ඉතිහාසය පිළිබඳ ජොසේෆස්ගේ මනබන්ධනීය පුරාවෘත්තාන්ත
ඉතිහාසය පිළිබඳව හදාරන ශිෂ්‍යයන් බොහෝ කලක් මුළුල්ලේ ජොසේෆස්ගේ මනබන්ධනීය ලියවිලි කෙරෙහි තියුණු අවධානයන් යොමා ඇත. ක්‍රිස්තුස්වහන්සේගේ මරණින් හුදෙක් වසර හතරකට පසු උපත ලද ඔහු, පළමු සියවසේ යුදා ජාතිය පිළිබඳව යේසුස්වහන්සේ වදාළ අනාවැකිවල ලොමුදැහැගන්වන ඉටුවීම ඇසින් දුටු සාක්ෂිකරුවෙකු විය. ජොසේෆස් වනාහි හමුදා අණදෙන නිලධාරියෙක්, රාජ දූතයෙක්, ඵරිසිවරයෙක් හා විශාරදයෙක් විය.
ජොසේෆස්ගේ ලියවිලි මනෝහර තොරතුරුවලින් පිරී ඇත. පලස්තීනයේ භූමි ප්‍රදේශ පිළිබඳ හා භූගෝලීය විස්තර සම්බන්ධයෙන් ශාස්ත්‍රීය ආධාරක සපයමින් බයිබලයේ සම්මත ග්රන්ථ සමූහය ඒවායින් වඩාත් ඔප් නැංවෙයි. ඔහුගේ කෘතීන් තම පුස්තකාලයට ඉතා වටිනා එකතුවක් ලෙස බොහෝ දෙනෙකු විසින් සලකනු ලැබීම අරුමයක් නොවේ.
ඔහුගේ ජීවිතයේ මුල් අවදිය
ජෝසෆ් බෙන් මතයස් හෙවත් ජොසේෆස්, ඉපදුණේ, රෝම අධිරාජ්‍යය කැලිගියූලාගේ පාලන සමයේ පළමු වසර වූ පො.යු. 37දීය. ජොසේෆස්ගේ පියා පූජක පවුලකට අයත් වූවෙක් විය. ඔහු පැවසූ ආකාරයට, ඔහුගේ මව හාස්මෝනියන් උත්තම පූජකයෙකුවූ ජොනතන්ගෙන් පැවතෙන්නියක් වූවාය.
තම නව යොවුන් සමයේදී, ජොසේෆස් මෝසෙස්ගේ ව්‍යවස්ථාව ඉතාමත් ආශාවෙන් ඉගෙනගත් ශිෂ්‍යයෙකු විය. ඔහු යුදා ආගමේ නිකායන් තුනක්—එනම්, ඵරිසිවරු, සද්දුසිවරු සහ එස්සෙනීයවරු—පිළිබඳව පරිස්සමින් විශ්ලේෂණය කළේය. එස්සෙනීයවරුන්හට වඩාත් අනුග්‍රහ දැක්වූ ඔහු, බොහෝ දුරට එස්සෙනීයවරයෙකුවූ බැනස් නම් තාපසයකු සමඟ මෙන් කාන්තාරයේ වසර තුනක් වාසය කිරීමට තීරණය කළේය. වයස අවුරුදු 19දී මෙය අත්හැර දැමූ ජොසේෆස්, යළි යෙරුසලම කරා ගොස් ඵරිසිවරුන්ට එකතු විය.
රෝමයට සහ ආපසු
යුදෙව් බලකාර නියෝජිතයාවූ ෆීලික්ස් විසින් නීරෝ අධිරාජ්‍යයා වෙත උසාවියේ පෙනී සිටීම සඳහා යවා තිබූ යුදා පූජකයන් වෙනුවෙන් මැදිහත්වීම පිණිස පො.යු. 64 වසරේදී, ජොසේෆස් රෝමය කරා ගමන් කළේය. යන ගමනේදී නැව මුහුදුබත් වූ අතර, ජොසේෆස් යන්තමින් තම ජීවිතය ගලවා ගත්තේය. නැවේ සිටි මගීන් 600දෙනාගෙන් බේරා ගනු ලැබුවේ 80දෙනෙකුව පමණි.
