ක්‍රිස්තියානින් විසින් වයසක අයට උපකාර කළ හැකි ආකාරය
“අපි ක්ලාන්ත නොවමුව; අපේ පිටත මනුෂ්‍යයා ක්ෂයවෙන නුමුත්, අපේ ඇතුල් මනුෂ්‍යයා දවසින් දවස අලුත්කරනු ලබන්නේය. . . . [අපි] පෙනෙන දේ නොව නොපෙනෙන දේ බලා [සිටිමු] . . . මක්නිසාද පෙනෙන දේ කාලිකය; නොපෙනෙන දේ සදාකාලිකය.” මෙසේ කියා සිටියේ ප්‍රේරිත පාවුල් කොරින්තිවරුන්ට ලියූ සිය දෙවන ලිපිය තුළ ය.—2 කොරින්ති 4:16-18.
පුරාතන කාලවල, ඇදහිල්ලේ සිටි පුරුෂයෝ හා ස්ත්‍රීහු නොපෙනෙන දේවල් කෙරෙහි බලා සිටියහ. තමන්ගේ දෙවි වූ යෙහෝවඃ වහන්සේ තමන්ගේ නියමිත කාලයේ දී කරන්නට පොරොන්දු දී තිබූ දේවල් සියල්ල මෙයට ඇතුළත් විය. හෙබ්‍රෙව් පොතේ, තමන්ගේ මරණය දක්වා සිය ඇදහිල්ල පවත්වා ගත්, එවන් අය ගැන පාවුල් උසස් ලෙස කථා කරයි—තව ද ඔවුන්ගෙන් සමහරෙක් බොහෝ මහලු වන තුරු ජීවත් වූහ. අපට ආදර්ශයක් ලෙස ඔහු ඔවුන්ට යොමු දක්වමින් පවසන්නේ, “මොවුන් සියල්ලෝ පොරොන්දු නොලැබ, දුරදී ඒවා දැක ප්‍රසන්නවී, පොළොවෙහි තමන් විදේශීන්ද ආගත්රැකයන්ද බව කියාදී, ඇදහිල්ල ඇතුව මැරුණෝය” යනුවෙනි.—හෙබ්‍රෙව් 11:13.
අද දින මෙම පොරොන්දුවල ඉෂ්ට වීමට තදාසන්න කාලයක අපි ජීවත් වන්නෙමු. එහෙත් මෙම දුෂ්ට පිළිවෙළේ අවසානය දැකීමට තමන් පුද්ගලික ව ම ජීවත් වනු ඇතැයි ස්ථිරත්වයක් නොදැනෙන රෝගී හා වයස්ගත අය අප අතර සිටිති. තමන්ගේ වර්තමාන ආයුකාලය තුළ මේ සියලු පොරොන්දු ඉෂ්ට වෙනවා නොදැක ඇතැම් විට මොවුන්ගෙන් සමහරෙක් ද ඇදහිල්ල තුළ මිය යන්නට පුළුවන. එවන් අයට 2 කොරින්ති 4:16, 18 හි ඇති ඉහත උපුටා දක්වන ලද පාවුල්ගේ වදන් මහත් දිරිගැන්වීමක් විය හැක.
වයස්ගත හා රෝගී අය ද ඇතුළු ව, ස්වකීය පක්ෂපාත සියල්ලන් ව යෙහෝවඃ වහන්සේ සිහි කරන සේක. (හෙබ්‍රෙව් 6:10) ඇදහිලිවන්ත වයස්ගත අය ව බයිබලයේ ස්ථාන කීපයක ගෞරවනීය ලෙස සඳහන් කර ඇති අතර මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ, මහලු අයට පෙන්විය යුතු ගෞරවය ගැන විශේෂාකාර සඳහනක් කර ඇත. (ලෙවී කථාව 19:32; ගීතාවලිය 92:12-15; හිතෝපදේශ 16:31) මුල් ක්‍රිස්තියානින් අතර, වයස්ගත අය ව වැදගත් කොට සලකනු ලැබී ය. (1 තිමෝති 5:1-3; 1 පේතෘස් 5:5) වයස්ගත වෙමින් සිටි තමාගේ නැන්දම්මාට යෞවන කාන්තාවක් විසින් පෙන්වන ලද ප්‍රේමනීය සැලකිල්ල හා සිත් ගන්නා ආත්ම පරිත්යාගිත්වය පිළිබඳ අලංකාර විස්තරයක් එක් බයිබල් පොතක අඩංගු වේ. එම පොත, සුදුසු ලෙස එම යෞවන කාන්තාවගේ නාමය වන රූත්ගේ කථාව යන නාමය දරයි.
