පරිච්ඡේදය 36
මහා නුවරේ මහත් විනාශය
දර්ශනය 12—එළිදරව් 18:1–19:10
සිදු වන දේ: මහා බැබිලෝනියේ වැටීම සහ විනාශය. බැටළු පැටවාගේ විවාහ මංගල්‍යය දැනුම් දීම
ඉටු වන කාලය: වර්ෂ 1919 සිට මහත් පීඩාවේ අවසානය දක්වා
1. මහත් පීඩාව ආරම්භ වෙන්නේ කුමකින්ද?
මහා බැබිලෝනියට අත් වන විනාශය ඉතා හදිසි මෙන්ම ප්‍රබල එකක් වෙනවා. සියලුදෙනාම එයින් කම්පනයට පත් වෙනවා නොඅනුමානයි. එය මිනිස් ඉතිහාසයේ සිදු වන දරුණුම විනාශයක් කියා හැඳින්වුවොත් නිවැරදියි. “ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නොවූ, නැවත නොවන්නාවූ මහත් පීඩාව” ආරම්භ වෙන්නේ ඒ විනාශයෙනුයි.—මතෙව් 24:21.
2. ලෝකයේ දේශපාලන අධිරාජ්‍යයන් කලක් පැවත පහ වී ගියත් බොහෝ කලක් පුරා පැවත ඇත්තේ මොන වගේ ‘අධිරාජ්‍යයක්ද?’
2 අසත්‍යය උගන්වන ආගම්වලට තිබෙන්නේ බොහෝ දිගු ඉතිහාසයක්. යෙහෝවා දෙවිට විරුද්ධ වී බාබෙල් නම් කොත ගොඩනැඟීමට පියවර ගත් අහිංසකයන්ගේ ලේ වැගිරෙවූ නිම්රොද්ගේ කාලයේ පටන් එය අඛණ්ඩව පැවත තිබෙනවා. දෙවිට එසේ කැරලිගැසූ අයගේ භාෂා දෙවි වියවුල් කර ඔවුන්ව පොළොව පුරා විසුරුවා හැරිය විට ඔවුන් ගිය ගිය තැන බැබිලෝනියේ තිබූ ආගමික විශ්වාසයන්ද ගෙන ගියා. (උත්පත්ති 10:8-10; 11:4-9) ඒ කාලයේ පටන් ලෝකයේ නොයෙකුත් අධිරාජ්‍යයන් කලක් පැවත පහ වී ගොස් තිබුණත් බැබිලෝනියේ ආභාසය ඇති ආගම් නම් අඛණ්ඩව පැවත තිබෙනවා. මෙය විවිධ මුහුණුවරවලින් පවතින අතර ප්‍රතිඵලයක් ලෙස අසත්‍යය උගන්වන සියලුම ආගම් ලෝකයේ අධිරාජ්‍යයක් හා සමානව පැතිර තිබෙනවා. මහා බැබිලෝනිය නම් අධිරාජ්‍යය කියන්නේ එයටයි. එහි ප්‍රධානතම කොටස ලෙස සැලකිය හැක්කේ ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලි සමූහයයි. එය හටගත්තේ පුරාණ බැබිලෝනියේ ඉගැන්වීම්වල හා ව්‍යාජ “ක්‍රිස්තියානි ධර්මයක” එකතුවක් ලෙසයි. මහා බැබිලෝනියට මෙතරම් දිගු ඉතිහාසයක් තිබෙන නිසා එය කවදාවත් විනාශ වෙයි කියා නම් බොහෝදෙනෙක් හිතන්නෙවත් නැහැ.
3. අසත්‍යය උගන්වන සියලුම ආගම්වලට අත් වන ඉරණම එළිදරව් පොතේ තහවුරු කර ඇත්තේ කෙසේද?
3 අසත්‍යය උගන්වන සියලුම ආගම්වල වැටීම හා ඒවායේ පූර්ණ විනාශය දක්වා සිදු වන සියලුම දේවල් එළිදරව් පොතේ දෙවිදිහකට විස්තර කර තිබෙනවා. මුලින්ම මෙම ආගම් “මහත් ගණිකාවක්” ලෙස විස්තර කළ ආකාරයත්, අවසානයේදී ඇගේ දේශපාලනික මිත්‍රයන් අතින් ඇයව සහමුලින්ම විනාශ කර දමන ආකාරයත් අපි සලකා බැලුවා. (එළිදරව් 17:1, 15, 16) දැන් තවත් දර්ශනයකින් එනම් අප දැන් සලකා බලන දර්ශනයෙන් ඇයව විස්තර කර තිබෙන්නේ නුවරක් ලෙසයි. එනම් පුරාණ බැබිලෝනියට සමාන නුවරක් ලෙසයි. අසත්‍යය උගන්වන සියලුම ආගම් එළිදරව් පොතේ මෙලෙස දෙවිදිහකින් සඳහන් කර තිබීමෙන් ඔවුන්ට අත් වන ඉරණම හොඳින් තහවුරු වෙනවා.
මහා බැබිලෝනියේ වැටීම
4. (අ) යොහන් දකින ඊළඟ දර්ශනය කුමක්ද? (ආ) මෙම දේවදූතයා කවුද? ඒ දේවදූතයාම මහා බැබිලෝනියේ වැටීම ගැන දැනුම් දීම සුදුසු වෙන්නේ ඇයි?
4 යොහන් මෙසේ කියනවා. “මේ දේවල්වලට පසු, තවත් දේවදූතයෙකු මහත් අධිකාරියක් ඇතිව ස්වර්ගයෙන් බැස එනවා මම දුටිමි. ඔහුගේ තේජසින් පොළොව ආලෝකවත් විය. ඔහු බලවත් හඬින් කෑගසමින් මෙසේ කීවේය: ‘ඈ වැටුණාය! මහා බැබිලෝනිය වැටුණාය.’” (එළිදරව් 18:1, 2අ) මහා බැබිලෝනිය වැටෙන බවට කරන මෙම දැනුම් දීම යොහන්ට අසන්න ලැබෙන්නේ දෙවන වතාවටයි. (එළිදරව් 14:8 බලන්න.) මේ අවස්ථාවේදී එම දැනුම් දීම කොතරම් වැදගත්ද කියා කාවද්දනු ලබන්නේ එය දැනුම් දෙන දේවදූතයාගේ තේජසෙනුයි. ඔහුගේ තේජසින් මුළු පොළොවම ආලෝකවත් වූ බව සඳහන් වෙනවා. ඔහු කවුද? මීට සියවස් ගණනාවකට පෙර ස්වර්ගයේ දර්ශනයක් දුටු එසකියෙල් පැවසුවේ “පොළොවද ඔහුගේ [යෙහෝවා දෙවිගේ] තේජසින් බැබළුවේය” කියායි. (එසකියෙල් 43:2) යෙහෝවා දෙවිට සමාන තේජසක් තිබිය හැකි එකම දේවදූතයා ස්වාමි වූ යේසුස් බව කිව හැකියි. ඔහුව ‘දෙවිගේ මහිමයේ ප්‍රතිබිම්බයද ඔහුගේ නියම ස්වරූපයද’ කියා හඳුන්වා ඇත්තේ එමනිසයි. (හෙබ්‍රෙව් 1:3) වර්ෂ 1914දී යේසුස් ස්වර්ගයේ රජ බවට පත් වුණා. එතැන් පටන් ඔහු යෙහෝවා දෙවි සමඟ තේජසට පත් වී සිටිනවා. දෙවි සමඟ රජු සහ විනිශ්චයකරු ලෙස පොළොවේ කටයුතු කෙරෙහි අධිකාරයක් ඇත්තේ ඔහුටයි. මහා බැබිලෝනියේ වැටීම ගැන දැනුම් දීමට ඔහුම සුදුසු වෙන්නේ එනිසයි.
5. (අ) මහා බැබිලෝනියේ වැටීම ගැන දැනුම් දීමට දේවදූතයා යොදාගන්නේ කාවද? (ආ) තමන් ‘දෙවිගේ ගෘහය’ කියා පැවසූ අයව විනිශ්චය කිරීම පටන්ගත් විට ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවලට ලැබුණු තීන්දුව කුමක්ද?
