ප්රගතිශීලී වන්න—දියුණුවක් ලබන්න
ඔබ මුලින්ම බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමට ඉගෙනගත් විට, ගැඹුරින් මුල් බැසගත් ඔබේ සිතුවිලි, කතා බහ සහ හැසිරීම ක්‍රමක්‍රමයෙන් වෙනස් වීමට පටන්ගත්තේය. මෙම වෙනස්කම්වලින් වැඩි හරියක්ම ඔබ දිව්‍යාණ්ඩු සේවා පාසැලට බැඳෙන්නට පෙරාතුව පවා සිදු විය. දැන් ඔබ කොතරම් ප්‍රගතියක් ලබා ඇද්ද කිවහොත් යෙහෝවාට ඔබේ ජීවිතය කැප කිරීම දක්වා පැමිණ ඇති. ඔබ මෙලෙස ලබා ඇති ප්‍රගතිය අතරමඟදී නතර කළ හැකි බව මින් අදහස් කෙරේද? කිසිසේත් නැත. ඔබේ බව්තීස්මය යනු ආරම්භයක් පමණි.
නිදසුනකට ශ්‍රාවක තිමෝතිව සලකා බලන්න. තිමෝති ක්‍රිස්තියානි වැඩිමහල්ලෙකු ලෙස සේවය කරමින් සිටියදී පවා, ඔහුට දී තිබුණු උපදෙස් සහ විශ්වාසයෙන් භාර දී තිබුණු වරප්‍රසාද ගැන ‘මෙනෙහි කරන්නටත්’ මෙවැනි ආත්මික කාරණාවල ‘නිමග්නව සිටින්නටත්’ ප්‍රේරිත පාවුල් ඔහුට අවවාද කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුගේ “දියුණුව සියල්ලන්ට දැකිය හැකි” වනු ඇත. (1 තිමෝ. 4:12-15, NW) මේ අනුව, ඔබ මෑතක සිට සත්‍ය මාර්ගයෙහි ගමන ඇරඹුවද, ක්‍රිස්තියානියෙකු ලෙස ජීවත් වීමේදී බොහෝ අද්දැකීම් ලද්දෙක් වුවද, දියුණුවක් ලැබීම ගැන උනන්දු විය යුතුය.
දැනුම සමඟ පරිවර්තනය
තම සෙසු ඇදහිලිවන්තයන්ට සත්‍යයෙහි “පළල, දිග, උස, ගැඹුර” ‘මනසින් සහමුලින්ම ග්‍රහණය කරගැනීමට’ [NW] හැකි වන පිණිස ප්‍රේරිත පාවුල් යාච්ඤා කළ බව අපට එපීස 3:14-19හි කියවීමට පුළුවන. එම අදහස පෙරදැරි කරගනිමින් ඉගැන්වීමට, යළි සකස් කිරීමට සහ සභාව ගොඩනැංවීමට සභාවට තෑගි වශයෙන් මනුෂ්‍යයන් යේසුස් දානය කළේය. දෙවිගේ ආනුභාවය ලත් වචනය ගැන නිතිපතා මෙනෙහි කිරීම හා අද්දැකීම් ලත් ගුරුවරුන්ගෙන් මඟ පෙන්වීම ලැබීම ආත්මික අර්ථයෙන් ‘වැඩීමට’ අපට උපකාරවත් විය හැක.—එපී. 4:11-15.
එම වැඩීමට ‘ඔබේ මනස ක්‍රියාත්මක කරවන බලයෙන් අලුත් කරනු ලැබීම’ ඇතුළත් වේ. දෙවි හා ක්‍රිස්තුස්ගේ සිතුවිලිවලට එකඟ ප්‍රබල මානසික නැඹුරුවාවක් ස්ථාපිත කරගැනීම මේ හා සම්බන්ධය. “අලුත් පෞද්ගලිකත්වය පැළඳගැනීමට” ඔවුන්ගේ සිතුවිලිවලට නිරන්තරයෙන්ම නිරාවරණය විය යුතුය. (එපී. 4:23, 24, NW) එසේ නම්, ඔබ සුවිශේෂ වාර්තාවන් අධ්‍යයනය කරන විට, ක්‍රිස්තුස්ගේ ජීවිතය පිළිබඳ මෙම වාර්තා සලකන්නේ ඔබට අනුගමනය කිරීම සඳහා ආදර්ශයක් සපයන යමක් ලෙසටද? යේසුස් විසින් විදහාපෙන්වනු ලැබූ සුවිශේෂ ගති ලක්ෂණ සෙවීමට වෑයමක් දරමින්, අනතුරුව ඔබේම ජීවිතයෙහි ඒවා ක්‍රියාවට නැංවීමට ඔබ සැබෑ ප්රයත්නයක් දරනවාද?—1 පේතෘ. 2:21.