කැප වූ උපකාර කරන්නියක්
වයස්ගත වෙමින් සිටි නායොමිගේ ජීවිතය දුෂ්කර එකක් ව තිබුණි. හට ගත් සාගතයක් නිසා සිය මිත්‍රයන් හා උරුමය යුදාවේ අත්හැර දමා, වාසය පිණිස සිය කුඩා පවුලත් සමඟ යොර්දානයට නැගෙනහිර දිසාවේ පිහිටි මෝවබ් දේශයට යන්නට ඇයට සිදු විය. මෙහිදී තමන්ගේ පුත්‍රයන් දෙදෙනා සමඟ ඇය ව තනි කරමින් ඇයගේ ස්වාමිපුරුෂයා මිය ගියේ ය. මොවුනුත්, කාලයාගේ ඇවෑමෙන්, වැඩී විවාහ වුවද, අනතුරුව ඔවුහු ද මිය ගියහ. තමා ව බලා ගන්නට උරුමක්කාරයෙක් නැති තත්ත්වයෙන් නායොමි තනි කරනු ලැබුවා ය.
අලුත් පවුලක් පටන් ගන්නට ඇය ඉතා මහලු තත්ත්වයක සිටි අතර ජීවිතය බලාපොරොත්තු නැති තත්ත්වයකට පත් වන්නට විය. තමන්ට ස්වාමිපුරුෂයන් සොයා ගනු පිණිස, පරාර්ථකාමී ව, ඇය සිය පුත්‍රයන් දෙදෙනාගේ වැන්දඹුවන් වන රූත් හා ඔර්පා යළි තමන්ගේ මව්වරුන්ගේ නිවෙස්වලට යැවීමට වෑයමක් දැරුවා ය. තනි ව තමාගේ දේශයට හැරී එන්නට ඇය කල්පනා කළා ය. විශේෂාකාරයෙන් තමන් බොහෝ සේ ප්‍රේම කරන අය මරණයෙන් තමන්ට අහිමි වී ඇත්නම්, අද දිනත්, ඇතැම් මහලු අයට බලාපොරොත්තු රහිත භාවයක් දැනේ. නයොමි මෙන්, ඔවුන් ව බලා ගැනීමට ඔවුන්ට යමෙක් අවශ්‍ය විය හැකි වුවත්, බරක් වන්නට ඔවුන්ට වුවමනාවක් නැත.
කෙසේ වෙතත්, රූත් ඇයගේ නැන්දම්මා ව තනි කළේ නැත. ඇය වයස්ගත මෙම කාන්තාවට ප්‍රේම කළ අතර, නායොමි විසින් නමස්කාර කරන ලද දෙවියන් වහන්සේ වන යෙහෝවඃ වහන්සේට ප්‍රේම කළා ය. (රූත් 1:16) එනිසා, එක් ව ඔවුන් හැරී යුදාවට එන්නට පිටත් වූහ. එම දේශයේ අස්වැන්න එකතු කිරීමෙන් පසු යෙහෝවඃ වහන්සේගේ ව්‍යවස්ථාව යටතේ කෙතේ අත්හරින ලද ඕනෑ ම දෙයක් දිළිඳු අයට අහුලන්නට හෝ එකතු කර ගන්නට හැකි කරවන ප්‍රේමනීය වැඩ පිළිවෙළක් තිබුණි. යෞවන ව සිටි රූත්, “කරුණාකර මට යන්නට අවසර දෙන්න” යයි පවසමින්, කැමැත්තෙන් ම මෙම වැඩය කරන්නට ඉදිරිපත් වූවා ය. ඇය වෙහෙස නොබලා ඒ දෙදෙනාගේ ප්‍රයෝජනය පිණිස වැඩ කළා ය.—රූත් 2:2, 17, 18, NW.
