බයිබලයේ දෘෂ්ටිකෝණය
බයිබලය අධ්‍යාපනය අධෛර්යය කරවයිද?
“අධ්‍යාපනය හෙළා දකින්නේ අඥානයා පමණකි.”—පො.යු.පෙ. පළවන ශතවර්ෂයේ, මොරල් සෙයිංස් (ආප්තෝපදේශයන්), පූබීලියුස් ස්යූරුස්.
“ප්‍රායෝගික ප්‍රඥාව හා සිතීමේ හැකියාව ආරක්ෂා කරගන්න” කියා බයිබලය අපගෙන් උදක්ම ඉල්ලා සිටියි. (හිතෝපදේශ 3:21, NW) දැනුමේ දෙවි වන යෙහෝවා තම නමස්කාරකරුවන් දැන උගත් අය වෙනවාට කැමතියි. (1 සාමුවෙල් 2:3; හිතෝපදේශ 1:5, 22) එහෙත්, බයිබලයේ සඳහන් සමහරක් ප්‍රකාශවලින් ප්‍රශ්න මතු වෙන්න ඉඩ තියෙනවා. උදාහරණයක් හැටියට, තමන්ගේ උසස් අධ්‍යාපනයත් අයත් වන තම අතීත ලුහුබැඳීම් ගැන පාවුල් කතා කරමින් මෙසේ ලිව්වා: “[මම] ඒවා කුණුයයි සලකමි.” (පිලිප්පි 3:3-8) තවත් ආනුභාවය ලත් ලිපියක ඔහු මෙසේ ප්‍රකාශ කළා: “මක්නිසාද මේ ලෝකයේ ප්‍රඥාව [දෙවි] ඉදිරියෙහි මෝඩකමය.”—1 කොරින්ති 3:19.
එසේනම් බයිබලය අධ්‍යාපනය අධෛර්යය කරවයිද? ලෞකික අධ්‍යාපනය ලුහුබැඳීමේදී ක්‍රිස්තියානියෙක් කොතෙක් දුර යා යුතුද? නීතියෙන් නියම කර ඇති අධ්‍යාපනය සෑහෙනවාද, නැත්නම් අමතර අධ්‍යාපනයක් ලුහුබැඳිය යුතුද?
පළවන ශතවර්ෂයේ අධ්‍යාපනය
පළවන ශතවර්ෂයේ ක්‍රිස්තියානීන් අතර පුළුල් පරාසයකින් පැමිණි අධ්‍යාපනික පසුබිම්වලින් යුත් අය සිටියා. සමහරක් ප්රමුඛ පෙළේ මිනිසුන්, ගලීලයන් වූ ප්‍රේරිත පේතෘස් හා යොහන්ව “අපණ්ඩිතවූ නූගත්” මනුෂ්‍යයන් හැටියටයි දැක්කේ. (ක්‍රියා 4:5, 6, 13) මෙයින් අදහස් කළේ මේ මිනිසුන් දෙදෙනා නූගත් හෝ පාසැලකට නොගිය අය බවද? නැහැ. එයින් අදහස් කළේ යෙරුසලමේ හෙබ්‍රෙව් උසස් අධ්‍යාපනික පාසැල්වලින් ඔවුන් අධ්‍යාපනය නොලැබූ බවයි. පසුව ක්‍රිස්තු ධර්මයේ මේ නිර්භීත ලියන්නන් දෙදෙනාගේ ලියවිලිවලින් ඔවුන් හොඳින් අධ්‍යාපනය ලැබූ, දැන උගත් මෙන්ම ලියවිලිවල ගැඹුරු ප්‍රකාශයන් පැහැදිලි කිරීමටත් හැකි අය වුණු බවට සාක්ෂි සැපයෙව්වා. තමන්ගේ පවුල්වල ද්‍රව්‍යමය අවශ්‍යතා රැකබලා ගැනීම සම්බන්ධයෙන් ප්‍රායෝගික උපදෙස්ද ඔවුන්ගේ අධ්‍යාපනයට අයත් වුණා. ලාභදායියයි පැහැදිලිව පෙනෙන්න තිබුණු ධීවර වෙළඳාමක ඔවුන් හවුල්කරුවන් වුණා.—මාර්ක් 1:16-21; ලූක් 5:7, 10.