ඔබ කොතරම් දුරට එවන් දියුණුවක් ලබා තිබෙනවාද යන්න දැනගැනීමට ඔබ එදිනෙදා කතා බහට ඇතුළත් කරන දේවල් සලකා බැලිය හැකියි. අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්නා අය වංක, නින්දිත, අසභ්‍ය හෝ නිෂේධාත්මක කතා බස්වල නියැලෙන්නේ නැත. ඔවුන්ගේ කතා බහ “අසන්නන්ට ප්‍රයෝජන ලැබෙන . . . වර්ධනය” ගෙන දෙනසුලු විය යුතුය. (එපී. 4:25, 26, 29, 31; 5:3, 4; යූද් 16) පෞද්ගලිකව සහ සභා රැස්වීම්වලදී ඔවුන් පළ කරන අදහස් සහ පවසන දෙයින්, සත්‍යය ඔවුන්ගේ ජීවිතය තුළ පූර්ණ වෙනසක් කරන බව හෙළි වෙයි.
ඔබ ‘තවදුරටත්, සුළඟක් වැනි වූ ඉගැන්වීම් නිසා මුහුදේ රැළි මෙන් එහාට මෙහාට වීසි’ නොවෙනවා නම්, මෙයද ඔබ දියුණුව ලබා ඇති බවට සාක්ෂියකි. (එපී. 4:14, NW) නිදසුනකට මෙලොවෙහි නවීන අදහස්, ව්‍යාපාර සහ විනෝදාස්වාදයන් රැල්ලක් මෙන් ඔබව ගිලගැනීමට උත්සාහ කරන විට, ඔබේ ප්‍රතිචාරය කුමක්ද? ආත්මික වගකීම් සඳහා මිඩංගු කළ යුතු කාලය පරිත්‍යාග කොට එවන් දේවල් ලුහුබැඳීමට ඔබ තුළ දැඩි ආශාවක් හටගනීද? එසේ කළහොත් ඔබේ ආත්මික දියුණුව ඇණහිටිය හැක. එසේ නම්, ආත්මික කාරණා සඳහා ලැබෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන නෙළාගැනීම මොනතරම් ඥානවන්ත දෙයක් වේද!—එපී. 5:15, 16.
ආත්මික දියුණුවක් ලබන බවට තවත් සලකුණක් වන්නේ ඔබ අන් අය සමඟ කටයුතු කරන ආකාරයයි. ඔබේ සහෝදර සහෝදරියන් සමඟ ‘ගුණවන්තව, අනුකම්පා ඇතුව සිටිමින් [නොමසුරුව, NW] කමා’ වෙන්නට ඔබ ඉගෙනගෙන ඇද්ද?—එපී. 4:32.
යෙහෝවාගේ ක්‍රමයට දේවල් කිරීමේදී ඔබ පෙන්නුම් කරන ප්‍රගතිය සභාවෙහි මෙන්ම නිවසේදී දැකගැනීමට හැකියාවක් තිබිය යුතුය. පාසැලේදී, ප්‍රසිද්ධ ස්ථානවලදී හා ඔබේ රැකියා ස්ථානයේදී එම දියුණුව පැහැදිලිව පෙනී යා යුතුයි. (එපී. 5:21–6:9) එවන් ඕනෑම තත්වයක් යටතේ ඔබ වඩාත් පූර්ණ අන්දමකින් දිව්‍ය ගුණාංග විදහාපෙන්වනවා නම්, ඔබේ දියුණුව එළි දකින බව කිව හැක.
