හයවන පරිච්ඡේදය
මැවීම පිළිබඳ ඉපැරණි වාර්තාවක්—ඔබට එය විශ්වාස කළ හැකිද?
“සියල්ල පැමිණියේ කොහෙන්ද කියාත්, මැවීම සිදු වූයේ කෙසේද කියාත් පැවසිය හැක්කේ කාටද?” “මැවීමේ ගීය” නමින් රචනා කළ කවියෙහි එම ප්රශ්නය ඔබට සොයාගත හැකියි. අවුරුදු 3,000කට පමණ ඉහතදී සංස්කෘත භාෂාවෙන් ලියන ලද මෙය, හින්දු ශුද්ධ ග්රන්ථයක් වන ඍග් වේදයේ කොටසකි. “දෙවි දේවතාවන්” පැමිණියෙත් “මැවීමෙන් අනතුරුව” නිසා, “මැවීම සිදු වූයේ කෙසේද” යන්න හින්දු දෙවි දේවතාවන් සමූහයට පවා දැනගත හැකිද යන්න ගැන එම කවියා සැක කළා.—ඇල අකුරු අපේය.
ඒ වන විටත් පැවති විශ්වයක සිය දෙවිවරුන් බිහි වූ ආකාරය පිළිබඳ ඒ හා සමාන මිථ්‍යා ප්‍රබන්ධ, බබිලෝනියේ සහ මිසරයේ ග්‍රන්ථවල සඳහන් වෙයි. කෙසේවෙතත්, මුල් විශ්වය පැමිණියේ කොහෙන්ද යන්න මෙම මිථ්‍යා කථාවල පැහැදිලි කිරීමට බැරිවීම වැදගත් කාරණයක්. එනමුත්, මැවීම පිළිබඳ එක වාර්තාවක් ඊට වෙනස් බව ඔබට පෙනී යයි. බයිබලය නමැති එම වාර්තාව ඇරඹෙන්නේ මෙම වදන්වලිනුයි: ‘පටන්ගැන්මේදී දෙවි අහසත් පොළොවත් මැව්වේය.’—උත්පත්ති 1:1.
එම සරල චමත්කාර ප්‍රකාශය අවුරුදු 3,500කට පමණ පෙර මෝසෙස් විසිනුයි ලීවේ. දෙවි විශ්වය සෑදූ නිසාත්, එහි පැවැත්මට පෙර සිටම ඔහු පැවතුණ නිසාත් එය අපේ අවධානයට යොමු කරන්නේ, ද්‍රව්‍යමය විශ්වය අබිබවා යන මැවුම්කරුවෙකු වන දෙවිකෙනෙකු වෙතටයි. ‘දෙවි ආත්මයක්’ බවත් එම පොතෙහිම උගන්වා ඇත. ඉන් අදහස් කරන්නේ, අපේ ඇස්වලට නොපෙනෙන ස්වභාවයකින් ඔහු සිටින බවයි. (යොහන් 4:24) එවැනි පැවැත්මක් වෙන කවරදාකටත් වඩා අද තේරුම්ගැනීමට පහසුයි. එයට හේතුව නම්, අභ්‍යවකාශයෙහි අදෘශ්‍යමාන වස්තූන් වන බලසම්පන්න නියුට්‍රෝන තරු සහ කළු කුහරවල පැවැත්ම ඒවා සිදු කරන බලපෑම්වලින් නිශ්චය කරගත හැකි ආකාරය ගැන විද්‍යාඥයන් බොහෝ අදහස් ඉදිරිපත් කරන නිසයි.
වැදගත් ලෙස, බයිබලයෙහි මෙසේ වාර්තා කරනවා: “ස්වර්ගීක ශරීරද, භූමික ශරීරද ඇත්තාහ. නුමුත් ස්වර්ගීකයන්ගේ තේජස එකක්ය, භූමිකයන්ගේ තේජස අනිකක්ය.” (1 කොරින්ති 15:40, 44) තාරකා විද්‍යාඥයන් අධ්‍යයනය කරන අදෘශ්‍යමාන විශ්ව පදාර්ථ ගැන නොවෙයි මෙහි සඳහන් කරන්නේ. මෙහි සඳහන් කර ඇති “ස්වර්ගීක ශරීර,” බුද්ධිමත් අදශ්‍යමාන ජීවීන්. ‘මැවුම්කරුට අමතරව, අදෘශ්‍යමාන ශරීරයක් ඇත්තේ කාටදැයි’ ඔබ කල්පනා කරනවා ඇති.
අදෘශ්‍යමාන ස්වර්ගික මැවිලි
බයිබලයේ වාර්තාවට අනුව, මවනු ලැබූ මුල්ම දෙය දෘශ්‍යමාන දේවල් නොවෙයි. මැවීමේ මුල්ම පියවර, තවත් අදෘශ්‍යමාන පුද්ගලයෙකු, එනම් කුලුඳුල් පුත්‍රයාව බිහි කිරීම බව මැවීම පිළිබඳ මෙම ඉපැරණි වාර්තාවෙහි සඳහන් වෙයි. ඔහුව හැඳින්වූයේ, “මුළු මැවිල්ලේ කුලුඳුලා” හෝ ‘දෙවිගේ මැවිල්ලේ මුල’ ලෙසයි. (කොලොස්සි 1:15; එළිදරව් 3:14) මවනු ලැබූ මෙම මුල්ම පුද්ගලයා අද්විතීය කෙනෙක්.
දෙවි කෙළින්ම බිහි කළ එකම මැවිල්ල ඔහු වූ අතර, ඔහුට ඉමහත් ප්‍රඥාවක් දානය කරනු ලැබුවා. ඇත්තෙන්ම, ප්‍රඥාව සම්බන්ධයෙන් නම් දැරූ රජෙක් වූ පසුකාලීන ලේඛකයෙක් මෙම පුත්‍රයාව විස්තර කළේ, පසුව සිදු කළ සියලුම මැවීමේ ක්‍රියාකාරකම්වලදී යොදාගනු ලැබූ “ප්‍රධාන කර්මාන්තකාරයා” වශයෙනි. (හිතෝපදේශ 8:22, 30; හෙබ්‍රෙව් 1:1, 2ද බලන්න.) ඔහු ගැන මුල් සියවසේ විසූ ගුරුවරයෙක් වූ පාවුල් මෙසේ ලිව්වා: ‘ස්වර්ගවල සහ පොළොවෙහිත් ඇති පෙනෙන්නාවූ දේවල්ද නොපෙනෙන්නාවූ දේවල්ද යන සියල්ල ඔහු තුළ [මාර්ගයෙන්, NW] මවන ලද්දේය.’—කොලොස්සි 1:16; සසඳන්න යොහන් 1:1-3.
මැවුම්කරු තම පුත්‍රයා මාර්ගයෙන් බිහි කළාවූ ස්වර්ගයේ අදෘශ්‍යමාන දේවල් මොනවාද? තාරකා විද්‍යාඥයන් තරු සහ අදෘශ්‍යමාන කළු කුහර සියකෝටි ගණනාවක් ඇති බවට ප්‍රකාශ කරනවා. හැබැයි, බයිබලය මෙහිදී කතා කරන්නේ අදෘශ්‍යමාන ශරීර ඇති ස්වර්ගික ජීවීන් දශලක්ෂ සිය ගණනක් ගැනයි. ‘මෙවැනි අදෘශ්‍යමාන, බුද්ධිමත් ජීවීන්ව ඇයි මැව්වේ’ කියා ඇතමෙකු අසනවා විය හැකියි.
