ඔබේ දියුණුව දකින්නට සලස්වන්න
“නුඹේ දියුණුවීම සියල්ලන්ට පෙනෙන පිණිස ඒ දේවල් කඩිසරලෙස භාවිතාකරමින් එහිම යෙදී සිටින්න.”—1 තිමෝති 4:15.
1. පලතුරක් ඉදී ඇති බවත් කෑමට සුදුසු බවත් ඔබට දැනගත හැක්කේ කෙසේද?
ඔබ අනුභව කිරීමට කැමතිම පලතුරු විශේෂය කුමක්ද? අඹද, ඇපල්ද, නාරංද නැත්නම් වෙනත් පලතුරක්ද? එය ඉදී තිබෙන බවත්, කෑමට සුදුසු තත්වයේ තිබෙන බවත් ඔබ දැනගන්නේ කෙසේද? එහි සුවඳින්, වර්ණයෙන් සහ ඔබේ අතට දැනෙන එබෙන ගතියෙන් ඔබට කියාපාන්නේ රසවත් අද්දැකීමක් ඔබ ඉදිරියෙහි ඇති බවයි. පලතුරු කැබැල්ලක් ඔබේ කටට ගන්න. දැන් ඔබට දැනෙන සතුට වචනවලින් විස්තර කළ හැකිද? ආහ්! මොනතරම් ප්‍රණීත රසයක්ද! කිසිදු සැකයක් නොමැතිව එය ඔබේ සතුටට දායක වනු ඇත.
2. මේරූකම දැකගත හැක්කේ කෙසේද? මෙය අන්‍යයන්ට බලපාන්නේ කෙසේද?
2 පලතුරක් අනුභව කිරීමේදී පොදුවේ අප කවුරුත් ලබන මෙම රසවත් අද්දැකීම ජීවිතයේ වෙනත් පැතිවලටද අදාළ කළ හැකිය. ඉදුණු පලතුරක් හඳුනාගත හැකිවාක් මෙන්ම ආත්මික මේරූකමද බොහෝ ආකාරවලින් දැකගත හැකි වේ. පුද්ගලයෙකු තුළ විචාර බුද්ධිය, තීක්ෂ්ණ බුද්ධිය හා ප්‍රඥාව ආදිය දකින විට, එවන් කෙනෙකු මේරූ පුද්ගලයෙකු බව අපට වැටහේ. (යෝබ් 32:7-9) ඇත්තෙන්ම ආකල්ප සහ ක්‍රියා තුළින් එවැනි ගුණාංග පිළිබිඹු කරන කෙනෙකු සමඟ ඇසුරු කිරීම හා වැඩ කිරීම සතුටට හේතුවක් වේ.—හිතෝපදේශ 13:20.
3. යේසුස්ගේ කාලයේ විසූ ජනයා ගැන ඔහු දුන් විස්තරයෙන් මේරූකම ගැන පැහැදිලි වන්නේ කුමක්ද?
3 අනික් අතට, කෙනෙක් උස මහතින් වැඩුණු පුද්ගලයෙක් විය හැකි මුත්, කතාවෙන් සහ ක්‍රියාවෙන් ඔහු චිත්තවේගීයව සහ ආත්මිකව නොමේරූ කෙනෙකු කියා හෙළි විය හැක. නිදසුනකට, එවකට විසූ හිතුවක්කාර පරම්පරාව ගැන කතා කරමින් යේසුස් ක්‍රිස්තුස් මෙසේ පැවසීය. “යොහන් කමින් බොමින් නාවේය, එබැවින් ඔහු යක්ෂාවේශවූ කෙනෙකැයි ඔව්හු කියති. මනුෂ්‍ය පුත්‍රයා කමින් බොමින් ආවේය, බලව කෑදර මනුෂ්‍යයෙක්ය, මුද්‍රිකපානය බොන්නෙක්ය . . . යයි ඔව්හු කියති.” උස මහතින් හොඳට වැඩුණු අය වුවද, ඔවුන් ක්‍රියා කළේ ඉතා බොළඳ ආකාරයකින් එනම් “ළමයින්ට” සමාන ආකාරයකින් බව යේසුස් පැවසීය. එනමුත් ඔහු මෙසේද පැවසීය. “එහෙත් ප්‍රඥාව නිදොස් බව ඇගේ ක්‍රියා වලින් ඔප්පුවී තිබේ.”—මතෙව් 11:16-19.
4. කෙනෙකුගේ දියුණුව සහ මේරූකම පැහැදිලිව දැකගත හැක්කේ කවර පැතිවලින්ද?
