විඳදරා ගැනීම—ක්‍රිස්තියානින් හට අත්‍යවශ්‍ය ය
“ඔබගේ ඇදහිල්ලට විඳදරා ගැනීම සපයා ගන්න.”—2 පේතෘස් 1:5, 6, NW.
1, 2. අප සියලු දෙනා ම අන්තිමය දක්වා විඳදරා ගත යුත්තේ මන්ද?
සංචාරක අවේක්ෂක හා හුගේ බිරිඳ සිය 90 ගණන්වල පසුවෙමින් සිටියා වූ සෙසු ක්රිස්තියානිවරයෙකු ව බැහැ දකිමින් සිටියෝ ය. ඔහු පූර්ණ-කාලීන සේවයේ දශක ගණනාවක යෙදී තිබුණේ ය. ඔවුන් කථා කළ අතරතුර, පසු වූ වසර ගණන් පුරා ඔහු භුක්ති වින්දා වූ වරප්‍රසාද සමහරක් ගැන ඔහු සිහිපත් කළේ ය. “නමුත්, දැන් මට කිසි ම දෙයක් කැමති තරම් කරන්නට බැහැ” කියා පවසමින් ඔහුගේ මුහුණ දිගේ කදුළු සැලෙන්නට විය. සිය බයිබලය අතට ගත් සංචාරක අවේක්ෂක මතෙව් 24:13ට හරවා එය කියෙව්වේ ය, එහි දී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙසේ පවසන බවට උපුටා දක්වා ඇත: “අන්තිමය දක්වා ස්ථිරව [විඳදරා ගෙන NW] සිටින්නාම ගැළවෙන්නේය.” එවිට ඒ හිතවත් සහෝදරයා දෙස බැලූ එම අවේක්ෂක මෙසේ පැවසුවේ ය: “අපට වැඩියෙන් හෝ සුළුවෙන් හෝ කළ හැකි දේ කොපමණ වුවත්, සියල්ලන්ට ම තිබෙන අවසාන පැවරුම නම්, අවසානය දක්වා විඳදරා ගෙන සිටීමයි.”
2 එසේ ය, ක්‍රිස්තියානින් වශයෙන් අප සියලු දෙනා ම මේ දේවල පිළිවෙළේ අවසානය දක්වා හෝ අපගේ ජීවිතයේ අවසානය දක්වා විඳදරා ගත යුතු ය. ගැලවීම සඳහා යෙහෝවඃ වහන්සේගේ අනුමැතිය ලබා ගැනීමට වෙනත් කිසිදු මඟක් නැත. අප ඇතුළත් වී සිටින්නේ ජීවනය සඳහා ධාවන තරඟයක ය, එබැවින් අප අවසන් රේඛාව පසුකොට යනතාක් කල් අප “විඳදරා ගැනීමෙන් යුක්ත ව දිවිය” යුතු ය. (හෙබ්‍රෙව් 12:1, NW) මෙම ගුණාංගයේ වැදගත්කම ප්‍රේරිත පේතෘස් අවධාරණය කළේ ඔහු සෙසු ක්රිස්තියානින්ගෙන් මෙසේ උදක් ම ඉල්ලා සිටි විට ය: ‘ඔබගේ ඇදහිල්ලට විඳදරා ගැනීම සපයා ගන්න.’ (2 පේතෘස් 1:5, 6, NW) එහෙත් ඇත්තට ම විඳදරා ගැනීම යනු කුමක් ද?
විඳදරා ගැනීම—එහි අරුත
3, 4. විඳදරා ගැනීම යන්නෙහි අදහස කුමක් ද?
3 විඳදරා ගෙන සිටීම යන්නෙහි අරුත කුමක් ද? “විඳදරා ගැනීම” (හයි·පො·මෙʹනෝ) සඳහා භාවිතා වන ග්‍රීක ක්‍රියා පදයෙහි පදගතාර්ථ අර්ථය වනාහි යමක් “යටතේ රැඳී සිටීම නැතහොත් සිටීම” යන්න ය. එය බයිබලයේ 17 වරක් සඳහන් වේ. ශබ්ද සංග්‍රහ විද්‍යාඥයින් වන ඩබ්. බවර්, එෆ්. ඩබ්. ගිංග්රිච් සහ එෆ්. ඩැන්කර් පවසන පරිදි, එහි අරුත “පලා යනවා වෙනුවට රැඳී සිටීම ය . . . තම ස්ථාවරයේ ස්ථිර ව රැඳී සිටීම ය, යටත් නොවී සිටීම” වේ. “විඳදරා ගැනීම” (හයි·පො·මො·නීʹ) සඳහා යෙදෙන ග්‍රීක නාම පදය වාර 30කටත් වැඩියෙන් සඳහන් වේ. ඒ සම්බන්ධයෙන්, විලියම් බාක්ලේ විසින් රචිත ඒ න ටෙස්ටමන්ට් වර්ඩ්බුක් හි මෙසේ පැවසේ: “එය වනාහි නිකම් ම කනස්සල්ලෙන් දේවල් දරා ගැනීමේ ස්වභාවයක් නොවේ, නමුත් දැවෙන බලාපොරොත්තුවකින් යුක්ත ව දේවල් දරා ගන්නා ස්වභාවයකි. මිනිසෙකු සුළඟට කෙළින් මුහුණ දෙමින් සිටිය ද ස්ථිර ව තම දෙපා මත රැඳී සිටීමට ඉවහල් වන ගුණාංගයකි එය. එය වනාහි වඩාත් ම දුෂ්කර පීඩාව තේජාන්විත යමක් දක්වා පරිවර්තනය කළ හැකි ගුණයකි, මන්දයත් වේදනාව අභිබවා යන එයට දැකිය හැක්කේ අවසාන ඉලක්කය වන බැවිනි.”
