පස්වෙනි පරිච්ඡේදය
ඔබේ මිතුරන් කවුරුන්ද?
1, 2. (අ) අපට අන් අයගෙන් එල්ල වන අභියෝග මොනවාද? (ආ) මිතුරන් තෝරාගැනීම සම්බන්ධයෙන් යෙරෙමියා තැබූ ආදර්ශය සලකා බැලීම වටින්නේ ඇයි?
එදිනෙදා ජීවිතයේ අපට විවිධ පුද්ගලයන්ව ආශ්‍රය කිරීමට සිදු වන නිසා විවිධ අභියෝගවලට මුහුණ දීමට අපට සිදු වෙනවා. උදාහරණයකට රැකියා ස්ථානයේ හෝ පාසැලේ අප ආශ්‍රය කරන අය හෝ අපේ අසල්වාසීන් උපන් දින සාදයකට අපට ආරාධනා කළ හැකියි. රැකියා ස්ථානයේ ස්වාමියා යම් නීති විරෝධී දෙයක් කරන්න කියා හෝ බොරුවක් පවසන්න කියා අපට බල කළ හැකියි. එසේත් නැත්නම් දේශපාලන කටයුතුවලට හෝ යුද්ධවලට සම්බන්ධ යම් දේවලට හවුල් වන්න කියා ආණ්ඩු බලධාරීන් අපට නියෝග කළ හැකියි. එවැනි කිසිම දෙයකට අප හවුල් නොවන නිසා නින්දා අපහාසවලට හෝ වධ හිංසාවලට පවා මුහුණ දෙන්න අපට සිදු වෙයි.
2 යෙරෙමියාටත් විවිධ පුද්ගලයන්ව ආශ්‍රය කිරීමට සිදු වූ නිසා ඔහුත් ඒ හා සමාන අභියෝගවලට මුහුණ දුන්නා. සමහර අය ඔහු කරමින් සිටි සේවය නතර කිරීමට පවා උත්සාහ කළා. නමුත් ඔහු කොයිම අවස්ථාවකදීවත් එවැනි අයව තම කිට්ටු මිතුරන් ලෙස සැලකුවේ නැහැ. ඒ නිසා දිගටම දෙවිට විශ්වාසවන්තව සිටීමට ඔහුට හැකි වුණා. ඔහු තම කිට්ටු මිතුරන් ලෙස තෝරාගත්තේ දෙවිට විශ්වාසවන්තව සිටිමින් ඔහුගේ පැවරුම ඉටු කිරීමට ඔහුට උපකාර කළ අයව පමණයි. ඒ නිසා මිතුරන් තෝරාගැනීම සම්බන්ධයෙන් අපට යෙරෙමියාගෙන් වටිනා පාඩමක් ඉගෙනගත හැකියි.
මිතුරන් ලෙස ඔබ තෝරාගන්නේ කාවද?
3. ශෙදකියා රජ බලාපොරොත්තු වුණේ යෙරෙමියා කුමක් පවසයි කියාද? නමුත් යෙරෙමියා කළේ කුමක්ද?
3 බැබිලෝනිවරුන් යෙරුසලමට තර්ජනයක්ව සිටි කාලයේදී ශෙදකියා රජ අවස්ථා කිහිපයකදීම යෙරෙමියාව හමු වී යෙරුසලම සම්බන්ධයෙන් යෙහෝවා දෙවි පවසන්නේ කුමක්ද කියා විමසුවා. දෙවි මැදිහත් වී යූදා රාජ්‍යය ආරක්ෂා කරන බව යෙරෙමියා පවසයි කියා ඔහු බලාපොරොත්තු වුණා. රජ ඔහුගේ සේවකයන්ව යෙරෙමියා වෙතට යවමින් ඔහුගෙන් මෙසේද ඉල්ලා සිටියා. “බැබිලෝනියේ රජු වන නෙබුකද්රෙෂර් අපට විරුද්ධව යුද්ධයට සැරසෙන නිසා අපට කුමක් සිදු වෙයිද කියා යෙහෝවා දෙවිගෙන් විමසා අපට කියන්න. සමහරවිට යෙහෝවා දෙවි අතීතයේ කළාක් මෙන් අප වෙනුවෙන් මේ වතාවෙදීත් බලවත් ක්‍රියාවක් සිදු කරන්න ඉඩ තියෙනවා. දෙවි එසේ කළොත් බැබිලෝනියේ රජුට ආපසු හැරී යන්න සිදු වෙයි.” (යෙරෙ. 21:2) නමුත් යෙරෙමියා මාර්ගයෙන් යෙහෝවා දෙවි ශෙදකියා රජුට පැවසුවේ බැබිලෝනිවරුන්ට යටත් වන්න කියායි. ඔහු ඒ මඟ පෙන්වීම පිළිගත්තේ නැහැ. එක් විශාරදයෙක් ශෙදකියාව සමාන කරන්නේ “ලෙඩේ සනීප වෙයි කියන වචන අසන්න තිබෙන කැමැත්ත නිසා නිතර නිතර වෛද්‍යවරයා ළඟට ගියත් ඔහු නිර්දේශ කර තිබෙන බෙහෙත් නොගන්නා රෝගියෙකුටයි.” ශෙදකියා රජුව සතුටු කිරීම සඳහා යෙරුසලමට කිසිම දෙයක් වෙන්නේ නැහැ කියා යෙරෙමියාට පවසන්න තිබුණා. නමුත් ඔහු එසේ කළේ නැහැ. මන්ද යෙරුසලම අනිවාර්යයෙන්ම විනාශ වන බව ප්‍රකාශ කරන්න කියා දෙවි ඔහුට පවසා තිබුණා.—යෙරෙමියා 32:1-5 කියවන්න.