යෙහෝවඃ වහන්සේ සඳහා රූත්ගේ ඇදහිලිවන්තකම හා ප්‍රේමය නායොමිට දැඩි දිරිගැන්වීමක් වූ අතර ඇය ඒකාන්ත හා වර්ධනාත්මක ආකාරයකට කල්පනා කරන්නට පටන් ගත්තා ය. ව්‍යවස්ථාව පිළිබඳ හා දේශයේ සිරිත් විරිත් පිළිබඳ ව ඇගේ දැනුම මෙහිදී ප්‍රයෝජනවත් විය. එම යෞවන කාන්තාව, වැන්දඹුවක් හැටියට යළි විවාහ වීමෙන් පවුලේ උරුමය නැවත ලබා, පෙළපතේ නාමය ඉදිරියට ගෙන යාමට පුත්‍රයෙක් ලැබිය හැකි ලෙසින්, ඇය තමාගේ කැප වූ උපකාර කරන්නියට ඥානවන්ත අවවාද දුන්නා ය. (රූත් 3වන පරිච්ඡේදය) රෝගී හා වයස්ගත වුවන් බලා ගැනීමට පරිත්‍යාගයන් කරන්නා වූ අය සඳහා රූත් සිත් ගන්නා ආදර්ශයක් වන්නී ය. (රූත් 2:10-12) අද දවසේ සභාව තුළ, රෝගී හා මහලු අයට උපකාර කිරීමට ඒ හා සමාන ව බොහෝ දෑ කළ හැකි ය. ඒ කෙසේ ද?
සංවිධානය වීම වටී
මුල් ක්‍රිස්තියානි සභාවේ ද්‍රව්‍යමය ආධාර අවශ්‍ය වූ වැන්දඹුවන්ගේ ලැයිස්තුවක් තබා ගනු ලැබී ය. (1 තිමෝති 5:9, 10) සමානාකාරයෙන් අද දවසේත්, වැඩිමහල්ලන් සුවිශේෂී අවධානය අවශ්‍ය කරන රෝගී හා මහලු අයගේ ලැයිස්තුවක් සාදන්නට පුළුවන. සමහරක් සභාවන්හි තමාගේ විශේෂ වගකීම හැටියට මේ කෙරෙහි සැලකිල්ල දක්වන ලෙස වැඩිමහල්ලෙකුගෙන් ඉල්ලනු ලැබ තිබේ. නායොමි මෙන්, බොහෝ වයස්ගත අය උපකාරය ඉල්ලා සිටීමට නැඹුරු වී නොසිටින නිසා, මෙවන් සහෝදරයෙක් තත්ත්වය පරීක්ෂා කර බැලීමට දක්ෂ තත්ත්වයක සිටිය යුතු අතර—උපායශීලී හා නැණවත් ආකාරයකට—අවශ්‍ය දේවල් කරනු ලබන බවට නිසැක විය යුතු ය. උදාහරණයක් වශයෙන්, රාජ්‍යය ශාලාවේ රෝගී හා මහලු අයට අවශ්‍ය තරම් පහසුකම් ඇත්දැයි ඔහුට බලන්නට පුළුවන. ප්‍රායෝගික නම්, රෝද පුටු සඳහා ඇතුළු වීමට බෑවුමක් සහිත තරප්පුවක්, උචිත විවේකාගාර පහසුකම්, ශ්‍රව්‍ය දුෂ්කරතා ඇති අයට ශ්‍රව්‍ය පහසුකම්, විශේෂ ආසන සඳහා ස්ථානයක් යනාදි කාරණා ඔහුට සලකා බලන්නට පුළුවන. රැස්වීම්වලට එන්නට අපහසු සෑම කෙනෙක් ම රැස්වීමේ පටිගත කරන ලද ටේප් පටිය ඉල්ලා ගැනීමට වැඩ පිළිවෙළක් සකසන්නට නැතහොත් දුරකථනයෙන් එයට සවන් දෙන ක්‍රමයක් සකස් කිරීමට සහතික වන්නට මෙම සහෝදරයාට පුළුවන.
රැස්වීම් හා සමුළුවලට ප්‍රවාහන පහසුකම් සංවිධානය කිරීමේ අවශ්‍යතාවයක් ද තිබෙන්නට පුළුවන. තමා ව නිති පතා රැස්වීම්වලට කැඳවාගෙන ගිය තැනැත්තා නොසිටි නිසා එක් වයස්ගත සහෝදරියකට ගැටලුවක් ඇති විය. තමාට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට බොහෝ දෙනෙකු ව දුරකථනයෙන් ඇමතීමට ඇයට සිදු වූ අතර විපාකයක් හැටියට තමා බරක් බව ඇයට දැනුණි. මෙවන් කාරණා සියල්ල බලා ගත හැකි වැඩිමහල්ලෙක් සමඟ විධිවිධාන යොදවා තිබුණි නම් ඇයගේ දුෂ්කරත්වය මඟ හරින්නට තිබුණි.