5 මිනිස් වර්ගයාට මේ පුදුමාකාර ප්‍රවෘත්තිය දැනුම් දීමට බලවත් අධිකාරයක් සතු මේ දේවදූතයා යොදාගන්නේ කාවද? මහා බැබිලෝනියේ වැටීම නිසා නිදහස් වූ පොළොව මත තවමත් සිටින අභිෂේක ලත් ඉතිරි අය හෙවත් යොහන් පන්තියවයි. වර්ෂ 1914 සිට 1918 දක්වා මොවුන් මහා බැබිලෝනිය අතින් ඉතා දරුණු පීඩා වින්දා. නමුත් 1918දී ස්වාමි වූ යෙහෝවා දෙවි “[ආබ්‍රහම්ගේ] ගිවිසුමේ දූතයා” හෙවත් යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් ‘දෙවිගේ ගෘහය’ එනම් ක්‍රිස්තියානියයි කියාගන්නා සියලුදෙනාව විනිශ්චය කිරීමට පටන්ගත්තා. මේ අවස්ථාවේදී දෙවිගෙන් ඈත් වූ ‘ක්‍රිස්තියානි’ පල්ලිවලටත් තීන්දුවක් ලැබුණා. (මලාකි 3:1; 1 පේතෘස් 4:17) පළමු ලෝක මහා යුද්ධයේදී ඇය මහත් ලේ වැගිරීමකට හවුල් වී සිටියා. යෙහෝවා දෙවිගේ විශ්වාසවන්ත සාක්ෂිකරුවන්ට පීඩා කිරීමටත් ඇය සහය වුණා. ඒ වගේම බැබිලෝනියේ ආභාසයක් ඇති බොරු ඉගැන්වීම් පතුරුවමින් සිටියා. මේ සෑම දෙයක්ම ඇයට ලැබුණු තීන්දුවට අනිවාර්යයෙන්ම බලපෑවා. ඇය ඇතුළුව මුළු මහා බැබිලෝනියටම දෙවිගේ අනුමැතිය නැති බව ස්ථිර වුණා.—යෙසායා 13:1-9 බලන්න.
6. වර්ෂ 1919 වන විට මහා බැබිලෝනිය වැටුණා කියා කිව හැක්කේ ඇයි?
6 වර්ෂ 1919 වන විට මහා බැබිලෝනිය වැටී තිබුණා. ප්‍රතිඵලයක් ලෙස දෙවිගේ සෙනඟ නිදහස ලබා සැබෑ නමස්කාරය නැවත පිහිටුවන්න පටන්ගත්තා. ඒ සියල්ල සිදු වුණේ හරියටම ‘එක දවසකින්’ වගෙයි. (යෙසායා 66:8) ඒ වසරේදී උතුම් දාරියුස් සහ උතුම් සයිරස් වන යෙහෝවා දෙවිගේ සහ යේසුස් ක්‍රිස්තුස්ගේ මැදිහත් වීමෙන් අසත්‍යය උගන්වන ආගම්වලට දෙවිගේ සෙනඟව දිගටම යටත් කරගෙන සිටින්න නොහැකි වුණා. යෙහෝවා දෙවිට ඔවුන් කරන සේවය මෙන්ම මහා බැබිලෝනිය නමැති ගණිකාවට අත් වන ඉරණම ගැන හා යෙහෝවා දෙවි තම පාලනය ධර්මිෂ්ඨයි කියා තහවුරු කරන දවස ළඟ බවට ඔවුන් කරන ප්‍රචාරය දිගටම සිදු වෙනවා. ඒ කිසිවක් නතර කර දමන්න ඔවුන්ට හැකි වුණේ නැහැ.—යෙසායා 54:1-4; දානියෙල් 5:30, 31.
7. (අ) වර්ෂ 1919දී මහා බැබිලෝනිය විනාශ වුණේ නැතත්, යෙහෝවා දෙවි ඉදිරියේ ඇය සිටියේ කුමන තත්වයකද? (ආ) මහා බැබිලෝනිය 1919දී වැටුණු විට යෙහෝවා දෙවිගේ සෙනඟට සිදු වුණේ කුමක්ද?
7 ක්‍රිස්තු පූර්ව 539දී බැබිලෝනිය නුවර පර්සියාවේ සයිරස්ගේ හමුදාවන් අතට පත් වූ විට එය විනාශ නොවූ බව ඔබට මතක ඇති. ඒ හා සමානව 1919දී මහා බැබිලෝනිය විනාශ වුණේ නැහැ. නමුත් යෙහෝවා දෙවි ඉදිරියේ එම සංවිධානය ඇත්තටම වැටුණා. එයින් අදහස් වෙන්නේ යෙහෝවා දෙවිගේ තීන්දුවට අනුව ඇය විනාශය සඳහා නියම වූ බවයි. ඒ වගේම යෙහෝවා දෙවිගේ සෙනඟව යටත් කරගෙන සිටින්නත් ඇයට තවදුරටත් හැකි නොවූ බවයි. (ලූක් 9:59, 60 බලන්න.) මේ සියල්ල දෙවිගේ අභිෂේක ලත් සෙනඟට බලපෑවේ කෙසේද? ඔවුන් නිදහස් වුණා. ඒ නිදහස ලැබුවේ ස්වාමියා වූ යේසුස්ගේ විශ්වාසවන්ත නුවණ ඇති දාසයා ලෙස සේවය කරමින් නියම වේලාවට අවශ්‍ය ආහාර ලබා දීමටයි. ස්වාමියා ඔවුන් එතෙක් කළ සේවය අගය කළ නිසා යෙහෝවා දෙවිගේ සේවයේ නැවතත් කඩිසරව යෙදෙන්න ඔවුන්ට මඟ පෙන්වූවා.—මතෙව් 24:45-47; 25:21, 23; ක්‍රියා 1:8.
8. යෙසායා 21:8, 9හි සඳහන් වන මුරකරු ප්‍රකාශ කරන්නේ කුමන සිද්ධිය ගැනද? අද දින ඒ මුරකරු කවුද?
8 මහා බැබිලෝනියේ මෙම මහත් වැටීම ගැන අනාවැකි කියන්න අවුරුදු දහස් ගණනකට පෙර සිටම දෙවි තම අනාගතවක්තෘවරුන්ට මඟ පෙන්වා තිබෙනවා. උදාහරණයකට යෙසායා ‘සිංහයෙකු මෙන් මොර ගසන’ මුරකරුවෙකු ගැන කතා කළා. ඔහු මෙසේ පැවසුවා. “යෙහෝවා, දවාලේ මුරකොටුව පිට නිතර සිටිමි. මුළු රාත්රිවල මාගේ මුරපළේ සිටවනු ලබමි.” මෙම විමසිලිමත් මුරකරු සිංහයෙකු මෙන් එඩිතරව ප්‍රකාශ කරන්නේ කුමන සිද්ධිය ගැනද? ඔහු පවසන්නේ මෙසේයි. “බැබිලෝනිය වැටුණේය, වැටුණේය, ඔහු [යෙහෝවා දෙවි] ඇගේ දෙවිවරුන්ගේ කැපූ සියලුම පිළිම බිමට කඩා දැමුවේය.” (යෙසායා 21:8, 9) අද දින ඒ මුරකරු විමසිල්ලෙන් සිටින යොහන් පන්තියයි. ඔවුන් මුරටැඹ සඟරාව හා වෙනත් පොත් පත් යොදාගනිමින් මහා බැබිලෝනිය වැටී ඇති බව පොළොව පුරා ප්‍රකාශ කරමින් සිටිනවා.
මහා බැබිලෝනිය පිරිහී ගොස් ඇති ආකාරය
9, 10. (අ) මහා බැබිලෝනිය පළමු ලෝක මහා යුද්ධයේ සිට පිරිහී ගොස් ඇත්තේ කෙසේද? (ආ) මහා බැබිලෝනියේ වැටීමෙන් පසු ඇය සිටින තත්වය ගැන මෙම බලවත් දේවදූතයා විස්තර කරන්නේ කෙසේද?
9 ක්‍රිස්තු පූර්ව 539දී පුරාණ බැබිලෝනියේ වැටීමත් සමඟම ඇය පිරිහී යන්න පටන්ගත්තා. අවසානයේදී ඒ නුවර පාළු වුණා. ඒ හා සමානව ලොව පුරාම තම අණසක පතුරුවමින් සිටි මහා බැබිලෝනියේ බලය පළමු ලෝක මහා යුද්ධයේ සිට පිරිහෙන්න පටන්ගෙන තිබෙනවා. උදාහරණයකට ජපානයේ ෂින්ටෝ අධිරාජ්‍යයාට කළ නමස්කාරය දෙවන ලෝක යුද්ධයෙන් පසු තහනම් කරනු ලැබුවා. චීනයේ සියලුම ආගමික නායකයන්ව පත් කරන්නේ හා එහි කටයුතු අධීක්ෂණය කරන්නේ එහි පවතින කොමියුනිස්ට් ආණ්ඩුවයි. රෙපරමාදු ආගම් අදහන උතුරු යුරෝපයේ වැඩි ජනතාවක් ආගම ගැන දරන්නේ උදාසීන ආකල්පයක්. ඒ වගේම ලොව පුරාම පැතිර ඇති රෝමානු කතෝලික සභාවෙත් නොයෙකුත් අභ්‍යන්තර ගැටුම් හා මතභේද හටගෙන තිබෙන නිසා එයද දුර්වල වී තිබෙනවා.—මාක් 3:24-26ද බලන්න.