ජොසේෆස් රෝමයේ සිටින අතරේදී, එක් යුදා නළුවෙක් ඔහුව නීරෝගේ බිරිඳවූ අධිරාජ්‍ය බිසවවූ පොපේයාහට හඳුන්වා දෙනු ලැබීය. ඔහුට පැවරී තිබූ කටයුත්ත සාර්ථක කිරීමෙහිලා ඈ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළාය. නගරයේ තේජස්සම්පන්න අලංකාරය ජොසේෆස්ගේ සිත ගැඹුරින් බලපෑම් කළේය.
ජොසේෆස් යුදාවට නැවත පැමිණි අවදියේ, රෝමයට එරෙහිව කැරලි ගැසීම යුදෙව්වන්ගේ මනසේ තදින් බැඳී තිබිණි. රෝමයට එරෙහිව සටන් කිරීමේ නිෂ්ඵලත්වය තම රටවැසියන්ගේ මනසට කාවැද්දීමට ඔහු පරිශ්‍රමයක් දැරීය. ඔවුන්ව නවතාලීමට අසමත්වීමෙන් සහ පෙනෙන විදහට, තමා ද්‍රෝහියෙක් යයි සලකාවි යන බියෙන්, හේ ගලීල දේශයේ යුදා හමුදා අණ දෙන නිලධාරියෙකුගේ පත්වීමක් භාරගත්තේය. තම මිනිසුන්ව රැස්කරගෙන ඔවුන්ව පුහුණු කළ ජොසේෆස්, රෝම හමුදාවන්ට එරෙහිව සටන් වැදීම සඳහා අවශ්‍ය කරන ආහාර බඩුබාහිරාදිය සපයා ගත්තේය—නමුත් එය නිෂ්ඵල විණි. ගලීලය වෙස්පේසියන්ගේ හමුදාව අතට පත්විණි. දවස් 47ක් වටලා සිටීමෙන් අනතුරුව, ජොටාපටාහි ජොසේෆස්ගේ බලකොටුව පරාජය කරනු ලැබිණි.
ජොසේෆස් කැමැත්තෙන් යටත්වූ විට, වෙස්පේසියන් ඉතා ඉක්මනින් අධිරාජ්‍යයා වනු ඇති බව ජොසේෆස් පුරෝකථනය කළේ විචක්ෂණකාරී අන්දමිනි. ඔහුව සිරගත කරනු ලැබුවද මෙම පුරෝකථනය කිරීම නිසා ඔහුට දඬුවමක් දෙනු නොලැබීය, ඇරත් එය සැබෑවක් වූ විට ජොසේෆස්ව නිදහස් කරනු ලැබීය. එය වනාහි ඔහුගේ ජීවිතය නව දිසාවකට යොමු කළ අවස්ථාවය. යුද්ධයේ ඉතිරි කාලය පුරාම, හේ භාෂා අර්ථකථිකයෙකු හා මැදිහත්කරුවෙකු ලෙස රෝමවරුන්ට සේවය කළේය. වෙස්පේසියන් හා ඔහුගේ පුත්‍රයන් වූ ටයිටස් හා ඩොමීෂියන්හට තම අනුග්රහශීලී සහයෝගය පළ කිරීමක් වශයෙන්, ජොසේෆස් තමාට ෆ්ලේවියස් යන පවුලේ නාමය ඈඳා ගත්තේය.
ෆ්ලේවියස් ජොසේෆස්ගේ කෘති
ජොසේෆස්ගේ ඉපැරණිතම ග්‍රන්ථයේ තේමාව වූයේ ද ජූස් වෝ (යුදෙව් යුද්ධය) යන්නය. වෙළුම් හතකින් යුත් මෙම කෘතිය ඔහු විසින් පිළියෙළ කරන ලද්දේ, රෝමවරුන්ගේ සුපිරි ශක්තිය විචිත්රනීය අයුරින් යුදෙව්වන්හට විස්තර කිරීමටත්, අනාගතයේ ඇතිවිය හැකි කැරලිවලට බාධකයක් සැපයීමටත් යයි විශ්වාස කෙරේ. ඇන්ටියෝකස් එපිෆේනස් විසින් (පො.යු.පෙ. දෙවෙනි සියවසේ) යෙරුසලම අල්ලා ගැනීමේ සිට පො.යු. 67දී ඇතිවූ දරුණු අර්බුදය දක්වා යුදෙව් ඉතිහාසය මෙම ලියවිලිවලින් ඉතා සියුම් ලෙස පරීක්ෂා කෙරේ. ඇසින් දුටු සාක්ෂිකරුවෙකු වශයෙන්, අනතුරුව ජොසේෆස් පො.යු. 73දී උච්චාවස්ථාවට පත් යුද්ධය ගැන සාකච්ඡා කරයි.