වයස්ගත අය ව බැහැ දැකීමට තමන් වරින් වර යාමට කැමති දැයි විවිධ පවුල්වලින් මෙම වැඩිමහල්ලාට විමසා බලන්නට පුළුවන. වයස්ගත අය ව බලා ගැනීම ක්‍රිස්තියානි ජීවිතයේ කොටසක් බව මෙලෙසින් දරුවන් ඉගෙන ගනු ඇත. මෙම වගකීම දැරීමට දරුවන් ඉගෙන ගැනීම හොඳ ය. (1 තිමෝති 5:4) එක්තරා චාරිකා අවේක්ෂකයෙක් මෙසේ පවසයි: “මගේ අත්දැකීමේ හැටියට, වයස්ගත හෝ රෝගී අයට තමාගේ ම උනන්දුවෙන් බැහැ දකින්නේ දරුවන් නැතහොත් බාලයන් ඉතා ස්වල්පයක් පමණි.” ඇතැම් විට ඔවුන් ඒ ගැන කල්පනා නොකරනවා වන්නට පුළුවන, නැතහොත් කළ යුතු හෝ කිව යුතු දේ ගැන ඔවුන්ට සැකයක් පවතිනවා වන්නට පුළුවන; මව්පියන්ට මේ දේ ගැන ඔවුන්ට උගන්වන්නට පුළුවන.
කෙසේ නමුත්, වයස්ගත බොහෝ දෙනෙක් මිත්‍රයෙකුගේ පැමිණීම කල් ඇති ව දැන ගැනීම අගය කරන බව මතක තබා ගන්න. ආගන්තුකයෙක් බලාපොරොත්තුවෙන් සිටීමේ අමතර ප්‍රීතිය මින් ඔවුන්ට ලබා දෙයි. ආගන්තුකයන් කෝපි හෝ කේක් වැනි කෑම බීම ගෙනැවිත්, ඉන් අනතුරුව එම ස්ථානය පවිත්‍ර කරන්නේ නම්, වයස්ගත අය කෙරෙහි අමතර බරක් වැළැක්විය හැකි ය. තවමත් ශක්තිමත් ව සිටින, එක් වයස්ගත යුවළක්, විධිමත් පදනමක් මත සතියකට එක් දිනක් කුඩා මල්ලක ආහාර අහුරා සභාවේ වයස්ගත කීප දෙනෙකු බැහැදකින්නට යති. ඔවුන්ගේ මෙම බැහැ දැකීම් අතිශයින් අගය කෙරේ.
වයස්ගත අයගේ ප්‍රයෝජනය පිණිස, බොහෝ සභාවන් දිවා කාලය තුළ සභා පොත් පාඩම් පවත්වයි. එක් ස්ථානයක සිටි පවුල් හා තනිකඩ ප්‍රචාරකයන් කීපදෙනෙකුගෙන් මෙවන් කණ්ඩායමකට අනුබල දෙන්නට තමන් කැමති ද හා තමන්ට පුළුවන් ද යන වග විමසන ලද අතර එහි විපාකය වූයේ වයස්ගත හා යෞවන අය විසින් එකිනෙකාට සැලකිල්ල දැක්විය හැකි පොත් පාඩමකි.
මෙම ක්ෂේත්රයේ පෙරමුණ ගැනීම වැඩිමහල්ලන්ට පමණක් සීමා කළ යුතු නැත. අප සියල්ලන් ම රෝගී හා වයස්ගත අයගේ අවශ්‍යතාවයන් පිළිබඳ ව සාවධානයෙන් සිටිය යුතු ය. අප ඔවුන්ට රාජ්‍යය ශාලාවේ දී සුභ පැතිය හැකි අතර ඔවුන් සමඟ කථා කරන්නට ද කාලය ගත හැක. අනියම් ඇසුරක් සඳහා ආරාධනයක් ද සිත්ගන්නා එකක් වන්නට පුළුවන. එසේත් නැතහොත් අප සමඟ විනෝද ගමනක් යාමට හෝ නිවාඩුවක් ගත කිරීමට අප ඔවුන්ට ආරාධනා කරන්නට පුළුවන. වෙළෙඳ කටයුතු සඳහා නගරයෙන් පිට ව යන විට එක් ප්‍රචාරකයෙක් බොහෝ විට වයස්ගත ප්‍රචාරකයන් ව තමාගේ මෝටර් රථයේ කැඳවාගෙන ගියේ ය. තමන් යමක සම්බන්ධ ව සිටින බව නිතර වයස්ගත අයට දැන ගන්නට උපකාර කිරීම වැදගත් ය. නායොමි කරන්නට නැඹුරු වූවාක් මෙන්, හුදෙකලා වීමට ඔවුන්ට ඉඩ නොදෙන්න. මෙය වයසට යාමේ හා මහලු බව දැනීමේ ක්‍රියාවලිය වේගවත් කරන්නට පුළුවන.