10 වර්තමානයේ මහා බැබිලෝනියට අයත් ආගම් තුළ අප දකින මෙම පිරිහීම ‘යුප්‍රටීස් ගඟේ වතුර සිඳී ගියා’ හා සමානයි. මෙයින් මහා බැබිලෝනිය පිට එල්ල වන විනාශකාරී ප්‍රහාරය ළඟ බව අපට පැහැදිලි වෙනවා. දැන් මෙවැනි පිරිහීමක් එනම් ‘සිඳී යෑමක්’ සිදු වන බව 1986 ඔක්තෝබර් මාසයේ පාප්වරයා පැවසූ දෙයිනුත් පැහැදිලියි. ඔහු පැවසුවේ පල්ලියට විශාල මුදල් හිඟයක් තිබෙන නිසා එයට “නැවතත් සිඟා කන්න” සිදු වන බවයි. (එළිදරව් 16:12) මහා බැබිලෝනියේ මෙම පිරිහීම මහජනයාගේ අවධානයට විශේෂයෙන්ම ලක් වී තිබෙන්නේ 1919 සිටයි. බලවත් දේවදූතයා ඒ ගැන විස්තර කරන්නේ මෙසේයි. “ඇය භූතයන්ගේ වාසස්ථානයක් බවටද, සියලු අපවිත්‍ර දුගඳවල් ඇති ස්ථානයක් බවටද, අපවිත්‍ර වූ පිළිකුල් කරනු ලැබුවාවූ සියලු කුරුල්ලන් ගැවසෙන ස්ථානයක් බවටද පත් වී ඇත!” (එළිදරව් 18:2ආ) අද ඉරාකයේ තිබෙන පුරාණ බැබිලෝනියේ නටබුන් මෙන් මහා බැබිලෝනියත් ඉතා ඉක්මනින් පාළු වූ ස්ථානයක් බවට පත් වෙනවා නිසැකයි.—යෙරෙමියා 50:25-28ද බලන්න.
11. මහා බැබිලෝනිය ‘භූතයන්ගේ වාසස්ථානයක්ද,’ ‘අපවිත්‍ර දුඟඳවල් ඇති හා අපවිත්‍ර වූ කුරුල්ලන් ගැවසෙන’ ස්ථානයක්ද වී ඇති බව කීමෙන් අදහස් වෙන්නේ කුමක්ද?
11 මෙහි “භූතයන්” හැටියට පරිවර්තනය කර ඇති වචනය පුරාණ බැබිලෝනියේ වැටීම ගැන යෙසායා දුන් විස්තරයේ සඳහන් “වල් එළුවෝ” (සෙයිරිම්) යන වචනයට සමානකමක් දක්වනවා. ඒ විස්තරයේ සඳහන් වෙන්නේ මෙයයි. “වනයේ මෘගයෝ එහි ලගින්නෝය. ඔවුන්ගේ ගෙවල් කෙඳිරිගාන සතුන්ගෙන් පිරෙන්නෝය. එහි පැස්බරු වසන්නෝය. වල් එළුවෝ [“භූතයෝ,” NW] එහි නටන්නෝය.” (යෙසායා 13:21) මෙතැන කතා කරන්නේ ඇත්ත භූතයන් ගැන නොව කාන්තාරයේ වෙසෙන රළු මවිල්වලින් පිරුණු අද්භූත පෙනුමක් ඇති සත්ව විශේෂයක් ගැනයි. මහා බැබිලෝනියේ නටබුන් අතරත් එවැනි සතුන් සිටීමෙන් හා දුගඳවල් ඇති විෂ වායු හැමීමෙන් හා අපවිත්‍ර වූ කුරුල්ලන් ගැවසීමෙන් සංකේතවත් කරන්නේ ඇය කොතරම් පාළු මළ තත්වයක සිටිනවාද කියායි. එනිසා මිනිස් වර්ගයාට ඇගෙන් කිසි යහපතක් බලාපොරොත්තු විය නොහැකියි.—එෆීස 2:1, 2 බලන්න.
12. මහා බැබිලෝනියේ තත්වය යෙරෙමියා 50වන පරිච්ඡේදයේ සඳහන් අනාවැකියට ගැළපෙන්නේ කෙසේද?
12 මහා බැබිලෝනියේ මෙම තත්වය යෙරෙමියාගේ අනාවැකියක සඳහන් මෙම විස්තරයටත් ගැළපෙනවා. “කල්දිවරුන්ද බැබිලෝනියේ වැසියන්ද අධිපතීන්ද නුවණ ඇත්තන්ද කෙරෙහි කඩුවක් ඇතැයි යෙහෝවා කියන්නේය. . . . ඇගේ ජල ධාරා පිට නියඟයක් තිබේ. ඒවා වියලෙන්නේය. මක්නිසාද එය කැපූ රූපවල දේශයකි. ඔවුහු රූප ගැන ඔල්මාදව සිටිති. ඒ නිසා කාන්තාරයේ වල් සත්තු වෘකයන් සමඟ එහි වසන්නෝය. පැස්බරුද එහි වාසය කරන්නෝය. එහි කවදාවත් මනුෂ්‍යයෝ නොවසන්නෝය. පරම්පරාවෙන් පරම්පරාවට කවුරුවත් එහි නොවසන්නේය.” මහා බැබිලෝනියට අයත් ආගම් කොතරම් රූපවලට වැන්දත් කොතරම් යාතිකා කළත් දෙවි සොදොම සහ ගොමෝරාව විනාශ කළාක් මෙන් ඇය මතත් ගෙනෙන විනාශයෙන් ඇයට බේරීමට නොහැකියි.—යෙරෙමියා 50:35-40.
කෝපය නමැති වයින්
13. (අ) මහා බැබිලෝනියේ වේශ්‍යාකම පැතිර ඇති ආකාරය බලවත් දේවදූතයා විස්තර කරන්නේ කෙසේද? (ආ) මහා බැබිලෝනියට අයත් ආගම්වල දකින්නේ පුරාණ බැබිලෝනියේ දක්නට තිබූ කුමන දුරාචාර ක්‍රියාද?
13 මහා බැබිලෝනියේ වේශ්‍යාකම පැතිර ඇති ආකාරය බලවත් දේවදූතයා විස්තර කරන්නේ මෙසේයි. “මන්ද, ඇගේ වේශ්‍යාකමෙහි කෝපය නමැති වයින්වලට සියලු ජාතීන් ගොදුරු වී ඇත. පොළොවේ රජවරු ඇය සමඟ වේශ්‍යාකම් කළෝය. ඇය ලජ්ජාවක් නැතිව ගත කළ සුඛෝපභෝගී ජීවිතය නිසා ලැබුණු බලයෙන් පොළොවේ සංචාරක වෙළෙන්දෝ ධනවත් වූහ.” (එළිදරව් 18:3) සියලුම ජාතීන් මහා බැබිලෝනියේ අපවිත්‍ර ආගමික ක්‍රියාවලින් දූෂ්‍ය වී සිටිනවා. පුරාණ ග්‍රීසියේ සිටි ඉතිහාසඥයෙක් වූ හෙරඩෝඩටස් පැවසුවේ පුරාණ බැබිලෝනියේ සිටි සෑම කන්‍යාවක්ම දේවාලයට ගොස් ගණිකාවක් ලෙස හැසිරෙමින් තම කන්‍යාභාවය නැති කරගත යුතු බවයි. අතීතයේ විවිධ ආගම්වල සිදු වූ ලිංගික දුරාචාරය අද වුණත් නොයෙකුත් රටවල තිබෙන නටබුන්වලින් දැකගත හැකියි. උදාහරණ හැටියට කම්පූචියාවේ ඇන්කෝර් වැට් නම් දේවාලයේ ඇති යුද්ධයෙන් හානි වූ ප්‍රතිමා සහ ඉන්දියාවේ කාජුරාහෝ නම් පැරණි නුවරේ පිහිටි දේවාලවල ඇති ප්‍රතිමා හා කැටයම් සඳහන් කළ හැකියි. ඒ දේවාලවල විෂ්ණු දෙවියන් වටා නොයෙකුත් පිළිකුල්සහගත ලිංගික ක්‍රියා සිදු වන ආකාරය කැටයම් කර තිබෙනවා. එක්සත් ජනපදයේ රූපවාහිනිය ඔස්සේ ආගම දේශනා කරන අය අනාචාරයේ යෙදුණු ආකාරය 1987දී සහ නැවතත් 1988දී හෙළි වූ විට මුළු ලෝකයම කම්පනයට පත් වුණා. ඉන් අනතුරුව ලොව පුරාම නොයෙකුත් පූජකයන් සමලිංගිකව හැසිරෙන බවත් අනාවරණය වී තිබෙනවා. මෙයින් පැහැදිලි වෙන්නේ ක්‍රිස්තියානියයි කියාගන්න පල්ලිවල පවා මෙවැනි පිළිකුල්සහගත ක්‍රියාවන් සිදු වෙන්න ඉඩහැර ඇති බවයි. නමුත් සියලුම ජාතීන් සංකේතවත් ආකාරයකින් වෙනම ආකාරයේ වඩාත් බරපතළ වේශ්යාකමකටත් ගොදුරු වී සිටිනවා.
