“අපට කොහොමවත් එකට කථා කරන්ට බැහැ වගේ!”
නීතිඥයෙක් වූ මයිකල්, බලපෑමෙන් යුක්ත ව අදහස් හුවමාරු කරන්නෙක් ව සිටිය යුතු විය. ඔහුගේ රැකියාව අනුව අනිවාර්යයෙන් ම ඔහු එසේ කළ යුතු විය. එහෙත් වසර 16ක් විවාහ වී සිටීමෙන් පසු, නිවසේ සිටින සිය බිරිඳ වන ඒඩ්රියෑන් කරා පැමිණි විට, තමාගේ අදහස් හුවමාරු කිරීමේ දක්ෂතාවය අතුරුදහන් වන බවක් පෙනෙන්නට තිබූ බව මයිකල්ට පිළිගැනීමට සිදු විය. “දොස් පවරමින් ද, සුළු දේවල් ගැන නිතර නිතර විවේචනය කරමින් ද, ඇනුම් පද කියමින් ද, ඒඩ්රියෑනුත් මාත් කලහාකාරී ව අප්රියත්වයකින් කල් ගෙවූ අතර එය අප ව අධික වෙහෙසට පත් කරන්නට යන්නේ යයි මම කල්පනා කළා” යනුවෙන් මයිකල් සිහිපත් කරයි. “විවාහය කියන්නේ නොසෑහීමේ හා කුපිත කරවීමේ අඛණ්ඩ අරගලයක් දැයි මම කල්පනා කළා. මින් මත්තට අප එකට ගත කරන ජීවිතයේ දී මෙය අත්දැකීමට තිබුණි නම්, මට විවාහය අවසන් කරන්නට ඕනෑ වුණා—විහිළුවක් නොවෙයි. මට එයාකාරයෙන් ම වසර 20ක්, 30ක්, 40ක් පුරා අඛණ්ඩ කුපිත කරවීමකට හා නොඉවසුම් ගතියකට මුහුණ දෙන්නට බැහැ.”
මෙවැනි අදහස් කිසිලෙසකින්වත් මයිකල් හා ඒඩ්රියෑන්ට පමණක් සීමා නොවනු ඇත. මේවා තමන්ගේ සම්බන්ධතාවය තුළ මාරුවෙන් මාරුවට සටන් කිරීම් හා සටන් විරාමයන් පවතින බොහෝ යුවළයන් සම්බන්ධයෙන් සැබෑවක් වේ. සරලතම අදහස් හුවමාරුව වාචික සටන් වැදීමක් බවට ප්‍රවර්ධනය වේ. ඔවුන්ගේ කන්වලට නොපවසන ලද දෑ “ඇසේ.” ඔවුහු අදහස් නොකරන ලද දෑ පවසති. ඔවුහු වචනින් පහර දෙති, එමෙන් ම චෝදනා කරති, අනතුරුව අමනාපයෙන් නැහැවුණු නිශ්ශබ්දතාවයකට පා තබති. ඔවුහු වෙන් නොවූවද, ඔවුහු සැබවින් ම “එක මාංසයක්” නොවන්නෝ ය. (උත්පත්ති 2:24) සම්බන්ධතාවය සම්පූර්ණයෙන් ම අවහිර වී ඇත. ආපසු හැරී යාම වෙන් වීමක් ලෙස අදහස් කරනු ඇත; ඉදිරියට යෑම වැඩිදුරටත් වෙනස්කම්වලට මුහුණ දීමක් අදහස් කරනු ඇත. මෙවන් ඕනෑ ම තේරීමක් කිරීමෙන් අත්දැකිය හැකි වේදනාව මඟ හැරීමට, මෙවන් යුවළයන් එකිනෙකාගෙන් චිත්ත වේගීය වශයෙන් දුරස් ව සිටීමෙන් සෑහීමට පත් වෙති.
මෙවන් යුවළයන් සිය විවාහය තුළ ‘දක්ෂ මඟ පෙන්වීම ලබා ගැනීම’ අවශ්‍ය ය. (හිතෝපදේශ 1:5, NW) මෙම මඟ පෙන්වීම දේව වචනය වන බයිබලයෙන් ලබා ගන්නට පුළුවන. තිමෝතිට ලියූ පාවුල්ගේ දෙවන ලිපිය, බයිබලය “ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්” වන බව සහතික කරයි. (2 තිමෝති 3:16) අප දකින්නට යන ලෙසින්, මෙය ඇත්තෙන් ම විවාහය තුළ අදහස් හුවමාරුවේ බිඳ වැටීම, යළි ගොඩනැගීම සම්බන්ධයෙන් ද සැබෑවකි.