අංග විකල හෝ රෝගී තත්ත්වයක සිටින යෞවන අයට ද අවධානය අවශ්‍ය කෙරේ. සුව කළ නොහැකි රෝගී තත්ත්වයෙන් යුත් පිරිමි දරුවන් තිදෙනෙක් සිටියා වූ ද, දැනටමත් ඉන් දෙදෙනෙක් මිය ගොසින් ද ඇති එක්තරා සාක්ෂිකරුවෙක්, මෙසේ පැවසී ය: “දීර්ඝ කාලයකට පවතින්නා වූ රෝගාතුර තත්ත්වයක් යමෙකුට ඇති විට දිගට ම සැලකිල්ල දැක්වීම සභාවකට දුෂ්කර වන්නට පුළුවන. ගිලන් ව සිටින තමන්ගේ මිත්‍රයා සමඟ දෛනික ව දින පදය සාකච්ඡා කර බයිබලයෙන් පරිච්ඡේදයක් කියවීම විශ්වාස කළ හැකි යෞවන ප්‍රචාරකයෙකුට නොපවරන්නේ මන්ද? පුරෝගාමින් ද ඇතුළු ව යෞවන අයට මෙය පිළිවෙළකට කරන්නට පුළුවන.
මරණය වැළැක්විය නොහැකි යයි පෙනෙන විට
යෙහෝවඃ වහන්සේගේ සේවකයන් රෝග හෝ පීඩාවන් හේතුවෙන් වේවා, නිතර නිර්භීත ව මරණයට මුහුණ දී ඇත්තාහ. ඊට ගොදුරු වී සිටින අයට මරණය ළඟා වී තිබෙන බව දැනෙන විට, වෙනස් චිත්ත වේගයන් ඔවුන් අත්දැකීම සාමාන්‍ය දෙයකි. ඔවුන්ගේ මරණයෙන් පසු, ඔවුන්ගේ ඥාතීන් ද හැඩ ගැසීමේ, ශෝක වීමේ හා පිළිගනු ලැබීමේ කාල පරිච්ඡේදයක් පසු කරනු ඇත. එනිසා යාකොබ්, දාවිත් හා පාවුල් කළාක් මෙන් රෝගී ව සිටින තැනැත්තාටත් මරණය ගැන විවෘත ව කථා කිරීම හොඳ ය.—උත්පත්ති, පරිච්ඡේද 48 හා 49; 1 රාජාවලිය 2:1-10; 2 තිමෝති 4:6-8.
වෛද්‍යවරයෙකු වන සාක්ෂිකරුවෙක් මෙසේ ලියයි: “අප මෙම විෂය ගැන බෙහෙවින් විවෘත විය යුතුයි. රෝගියා මරණාසන්න ව අසනීප ව සිටින්නේ ය යන කාරණය සැඟවීමෙන් ඔහුට හෝ ඇයට කිසිදු යහපතක් සිදු වන බව මගේ වෘත්තිය තුළ මට කිසිදා හමුවී නැත.” එනමුත්, රෝගියාට ම දැන ගැනීමට වුවමනා වන්නේ කුමක් ද, ඔහුට මේ ගැන දැන ගැනිමට අවශ්‍ය වන්නේ කවදා ද යන්න ගැන අප විසින් වටහා ගත යුතු ය. තමන් මරණය අභියස සිටින බවට පැහැදිලි ව අඟවන අතර, තම සිතුවිලි හා හැඟීම් ගැන සාකච්ඡා කිරීමට ඔවුන්ට අවශ්‍ය වෙයි. තවත් අය බලාපොරොත්තු තබා ගැනීමට උත්සාහ කරන අතර, ඔවුන් සමඟ බලාපොරොත්තු තබා ගැනීමට ඔවුන්ගේ මිත්‍රයන් විසින් උත්සුක වීම යහපත.—රෝම 12:12-15 සසඳන්න.