ඊට වෙනස්ව, සුවිශේෂවලින් එකක් හා ක්‍රියා පොත ලිවූ ගෝලයෙකු වූ ලූක්, ඊට වඩා උසස් අධ්‍යාපනයක් ලැබුවා. ඔහු චිකිත්සක වෛද්‍යවරයෙක් වුණා. (කොලොස්සි 4:14) ඔහුට තිබූ වෛද්‍යමය පසුබිම ඔහුගේ ආනුභාවය ලත් ලියවිලිවලට විශිෂ්ට විලාසයක් ලබා දෙනවා.—ලූක් 4:38; 5:12; ක්‍රියා 28:8 බලන්න.
ක්‍රිස්තියානියෙකු වීමට පෙර ප්‍රේරිත පාවුල්ව යුදෙව් නීතිය යටතේ උගන්වනු ලැබූ අතර, එවකට සිටි අතිදක්ෂම විශාරදයන්ගෙන් කෙනෙකු වූ ගමාලියෙල්ගේ භාරකාරත්වයේ සිටියා. (ක්‍රියා 22:3) පාවුල්ගේ අධ්‍යාපනය අද තිබෙන විශ්වවිද්‍යාලීය අධ්‍යාපනයකට සම කළ හැකියි. තවදුරටත්, පසු කාලයක උසස් අධ්‍යාපනයේ නිරත වීමට තිබියදී පවා, යෞවනයන් යම් කුසලතාවක් ඉගෙනීම ගෞරවනීය දෙයක් කියා යුදෙව් සමාජය සලකනු ලැබුවා. පෙනෙන ප්‍රකාරයට ගැටවර වියේ සිටියදී කූඩාරම් සාදන්නෙක් හැටියට පාවුල් පුහුණුව ලැබුවා. ඔහුගේ පූර්ණ කාලීන මෙහෙයේදී තමාවම රැකබලා ගන්න එවැනි කුසලතා ඔහුට හැකි කෙරෙව්වා.
කෙසේවෙතත්, සියල්ල අබිබවා යන දෙවිගේ දැනුමට සාපේක්ෂව ලෞකික අධ්‍යාපනය අවශ්‍යතාවෙන් යුතු වුණත්, සීමිත වටිනාකමින් යුත් එකක් බව පාවුල් වටහාගත්තා. එයාකාරයෙන්ම, දෙවි හා ක්‍රිස්තුස් පිළිබඳව දැනුම අත් කරගැනීම කෙරෙහි බයිබලය වැඩිම වැදගත්කමක් තබනවා. ලෞකික අධ්‍යාපනයේ මෙම යථාර්ථවාදී දෘෂ්ටිය ඈඳාගැනීම ක්‍රිස්තියානීන්ට යෝග්‍ය වෙනවා.—හිතෝපදේශ 2:1-5; යොහන් 17:3; කොලොස්සි 2:3.
කාරණය පරෙස්සමින් ඇගයීම
විද්‍යාලීය අධ්‍යාපනයක් හෝ වෘත්තීය පුහුණුවක් මාර්ගයෙන් අමතර අධ්‍යාපනයක් ලුහුබැඳීම, තමන්ගේ පවුලේ ද්‍රව්‍යමය අවශ්‍යතා රැකබලා ගැනීමේදී තමන්ට සහය වී ඇති බවට සමහරක් ක්‍රිස්තියානීන් සොයාගෙන තියෙනවා. ‘තමාගේ ගෙවැසියාට සැපයීම’ පරිශුද්ධමය නියමයක් වන නිසා, කෙනෙකුගේ පවුල රැකබලා ගැනීම සුදුසු දෙයක් වෙන්න යනවා. (1 තිමෝති 5:8) මෙය කිරීමට අවශ්‍ය කුසලතා අත් කරගැනීම ප්‍රායෝගික ප්‍රඥාවට අයත් කාරණාවක් වෙන්න යනවා.