4. රැකියා ස්ථානයේ අයව ආශ්‍රය කරන විට අප කල්පනා කර බැලිය යුත්තේ කුමන කාරණය ගැනද?
4 එදිනෙදා ජීවිතයේදී අපට අසල්වාසීන්ව, රැකියා ස්ථානයේ හෝ පාසැලේ සිටින අයව ආශ්‍රය කිරීමට සිදු වෙනවා. නමුත් ඔවුන් යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම්වලට කොහෙත්ම කැමති නැත්නම් අපි එවැනි අයව අපේ කිට්ටු මිතුරන් කරගන්නවාද? යෙරෙමියා ගැන සිතා බලන්න. ශෙදකියා, යූදා දේශයේ රජුව සිටි නිසා ඔහුව කොහෙත්ම ආශ්‍රය නොකර සිටින්න යෙරෙමියාට පුළුවන්කමක් තිබුණේ නැහැ. නමුත් රජුගේ ප්‍රසාදය දිනාගැනීම සඳහා ඔහු දෙවිගේ කැමැත්තට විරුද්ධ දේවල් කළේ නැහැ. ඔහු දෙවි ප්‍රකාශ කරන්න කියා පැවසූ පණිවිඩය බාල කරමින් රජු සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගත්තා නම් රජු ඔහුට තෑගි බෝග රැසක් දී ඔහුට උසස් තනතුරක් පවා ලබා දෙන්න ඉඩ තිබුණා. ඔහුට පැමිණි පීඩා කරදරවලින් යම් සහනයක් අද්දකින්නත් අවස්ථාව තිබුණා. නමුත් ඒ කිසිම හේතුවක් නිසා දෙවිගේ මඟ පෙන්වීම් ප්‍රතික්ෂේප කර රජු සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගෙන දෙවි සමඟ තිබූ මිත්‍රත්වයට හානියක් කරගැනීමට යෙරෙමියා කැමති වුණේ නැහැ. අපටත් රැකියා ස්ථානයේ හෝ පාසැලේ සිටින අයගෙන් සම්පූර්ණයෙන්ම ඈත්ව සිටින්න බැහැ. (1 කොරි. 5:9, 10) නමුත් අප යම් වැදගත් කාරණයක් මතක තබාගත යුතුයි. එනම් එවැනි අයව අපි අපේ කිට්ටු මිතුරන් කරගත්තොත් යෙහෝවා දෙවි සමඟ අපට තිබෙන මිත්‍රත්වය කැඩී බිඳී යෑමට ඉඩකඩ තිබෙන බවයි.
බයිබල් ප්‍රතිපත්ති සැහැල්ලුවට ගන්නා අයව ඔබ මිතුරන් කරගන්නවාද?
5, 6. යෙරෙමියා කළ සේවය නතර කිරීමට ඇතමුන් කළේ මොනවාද?
5 ශෙදකියා රජුට අමතරව යෙරෙමියාගේ විශ්වාසවන්තකම බිඳ දැමීමට උත්සාහ කළ තවත් අය සිටියා. යෙරෙමියාට පහර දුන් පෂ්හූර් නම් පූජකයා ඔවුන්ගෙන් එක් කෙනෙක්.a (යෙරෙ. 20:2) තවත් අවස්ථාවකදී යූදාහි අධිපතීන්ගෙන් සමහරදෙනෙක්ද යෙරෙමියාට පහර දී සිරගෙයක තිබූ උමං කුටියක ඔහුව සිර කර තැබුවා. එහි සිටීම මොන තරම් දුෂ්කරද කියනවා නම් යෙරෙමියා සිතුවේ ඔහු එහිදී මිය යයි කියායි. (යෙරෙමියා 37:3, 15, 16, 20 කියවන්න.) යම් කාලයකට පසු එතැනින් නිදහස් වීමට යෙරෙමියාට හැකි වුණත් තවත් අධිපතීන් පිරිසක් ඔහුව මරා දැමීමට රජුගෙන් අවසර ඉල්ලා සිටියා. ඔවුන් සිතුවේ යෙරෙමියා ප්‍රකාශ කළ පණිවිඩ නිසා යූදාහි සිටි යුධ භටයන් අධෛර්යයට පත් වෙයි කියායි. රජුගේ අවසරය ඇතුව ඔවුන් යෙරෙමියාව මඩින් පිරී තිබූ ළිඳකට දැමුවා. (යෙරෙ. 38:1-4) කෙසේවෙතත් යෙරෙමියාව මරා දැමීමට ගත් ඒ උත්සාහයත් අසාර්ථක වුණා. යෙරෙමියා දෙවිගේ අනාගතවක්තෘවරයෙකු බව හොඳින්ම තේරුම්ගෙන සිටිය යුතු අයම එලෙස ඔහුට වධ හිංසා කිරීම ඇත්තෙන්ම පුදුමයක්!