14-16. (අ) ඒකාධිපති පාලනයක් පැවති ඉතාලියේ ආගමික නායකයන් සහ දේශපාලනඥයන් අතර ඇති වුණේ කුමන අයථා සම්බන්ධයද? (ආ) ඉතාලිය ඉතියෝපියාව ආක්‍රමණය කළ විට රෝමානු කතෝලික සභාවේ රදගුරුවරුන් පැවසුවේ කුමක්ද?
14 හිට්ලර්ට ජර්මනියේ බලය තහවුරු කරගන්න උපකාරවත් වූ ආගම හා දේශපාලනය අතර පැවති අයථා සම්බන්ධය ගැන අප දැනටමත් සාකච්ඡා කර තිබෙනවා. ආගම් දේශපාලන කටයුතුවලට ඇඟිලි ගැසීම නිසා බොහෝ රටවල් පීඩා විඳ තිබෙනවා. නිදසුනක් වශයෙන් 1929 පෙබරවාරි 11වනදා ඒකාධිපති පාලනයක් යටතේ පැවති ඉතාලියේ මුසලීනි සහ කාදිනල් ගස්පාරි අතර ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා. ඒ ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස වතිකානුව ස්වාධීන රාජ්‍යයක් බවට පත් වුණා. තමා “ඉතාලිය දෙවියන්වහන්සේට නැවත දුන් බවත්, දෙවියන්වහන්සේව නැවත ඉතාලියට දුන්” බවත් එකළොස්වන පියුස් පාප්වරයා කියා සිටියා. ඔහු පැවසූ දෙයෙහි ඇත්තක් තිබුණාද? වසර හයකට පසුව සිදු වූ දේ සලකා බලන්න. වර්ෂ 1935 ඔක්තෝබර් 3වනදා ඉතාලිය ඉතියෝපියාව (කලින් නම, ඇබිසීනියාව) ආක්‍රමණය කළා. ඔවුන් කියා සිටියේ ඉතියෝපියාව “මිනිසුන්ව වහලුන් කරගන්නා අමානුෂික ක්‍රියා සිදු කරන රටක්” වූ බවයි. නමුත් අමානුෂික ක්‍රියා ඇත්තටම සිදු වුණේ කා අතින්ද? මුසලීනි සිදු කළ අමානුෂික ක්‍රියා හෙළා දකිමින් කතෝලික සභාව වචනයක්වත් පැවසුවාද? එවකට සිටි පාප්වරයා දෙපැත්තටම ගත හැකි ප්‍රකාශයන් කිහිපයක් නිකුත් කළ අතර, ඔහුගේ රදගුරුවරුන් තම මව්බිමේ හමුදාවට එනම් මුසලීනිගේ හමුදාවට ආශීර්වාද කරන්න පසුබට වුණේ නැහැ. ඇන්තනි රෝඩ්ස් නමැත්තා මෙසේ පවසනවා:
15 “[ඉතාලියේ] ඌඩින් නම් පළාතේ රදගුරු [1935] තම භාරයේ පැවති පල්ලිවලට ඔක්තෝබර් 19වන දිනේදී යැවූ ලිපියක මෙසේ ලිව්වා. ‘මේ අවස්ථාව හරි කුමක්ද වැරදි කුමක්ද කියා බලන වේලාවක් නම් නෙවෙයි. ඉතාලි ජාතිකයන් හැටියට විශේෂයෙන් ක්‍රිස්තු භක්තිකයන් හැටියට අපගේ යුතුකම වෙන්නේ අපේ හමුදාවන්ගේ ජයග්‍රහණයට අත හිත දීමයි.’ ඔක්තෝබර් 21වනදා පාදුවා නම් ප්‍රදේශයේ රදගුරු ලිව්වේ මෙසේයි. ‘මෙම ඉතා අසීරු පැයේදී අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ අපේ රාජ්‍ය පාලකයන් සහ හමුදාවන් කෙරෙහි විශ්වාසය තබන ලෙසයි.’ ඔක්තෝබර් 24වනදා ක්රිමෝනා නම් ප්‍රදේශයේ රදගුරු හමුදා රෙජමේන්තු කිහිපයක කොඩිවලට ආශීර්වාද කරමින් මෙසේ පැවසුවා. “අප්‍රිකානු භූමියට ගොස් ඉතාලියේ නාමයෙන් අලුත් මෙන්ම සරුසාර දේශයන් යටත් කරගන්නා මෙම හමුදාවන්ට දෙවියන්වහන්සේගේ ආශීර්වාද ලැබේවා! රෝම හා ක්‍රිස්තියානි සංස්කෘතිය හඳුන්වා දෙමින් නැවතත් මුළු ලොවටම එළිය සපයන කිතුනු ආලෝකය වීමේ භාග්‍යය ඉතාලියට හිමි වේවා!”—The Vatican in the Age of the Dictators.
16 මේ අන්දමින් ඉතියෝපියාව කොල්ලකනු ලැබුවේ රෝමානු කතෝලික පූජකයන්ගේ ආශීර්වාද ඇතිවයි. ‘මා සියල්ලන්ගේ ලෙයින් පවිත්‍රය’ කියා පැවසූ පාවුල් මෙන් මොවුන්ගෙන් එක් කෙනෙකුටවත් කියන්න පුළුවන්ද?—ක්‍රියා 20:26.
17. පූජකයන් ‘තමන්ගේ කඩුවලින් හී වැල් තලාගැනීමට’ අසමත් වූ නිසා ස්පාඤ්ඤ වැසියන් දුක් වින්දේ කෙසේද?
17 මහා බැබිලෝනියේ වේශ්‍යාකමට හසු වූ ජර්මනිය, ඉතාලිය සහ ඉතියෝපියාව අතරට වැටෙන තවත් රටක් නම් ස්පාඤ්ඤයයි. වර්ෂ 1936-1939 අතර පැවති ස්පාඤ්ඤ සිවිල් යුද්ධයට එක හේතුවක් වුණේ එවකට ස්පාඤ්ඤය පාලනය කළ ප්රජාතන්ත්රවාදී රජය රෝමානු කතෝලික සභාවේ මහත් බලය අඩු කිරීමට පියවර ගැනීමයි. කතෝලිකයන් වෙනුවෙන් කැරලිකාර හමුදාවන් මෙහෙයවූයේ ෆ්රැන්කෝ නම් ජාතිවාදී අදහස් දැක්වූ නායකයායි. යුද්ධය ඉදිරියට ඇදෙද්දී ඔහු තමාව හැඳින්වූයේ “ශුද්ධ යුද්ධයක කිතුනු හමුදාපති” ලෙසයි. ඔහු පසුව මෙම පදවිය ඉල්ලා අස් කරගත්තා. මෙම යුද්ධයෙන් ස්පාඤ්ඤ ජාතිකයන් ලක්ෂ ගණනක් මිය ගියා. මීට අමතරව එක්තරා සමීක්ෂණයකට අනුව ෆ්රැන්කෝ යටතේ සිටි ජාතීවාදීන් විසින් ප්‍රසිද්ධ පෙරමුණ නම් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ 40,000දෙනෙකුව ඝාතනය කළා. ඒ වගේම ප්‍රසිද්ධ පෙරමුණේ අය විසින් පූජකයන්, කන්‍යා සොහොයුරියන් සහ පූජක සිසුන් 8,000ක් පමණ මරා දැමුවා. ඒ සිවිල් යුද්ධය නිසා මොන තරම් භීෂණයක් සිදු වුණාද! ඔවුන් යේසුස් පැවසූ මෙම වචන පිළිපැදීමට අසමත් වුණා. “ඔබේ කඩුව තිබුණ තැනට ආපසු දමන්න. මන්ද කඩු ගන්න සෑම කෙනෙක්ම කඩුවෙන්ම නසින්නේය.” ඇත්තටම ඒවා පිළිපැදීම කොතරම් ඥානවන්තද! (මතෙව් 26:52) නමුත් මහා පරිමාණයෙන් මෙලෙස සිදු වන ලේ වැගිරීම්වලට ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලි හවුල් වී තිබෙනවා. එය මොන තරම් පිළිකුල්සහගත දෙයක්ද! ‘තමන්ගේ කඩුවලින් හී වැල් තලාගැනීමට’ ඇගේ පූජකයන් කොහොමටවත් සමත් වී නැහැ.—යෙසායා 2:4.