විශ්වය පිළිබඳ අධ්‍යයනයක් එහි හේතුව පිළිබඳ පැන නැඟී ඇති ඇතැම් ප්‍රශ්නවලට උත්තර සැපයිය හැකිවාක් මෙන්, බයිබලය පිළිබඳ අධ්‍යයනයක් කිරීමෙන් විශ්වයේ මූලාරම්භකයා ගැන අපට වැදගත් තොරතුරු ලබාගත හැකියි. නිදසුනක් ලෙස, ඔහු ප්‍රේමය පිළිබිඹු කරන අභිප්රායන් සහ ක්‍රියාවන් ඇති “සන්තෝෂවත් දෙවි” බව බයිබලයෙහි අපට පවසා තිබෙනවා. (1 තිමෝති 1:11, NW; 1 යොහන් 4:8) එසේ නම්, ජීවිතය භුක්ති විඳිය හැකි වෙනත් බුද්ධිමත් අදෘශ්‍යමාන පුද්ගලයන් සමඟ විසීමට දෙවි තෝරාගත් බව අපට තර්කානුකූලව නිගමනය කළ හැකියි. ඒ සෑම කෙනාටම, පෞද්ගලිකව ප්‍රයෝජනයක් ලබාගත හැකි තෘප්තිමත් වැඩකොටසක් ලැබෙන අතර, එම වැඩකොටස මැවුම්කරුගේ අරමුණට දායක වනු ඇත.
මෙම අදෘශ්‍යමාන ජීවීන් දෙවිට කීකරු වන යන්ත්‍ර වීමට අරමුණු කළ බව කිසිම දෙයකින් අදහස් වන්නේ නැහැ. ඒ වෙනුවට, ඔහු ඔවුන්ට බුද්ධියද, නිදහස් කැමැත්තද දානය කළා. දෙවි නිදහස් චින්තනයටත්, නිදහස් ක්‍රියාවන්ටත් දිරිගන්වන බව බයිබල් වාර්තාවලින් ඇඟවෙන අතර, එසේ කරන්නේ විශ්වයේ සාමය සහ සමඟියට එයින් කිසිදු කල්පවතින හානියක් සිදු නොකරන බවට වූ විශ්වාසයකිනුයි. හෙබ්‍රෙව් බයිබලයෙහි ඇති මැවුම්කරුගේ පෞද්ගලික නාමය භාවිත කරමින්, පාවුල් මෙසේ ලිව්වා: “ඇත්තෙන්ම, යෙහෝවා ආත්මයය; යෙහෝවාගේ ආත්මය ඇති තැන, නිදහස ඇත්තේය.”—2 කොරින්ති 3:17, NW.
අහසේ දෘශ්‍යමාන දේවල්
දෙවි තම කුලුඳුල් පුත්‍රයා තුළින් මැවූ දෘශ්‍යමාන දේවල් මොනවාද? අපේ සූර්යයාද, විශ්වයට අයත් වෙනත් තරු සහ ද්‍රව්‍යයන් ප්‍රකෝටි ගණනද මීට ඇතුළත්. දෙවි මේ සියල්ල ශුන්‍ය තත්වයකින් බිහි කළේ කෙසේද යන්න පිළිබඳව බයිබලය අපට යම්කිසි අදහසක් දෙයිද? නවීන විද්‍යාවේ දෘෂ්ටිකෝණයෙන් බයිබලය පරීක්ෂා කරමින්, අපි එය බලමු.
දහඅටවන සියවසේදී, විද්‍යාඥ ආන්ට්වාන්-ලෝරාන් ලවාසියේ, පදාර්ථවල බර අධ්‍යයනය කළා. රසායනික ප්‍රතික්‍රියාවකින් පසු, නිෂ්පාදනය වූ දෙයෙහි බර, මුල් සංඝටකවල සමස්ත බරට සම වූ බව ඔහුට පැහැදිලි වුණා. නිදසුනක් ලෙස, කඩදාසි කැබැල්ලක් ඔක්සිජන් දහනයකට ලක් කළොත්, ප්‍රතිඵලයක් ලෙස ලැබෙන අළු සහ වායූන් මුලින් පැවති කඩදාසි කැබැල්ලෙහි සහ ඔක්සිජන්වල බරට සමානයි. ලවාසියේ නියමයක් යෝජනා කළා: ‘ස්කන්ධ හෝ පදාර්ථ සංස්ථිතිය.” වර්ෂ 1910දී, බ්‍රිටැනිකා විශ්වකෝෂය (ඉංග්‍රීසියෙන්) පැහැදිලි කළේ: “පදාර්ථ මැවීමට හෝ විනාශ කිරීමට නුපුළුවන්” බවයි. ඒ කාලයේදී නම්, එය සාධාරණ යමක් සේ පෙනුණා.
කෙසේවෙතත්, 1945දී ජපානයේ හිරෝෂිමා නගරයේ පරමාණු බෝම්බයක් පිපිරූ විට, ලවාසියේගේ නියමයේ දෝෂයක් ඇති බව ප්‍රසිද්ධියේම හෙළි වුණා. යුරේනියම්වල එවැනි අධි-අවධි ස්කන්ධයක් පුපුරවද්දී, විවිධාකාර පදාර්ථ සෑදුණත්, ඒවායෙහි සමස්ත ස්කන්ධය මුලින් පැවති යුරේනියම්වලට වඩා අඩු වුණා. අඩුවීමට හේතුව? යුරේනියම් ස්කන්ධයේ යම් කොටසක්, ක්ෂණික අධි-ශක්තියක් බවට පරිවර්තනය වන නිසයි.
වර්ෂ 1952දී තාප න්‍යෂ්ටික බෝම්බයක් (හයිඩ්රජන් බෝම්බයක්) පුපුරුවා හැරීමෙන්, ලවාසියේගේ සංස්ථිති නියමයට බැඳි තවත් ගැටලුවක් ඉස්මතු වුණා. එම පිපිරීමේදී, හයිඩ්රජන් පරමාණු සංයෝග වී හීලියම් සෑදුණා. කෙසේවෙතත්, ඇති වූ හීලියම්වල ස්කන්ධය මුලින් පැවති හයිඩ්රජන්වල ස්කන්ධයට වඩා අඩු වුණා. හයිඩ්රජන්වල ස්කන්ධයේ කොටසක් පිපිරෙනසුලු ශක්තියක් දක්වා පරිවර්තනය කරනු ලැබුවා. එම පිපිරීම හිරෝෂිමාහි පිපිරෙවූ බෝම්බයට වඩා බෙහෙවින් විනාශකාරි එකක්.