4 මේරූකමේ කැපීපෙනෙන අංග ලක්ෂණයක් වන සැබෑ ප්‍රඥාව පුද්ගලයෙකුට තිබෙනවාද නැද්ද යන්න පැහැදිලි වන්නේ ඔහුගේ ක්‍රියාවලින් සහ එමගින් අත් කරගන්නා ප්‍රතිඵලවලින් බව යේසුස්ගේ වදන් පෙන්නුම් කරයි. ප්‍රේරිත පාවුල්ද තිමෝතිට උපදෙස් දුන් විටදී මේ හා සමාන කාරණාවක් ගෙනහැර දැක්වීය. තිමෝතිගේ සැලකිල්ලට භාජන විය යුතු දේවල් ගැන විස්තර කිරීමෙන් අනතුරුව ඔහු මෙසේ පැවසීය. “නුඹේ දියුණුවීම සියල්ලන්ට පෙනෙන පිණිස ඒ දේවල් කඩිසරලෙස භාවිතාකරමින් එහිම යෙදී සිටින්න.” (1 තිමෝති 4:15) ඔව්, මේරූකම කරා ක්‍රිස්තියානියෙකු ලබන දියුණුව ‘සියල්ලන්ට පෙනේ,’ නැතහොත් පැහැදිලිව දැකගත හැකි වේ. ක්‍රිස්තියානි මේරූකම බැබළෙන ආලෝකයක් මෙනි. එය කාටත් නොපෙනෙන සැඟවුණු, ගුප්ත ගුණාංගයක් නොවේ. (මතෙව් 5:14-16) එමනිසා, දියුණුව සහ මේරූකම පැහැදිලිව දැකගැනීමට සැලැස්විය හැකි ප්‍රධාන පැති දෙකක් සලකා බලමු. (1) දැනුමෙන්, අවබෝධයෙන් සහ ප්‍රඥාවෙන් වර්ධනය වීම හා (2) ශුද්ධාත්මයේ ඵල විදහාපෙන්වීම.
ඇදහිල්ල සහ දැනුම ලැබීම සම්බන්ධයෙන් එක්සත්ව සිටිමු
5. මේරූකම නිර්වචනය කළ හැක්කේ කෙසේද?
5 ශබ්දකෝෂවල විස්තර කරන ආකාරයට මේරූකම යනු පූර්ණ වර්ධනයක්, පරිණත තත්වයක් හා ඉලක්ක කරගත් ප්‍රමිතියක් කරා ළඟාවීමට සමත් වීමකි. කලින් සඳහන් පරිදි, අප පලතුරක් ඉදී ඇති බව සලකන්නේ, එහි ස්වාභාවික වර්ධන ක්‍රියාවලිය නිමා වී, පෙනුමෙන්, වර්ණයෙන්, සුවඳින් සහ රසයෙන් යෝග්‍යයයි සැලකෙන මට්ටමකට පැමිණි විටය. එමනිසා මේරූකම අග්‍රගණ්‍ය, සම්පූර්ණ හා පරිපූර්ණ යනාදි අදහස්වලට සමාන්තරව දිව යයි.—යෙසායා 18:5; මතෙව් 5:45-48; යාකොබ් 1:4.
6, 7. (අ) තම නමස්කාරකයන් සියලුදෙනා ආත්මික මේරූකම කරා දියුණු වනවා දැකීමට යෙහෝවා මහත් ආශාවක් දක්වන බව පෙනී යන්නේ කුමකින්ද? (ආ) ආත්මික මේරූකම කිට්ටු ලෙස සම්බන්ධ වී ඇත්තේ කුමකටද?
6 යෙහෝවා දෙවිගේ ආශාව වන්නේ තමාට නමස්කාර කරන සියලුදෙනාම ආත්මික මේරූකම කරා දියුණු වනවා දැකීමයි. ඔහු ඒ සඳහා ක්‍රිස්තියානි සභාව තුළ සුවිශේෂ සැපයුම් කිහිපයක්ම දී තිබේ. ඒ සම්බන්ධයෙන් එපීසයේ විසූ ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය. “ඔහු සමහරුන්ව ප්‍රේරිතයන් ලෙසද අනාගතවක්තෘවරුන් ලෙසද එවැන්ජලිස්තවරුන් ලෙසද එඬේරුන් හා ගුරුවරුන් ලෙසද දුන්නේ ශුද්ධ අයව යළි සකස් කිරීමටත් සේවය කිරීමට හැකි වන පිණිස ක්‍රිස්තුස්ගේ ශරීරය ගොඩනැංවීමටත්ය. මෙය ඇදහිල්ලෙන්ද දෙවිගේ පුත්‍රයා ගැන නිවැරදි දැනුමෙන්ද එක්සත්ව සිටීම කරාද, ක්‍රිස්තුස්ගේ පූර්ණකමට අයත් උස මහත කරාද, පරිණත පුරුෂයන් වීම කරාද අප සියල්ලන් පැමිණෙන තෙක්ය. මේ හේතුවෙන් තවදුරටත්, සුළඟක් වැනි වූ මනුෂ්‍යයන්ගේ වංචාවන්ද ප්‍රයෝගයන්ද රැවටිලි සහිත උපායන්ද මත පදනම් වී ඇති ඉගැන්වීම් නිසා අපි මුහුදේ රැළි මෙන් එහාට මෙහාට වීසි වෙන්නාවූ බාලයන් නොවන්නෙමු.”—එපීස 4:11-14, NW.
