බයිබලයේ දෘෂ්ටිකෝණය
මළවුන්ට ගරුබුහුමන් දැක්විය යුතුද?
“මැරුණු සතෙකුට නැති ආකාරයකින් මිනිස් මළ සිරුරකට ගෞරවයෙන් යුතුව සැලකීම සඳහා, ගැඹුරින් මුල්බැසගත් හැඟීමක් මිනිසුන්ව පොලඹවනවා.”—බ්‍රිටැනිකා විශ්වකෝෂය (ඉංග්‍රීසියෙන්).
බොහෝ මිනිසුන් තමන්ගේ මියගිය ප්‍රේමනීයයන්ට මොනයම් හෝ ආකාරයකින් ගරුබුහුමන් දක්වනවා. පුවත්පත්වල මරණ දැන්වීම් පළ කිරීම තුළින් මියගිය අයට ගරුබුහුමන් දක්වන අතර, ගුණ කථනයන්වලදී ඔවුන්ව පැසසුමට ලක් කරනවා. සමහර රටවල්වල, ආගමික හෝ සම්ප්‍රදායික වත්පිළිවෙත්වලින් යුත් බොහෝ අලංකාරවත් ලෙස කරන අවමංගල්‍ය උත්සව සාමාන්‍ය දෙයක්. මළවුන් සඳහා කරන වත්පිළිවෙත් දවස් ගණන්, සති ගණන් හෝ මාස ගණන් පවා පැවැත්වෙන්න පුළුවන්. ප්‍රසිද්ධ පුද්ගලයන් මියගිය විට, පාසැල්, ගුවන්තොටුපොළවල්, වීදි සහ නගරවල් ඔවුන්ගේ නම්වලින් නම් කරනවා. වීරයන්ව අනුස්මරණය කිරීම සඳහා ස්මාරක ගොඩනඟන අතර, නිවාඩු දිනයන් වෙන් කරනවා.
කොහොමවුණත්, දෙවිගේ වචනයට අනුව, මළවුන් සිටින්නේ තමන්ට පිරිනමන ගරුබුහුමන් කිසිසේත්ම නොදැනෙන තත්වයකයි. (යෝබ් 14:10, 21; ගීතාවලිය 49:17) මළවුන් ජීවත් වන්නේ ඔවුන්ව සිහි කරන, ජීවත් වන අයගේ මතකයේ පමණයි. බයිබලය මෙසේ පවසනවා: “ජීවත්වන්නෝ තමුන් නසින්ට ඕනෑ බව දනිති. මළාහු කිසිවක් නොදනිති.” (දේශනාකාරයා 9:5) අනාගතයේදී සිදු වෙන්න යන නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ශුද්ධ ලියවිලි ඉදිරිපත් කරනවා. (යොහන් 5:28, 29; 11:25) නමුත් ඒ කාලය වන තෙක්, මළවුන්ට පැවැත්මක් නැහැ. ඔවුන් වචනානුසාරයෙන්ම දූවිලි බවට පත් වෙනවා.—උත්පත්ති 3:19; යෝබ් 34:15.
මළවුන්ගේ තත්වය ගැන බයිබලයේ තිබෙන පැහැදිලි ස්ථාවරය දෙස බලද්දී, ඔවුන්ට ගරුබුහුමන් දැක්වීමෙන් කිසියම් ප්‍රයෝජනයක් අත් වෙනවාද? මියගිය ප්රේමනීයයෙකුගේ අවමංගල්‍ය උත්සවයට සහ භූමදානයට සම්බන්ධ සම්ප්‍රදායික සිරිත් විරිත් ක්‍රිස්තියානීන් අනුගමනය කළ යුතුද?