4 එසේ නම්, අපගේ ස්ථාවරයේ ස්ථිර ව රැඳී සිටීමටත්, බාධා හෝ දුෂ්කරතා හමුවේ බලාපොරොත්තු නැතිකර නොගෙන සිටීමටත්, විඳදරා ගැනීම අපට හැකි කරවයි. (රෝම 5:3-5) එය වත්මන් වේදනාවෙන් ඔබ්බට අවසාන ඉල්ලකය දෙස බලයි—එනම්, ස්වර්ගයේ හෝ වේවා, පොළොව මත හෝ වේවා, සදාකාල ජීවනය නමැති ත්‍යාගය හෙවත් දීමනාව ය.—යාකොබ් 1:12.
විඳදරා ගැනීම—එය අවශ්‍ය වන්නේ මන්ද?
5. (අ) සියලු ම ක්‍රිස්තියානින් හට “විඳදරා ගැනීම සඳහා අවශ්‍යතාවයක්” ඇත්තේ මන්ද? (ආ) අපගේ පීඩා කුමන වර්ග දෙකට බෙදිය හැකි ද?
5 ක්‍රිස්තියානි භක්තිකයින් වශයෙන්, අප සියල්ලන්ට ම “විඳදරා ගැනීම සඳහා අවශ්‍යතාවයක්” ඇත. (හෙබ්‍රෙව් 10:36, NW) ඒ මන්ද? සරල ව ගත් කල ඊට හේතුව අපට “අනේකාකාර පරීක්ෂාවලට” මුහුණ දීමට සිදුවන නිසා ය. මෙහි දී යාකොබ් 1:3 හි භාවිතා වන ග්‍රීක පද මාලාව යෝජනා කරන පරිදි, එය වනාහි පුද්ගලයෙකු සොරෙකුට අසුවන අවස්ථාවේ දී මෙන්, අනපේක්ෂිත නැතහොත් පිළිගැනීමට අකමැති මුණගැසීමකි. (ලූක් 10:30 සසඳන්න.) අප මුහුණ දෙන පීඩා, වර්ග දෙකකට බෙදා වෙන් කළ හැකි ය: ඒවානම්, උරුම වූ පාපයේ හේතුවක් වශයෙන් මිනිසාට ඇතිවන පොදු පීඩා සහ අපගේ දේව භක්තිය නිසා වර්ධනය වන පීඩා ය. (1 කොරින්ති 10:13; 2 තිමෝති 3:12) මෙවන් පීඩා සමහරක් මොනවා ද?
6. එක් සාක්ෂිකරුවෙක් ඉතා වේදනාකාරී අසනීපයක් හමුවේ විඳදරා ගත්තේ කෙසේ ද?
6 බරපතළ අසනීප. තිමෝතිට සිදු වූ ලෙස ම, සමහර ක්‍රිස්තියානින්ට “නොයෙක් විට පැමිණෙන . . . දුර්වලකම්” හෙවත් අසනීප විඳදරා ගැනීමට සිදු වේ. (1 තිමෝති 5:23) විශේෂයෙන් ම අපට නිදන්ගත, සමහර විට ඉතා වේදනාකාරී අසනීපයක් හමුවේ සිටින්ට සිදුවන විට, දෙවියන් වහන්සේගේ උපකාරය ඇති ව, අපගේ ක්‍රිස්තියානි බලාපොරොත්තුව අපගේ දෘෂ්ටියෙන් ඉවත් නොකොට, විඳදරා ගෙන, අපගේ ස්ථාවරයේ ම ස්ථිර ව සිටීමට අපට අවශ්‍ය ය. සිය 50 ගණන්වල මුල් අවධියේ පසු වූ එක් සාක්ෂිකරුවෙකුගේ ආදර්ශය සැලකිල්ලට ගන්න, හෙතෙම සීඝ්රයෙන් වර්ධනය වෙමින් තිබුණා වූ විස සහිත ගෙඩියකට විරුද්ධ ව දීර්ඝ, දුෂ්කර සටනක යෙදී සිටියේ ය. ශල්‍යකර්ම දෙකක් තුළ දී රුධිර ප්‍රවේශන පිළිනොගැනීමට වූ සිය අධිෂ්ඨානයේ ඔහු ස්ථිර ව පැවතී සිටියේ ය. (ක්‍රියා 15:28, 29) එහෙත් එම ගෙඩිය ඔහුගේ උදරයේ යළි ඉස්මතු විය, ඇරත් එය ඔහුගේ කොඳු ඇට පෙළ අසළ වර්ධනය වන්නට විය. එය එසේ වර්ධනය වූවාත් සමඟ ම, කොතරම් ප්‍රමාණයකින් ඔහුට බෙහෙත් හේත් කරනු ලැබුව ද යටපත් කළ නොහැකි වූ එමෙන් ම සිතා ගැනීමටවත් බැරි තරම් වූ ප්‍රබල කායික වේදනාවක් ඔහු අත්දුටුවේ ය. එහෙත්, ඔහු ඒ වර්තමාන වේදනාවෙන් ඔබ්බට නව ලෝකයේ ජීවනයේ ත්‍යාගය දෙස බැලුවේ ය. සිය ඇවිලෙන බලාපොරොත්තුව වෛද්‍යවරුන්, හෙදියන් හා අමුත්තන් සමඟ බෙදා දීමෙහි ඔහු නියැලී සිටියේ ය. ඔහු අවසානය දක්වා—ඔව් සිය ජීවිතයේ අවසානය දක්වා ම විඳදරා ගත්තේ ය. ඔබේ සෞඛ්‍ය ගැටලුව එම හිතවත් සහෝදරයා අත්දුටු සෞඛ්‍ය ගැටලුව තරම් ජීවිතයට තර්ජනය ගෙන දෙන එකක් හෝ වේදනාකාරී එකක් හෝ විය නොහැකි නමුත්, එතුළින් තවමත් ඔබට විඳදරා ගැනීමේ මහත් පරීක්ෂාවක් හමුවේ සිටීමට සිදුවිය හැකි ය.