කෙසේවෙතත්, මෙම අරමුණ කරා ළඟාවීම සඳහා මූලික අධ්‍යාපනයකට වඩා වැඩි යමක් අත් කරගත යුතුයයි හැඟෙන අය වාසි හා අවාසි යන දෙකම ඇගයීමකට ලක් කළ යුතුයි. ක්‍රිස්තියානි දේවසේවය ජ්වලිතව ලුහුබඳින අතරතුර තමාවත් තමාගේ පවුලත් ප්‍රමාණවත් ලෙස බලාගන්න කෙනෙකුට හැකි කරවන රැකියාවක් ලබාගැනීමට සුදුසුකම් ඇතුව සිටීම, ලැබීමට ඉඩ තියෙන ප්රයෝජනවලට අයත් වෙන්න යනවා. ඊට අමතරව, “අවශ්යතාවන්ගෙන් යුත් අයට දෙන්ට පුළුවන් වෙමින්” වෙනත් අයට ද්‍රව්‍යමය අතින් සහය වෙන්න ඔහුට පුළුවන් විය හැකියි.—එපීස 4:28, NW.
ඇතිවීමට ඉඩ ඇති යම් අවාසි මොනවාද? දෙවි හා බයිබලය කෙරෙහි ඇදහිල්ල විඛාදනය කළ හැකි ඉගැන්වීම්වලට නිරාවරණය වීම මේවාට අයත් විය හැකියි. “දැනගැන්මයයි බොරුවෙන් කියන [දැනගැන්මෙන්]” හා “මිනිස් සම්ප්රදායයන් . . . පදනම්කොටගත් දර්ශනවාදවලින් හා සම්ප්‍රලාපවලින් උගුල් අටවන අයගෙන් පරිස්සම්” වන හැටියට පාවුල් ක්‍රිස්තියානීන්ට අවවාද කළා. (1 තිමෝති 6:20, 21; කොලොස්සි 2:8, නව අනුවාදය) සැකයක් නැතුව, යම් ආකාරයේ අධ්‍යාපන ක්‍රමවලට නිරාවරණය වීම ක්‍රිස්තියානියෙකුගේ ඇදහිල්ලට හානිදායක වෙන්න පුළුවන්. අමතර පුහුණුවක් හෝ අධ්‍යාපනයක් ගැන සලකා බලන අය එවැනි හානිදායක බලපෑම්වල ඇති අවදානම ගැන හොඳින් දැන සිටිය යුතුයි.
“මිසරයන්ගේ සකල ශාස්ත්‍රයන්හි පුහුණුකරනු” ලැබුවාවූ මෝසෙස්, බහුදේවවාදී මෙන්ම දෙවිට අගෞරවය ගෙන දෙන ඉගැන්වීම්ද නොඅනුමානවම ඇතුළත් වූ අධ්‍යාපනයක් ලැබුවද ශක්තිමත් ඇදහිල්ලක් රඳවාගත්තා. (ක්‍රියා 7:22) එයාකාරයෙන්ම, අදදින ක්‍රිස්තියානීන් තමන් කොයි පරිසරයක සිටියත් අහිතකර බලපෑම්වලට යටත් නොවෙන හැටියට පරෙස්සම් වෙනවා.