යුදෙව්වන්ගේ ඉතිහාසය පිළිබඳව වෙළුම් 20කින් සමන්විත, ද ජුවිෂ් ඇන්ටික්විටීස් (යුදෙව් පුරාවෘත්ත) ජොසේෆස්ගේ තවත් කෘතියක් විය. උත්පත්තියෙන් හා මැවීමෙන් පටන්ගෙන, රෝමය සමඟ ඇතිවූ යුද්ධය දක්වා එය දිගටම දිවයයි. ජොසේෆස් බයිබලයේ විස්තරය අනුපිළිවෙළ ළඟින් අනුගමනය කරන්නේ, සම්ප්‍රදායික අර්ථකථන හා බාහිර නිරීක්ෂණ ඒවාට එකතු කරමිනි.
ජොසේෆස්, ලයිෆ් (ජීවිතය) යන සරල මැයෙන් යුත් පුද්ගලික විවරණයක් ලීවේය. එහි, යුද්ධය අතරතුරේදී තම ස්ථාවරය යුක්තිසහගත කිරීමට යත්න දරන හේ, තිබේරියස්හි ජස්ටස් විසින් තමා වෙත එල්ලකරන ලද චෝදනා මැඬපැවැත්වීමට උත්සාහ කරයි. හතරවෙනි කෘතියක් වූයේ, යුදෙව්වන්ව වැරදි ලෙස නියෝජනයවීමට එරෙහිව ඔවුන්ව ආරක්ෂා කිරීම පිණිස, ඔවුන්ගේ නිදහසට කරුණු ඉදිරිපත් කරමින් ලියවුණු, වෙළුම් දෙකකින් යුත් එගේන්ස්ට් ඇපියොන් නමැති ග්‍රන්ථයයි.
දේව වචනය තුළට විනිවිද බැල්මක්
ජොසේෆස්ගේ ඉතිහාසයේ බොහොමයක් කාරණා දෝෂරහිත බවට කිසිඳු සැකයක් නැත. අසම්මත ග්රන්ථ, දේවානුභාවයලත් ශුද්ධ ලියවිලිවල කොටසක් වශයෙන් කිසිවිටෙකත් යුදෙව්වන් විසින් නොසැලකූ බව තම එගේන්ස්ට් ඇපියොන් කෘතියේ ඔහු පෙන්වයි. දිව්‍යමය ලියවිලිවල නිරවද්‍යතාවය සහ අභ්‍යන්තර එකඟතාවය ගැන ඔහු සාක්ෂි ඉදිරිපත් කරයි. ජොසේෆස් මෙසේ කියයි: “එකිනෙකට පරස්පර විරෝධී, එකඟ නොවන්නාවූ, ගණන් කළ නොහැකි මහත් පොත් සම්භාරයක් අප අතර නැත, . . . නමුත් අපට තිබෙන්නේ, සියලු අතීත කාලවල වාර්තා අන්තර්ගතව ඇති, දිව්‍යමය යයි යුක්තිසහගත ලෙස විශ්වාස කෙරෙන පොත් විසිදෙකක් [අප විසින් ශුද්ධ ලියවිලි නූතනයේ පොත් 39කට බෙදා තිබීමට සමානය] පමණි.”