7. අපගේ ආත්මික සහෝදර සහෝදරයින් සමහර දෙනෙකුට විඳදරා ගැනීමට සිදු වන්නේ කෙබඳු ආකාරයේ වේදනාවන් ද?
7 චිත්ත වේගීය වේදනාව. කලින් කලට, යෙහෝවඃ වහන්සේගේ ජනයාගෙන් සමහරෙකු ‘හෘදයේ වේදනාවට’ මුහුණ දෙන අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් “පහර ලැබූ ආත්මයක්” ඇති වේ. (හිතෝපදේශ 15:13, NW) “කටයුතු කිරීමට අසීරු වූ” මෙම ‘අර්බුදකාරී කාලවල දී’ තදබල විෂාදය හෙවත් අසහනය දුර්ලභ දෙයක් නොවේ. (2 තිමෝති 3:1, NW) වර්ෂ 1992 දෙසැම්බර් 5 දිනැති සයන්ස් න්යූස් හි මෙසේ වාර්තා විය: “වර්ෂ 1915 සිට උපත ලැබුවා වූ සෑම පරම්පරාවක් තුළ ම තදබල, සමහර විට බෙලහීන කරවන සුලු විෂාදය ඇති වීමේ අනුපාත දිගට ම වැඩි වර්ධනය වී ඇත.” මෙවන් ආකාරයේ විෂාදයට විවිධාකාර හේතුකාරක ඇති අතර, ඒවා කායික සාධක සිට ඉතා වේදනාකාරී වූ අප්‍රසන්න අත්දැකීම් දක්වා විහිදී යයි. සමහර ක්‍රිස්තියානින් හට විඳදරා ගැනීමට නම් ඔවුන්ට චිත්ත වේගීය වේදනාව හමුවේ තම ස්ථාවරයේ ස්ථිර ව සිටීම සඳහා දින පතා පොරබැදීමක යෙදීමට සිදු වේ. එහෙත් ඔවුහු පසුබට වී අත්නොහරිති. කදුළු සැලුවත් ඔවුහු යෙහෝවඃ වහන්සේට ඇදහිලිවන්ත ව සිටිති.—ගීතාවලිය 126:5, 6 සසඳන්න.
8. අපට සමහර විට මුහුණ දීමට සිදු වන්නේ කෙබඳු ආකාරයේ මූල්‍යමය පීඩාවක් ද?
8 අපට මූණපෑමට සිදුවන විවිධාකාර පීඩාවලට බරපතළ ආර්ථික දුෂ්කරතා ද ඇතුළත් විය හැක. අමෙරිකා එක්සත් ජනපදයේ න්යූ ජර්සි හි විසූ සහෝදරයෙකුට හදිසියේ ම සිය රැකියාව අහිමි වූ විට, තමාගේ පවුලට ආහාර ලබා දීම ගැන හා තම නිවාසය අහිමි වීමට ඉඩ නොදීම ගැන ඔහු තේරුම් ගත හැකි ලෙස කනස්සලු වූයේ ය. කෙසේ වෙතත්, රාජ්‍යය බලාපොරොත්තුව ඔහුගේ දෘෂ්ටියෙන් පිටතට ගියේ නැත. ඔහු වෙනත් රැකියාවක් සොයමින් සිටි අවස්ථාවේ දී, උපකාරික පුරෝගාමියෙකු ලෙස සේවය කිරීමේ ප්‍රස්තාවෙන් ප්‍රයෝජන ගත්තේ ය. අවසානයේ දී ඔහුට රැකියාවක් ලබා ගත හැකි විය.—මතෙව් 6:25-34.
9. (අ) මරණය නිසා ප්‍රේමනීය කෙනෙකු අහිමි වීමේ දී විඳදරා ගැනීම අවශ්‍ය විය හැක්කේ කෙසේ ද? (ආ) ශෝකය නිසා කඳුළු සැලීම වැරදි සහගත යමක් නොවන බව පෙන්වන්නේ කුමන ශුද්ධ ලියවිලි පද ද?
9 මරණය නිසා ප්‍රේමනීය කෙනෙකු අහිමි වීම ඔබ අත්දැක ඇත්නම්, ඔබ වටා සිටින අය තමන්ගේ සාමාන්‍ය දින චර්යාවට හැරුණු පසු, බොහෝ කලකට පැවතිය යුතු විඳදරා ගැනීමක් ඔබට අවශ්‍ය ය. සෑම වසරක දී ම ඔබ ප්‍රේම කළ තැනැත්තා මිය ගියා වූ කාල පරිච්ඡේදයට එළඹෙන විට, තත්ත්වය විශේෂයෙන් ම දුෂ්කර බව පවා ඔබට හැඟිය හැක. ශෝකයේ කදුළු සැලීම වැරදි බව එවන් අහිමි වීමක් විඳදරා ගැනීමෙන් අදහස් නොකරයි. අප ප්‍රේම කළ යමෙකුගේ මරණය ගැන වැලපීම ස්වාභාවික ය, ඇරත් නැවත නැගිටීමේ බලාපොරොත්තුව කෙරෙහි ඇදහිල්ලේ මදිකමක් මින් කිසි විටකත් අඟවන්නේ නැත. (උත්පත්ති 23:2; සසඳන්න හෙබ්‍රෙව් 11:19.) ලාසරුස් මිය ගියාට පසු ව, යේසුස් වහන්සේ ඉතා ඒකාන්ත ලෙස මාර්තාට “නුඹේ සහෝදරයා නැවත නැගිටින්නේයයි” පැවසූ නමුදු, උන් වහන්සේ “කදුළු සැලූ සේක.” එපමණක් නොව ඇත්තට ම ලාසරුස් ව නැවත නැගිටුවනු ලැබී ය!—යොහන් 11:23, 32-35, [NW] යොහ 11:41-44.