මෙම පිපිරීම්වලින් ඔප්පු වන පරිදි, සුළු පදාර්ථ ප්‍රමාණයක්, විශාල ශක්ති ප්‍රමාණයකට සමාන වෙයි. පදාර්ථ සහ ශක්තිය අතර ඇති මෙම සම්බන්ධය, අපේ ජීවිතයට සහ සෞඛ්‍යයට බෙහෙවින් දායක වන සූර්යයාගේ බලයට හේතුව පැහැදිලි කරයි. සම්බන්ධය කුමක්ද? වර්ෂ 1945න් අවුරුදු 40ක් පමණ ආපස්සට ගියොත්, 1905දී, පදාර්ථ සහ ශක්තිය අතර සම්බන්ධයක් ඇති බව අයින්ස්ටයින් පුරෝකථනය කළා. E=mc2 නමැති ඔහුගේ සමීකරණය බොහෝදෙනෙක් දන්නවා.a අයින්ස්ටයින් එම සම්බන්ධය සූත්‍රයකින් දැක්වූවායින් පසු, සූර්යයා අඛණ්ඩව අවුරුදු සියකෝටියක් පුරා බබළමින් සිටි අයුරු පැහැදිලි කිරීමට වෙනත් විද්‍යාඥයන්ට හැකි වුණා. සූර්යයා තුළ, තාප න්‍යෂ්ටික ප්‍රතික්‍රියා අඛණ්ඩව සිදු වෙනවා. ඒ ආකාරයට, සෑම තත්පරයකදීම, සූර්යයා හයිඩ්රජන් ටොන් දශලක්ෂ 564ක්, හීලියම් ටොන් දශලක්ෂ 560ක් බවට පරිවර්තනය කරයි. මින් අදහස් කරන්නේ පදාර්ථ ටොන් දශලක්ෂ 4ක් සූර්ය ශක්තිය බවට පරිවර්තනය කෙරෙන බවයි. ඉන් සුළු ප්‍රමාණයක් අපේ පොළොවට බලපාමින් ජීවයේ අඛණ්ඩ පැවැත්මට දායක වෙයි.
වැදගත් ලෙස, ඊට ප්‍රතිවිරුද්ධ ක්රියාවලියද සිදු කළ හැක්කකි. “අනුපරමාණුක අංශු අධි වේගයකින් එකිනෙක හා ගැටී අලුත්, බරින් වැඩි අංශු බිහි වෙද්දී ශක්තිය පදාර්ථ බවට පරිවර්තනය වන” බව ජගත් විශ්වකෝෂ ග්‍රන්ථය (ඉංග්‍රීසියෙන්) පැහැදිලි කරනවා. අංශු ත්වරකයන් ලෙස හැඳින්වෙන දැවැන්ත යන්ත්‍ර යොදා විද්‍යාඥයන් මෙය සුළු පරිමාණයකින් සිදු කරන අතර, එහිදී, අනුපරමාණුක අංශු අදහාගන්න බැරි වේගයකින් එකිනෙක හා ගැටී පදාර්ථ බිහි කරවයි. නොබෙල් ත්‍යාගලාභී භෞතිකඥ ආචාර්ය කාර්ලෝ රුබියා පැහැදිලි කරන පරිදි, “ශක්තිය පදාර්ථ බවට පරිවර්තනය කිරීම යන විශ්වයේ ප්රාතිහාර්යයන්ගෙන් එකක් අප නැවත සිදු කරමිනුයි සිටින්නේ.”
‘ඇත්තයි, නමුත් මට බයිබලයෙහි කියවන්න තිබෙන මැවීම පිළිබඳ වාර්තාවට මෙය සම්බන්ධ වන්නේ කොහොමද’ කියා කෙනෙක් අසන්න පුළුවන්. ඇත්තෙන්ම කියනවා නම්, බයිබලය විද්‍යා අත්පොතක් නොවුණත්, එය විද්‍යාත්මක කාරණාවලට අනුකූල මෙන්ම තත්කාලීන බව පැහැදිලි වී තිබෙනවා. මුල සිට අග දක්වා, බයිබලය අපේ අවධානයට යොමු කරන්නේ විශ්වයේ සියලුම පදාර්ථ මැවූ තැනැත්තා වන ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා වෙතටයි. (නෙහෙමියා 9:6; ක්‍රියා 4:24; එළිදරව් 4:11) තවද ශක්තිය සහ පදාර්ථ අතර සම්බන්ධයක් ඇති බව එය පැහැදිලිවම දක්වයි.
නිදසුනක් ලෙස, බයිබලය එහි පාඨකයන්ට මෙසේ ඇරයුම් කරයි: ‘නුඹලාගේ ඇස් ඉහළ ඔසවා බලන්න, මේවා මැවුවෙත් මේවායේ සේනාව ගණන් වශයෙන් පිටතට පමුණුවන්නෙත් කවුද? ඔහු මේ සියල්ලට නම් කියා හඬගසන්නේය; ඔහුගේ බලයේ [ගතික ශක්තියේ, NW] මහත්කම නිසාද ඔහු ශක්තියෙන් බලවත් බැවින්ද එකක්වත් නෑවිත් නොතිබේ.’ (යෙසායා 40:26) ඔව්, මෙහිදී ඉමහත් ගතික ශක්තියක ප්‍රභවයක් වන මැවුම්කරු, ද්‍රව්‍යමය විශ්වය බිහි කළ බව බයිබලය පවසනවා. මෙය නූතන තාක්ෂණයට සම්පූර්ණයෙන්ම එකඟයි. මැවීම පිළිබඳ බයිබලයේ වාර්තාව අපේ ගැඹුරු ගෞරවයට පාත්රවීමට, මෙම හේතුව පමණක් වුණත් සෑහේ.
අහසෙහි නොහොත් ස්වර්ගයෙහි අදෘශ්‍යමාන මෙන්ම දෘශ්‍යමාන දේවල් මැවීමෙන් පසු, මැවුම්කරු හා ඔහුගේ කුලුඳුල් පුත්‍රයා පොළොව කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු කළා. පොළොව පැමිණියේ කොහෙන්ද? අසීමිත ගතික ශක්තියක් පදාර්ථ බවට පරිවර්තනය කිරීමෙන් අපේ පෘථිවි ග්‍රහයා සෑදී ඇති රසායනික මූලද්‍රව්‍ය සම්භාරය දෙවි විසින් කෙළින්ම බිහි කරන්න ඇති. වත්මන් භෞතිකඥයන්ගේ පිළිගැනීමට අනුව මෙය සිදු විය හැක්කකි. එසේ නැතහොත්, බොහෝ විද්‍යාඥයන්ගේ විශ්වාසයට අනුව, සුපර්නෝවා එකක් පිපිරීමෙන් නිකුත් වූ පදාර්ථවලින් පෘථිවිය බිහි වන්න ඇති. කෙසේවෙතත්, දැන් සඳහන් කළ ඒවා හා විද්‍යාඥයන් තවමත් නිරවුල් කර නැති ඒවා ඇතුළුව ක්‍රමවල සංකලනයකින් එසේ සිදු වූවාද නැද්දැයි කියන්න කාටද පුළුවන්? මැවුම්කරු යොදාගත් ක්‍රියාවලිය කුමනාකාරයේ එකක් වුවද, අපේ ජීවිතය රැකගැනීමට අවශ්‍ය සියලුම ඛනිජ ඇතුළුව, අපේ පෘථිවිය සාදන මූලද්‍රව්‍යයන්වල ක්‍රියාශීලී ප්රභවය ඔහුයි.