ද ජුවිෂ් ඇන්ටික්විටීස්හි, ජොසේෆස් බයිබලීය වාර්තාව ගැන උනන්දුමය අමතර තොරතුරු එකතු කරයි. පූජාකිරීම සඳහා, ආබ්‍රහම් ඊසාක්ගේ අත් පා බඳින විට, “ඊසාක්ගේ වයස අවුරුදු විසිපහක්” බව ඔහු පවසයි. ජොසේෆස් පවසන පරිදි, පූජාසනය ගොඩනැඟීමට උදව්වූවායින් පසු, “ ‘තමා දෙවියන්වහන්සේගේ සහ තම පියාගේ අධිෂ්ඨානය ප්‍රතික්ෂේප කරන්නේ නම්, පළමුකොටම තමා පියාගෙන් ඉපදීමට නොවටින්නේ’ යයි ඊසාක් පැවසුවේය. . . . එබැවින්, පූජා කරනු ලැබීම පිණිස ඔහු කඩිනමින් පූජාසනය වෙත ගියේය.”
ඉශ්රායෙල්වරු පැරණි මිසරයෙන් පිටත්ව යාම පිළිබඳ ශුද්ධ ලියවිලිමය වාර්තාවට, ජොසේෆස් මෙම අමතර තොරතුරු එකතු කරයි: “ඔවුන් පසුපස හඹා ගිය සංඛ්‍යාව, අසරුවන් පනස්දහසක් සහ ආයුධ සන්නද්ධව පයින් ගමන්කළ ලක්ෂ දෙකක් සමඟින් යුධ රථ හයසියයක් විය.” ජොසේෆස් තවත් පවසන දෙයක් නම්, “සාමුවෙල්ට වයස අවුරුදු දොළහක් වන විට, ඔහු අනාගතවාක්‍ය කීමට පටන් ගත්තේය: ඔහු නිදාගෙන සිටි විට, දෙවියන්වහන්සේ ඔහුගේ නමින් ඔහුට හඬ ගැසීය.”—1 සාමුවෙල් 3:2-21 සසඳන්න.
ජොසේෆස්ගේ වෙනත් ලියවිලි, අය බදු, නීති සහ සිද්ධීන් තුළට විනිවිද බැල්මක් හෙලයි. හෙරොද්ගේ සාදයේදී යොහන් බව්තීස්තගේ හිස ඉල්ලූ, නැටුම් ඉදිරිපත් කළ ස්ත්‍රිය සලෝමි වශයෙන් ඔහු නම් කරයි. (මාර්ක් 6:17-26) හෙරොද්වරුන් ගැන අප දන්නා බොහොමයක් වාර්තා ගත කර ඇත්තේ ජොසේෆස් විසිනි. “තම මහළු විය සඟවා ගැනීම සඳහා [හෙරොද්] තම හිසකෙස් කළු වර්ණයෙන් වර්ණගැන්වූ” බව පවා ඔහු පවසයි.
රෝම විරෝධී මහා කැරැල්ල
යේසුස්වහන්සේ, යෙරුසලම හා එහි දේවමාලිගය සම්බන්ධ සිය අනාවැකිය ඉදිරිපත් කර වසර 33කට පමණ පසු, එහි ඉටුවීම දිගහැරෙන්නට පටන් ගත්තේය. රෝමයේ වූ විප්ලවවාදී යුදෙව් කොටස් රෝම වියගසෙන් බිඳී ඉවතට යාමට බෙහෙවින් නැඹුරු වූහ. පොදු යුගයේ 66දී, මේ ගැන පුවත් සැලවීමත් සමඟම, සිරියන් ආණ්ඩුකාර සෙස්ටස් ගැලස් යටතේ රෝම හමුදා එක්රැස්කර පිටත් කර හැරීමට මඟ පෑදීය. ඔවුන්ගේ පැවරුම වූයේ කැරැල්ල මැඩපවත්වා, වැරදිකරුවන්ට දඬුවම් කිරීමයි. යෙරුසලම අවට ප්‍රදේශය විනාශ කිරීමෙන් පසු, සෙස්ටස්ගේ පුරුෂයෝ පවුරකින් වටවූ නගරය වටා කඳවුරු බැඳගත්හ. ටෙස්ටුඩෝ යනුවෙන් හැඳින්වෙන ක්‍රමයක් උපයෝගි කර ගනිමින්, රෝමවරු තම සතුරන්ගෙන් ආරක්ෂා වීම පිණිස කැස්බෑවෙකුගේ පිටේ කටුව මෙන් තම පළිස් ඒකරාශි කර ගත්හ. මෙම ක්රමයේ සාර්ථකත්වය සනාථ කරමින්, ජොසේෆස් මෙසේ සඳහන් කරයි: “විසිකරන ලද ඊතල කටු වැටුණු අතර, ඔවුන්ට කිසිඳු හානියක් නොවන අයුරින් ලිස්සා ගියේය; එබැවින් හේවායෝ තමන්ට කිසිඳු හානියක් නොවන පරිද්දෙන් බිත්තිය යටින් හෑරුවෝය, තවද දේවමාලිගාවේ දොරටුවට ගිනිතැබීම පිණිස සියලු දේ සූදානම් කරගත්තෝය.”