6 යෙරෙමියාගේ උපන් ගම වන අනාතොත්හි වැසියන්ද එනම් ඔහුගේ අසල්වාසීන්ද ඔහුට කියා සිටියේ අනාවැකි පැවසීම නතර කළේ නැත්නම් ඔහුව මරා දමන බවයි. (යෙරෙ. 11:21) නමුත් යෙරෙමියා තම අසල්වාසීන්ව සතුටු කරනවා වෙනුවට තම කිට්ටුම මිතුරා වූ යෙහෝවා දෙවිව සතුටු කිරීම වැදගත් දෙයක් ලෙස සැලකුවා. බොරු අනාගතවක්තෘවරයෙකු වූ හනනියාගෙන්ද යෙරෙමියාට පීඩා කරදර පැමිණියා. බැබිලෝනියේ රජුට යටත්ව සිටියොත් යුදෙව්වන්ට තම ජීවිත බේරාගැනීමට හැකි වන බව පෙන්වීමට යෙරෙමියා වියගහක් කරේ තබාගෙන සිටියදී හනනියා පැමිණ එය කඩා බිඳ දැමුවා. ඉන්පසු ඔහු යෙරෙමියා පැවසූ පණිවිඩයට හාත්පසින්ම වෙනස් දෙයක් පවසමින් කියා සිටියේ, “බැබිලෝනියේ රජු ඔබ මත තැබූ වියගහ මම කඩා දමන්නෙමි” කියා යෙහෝවා දෙවි යුදෙව්වන්ට පැවසූ බවයි. නමුත් යෙරෙමියා ප්‍රකාශ කළ පණිවිඩය සත්‍යයක් බව පසුව ඔප්පු වුණා. (යෙරෙ. 28:1-11, 17) යෙරුසලම විනාශ වූ පසුත් දෙවි යෙරෙමියා මාර්ගයෙන් දුන් මඟ පෙන්වීම් පිළිගැනීමට යුදෙව්වන් කැමති වුණේ නැහැ. යූදා දේශයේම රැඳී සිටින්න කියා දෙවි දුන් මඟ පෙන්වීම ප්‍රතික්ෂේප කරමින් යෝහානාන් හා හමුදාවේ ප්‍රධානීන් යෙරෙමියාට මෙසේ චෝදනා කළා. “ඔබ ඔය කියන්නේ බොරුවක්. ‘විදේශිකයන් ලෙස ජීවත් වීම සඳහා ඊජිප්තු දේශයට යන්න එපා’ කියා සෙනඟට පැවසීමට අපේ දෙවි යෙහෝවා ඔබව එව්වේ නැහැ.” ඒ විතරක් නොවෙයි දෙවිට අකීකරු වී ඔවුන් ඊජිප්තුවට යන විට යෙරෙමියාවත් බාරුක්වත් ඔවුන් බලෙන්ම රැගෙන ගියා.—යෙරෙ. 42:1–43:7.
යෙරෙමියාට ආශ්‍රය කිරීමට සිදු වුණේ මොන වගේ අය සමඟද? ඔහුගේ ආදර්ශයෙන් ඔබට ඉගෙනගත හැක්කේ කුමක්ද?
7. යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටීමට ඔබට බාධාවක් විය හැක්කේ කුමක්ද?
7 වසර ගණනාවක් පුරා යෙරෙමියාට ජීවත් වීමට සිදු වුණේ යෙහෝවා දෙවිටවත් ඔහුගේ මඟ පෙන්වීම්වලටවත් කිසි ගෞරවයක් නොදැක්වූ මිනිසුන් අතරෙයි. ඒ නිසා එවැනි අය සමඟ මිත්‍රත්වයන් ඇති කරගැනීමට යෙරෙමියාට ඕනෑ තරම් ඉඩකඩ තිබුණා. අද දින අපටත් ආශ්‍රය කිරීමට සිදු වන සමහරදෙනෙක් එදා සිටි යුදෙව්වන් හා සමානයි. ඔබ යෙහෝවා දෙවිගේ සේවකයෙක් නිසා සමහර අය ඔබව දැඩි ලෙස හෙළාදැකිය හැකියි. සමහරක් අය දෙවිට නමස්කාර නොකළත් ඔවුන් යහපත් පුද්ගලයන් කියා ඔබට සිතෙන්න පුළුවන්. ඒ කුමක් වුණත් එවැනි අයව ඔබේ මිතුරන් කරගැනීම ඥානවන්ත දෙයක් කියා ඔබ සිතනවාද? යෙහෝවා දෙවිගේ අනාවැකි කෙරෙහි විශ්වාසයක් නැති එවැනි අයව ළඟින් ආශ්‍රය කිරීම සුදුසු දෙයක්ද? යෙරෙමියා අද සිටියා නම් දෙවිගේ මඟ පෙන්වීම් සුළුවට ගන්නා අයව හෝ මිනිසුන් කෙරෙහි විශ්වාසය තබන අයව ඔහුගේ මිතුරන් ලෙස තෝරාගනියිද? (2 ලේක. 19:2) කොහෙත්ම නැහැ. මන්ද දෙවිව අමතක කර මිනිසුන් කෙරෙහි විශ්වාසය තබන අයට සිදු වන දේ දෙවි යෙරෙමියාට පැහැදිලිව පවසා තිබුණා.—යෙරෙමියා 17:5, 6 කියවන්න.