පෘථිවිය බිහි කිරීමට, සියලුම ද්‍රව්‍යයන් අවශ්‍ය ප්‍රමාණවලින් සැපයීමට වඩා වැඩි යමක් ඇතුළත් බව ඔබට අවබෝධ වෙනවා ඇති. පෘථිවියේ ප්‍රමාණය, එහි භ්‍රමණය, සූර්යයා සහ එය අතර දුර ප්‍රමාණය, එහි අක්ෂයේ ඇලය සහ සූර්යයා වටා එහි කක්ෂයේ වෘත්තාකාර ගමන් මාර්ගය යන මේ සියල්ල දැන් පවතින්නාක් මෙන් අකුරටම නිවැරදිව තිබීම අවශ්‍ය වුණා. ජීවීන් බහුලත්වයක් රැකබලා ගැනීමට යෝග්‍ය වන පරිද්දෙන්, මැවුම්කරු පෘථිවියේ ස්වාභාවික චක්‍ර ක්‍රියාත්මක වීමට සැලැස්වූ බව පැහැදිලියි. මේ සියල්ලෙන් අප පුදුමයට පත් වන්න හොඳ හේතු තිබෙනවා. එනමුත්, පෘථිවිය සහ එමත ජීවය බිහි කරනු ලබද්දී, අදෘශ්‍යමාන වූ ස්වර්ගික පුත්‍රයන්ගේ ප්‍රතික්‍රියාව මොන වගේද යන්න සිතන්න. එක් බයිබල් පොතක පවසන්නේ ඔවුන් “එක්ව ගීතිකාකරමින්” “ප්‍රීති ඝෝෂා” පැවැත්වූ බවයි.—යෝබ් 38:6, 7.
උත්පත්ති 1වන පරිච්ඡේදය තේරුම්ගැනීම
මිනිසාගේ ආස්වාදය සඳහා පොළොව සූදානම් කිරීමට දෙවි ගත් අතිවැදගත් පියවර කිහිපයක්, බයිබලයෙහි මුල් පරිච්ඡේදයෙහි යම් දුරකට විස්තර කර තිබෙනවා. එම පරිච්ඡේදය සෑම තොරතුරක්ම සපයන්නේ නැහැ. එය කියවද්දී, ඉපැරණි පාඨකයන්ට තේරුම්ගන්න බැරි වන විස්තර ඇතුළත් කර නැත්නම්, අප අධෛර්යයට පත් නොවිය යුතුයි. නිදසුනකට, මෝසෙස් එම පරිච්ඡේදය ලියද්දී, අන්වීක්ෂීය ජීවීන් වන ඇල්ගී හෝ බැක්ටීරියාවල ක්‍රියාකාරිත්වය ගැන සඳහන් කරන්නේ නැහැ. එවැනි ජීව ස්වරූප මුලින්ම මිනිසාගේ නෙත ගැටුණේ 16වන සියවසේදී අන්වීක්ෂය නිපදවීමත් සමඟයි. තවද 19වන සියවසේ පොසිල වාර්තාව මගින් පැවති බවට සොයාගත් ඩෛනොසෞරියන් ගැනවත් මෝසෙස් පැහැදිලිව වාර්තා කරන්නේ නැහැ. මෝසෙස් ආනුභාවය ලැබුවේ ඔහුගේ දවසේ සිටි ජනයාට තේරුම්ගත හැකි වචනවලින් ලිවීමටයි. නමුත් පෘථිවියේ මැවීම ගැන සඳහන් කළ සෑම දෙයකදීම ඒ වචන නිවැරදි වුණා.
උත්පත්ති 1වන පරිච්ඡේදයේ 3වන පදයේ සිට කියවද්දී, මැවීම, මැවීමේ ‘දවස්’ හයකට බෙදී ඇති බව ඔබට පෙනී යයි. සමහරුන් කියා සිටින්නේ ඒවා පැය 24 දවස් කියයි. එය සැබෑවක් නම්, ඉන් අදහස් කරන්නේ මුළු විශ්වයද, මිහිපිට ජීවයද සතියකට අඩු කාලයක් ඇතුළත මවනු ලැබූ බවයි! කෙසේවෙතත්, බයිබලය එවැනි අදහසක් උගන්වන්නේ නැති බව ඔබට පහසුවෙන්ම සොයාගත හැකියි. උත්පත්ති පොත ලියනු ලැබුවේ හෙබ්‍රෙව් භාෂාවෙනුයි. ඒ භාෂාවෙන් “දවස” කියා කියන විට, එය කතා කරන්නේ යම් කාලපරිච්ඡේදයක් ගැනයි. එය සෑහෙන දිගු කාලයක් විය හැකියි, එසේ නැතහොත් පැය 24ක එකක් විය හැකියි. උත්පත්ති වාර්තාවෙහි පවා ‘දවස්’ හයම සමස්තයක් වශයෙන් එක දිගු කාලපරිච්ඡේදයක් හැටියටයි දක්වා ඇත්තේ. එනම්: ‘යෙහෝවා දෙවි අහසත් පොළොවත් සෑදූ දවස’ ලෙසයි. (උත්පත්ති 2:4; සසඳන්න 2 පේතෘස් 3:8.) ඇත්තෙන්ම, මැවීමේ ‘දවස්’ හෝ වකවානුවලට අවුරුදු දහස් ගණනක් ඇතුළත් බව බයිබලය හෙළි කරයි.
බයිබලය සත්වන “දවස” ගැන පවසන දෙයින් පුද්ගලයෙකුට එය දැකගත හැකියි. මුල් ‘දවස්’ හය පිළිබඳ සෑම වාර්තාවක්ම අවසන් වන්නේ “සවස විය, උදය විය, ඒ එක දවසක්ය” යනාදිය වශයෙනි. නමුත් සත්වන ‘දවසේ’ වාර්තාවෙන් පසු එවැනි ප්‍රකාශයක් කර නැති බව ඔබට පෙනී යයි. ඇරත්, ඉතිහාසයේ අවුරුදු 4,000ක් පමණ ගෙවී ගියායින් පසු, පො.යු. මුල් සියවසේ සත්වන විශ්‍රාම “දවස” තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින බව බයිබලය අඟවයි. (හෙබ්‍රෙව් 4:4-6) එමනිසා සත්වන “දවස” අවුරුදු දහස් ගණනක් දිගු කාලපරිච්ඡේදයක් වන අතර, මුල් ‘දවස්’ හය ගැනත් අපට තර්කානුකූලව එළඹිය හැක්කේ එම නිගමනයටමයි.
පළමුවන සහ සතරවන ‘දවස්’
පෙනෙන ප්‍රකාරයට, විශේෂ මැවීමේ ක්‍රියාවන් ආරම්භ වූ ‘දවස්’ හෙවත් කාලපරිච්ඡේද හයට පෙර, පෘථිවිය සූර්යයා වටා කක්ෂයක් අනුව ගමන් කරමින් සිටි අතර, ජලයෙන් වැසුණු ගෝලයක් වුණා. ජලයෙන් යුත් “ගැඹුර පිට අන්ධකාරය විය” කියා සඳහන් වෙයි. (උත්පත්ති 1:2) එම මුල් අවස්ථාවේදී, පෘථිවි මතුපිටේ සූර්යාලෝකය දැකගන්න බැරි වුණා. යම්කිසි දෙයක්, සමහරවිට ජලවාෂ්ප, වෙනත් වායූන් සහ යමහල් දූවිලි මිශ්‍රණයක් බාධකයක් සේ ක්‍රියා කරන්න ඇති. බයිබලය මුල්ම මැවීමේ කාලපරිච්ඡේදය මෙසේ විස්තර කරයි: “දෙවි මෙසේ පැවසීය: ‘ආලෝකය වේවා’; තවද ආලෝකය ක්‍රමානුකූලව ඇති විය,” නැතහොත් පෘථිවියේ මතුපිටට ළඟා වුණා.—උත්පත්ති 1:3, ජේ. ඩබ්. වොට්ස්ගේ පරිවර්තනය.
