එකම සැබෑ දෙවිව හඳුනාගැනීම
මිනිසුන්ගේ පැවැත්මේ ආරම්භයේ සිටම වගේ ඔවුන්ට දෙවිවරු බොහෝදෙනෙක් ඉඳ ඇත. ඔවුන් කොතරම් දෙවිවරු ගණනකට වැඳ පුදා ඇද්ද කිවහොත්, පොළොව පුරා නමස්කාර කොට ඇති දෙවි දේවතාවන්ගේ ගණන ස්ථිර වශයෙන්ම කිව නොහැකියි; කොහොම වුණත්, එය මිලියන ගණනකට වඩා නම් අඩු නොවෙයි.
දෙවිකෙනෙක් සිටිනවාය යන කාරණය තහවුරු කරගත් නිසා, දැන් අපෙන්ම මෙසේ අසාගනිමු. අතීතයේ හා වර්තමානයේ, පොළොව පුරා වැඳුම් පිදුම් ලබා ඇති දෙවිවරුන් අතරෙන් සැබෑ දෙවි කවුද? එලෙස හැඳින්විය හැකි එකම සැබෑ දෙවිකෙනෙකු සිටින බව බයිබලයේ යොහන් 17:3හි [NW] අපට පවසයි: “මින් අදහස් කරන්නේ සදාකාල ජීවනයය—එනම් එකම සැබෑ වූ දෙවි වන ඔබ ගැනත් ඔබ විසින් එවන ලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් ඔවුන් විසින් දැනුම ලබාගැනීමය.”
හඳුන්වා දෙන නමක්
වෙනත් දෙවිවරුන් හා ඔවුන්ගේ නාමවලින් වෙන් කර හඳුනාගත හැකි පිණිස පෞද්ගලිකත්වයක් ඇති දෙවිකෙනෙකුට පෞද්ගලික නාමයක් තිබීමේ අවශ්‍යතාව සාධාරණයි. එම නාමය දෙවිගේ නමස්කාරකයන් විසින් දුන් එකක් වනවා වෙනුවට ඔහු විසින්ම තෝරාගත් එකක් කියා කිවහොත් එය වඩාත් සුදුසුයි.
කොහොම වුණත් මේ සම්බන්ධයෙන් ගත් කල, ඉතා ව්‍යාකූල වූ කාරණයක් ඉස්මතු වෙයි. හොඳින් ස්ථාපිතව ඇති ආගම් තම දෙවිවරුන්ට පෞද්ගලික නම් දී තිබුණත්, තමන් නමස්කාර කරන දෙවිව විශේෂිත පෞද්ගලික නමකින් හඳුන්වා දීමට යුදෙව් හා ක්‍රිස්තියානි ලෝකයේ ප්රමුඛ පෙළේ පල්ලිවලට නොහැකිවී තිබෙනවා. ඒ වෙනුවට ඔවුන් ස්වාමීන්, දෙවි, සර්වබලධාරී හා පියාණන් යන පදවි නාම භාවිත කිරීමට තෝරාගනියි.