ඔබ සතු දීමනාව භාවිත කරන්න
යෙහෝවා අප එක් එක්කෙනාට විවිධ හැකියාවන් සහ කුසලතාවන් දී ඇත. ඔහුගේ මහත් කරුණාව අප තුළින් ප්‍රකාශ විය හැකි අන්දමකින් අප ඒවා අන් අය වෙනුවෙන් භාවිත කිරීම ඔහු අපේක්ෂා කරයි. ප්‍රේරිත පේතෘස් මේ සම්බන්ධයෙන් මෙසේ ලීවේය. “[දෙවිගේ] අනේකාකාර කරුණාවේ යහපත් ගබඩාකාරයන් මෙන් එකිනෙකාට ලැබුණු දීමනාවේ හැටියට එයින් එකිනෙකාට සේවය කරන්න.” (1 පේතෘ. 4:10) ගබඩාකාරයෙකු ලෙස ඔබ ඔබේ වගකීම උසුලන්නේ කෙසේද?
පේතෘස් තවදුරටත් මෙසේ කියයි. “යමෙක් කතා කෙරේ නම්, [දෙවිගේ] වාක්‍ය වශයෙන් කතා කරාවා.” (1 පේතෘ. 4:11) දෙවිට ගෞරවය ලැබෙන පිණිස, දෙවිගේ වචනයට සම්පූර්ණයෙන්ම එකඟව කතා කිරීමට අප සතු වගකීම මෙම පදයෙහි අවධාරණය කෙරේ. අප මෙලෙස කතා කරන විට, කතා කරන අන්දම යෙහෝවාට ගෞරවය ගෙන දෙන්නක් විය යුතුය. දිව්‍යාණ්ඩු සේවා පාසැල ලබා දෙන පුහුණුව, අන් අයට උපකාර කිරීමෙන් දෙවිට ගෞරවය ගෙන දෙන ලෙස ඔබේ දීමනාව භාවිත කිරීමට රුකුලක් විය හැක. ඔබේ ඉලක්කය එය නම්, පාසැලේදී ඔබේ ප්‍රගතිය මැනිය යුත්තේ කෙලෙසද?
ඔබේ කථික උපදෙස් පත්‍රිකාවේ පියවා ඇති කරුණු සංඛ්‍යාව කොපමණද කියාවත්, ඔබ කවර ආකාරයේ පැවරුම් ඉදිරිපත් කර ඇද්ද කියාවත් සිතන්නේ නැතුව, ඔබ ලබා ඇති පුහුණුව ඔබේ ප්‍රශංසාව නමැති පූජාවේ ගුණයට බලපා ඇති අන්දම ගැන කල්පනා කර බලන්න. පාසැලෙන් අපට ලැබෙන පුහුණුව ක්ෂේත්‍ර සේවයෙහි අප වඩාත් ඵලදායී වීම සඳහා අපව සූදානම් කරයි. එමනිසා ඔබෙන් මෙසේ අසන්න. ‘ක්ෂේත්‍ර සේවයෙහිදී මා කීමට යන දේ ගැන මා ඇත්තටම කලින් සූදානම් වෙනවද? මා සාක්ෂි දරන අය කෙරෙහි පෞද්ගලික උනන්දුවක් දැක්වීමට ඇත්තටම මා ඉගෙනගෙන තිබෙනවාද? ඊළඟ අවස්ථාව සඳහා සාකච්ඡා කිරීමට ප්‍රශ්නයක් තබා යෑමෙන් මා නැවත බැලීම් සඳහා යෝග්‍ය අඩිතාලමක් දමනවාද? මා යමෙකු සමඟ බයිබලය පාඩම් කරනවා නම්, හදවතටම තට්ටු කරන ආකාරයේ ගුරුවරයෙකු ලෙස දියුණු වීමට වෑයමක් දරමින් සිටිනවාද?’