මරණයට ළං වී සිටින කෙනෙකු කොතරම් වෙහෙසට හා ව්‍යාකූලත්වයට පත් වී සිටිනවා ද කිවහොත් යාච්ඤා කිරීම පවා ඔහුට දුෂ්කර වන්නේ ය. රෝම 8:26, 27 හි සඳහන් ආකාරයට, දෙවියන් වහන්සේ “කිය නොහැකි කෙඳිරිගෑම්” තේරුම් ගන්නා බව දැනගැනීම මගින් එවැනි රෝගියෙකුට සැනසීම ලැබිය හැකි ය. එවැනි පීඩනයක් යටතේ යාච්ඤා කිරීම සඳහා වචන සොයා ගැනීම පුද්ගලයෙකු හට අසීරු බව යෙහෝවඃ වහන්සේ දන්නා සේක.
හැකි අවස්ථාවල දී, රෝගියා සමඟ යාච්ඤා කිරීම වැදගත් ය. එක් සහෝදරයෙක් මෙසේ සඳහන් කරයි: “මගේ මව මිය යමින් සිටි විට සහ කථා කිරීමට තවදුරටත් නොහැකි ව සිටි විට, ඈට අප සමඟ යාච්ඤා කිරීමට වුවමනා බව ඈ ඇගේ අත නමමින් අපට ඇඟෙව්වා. මගේ මව සංගීතයට ඉතා ලැදි ව සිටි නිසා, අපගේ යාච්ඤාවට පසු ව, අප රාජ්‍යය ගීතිකාවක් ගායනා කළා. පළමු ව අපි තාලය මිමිණුවා, ඊළඟට හෙමිහිට වචන ගායනා කළා. ඈ එය සතුටින් භුක්ති විඳින බවක් පැහැදිලි ව දක්නට තිබුණා. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් වශයෙන් අපගේ ජීවිතය සමඟ බැඳී තිබෙන එම ගීතිකාවල, වෙනත් විදිහකින් අපට කියන්නට බැරි හැඟීම් ගැබ්වී තිබෙන බවට කිසිදු සැකයක් නැහැ.”
මිය යමින් සිටින පුද්ගලයෙකු සමඟ කථා කිරීමේ දී ප්‍රේමය, උපායශීලී බව සහ හැඟීම් අවශ්‍ය කරයි. බැහැදකින්නට යන පුද්ගලයාට, සඳහන් කළ හැකි වර්ධනය කරවන සුලු සහ ඇදහිල්ල ශක්තිමත් කරවන කාරණා සූදානම් කරන්නට හැකි අතර, වෙනත් අය සහ ඔවුන්ගේ ගැටලු ගැන නිෂේධාත්මක කථා නොකරන්නට ඔහු වග බලා ගත යුතු ය. එමෙන් ම, බැහැදකීම අතරතුර එහි රැඳී සිටින කාලය සාධාරණ සහ ගැලපෙන අයුරින් සකස් කර ගත යුතු ය. රෝගියා සිහිමුර්ජා වී ඇති තත්ත්වයක සිටිය ද, ඔහුට පවසන දේ ඇසීමට තවමත් හැකි වන්නට පුළුවන් බව මතක තබා ගැනීම යහපති. එමනිසා ඔබ පවසන දේ ගැන ප්‍රවේසම් වන්න.