කර්තෘ ඩේවිඩ් ක්ලයින්ස්, දේවධර්මාචාරය (ඉංග්‍රීසියෙන්) යන ප්රකාශනය ලිවීමේදී මතු දැක්වෙන දෙය පැවසුවා. “ක්‍රිස්තු පූර්ව පස්වන හා දෙවන ශතවර්ෂ අතර කාලවලදී වගේ දෙවියන් මහා වින්නැහියකට මුහුණ දුන්නා. ඒ ඔහුට ඔහුගේ නම නැතුව යෑමයි. නමුත් යුදෙව්වන් දෙවිගේ පෞද්ගලික නම වන යාහ්වේ භාවිත නොකර වෙනත් නාමවලින් යාහ්වේට කතා කිරීමට පටන්ගත්තා කිව්වොත් වඩාත් නිවැරදියි. තවද ඒවාට, දෙවි, ස්වාමීන්, නාමය, ශුද්ධ වූ තැනැත්තා, වැඩසිටින්නා හා ස්ථානය වැනි නම් පවා අයත් වෙයි. බයිබල් පාඨයේ යාහ්වේ කියා ලියා තිබූ තැන්වල පවා පාඨකයන් එය උච්චාරණය කළේ අ’ඩොනායි හැටියටයි. දේවමාළිගාවේ අවසාන විනාශයත් සමඟ, නාමය යොදාගත් කලාතුරකින් සිදු වන ආගමික වතාවත් පවා අවසන් වූ අතර, නාමය උච්චාරණය කරන අයුරු පවා අමතක වී ගියා.” කොහොම වුණත්, ඕතඩොක්ස් යුදෙව්වන් දෙවිගේ නාමය උච්චාරණය කිරීම නවත්වා ඒ වෙනුවට, දෙවි හා සර්වබලධාරී ස්වාමීන් යන හෙබ්‍රෙව් වචන භාවිත කිරීමට පටන්ගත් නියම දිනය කවුරුත් නොදනියි.
එසේ නම් පෙනී යන්නේ, ‘එකම සැබෑ දෙවිව’ හඳුනාගැනීමට ඉවහල් වන ප්‍රධානතම සාධකය වන්නේ ඔහුගේ නමින්ම ඔහුව දැනගැනීමයි. එවන් සෙවිල්ලක් අසීරු නොවන්නේ, මැවුම්කාර සර්ව බලධාරී දෙවිගේ නාමය ගීතාවලිය 83:17 පැහැදිලිව සරලව සඳහන් කොට ඇති නිසයි: “යෙහෝවා නම්වූ ඔබ පමණක් මුළු පොළොවට මහෝත්තමයාණන් බව ඔවුන් දැනගන්නා පිණිස” කියා පවසයි.
යෙහෝවාද යාහ්වේද?
යෙහෝවාගේ නාමය විවිධ බයිබල් පරිවර්තනවල දැකගත හැකි වුණත්, සමහරුන් යෙහෝවා වෙනුවට යාහ්වේ යන නාමය භාවිත කිරීමට වැඩි කැමැත්තක් පෙන්නුම් කරයි. නිවැරදි වන්නේ කොයි නමද?
ඉපැරණිතම බයිබල් මුල් ලියවිලි ලියනු ලැබුවේ හෙබ්‍රෙව් බසිනි. හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල දිව්‍ය නාමය වතාවන් 7,000කට වැඩියෙන් දැකගත හැකි අතර, ගාත්රාක්ෂර සතරකින් ලියවී ඇත. එනම් ය්හ්ව්හ් හෝ ජ්හ්ව්හ්. මේ ගාත්රාක්ෂර සතරට පොදුවේ කියන්නේ ටෙට්‍රාග්‍රැමටනය හෝ ටෙට්රග්රෑම් කියායි; තවද එය බිහිව ඇත්තේ “අක්ෂර සතර” යන අරුත ඇති ග්‍රීක වචන දෙකෙනි. හෙබ්‍රෙව් ලිඛිත ක්රමයේ ගාත්රාක්ෂර පමණක් යොදාගැනීම හේතුවෙන් පාඨකයාට උච්චාරණය සම්බන්ධයෙන් යම් මඟ පෙන්වීමක් සපයන ප්රාණාක්ෂර නොමැති වීම නිසා, නිරවද්‍ය උච්චාරණය පිළිබඳ ගැටලුව ඉස්මතු විය. එහෙයින් ටෙට්රාග්රැමටනයේ උච්චාරණය වන්නේ යාහ්වේද යෙහෝවාද යන්න රඳා පවතින්නේ, ගාත්රාක්ෂර සතර අතරට යොදන ප්රාණාක්ෂර මතයි. මෙහිදී වත්මන් හෙබ්‍රෙව් විශාරදයන් වැඩි මනාපයක් දක්වන්නේ සැබෑ උච්චාරණය හැටියට යාහ්වේ යොදාගැනීමටයි.