අමතර අධ්‍යාපනයක් ලුහුබැඳීමේදී ඇතිවීමට ඉඩ තියෙන තවත් අන්තරාවක් නම් දැනුම මගින් උඩඟුකම උලුප්පා දැක්වීමයි නැත්නම් ඇති කිරීමයි. (1 කොරින්ති 8:1) බොහෝදෙනෙක් ආත්මාර්ථකාමී හේතූන් නිසා අධ්‍යාපනයක් මගින් දැනුම සොයන අතර, හොඳ චේතනාවෙන් දැනුම ලුහුබැඳීමෙන් පවා උසස්බවේ හා ස්ව-වටිනාකමේ හැඟීම් ප්‍රතිඵලය විය හැකියි. එවැනි ආකල්ප දෙවිව අසතුටු කරවයි.—හිතෝපදේශ 8:13.
ඵරිසිවරුන්ව සලකා බලන්න. මෙම ප්රමුඛ පෙළේ ලබ්ධියේ සාමාජිකයන් තමන්ගේ පාණ්ඩිත්‍යය ගැන හා ඔවුන්ට තිබුණායයි සිතූ ධර්මිෂ්ඨකම ගැන උඩඟු වුණා. රබ්බිවරුන්ගේ චාරිත්‍ර සමූහය ඔවුන් හොඳින් දැනසිටි අතර, වඩා අඩු අධ්‍යාපනයක් ලැබූ පොදු ජනයාව නූගත්, නින්දිත හා ශාප ලත් අය හැටියට පවා දකිමින් ඔවුන්ව පහත් කොට සැලකුවා. (යොහන් 7:49) මෙයට අමතරව, ඔවුන් මුදලට ප්‍රේම කළා. (ලූක් 16:14) ඔවුන්ගේ උදාහරණයේ පෙන්වන්නේ වැරදි චේතනා හේතුවෙන් ලුහුබැන්ද විට, අධ්‍යාපනය කෙනෙකුව උඩඟු කළ හැකි බව හෝ මුදලට ප්‍රේම කරන්නෙක් වීමට ඔහුව මඟ පෑදවිය හැකි බවයි. එහෙයින් ලැබීමට යන අධ්‍යාපනයේ වර්ගය හා ප්‍රමාණය නිශ්චය කිරීමේදී, ‘මගේ චේතනා මොනවාදැයි’ කියා තමන්ගෙන්ම ඇසීම ක්‍රිස්තියානියෙකුට යෝග්‍ය වෙන්න යනවා.
පෞද්ගලිකව තේරීමේ කාරණයක්
පළවන සියවසේ සැබෑ වූවා සේ, අධ්‍යාපනික පසුතලයන්ගේ පුළුල් පරාසයක් අදදින සිටින ක්‍රිස්තියානීන් අතරත් පවතිනවා. තම දෙමාපියන්ගේ මඟ පෙන්වීම යටතේ, නීතියෙන් නියම කර ඇති අධ්‍යාපනය හමාර කරන යෞවනයන් අමතර ලෞකික අධ්‍යාපනයක් ලුහුබැඳීම තෝරාගත හැක. එයාකාරයෙන්ම, තම පවුල්වලට සැපයීමේ ක්‍රම දියුණු කරන්න උනන්දුවක් දක්වන වැඩිහිටියන් අමතර අධ්‍යාපනය එම දෙය ඉටු කරගන්න හොඳ ක්‍රමයක් සේ දැකිය හැකියි.a චාරිත්‍රානුකූල විද්‍යාලීය අධ්‍යාපනයේ සමහරක් පැති වෘත්තිමය කුසලතා වෙනුවට සාමාන්‍ය බුද්ධි මට්ටමේ ධාරිතාව වර්ධනය කිරීම කෙරෙහි වැඩි කාවැද්දවීමක් කරනවා. ඒ හේතුවෙන්, එවැනි අධ්‍යාපනයක් ලැබීම සඳහා වැඩි කාලයක් යෙදවීමෙන් පසුව පවා තමා අළෙවිය සම්බන්ධ කුසලතාවලින් ඌනබවක් පුද්ගලයෙක් සොයාගන්න පුළුවන්. මේ හේතුවෙන්, රැකියා ක්ෂේත්රයේ සැබෑවටම තිබෙන ඉල්ලුම වැඩි පහසුවකින් පුරවාලීමේ දෘෂ්ටියෙන්, වෘත්තීය වැඩසටහන්වල හෝ කාර්මික විද්‍යාලවල අධ්‍යාපනය ලුහුබඳින්න සමහරක් තෝරාගන්නවා.