7 දෙවි සභාව තුළ මෙතරම් බහුලව සැපයුම් ලබා දී තිබීමට හේතු කිහිපයක් මෙහිදී පාවුල් පැහැදිලි කළේය. ඔහු පැවසූ ආකාරයට එසේ කර තිබෙන්නේ සියලුදෙනා ‘ඇදහිල්ලෙන් සහ නිවැරදි දැනුමෙන් එක්සත්ව සිටීම කරා,’ “පරිණත පුරුෂයන් වීම කරා” මෙන්ම ‘ක්‍රිස්තුස්ගේ උස මහත කරා පැමිණීම’ සඳහාය. බොරු මතයන් සහ ඉගැන්වීම් නිසා ආත්මික ළදරුවන් මෙන් එහාට මෙහාට වීසි වී යෑමෙන් ආරක්ෂා විය හැක්කේ එවිට පමණි. මෙයින් අපට පැහැදිලි වන්නේ ක්‍රිස්තියානි මේරූකම කරා පැමිණීම සහ ‘ඇදහිල්ලෙන් සහ දෙවිගේ පුත්‍රයා පිළිබඳ නිවැරදි දැනුමෙන් එක්සත්’ වීම අතර කිට්ටු සම්බන්ධයක් ඇති බවයි. ඇත්තෙන්ම පාවුල්ගේ උපදෙස්වල අඩංගු කරුණු කිහිපයක්ම සිතට ගැනීම වටී.
8. ඇදහිල්ල සහ නිවැරදි දැනුම ලැබීම සම්බන්ධයෙන් ‘එක්සත්ව සිටීමට’ අවශ්‍ය වන්නේ මොනවාද?
8 මුලින්ම, “එක්සත්ව” සිටීමට වෙර දැරිය යුතු නිසා, මේරූ ක්‍රිස්තියානියෙකු ඇදහිල්ල සහ දැනුම ලැබීම සම්බන්ධයෙන් සෙසු ඇදහිලිවන්තයන් සමඟ එක්සත්ව සහ පූර්ණ එකඟතාවකින් සිටිය යුතුය. ඔහු තමාගේම මතයන් ප්‍රචලිත කරන්නේවත්, ඒවා නිවැරදියි කියා තරයේ ප්‍රකාශ කර සිටින්නේවත් නැත. අනික් අතට බයිබල් දැනුම සම්බන්ධයෙන් පෞද්ගලික අදහස් හෝ මතයන් දරන්නේද නැත. ඒ වෙනුවට, ඔහු පූර්ණ විශ්වාසයක් තබන්නේ යෙහෝවා, තම පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් සහ “විශ්වාසවූ නුවණ ඇති දාසයා” තුළින් එළිදරව් කරන සත්‍යය කෙරෙහිය. ක්‍රිස්තියානි ප්‍රකාශන, රැස්වීම්, එක්රැස්වීම් සහ සමුළු තුළින් “නියම වේලාවට” සපයනු ලබන ආත්මික ආහාර නිතිපතා අනුභව කිරීමෙන්, ඇදහිල්ල සහ දැනුම ලැබීම සම්බන්ධයෙන් සෙසු ක්‍රිස්තියානීන් සමඟ ‘එක්සත්ව’ සිටීමට අපට නිසැකවම හැකි වනු ඇත.—මතෙව් 24:45.
9. පාවුල් එපීසයට ලියූ ලිපියෙහි සඳහන් කළ “ඇදහිල්ල” යන යෙදුමෙන් අදහස් කරන දේ පැහැදිලි කරන්න.