කොහොම වුණත්, යෙහෝවා සඳහා වඩාත් ස්ථාවර පදනමක් ඇත. කිනම් ආකාරයකින්ද? යෙහෝවා යන උච්චාරණය ශතවර්ෂ ගණනාවක් පුරා සිංහල බසින් පිළිගැනුමට ලක් වී තිබෙනවා. මෙම උච්චාරණය භාවිත කිරීමට යමෙක් විරෝධය පළ කරයි නම්, යෙරෙමියා හා යේසුස් වැනි පිළිගත් උච්චාරණයන් භාවිත කිරීමටද විරෝධය පළ කළ යුතුයි. යෙරෙමියා මුල් හෙබ්‍රෙව් උච්චාරණය වන යිර්·මේයාʹ හෝ යිර්·මෙයාʹහු ලෙසටද යේසුස් යෙ·ෂුʹවා (හෙබ්‍රෙව්) හෝ ඉ·එ·සූʹ (ග්‍රීක්) ලෙසටද වෙනස් වෙයි. එහෙයින්, බයිබල් ශිෂ්‍යයන් බොහෝදෙනෙකු ඇතුළුව, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ද සිතන්නේ, ඉංග්‍රීසි බසින් දැනටමත් හොඳින් දන්නා “ජෙහෝවා” හා වෙනත් භාෂාවල ඊට යොදාගැනෙන නාම භාවිත කිරීමට වඩාත් ස්ථාවර පදනමක් ඇති බවයි.
එය ඇත්තටම එතරම්ම වැදගත්ද?
සර්ව බලධාරී දෙවිව පෞද්ගලික නමින් ආමන්ත්‍රණය කිරීම හෝ නොකිරීම එතරම්ම වැදගත් නැති බව සමහරෙකු වාද කළ හැකි අතර, පියාණෙනි හෝ සරලවම දෙවියනි කියා දෙවිට ආමන්ත්‍රණය කිරීමෙන් ඔවුන් සෑහීමට පත් වෙයි. කොහොම වුණත්, මෙම යෙදුම් දෙකම නාම වනවා වෙනුවට පදවි නාම වන අතර, පෞද්ගලික හෝ විශේෂ ස්වරූපයක් නොගනියි. බයිබල් කාලවල දෙවි සඳහා යොදාගැනෙන වචනය (ʼඑලෝ·හිම්ʹ, හෙබ්‍රෙව්) භාවිත වූයේ ඕනෑම දෙවිකෙනෙක් හැඳින්වීම පිණිසයි; තවද එය දාගොන් යන පිලිස්තීය දෙවියාව හැඳින්වීමටද යොදාගැනුණා. (විනිශ්චයකාරයන් 16:23, 24) එහෙයින් තමා “දෙවිට” නමස්කාර කරනවාය කියා හෙබ්රෙව්වරයෙක් පිලිස්තිවරයෙකුට පවසන විට, තමා නමස්කාර කරන සැබෑ දෙවි කවුදැයි ඉන් ඇඟවෙන්නේ නැහැ.