8. ඔබේ සභාවේ සිටින සහෝදර සහෝදරියන්ට මුහුණ දීමට සිදු වන අභියෝග මොනවාද?
8 ව්‍යාපාරික කටයුතුවල නියැලෙන සමහර ක්‍රිස්තියානීන් ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කරගැනීම සඳහා ගනුදෙනුකරුවන් සමඟ වැඩි කාලයක් ගත කිරීම හොඳ දෙයක් කියා සිතනවා. ඒ නිසා ඔවුන් සමඟ විනෝද වීමට හෝ එක්ව ආහාර ගැනීමට සැලසුම් යොදනවා. නමුත් දෙවිට නමස්කාර නොකරන අය අතරේ නුසුදුසු කතාබහ හා සීමාව ඉක්මවා මත්පැන් පානය කිරීම සාමාන්‍ය දේවල් නිසා එවැනි අයව කිට්ටුවෙන් ආශ්‍රය කිරීම අනතුරුදායක නොවේද? එසේනම් තමන්ට හෝ තම ව්‍යාපාරයට යම් පාඩුවක් සිදු වුණත් දෙවිගේ ප්‍රතිපත්ති අනුගමනය නොකරන අයව කිට්ටුවෙන් ආශ්‍රය නොකිරීමට සමහරක් ක්‍රිස්තියානීන් තීරණය කර තිබීම පුදුමයක් නොවෙයි. ක්‍රිස්තියානීන්ට මුහුණ දීමට සිදු වන තවත් අභියෝගයක් වන්නේ වංකව ක්‍රියා කිරීමට රැකියා ස්ථානයේ සිටින අයගෙන් එල්ල වන බලපෑමයි. එවැනි බලපෑම්වලට හසු නොවී සිටීමට යෙරෙමියාගේ ආදර්ශය අපට මහඟු උපකාරයක්.
9. අන් අයගේ ප්‍රසාදය දිනාගැනීමට උත්සාහ කිරීම භයානක දෙයක් වන්නේ ඇයි?
9 දෙවිට විශ්වාසවන්තව සිටීමට යෙරෙමියා ගෙන තිබූ අදිටන නිසා සෙසු යුදෙව්වන් ඔහුට සමච්චල් කළා. (යෙරෙ. 18:18) නමුත් අන් අයගේ ප්‍රසාදය දිනාගැනීමට ‘වැඩිදෙනා ගමන් කරන මඟේ’ ගමන් කිරීමට ඔහු උත්සාහ කළේ නැහැ. (යෙරෙ. 8:5, 6) දෙවිගේ මඟ පෙන්වීම් ගණනකට නොගත් එවැනි අයව ආශ්‍රය කිරීමෙන් තම ආකල්ප දූෂ්‍ය විය හැකියි කියා තේරුම්ගත් යෙරෙමියා, සමහර අවස්ථාවලදී තනිව සිටීමට පවා තීරණය කළා. (යෙරෙමියා 9:4, 5; 15:17 කියවන්න.) අද දිනත් බොහෝදෙනෙක් ජීවත් වන්නේ එදා සිටි යුදෙව්වන් මෙන් යෙහෝවා දෙවි අනුමත නොකරන ආකාරයටයි. ඒ නිසා දෙවිට නමස්කාර කරන අය තම මිතුරන් ලෙස තෝරාගන්නේ කාවද යන්න ගැන ඉතා සැලකිලිමත් විය යුතුයි. එසේනම් මිතුරන් ලෙස අපට තෝරාගත හැක්කේ කාවද? ඒ සම්බන්ධයෙන්ද යෙරෙමියා තබන්නේ කදිම ආදර්ශයක්.
යෙරෙමියාගේ කිට්ටු මිතුරන් කවුරුන්ද?
10, 11. (අ) මිතුරන්ව තෝරාගැනීමේදී යෙරෙමියා සැලකිලිමත් වුණේ කුමන කාරණා ගැනද? (ආ) යෙරෙමියාගේ මිතුරන් කිහිපදෙනෙකුව නම් කරන්න. ඔවුන් සම්බන්ධයෙන් අප සලකා බලන්නේ කුමන ප්‍රශ්නද?