සංචාරක වෙළෙන්දෝ
18. “පොළොවේ සංචාරක වෙළෙන්දෝ” කවුරුන්ද?
18 “පොළොවේ සංචාරක වෙළෙන්දෝ” කවුරුන්ද? මේ ලෝකයේ කටයුතුවලට මහා පරිමාණයෙන් බලපෑම් කරන ව්‍යාපාර, සූක්ෂ්ම ක්‍රමවලින් ලාභ ලබන දක්ෂ ප්‍රබල ව්‍යාපාරිකයන් ආදිය ඔවුන්ට ඇතුළත් වෙනවා. මෙයින් අදහස් වෙන්නේ නීත්‍යනුකූලව යම් ව්‍යාපාර කටයුතු කිරීම වැරදි දෙයක් වන බව නම් නෙවෙයි. නමුත් ව්‍යාපාර කරන අයට බයිබලයේ උපදෙස් දෙන්නේ වංකකම, කෑදරකම ආදි දේවලින් වැළකී සිටින්න කියායි. (හිතෝපදේශ 11:1; සෙකරියා 7:9, 10; යාකොබ් 5:1-5) මහත් වාසියකට මඟ වෙන්නේ ‘ඇති දෙයින් සෑහීමට පත්වීම සමඟ බැඳී පවතින දේවභක්තිය’ බව බයිබලයේ සඳහන් වෙනවා. (1 තිමෝති 6:6, 17-19) නමුත් සාතන්ගේ දුෂ්ට ලෝකයේ සිටින අය ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව වැඩ කරන්නේ නැහැ. වංචාව හාත්පස පැතිරිලා. එය ආගම් තුළ, දේශපාලනය තුළ හා විශාල ව්‍යාපාර තුළත් දක්නට ලැබෙනවා. අවි ජාවාරම් හා රජයේ උසස් නිලධාරීන් සිදු කරන වංචාවන් ගැන අපට විටින් විට ජනමාධ්‍යය තුළින් දැනගන්න ලැබෙනවා.
19. පොළොවේ වෙළෙන්දන් දෙවිගේ අප්‍රසාදයට ලක් වෙන්නේ ඇයි කියා තේරුම්ගන්න ලෝක ආර්ථිකයේ සිදු වන කවර දේවල් අපට උපකාර කරනවාද?
19 ලෝකයේ සිටින මිලියන සිය ගණනක් ජනයා නොයෙකුත් අග හිඟකම්වලින් පෙළුණත්, ලොව වටා අවි සඳහා අමෙරිකානු ඩොලර් කෝටි ලක්ෂයක් ඉක්මවා වාර්ෂිකව වියදම් කරනු ලබනවා. ඒ මදිවට ලෝක ආර්ථිකය රඳා පවතින්නේ අවි වෙළඳාමෙන් බවට සාක්ෂි තිබෙනවා. උදාහරණයකට 1987 අප්‍රියෙල් 11වනදා ලන්ඩනයේ පළ වූ පුවත්පතක මෙසේ සඳහන් වුණා. “එක්සත් ජනපදයේ රැකියා 4,00,000ක් සහ යුරෝපයේ රැකියා 7,50,000ක් කෙළින්ම අවි නිෂ්පාදනයට සම්බන්ධයි. අවි නිෂ්පාදනය රැකියා ප්‍රස්තා ඇති කරන, රටක ආර්ථිකය නඟා සිටුවන දෙයක් ලෙස පෙනෙන්න තිබුණත් තමන්ගෙන් අවි මිල දී ගන්නා රටවල් නැවත තමන්ටම ඒ අවිවලින් පහර දිය හැකියි කියා ඔවුන් සැලසුම්සහගතව සිතා නැහැ.” (Spectator) ඇත්තටම බෝම්බ සහ වෙනත් අවි ලොව පුරාම, සතුරු ජාතීන්ට පවා විකුණනු ලබන්නේ විශාල ලාභයකටයි. නමුත් කවදා හරි දවසක එම අවි, ඒවා මුලින්ම විකිණූ අයටම විරුද්ධව පාවිච්චි කළොත් මහත් විනාශයක් සිදු විය හැකියි. මීට අමතරව අවි නිෂ්පාදනය නිසා සිදු වන ජාවාරම්ද සඳහන් කළ යුතුයි. ඉහත සඳහන් පුවත්පතට අනුව “සෑම වසරක් පාසාම එක්සත් ජනපදයේ ආරක්ෂක අංශයේ ඩොලර් මිලියන 900ක් වටිනා අවි ආයුධ අතුරුදහන් වෙනවා.” එසේනම් පොළොවේ වෙළෙඳුන් දෙවිගේ අප්‍රසාදයට ලක්වීම ගැන අප පුදුම විය යුතු නැහැ.
20. ආගම් පවා වංචනික ව්‍යාපාර කටයුතුවලට පැටලී ඇති බව පැහැදිලි වෙන්නේ කෙසේද?
20 ඒ තේජවත් දේවදූතයා පැහැදිලි කරන ආකාරයට ආගම් පවා වංචනික ව්‍යාපාර කටයුතුවලට පැටලිලා තිබෙනවා. නිදසුනක් වශයෙන් 1982දී ඉතාලියේ බන්කෝ අම්බ්රෝසියානෝ නම් බැංකුව බංකොලොත් වීමට වතිකානුවේද සම්බන්ධයක් තිබුණා. මෙම නඩුව 1980 දශකය පුරාම පැවතුණා. නමුත් මුදල්වලට සිදු වුණේ කුමක්ද කියන ප්‍රශ්නයට නම් පිළිතුරක් ලැබුණේ නැහැ. වර්ෂ 1987 පෙබරවාරි මාසයේදී මිලාන් නුවර මහේස්ත්‍රාත් අධිකරණය බැංකුවෙන් වංචනික ලෙස මුදල් ලබාගත් බවට චෝදනාව පිට වතිකානුවේ පූජකයන් තිදෙනෙකුව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කළා. ඔවුන් අතර අමෙරිකානු අගරදගුරු කෙනෙක්ද සිටියා. නමුත් වතිකානුව මොවුන්ව අධිකරණයට භාර දුන්නේ නැහැ. නමුත් 1987 ජූලි මාසයේදී දැඩි විරෝධතා මැද වුණත් ඉතාලියේ ඉහළම අභියාචනා අධිකරණය එම වරෙන්තු අවලංගු කළා. එයට පදනමක් හැටියට යොදාගත්තේ ඉතාලි ආණ්ඩුව සහ වතිකානුව අතර ඇති කරගත් එක්තරා පැරණි ගිවිසුමක්.
21. යේසුස් කිසිම ආකාරයකින්වත් වංචනික ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ නොවූ බව අප දන්නේ කෙසේද? නමුත් මහා බැබිලෝනියට අයත් ආගම් ගැන කිව හැක්කේ කුමක්ද?
21 යේසුස් පොළොවේ සිටියදී කිසිම ආකාරයකින්වත් වංචනික ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වුණාද? නැහැ. ඔහුට එක බිම් අඟලක්වත් තිබුණේ නැහැ. මන්ද ඔහු කිව්වේ තමාට ‘හිස තැබීමටවත් තැනක් නැති’ බවයි. යේසුස් වරක් පොහොසත් තරුණ පාලකයෙකුට අවවාද කළේ මෙසේයි. “ඔබට තිබෙන සියල්ල විකුණා දිලිඳුන්ට බෙදා දෙන්න. එවිට ස්වර්ගයේ ඔබට වස්තු ඇති වෙන්නේය. ඉන්පසු ඇවිත් මාගේ අනුගාමිකයා වන්න.” මෙය ඉතා කදිම අවවාදයක්. ඔහු එය පිළිපැද්දා නම් ව්‍යාපාරික කටයුතු නිසා ඇති වන කනස්සල්ලෙන් මිදෙන්න ඔහුට හැකිකම තිබුණා. (ලූක් 9:58; 18:22) නමුත් මහා බැබිලෝනියට අයත් ආගම් ගැන කිව හැක්කේ කුමක්ද? ඔවුන් විශාල ව්‍යාපාරික කටයුතුවලට අයථා ආකාරවලින් සම්බන්ධ වී සිටිනවා. උදාහරණයක් හැටියට 1987දී එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මියාමි නුවරේ කතෝලික බලප්‍රදේශයේ මුදල් පරිපාලක පිළිගත්තේ න්‍යෂ්ටික අවි, වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට සහ සිගරට් නිෂ්පාදනය කරන සමාගම්වල කොටස් පල්ලියට අයත් බවයි.
“මාගේ සෙනඟෙනි, ඇගෙන් ඉවත්ව යන්න”
22. (අ) ස්වර්ගයෙන් නික්මුණු හඬක් පවසන්නේ කුමක්ද? (ආ) දෙවිගේ සෙනඟ ක්‍රි.පූ. 537දී සහ ක්‍රි.ව 1919දී ප්‍රීති වුණේ කුමක් නිසාද?