වර්ෂ 1874, දි ඉම්පීරියල් බයිබල් ඩික්ෂනරිහි සඳහන් වූ අදහස් උනන්දුවට හේතු වන්නකි; එහි මෙසේ පැවසුවා: “සෑම තැනකම [යෙහෝවා] සංඥා නාමයක් ලෙස යොදාගැනේ; තවද එය පෞද්ගලිකත්වයක් ඇති දෙවිකෙනෙකු හා ඔහුව පමණක් නියෝජනය කරයි. එනමුත් එලෝහිම් සර්ව නාමයක අරුත් ගන්නා අතර, බොහෝදුරට සාමාන්‍යයෙන් ඉන් අඟවන්නේ උත්තරීතර තැනැත්තාවයි. කෙසේවෙතත් අනිවාර්යයෙන් මෙන්ම ස්ථිරවම එය බවට පැවසිය නොහැකියි. . . . හෙබ්රෙව්වරයෙක් වෙනත් බොරු දෙවිවරුන්ගෙන් වෙන් කොට හඳුනාගැනීම පිණිස, එලෝහිම් කෙනෙක් හෝ සැබෑ දෙවිකෙනෙක් යන පදවි නාම යොදාගැනීමට ඉඩ තිබුණත්, ඔහු කවදා හෝ යෙහෝවා කෙනෙක් කියා කියන්නේ නැහැ, මන්දයත් යෙහෝවා යොදන්නේ එකම සැබෑ දෙවි සඳහා පමණි. ඔහු නැවත නැවත මගේ දෙවි කියා පවසයි . . . ; නමුත් කවමදාවත් මගේ යෙහෝවා කියා නොකියයි, මන්දයත් ඔහු මගේ දෙවි කියා කියද්දී ඔහු කතා කරන්නේ යෙහෝවා ගැනයි. ඔහු ඉශ්‍රායෙල්ගේ දෙවි කියා පැවසුවත්, කවමදාකවත් ඉශ්‍රායෙල්ගේ යෙහෝවා කියා නොකියයි. මන්දයත් වෙන යෙහෝවා කෙනෙක් නැති නිසයි. ඔහු ජීවමාන දෙවි ගැන කතා කළත්, කවමදාකවත් ජීවමාන යෙහෝවා ගැන කතා නොකරයි, මන්දයත් ඔහු යෙහෝවාව ජීවමාන කෙනෙකු හැටියට මිස, ඔහුව වෙන යම් ආකාරයකින් නොදකින නිසයි.”
සැබෑ දෙවිගේ ගුණාංග
අප යම් කෙනෙකුගේ නම දැනගත් පමණින්ම එම තැනැත්තා හෝ තැනැත්තියව අප හොඳට දන්නවා කියා පැවසිය නොහැකියි. අපෙන් බහුතරයක් ප්රමුඛ පෙළේ දේශපාලඥයන්ගේ නම් දන්නවා. සමහරවිට වෙනත් රටවල සිටින ප්රමුඛ පෙළේ පුරුෂයන් හා ස්ත්රීන්ගේ නම් පවා අප දැන සිටිය හැකියි. නමුත් ඔවුන්ගේ නම් දැනගත් පමණින්ම හෝ ඒවා නිසි අයුරින් උච්චාරණය කරන්නේ කෙසේද කියා දැනගත් පමණින්ම, මේ අයව පෞද්ගලිකව දන්නවා කියාවත් ඔවුන් කුමන අන්දමේ මිනිසුන්ද කියා අප දන්නවා කියාවත් අඟවන්නේ නැහැ. ඒ හා සමානවම එකම සැබෑ දෙවිව දැනගැනීමට නම් අප ඔහුගේ ගුණාංග හඳුනාගෙන ඒවා අගය කළ යුතුයි.
මනුෂ්‍යයෙකුට කවදාවත්ම සැබෑ දෙවිව දැකබලා ගත නොහැකි බව ඇත්ත වුණත්, ඔහුගේ පෞද්ගලිකත්වය සම්බන්ධ බොහෝ තොරතුරු ඔහු බයිබලයේ වාර්තා කොට තිබෙනවා. (නික්මයාම 33:20; යොහන් 1:18) සර්ව බලධාරී දෙවිගේ ස්වර්ගීය මළු සම්බන්ධ ආනුභාව ලත් දර්ශන කිහිපයක් හෙබ්‍රෙව් ප්‍රොපේතවරුන් කිහිපදෙනෙකුට දෙනු ලැබුවා. ඔවුන් විස්තර කරන දෙය මගින් ශ්‍රේෂ්ඨ උදාරත්වය, සත්කීර්තිමත් ඓශ්වර්යය මෙන්ම බලය පමණක් නොව නිසංසලත්වය, පිළිවෙළ, අලංකාරය හා සුන්දරත්වය යනාදියද විස්තර වෙයි.—නික්මයාම 24:9-11; යෙසායා 6:1; එසකියෙල් 1:26-28; දානියෙල් 7:9; එළිදරව් 4:1-3.