10. යෙහෝවඃ වහන්සේගේ සෙනඟට විඳදරා ගැනීම සඳහා අද්විතීය අවශ්‍යතාවයක් ඇත්තේ මන්ද?
10 සෑම මිනිසෙකුට ම පොදු වන්නා වූ පීඩා විඳදරා ගැනීමට අමතර ව, යෙහෝවඃ වහන්සේගේ සෙනඟට විඳදරා ගැනීම සඳහා අද්විතීය අවශ්‍යතාවයක් ඇත. යේසුස් වහන්සේ මෙසේ අනතුරු ඇඟ වූ සේක: “නුඹලා මාගේ නාමය නිසා සියලු ජාතීන් විසින් වෛරකරනු ලබන්නහුය.” (මතෙව් 24:9) එමෙන් ම උන් වහන්සේ මෙසේ ද පැවසූ සේක: “ඔව්හු මට පීඩාකළෝනම් නුඹලාටත් පීඩාකරන්නෝය.” (යොහන් 15:20) මෙතරම් වෛරය හා පීඩා ලබන්නේ මන්ද? ඊට හේතුව අප දෙවියන් වහන්සේගේ සේවකයින් වශයෙන් මිහිපිට කොතැනක ජීවත් වුවත්, යෙහෝවඃ වහන්සේට වූ අපගේ අඛණ්ඩතාවය බිඳ හෙළීමට සාතන් මාන බලන නිසා ය. (1 පේතෘස් 5:8; සසඳන්න එළිදරව් 12:16ආ.) මෙම අරමුණ පෙරදැරි කරගෙන සිටින සාතන්, පීඩා නමැති ගින්න මොලවා ඇති අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් අපගේ විඳදරා ගැනීම ප්‍රබල පරීක්ෂාවකට ලක් ව තිබේ.
11, 12. (අ) යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සහ ඔවුන්ගේ දරුවන් 1930 ගණන්වල සහ 1940 ගණන්වල මුල් භාගයේ දී මුහුණ දුන්නේ කෙබඳු ආකාරයේ විඳදරා ගැනීමේ පරීක්ෂාවකට ද? (ආ) යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ජාතික කොඩියට ආචාර කිරීම ප්‍රතික්ෂේප කරන්නේ මන්ද? (පාද සටහන බලන්න.)
11 උදාහරණයක් වශයෙන්, 1930 ගණන් පටන්, උතුරු අමෙරිකාවේ විසූ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සහ ඔවුනගේ දරුවන් ජාතික කොඩියට ආචාර කිරීම ප්‍රතික්ෂේප කළ නිසා, ඔවුහු ප්‍රබල පීඩා ලැබීමේ ඉලක්ක බවට පත් වූහ.a වර්ෂ 1937 ජනවාරි 13, ද ගෝල්ඩන් ඒජ් මෙසේ වාර්තා කළේ ය: “ඔවුන් [දරුවන්] නව පිළිමයට [කොඩියට] වන්දනාමාන පුද කිරීමට ප්‍රතික්ෂේප කරන නිසා, කස පහර කා ඇත, ඔවුනගේ බෙල්ල මිරිකා හුස්ම හිර කොට ඇත, ඔවුන් සමච්චලයට භාජනය වී ඇත, ඔවුන්ට තලා ඇත, සරදම් කොට ඇත,” එමෙන් ම “මහජන පාසල්වලින් නෙරපා දමා ඇත.” එක්දහස් නවසිය තිස් ගණන්වල අවසාන භාගයේ දී හා 1940 ගණන්වල මුල් භාගයේ දී පාසල්වලින් නෙරපා දමනු ලැබූ දරුවන් සංඛ්‍යාව කොතරම් ද කිවහොත්, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ට තමුන්ගේ ම පාසල් පැවැත්වීම සඳහා අවශ්‍යතාවයක් පැන නැගුණි (රාජ්‍යය පාසල් ලෙස හඳුන්වන ලදි). කණ්ඩායමක් වශයෙන් ගත්කල, මෙම දහස් සංඛ්‍යාත යෞවන අය කලහකාරී සමූහයන්ගේ සැහැසියාව මධ්‍යයෙහි මෙන් ම, සිය සෙසු පාසල් ශිෂ්‍යයින්ගේ සමච්චලය හා ඔවුන් ව ආශ්රයෙන් කපා හැරීම හමුවේ සිය ස්ථාවරයේ ස්ථිර ව රැඳී සිටියහ. අද දින ක්‍රිස්තියානි යෞවනයින් බයිබල් ප්‍රමිතිවලට අනුකූල ව ජීවත්වීමට වෙර දරන නිසා, සමච්චලයට හා සරදමට මුහුණ දීමට අවස්ථා උද්ගත විය හැකි බැවින්, එදා සිටි එම යෞවනයින්ගේ එඩිතර විඳදරා ගැනීම අද දිනට ද කදිම ආදර්ශයකි.—1 පේතෘස් 4:14.
12 අපට මුහුණ දීමට සිදුවන විවිධාකාර පීඩා—එනම් මිනිසාට පොදු වූ ඒවා මෙන් ම අපගේ ක්‍රිස්තියානි ඇදහිල්ල නිසා මුහුණ දීමට සිදුවන ඒවා—අප හට විඳදරා ගැනීම අවශ්‍ය වීමට හේතුව දක්වයි. එහෙත් අපට විඳදරා ගත හැක්කේ කෙසේ ද?