10 දුෂ්ට, වංක, අසාධාරණ, සැහැසික, අකාරුණික හා සැබෑ නමස්කාරය අත්හැර බොරු දෙවිවරුන්ට නමස්කාර කළ අයව යෙරෙමියා කොහොමටවත් අනුමත කළේ නැහැ. ඒ නිසා ඔහු එවැනි අයව තම මිතුරන් ලෙස තෝරා නොගත් බව නම් ස්ථිරයි. ඔහු සෙසු යුදෙව්වන්ගෙන් ඉල්ලා සිටියේ, ‘ඔබ ගමන් කරන දුෂ්ට මාවත්වලින් ඉවත් වී යහපත් ලෙස හැසිරෙන්න. ජනයෙනි, හරි මාර්ගයේ ගමන් කරන්න’ කියායි. (යෙරෙ. 18:11) යෙරුසලම විනාශ වූ පසුත් ඔහු යෙහෝවා දෙවිගේ “අතිමහත් ප්‍රේමය,” ‘ඔහු පෙන්වන දයාව’ හා ඔහුගේ “විශ්වාසවන්තකම” ගැන ප්‍රකාශ කළා. (විලා. 3:22-24) එයින්ද පැහැදිලි වන්නේ ඔහු තම මිතුරන් ලෙස තෝරාගැනීමට කැමති වුණේ යෙහෝවා දෙවිගේ ගතිලක්ෂණ අගය කළ, ඔහුට විශ්වාසවන්තව සිටි අයව බවයි.—යෙරෙමියා 17:7 කියවන්න.
11 යෙරෙමියා තම මිතුරන් ලෙස තෝරාගත් අය අතරට බාරුක්, සෙරායා, ඒබෙද්-මෙලෙක් හා ෂාපාන්ගේ පුත්‍රයන් ඇතුළත් වෙනවා. ඔවුන් මොන වගේ අයද? ඔවුන්ට යෙරෙමියා සමඟ තිබුණේ මොන වගේ මිත්‍රත්වයක්ද? ඔවුන් හොඳ මිතුරන් කියා පැවසිය හැක්කේ ඇයි? යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටීමට ඔවුන් යෙරෙමියාට උපකාර කළේ කෙසේද? එම ප්‍රශ්නවලට දැන් අපි පිළිතුරු සොයා බලමු.
12. (අ) යෙරෙමියා හා බාරුක් අතරේ තිබුණේ මොන වගේ සමානකම්ද? (78වෙනි පිටුවේ පින්තූරයද බලන්න.) (ආ) සෙරායා කියන්නේ කවුද? ඔහු ගැන අප දන්නේ මොනවාද?
12 පෙනෙන විදිහට යෙරෙමියා ළඟින්ම ආශ්‍රය කළේ නෙරියාගේ පුත්‍රයා වන බාරුක්වයි. දෙවි තමන්ට පැවසූ දේවල් ලියවිල්ලක සටහන් කිරීමට යෙරෙමියා යොදාගත්තේ ඔහුවයි. එසේ ලියවිල්ලක සටහන් කළ දේවල් සෙනඟ ඉදිරියෙත් ඉන්පසුව යූදාහි අධිපතීන් ඉදිරියෙත් කියවීමේ වගකීම යෙරෙමියා විශ්වාසවන්තව භාර දුන්නෙත් ඔහුටයි. (යෙරෙ. 36:4-8, 14, 15) යෙරෙමියා හා සමානව බාරුක්ටත් යෙහෝවා දෙවි පැවසූ දේවල් අනිවාර්යයෙන්ම ඉටු වන බවට ස්ථිර විශ්වාසයක් තිබුණා. යූදාහි කලබලකාරී වාතාවරණයක් පැවති අවුරුදු 18 පුරාම ඔවුන් දෙදෙනා එක හා සමාන දේවලට මුහුණ දුන්නා. ඔවුන් දෙදෙනාටම දෙවිගෙන් එක හා සමාන පැවරුමක් ලැබී තිබුණු අතර එය ඉටු කිරීමට ඔවුන් වෙහෙස මහන්සි වී එක්ව වැඩ කළා. යෙරෙමියාට මෙන් බාරුක්ටත් අන් අයගෙන් විවිධ පීඩා පැමිණි අතර සතුරන්ගේ අතින් බේරීම සඳහා සැඟවීමට පවා සිදු වුණා. ඊට අමතරව ඔවුන් දෙදෙනාවම යෙහෝවා දෙවි පෞද්ගලිකව දිරිගැන්වූවා. ශුද්ධ ලියවිල්ලේ බාරුක්ව ‘ලේකම්වරයෙකු’ ලෙස හඳුන්වා තිබෙන නිසා පෙනෙන විදිහට ඔහු පිටපත් කිරීමේ කාර්යයේ නියැලුණු යූදාහි පිළිගත් පවුලක කෙනෙකු විය හැකියි. ඔහුගේ සහෝදරයා වූ සෙරායාද ශෙදකියා රජුගේ මාලිගාවේ වැදගත් තනතුරක් හෙබවූ කෙනෙක්. බාරුක් මෙන් සෙරායාද දෙවිගෙන් ලැබුණු පණිවිඩ ප්‍රකාශ කිරීමට යෙරෙමියාට උපකාර කළා. (යෙරෙ. 36:32; 51:59-64) අසීරු අවදියකදී පවා තම පැවරුම ඉටු කිරීමට බාරුක්ගෙන් හා සෙරායාගෙන් ලැබුණු සහයෝගයෙන් යෙරෙමියා මහත් දිරිගැන්වීමක් ලැබූ බව නිසැකයි. ඔබ හා එක්ව යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කරන සෙසු සහෝදර සහෝදරියන්ගෙන් ඒ හා සමාන දිරිගැන්වීමක් ලබන්න ඔබටත් පුළුවන්.