9 දෙවනුව, “ඇදහිල්ල” යන්නෙන් අදහස් කරන්නේ පෞද්ගලිකව එක් එක් ක්‍රිස්තියානි භක්තිකයාට තිබෙන විශ්වාසය නොවේ. ඇත්තෙන්ම අපගේ විශ්වාසය කොතරම් පූර්ණද යන්න (එහි සම්පූර්ණ පරාසය) ඉන් අදහස් වේ. එනම් “එහි පළල, දිග, උස, ගැඹුර” වේ. (එපීස 3:19; 4:5; කොලොස්සි 1:23; 2:6, 7) ඇත්තෙන්ම ක්‍රිස්තියානියෙක් ‘ඇදහිල්ලට’ අයත් සමහරක් දේවල් පමණක් විශ්වාස කිරීමට හෝ පිළිගැනීමට නැඹුරු වෙනවා නම්, සෙසු ඇදහිලිවන්තයන් සමඟ එක්සත්ව සිටීමට ඔහුට හැක්කේ කෙසේද? මින් අදහස් කරන්නේ බයිබලයේ මූලික ඉගැන්වීම් පමණ ක් දැන සිටීමෙන්වත්, සත්‍යය පිළිබඳ අපැහැදිලි හා අල්ප දැනුමක් ලබාගැනීමෙන්වත් අප සෑහීමට පත් නොවිය යුතු බවයි. ඒ වෙනුවට යෙහෝවාගේ වචනය ගැඹුරින් ගවේෂණය කිරීමට යෙහෝවා සිය සංවිධානය මාර්ගයෙන් සපයන සෑම දෙයකින්ම උපරිම ප්‍රයෝජන ගැනීමට අප උනන්දු විය යුතුය. ඔව් දෙවිගේ කැමැත්ත සහ අරමුණ සම්බන්ධයෙන් හැකි තරම් නිවැරදි සහ පූර්ණ අවබෝධයක් ලබාගැනීමට අප වෙර දැරීම අවශ්‍යය. මෙයට ඇතුළත් වන දේවල් මොනවාද? අප බයිබලය සහ බයිබල් ප්‍රකාශන කියවා අධ්‍යයනය කිරීමට කාලය ගත යුතු අතර, දෙවිගේ උපකාරය සහ මඟ පෙන්වීම ඉල්ලා යාච්ඤා කිරීමටත්, ක්‍රිස්තියානි රැස්වීම්වලට නිතිපතා සහභාගි වීමටත්, රාජ්‍ය දේශනා කිරීමෙහි හා ගෝලයන් සෑදීමේ වැඩයෙහි පූර්ණ ලෙස සහභාගි වීමටත් කාලය මිඩංගු කළ යුතුය.—හිතෝපදේශ 2:1-5.
10. එපීස 4:13හි භාවිත කර ඇති ‘කරා අප සියල්ලන් පැමිණෙන තෙක්’ යන්නෙහි අදාළත්වය විස්තර කරන්න.
10 තුන්වෙනුව, කලින් සඳහන් කළ තුන්වැදෑරුම් ඉලක්කය ගැන කතා කරද්දී පාවුල් එය ‘කරා අප සියල්ලන් පැමිණෙන තෙක්’ යන වචනද එක් කළේය. “අප සියල්ලන්” යන වචන පිළිබඳව එක් බයිබල් අත්පොතක සඳහන් වූයේ “එක් එක්කෙනා වෙන වෙනම නොව, සියලුදෙනාම එකට” යන අදහස එහි ඇති බවයි. වෙනත් විදිහකින් කියනවා නම්, අප සෑම කෙනෙකුම මුළු සහෝදර සංගමය සමඟම ක්‍රිස්තියානි මේරූකම නමැති ඉලක්කය කරා ළඟාවීමට වෑයම් දැරිය යුතු බවය. බයිබලය පිළිබඳ අර්ථකථනයක් (ඉංග්‍රීසියෙන්) නමැති ප්රකාශනයෙහි ඒ ගැන මෙසේ පැවසේ. “පුද්ගලයෙකුට හුදකලාව ආත්මික දියුණුව පූර්ණ ලෙස අත් කරගත නොහැකිය. ඇත්තෙන්ම මුළු ශරීරයම අඛණ්ඩව හොඳ වර්ධනයක් ලැබුවේ නැත්නම්, එහි එක අවයවයකට පමණක් පරිණතභාවය කරා ළඟා විය නොහැක.” එපීසයේ ක්‍රිස්තියානීන් ඇදහිල්ලේ සම්පූර්ණ පරාසය සිතින් ග්‍රහණය කරගැනීමට වෑයම් කළ යුතු වූයේ “සියලු ශුද්ධවන්තයන් සමඟ” බව පාවුල් ඔවුන්ට සිහිගැන්වූයේ එමනිසාය.—එපීස 3:18.
11. (අ) ආත්මිකව දියුණුවක් ලබාගැනීම යන්නෙන් අදහස් නොවන්නේ කුමක්ද? (ආ) ආත්මිකව දියුණුවක් ලබාගැනීම සඳහා අපට කළ යුත්තේ කුමක්ද?