අන්තිමය දක්වා විඳදරා ගන්න—ඒ කෙසේ ද?
13. යෙහෝවඃ වහන්සේ විඳදරා ගැනීම සපයා දෙන්නේ කෙසේ ද?
13 යෙහෝවඃ වහන්සේ නමස්කාර නොකරන අය ගන්නා කල, ඔවුන්ට වඩා දෙවියන් වහන්සේගේ සෙනඟට පැහැදිලි වාසියක් තිබේ. උපකාරය සඳහා ඔවුනට ‘විඳදරා ගැනීම සපයන දෙවියන් වහන්සේට’ කන්නලව් කළ හැකි ය. (රෝම 15:5 NW) එහෙත්, යෙහෝවඃ වහන්සේ විඳදරා ගැනීම සපයන්නේ කෙසේ ද? උන් වහන්සේ එසේ කරන එක් මඟක් නම්, ස්වකීය වචනය වන බයිබලයේ වාර්තා වී ඇති විඳදරා ගැනීම සම්බන්ධ ආදර්ශ උපයෝගි කරගනිමිනි. (රෝම 15:4) අප මේවා මත මෙනෙහි කරන කල, අප විඳදරා ගැනීමට දිරිය ලබනවා පමණක් නොව, නමුත් විඳදරා ගත හැක්කේ කෙසේ ද යන්න ගැන ද අපට බොහෝ දෑ ඉගෙන ගත හැක. කැපී පෙනෙන ආදර්ශ දෙකක් සැලකිල්ලට ගන්න—එනම් යෝබ්ගේ එඩිතර විඳදරා ගැනීම සහ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නොකැලැල් විඳදරා ගැනීම ය.—හෙබ්‍රෙව් 12:1-3; යාකොබ් 5:11.
14, 15. (අ) යෝබ් විඳදරා ගත්තේ කෙබඳු ආකාරයේ පීඩාවන් ද? (ආ) යෝබ් මුහුණ දුන් පීඩා ඔහුට විඳදරා ගත හැකි වූයේ කෙසේ ද?
14 යෝබ්ගේ විඳදරා ගැනීම පරීක්ෂාවට භාජනය වූයේ කුමන තත්ත්වයන් යටතෙහි ද? ඔහුට සිය වස්තුවෙන් බොහොමයක් අහිමි වූ විට, ඔහු ආර්ථික අමාරුකම්වලින් පීඩා වින්දේ ය. (යෝබ් 1:14-17; සසඳන්න යෝබ් 1:3.) යෝබ්ගේ දරුවන් දස දෙනා ම තද හුළං කුනාටුවකට අසු වී මිය ගිය විට වියෝ දුක යෝබ්ට දැනුණි. (යෝබ් 1:18-21) ඔහු බරපතළ, ඉතා වේදනාකාරී අසනීපයකින් පෙළුණේ ය. (යෝබ් 2:7, 8; 7:4, 5) දෙවියන් වහන්සේගෙන් ඉවත් ව යන ලෙස ඔහුගේ ම බිරිඳ පවා ඔහුට බල කළා ය. (යෝබ් 2:9) ඔහුට සමීප ව සිටි සහායකයෝ වේදනාකාරී, අකාරුණික මෙන් ම අසත්‍ය වූ දේවල් පැවසුවෝ ය. (යෝබ් 16:1-3 සහ යෝබ් 42:7 සසඳන්න.) කෙසේ වෙතත්, මේ සියල්ල තුළ දී පවා, යෝබ් අඛණ්ඩතාවය දිගට ම පවත්වමින් තම ස්ථාවරයේ ස්ථිර ව සිටියේ ය. (යෝබ් 27:5) ඔහු විඳදරා ගත් දේවල් අද දින යෙහෝවඃ වහන්සේගේ ජනයා හමුවේ උද්ගත වන පීඩාවන් හා සමාන ය.
15 යෝබ්ට ඒ සියලු ම පීඩාවන් විඳදරා ගැනීමට හැකි වූයේ කෙසේ ද? යෝබ්ට විශේෂයෙන් ම රුකුලක් වූ දෙයක් නම් බලාපොරොත්තුවයි. ඔහු මෙසේ ප්‍රකාශ කළේ ය: “ගහක් කපාදැමුවොත් ඒක දෙවනු ලියලා, ඒකේ රිකිලි හටගන්නේය යන බලාපොරොත්තුව ඇත්තේය.” (යෝබ් 14:7) යෝබ්ට තිබුණේ කෙබඳු බලාපොරොත්තුවක් ද? ඡේද කිහිපයකට පසු ව දැකිය හැකි පරිදි, ඔහු මෙසේ පැවැසුවේ ය: “මනුෂ්‍යයෙක් මැරුණාම ඔහු නැවත ජීවත්වේද? . . . ඔබ අඬගසනසේක, මමද උත්තර දෙන්නෙමි; ඔබගේ අත් වැඩයට ඔබ ආශාවනසේක [නැතහොත්, දැඩි කැමැත්තක් දක්වන සේක].” (යෝබ් 14:14, 15) එසේ ය, යෝබ් සිය වත්මන් වේදනාවට ඔබ්බෙන් තිබූ දෑ දුටුවේ ය. තමාගේ පීඩා සදහට ම පවතින්නේ නැති බව හේ දැන සිටියේ ය. වැඩි ම වුණොත් ඔහුට මරණය දක්වා විඳදරා ගන්නට සිදු වනු ඇත. ඔහුගේ බලාපොරොත්තුවෙන් පිරුණු අපේක්ෂාව වූයේ, මළ අය ව නැවත නැගිටුවන්ට ප්‍රේමනීය ආශාවක් ඇත්තා වූ යෙහෝවඃ වහන්සේ ඔහු ව යළි ජීවත් කරවන බව ය.—ක්‍රියා 24:15.