තත්වය කොයික වුණත්, එවැනි තීරණයන් පෞද්ගලික ඒවා වෙනවා. මේ කාරණය සම්බන්ධයෙන් ක්‍රිස්තියානීන් එකිනෙකාව විවේචන හෝ විනිශ්චය කළ යුතු නැත. “නුඹේ අසල්වාසියා විනිශ්චයකරන නුඹ කවුද?” කියා යාකොබ් ලිව්වා. (යාකොබ් 4:12) ක්‍රිස්තියානියෙක් අමතර අධ්‍යාපනය ලුහුබැඳීම ගැන කල්පනා කරනවා නම්, ආත්මාර්ථකාමී, ද්‍රව්‍යමය උනන්දූන් පොලඹවනකාරකය නොවීමට තමන්ගේම චේතනා පරීක්ෂා කර බැලීම යෝග්‍ය වෙනවා.
අධ්‍යාපනය සම්බන්ධයෙන් බයිබලය සමබර දෘෂ්ටියකට දිරි දෙන බව පැහැදිලියි. දෙවිගේ ආනුභාවය ලත් වචනය මත පදනම් වී ඇති ආත්මික අධ්‍යාපනයේ තිබෙන සියල්ල අබිබවා යන වටිනාකම ක්‍රිස්තියානි දෙමාපියන් හඳුනාගන්නා අතර, අතිරේක අධ්‍යාපනය ගැන තම දරුවන්ට ඔවුන් සමබර උපදෙස් දෙයි. (2 තිමෝති 3:16) ජීවිතය ගැන යථාර්ථවාදී වෙමින්, වැඩිහිටි දරුවන්, තමන්ටත් තම අනාගත දරුවන්ටත් සැපයීම සඳහා අවශ්‍ය කරන කුසලතා අත් කරගැනීමේදී ලෞකික අධ්‍යාපනයක ඇති වටිනාකම දෙමාපියන් පිළිගන්නවා. එහෙයින්, අතිරේක අධ්‍යාපනය ලුහුබඳිනවාද එමෙන්ම කොතරම් ප්රමාණයකටද යන්න නිශ්චය කිරීමේදී, “දැන් තිබෙන ජීවිතය ගැනත් මතු ජීවිතය ගැනත් පොරොන්දු තිබෙන බැවින් එය හැම දේටම ප්‍රයෝජනවත්” වන යෙහෝවා දෙවිට ඇති භක්තිය මත පදනම් ඥානාන්විත පෞද්ගලික තීරණ ගන්න සෑම ක්‍රිස්තියානියෙකුටම පුළුවන්.—1 තිමෝති 4:8.
[පාදසටහන]
a මේ විෂය සම්බන්ධයෙන් වැඩි විස්තරයක් සඳහා, Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත 1992 නොවැම්බර් 1 මුරටැඹහි (ඉංග්‍රීසියෙන්) පිටු 10-21 හා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ සහ අධ්‍යාපනය යන විවරණිකාව බලන්න.
[17වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“ප්‍රයෝගික ප්‍රඥාව හා සිතීමේ හැකියාව ආරක්ෂා කරගන්න.”—හිතෝපදේශ 3:21, NW
[18වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
අමතර අධ්‍යාපනයක් සොයනවාද යන්න සලකා බැලීමේදී, ‘මගේ චේතනා මොනවාදැයි’ කියා තමන්ගෙන්ම ඇසීම ක්‍රිස්තියානියෙකුට යෝග්‍ය වෙනවා