“ඉන්පසු සිදුවුණේ මෙයයි,” යනුවෙන් පවසන ජොසේෆස් මෙසේ කියයි, “සෙස්ටස්, . . . ස්ථානයේ වූ තම හේවායන් යළි කැඳවූ අතර, . . . සිතාගත හැකි කිසිම හේතුවක් නොමැතිව ඔහු නගරයෙන් පිටමං විය.” පෙනෙන හැටියට, දේව පුත්‍රයාව මහිමවත් කිරීමේ කිසිඳු අදහසකින් තොරව, යෙරුසලමේ විසූ ක්‍රිස්තියානින් බලා සිටියාවූ එම ක්‍රියාවම ජොසේෆස් විසින් වාර්තා කරන ලදි. එය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනාවැකියේ ඉටුවීම විය! වසර ගණනාවකට පෙරාතුව, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝ මෙසේ අනතුරු ඇඟවූ සේක: “යම් කලක සේනාවන් විසින් යෙරුසලම වටලා සිටිනවා නුඹලා දකින්නහුද, එකල එහි විනාශය ආසන්න බව දැනගනිල්ලා. එකල යුදයෙහි සිටින්නෝ කඳුවලට පලායත්වා; එහි තුළ සිටින්නෝ පිටතට යත්වා; ගම්බද සිටින්නෝ එහි ඇතුල් නොවෙත්වා; මක්නිසාද ලියන ලද සියල්ල සම්පූර්ණවන පිණිස ඒ දවස් පළිගැනීමේ [යුක්තිය ඉටුකිරීමේ, NW] දවස් වන්නේය.” (ලූක් 21:20-22) යේසුස්වහන්සේ අවවාද කළාක් මෙන්, උන්වහන්සේගේ ඇදහිලිවන්ත අනුගාමිකයෝ, සැණෙකින් නගරයෙන් පලාගොස්, ඉන් ඈත්ව සිටි අතර, පසුව ඒ මත කඩා වැටුණු ශෝකාන්තයෙන් බේරුණෝය.
රෝමවරු පො.යු. 70දී නැවත හැරී ආ විට, ඇති වූ විපාක ජොසේෆස් විසින් සවිස්තරව වාර්තා කරන ලදි. වෙස්පේසියන්ගේ වැඩිමහල් පුත්, ජනරාල් ටයිටස්, යෙරුසලමේ නගරය එහි මනස්කාන්ත දේවමාලිගාව සමඟ යටත්කර ගැනීමට පැමිණියේය. නගරය ඇතුළත වූ සටන්කාමී කොටස් පාලනය සියතට ගැනීමට බලවත් ප්රයත්න දැරූහ. ඔවුන් අති දරුණු ක්‍රම යොදා ගත් අතර, බොහෝ රුධිරය වගුරුවන ලදි. ඇතැම්හු, “අභ්‍යන්තර අර්බුද නිසා කොතරම් පීඩාවට පත් වී සිටියාද කිවහොත්, “අභ්‍යන්තරයේ තම දුඃඛාන්තවලින් මිදීම පිණිස,” “රෝමවරුන්ගේ පැමිණීම” බලාපොරොත්තුවෙන් සිටියේ යයි ජොසේෆස් පවසයි. ධනවතුන්ගේ දේපළ විනාශ කරමින්, රෝමවරුන්ගේ අණසකට යටත් වී ඔවුන් හා මිතුරු වීමට උත්සාහ දැරූ බවට සැකකරන ලද ප්‍රධාන පෙළේ පුද්ගලයන්ව මරා දැමීමේ නියැලුණු කැරලිකරුවන් “මංකොල්ලකරුවන්” හැටියට ඔහු නම් තබයි.