16. (අ) යෝබ්ගේ ආදර්ශයෙන් අප විඳදරා ගැනීම ගැන ඉගෙන ගන්නේ කුමක් ද? (ආ) රාජ්‍යය බලාපොරොත්තුව අපට කොපමණ සැබෑ විය යුතු ද, එමෙන් ම ඒ මන්ද?
16 අපට යෝබ්ගේ විඳදරා ගැනීමෙන් කුමක් උගත හැකි ද? අන්තිමය දක්වා විඳදරා ගැනීමට නම්, අප කිසි විටකත් අපගේ බලාපොරොත්තුව අපගේ දෘෂ්ටියෙන් ඉවත් ව යන්නට ඉඩ නොහළ යුතු බව ය. එමෙන් ම, රාජ්‍යය බලාපොරොත්තුව නිසැක ව ම සැබෑ වන හෙයින්, අප මුහුණ දෙන ඕනෑ ම ආකාරයේ දුක් විඳීමක් සාපේක්ෂ වශයෙන් “මොහොතකට පවතින” යමක් අදහස් කරන බව සිහියේ තබා ගන්න. (2 කොරින්ති 4:16-18) අපගේ අනගිමත් බලාපොරොත්තුවේ ස්ථිරසාර පදනම වනුයේ නුදුරු අනාගතය සම්බන්ධයෙන් වූ යෙහෝවඃ වහන්සේගේ පොරොන්දුව ය, එම කාලයේ “උන්වහන්සේ [අපගේ] ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය.” (එළිදරව් 21:3, 4) ‘ලජ්ජාවට හෙවත් අපේක්ෂා භංගත්වයට නොපමුණුවන්නා වූ’ එම බලාපොරොත්තුව මගින් අපගේ සිතුවිලි ආරක්ෂා විය යුතු ය. (රෝම 5:4, 5; 1 තෙසලෝනික 5:8) එය අප හට සැබෑ යමක් විය යුතු ය—එය කොතරම් සැබෑ යමක් ද කිවහොත් ඇදහිල්ලේ ඇස්වලින් අප නව ලොවෙහි සිටින අයුරු චිත්‍රයට නංවන්න අපට හැකිවේ—එනම් අසනීප හා විෂාදයට විරුද්ධ ව සටන් කරනවා වෙනුවට සෑම දිනක ම හොඳ සෞඛ්‍යයෙන් හා පැහැදිලි මනසකින් යුතු ව අවදි වීම; බරපතළ ආර්ථික පීඩන ගැන කනස්සලු වනවා වෙනුවට සුරක්ෂිත ව වාසය කිරීම; මළා වූ ප්රේමනීයන්ගේ මරණය ගැන වැලපෙනවා වෙනුවට ඔවුන් නැවත නැගිටුවනු ලබනවා දැකීමෙන් ලබන මහත් උද්වේගය ගෙන දෙන අත්දැකීම මින් සමහරකි. (හෙබ්‍රෙව් 11:1) අපට එවන් බලාපොරොත්තුවක් නොතිබුණි නම්, අපගේ වත්මන් පීඩා මගින් අප කොතරම් යටපත් විය හැකි ද කිවහොත්, අප අත්හැර යනු ඇත. අපගේ බලාපොරොත්තුව අපට තිබෙන හෙයින්, දිගට ම සටන් කරමින් සිටීමටත්, අන්තිමය දක්වා ම විඳදරා ගනිමින් සිටීමටත් අපට ඇත්තේ මොනතරම් ප්‍රබල අනුබලයක් ද!
17. යේසුස් වහන්සේ විඳදරා ගත්තේ කෙබඳු ආකාරයේ පීඩාවන් ද? (ආ) යේසුස් වහන්සේ විඳදරා ගත් දුක් වේදනාවේ ප්රබලකම කුමන කාරණයෙන් සමහර විට දැක ගත හැකි ද? (පාද සටහන බලන්න.)
17 යේසුස් වහන්සේ දෙස ‘ඕනෑකමින් බලන්ටත්’ ‘උන් වහන්සේ ගැන කිට්ටුවෙන් කල්පනා කර බලන්ටත්’ බයිබලය අපගෙන් උදක් ම ඉල්ලා සිටියි. උන් වහන්සේ විඳදරා ගත්තේ කෙබඳු ආකාරයේ පීඩා ද? මින් සමහරක් ඇති වූයේ වෙනත් අයගේ පාපය හා අසම්පූර්ණකම් හේතුවෙන් ය. යේසුස් වහන්සේ “තමන්ට විරුද්ධව සිටිය පව්කාරයන්ගෙන් . . . විරුද්ධකම්” විඳදරා ගත්තා පමණක් නොව, නමුත් සිය ගෝලයින් අතර පැන නැගුණු ගැටලු ද විඳදරා ගත් සේක, මීට ඇතුළත් වන එකක් නම් වඩාත් ම ශ්‍රේෂ්ඨයා වන්නේ කවරෙක් ද යන වග පිළිබඳ ඔවුන් අතර නැවත නැවත ඇති වූ විවාදයන් ය. ඒ සියල්ලට ම වඩා උන් වහන්සේට පෙර නොවූ විරූ ඇදහිල්ලේ පරීක්ෂාවකට මුහුණ දෙන්නට සිදු විය. උන් වහන්සේ “වධ කණුවක් විඳදරා ගත්” සේක. (හෙබ්‍රෙව් 12:1-3, NW; ලූක් 9:46; 22:24) වධ කණුවක එල්ලා මරණයට පත් කිරීමේ දී දැරීමට සිදු වූ වේදනාව, එමෙන් ම දේව අපහාස කරන්නෙකු ලෙස මරණයට පත් කිරීමේ දී දැරීමට සිදු වූ නින්දාව හා සම්බන්ධ මානසික හා කායික වේදනා විඳීම සිතෙහි මවා ගැනීම පවා දුෂ්කර ය.b
18. ප්‍රේරිත පාවුල්ට අනුව, යේසුස් වහන්සේට රුකුළක් වූයේ කුමන දේවල් දෙක ද?