22 යොහන් ඊළඟට අපේ අවධානය යොමු කරන්නේ මෙම අනාවැකියේ තවත් ඉටුවීමකටයි. “ස්වර්ගයෙන් නික්මුණු තවත් හඬක් මෙසේ කියනවා මට ඇසුණේය: ‘මාගේ සෙනඟෙනි, ඇගෙන් ඉවත්ව යන්න. ඇගේ පාපවලට ඇයත් සමඟ හවුල් වන්නවත්, ඇයට ලැබෙන පීඩාවලින් කොටසක් ලබන්නවත් ඔබ කැමති නැත්නම් ඇගෙන් ඉවත්ව යන්න.’” (එළිදරව් 18:4) පුරාණ බැබිලෝනිය ගැන හෙබ්‍රෙව් ලියවිලිවල සඳහන් අනාවැකිවලත් යෙහෝවා දෙවි තම සෙනඟට “බැබිලෝනිය මැදින් පලා යන්න” කියා දුන් ආඥාව ඇතුළත්. (යෙරෙමියා 50:8, 13) මහා බැබිලෝනියට ඉදිරියේදී අත් වන විනාශය නිසා දැනුත් දෙවිගේ සෙනඟට උනන්දු කරන්නේ ඇගෙන් ඉවත්ව යන්න කියායි. ක්‍රිස්තු පූර්ව 537දී බැබිලෝනියෙන් නිදහස් වීමට ප්‍රස්තාවක් උදා වූ නිසා විශ්වාසවන්ත ඊශ්‍රායෙල්වරුන් මහත් සේ ප්‍රීතිමත් වුණා. ඒ හා සමානව දෙවිගේ සේවකයන් 1919දී මහා බැබිලෝනියෙන් නිදහස් වූ නිසා ඉමහත් ප්‍රීතියක් අද්දුටුවා (එළිදරව් 11:11, 12) එදා පටන් අද දක්වා ඇගෙන් ඉවත්ව යන්න කියන නියෝගයට මිලියන ගණනක් කීකරු වී සිටිනවා.
23. මහා බැබිලෝනියෙන් ඉවත්ව යෑම හදිසි කාරණයක් බව ස්වර්ගයෙන් නික්මුණු හඬ අවධාරණය කරන්නේ කෙසේද?
23 මහා බැබිලෝනියට අයත් ආගම්වල සාමාජිකත්වයෙන් ඉවත් වීම ඇත්තටම හදිසි කාරණයක්ද? ඇත්තෙන්ම එය හදිසි කාරණයක්. එමනිසා බොහෝ කලක් පුරා දැවැන්ත අධිරාජ්‍යයක් ලෙස පැවත ඇති මහා බැබිලෝනිය ගැන දෙවි දරන ආකල්පය අපටත් තිබිය යුතුයි. දෙවි ඇයව සලකන්නේ මහත් ගණිකාවක් හැටියටයි. ස්වර්ගයෙන් නික්මුණු හඬ මෙම වේශ්‍යාව ගැන යොහන්ට තවත් තොරතුරු සපයනවා. “ඇගේ පාප ස්වර්ගය දක්වාම ගොඩගැසී ඇත. දෙවිද ඇගේ අයුතු ක්‍රියා සිහි කළේය. ඇය කළ ලෙසම ඇයටත් කරන්න. දෙගුණයක්, එසේය, ඇය කළ දේ මෙන් දෙගුණයක් ඇයට කරන්න. ඇය කුසලානයට දැමූ මිශ්‍රණය මෙන් දෙගුණයක් ඇයට දෙන්න. ඇය යම් පමණකට තමාවම මහිමයට පත් කරගෙන, ලජ්ජාවක් නැතිව සුඛෝපභෝගී ජීවිතයක් ගත කළාද, ඒ පමණටම ඇයට වධ වේදනාද වැලපීමද දෙන්න. මන්ද ඇය, ‘මම රැජිනක්ව ඉඳගෙන සිටිමි; වැන්දඹුවක් නොවෙමි. කවදාකවත් වැලපීම නොදකිමි’ යි සිතින් කියාගන්නීය. මරණයද වැලපීමද සාගතයද යන ඇයට ලැබෙන පීඩා එක දවසේම පැමිණෙන්නේ ඒ නිසාය. ඇය සම්පූර්ණයෙන්ම ගින්නෙන් දවනු ලබන්නීය. මන්ද, ඇයව විනිශ්චය කළ යෙහෝවා දෙවි බලවත්ය.”—එළිදරව් 18:5-8.
24. (අ) දෙවිගේ සෙනඟ මහා බැබිලෝනියෙන් පලා යා යුත්තේ කුමකින් වැළකී සිටීමටද? (ආ) බැබිලෝනියෙන් පලා යෑමට අපොහොසත් වන අය හවුල් වෙන්නේ ඇගේ කුමන පාපවලටද?
24 මෙම ප්‍රබල වචනවලින් පැහැදිලි වෙන්නේ වහාම යම් පියවර ගත යුතු බවයි. එදා යෙරෙමියාත් ඊශ්‍රායෙල්වරුන්ට උනන්දු කළේ මෙසේයි. “බැබිලෝනිය මැදින් පලා යන්න. . . . මක්නිසාද මේ යෙහෝවා පළිගන්නා කාලය වේ. ඔහු ඇයට විපාක දෙන්නේය. . . . අහෝ, මාගේ සෙනඟ, ඇය මැදින් පිටත්ව ගොස් යෙහෝවාගේ තද උදහසින් ඔබ තම තමාගේ ප්‍රාණය ගලවාගන්න.” (යෙරෙමියා 51:6, 45) ඒ හා සමානව අද දිනත් ස්වර්ගයෙන් නික්මුණු හඬ දෙවිගේ සෙනඟටත් කියන්නේ මහා බැබිලෝනිය ලබන්න යන පීඩා නොලබන්න නම් ඇගෙන් ඉවත්ව යා යුතු බවයි. මහා බැබිලෝනිය ඇතුළුව මෙම මුළු ලෝකය පිටම යෙහෝවා දෙවි ගෙනෙන පීඩා හා විනාශය ගැන සෑම තැනකම ප්‍රකාශ කරනු ලබනවා. (එළිදරව් 8:1–9:21; 16:1-21) මහා බැබිලෝනිය ලබන්න යන මෙම පීඩා හා අවසානයේදී ඇය අද්දකින විනාශය නොලැබීමට නම් දෙවිගේ සෙනඟ අසත්‍යය උගන්වන සියලු ආගම්වලින් ඉවත් විය යුතුයි. ඇත්තටම ඔවුන් එම ආගම් තුළ රැඳී සිටියා නම් ඉන් අදහස් වෙන්නේ ඔවුන් ඇගේ පාපවලට හවුල් වී සිටින බවයි. ඒ කියන්නේ ඇය මෙන් ඔවුන්ටද සංකේතවත් වේශ්‍යාකමට හා “පොළොවේදී මරනු ලැබූ සියල්ලන්ගේ” ලේ වැගිරීමට වග කියන්න සිදු වන බවයි.—එළිදරව් 18:24; එෆීස 5:11; 1 තිමෝති 5:22 බලන්න.
25. දෙවිගේ සෙනඟ පුරාණ බැබිලෝනියෙන් ඉවත් වුණේ කුමන ආකාරවලින්ද?
25 දෙවිගේ සෙනඟ මහා බැබිලෝනියෙන් ඉවත්ව යන්නේ කෙසේද? පුරාණ බැබිලෝනියෙන් ඉවත් වූ යුදෙව්වන් ගත් පියවර දෙකෙන් මෙය පැහැදිලි වෙනවා. මුලින්ම ඒ යුදෙව්වන් බැබිලෝනිය නුවරෙන් පිට වී පොරොන්දු දේශය දක්වාම ගමන් කරන්න අවශ්‍ය වුණා. නමුත් තවත් අවශ්‍යතාවක් තිබුණා. ඒ දේ යෙසායා ඊශ්‍රායෙල්වරුන්ට පැහැදිලි කළේ මෙසේයි. “පිටත් වන්න, පිටත් වන්න, එතැනින් පිටත් වන්න. කිසි අපවිත්‍ර දෙයකට අත නොගසන්න. ඇය මැදින් පිටත්ව යන්න. යෙහෝවාගේ භාජන දරන්නෙනි, ඔබ පවිත්‍රව සිටින්න.” (යෙසායා 52:11) මෙයින් පැහැදිලි වෙන්නේ යෙහෝවා දෙවිගේ ශුද්ධ නමස්කාරය දූෂ්‍ය කළ හැකි බැබිලෝනියේ ආභාසයක් ඇති සියලු අපවිත්‍ර ඉගැන්වීම් හා චාරිත්‍ර ආදිය ඔවුන් අත්හැර දැමිය යුතු බවයි.