11 මේ අනුව, ආත්මිකව දියුණුවක් ලැබීම යන්නෙන් අදහස් වන්නේ උගතෙකු මෙන් පෙනී සිටීමේ අදහසින් අපගේ මනස දැනුමෙන් සහ තොරතුරුවලින් නිකම්ම පිරවීම නොවන බව පාවුල්ගේ වදන්වලින් පැහැදිලිය. මේරූ ක්‍රිස්තියානියෙකු යනු අන් අය ඉදිරියෙහි තම මානසික හැකියාවන් ප්‍රදර්ශනය කිරීමෙන් දීප්තිමත් ආලෝකයක් මෙන් කැපීපෙනීමට උත්සාහ දරන කෙනෙකු නොවේ. ඇත්තෙන්ම බයිබලය පවසන්නේ “ධර්මිෂ්ඨයන්ගේ මාවත ඉර මුදුන් වේලාව දක්වා වඩ වඩා ආලෝකවේගන යන්නාවූ අලුයම් ආලෝකය මෙන්” කියාය. (හිතෝපදේශ 4:18) මින් පැහැදිලි වන්නේ “වඩා වඩා ආලෝකවේගන” යන්නේ පුද්ගලයා නොව නමුත් “මාවත” බවයි. ඔව්, ටිකෙන් ටික වැඩි වන්නාවූ ආලෝකයක් මෙන්, යෙහෝවා තම සෙනඟට තම වචනය පිළිබඳව දෙන අවබෝධය ක්‍රමානුකූලව වැඩි කරයි. එමනිසා, එම අවබෝධය සමඟ සමගාමීව යෑමට නිරන්තර වෑයමක් දරනවා නම්, ආත්මිකව දියුණුවක් ලබාගැනීමට අපට හැකි වනවා නොඅනුමානයි. සමගාමීව යෑමෙන් අදහස් කරන්නේ ඉදිරියට ගමන් කිරීමයි. මෙය අප සැමට කළ හැකි දෙයකි.—ගීතාවලිය 97:11; 119:105.
‘ආත්මයේ ඵල’ නිපදවමු
12. ආත්මිකව දියුණුවක් ලබාගැනීමට අප දරන වෑයමේදී ආත්මයේ ඵල නිපදවීම වැදගත් වන්නේ මන්ද?
12 ‘ඇදහිල්ල සහ නිවැරදි දැනුම ලැබීම සම්බන්ධයෙන් එක්සත්ව’ සිටීම වැදගත් වන්නා සේම, අප ජීවිතයේ සෑම අංගයකදීම දෙවිගේ ආත්මයේ ඵල නිපදවීමද වැදගත්ය. ඒ මන්ද? අපට පෙනී ගිය ආකාරයට මේරූකම යනු අභ්‍යන්තරයේ තිබෙන යම් සැඟවුණු දෙයක් නොව, නමුත් අන්‍යයන්ට ප්‍රයෝජනවත් විය හැකි, ඔවුන්ව ගොඩනැංවිය හැකි පැහැදිලි අංගලක්ෂණවලින් යුක්ත දෙයක් වන බැවිනි. කෙසේවෙතත්, ආත්මිකව දියුණුවක් ලබාගැනීමට අප උත්සාහ දරන්නේ අප උගත් හා ශාන්තදාන්ත අය බව මවාපෑමට නොවේ. ඒ වෙනුවට, දෙවිගේ ආත්මයේ මඟ පෙන්වීම අනුගමනය කරමින් ආත්මිකව වර්ධනයක් ලබත්ම, අපගේ ආකල්පයන් සහ ක්‍රියාවන් තුළ පුදුම දනවන වෙනස් වීමක් නැතහොත් පරිවර්තනයක් දැකගත හැකි වේ. ‘ආත්මයේ මඟ පෙන්වීම ඇතුව හැසිරෙන්න. එවිට ඔබ මාංසික තෘෂ්ණාවලට වසඟ වන්නේ නැත’ කියා ප්‍රේරිත පාවුල් පැවසුවේ එමනිසාය.—ගලාති 5:16, න. අ.
13. පුද්ගලයෙකු දියුණුවක් ලබන බවට පැහැදිලි ඇඟවීමක් වන්නේ කවර වෙනසද?