බොරු මතයන් මත පදනම් වූ වත්පිළිවෙත්
මළවුන්ට සම්බන්ධ සම්ප්‍රදායික වත්පිළිවෙත් බොහොමයක්ම, ඇතැම්විට සියල්ලක්ම වගේ, බයිබලයට පටහැනි ආගමික ඉගැන්වීම් තුළ ගැඹුරු ලෙස මුල්බැසගෙන තිබෙනවා. සමහර වත්පිළිවෙත් පවත්වන්නේ “මියගිය තැනැත්තාව යක්ෂ බලපෑම්වලින් ආරක්ෂා කිරීම සඳහායි; තවත් සමහර අවස්ථාවලදී වත්පිළිවෙත්වල අරමුණ වී තිබුණේ, මළවුන්ගේ අහිතකර බලපෑම්වලින් හෝ මළවුන් ද්වේෂසහගතව කරන දේවල්වලින් ජීවත් වන අයව ආරක්ෂා කරගැනීම” යයි බ්‍රිටැනිකා විශ්වකෝෂය පවසනවා. මළවුන් නොපෙනෙන විෂයක ජීවත් වෙනවාය යන බොරු මතය මත පදනම් වූ එයාකාර සිරිත් විරිත්, කෙළින්ම බයිබල් සත්‍යයට පටහැනියි.—දේශනාකාරයා 9:10.
බොහෝ ජනයා තම මියගිය අයට නමස්කාර කරනවා. මෙවැනි නමස්කාර ක්‍රමයකට මියගිය මුතුන්මිත්තන්ට පුද පූජා පැවැත්වීම සහ යාච්ඤා ඔප්පු කිරීම ඇතුළත් වෙනවා. එවැනි වත්පිළිවෙත්වලට හවුල් වන සමහර අය, තමන් කරන දේ නමස්කාරයක් ලෙස දකින්නේ නැති අතර, ඒ වෙනුවට ඔවුන් එය සලකන්නේ මළවුන් සඳහා ගරුබුහුමන් දැක්වීමක් හෝ ගැඹුරු ගෞරවය ප්‍රකාශ කිරීමක් හැටියටයි. එසේ වුවත්, මියගිය මුතුන් මිත්තන්ට කරන මෙයාකාර නමස්කාරයකට ආගමික ආභාසයක් තිබෙන අතර, ඒවා බයිබල් ඉගැන්වීම්වලට පටහැනියි. යේසුස් ක්‍රිස්තුස් මෙසේ පැවසුවා: ‘නුඹේ දෙවි වූ යෙහෝවාට නමස්කාර කරන්න, ඔහුට පමණක් සේවය කරන්න.’—ලූක් 4:8.
සමබර දෘෂ්ටියක්
මළවුන්ට ගෞරවය දැක්වීම, සැමවිටම බොරු ආගමික ඉගැන්වීම්වලට සම්බන්ධ වන්නේ නැහැ. උදාහරණයකට, ඇදහිලිවන්ත හෙසකියා රජු මියගිය විට ඔහුට කොතරම් ගෞරවයක් දුන්නාද කියා බයිබල් වාර්තාවක විස්තර කෙරෙනවා. දෙවිගේ ජනයා ඔහුව “දාවිත්ගේ පුත්‍රයන්ගේ සොහොන් ගෙවල ඉහළ කොට්ඨාසයෙහි තැන්පත්කරනු ලැබුවේය. ඔහුගේ මරණයේදී සියලු යූදාවරුද යෙරුසලමේ වැසියෝද ඔහුට ගෞරවකළෝය.” (2 ලේකම් 32:33) තවත් උදාහරණයක් ලෙස යේසු සම්බන්ධව බලන්න පුළුවන්. ඔහුගේ ගෝලයන් ‘යේසුගේ ශරීරය රැගෙන, යුදෙව්වරුන් තැන්පත් කරන සිරිත ලෙස, සුවඳ ද්‍රව්‍ය සමඟ සිහින් හණරෙදිවලින් එය වෙළූ’ බව බයිබලය පවසනවා.—යොහන් 19:40.