26. කොරින්තියේ සිටි ක්‍රිස්තියානීන් ‘ඒ අය අතරින් පිටතට ඇවිත් ඔවුන්ගෙන් වෙන් වී සිටින්න හා අපවිත්‍ර දේ ස්පර්ශ කිරීම නතර කරන්න’ යන වචනවලට කීකරු වුණේ කෙසේද?
26 පාවුල් යෙසායාගේ වචන උපුටා දක්වමින් කොරින්තිවරුන්ට පැවසුවේ මෙසේයි. “නොඇදහිලිකරුවන් සමඟ එක් නොවන්න. මන්ද, ධර්මිෂ්ඨකම සහ දුෂ්ටකම අතර ඇති සම්බන්ධය කුමක්ද? නැත්නම්, ආලෝකය සහ අන්ධකාරය අතර ඇති පංගුකාරකම කුමක්ද? . . . ‘එබැවින් ඒ අය අතරින් පිටතට ඇවිත් ඔවුන්ගෙන් වෙන් වී සිටින්න’ යයි යෙහෝවා කියන්නේය. ‘අපවිත්‍ර දේ ස්පර්ශ කිරීම නතර කරන්න.’” එම ආඥාවට කීකරු වෙන්න නම් කොරින්තියේ සිටි ක්‍රිස්තියානීන්ට ඒ නගරය අත්හැර යෑමට සිදු වුණාද? නැහැ. නමුත් එහි තිබුණු දේවාලවල සිදු වූ දූෂ්‍ය දේවලින් හා රූප නමස්කාරකයන්ගේ අපවිත්‍ර ක්‍රියාවලින් වැළකී සිටීම ඔවුන්ගෙන් බලාපොරොත්තු වුණා. ඒ හා සමානව 1919දී දෙවිගේ සෙනඟ මහා බැබිලෝනියෙන් ඉවත්ව යද්දී ඔවුන් එතෙක් හවුල් වී සිටි අපවිත්‍ර ඉගැන්වීම් හා චාරිත්‍රවලින් තමන්ව පවිත්‍ර කරගන්න පටන්ගත්තා. ප්‍රතිඵලයක් ලෙස පවිත්‍ර වූ සෙනඟක් ලෙස දෙවිට සේවය කරන්න ඔවුන්ට හැකියාව ලැබුණා.—2 කොරින්ති 6:14-17; 1 යොහන් 3:3.
27. පුරාණ බැබිලෝනියට ලැබුණු විනිශ්චය හා මහා බැබිලෝනියට ලැබෙන්න යන විනිශ්චය අතර ඇති සමානකම් මොනවාද?
27 පුරාණ බැබිලෝනිය වැටී අවසානයේදී පාළු ස්ථානයක් වුණේ ඇගේ පාපවලට දඬුවමක් හැටියටයි. ඒ “ඇගේ විනිශ්චය අහස දක්වා පැමිණ අහස් තලය දක්වාම උස්” වූ නිසයි. (යෙරෙමියා 51:9) ඒ හා සමානව මහා බැබිලෝනියේ පාපත් “ස්වර්ගය දක්වාම ගොඩගැසී” තිබෙන නිසා ඒවා යෙහෝවා දෙවිගේ අවධානයට ලක් වී තිබෙනවා. ඇය අතින් අයුක්තිය, අසාධාරණකම්, රූප වන්දනාව, දුරාචාරය, සොර මැරකම් සහ මිනී මැරුම් යනාදිය සිදු වී තිබෙනවා. පුරාණ බැබිලෝනියේ වැටීමට එක් හේතුවක් වුණේ ඇය යෙරුසලමේ දේවමාලිගාවට හා යෙහෝවා දෙවිගේ සෙනඟට සිදු කළ දෙයයි. යෙහෝවා දෙවිට සිදු වුණා ඒ සඳහා ඇගෙන් පළිගන්න. (යෙරෙමියා 50:8, 14; 51:11, 35, 36) ඒ හා සමානව මහා බැබිලෝනියත් බොහෝ සියවස් ගණනාවක් පුරා සැබෑ නමස්කාරකයන්ට නොයෙකුත් හිංසා පීඩා සිදු කර තිබෙනවා. එමනිසා ඇගේ වැටීමත් අවසාන විනාශයත් සිදු වෙන්නේ යෙහෝවා දෙවි ඒ දේවල් සඳහා ඇගෙන් පළිගන්නා නිසයි. ඇත්තටම ඇයව විනාශ කරන අවස්ථාව ‘අපේ දෙවිගේ පළිගැනීමේ දවසේ’ ආරම්භයයි.—යෙසායා 34:8-10; 61:2; යෙරෙමියා 50:28.
28. යෙහෝවා දෙවි මහා බැබිලෝනිය විනාශ කරද්දී අදාළ කරගන්නේ කුමන ප්‍රමිතිද? ඒ ඇයි?
28 යෙහෝවා දෙවි මහා බැබිලෝනිය විනාශ කරද්දී අදාළ කරගන්නේ මොන ප්‍රමිතියද? උදාහරණයකට මෝසෙස්ගේ නීතිය යටතේ යම් ඊශ්‍රායෙල් ජාතිකයෙක් වෙනත් කෙනෙකුගෙන් යමක් සොරකම් කළා නම් ඔහුට අඩුම තරමින් දෙගුණයක වන්දියක්වත් ගෙවීමට සිදු වුණා. (නික්මයාම 22:1, 4, 7, 9) මහා බැබිලෝනිය විනාශ කරද්දීත් යෙහෝවා දෙවි ඒ හා සමාන ප්‍රමිතියක් අදාළ කරගන්නවා. ඇය කළාට වඩා දෙගුණයක් ඇයට ලැබෙනවා. මහා බැබිලෝනිය කිසිම අනුකම්පාවක් නැතුව මිනිසුන්ට පීඩා කළ නිසා ඇයටත් කිසිම අනුකම්පාවක් ලැබෙන්නේ නැහැ. ඇය කිසිම “ලජ්ජාවක් නැතිව සුඛෝපභෝගි ජීවිතයක් ගත” කළේ ලෝකයේ ජනතාවගේ දහඩිය මහන්සියෙනුයි. නමුත් දැන් ඇය බොහෝ දුක් ගාවිනා විඳින්නයි යන්නේ. පුරාණ බැබිලෝනිය හිතුවේ තමන් අපරාජිත නුවරක් බවයි. ඔවුන් පුරසාරම් දෙඩුවේ ‘වැන්දඹුවක්ව නොසිටින්නෙමියි දරුවන් හානිවීමක් නොවිඳින්නෙමියි’ කියමිනුයි. (යෙසායා 47:8, 9, 11) මහා බැබිලෝනියට අයත් ආගමුත් සිතන්නේ ඒ හා සමානවයි. නමුත් “බලවත්” වූ යෙහෝවා දෙවි තීන්දු කර ඇති ඇගේ විනාශය හදිස්සියේම පැමිණෙනවා. එය සිදු වෙන්නේ හරියටම ‘එක දවසකින්’ වගෙයි.
[263වන පිටුවේ කොටුව]
“රජවරු ඇය සමඟ වේශ්‍යාකම් කළෝය”
එක්දහස් අටසිය ගණන්වල මුල්භාගයේදී යුරෝපයේ වෙළඳුන් චීනයට හොරෙන් විශාල අබිං තොගයක් ගෙන යමින් සිටියා. වර්ෂ 1839 මාර්තු මාසයේදී මෙම නීති විරෝධී ක්‍රියා නතර කර දැමීමට උත්සාහ කළ චීන නිලධාරීන් බ්‍රිතාන්‍ය වෙළඳුන්ගෙන් අබිං පෙට්ටි 20,000ක් අල්ලාගත්තා. ප්‍රතිඵලයක් ලෙස බ්‍රිතාන්‍යය සහ චීනය අතර නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති වුණා. මෙම රටවල් දෙක අතර තිබූ සබඳතාව තව තවත් බිඳී යද්දී බ්‍රිතාන්‍යයේ සිටි රෙපරමාදු පූජකයන් තම රජයට උනන්දු කළේ චීනයට විරුද්ධව යුද්ධයට යන්න කියායි. ඔවුන් පැවසූ සමහරක් දේවල් මතු දැක්වෙනවා.
“මෙතරම් දුෂ්කරතා තිබුණත් මට දැනෙන්නේ ඉමහත් ප්‍රීතියක්. මොකද එංගලන්ත ආණ්ඩුව ප්‍රකෝප වී චීනයට විරුද්ධව පියවර ගෙන ජය ගත්තොත් චීනය පුරා යේසුස් ඉගැන්වූ ශුභාරංචිය දේශනා කිරීමට තිබෙන බාධක නැති වී යා හැකියි. මෙය දෙවියන්වහන්සේගේම ක්‍රියාවක් විය යුතුයි.”—බැප්ටිස්ට් සභාවේ මිෂනාරිවරයෙක් වූ හෙන්රියෙටා ෂක්.