ඔබහට ලබා දෙන සේවා වරප්‍රසාදවලින් ඔබේ ප්‍රගතිය මැන බලන්න එපා. ඔබේ දියුණුව දකින්නේ ලැබෙන පැවරුම්වලින් නොව, නමුත් ඒ පැවරුම ඉටු කරන ආකාරය තුළින්ය. ඉගැන්වීම හා සම්බන්ධ පැවරුමක් ලැබෙනවා නම්, ඔබෙන්ම මෙසේ අසන්න. ‘මා ඇත්තටම ඉගැන්වීමේ කලාව උපයෝගි කරගන්නවාද? මා තොරතුරු ඉදිරිපත් කළ ආකාරය දෙස බලන විට, ඊට සවන් දුන් අයගේ ජීවිතයේ කැපීපෙනෙන වෙනසක් ඇති කිරීමට මා සමත් වුණාද?’
ඔබ සතු දීමනාව භාවිත කිරීමට වූ අවවාදය ගත් කල, ඔබේ පැත්තෙන් මුලපිරීමක් අවශ්‍ය බව ඉන් ඇඟවේ. ක්ෂේත්‍ර සේවයෙහි අන් අය සමඟ වැඩ කිරීමට ඔබ මූලික පියවර ගන්නවාද? ඔබේ සභාවෙහි නවක, ළාබාල හෝ දුබල සාමාජිකයන්ට උපකාර කිරීම සඳහා විවෘත විය හැකි ප්‍රස්තා ගැන ඔබ බලා සිටිනවාද? රාජ්‍ය ශාලාව පිරිසිදු කිරීමට ඔබ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙනවාද? එසේ නැතහොත් සමුළු හෝ එක්රැස්වීම්වලදී යම් උපකාරයක් දීමට ඔබ ඉදිරිපත් වෙනවාද? ඔබට විටින් විට උපකාරික පුරෝගාමියෙකු ලෙස සේවය කළ හැකිද? ස්ථාවර පුරෝගාමියෙකු ලෙස හෝ අවශ්‍යතාව වැඩි සභාවක යම් උපකාරයක් දීමට ඔබට පුළුවන්ද? ඔබ සහෝදරයෙක් නම්, සභා සේවකයන් සහ වැඩිමහල්ලන් සඳහා දී ඇති ශුද්ධ ලියවිලිමය සුදුසුකම් අත් කරගැනීමට උත්සාහයක් දරමින් සිටිනවාද? යම් උපකාරයක් දීමට හා වගකීම් කරට ගෙන ක්‍රියා කිරීමට ඔබ දක්වන කැමැත්ත දියුණුවේ සලකුණකි.—ගීතා. 110:3.
අද්දැකීම් ලැබීම වැදගත් වන අන්දම
ක්‍රිස්තියානියෙකු ලෙස ජීවත් වීමේදී ඔබේ අද්දැකීම් සීමිතයි කියා දැනුණොත්, අධෛර්යයට පත් වන්න එපා. දෙවිගේ වචනය “නුවණ නැත්තන් [අද්දැකීම් අඩු අය, NW] ඥානවත් කරන්නේය.” (ගීතා. 19:7; 119:130; හිතෝ. 1:1-4) බයිබල් උපදෙස් අදාළ කරගැනීමෙන් යෙහෝවාගේ පරිපූර්ණ ප්‍රඥාවෙන් ප්‍රයෝජන ලබාගැනීමට අපට අවකාශ සැලසේ. මෙම ප්‍රඥාව, අද්දැකීමෙන් පමණක් උපයාගත හැකි අවබෝධයට වඩා වටිනාකමින් වැඩිය. එහෙත්, අප යෙහෝවාට පිරිනමන සේවයේදී දියුණුවක් ලබන විට වටිනා අද්දැකීම් සම්භාරයක් ලබාගැනීමට අපට හැකියාව ලැබේ. එම අද්දැකීම් ප්‍රයෝජනයට ගත හැක්කේ කෙසේද?