මෘත දේහය සහ භූමදානය සම්බන්ධයෙන් විශේෂ ක්‍රියා පිළිවෙත් අනුගමනය කළ වෙනත් අවස්ථා බොහොමයක් ශුද්ධ ලියවිලිවල අන්තර්ගත වෙනවා. මෙවැනි පිළිවෙත් මුතුන්මිත්තන් නමස්කාර කිරීමක් වූයේ නැහැ. ඒ වගේම, ජීවත් වන අයගේ කාරණා කටයුතුවලට, මළවුන් බලපෑම් කරනවා යන වැරදිසහගත ඉගැන්වීම් මත ඒවා පදනම් වී තිබුණෙත් නැහැ. ඒ වෙනුවට එමගින්, ශෝකවන්නන් තමන් ප්‍රේම කළ අය සඳහා ගැඹුරු ගෞරවයක් විදහා පෙන්වුවා. එය ස්වාභාවිකව එන මනුෂ්‍ය හැඟීම් සමඟ සම්බන්ධ වී තිබෙන හෙයින් බයිබලය එයාකාර ගෞරවය දැක්වීමකට විරුද්ධ වන්නේ නැහැ. එහෙත් අන්තයටම ගිය ලතෝනි නඟමින් හඬා වැලපීම බයිබලය අනුමත කරන්නේ නැහැ. අනිත් අතට, ප්‍රේමනීය කෙනෙකුගේ මරණයකට මුහුණ දුන් විට, කිසිම හැඟීමක් නැතුව චිත්තවේගීය වශයෙන් උදාසීනව සිටින්න කියා බයිබලය ක්‍රිස්තියානීන්ට උනන්දු කරන්නෙත් නැහැ.
එහෙයින් යෙහෝවාගේ සාක්ෂිකරුවන් තම ප්‍රේමනීය කෙනෙකුගේ අවමංගල්‍ය උත්සවයකට හෝ භූමදානයකට සහභාගි වන විට, ඔවුන් මියගිය තැනැත්තාට සුදුසු ගෞරවය ලබා දෙනවා. (දේශනාකාරයා 7:2) මල්, අවමංගල්‍ය උත්සව සහ අනිකුත් ප්‍රාදේශීය සිරිත් විරිත් සම්බන්ධ කාරණාවලදී, බයිබල් ඉගැන්වීම්වලට පටහැනි ව්‍යවහාරයන් මඟහැරීම සඳහා ක්‍රිස්තියානීන් පරෙස්සමින් පෞද්ගලික ලෙස තේරීම් කරනවා. මේ සඳහා හොඳ විනිශ්චයක් සහ සමබරතාව අවශ්‍යයි. ආගම සහ ආචාර ධර්මයන් පිළිබඳ විශ්වකෝෂය (ඉංග්‍රීසියෙන්) මෙසේ පැහැදිලි කරනවා: “චාරිත්‍රයක තිබෙන වැදගත්කම සහ වටිනාකම කාලයෙන් කාලයට වෙනස් වන නිසා, එහි ගැබ් වී තිබෙන අර්ථය පසු කාලයකදී, එයට මුලින්ම තිබුණු අර්ථයට වඩා බොහෝ සෙයින් වෙනස් විය හැකි අතර, එය සම්බන්ධයෙන් තිබෙන ජනප්‍රිය පැහැදිලි කිරීම එහි මූලාරම්භය ගැන කිසිවක් අනාවරණය නොකරන්න ඉඩ තිබෙනවා.”a
ගුණ කථනය වැරදිද?
මළවුන් සම්බන්ධයෙන් ගුණවර්ණනා කිරීමේදීත් සමබර වීමේ ප්‍රතිපත්තිය අදාළ වෙනවා. අවමංගල්‍ය උත්සවයන්වලදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් වියෝ දුකට පත්වූවන්ව සැනසීම සඳහා මහත් උත්සාහයක් ගන්නවා. (2 කොරින්ති 1:3-5) සාමාන්‍ය වැඩසටහනකට එක් කථිකයෙක් හෝ කථිකයන් කීපදෙනෙක් ඇතුළත් විය හැකියි. නමුත් මෙම අවස්ථාව මියගිය තැනැත්තා ගැන, අධික ලෙස දීර්ඝ වූ ගුණ කථනයන් කිරීමට අවස්ථාවක් කරගැනීම යෝග්‍ය වන්නේ නැහැ. ඒ වෙනුවට, අවමංගල්‍ය උත්සවයකින්, දෙවිගේ පුදුමාකාර ගුණාංග සහ අපට නැවත-නැඟිටීමේ බලාපොරොත්තුව සපයා දීමෙන් දැක්වූ ඔහුගේ කරුණාව ගැන ගුණවර්ණනා කිරීමට අවස්ථාව සලසා දෙනවා.