13 පාවුල් ඊළඟට “මාංසයේ ක්‍රියා” ලැයිස්තුගත කළේය. ඒවා බොහොමයක් “ප්‍රකාශව” තිබේ, එනම් පැහැදිලිව දැකගත හැකිය. පුද්ගලයෙකු දෙවිට ඕනෑ කරන දේ අගය කිරීමට පෙර, ඔහු තම ජීවිතය හැඩගසාගනු ලැබුණේ මේ ලෝකයේ මාර්ගයන්ට අනුකූලවය. ඇත්තෙන්ම පාවුල් සඳහන් කළ දේවලින් සමහරක් එම පුද්ගලයාගේ කලින් ජීවිත රටාවෙහි දක්නට තිබුණා විය හැක. ඒවා අතරට “වේශ්‍යාකම, අපවිත්‍රකම, සල්ලාලකම, රූප වැඳීම, මායාව, සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පක්ෂවාදිකම්, භේද, ලබ්ධි භේද, වෛර, බීමත්කම, මංගල්‍යඝෝෂා, සහ තවත් එවැනි දේවල්” ඇතුළත්ය. (ගලාති 5:19-21) එනමුත් ආත්මිකව දියුණුවක් ලබාගැනීමත් සමඟ, මෙම නොමනා “මාංසයේ ක්‍රියා” දමනය කරගැනීමේ හැකියාව ඔහුට ක්‍රමක්‍රමයෙන් ලැබෙන අතර, ‘ආත්මයේ ඵල’ නිපදවීමට එමගින් අවකාශ සැලසේ. කාටත් පෙනෙන මෙම වෙනස, පුද්ගලයෙකු ක්‍රිස්තියානි මේරූකම කරා දියුණුවක් ලබන බවට පැහැදිලි ඇඟවීමක් වේ.—ගලාති 5:22.
14. “මාංසයේ ක්‍රියා” සහ ‘ආත්මයේ ඵල’ යන යෙදුම් දෙක පැහැදිලි කරන්න.
14 මෙහිදී භාවිත කරන “මාංසයේ ක්‍රියා” සහ ‘ආත්මයේ ඵල’ යන යෙදුම් දෙකද අප සැලකිල්ලට ගත යුතුය. “ක්‍රියා” යනු යමෙකු කරන දෙයක ප්රතිඵලයයි. එනම් ඔහුගේ ක්‍රියාවලින් අත් වන දෙයයි. වෙනත් වචනවලින් කියනවා නම්, පාවුල් මාංසයේ ක්‍රියා ලෙස ලැයිස්තුගත කළේ පුද්ගලයෙකුගේ තේරීමක හෝ පව්කාර මාංසයේ බලපෑමක ප්‍රතිඵලයක් වශයෙන් අත් වන දේවල්ය. (රෝම 1:24, 28; 7:21-25) අනික් අතට, ‘ආත්මයේ ඵල’ යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? මෙහි ලැයිස්තුගත කර ඇති ගුණාංග පුද්ගලයෙකු තුළ දක්නට ලැබෙන්නේ ඔහු ස්වෝත්සාහයෙන් තමාගේ චරිතය වර්ධනය කරගැනීමට හෝ පෞද්ගලිකත්වය දියුණු කරගැනීමට සමත් වූ නිසා නොවේ. ඒ වෙනුවට එය, පුද්ගලයෙකු මත දෙවිගේ ආත්මය ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් වේ. ගසකට නිසි ලෙස සාත්තු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඵල දරන්නාක් මෙන්, පුද්ගලයෙකුගේ ජීවිතය තුළ ශුද්ධාත්මය නිදහසේ ගලා යන විට ඔහුට ශුද්ධාත්මයේ ඵල නිපදවීමට හැකි වේ.—ගීතාවලිය 1:1-3.
15. ‘ආත්මයේ ඵල’ ගත් කල, එහි පැති සියල්ලටම අවධානය යොමු කිරීම වැදගත් වන්නේ මන්ද?
15 පාවුල් “ඵල” යන වචනය භාවිත කර ඇති ආකාරය සලකා බැලීමද වටී. ඒ යටතේ වර්ධනය කරගත යුතු සිත්ගන්නාසුලු ගුණාංග සියල්ලක්ම ලැයිස්තුගත කර ඇත. ඉන් අදහස් කරන්නේ අප වඩාත් කැමති ඵල පමණක් තෝරාගැනීමට හැකි වන සේ ආත්මය විවිධාකාර ඵල රාශියක් නිපදවන බව නොවේ. ඊට “නිපදවන ඵල සියල්ල” යන අදහස ඇත. පාවුල් ලැයිස්තුගත කළ ඵල සියල්ල එනම්, ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, ඇදහිල්ල, මෘදුකම සහ ආත්ම-දමනය එක හා සමාන වැදගත්කමකින් යුක්තය. ඒ ගුණාංග සියල්ලම විදහාපෑමේ ප්‍රතිඵලයක් වශයෙන් අලුත් ක්‍රිස්තියානි පෞද්ගලිකත්වය ගොඩනැඟේ. (එපීස 4:24; කොලොස්සි 3:10) අපගේ පෞද්ගලිකත්වය සහ මානසික නැඹුරුවාවන් හේතුවෙන් අපගේ ජීවිතයේ මෙම ගුණාංගවලින් සමහරක් වැඩියෙන් දැකගත හැකි බව ඇත්තය. එනමුත්, පාවුල් සඳහන් කළ මෙම ඵල සියල්ලටම එනම් එහි පැති සියල්ලටම එක හා සමාන අවධානයක් දීම වැදගත් වේ. එසේ කිරීමෙන් අපගේ ජීවිතය තුළ ක්‍රිස්තුස්ගේ පෞද්ගලිකත්වය වඩාත් පූර්ණ ආකාරයකින් පිළිබිඹු කිරීමට අපට හැකි වේ.—1 පේතෘස් 2:12, 21.