ජීවිතයේ විවිධ තත්වයන්ට ලක්වීමෙන් ලබා ඇති නොයෙකුත් අද්දැකීම් නිසා පුද්ගලයෙකු මෙලෙස තර්ක කිරීමේ පරීක්ෂාවට හසු විය හැක. ‘කලිනුත් මම මේ වගේ තත්වයකට මුහුණ දුන්නා. මොනවාද කරන්න ඕනෑ කියා මම දන්නවා.’ මෙලෙස තර්ක කිරීම ප්‍රඥාවන්තද? හිතෝපදේශ 3:7 [න. අ.] මෙසේ අවවාද කරයි. “ඔබ මහ නැණවතෙකැ යි නොසිතන්න.” ජීවිතයේ පැනනඟින නොයෙකුත් තත්වයන් සමඟ කටයුතු කිරීමේදී සලකා බැලිය යුතු සාධක පිළිබඳව අපගේ දෘෂ්ටිය පුළුල් කිරීමට අද්දැකීම් උපකාරවත් වන බව ඇත්තය. එනමුත්, අප ආත්මික ප්‍රගතියක් ලබමින් සිටිනවා නම්, සාර්ථක ප්‍රතිඵල නෙළාගැනීමට යෙහෝවාගේ ආශීර්වාදය අවශ්‍ය බව අප ලබන අද්දැකීම් අපගේ මනසට හා හදවතට කාවැද්දවිය යුතුය. එසේ නම්, අපගේ දියුණුව දැකිය හැකි වන්නේ පැනනඟින විවිධාකාර තත්වයන්ට ඉමහත් ආත්ම-විශ්වාසයකින් යුතුව අපගේම ශක්තියෙන් මුහුණ දීමෙන් නොවේ. ඒ වෙනුවට අපගේ ජීවිතයට මඟ පෙන්වීම සඳහා වහා යෙහෝවා වෙතට හැරීම තුළින්ය. ඔහුගේ අවසරය නැතුව කිසිම දෙයක් සිදු නොවන බව ඒකාන්ත ලෙස විශ්වාස කිරීමෙන්ද, අපගේ ස්වර්ගික පියාණන් සමඟ විශ්වාසයෙන් හා සෙනෙහසින් පිරුණු සබඳතාවක් පවත්වාගෙන යෑමෙන්ද එය ප්රත්යක්ෂ වේ.
ඉදිරියෙහි තබා තිබෙන දෙය දෙසම නෙත් යොමන්න
ප්‍රේරිත පාවුල් ආත්මික වශයෙන් මේරූ ආලේප ලත් ක්‍රිස්තියානියෙකු වුවත්, ජීවනය නමැති ඉලක්කය අත් කරගැනීමට ‘ඒ දෙසම නෙත් යොමා’ සිටීමේ අවශ්‍යතාව තේරුම්ගත්තේය. (පිලි. 3:13-16, න. අ.) ඔබටත් එවන් ආකල්පයක් තිබෙනවාද?
ඔබ කොතෙක් දුරට ප්‍රගතියක් ලබා ඇද්ද? ඔබේ වර්ධනය මැන බැලීමට අලුත් පෞද්ගලිකත්වය ඔබ කොතරම් පූර්ණ ලෙස පැළඳගෙන ඇද්ද යන්නත්, ඔබ යෙහෝවාගේ පරමාධිපත්‍යයට පූර්ණ ලෙස යටත්ව සිටින්නේ කොතෙක් දුරටද යන්නත්, ඔබ සතු දීමනා යෙහෝවාගේ ගෞරවය පිණිස කොතරම් කඩිසර ලෙස භාවිත කරනවාද යන්නත් සලකා බැලිය හැක. දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් අඛණ්ඩ ප්‍රයෝජනයක් ලබන අතරතුරේදී දෙවිගේ වචනයෙහි උලුප්පා දක්වා ඇති ගුණාංග ඔබේ කතාවෙහි හා ඉගැන්වීමෙහි ප්‍රගතිශීලීව පිළිබිඹු විය යුතුය. ඔබේ වර්ධනයේ මෙම පැති ඔබේ දෘෂ්ටියේ බොඳ නොකර තබාගන්න. එසේ කිරීමෙන් ප්‍රීතියක් ලබන්න. එවිට ඔබේ දියුණුව පහසුවෙන් දැකගත හැකි වනවා නොඅනුමානය.