අප බෙදාගන්නා වගකීමක්
අසනීප හා වයසක අය ව රැක බලා ගැනීම බරපතළ වගකීමකි. රෝගියාට වඩාත් ළංවී සිටින අයට එය කායික සහ චිත්ත වේගීය වශයෙන් දුෂ්කර කටයුත්තකි. සභාවේ සෙසු අයගේ තේරුම් ගැනීම හා උපකාරය ඔවුන්ට අවශ්‍ය වන අතර, ඔවුන් එය ලැබීමට වටී. අසනීප ව සිටින පවුල් සාමාජිකයන් ව රැක බලා ගන්නා අය හෝ එසේ කරන සෙසු ඇදහිලිවන්තයන්, එසේ කිරීමේ දී තමන්ට ඇතැම් රැස්වීම් අතපසු කරන්නට සිදුවුණත්, නැතහොත් ඔවුන් ක්ෂේත්‍ර සේවයේ සහභාගි වීම යම් කලකට අඩු කරන්නට සිදුවුණත් ඔවුන් කරන්නේ හරි දෙයයි. (1 තිමෝති 5:8 සසඳන්න.) සභාවේ අයගේ වටහා ගැනීමේ ආකල්පය මගින් ඔවුන් ශක්තිමත් වනු ඇත. මෙසේ නිති පතා එම රෝගියා ව රැක බලා ගන්නා තැනැත්තාට රැස්වීමකට පැමිණිය හැකි වන පරිදි හෝ දේශනා සේවය තුළ නැවුම් සහගත පැය ගණනක් ගත කිරීමට හැකි වන පරිදි, ඇතැම් අවස්ථාවල දී වෙනත් සහෝදරයෙකුට හෝ සහෝදරියකට තාවකාලික වශයෙන් එම රෝගියා ව රැක බලා ගන්නට හැකි ය.
ඇත්තෙන් ම, එම රෝගියා ඔබ ම නම්, ඔබටත් යමක් කළ හැකි ය. ඔබගේ දුර්වලතාවය සම්බන්ධ බලාපොරොත්තු නැති බව සහ අසරණ බව ඔබට මහත් දොම්නසක් ගෙන දිය හැක, නමුත් දොම්නස පුද්ගලයෙකු ව තනි කරන අතර, අන්‍යයන් ව පිළිකුල් කරවයි. ඒ වෙනුවට අගය කිරීම ප්‍රකාශ කරන්නටත් සහයෝගය දක්වන්නටත් ඔබට හැකි ය. (1 තෙසලෝනික 5:18) දුක්වේදනාවෙන් සිටින අන් අය ගැන යාච්ඤා කරන්න. (කොලොස්සි 4:12) බයිබලයේ සඳහන් පුදුමාකාර සත්‍යතාවයන් ගැන මෙනෙහි කර, ඔබ ව බැහැ දකින්නට එන අය සමඟ ඒවා කථා කරන්න. (ගීතාවලිය 71:17, 18) යෙහෝවඃ වහන්සේගේ ජනයාගේ ඇදහිල්ල ශක්තිමත් කරන ප්රගතියේ නවීනතම වාර්තාවන් ගැන දැන ගැනීමට උනන්දු වන්න. (ගීතාවලිය 48:12-14) මෙම සන්තෝෂවත් වර්ධනය ගැන යෙහෝවඃ වහන්සේට ස්තුති දෙන්න. දිවා කාලයේ හිරුට වඩා ගැඹුරු හා උණුසුම් ආලෝකයක් බැහැර කරමින් පායන හිරු මෙන්, එවැනි කාරණා මත මෙනෙහි කිරීම, ඔබේ ජීවිතයේ සැඳෑ සමයට සුවිශේෂී අලංකාරයක් ගෙනෙනු නියත ය.
විශේෂයෙන් ම, පරීක්ෂාකාරී කාලවල දී, ආරක්ෂක හිස්වැස්මක් මෙන් අපගේ මනස් ආරක්ෂා කරන එම බලාපොරොත්තු ව පවත්වා ගැනීමට අප සියලු දෙනා ම පොරබැදිය යුතු ය. (1 තෙසලෝනික 5:8) නැවත නැගිටීමේ බලාපොරොත්තුව සහ එහි ශක්තිමත් පදනම ගැන මෙනෙහි කිරීම හොඳ ය. අසනීප තවදුරටත් නොතිබෙන හෝ මහලු වයසේ දුබලකම් තවත් නොතිබෙන දවස ගැන අපට මහත් උනන්දුවෙන් සහතිකයක් ඇතුව ඉදිරිය දෙස බලාසිටින්නට හැකි ය. එවිට, සියලු දෙනා ම සනීපය භුක්ති විඳිනු ඇත. මළ අය පවා නැවත එනු ඇත. (යොහන් 5:28, 29) මෙම “නොදක්නා දේවල්” අපගේ ඇදහිල්ල නමැති ඇසෙන් හා අපගේ හදවත්වලින් අපි දකිමු. ඒවා කෙරෙහි ඔබගේ දසුන කිසිදා නැති කර නොගන්න.—යෙසායා 25:8; 33:24; එළිදරව් 21:3, 4.