැලකීම දරුවන්ව ‘කෝප කරවා’ එනයින් ඔවුන් ‘කලකිරෙන්න’ පුළුවන්. (කොලොස්සි 3:21) කිසි වටිනාකමක් නැති අසමර්ථයෙක් හැටියට ඔබවම සලකන්න පුළුවන්. එමෙන්ම ඔබ ඔබේ දෙමාපියන් කෙරෙහි නිෂේධාත්මක හැඟීම් ඇති කරගන්නත් ඉඩ තියෙනවා. ඔවුන්ව සතුටු කරන්න ඔබට කරන්න එතරම් දෙයක් නැති බවටත් උත්සාහ කිරීමේද ඵලක් නැති බවටත් ඔබ නිගමනය කරන්න පුළුවන්. කෝපය සහ අමනාපය කල එළි දැකිය හැකි අතර, ඕනෑම ආකාරයක හික්මවීමක්—එනම් ප්‍රයෝජනවත් විවේචනය පවා ප්‍රතික්ෂේප කරන්න පුළුවන්.—හිතෝපදේශ 5:12, සසඳන්න.
ඔබට කටයුතු කළ හැක්කේ කොහොමද? වැඩි ප්‍රමාණයක් රඳා පවතිනු ඇත්තේ ඔබේ තත්වය මතයි. මදකට නැවතී එය යථාර්ථවාදීව තක්සේරු කර බලන්නේ නැත්තේ ඇයි? උදාහරණයකට, ඔබට සැමවිටම දොස් නඟනවායයි කීම ඇත්තෙන්ම සැබෑවක්ද? එසේත් නැතිනම් යම් අවස්ථාවලදී ඔබගේ දෙමාපියන් ටිකක් ඕනෑවටත් වැඩියෙන් තදින් කටයුතු කරමින් වැරදි දේ කියනවා විය නොහැකිද? “බොහෝ වර අපි සියල්ලෝ පැකිලෙමු” යයි බයිබලය පවසන අතර, මෙයට දෙමාපියන්ද ඇතුළත් වෙනවා. (යාකොබ් 3.2) ඉතින් ඔබේ දෙමාපියන් කලින් කලට ඕනෑවටත් වැඩියෙන් ප්‍රතික්‍රියා කළත් ඔබටත් ඕනෑවට වැඩියෙන් ප්‍රතික්‍රියා කරන්න අවශ්‍යද? කොලොස්සි 3:13හි ඇති බයිබල් උපදේශය ඇත්තෙන්ම අදාළ වෙන්න පුළුවන්: “එකිනෙකා ගැන ඉවසමින්, යමෙකුට විරුද්ධව යමෙකුගේ කාරණයක් ඇත්නම් එකිනෙකාට කමාවෙන්න; [යෙහෝවා] නුඹලාට කමාවුණාක්මෙන් නුඹලාත් කරන්න.”
දෙමාපියන් සඳහා ඇති සංවේදනය මෙය කරන්න උපකාර කරන්න පුළුවන්. හිතෝපදේශ 19:11 මෙසේ පවසයි: “සිහි කල්පනාව ඇති මනුෂ්‍යයා ඉක්මනට නොකිපෙයි; වරදක් නොසලකා හැරීමද ඔහුගේ ගෞරවයක්ය.” ඔබගේ පියා වැඩ ඇරී ගෙදර එන විට අසාමාන්‍ය ආකාරයට සංවේදී බවක් පෙන්වයි නම් එය ලොකු ප්‍රශ්නයක් කරගැනීමට හේතුවක් තිබෙනවාද? ඔහු සමහරවිට වෙහෙස මහන්සි වී ඇති බව වටහාගැනීම පමණක්ම ඔහුගේ ‘වරද නොසලකා හරින්න’ ඔබට උපකාර කරන්න පුළුවන්.
එහෙත්, අසාධාරණ දොස් නැඟීම ඉඳහිට සිදු වන හිරිහැරයක් නොව, නමුත් තොරතෝංචියක් නොමැතිව සිදු වන අනුකම්පා විරහිත දෙයක් නම් කිමෙක්ද? ඔබේ තත්වය දියුණු කළ හැකි ක්‍රම අනාගත ලිපියකදී සාකච්ඡා කරනු ඇති.
[පාදසටහන]
a 1988 මාර්තු 8 කලාපයේ, “යෞවන අය අසති. . . මට මාගේ සහෝදරයා හා සහෝදරිය සමග කල් ගෙවීමට මෙතරම් අපහසුව ඇත්තේ මන් ද?” යන ලිපිය බලන්න.
[18වන පිටුවේ පින්තූරය]
අවශ්‍ය විටකදී දෙමාපියෙක් විසින් නිවැරදි කරවන උපදේශ ඉදිරිපත් කිරීම අසාධාරණ නැහැ