අන්තිමේදී යුද්ධයක් හටගත්තා. මේ යුද්ධය හැඳින්වෙන්නේ අබිං යුද්ධය ලෙසයි. මේ යුද්ධය සඳහා බ්‍රිතාන්‍යයට පූර්ණ සහයෝගය දුන් මිෂනාරිවරුන් මතු දැක්වෙන දේවල් පැවසුවා.
“වර්තමානයේ සිදු වන දේවල් අබිං නිසාවත් එංගලන්තයේ බලපෑම නිසාවත් සිදු වන දෙයක් ලෙස සලකනවා වෙනුවට එය දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ සැලැස්මක් කියා සිතන්න මට සිදු වී තිබෙනවා. උන්වහන්සේ මිනිසුන්ගේ දුෂ්ටකම් යොදාගෙන මෙතෙක් ශුභාරංචියට පිටු පා ඇති චීනයට තම දයාව පෙන්නුම් කරන්න මඟක් උදා කරමින් සිටිනවා.”—රෙපරමාදු සභාවක දේවගැති පීටර් පාකර්.
තවත් රෙපරමාදු දේවගැතිවරයෙක් වූ සැමුවෙල් ඩබ්. විලියම් පැවසුවේ මෙසේයි. “සිදු වී ඇති හැම දෙයක් තුළම අපි දකින්නේ දෙවියන්වහන්සේගේ හස්තයයි. තමා පොළොවට පැමිණියේ කඩුවක් ගෙනෙන පිණිසයි කියා පැවසූ උන්වහන්සේ තම සතුරන්ව ඉක්මනින් විනාශ කර තම රාජ්‍යය පිහිටුවයි කියා අපට විශ්වාසයි. සාමයේ කුමරුගේ පාලනය පිහිටුවන තෙක් උන්වහන්සේට එරෙහිව සිටින සියලුදෙනාම සම්පූර්ණයෙන්ම පරාජය කරනවා නිසැකයි.”
චීන ජාතිකයන්ව අමු අමුවේම මරා දැමීම ගැන රෙපරමාදු මිෂනාරිවරයෙක් වූ ජේ. ලුවිස් ෂක් සඳහන් කළේ මෙසේයි. “මා මෙවැනි ඝාතන සලකන්නේ දෙවියන්වහන්සේ සත්‍යයට එරෙහිව සිටින සියලුදෙනා කසළ සේ සලකා ඉවත් කිරීමට පියවර ගන්නා ක්‍රමයක් ලෙසයි.”
රෙපරමාදු මිෂනාරිවරයෙක් වූ ඉලයිජා සී. බ්‍රිජ්මන් පැවසුවේ මෙසේයි. “දෙවියන්වහන්සේ තම රාජ්‍යයට මඟ සැලසීම සඳහා ලෝකයේ පාලන නිතරම යොදාගෙන තිබෙනවා. . . . මෙම යුද්ධය සිදු වෙන්නේ මිනිසුන් තුළිනුයි. නමුත් එයට මඟ පෙන්වෙන්නේ දෙවියන්වහන්සේයි. සියලුම ජාතීන්ගේ පාලකයාණන් වන දෙවියන්වහන්සේ චීනය හික්මවා පරාජය කිරීමට යොදාගෙන ඇත්තේ එංගලන්තයයි.”—Quotations taken from “Ends and Means,” 1974, an essay by Stuart Creighton Miller published in The Missionary Enterprise in China and America (a Harvard Study edited by John K. Fairbank).
[264වන පිටුවේ කොටුව]
“සංචාරක වෙළෙන්දෝ ධනවත් වූහ”
‘වර්ෂ 1929 සිට 1939 අතර කාලයේදී වතිකානුවේ මුදල් පරිපාලක වූ බර්නාඩිනෝ නොගාරාගේ අවධානය ඉතාලියේ ආර්ථිකයේ විවිධ ක්ෂේත්රවලට යොමු වුණා. ඒ ක්ෂේත්‍ර නම් විදුලි බලය, දුරකථන සේවා, මුදල් හා බැංකු කටයුතු, දුම්රිය සේවාවන් මෙන්ම කෘෂිකාර්මික ආම්පන්න, සිමෙන්ති හා කෘත්‍රිම රෙදි පිළි නිෂ්පාදනය යනාදියයි. ඔහු මෙම ක්ෂේත්රවලට වතිකානුවේ මුදල් යොදාගනිමින් එම කටයුතු අධීක්ෂණය කිරීමට වතිකානුවේ නියෝජිතයන්වත් පත් කළා. මෙයින් වතිකානුවට සෑහෙන ලාභයක් ලබන්න හැකි වුණා.
‘වතිකානුවේ නොගාරා ඉතාලියේ සමාගම් කිහිපයකම (සමාගම්වල නම්, La Società Italiana della Viscosa, La Supertessile, La Società Meridionale Industrie Tessili සහ La Cisaraion) පාලනය භාරගෙන එක සමාගමක් පිහිටෙව්වා. එහි නම CISA-විස්කෝසා යන්නයි. එම සමාගමේ අධිපති ලෙස ඔහු වතිකානුවට ඉතා විශ්වාසවන්තව සිටි ෆ්රාන්චෙස්කෝ මාරියා ඔදස්සෝ නම් සාමිවරියාව පත් කළා. ඉන්පසුව මෙසේ අලුතෙන් පිහිටෙවූ සමාගම ඉතාලියේ විශාලතම රෙදි පිළි නිෂ්පාදක සමාගම වූ SNIA-විස්කෝසා නම් සමාගම හා සම්බන්ධ කිරීමට ඔහු සූක්ෂ්ම ලෙස පියවර ගත්තා. එය සාර්ථක වුණා. ක්‍රමානුකූලව SNIA-විස්කෝසා සමාගම තුළ වතිකානුවට හිමි බලතල වැඩි වෙන්න පටන්ගත් අතර අවසානයේදී වතිකානුව එහි පාලනය අතට ගත්තා. එයට සාක්ෂියක් වශයෙන් මෙම සමාගමේ උපසභාපති ලෙස ඔදස්සෝ නම් සාමිවරයාව පත් කරනු ලැබුවා.
‘නොගාරා රෙදි පිළි නිෂ්පාදන ක්ෂේත්රයට පිවිසුණේ ඒ අන්දමිනුයි. නොගාරා ඉතා උපායශීලී කෙනෙක් වූ නිසා ඔහු වෙනත් නිෂ්පාදන ක්ෂේත්රවලටත් විවිධ ක්‍රමවලින් ඇතුල් වුණා. ඇත්තටම ඉතාලි ඉතිහාසයේ වෙනත් කිසිම ව්‍යාපාරිකයෙකුට වඩා ඉතාලියේ ආර්ථිකය නඟා සිටුවන්න කැප වූ මොහුගෙන් ඉටු වුණේ අමිල සේවාවක්. . . . තමා සිහින මැවූ අධිරාජ්‍යය ගොඩනඟන්න නම් [ඉතාලියේ පාලක] බෙනිටෝ මුසලීනිට බැරි වුණා. නමුත් ඔහුගේ පාලනය තුළින් වතිකානුවට සහ බර්නාඩිනෝ නොගාරාට අවස්ථාවක් උදා වුණේ වෙනත් ආකාරයේ අධිරාජ්‍යයක් ගොඩනඟන්නයි.’—The Vatican Empire, by Nino Lo Bello, pages 71-73.
පොළොවේ වෙළෙඳුන් සහ මහා බැබිලෝනිය අතර ඇති කිට්ටු සම්බන්ධයට මෙය එක උදාහරණයක් පමණයි. ඔවුන්ගේ ව්‍යාපාරවලට අත හිත දුන් මහා බැබිලෝනිය විනාශ වෙද්දී වෙළෙඳුන් ශෝකවීම ගැන පුදුම විය යුතු නැහැ.
[259වන පිටුවේ පින්තූරය]
මිනිසුන් පොළොව පුරා විසිර ගිය විට ඔවුන් ගිය ගිය තැන මුල් බැබිලෝනියේ තිබූ ආගමික විශ්වාසයන්ද ගෙන ගියා
[261වන පිටුවේ පින්තූර]
මුරකරුවෙකු මෙන්, යොහන් පන්තිය මහා බැබිලෝනිය වැටී ඇති බව ප්‍රකාශ කරනවා
[266වන පිටුවේ පින්තූරය]
පුරාණ බැබිලෝනියේ නටබුන් මහා බැබිලෝනිය පිට එන විනාශයට සාක්ෂියක්