කොහොමවුණත්, අවමංගල්‍ය කතාවක් තුළදී, මියගිය තැනැත්තාගේ යහපත් ගුණාංග මතක් කිරීම වැරදි දෙයක් වන බව මෙයින් අදහස් වන්නේ නැහැ. (2 සාමුවෙල් 1:17-27 සසඳන්න.) මියගිය තැනැත්තා මරණය දක්වා දෙවිට ඇදහිලිවන්තව සිට තිබෙන විටක, ඔහු හෝ ඇය අනුකරණය කළ යුතු කදිම ආදර්ශයක් බවට පත් වෙනවා. (හෙබ්‍රෙව් 6:12) අඛණ්ඩතාව පැවැත්වූ දෙවිගේ සේවකයන්ගේ ජීවිත ආදර්ශ ගැන මෙනෙහි කිරීම සුදුසුයි. අවමංගල්‍ය උත්සවයකදී මෙම ඒකාන්ත ආකල්ප අනිත් අයත් සමඟ බෙදාගැනීම, ජීවත් වන අයට සැනසීමක් සපයන අතර, එය මළ තැනැත්තාව ආදරයෙන් මතක් කිරීමක් වෙනවා.
සැබෑ ක්‍රිස්තියානීන් මළවුන්ට නමස්කාර කරන්නේ නැහැ. ඔවුන් බයිබල් සත්‍යයට පටහැනි ජනප්‍රිය වත්පිළිවෙත්වලට සම්බන්ධ වන්නේ නැහැ. අනිත් අතට, මළවුන් නිකම්ම දූවිලි නිසා, සියලුම අවමංගල්‍ය චාරිත්‍ර නිෂ්ඵල සහ වැදගත්කමක් නැති දේවල් ලෙස සලකන අන්තයටම ගිය දෘෂ්ටිය යෙහෝවාගේ සාක්ෂිකරුවන් දරන්නේ නැහැ. ඔවුන් වැලපෙනවා, ඒ වගේම තම මියගිය අයව සිහි කරනවා. නමුත්, මළවුන් දුක් විඳින්නේ නැති බව සහ නැවත-නැඟීටීමේ බලාපොරොත්තුව තිබෙනවා යන බයිබල් සත්‍යයන් නිසා ඔවුන්ගේ වේදනාව සහ ශෝකය තුනී වෙනවා.
[පාදසටහන]
a වර්ෂ 1992 අප්‍රියෙල් 1 මුරටැඹ කලාපයේ, 17වන පිටුවේ පහත සඳහන් මඟ පෙන්වීම සපයනවා: “නියම ක්‍රිස්තියානියෙක් මෙය සලකා බැලිය යුතුය: යම් සිරිතක් පිළිපැදීමෙන් අන්‍යයන් හට අඟවන්නේ මා ශුද්ධ ලියවිලිමය නොවන ඇදහිලි හෝ ව්‍යවහාරයන් පිළිගෙන ඇති බවක් ද? කාල පරිච්ඡේදය හා ස්ථානය පිළිතුරට බලපෑමක් කළ හැකි ය. යම් චාරිත්‍රයකට (මෝස්තරයකට) වසර දහස් ගණනකට පෙර තිබූ බොරු ආගමික අර්ථයක් තිබී තිබෙනවා විය හැකි ය, එසේ නැත්නම් එවැන්නක් අද දින දුර ප්‍රදේශයක තිබෙනවා විය හැකි ය. එහෙත් කාලය කා දමන ගවේෂණයන් නොකොට, ඔබගෙන් මෙසේ අසන්න: ‘මා ජීවත් වන ප්‍රදේශයේ පොදු මතය කුමක් ද?’—1 කොරින්ති 10:25-29 සසඳන්න.”
[10වන පිටුවේ පින්තූරය]
1632දී සිදු වූ, ස්වීඩනයේ රජු වූ IIවන ගස්ටාව්ගේ මරණයෙන් පසු ඔහුට ගරුබුහුමන් දැක්වූ අවමංගල්‍ය පෙරහැර
[හිමිකම් විස්තර]
Bildersaal deutscher Geschichte යන පොතෙනි