“ක්‍රමානුකූලව ඇති විය” යන ප්‍රකාශය, අදාළ හෙබ්‍රෙව් ක්‍රියා පදයෙහි ස්වරූපයක් පැහැදිලිව පිළිබිඹු කරයි. ඉන් නිම කිරීමට කාලයක් වැය වන ප්රගතිශීලී ක්‍රියාවක් ඇඟවෙනවා. හෙබ්‍රෙව් භාෂාව කියවන ඕනෑම කෙනෙක්, උත්පත්ති 1වන පරිච්ඡේදය කියවද්දී, එය 40 වාරයක් දකින්න යන අතර, එය මෙම පරිච්ඡේදය තේරුම්ගැනීමට යතුරක් බඳුයි. මැවීමේ කාලපරිච්ඡේදයක හෝ වකවානුවක සංකේතමය සන්ධ්‍යාවේදී දෙවි ආරම්භ කළ දේ, එම ‘දවසේ’ උදය නිමවීමෙන් පසු ප්‍රගතිශීලීව පැහැදිලි වුණා.b තවද, ඊළඟ කාලපරිච්ඡේදය ආරම්භ වීමට නම්, කලින් කාලපරිච්ඡේදයේදී ඇරඹූ යමක් අනිවාර්යයෙන්ම සම්පූර්ණයෙන්ම නිම කිරීම අවශ්‍ය වුණේ නැහැ. මෙය පැහැදිලි කිරීමට, පළමුවන ‘දවසේ’ ක්‍රමානුකූලව දිස් වූ ආලෝකය සලකා බලන්න. ඉර, සඳ, තාරකා පැහැදිලිව දැකගත හැකි වූයේ සතරවන මැවීමේ කාලපරිච්ඡේදයෙන් පසුව පමණයි.—උත්පත්ති 1:14-19.
දෙවන සහ තුන්වන ‘දවස්’
තුන්වන මැවීමේ ‘දවසේදී’ ගොඩබිම ඇති කරන්න කලින්, මැවුම්කරු ජලයෙන් යම් කොටසක් ඉහළට එසවූවා. ප්‍රතිඵලයක් වශයෙන්, පෘථිවිය ජල වාෂ්ප ස්තරයකින් වට වුණා.c මෙහිදී භාවිත කෙරුණු උපක්‍රම මොනවාද කියා එම පුරාණ වාර්තාවෙහි විස්තර කර නැති අතර, එසේ විස්තර කිරීමට අවශ්‍යතාවකුත් නැහැ. ඒ වෙනුවට, ඉහළින් පිහිටි සහ පොළොව මතුපිට ඇති ජලය අතර පැවති අවකාශය වෙතට බයිබලය අවධානය දෙයි. මෙය හඳුන්වනු ලැබුවේ අහස ලෙසයි. පක්ෂීන් සහ ගුවන්යානා පියාසර කරන වායුගෝලයට අදදින මනුෂ්‍යයන් පවා මෙම යෙදුම භාවිත කරනවා. කල්යත්ම, දෙවි මෙම වායුගෝලීය අහස ජීවය සඳහා අත්‍යවශ්‍ය වූ වායු සම්මිශ්‍රණයකින් පිරෙව්වා.
කෙසේවෙතත්, මැවීමේ ‘දවස්වලදී,’ මතුපිට ජලය හිඳී ගොස්, ගොඩබිම ඇති වුණා. පෘථිවි පෘෂ්ඨයේ අද වුණත් චලනයන් සිදු කරන භූ කාරක බලයන් ඇතැම්විට යොදාගනිමින්, මහාද්වීප සෑදීමට දෙවි සාගර වැටි තල්ලු කරන්න ඇති. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, මතුපිට ගොඩබිමද, ජලය යට සාගර නිම්නද සෑදෙන්න ඇති. දැන් මේවා සාගර විද්‍යාඥයන් විසින් සිතියම්ගත කර, උද්යෝගයෙන් අධ්‍යයනය කෙරේ. (ගීතාවලිය 104:8, 9 සසඳන්න.) ගොඩබිම මතුවීමත් සමඟ, අරුම පුදුම තවත් යමක් සිදු වුණා. අපට මෙසේ කියවන්න තිබෙනවා: “පොළොව වනාහි තෘණද බීජ උපදවන පලාද ඒ ඒ වර්ග ලෙස ඵල දරන බීජ සහිත ඵල වෘක්ෂද පොළොව පිට හටන්වාවයි” දෙවි පැවසුවා. “ඒ එසේ විය.”—උත්පත්ති 1:11.
කලින් පරිච්ඡේදයෙහි (“හස්ත කර්මාන්තය පිටුපස ඇත්තේ කුමක්ද?”) සාකච්ඡා කළ පරිදි, ශාක සඳහා ප්‍රභාසංශ්ලේෂණය අත්‍යවශ්‍යයි. හරිත ශාක සෛලයක, හරිතලව යනුවෙන් හැඳින්වෙන කුඩා කොටස් කිහිපයක් ඇති අතර, ඒවා සූර්යාලෝකයෙන් ශක්තිය ලබාගන්නවා. “මෙම අණ්වික්ෂීය කර්මාන්ත ශාලා සීනිද, පිෂ්ටයද නිෂ්පාදනය කරයි” කියා පෘථිවි ග්‍රහයා (ඉංග්‍රීසියෙන්) නමැති පොත පැහැදිලි කරනවා. “හරිතලවයක් තරම් කාර්යක්ෂම වන, එතරම් ඉල්ලුමක් ඇති නිෂ්පාදන හටගන්වන කර්මාන්ත ශාලාවක් කිසිම මනුෂ්‍යයෙක් තනා නැහැ.”
ඇත්තෙන්ම, පසුව පැමිණෙන සත්ව ජීවීන් නොනැසී ජීවත් වන්නේ හරිතලව හේතුවෙනුයි. ඇරත්, හරිත ශාක නොමැතිව, පෘථිවියේ වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් අතිරික්තයක් ඇති වන අතර, උෂ්ණත්වය සහ ඔක්සිජන්වල ඌනතාවකින් අප මියයනවා. ප්‍රභාසංශ්ලේෂණය මත රඳා සිටින ජීවීන්ගේ විකාශනයට ඇතැම් විශේෂඥයන් පුදුම දනවන පැහැදිලි කිරීම් දෙනවා. නිදසුනක් ලෙස, ජලජ ඒක-සෛලීය ජීවීන්ට ආහාර හිඟයක් ඇති වෙන්න පටන්ගත් විට, “පුරෝගාමී සෛල කිහිපයක් කෙසේ හෝ පිළියමක් කරා ළඟා වූවා” යයි ඔවුන් පවසනවා. “ඔවුන්ගේ පිළියම වූයේ ප්රභාසංශ්ලේෂණයයි.” එනමුත් ඇත්තටම එවන් දෙයක් එසේ සිදු විය හැකිද? ප්‍රභාසංශ්ලේෂණය කොතරම් සංකීර්ණද කිවහොත්, ඒ හා බැඳි රහස් නිරවුල් කිරීමට විද්‍යාඥයන් තවමත් උත්සාහ කරමින් සිටිනවා. ස්වයං-ප්‍රජනක ප්රභාසංශ්ලේෂිත ජීවීන්, තේරුම් කර දිය නොහැකි ආකාරයකින් සහ ස්වයංසිද්ධව බිහි වූවා කියා ඔබ සිතනවාද? එසේ නැතහොත්, උත්පත්තිය වාර්තා කරන ආකාරයට, එය බුද්ධිමත්, අරමුණුසහගත මැවීමක ප්‍රතිඵලයක් කියා විශ්වාස කිරීම වඩාත් සාධාරණ බව ඔබට පෙනෙන්නේ නැද්ද?