16. ක්‍රිස්තියානි මේරූකම අත් කරගැනීමට අප උත්සාහ කරන්නේ කුමන පරමාර්ථය ඇතුවද? එම පරමාර්ථය අත් කරගත හැකි වන්නේ කෙසේද?
16 පාවුල්ගේ මෙම සාකච්ඡාවෙන් අපට ගත හැකි වැදගත් පාඩම කුමක්ද? ඔව් අප ක්‍රිස්තියානි මේරූකම කරා ළඟාවීමට උත්සාහ දරන්නේ අවබෝධය මෙන්ම මහත් දැනුම් සම්භාරයක් රැස් කරගැනීමටවත්, අපගේ ගතිගුණ සම්බන්ධයෙන් යම් පුහු මවාපෑමක් කිරීමටත් නොවේ. අපගේ පරමාර්ථය වන්නේ අපගේ ජීවිතය තුළ දෙවිගේ ආත්මය නිදහසේ ගලා යනවා දැකීමයි. අපගේ සිතුවිලි සහ ක්‍රියාවන් දෙවිගේ ආත්මයේ මඟ පෙන්වීමට අනුකූල වන තරමටම අපගේ ආත්මික මේරූකමද මැනිය හැක. එම පරමාර්ථය ඉටු කරගත හැකි වන්නේ කෙසේද? දෙවිගේ ආත්මයේ බලපෑමට අපගේ හදවත සහ මනස විවෘත කිරීම අවශ්‍යය. ඒ සඳහා අප විශ්වාසවන්තව ක්‍රිස්තියානි රැස්වීම්වලට ගොස් සහභාගි විය යුතුය. එමෙන්ම දෙවිගේ වචනය නිතිපතා අධ්‍යයනය කරමින්, ඒ ගැන මෙනෙහි කළ යුතුය. ඉන් අදහස් කරන්නේ අප අනුන් සමඟ කටයුතු කරද්දී, තේරීම් කරද්දී සහ තීරණ ගනිද්දී දේවවචනයෙහි ප්රතිපත්තිවල මඟ පෙන්වීමට අවනත විය යුතු බවයි. ප්‍රතිඵලයක් වශයෙන් අපගේ දියුණුව පැහැදිලිව දැකගත හැකි වේ.
දෙවිට ගෞරවය ගෙන දීම සඳහා දියුණු වෙමු
17. දියුණුවක් ලැබීම, අපගේ ස්වර්ගික පියාණන්ව ගෞරවයට පත් කිරීම හා සම්බන්ධ වන්නේ කෙසේද?
17 අප ලබන දියුණුවේ කෙළවර කුමක්ද? එය අපට නොව, නමුත් ආත්මික මේරූකම නමැති ඉලක්කය අත් කරගැනීමට අපට මඟ සලසන අපගේ ස්වර්ගික පිය වූ යෙහෝවාට ප්‍රශංසාව හා ගෞරවය ගෙන දීමට හේතු වේ. යේසුස්ගේ මරණයට කලින් රාත්රියේදී ඔහු තම ගෝලයන්ට මෙසේ පැවසීය. ‘මාගේ පියාණන්ට ගෞරව ලැබෙන්නේ නුඹලා විසින් බොහෝ ඵල දැරීමෙන්ය; මෙසේ නුඹලා මාගේ ගෝලයෝ වන්නෝය.’ (යොහන් 15:8) ආත්මයේ ඵල දැරීම මාර්ගයෙන්ද, රාජ්‍යය පිළිබඳව දේශනා කිරීම තුළින් ඵල දැරීමෙන්ද ගෝලයෝ යෙහෝවාට ගෞරවය ගෙන දුන්නෝය.—ක්‍රියා 11:4, 18; 13:48, NW.
18. (අ) දැන් සිදු වෙමින් පවතින්නේ කුමන ප්‍රීතිමත් අස්වනු නෙළීමේ කර්තව්‍යයද? (ආ) නෙළමින් සිටින මෙම අස්වැන්න හේතුවෙන් මුහුණ දීමට සිදු වන අභියෝගය කුමක්ද?