මිතුරන් තෝරාගැනීම සම්බන්ධයෙන් යෙරෙමියාගෙන් අපට ඉගෙනගත හැක්කේ මොනවාද?
13. අසූතුන්වෙනි පිටුවේ පෙන්වා තිබෙන ලෙස ඒබෙද්-මෙලෙක් යෙරෙමියාට හොඳ මිතුරෙක් වුණේ කෙසේද?
13 ඒබෙද්-මෙලෙක් යෙරෙමියාගේ තවත් මිතුරෙක්. යූදාහි අධිපතීන් යෙරෙමියාව මරා දැමීමේ අදහසින් ඔහුව මඩින් පිරුණු ළිඳකට දැමූ විට ඔහුව බේරාගැනීමට ඉදිරිපත් වුණේ ඔහුයි. ඔහු ඉතා නිර්භීතව බෙන්ජමින් දොරටුව අසල වාඩි වී සිටි ශෙදකියා රජු වෙතට ගොස් යෙරෙමියාව බේරාගැනීමට රජුගෙන් අවසර ඉල්ලුවා. රජුගේ අවසරය ඇතුව ඔහු මිනිසුන් 30දෙනෙකු සමඟ යෙරෙමියාව බේරාගැනීමට එම ස්ථානයට ගියා. ඔහු එතරම් පිරිසක්ව රැගෙන යන්න ඇත්තේ යෙරෙමියාගේ සතුරන්ගෙන් යම් තර්ජනයක් එල්ල වෙයි කියා සිතූ නිසා විය හැකියි. (යෙරෙ. 38:7-13) යෙරෙමියා හා ඒබෙද්-මෙලෙක් කොතරම් කිට්ටුවෙන් එකිනෙකාව ආශ්‍රය කළාද කියා අප හරියටම දන්නේ නැහැ. නමුත් ඔවුන් දෙදෙනාටම යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් තිබූ නිසා ඔවුන් හොඳ මිතුරන් වන්න ඇති. යෙරෙමියා යෙහෝවා දෙවිගේ අනාගතවක්තෘවරයෙකු බව ඒබෙද්-මෙලෙක් දැන සිටියා. ඔහුට දෙවි ඉදිරියේ හරි දේ කිරීමට මහත් ආශාවක් තිබුණා. යෙරෙමියාව ළිඳේ දැමූ අධිපතීන් කළ දේ “ඉතා කෲර” දෙයක් කියා පැවසීමෙනුත් ඔහුට තිබූ තනතුර පවා අනතුරේ හෙළමින් යෙරෙමියාව බේරාගැනීමට ඉදිරිපත් වීමෙනුත් ඒ බව පැහැදිලියි. ඒබෙද්-මෙලෙක් යහපත් පුද්ගලයෙකු බව දෙවි ඔහුට දුන් මේ පොරොන්දුවෙන්ද තහවුරු වෙනවා. ‘ඔබ මා කෙරෙහි විශ්වාසය තැබූ නිසා යෙරුසලම විනාශ වන විට මම ඔබව ගලවාගන්නෙමි.’ (යෙරෙමියා 39:15-18 කියවන්න.) එවැනි කෙනෙකුව ඔබේ මිතුරා කරගැනීමට ඔබත් කැමති නැද්ද?
14. ෂාපාන්ගේ පවුලේ අය ගැන පැවසිය හැක්කේ මොනවාද? ඔවුන් යෙරෙමියාට සහයෝගය දැක්වූයේ කෙසේද?