අලුත් ශාක වර්ග බිහිවීම මැවීමේ තුන්වන ‘දවසේදී’ අවසන් නොවූවා විය හැකියි. මැවුම්කරු “ඒදන්හි, උයනක් වවා” ‘දැකීමට ප්‍රිය වූ කෑමට හොඳ වූ සියලු ගස්ද භූමියෙන් හටගැන්වූ’ සයවන “දවස” වන තෙක් එසේ සිදු වන්න ඇති. (උත්පත්ති 2:8, 9) තවද කලින් සඳහන් කළ පරිදි, සූර්යයාගෙන් සහ ආකාශයේ වෙනත් වස්තූන්ගෙන් වැඩි ආලෝකයක් පෘථිවි ග්‍රහයාට ළඟා විය හැකි පරිද්දෙන්, පෘථිවි වායුගෝලයේ අඳුරුබව සතරවන ‘දවසේදී’ ඉවත් වන්න ඇති.
පස්වන සහ හයවන ‘දවස්’
පස්වන මැවීමේ ‘දවසේදී,’ මැවුම්කරු ශාකවලට හාත්පසින්ම වෙනස් ජීව ස්වරූපයකින්, එනම් ‘ජීවමාන ප්රාණවලින්’ සාගර සහ අහස් කුස පුරවන්න පටන්ගත්තා. ජීව විද්‍යාඥයන් ශාක රාජධානිය සහ සත්ව රාජධානිය ගැන කතා කිරීමත්, ඒවා උපවර්ගවලට බෙදීමත් සිත්ගන්නකි. “ප්‍රාණය” ලෙස පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් වචනයෙහි අර්ථය “හුස්ම ගන්නෙකි.” “ජීවමාන ප්‍රාණ” තුළ රුධිරය ගලායන බවත් බයිබලයෙහි පැවසේ. එමනිසා, සාගරයෙහි සහ අහසෙහි සැරිසරන ශ්වසන පද්ධතියක් සහ රුධිර සංසරණ පද්ධතියක් ඇති සත්වයන්, පස්වන මැවීමේ කාලපරිච්ඡේදයේදී බිහි වෙන්න පටන්ගත් බව අපට නිගමනය කළ හැකියි.—උත්පත්ති 1:20; 9:3, 4; NW.
සයවන ‘දවසේදී,’ දෙවි ගොඩබිමට තවදුරටත් අවධානය දුන්නා. ඔහු “හීලෑ” සතුන්ද “වන” සතුන්ද මැව්වා. මෝසෙස් මෙම වාර්තාව ලියූ කාලයේදී සතුන් මෙලෙස වර්ග කිරීම තේරුම්ගත හැක්කකි. (උත්පත්ති 1:24, NW) එමනිසා ගොඩබිමේ සැරිසරන ක්ෂීරපායී සතුන්ව මවනු ලැබුවේ මෙම සයවන දවසේදියි. කෙසේවෙතත්, මනුෂ්‍යයන් අවතීර්ණ වුණේ මොන අවස්ථාවේදීද?
අන්තිමේදී සැබවින්ම අද්විතීය ජීව ස්වරූපයක් මිහිපිට ජනිත කිරීමට මැවුම්කරු තීරණය කළ බව මෙම ඉපැරණි වාර්තාව අපට කියයි. ඔහු තම ස්වර්ගික පුත්‍රයාට මෙසේ පැවසුවා: “අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදම්හ; ඔව්හු මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයෙහි පක්ෂීන් කෙරෙහිද තිරිසනුන් කෙරෙහිද මුළු පොළොව කෙරෙහිද පොළොව පිට බඩගා යන සියල්ලන් කෙරෙහිද [ආණ්ඩු කෙරෙත්වා].” (උත්පත්ති 1:26) මේ අනුව, මිනිසා තම සැදුම්කරුගේ ආත්මික ස්වරූපය පිළිබිඹු කරමින්, ඔහුගේ ගුණාංග විදහාපෙන්වන ආකාරයටයි සාදනු ලැබුවේ. එමෙන්ම විශාල දැනුම් සම්භාරයක් ලැබීමේ හැකියාවද මිනිසා සතු වනු ඇත. මෙසේ, වෙනත් කිසිදු සතෙකුට සමාන නොවන ආකාරයකින් බුද්ධිමත්ව කටයුතු කිරීමේ හැකියාව මිනිසාට දානය කර තිබුණා. තවද, මූලිකවම ඉවෙන් පාලනය වන සතුන් මෙන් නොව, මිනිසාව සාදනු ලැබුවේ තමන්ගේ නිදහස් කැමැත්තට එකඟව ක්‍රියා කිරීමේ හැකියාව ඇතුවයි.
මෑත වර්ෂවලදී, විද්‍යාඥයන් මිනිස් ජාන සියුම් පර්යේෂණවලට භාජන කර ඇත. ලොව පුරා සිටින මිනිසුන්ගේ ජානවල රටාවන් සැසඳීමෙන් සෑම මනුෂ්‍යයෙකුටම පොදු මුතුන්මිත්තෙකු ඇති බවට පැහැදිලි සාක්ෂි ඔවුන් සොයාගත්තා. ඒ මුතුන්මිත්තා අප සැම ඇතුළුව, මෙතෙක් ජීවත් වී ඇති සියලුම ජනයාගේ DNAවල පොදු උල්පතව පවතී. වර්ෂ 1988දී, “ආදම් සහ ඒව සොයා” යන මැයින් යුත් වාර්තාවක, නියූස්වීක් සඟරාව මෙම සොයාගැනීම් ඉදිරිපත් කළා. මෙම අධ්‍යයනවලට පදනම සැපයුවේ එක්තරා මයිටොකොන්ඩ්‍රීය DNA වර්ගයක්, එනම්, ස්ත්‍රියගෙන් පමණක් පරම්පරාවෙන් පරම්පරාවට යන යම්කිසි ප්රවේණි ද්‍රව්‍යයක්. පුරුෂ DNA ගැන 1995දී කළ වාර්තාද එළඹෙන්නේ එම නිගමනයටමයි. එනම්, ටයිම් සඟරාව විස්තර කරන ආකාරයට, “ ‘ආදම්’ බඳු මුතුන්මිත්තෙක් සිටියා. ඔහුගේ [Y] වර්ණදේහයේ තැන්පත් ප්රවේණි ද්‍රව්‍ය මිහිපිට ජීවත් වන සෑම මිනිසෙකුටම පොදුයි.” මෙම සොයාගැනීම්වල සියලුම තොරතුරු නිරවද්‍ය වුවත්, නැතත්, අපට උත්පත්ති වාර්තාවෙහි සොයාගත හැකි ඉතිහාසය බෙහෙවින් විශ්වාසවන්ත එකක් බව එයින් ගෙනහැර දක්වයි. මන්ද එම මොහොතේදී එතැන සිටි තැනැත්තා එහි කර්තෘ (මැවුම්කරු) වූ නිසයි.