18 අවසානය දක්වා විඳදරා ගෙන සිටීමට යේසුස් වහන්සේට උපකාරවත් වූයේ කුමක් ද? යේසුස් වහන්සේට රුකුළක් වූ දේවල් දෙකක් ප්‍රේරිත පාවුල් සඳහන් කරයි: එනම් “යාච්ඤා සහ කන්නලව්,” එමෙන් ම “තමන් ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය” ය. දෙවියන් වහන්සේගේ පරිපූර්ණ පුත්‍රයාණන් වන යේසුස් වහන්සේ උපකාරය පැතීමට ලජ්ජා නොවූ සේක. උන් වහන්සේ “බලවත් හැඬීමෙන් හා කඳුළින් යුක්ත” ව යාච්ඤා කළ සේක. (හෙබ්‍රෙව් 5:7; 12:2) විශේෂයෙන් ම උන් වහන්සේගේ ප්රබලතම පීඩාව කෙමෙන් කෙමෙන් ළඟා වූ විට, ශක්තිය සඳහා පුන පුනා ඉතා ඕනෑකමින් යාච්ඤා කිරීමේ අත්‍යවශ්‍යතාවය උන් වහන්සේට හැඟුණි. (ලූක් 22:39-44) යේසුස් වහන්සේගේ යාච්ඤාවලට ප්‍රතිචාරයක් වශයෙන්, යෙහෝවඃ වහන්සේ පීඩාව ඉවත් කළා නොව, නමුත් එය විඳදරා ගැනීමට උන් වහන්සේ යේසුස් වහන්සේ ව ශක්තිමත් කළ සේක. යේසුස් වහන්සේගේ විඳදරා ගැනීමට ඉවහල් වූ තවත් යමක් වූයේ උන් වහන්සේ වධ කණුවෙන් ඔබ්බට සිය ත්‍යාගය වෙත බැලීම ය—එනම් යෙහෝවඃ වහන්සේගේ නාමය විශුද්ධ කිරීමෙහි ලා උන් වහන්සේට දායක වීමට හැකි වීමේ ප්‍රීතිය මෙන් ම මුළු මිනිස් සංහතිය ම මරණයෙන් මිදීමට හැකි වීමේ ප්‍රීතිය ය.—මතෙව් 6:9; 20:28.
19, 20. විඳදරා ගැනීමට සම්බන්ධ වන්නේ කුමක් ද යන්න පිළිබඳ ව යථාර්ථවාදී දෘෂ්ටියක් දැරීමට යේසුස් වහන්සේගේ ආදර්ශය අපට උපකාරවත් වන්නේ කෙසේ ද?
19 විඳදරා ගැනීමට ඇත්තෙන් ම සම්බන්ධ වන්නේ කුමක් ද යන්න පිළිබඳ ව යථාර්ථවාදී දෘෂ්ටියක් දැරීමට අපට උපකාරවත් වන බොහෝ දෑ අපට යේසුස් වහන්සේගේ ආදර්ශයෙන් උගත හැකි ය. විඳදරා ගැනීමේ මඟ ලෙහෙසි පහසු එකක් නොවේ. යම් ආකාරයේ පීඩාවක් විඳදරා ගැනීමේ දී අපට යම් අපහසුවක් හැඟෙනවා නම්, එය යේසුස් වහන්සේ සම්බන්ධයෙන් පවා සැබෑවක් වූ බව දැනගැනීම සැනසිලිදායක ය. අන්තිමය දක්වා විඳදරා ගෙන සිටීමට නම්, ශක්තිය සඳහා අප නිරතුරු ව ම යාච්ඤා කළ යුතු ය. පීඩාවන් යටතේ දී අප සිටින විට, සමහර අවස්ථාවන්හි දී යාච්ඤා කිරීමට අප නුසුදුසු ය යන්න අපට හැඟිය හැක. එහෙත් යෙහෝවඃ වහන්සේ ‘අප ගැන සලකන හෙයින්’ අපගේ හෘදයන් උන් වහන්සේට වගුරුවන මෙන් උන් වහන්සේ අපට ඇරයුම් කරන සේක. (1 පේතෘස් 5:7) තව ද යෙහෝවඃ වහන්සේ ස්වකීය වචනය තුළ පොරොන්දු කර තිබෙන දෑ නිසා, ඇදහිල්ල ඇතුව උන් වහන්සේට හඬ ගසන්නා වූ අයට “සාමාන්‍යය ඉක්මවූ බලය සපයා දීමට” උන් වහන්සේ තමන් වහන්සේ ව ම වගකීමෙන් බඳවා ගෙන සිටින සේක.—2 කොරින්ති 4:7-9, NW.