18 අදදින, සමස්ත ලෝක පරිමාණයකින් ආත්මික අස්වැන්නක් නෙළීමේ කර්තව්‍යයක නිරත වී සිටින යෙහෝවාගේ සේවකයන්ට ඔහුගේ ආශීර්වාද ලැබෙන බවට පැහැදිලිය. දැන් වසර කිහිපයක සිට, වසරකදී 3,00,000ක් පමණ යෙහෝවාට කැප වන අතර, ඔවුහු එම කැපවීම ජලයෙන් බව්තීස්ම වීම තුළින් සංකේතවත් කරති. මෙය අපව සතුටට පත් කරනවා පමණක් නොව, යෙහෝවාගේ සිත ප්‍රීතිමත් කරන බවටද සැකයක් නොමැත. (හිතෝපදේශ 27:11) එනමුත් මෙයින් දිගටම යෙහෝවාව ප්‍රීතියට සහ ප්‍රශංසාවට පත් කරන්න නම්, මෙම නවකයන් ‘ක්‍රිස්තුස් සමඟ දිගටම එක්සත්කමින් ගමන් කළ යුතු’ අතර, ‘ඔහු තුළ මුල් ඇද ගොඩනැඟී ඇදහිල්ලෙහි ස්ථාවරත්වයක් ලබාගත’ යුතුය. (කොලොස්සි 2:6, 7, NW) එමනිසා දෙවිගේ ජනයා ඉදිරියෙහි දෙවැදෑරුම් අභියෝගයක් තිබේ. ඔබ ළඟදී බව්තීස්ම වූ නවකයෙක් නම්, ‘ඔබේ දියුණු වීම සියල්ලන්ට පෙනෙන පිණිස’ වෑයමක් දැරීමේ අභියෝගය භාරගැනීමට ඔබ කැමතිද? අනික් අතට, ඔබ යම් කාලයක් පුරා සත්‍යයෙහි සිට ඇත්නම්, නවකයන්ගේ ආත්මික ශුභසිද්ධිය ගැන සැලකිලිමත් වීමේ අභියෝගය භාරගැනීමට ඔබ කැමතිද? ඔබේ තත්වය කුමක් වුවත් මේරූකම කරා දියුණු වීමේ අවශ්‍යතාවක් තිබෙන බව පැහැදිලිය.—පිලිප්පි 3:16, න. අ.; හෙබ්‍රෙව් 6:1.
19. ඔබේ දියුණුව දකින්නට සලස්වනවා නම් ඔබට ලැබිය හැකි වරප්‍රසාදය සහ ආශීර්වාද මොනවාද?
19 තම දියුණුව දකින්නට සලස්වන්න වෙහෙස මහන්සි වන සියලුදෙනාට මහඟු ආශීර්වාද බලාපොරොත්තු විය හැක. මෙහිදී පාවුල් තිමෝතිට දියුණු වන්න කියා උනන්දු කළ විට ඔහු දුන් දිරිගැන්වීමද සලකා බැලීම වටී. “ඔබ කෙරෙහිත් ඔබේ ඉගැන්වීම කෙරෙහිත් නිරතුරු අවධානයක් දෙන්න. ඒවායේ පවතින්න. මක්නිසාද ඔබ එසේ කිරීමෙන් ඔබවද ඔබේ වචන අසන්නන්වද ගළවාගන්නේය.” (1 තිමෝති 4:16, NW) ඔබේ දියුණුව දැකීමට සැලැස්වීම සඳහා කඩිසරව වැඩ කිරීමෙන්, දෙවිගේ නාමය මහිමවත් කිරීමේ වරප්‍රසාදයට ඔබට හවුල් විය හැකි අතර, ඔහුගේ ආශීර්වාද භුක්ති විඳීමටද ඔබට පුළුවන.
ඔබට මතකද?
• ආත්මික මේරූකම පැහැදිලිව දැකගත හැක්කේ කවර පැතිවලින්ද?
• කෙනෙකුට මේරූකම තිබෙන බව පිළිබිඹු වන්නේ කුමනාකාරයේ දැනුමක් සහ අවබෝධයක් තුළින්ද?
• ‘ආත්මයේ ඵල’ නිපදවීම ආත්මික දියුණුවක් ලබා ඇති බවට සාක්ෂියක් වන්නේ කෙසේද?
• අප මේරූකම නමැති ඉලක්කය අත් කරගැනීමට උත්සාහ දරන විට භාරගත යුත්තේ කවර අභියෝගයද?
[13වන පිටුවේ පින්තූරය]
ඉදුණු පලතුරක් මෙන් මේරූකමද පහසුවෙන් දැකගත හැකිය
[15වන පිටුවේ පින්තූරය]
අප ආත්මිකව දියුණුවක් ලබන්නේ හෙළි කරන සත්‍යය සමඟ සමගාමීව ගමන් කිරීමෙනි
[17වන පිටුවේ පින්තූරය]
‘ආත්මයේ ඵල’ නිපදවීමට යාච්ඤාව අපට උපකාරවත් වේ