ආදම්යයි පසුව නම් තැබූ, තම පළමු මිනිස් පුත්‍රයාව සෑදීමට දෙවි භූමියේ මූලද්‍රව්‍යවලින් සමහරක් එකට එක් කළ විට එය මොනතරම් උත්කර්ෂවත් අවස්ථාවක් වන්න ඇද්ද! (ලූක් 3:38) පෘථිවි ග්‍රහයා සහ එමත ඇති ජීවයේ මැවුම්කරු, තමා මැවූ මිනිසාව උයනක් බඳු ප්‍රදේශයක පදිංචි කෙරෙවූ බව හා එසේ කළේ එය “වවන්ටත්, බලාගන්ටත්” බව මෙම ඓතිහාසික වාර්තාවෙහි සඳහන් වෙනවා. (උත්පත්ති 2:15) ඒ අවස්ථාව වෙද්දිත් මැවුම්කරු අලුත් සත්ව වර්ග බිහි කරමින් සිටියා විය හැකියි. මන්ද බයිබලයෙහි අපට පවසන්නේ, “[දෙවි] වනයේ සියලු මෘගයන්ද ආකාශයේ සියලු පක්ෂීන්ද භූමියෙන් සාදා මනුෂ්‍යයා උන්ට මොන මොන නම් තබන්නේදැයි බලන පිණිස උන් ඔහු වෙතට පැමිණෙවූ” බවයි. “මනුෂ්‍යයා සියලු ජීවමාන සත්වයන්ට තැබූ නම් උන්ගේ නාමයෝ වූහ.” (උත්පත්ති 2:19) එමනිසා, මුල් මිනිසා වූ ආදම් නිකම්ම ප්‍රබන්ධ කළ කෙනෙකු බව බයිබලය කිසි ලෙසකින්වත් ගෙනහැර දක්වන්නේ නැහැ. ඊට වෙනස්ව, ඔහුව විස්තර කර ඇත්තේ, එම පාරාදීස නිවසෙහි වැඩ කරමින් ප්‍රීතියක් භුක්ති විඳිය හැකි කල්පනා කරන, හැඟීම් ඇති පුද්ගලයෙකු ලෙසයි. ගෙවී ගිය සෑම දිනකම, තම මැවුම්කරු විසින් සාදා තිබුණු දේද, ඔහු මොන වගේ කෙනෙක්ද, එනම් ඔහුගේ ගුණාංග සහ පෞද්ගලිකත්වය මොන වගේද යන්න ඉගෙනගැනීමට ආදම්ට ප්‍රස්තාව ලැබුණා.
ඊළඟට, අවිනිශ්චිත කාලපරිච්ඡේදයක් ගතවීමෙන් පසු, ආදම්ගේ භාර්යාව වීමට දෙවි මුල් ස්ත්රියව මැව්වා. තවද, මතු දැක්වෙන අර්ථාන්විත පැවරුම සමඟින් දෙවි ඔවුන්ගේ ජීවිතවලට අරමුණුසහගතබවක් මුසු කළා: “නුඹලා බෝවී වැඩිවෙමින් පොළොව පූර්ණකොට ඒක යටත් කර ගන්න; මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද පොළොව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම් කරන්න.” (උත්පත්ති 1:27, 28) එකිනෙකා සමඟද, සතුන් සමඟද සමාදානයෙන් සිටින සන්තෝෂවත් මනුෂ්‍යයන්ගෙන් පිරි පාරාදීසයකට මුළු පොළොවම පරිවර්තනය කළ යුතුය යන මැවුම්කරුගේ මෙම ප්‍රකාශිත අරමුණ වෙනස් කිරීමට කිසිවකට බැහැ.
අපේ පෘථිවි ග්‍රහයාද එමත ජීවිතයද ඇතුළු භෞතික විශ්වය දෙවිගේ ප්‍රඥාවට පැහැදිලි සාක්ෂියකි. එමනිසා, ඔහු මැවුම්කරු මෙන්ම ජීවිතදායකයා වුවත්, ඇතැම් මනුෂ්‍යයන් ස්වාධීනව හෝ කැරලිකාරව කටයුතු කිරීමට ඉඩ කඩ ඇති බව කලින් දකින්න ඔහුට හැකි බව අමුතුවෙන් කිව යුතු නොවේ. එවැනි කැරලිගැසීමක් සමස්ත ලෝක පාරාදීසයක් සෑදීමේ උදාර වැඩයට හරස් විය හැකියි. කීකරු වීමේ අවශ්‍යතාව සිහිගැන්වීමට, දෙවි ආදම් සහ ඒව ඉදිරියෙහි සරල පරීක්ෂණයක් තැබූ බව වාර්තාවෙහි පැවසේ. ඔවුන් අකීකරු වුණොත්, දෙවි ඔවුන්ට දානය කළ ජීවිතය අහිමි වන බව ඔහු පැවසුවා. මුළු මිනිස් සංහතියේ සන්තෝෂයට අහිතකරව බලපාන වැරදිසහගත ගමන් මාර්ගයක යෑමේ අවදානම ගැන අපේ මුල් මුතුන්මිත්තන්ට අවවාද කිරීම මැවුම්කරුගේ සැලකිල්ල පිළිබිඹු කරනවා.—උත්පත්ති 2:16, 17.
සයවන “දවස” නිම වෙද්දී, තම අරමුණ ඉටු කරගැනීමට අවශ්‍ය සෑම දෙයක්ම මැවුම්කරු කර තිබුණා. තමන් සෑදූ සියල්ල “ඉතා යහපත්” බව ප්‍රකාශ කිරීමට ඔහුට හොඳ හේතු තිබුණා. (උත්පත්ති 1:31) දෙවි “තමන් විසින් කරනලද සියලු වැඩවලින් සත්වෙනි දවසේ නිවාඩු ගත්” බව පැවසීමෙන් බයිබලය තවත් වැදගත් කාලපරිච්ඡේදයක් මෙම අවස්ථාවේදී හඳුන්වා දෙනවා. (උත්පත්ති 2:2, ඇල අකුරු අපේය.) මැවුම්කරු ‘ක්ලාන්ත වන්නේවත්, වෙහෙස වන්නේවත් නැහැ.’ එසේ නම්, ඔහු නිවාඩු ගන්නා බවට විස්තර කර ඇත්තේ මන්ද? (යෙසායා 40:28) මින් අදහස් කරන්නේ භෞතික මැවීමේ ක්‍රියාවන් කිරීම ඔහු නතර කළ බවයි. තවද, තම උදාර අරමුණේ ඉටුවීමට, කිසිවකට, ස්වර්ගයේ හෝ පොළොවේ සිදු වන කැරැල්ලකටවත් හරස් විය නොහැකි බව දැනගෙන ඔහු නිවාඩු ගනිමින් සිටී. එබැවින්, දෙවි නිසැකකමින් යුතුව මැවීමේ සත්වන ‘දවසට’ ආශීර්වාදයක් ප්‍රකාශ කළා. එමනිසා, මනුෂ්‍යයන් හෝ වේවා, අදෘශ්‍යමාන ස්වර්ගික ජීවීන් හෝ වේවා, දෙවිගේ පක්ෂපාත බුද්ධිමත් මැවිලිවලට සත්වන “දවස” නිම වන විට, විශ්වය පුරාම සමාදානය සහ සන්තෝෂය රජයන බවට නිසැක විය හැකියි.
ඔබට උත්පත්ති වාර්තාව විශ්වාස කළ හැකිද?