14 ෂාපාන්ගේ පුතුන් තිදෙනාත් ඔහුගේ මුනුපුරාත් යෙරෙමියාගේ හොඳ මිතුරන් වුණා. ෂාපාන්ගේ පවුලේ සෑම කෙනෙකුම වගේ උසස් තනතුරු දැරූ අයයි. ෂාපාන්ද යොෂියා රජුගේ ලේකම් ලෙස සේවය කර තිබුණා. සතුරන් යෙරෙමියාව මරා දැමීමට උත්සාහ කළ පළමු අවස්ථාවේදී ‘ඔහුව ගලවාගත්තේ ෂාපාන්ගේ පුත්‍රයා වූ අහිකාම්’ විසිනුයි. (යෙරෙ. 26:24) තවත් අවස්ථාවකදී ෂාපාන්ගේ තවත් පුත්‍රයෙකු වූ ගෙමරියාත් ගෙමරියාගේ පුත්‍රයා වූ මිකායාත් යෙරෙමියාට උපකාර කළා. බාරුක් දෙවිගේ විනිශ්චයන් ඇතුළත් පණිවිඩ සෙනඟ ඉදිරියේ කියෙවූ විට එය අසාගෙන සිටි මිකායා, තම පියාට හා අනිකුත් අධිපතීන්ට ඒ ගැන දැනුම් දුන්නා. ඒ පණිවිඩ සම්බන්ධයෙන් යෙහෝයාකිම් රජු මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද කියා නොදැන සිටි නිසා යෙරෙමියාව හා බාරුක්ව ආරක්ෂා කිරීම සඳහා යම් පියවර ගැනීමට අධිපතීන්ට හැකි වුණේ මිකායා එසේ දැනුම් දුන් නිසයි. පසුව එම ලියවිල්ල රජු ඉදිරියේ කියෙවූ අවස්ථාවේ එහි සඳහන් දේ පිළිගැනීමට අකමැති වී රජු එය පුලුස්සා දැමීමට සූදානම් වූ විට ගෙමරියා හා තවත් කිහිපදෙනෙක් රජුව වැළැක්වීමට උත්සාහ කළා. (යෙරෙ. 36:9-25) යෙරෙමියා බැබිලෝනියේ වහලුන්ව සිටි යුදෙව්වන්ට අනාවැකි ඇතුළත් ලිපියක් යැව්වේ ෂාපාන්ගේ තවත් පුත්‍රයෙකු වූ එලාසා මාර්ගයෙනුයි. (යෙරෙ. 29:1-3) ඒ තොරතුරුවලින් පැහැදිලි වන්නේ ෂාපාන්ගේ පුත්‍රයන් තිදෙනා හා ඔහුගේ මුනුපුරා යෙරෙමියාට තම පැවරුම ඉටු කිරීමට මහත් ශක්තියක් වූ බවයි. ඔවුන් හොඳ මිතුරන් වුණේ එක හා සමාන කෑම බීමවලට ආශා වූ නිසාවත් විනෝදය සඳහා එක හා සමාන දේවල් කිරීමට කැමති වූ නිසාවත් නොව ඔවුන් සියලුදෙනාම යෙහෝවා දෙවිට ප්‍රේම කළ නිසයි.
යෙරෙමියා මෙන් හොඳ මිතුරන්ව තෝරාගන්න
15. මිතුරන් තෝරාගැනීම සම්බන්ධයෙන් යෙරෙමියා තැබූ ආදර්ශය කුමක්ද?
15 යෙරෙමියා දෙවිට ප්‍රේම කළ අයව තම මිතුරන් ලෙස සැලකූ අතර එසේ නොකළ අයව යම් දුරකට ආශ්‍රය කළත් ඔවුන්ව තම කිට්ටු මිතුරන් කරගත්තේ නැහැ. යූදාහි රජු, අධිපතීන්, බොරු අනාගතවක්තෘවරුන් හා හමුදාවේ ප්‍රධානීන් යන අය යෙරෙමියා ප්‍රකාශ කළ පණිවිඩය වෙනස් කරන්න කියා ඔහුට කොතරම් බලපෑම් කළත් ඔහු නොසැලී සිටියා. ඔහු ප්‍රකාශ කළ පණිවිඩ නිසා බොහෝදෙනාගේ අප්‍රසාදයට ඔහු ලක් වුණත් ඔහු සැලුණේ නැහැ. එවැනි අය සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමට යෙරෙමියාට කිසිදු වුවමනාවක් තිබුණේ නැහැ. ඔහුට අවශ්‍ය වුණේ යෙහෝවා දෙවි සමඟ තිබූ මිත්‍රත්වය රැකගැනීමටයි. ඒ වෙනුවෙන් ඕනෑම දෙයකට මුහුණ දීමට ඔහු සූදානමින් සිටියා. (විලාප ගී 3:52-59 කියවන්න.) කිට්ටු මිතුරන්ගෙන්ද ඒ සඳහා ඔහුට මහත් ශක්තියක් ලැබුණා.
16, 17. (අ) හොඳ මිතුරෙකුගෙන් ලැබිය හැකි උපකාර මොනවාද? (ආ) ඔබ කුමන රටක ජීවත් වුණත් හොඳ මිතුරන් සොයාගත හැක්කේ කොහෙන්ද?