20 සමහර විට අපට කඳුළු සලමින් විඳදරා ගැනීමට සිදු වේ. වධ කණුවේ දරාගැනීමට සිදු වූ වේදනා ව ම යේසුස් වහන්සේ සඳහා ප්‍රීති වීමට හේතුවක් නොවී ය. ඒ වෙනුවට, ප්‍රීතිය සඳහා හේතුව වූයේ උන් වහන්සේ ඉදිරියේ තබා තිබුණු ත්‍යාගය ය. අපගේ අත්දැකීම් සලකා බලන කල, අප පීඩා යටතේ සිටින විට, අප සෑම විට සොම්නසින් හා ප්‍රබෝධයෙන් සිටිනවා යන්න අපේක්ෂා කිරීම යථාර්ථවාදී නොවේ. (හෙබ්‍රෙව් 12:11 සසඳන්න.) කෙසේ වෙතත්, ත්‍යාගය දෙස ඉදිරියේ බලා සිටීමෙන්, අපට ඉතාමත් පීඩාකාරී තත්ත්වයන්ට මුහුණ දෙන්නට සිදුවුවත් “ඒ සියල්ල ප්‍රීතියක්යයි” සැලකීමට අපට හැකි වේ. (යාකොබ් 1:2-4; ක්‍රියා 5:41) අපට කඳුළු සැලීමට පවා සිදු වුවත්—වඩාත් වැදගත් දේ නම්, ස්ථිර ව නොසැලී සිටීම ය. මන්දයත්, ‘වඩාත් අඩුවෙන් කඳුළු සලන්නා ගැලවෙන’ බවට යේසුස් වහන්සේ නොපැවසූ නමුත්, උන් වහන්සේ පැවසුවේ ‘අන්තිමය දක්වා විඳදරාගෙන සිටින්නා ගැලවෙන’ බව ය.—මතෙව් 24:13, NW.
21. (අ) දෙවන පේතෘස් 1:5, 6 හි අපගෙන් උදක් ම ඉල්ලා සිටිනු ලබන්නේ අපගේ විඳදරා ගැනීමට කුමක් සපයා ගන්නා ලෙසට ද? (ආ) ඊළඟ ලිපියේ සලකා බලනු ලබන්නේ කුමන ප්‍රශ්න ද?
21 එබැවින් විඳදරා ගැනීම ගැලවීම සඳහා අත්‍යවශ්‍ය යමකි. කෙසේ වෙතත් 2 පේතෘස් 1:5, 6 හි අපගෙන් උදක් ම ඉල්ලා සිටින්නේ අපගේ විඳදරා ගැනීමට දේව භක්තිය සපයා ගන්නා ලෙසට ය. දේව භක්තිය යනු කුමක් ද? එය විඳදරා ගැනීමට නෑකම් කියන්නේ කෙසේ ද, එමෙන් ම ඔබට එය අත්කර ගත හැක්කේ කෙසේ ද? මේ ප්‍රශ්න ඊළඟ ලිපියේ සලකා බලනු ලැබේ.
[පාදසටහන්වල]
a ඕනෑ ම ජාතියක කොඩියට ආචාර කිරීමට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ප්‍රතික්ෂේප කරන්නේ ක්‍රිස්තියානි හෘදය සාක්ෂිය නිසා පැන නගින හේතු නිසා ය. ඔවුන් ජීවත් වන ජාතියේ කොඩියට ඔවුන් ගරු කරන නමුත්, ඊට ආචාර කිරීම පිළිම නමස්කාරයේ ක්‍රියාවක් වශයෙන් ඔවුහු සලකති. ඔවුන් සිය නමස්කාරය යොමු කරන්නේ යෙහෝවඃ දෙවියන් වහන්සේට පමණි.—නික්මයාම 20:4, 5; මතෙව් 4:10.
b යේසුස් වහන්සේ විඳදරා ගත් දුක ඉතා ප්‍රබල එකක් වූ බවට කාරණය සමහර විට දැකිය හැක්කේ උන් වහන්සේගේ පරිපූර්ණ ජීවය වධ කණුවේ පැය කිහිපයක් පමණක් ගත වීමෙන් පසු ව මරණයට පත් වීමෙන් ය, ඊට වෙනස් ව, උන් වහන්සේ සමඟ වධ කණුවල එල්ලනු ලැබූ වරදකරුවන්ගේ මරණය ඉක්මන් කිරීමට ඔවුන්ගේ කකුල් කඩා දැමීම අවශ්‍ය විය. (යොහන් 19:31-33) වධ කණුවේ එල්ලනු ලැබීමට පෙර නිදා ගැනීමකින් තොර ව මුළු රාත්‍රිය පුරා පැවති පරීක්ෂාවේ දී යේසුස් වහන්සේ මත පමුණුවනු ලැබූ මානසික හා කායික වේදනාව ඔවුන් ඇත්දැක නොතිබුණි, සමහර විට මෙය උන් වහන්සේට සිය වධ කණුව රැගෙන යාම පවා අපහසු යමක් කළ බව කිව හැක.—මාර්ක් 15:15, 21.
ඔබ පිළිතුරු දෙන්නේ කෙසේ ද?
◻ විඳදරා ගැනීම යන්නෙහි අරුත කුමක් ද?
◻ යෙහෝවඃ වහන්සේගේ සෙනඟ හට විඳදරා ගැනීම සඳහා අද්විතීය අවශ්‍යතාවයක් ඇත්තේ මන්ද?
◻ යෝබ් හට විඳදරා ගැනීමට හැකි කරවූයේ කුමක් ද?
◻ විඳදරා ගැනීම පිළිබඳ යථාර්ථවාදී දෘෂ්ටියක් ඇතුව සිටීමට යේසුස් වහන්සේගේ ආදර්ශය අපට උපකාරවත් වන්නේ කෙසේ ද?
[10වන පිටුවේ පින්තූරය]
රාජ්‍යය පාසල් 1930 ගණන්වල 1940 ගණන්වල පිහිටුවනු ලැබුවේ ජාතික කොඩියට ආචාර කිරීම ප්‍රතික්ෂේප කළ නිසා පාසල්වලින් නෙරපා දමනු ලැබූ දරුවන් දහස් සංඛ්‍යාතයට ඉගැන්වීම සඳහා ය
[12වන පිටුවේ පින්තූරය]
සිය පියාණන් ව ගෞරවයට පත් කිරීමට අදිටන් කරගෙන සිටි යේසුස් වහන්සේ, විඳදරා ගැනීමට අවශ්‍ය ශක්තිය සඳහා යාච්ඤා කළ සේක