නික්මයාම 34:6, 7හි දක්වා ඇති ආකාරයට යෙහෝවා තමාගේ ආකර්ෂණීය සිත් ඇදගන්නා ගුණාංග මෝසෙස්ට මෙසේ පෙන්නුම් කළා: ‘යෙහෝවා, යෙහෝවා, ඔහු අනුකම්පාවෙන් පූර්ණ වූ දයාවන්ත වූ උදහස් වීමට ප්‍රමාද වන්නාවූ අධිකතර කරුණාව සහ සැබෑකමද ඇත්තාවූ දෙවිකෙනෙක්ය. ඔහු දහස් ගණනකට කරුණාව පවත්වන්නේය. අයුතුකමත් අපරාධයත් පාපයත් ක්ෂමා කරන්නේය.’ මෙවන් ගුණාංග දැනගැනීමෙන් දෙවි වෙතට අපව කිට්ටු කරවන බවටත්, පුද්ගලයෙකු හැටියට ඔහු ගැන වැඩියෙන් දැනගැනීමට අප තුළ වැඩි ආශාවක් ඇති කරන බවටත් ඔබ එකඟ වෙන්නේ නැද්ද?
මහත් තේජසින් යුතුව සිටින යෙහෝවාව කිසිම මනුෂ්‍යයෙකුට දැකගැනීමට නොහැකි බව සැබෑවක් වූවත්, යේසුස් මිහිපිට සිටි කාලයේදී තම ස්වර්ගීය පියා වූ යෙහෝවා දෙවිගේ පෞද්ගලිකත්වය එයාකාරයෙන්ම පිළිබිඹු කළ බව වාර්තා වෙයි. එක් අවස්ථාවකදී යේසුස් මෙසේ පැවසුවා: ‘පියා යමක් කරනවා පුත්‍රයා දක්නේද ඒ දේ මිස තනියම කිසිවක් කරන්ට ඔහුට බැරිය. මක්නිසාද ඔහු යමක් කරන්නේද පුත්‍රයාත් ඒ දේ එසේම කරන්නේය.’—යොහන් 5:19.
එහෙයින්, යේසුස්ට තිබූ කරුණාවන්තකම, දයාව, මෘදුකම හා උණුසුම මෙන්ම ධර්මිෂ්ඨකම කෙරෙහි ඔහුට තිබූ දැඩි ප්‍රේමය හා දුෂ්ටකම කෙරෙහි තිබූ වෛරය යන ගුණාංග සැමෙකක්ම යේසුස් මිනිසෙකු වශයෙන් පොළොවට පැමිණීමට පෙර ස්වර්ගීය මළුවල සිටි විට තම පියා වන යෙහෝවා දෙවි තුළ නිරීක්ෂණය කළ බව මෙයින් අපට නිගමනය කළ හැකියි. එහෙයින් අප පූර්ණ අර්ථයකින් යුතුව යෙහෝවා යන නාමයේ තේරුම දැනගන්නා විට, එම පරිශුද්ධ වූ නාමයට ප්‍රේම කර එය තේජවත් කිරීමටත් ප්‍රශංසා කර මහිමවත් කිරීමටත්, එය කෙරෙහි සම්පූර්ණයෙන්ම විශ්වාසය තැබීමටත් අපට සෑම හේතුවක්ම ඇත.