16 ඒබෙද්-මෙලෙක්ට යෙහෝවා දෙවි කෙරෙහි ශක්තිමත් විශ්වාසයක් තිබුණා. යෙරෙමියාගේ ජීවිතය බේරාගැනීමට ඉදිරිපත් වූ ඔහු, ඉතා නිර්භීත කෙනෙක්. බාරුක්ද යෙරෙමියා සමඟ වැඩි කාලයක් ගත කරමින් ඔහුගේ පැවරුම ඉටු කිරීමට ඔහුට උපකාර කළා. ඒ හා සමාන වටිනා මිතුරන් අපටත් දෙවිට නමස්කාර කරන අය අතරින් සොයාගත හැකියි. ස්ථාවර පුරෝගාමියෙකු ලෙස සේවය කරන 20 හැවිරිදි කැමරොන් නම් සහෝදරියගේ අද්දැකීම සලකා බලන්න. ඇයට කාරා නම් මිතුරියක් සිටියා. කාරාත් පුරෝගාමි සේවයේ යෙදෙන සහෝදරියක්. ඔවුන් දෙදෙනා ප්‍රදේශ දෙකක ජීවත් වුණත් කාරා නිතරම ලිපි මාර්ගයෙන් හෝ දුරකථනය මාර්ගයෙන් කැමරොන්ගේ සුව දුක් විමසීමට අමතක කළේ නැහැ. කාරාගෙන් තමන් ලැබූ දිරිගැන්වීම අගය කරමින් කැමරොන් මෙසේ පැවසුවා. “මගේ අක්කා සත්‍යය අත්හැරලා ගියාම ඒක මට දරාගන්න ගොඩක් අමාරු වුණා. කාරා මගේ හැඟීම් තේරුම්ගත්තා. ඒ අමාරු කාලය පුරාම එයා මාත් එක්ක ඉඳලා මාව ශක්තිමත් කළා. කාරා නොහිටියා නම් මම ඒ තත්වයට කොහොම මුහුණ දෙයිද කියලා මම දන්නේ නැහැ. ඇත්තටම යෙහෝවා දෙවිට මගේ ජීවිතයේ පළමු තැන දෙන්න කාරාගෙන් මට ලැබුණේ ලොකු දිරිගැන්වීමක්.”
17 අපට හොඳම මිතුරන්ව සොයාගත හැක්කේ යෙහෝවා දෙවිට නමස්කාර කරන අය අතරිනුයි. ඔවුන් අපට වඩා වයසින් වැඩි වුණත් අඩු වුණත් අපේම වයසේ අය වුණත් අප අතරේ බොහෝ සමානකම් තිබෙනවා. අප සියලුදෙනාගේම විශ්වාසයන් එක හා සමානයි. අප සියලුදෙනාම උත්සාහ කරන්නේ දෙවි බලාපොරොත්තු වන ආකාරයට ජීවත් වීමටයි. අප හැමෝටම යෙහෝවා දෙවි කෙරෙහි ප්‍රේමයක් තිබෙනවා. අපට තිබෙන බලාපොරොත්තුවත් එක හා සමානයි. සමහරවිට අප එක හා සමාන පීඩා ප්‍රශ්න ගැටලු අද්දකිනවා විය හැකියි. එවැනි අයව අපේ කිට්ටු මිතුරන් කරගැනීම කොතරම් වටිනවාද! අපට එක්ව දේවසේවයේ හවුල් වීමට අවස්ථාව තිබෙනවා. අප යම් පීඩා ප්‍රශ්න ගැටලු අද්දකින විට අපව දිරිගන්වමින් ශක්තිමත් කිරීමට ඔවුන්ට හැකියි. අපටත් ඒ දේම ඔවුන් වෙනුවෙන්ද කළ හැකියි. දෙවිට සේවය කිරීමෙන් අප ආශීර්වාද ලබන විට එවැනි මිතුරන් අප හා එක්ව ඒ ගැන අවංකවම සතුටු වෙනවා. ඇත්තෙන්ම එවැනි මිත්‍රත්වයන් ඇති කරගැනීමෙන් දැනුත් සදහටමත් බොහෝ ආශීර්වාද අද්දැකිය හැකියි.—හිතෝ. 17:17; 18:24; 27:9.
18. මිතුරන් තෝරාගැනීම සම්බන්ධයෙන් යෙරෙමියාගෙන් ඔබ ඉගෙනගත්තේ මොනවාද?
18 මිතුරන් තෝරාගැනීම සම්බන්ධයෙන් අපට ඉගෙනගත හැකි පාඩම ඉතා පැහැදිලියි. දෙවිගේ ප්‍රතිපත්ති සැහැල්ලුවට ගන්නා අයව අපේ මිතුරන් කරගැනීමෙන් අපට කිසි හානියක් සිදු වන්නේ නැහැයි කියා කිසිවිටක සිතන්න එපා. වැඩිදෙනාගේ පිළිගැනීම තමන්ට නොලැබුණත් යෙරෙමියාට වුවමනා වුණේ දිගටම දෙවිට විශ්වාසවන්තව සිටිමින් තම පැවරුම ඉටු කිරීමටයි. ඒ නිසා ඔහු තම කිට්ටු මිතුරන් ලෙස තෝරාගත්තේ දෙවි කෙරෙහි ශක්තිමත් විශ්වාසයක් තිබූ, තම පැවරුම ඉටු කිරීමට සහයෝගය දුන් අයවයි. මිතුරන්ව තෝරාගැනීමේදී යෙරෙමියාව ආදර්ශයට ගැනීම කොතරම් ඥානවන්තද!—හිතෝ. 13:20; 22:17.
මිතුරන් ලෙස ආශ්‍රය කළ යුත්තේ කාවද හා නොකළ යුත්තේ කාවද කියා තීරණය කිරීමට යෙරෙමියාගේ ආදර්ශය ඔබට උපකාරවත් වන්නේ කෙසේද?
a බොහෝදුරට ඔහු ඒ අවස්ථාවේදී යෙරෙමියාට පහරවල් 39ක් ගසන්න ඇති.—ද්වි. 25:3.