එනමුත් මැවීම පිළිබඳ වාර්තාව කෙරෙහිත්, ඊට සම්බන්ධ ඉදිරියෙහි ඇති අපේක්ෂා කෙරෙහිත් ඔබට ඇත්තෙන්ම විශ්වාසය තැබිය හැකිද? කලින් සඳහන් කළ පරිදි, වත්මන් ජාන පර්යේෂණ ක්ෂේත්රය බොහෝ කලකට පෙර බයිබලයෙහි සඳහන් කළ නිගමනය කරා එළඹෙමින් සිටී. ඇතැම් විද්‍යාඥයන් සැලකිල්ලට ගෙන ඇති තවත් දෙයකි, උත්පත්ති වාර්තාවෙහි ඉදිරිපත් කර ඇති සිදුවීම්වල අනුපිළිවෙළ. නිදසුනක් ලෙස, ප්‍රසිද්ධ භූ විද්‍යාඥ වොලස් ප්‍රැට් මෙසේ අදහස් දැක්වූවා: “භූ විද්‍යාඥයෙක් හැටියට පෘථිවියේ මූලාරම්භයද, එමත ජීවය විකාශනය වූ ආකාරයද පිළිබඳ අපේ නූතන අදහස්, උත්පත්ති වාර්තාව සකස් කළ ගෝත්‍රිකයන් වැනි චාම් ගම්බද ජනතාවකට ලුහුඬින් පැහැදිලි කරන්න කියා මට කිව්වොත්, මට ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය තමයි උත්පත්ති පළමුවන පරිච්ඡේදයේ යොදාගෙන ඇති භාෂාවයි ශෛලියයි සෑහෙනදුරට යොදාගැනීම.” සාගරයේ මූලාරම්භය සහ ගොඩබිම මතුවීම, මුහුදු ජීවීන්, පක්ෂීන් සහ ක්ෂීරපායී සතුන් බිහිවීම පිළිබඳ උත්පත්තියෙහි විස්තර කර ඇති අනුපිළිවෙළ, භූ කාල අනුපිළිවෙළට මූලිකවම සමාන බවත් ඔහු නිරීක්ෂණය කළා.
මෙය සලකා බලන්න: මෝසෙස්ගේ තොරතුරුවල උල්පත මැවුම්කරු මෙන්ම නිර්මාතෘ නොවේ නම්, දැනට අවුරුදු දහස් ගණනකට පෙර එම අනුපිළිවෙළ හරියටම ඔහු නිගමනය කළේ කෙසේද?
බයිබලය කියන විදිහට, ‘දෙවිගේ වචනයෙන් විශ්වය මවනු ලැබූ බව අප තේරුම්ගන්නේ ඇදහිල්ලෙන්. මෙසේ දෘශ්‍යමාන දෙය, අදෘශ්‍යමාන දෙයින් පහළ වූ බව පෙනී යයි.’ (හෙබ්‍රෙව් 11:3, නව අනුවාදය) එම සත්‍යතාව පිළිගැනීමට බොහෝදෙනෙක් අකමැතියි. ඒ වෙනුවට අපේ විශ්වය සහ ජීවය ඇතැම්විට බිහි කළ බවට සිතන යම් අහඹු, අන්ධ ක්‍රියාවලියක් කෙරෙහි විශ්වාසය තැබීමට ඔවුන් වැඩි මනාපයක් දක්වයි.d එනමුත්, අප දැක ඇති පරිදි, විශ්වයද මිනිසා සහ සත්වයා ඇතුළු මිහිපිට ජීවයද, බුද්ධිමත් මුල් හේතුවකින්, එනම් මැවුම්කාර දෙවිකෙනෙකුගෙන් බිහි වූ බව විශ්වාස කිරීමට විවිධ හේතු බොහොමයක් ඇති බව අපට පෙනී ගොස් තිබේ.
“සියල්ලන්ටම ඇදහීම නැත” කියා බයිබලය අවංකවම පිළිගන්නවා. (2 තෙසලෝනික 3:2) කෙසේවෙතත්, ඇදහිල්ල කියන්නේ අන්ධ විශ්වාසයකුත් නොවෙයි. ඇදහිල්ලට පදනමක් තිබෙනවා. බයිබලය කෙරෙහිත්, අප ගැන පෞද්ගලිකව සැලකිලිමත් වන උදාර මැවුම්කරු කෙරෙහිත් ඒකාන්ත විශ්වාසයක් තැබීමට හැකි වලංගු මෙන්ම ඒත්තුගන්වනසුලු අමතර හේතු මීළඟ පරිච්ඡේදයේදී සලකා බලමු.
[පාදසටහන]
a ශක්තිය සමානයි ස්කන්ධය වැඩි කිරීම ආලෝකයේ වේගයේ වර්ගය.
b හෙබ්‍රෙව්වරුන් දවසක් හැටියට සැලකුවේ, සන්ධ්‍යාවෙන් පටන්ගන්නා, ඊළඟ දවසේ හිරු බැසයෑම දක්වා දිවගිය කාලපරිච්ඡේදයක්.
c එම ජල කන්දරාව එසවීමටත්, එය ඔසවා තබාගැනීමටත් මැවුම්කරු ස්වාභාවික ක්‍රියාවලීන් උපයෝගි කරගන්න ඇති. මෙම ජල කන්දරාව නෝවාගේ දවස්වලදී ඇද හැලුණා. (උත්පත්ති 1:6-8; 2 පේතෘස් 2:5; 3:5, 6) මානව විද්‍යාඥයන්ට ලැබී ඇති සාක්ෂි අනුව, මෙම ඓතිහාසික සිද්ධිය බේරී ජීවත් වූ මනුෂ්‍යයන් සහ ඔවුන්ගේ පැවතෙන්නන් තුළ නොමැකෙන සේ සටහන් වුණා. ජලගැලීමක් පිළිබඳ ලොව පුරා වෙසෙන ජනයා අතර සුරැකී ඇති ප්‍රබන්ධවලින් අපට මෙය දැකගත හැකියි.
d මිහිපිට ජීව ස්වරූපවල ඉතිහාසය ගැන තවදුරටත් අධ්‍යයනය කිරීමට, Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත, ජීවය මෙහාට පැමිණියේ කොහොමද? පරිණාමයෙන්ද? නැතහොත් මැවීමෙන්ද? (ඉංග්‍රීසියෙන්) යන පොත බලන්න.
[86වන පිටුවේ පින්තූරය]
NGC 4261 යන මන්දාකිණියේ ඇති මෙම දූවිලි තැටිය වැනි තැටි, දැකිය නොහැකි බලසම්පන්න කළු කුහර ඇති බවට සාක්ෂියකි. බලසම්පන්න නමුත් දැකිය නොහැකි ජීවීන් වෙනත් විෂයක පවතින බව බයිබලයෙහි වාර්තා වේ
[89වන පිටුවේ පින්තූරය]
ස්කන්ධය ශක්තිය බවටත්, ශක්තිය ස්කන්ධය බවටත් පරිවර්තනය කළ හැකි බවට වූ විද්‍යාත්මක මත, පරීක්ෂණවලින් තහවුරු වුණා
[94වන පිටුවේ පින්තූරය]
පළමුවන ‘දවසේ’ සිට තුන්වන “දවස” දක්වා කළ මැවීමේ ක්‍රියාවලීන්ගෙන් පුදුම දනවන විවිධත්වයකින් යුත් වෘක්ෂලතාදිය බිහි වුණා
[99වන පිටුවේ පින්තූර]
පොළොව මත ජීව ස්වරූපයන් මතුවීමේ අනුපිළිවෙළ බයිබලයෙහි නිවැරදිව සරල භාෂාවක් යොදාගනිමින් විස්තර කර ඇත
[101වන පිටුවේ පින්තූරය]
“භූ විද්‍යාඥයෙක් හැටියට . . . මට ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය තමයි උත්පත්ති පළමුවන පරිච්ඡේදයේ යොදාගෙන ඇති භාෂාවයි ශෛලියයි සෑහෙනදුරට යොදාගැනීම.”—වොලස් ප්‍රැට්