තවද මෙයාකාරයෙන් දෙවිව දැනගැනීමට පැමිණීම සදාකාලයටම සිදු වන ක්‍රියාවලියක් වන අතර, ශුද්ධ ලියවිලිවල නවලෝක පරිවර්තනය, යොහන් 17:3හි එය මැනවින් හුවා දක්වා තිබෙනවා. මෙහිදී “දැනගැනීමට” යන ක්‍රියාපදයේ නිසි කාලාර්ථය යොදාගැනීම ඇත්තෙන්ම උපකාරවත් වෙයි; මන්දයත් මෙහිදී යොදාගෙන ඇත්තේ නිකම්ම විධානයක් හඟවන ක්‍රියාපදයක් නොව නමුත් ඒ වෙනුවට නොකඩවා සිදු කරන ක්‍රියාවක් අඟවන ක්‍රියාපදයකි. එබැවින්, එහි මෙසේ කියවීමට තිබේ: “මින් අදහස් කරන්නේ සදාකාල ජීවනයය: එනම් එකම සැබෑ වූ දෙවි වන ඔබ ගැනත් ඔබ විසින් එවන ලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් ඔවුන් විසින් දැනුම ලබාගැනීමය.” එසේය, එකම සැබෑ දෙවි වන යෙහෝවා හා ඔහුගේ පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් පිළිබඳ දැනුම දිගටම ලබාගැනීම කෙදිනක හෝ අවසන් නොවිය යුතු ක්‍රියාවලියකි.
සැබෑ දෙවිව හෙළි කර ඇත
සැබෑ දෙවිව අසංඛ්‍යාත බොරු දෙවිවරුන්ගෙන් පහසුවෙන් වෙන් කර හඳුනාගත හැකියි. ඔහු පෘථිවිය සහ මනුෂ්‍යවර්ගයා ඇතුළු මුළු විශ්වයේම එකම සර්වබලධාරී මැවුම්කරු වෙයි. ඔහුට විශේෂ වූ පුද්ගල නාමයක් ඇත; ඒ යෙහෝවා නැත්නම් යාහ්වේ යන්න වේ. ඔහු යම් අද්භූත වූ ත්‍රිවිධ දෙවිකෙනෙකු හෝ ත්‍රිත්වයක කොටසක් නොවෙයි. ඔහු ප්‍රේමයේ දෙවිකෙනෙකු වන අතර, තම මනුෂ්‍ය මැවිලිවලට හොඳම දේ ලබා දීම ඔහුගේ මනාපයයි. නමුත් ඔහු යුක්තියේ දෙවිකෙනෙකුද වන අතර මේ පොළොව විනාශ කරමින් යුද්ධයට හා අපරාධවලට උල්පන්දම් දෙන අයට ඔහු දිගටම ඉවසීම විදහාපෙන්වන්නේ නැහැ.
පොළොවෙන් දුෂ්ටකම තුරන් කිරීම පමණක් නොව, නමුත් අවංක හදවත් ඇති අය සඳහා මේ පොළොව සදාකාලයටම සන්තෝෂයෙන් ජීවත් විය හැකි පාරාදීසයක් බවට පත් කිරීමට වූ තම අධිෂ්ඨානය යෙහෝවා අනාවරණය කොට ඇත. (ගීතාවලිය 37:10, 11, 29, 34) සර්වබලධාරී දෙවි තම පුත්‍රයා වන යේසුස්ව, දේවරාජ්‍යයේ ස්වර්ගීය පාලකයා හැටියට ස්ථාපිත කොට ඇත. ඉතා ඉක්මනින් යේසුස් ධර්මිෂ්ඨකමින් පිරි එම නව ලොවේ පෙරමුණ ගනු ඇති අතර, අපේ පොළොවට පාරාදීසමය වාතාවරණයක් යළි ලබා දෙනු ඇත.—දානියෙල් 2:44, 45; මතෙව් 6:9, 10.
ඇත්තටම දෙවිකෙනෙක් සිටීද හා සැබෑ දෙවි හඳුනාගන්නේ කෙසේද යන ප්‍රශ්නයට දැන් ඔබට වඩා පහසුවෙන් පිළිතුරු දිය හැකියි කියා අප බලාපොරොත්තු වෙමු.
[9වන පිටුවේ පින්තූරය]
යේසුස් ක්‍රිස්තුස් යෙහෝවාව හඳුන්වා දුන්නේ එකම සැබෑ දෙවි හැටියටයි