මෙම සිවිල් යුද්ධය මැද, යෙරුසලමේ ජීවන තත්ත්වය සිතාගත නොහැකි තරම් වූ පිරිහීමකට රූරා වැටුණු අතර, මළමිනි මිහිදන් නොකර තිබුණි. කැරලිකරුවෝ, “මළමිනි එක මත එක ගොඩ ගසා තිබියදී, ඒවා පාගමින් ඔවුන්ම එකිනෙකාට එරෙහිව සටන් කළෝය.” ඔව්හු ආහාර සහ ධනය සඳහා මිනීමරමින් මහජනයාගේ දේපළ කොල්ලකෑහ. පීඩාවට ලක්වූ අසරණයන්ගේ දුක් අඳෝනා නොකඩවා නැගෙන්නට විය.
සිය කැමැත්තෙන් නගරය භාරදී තම ජීවිත ගලවා ගන්නා මෙන් ටයිටස් යුදෙව්වන්ට අවවාද කළේය. ඔහු, “ඔවුන්ගේම භාෂාවෙන් කථා කිරීම සඳහා ජොසේෆස්ව ඔවුන් වෙත යැවීය; මක්නිසාද ඔවුන්ගේ රටවැසියෙකු කරන ඒත්තු ගැන්වීමට ඔවුන් නැඹුරු වේය කියා ඔහු කල්පනා කළ බැවිනි.” එහෙත් ඔවුහු ජොසේෆස්ට නින්දා කළෝය. ඊළඟට, ටයිටස් මුළු නගරය වටා උල් කණු සහිත තාප්පයක් ඉදි කළේය. (ලූක් 19:43) බේරීයාමේ සියලු බලාපොරොත්තු සුන්වී, නගරයෙන් පිටවී යාමේ තැන් අවහිර කරනු ලැබූවිට, සාගතය, “මුළු නිවෙස් හා පවුල් පිටින් ජනයාව ගිලගත්තේය.” දිගටම පැවති යුද්ධය මරණ සංඛ්‍යාව වැඩි කළේය. බයිබල් අනාවැකි ඉටු කරන බව දැනනොගෙනම, ටයිටස් යෙරුසලම යටත් කර ගත්තේය. ඊට පසු, එහි පතාක පවුරු සහ ආරක්ෂිත ටැඹ නිරීක්ෂණය කරමින්, ඔහු විස්මපත්ව කියා සිටියේ මෙයයි: “මෙම ආරක්ෂාව සඳහා ඉදිකරන ලද සියල්ලෙන් මෙම යුදෙව්වන්ව පිටමං කළේ දෙවියන්වහන්සේ මිස වෙන කවුරුවත් නොවේ.” විනාශ වූ යුදෙව්වන්ගේ ගණන මිලියනයකට වඩා වැඩි විය.—ලූක් 21:5, 6, 23, 24.
යුද්ධයෙන් පසු
යුද්ධයෙන් පසු ජොසේෆස් රෝමය බලා ගියේය. ෆ්ලේවියන්වරුන්ගේ අනුග්‍රහය භුක්තිවිඳිමින්, ඔහු රෝම පුරවැසියෙකු මෙන් වෙස්පේසියන් කලින් විසූ මන්දිරයේ ජීවත් වූ අතර, ටයිටස් වෙතින් ලැබුණු ත්‍යාග සමඟින් රාජකීය විශ්‍රාම වැටුපක් ලබා ගත්තේය. අනතුරුව ජොසේෆස් ශාස්ත්‍රීය වෘත්තියක නියැලුණේය.
පෙනෙන හැටියට, “දිව්‍යාණ්ඩු තන්ත්රය [Theocracy]” යන යෙදුම අලුතෙන්ම සාදන ලද්දේ ජොසේෆස් විසින් බව සටහන් කර ගැනීම උනන්දුව දනවන්නකි. යුදෙව් ජාතිය සම්බන්ධයෙන් ඔහු මෙසේ ලීවේය: “අපගේ ආණ්ඩුව, . . . එය දෙවියන්වහන්සේගේ අධිකාරිත්වයට හා බලයට අනුග්‍රහය දැක්වීම හේතුවෙන්, එය දිව්යාණ්ඩුවක් යයි නම් කළ හැකිය.”
ජොසේෆස් කිසිවිටෙකත් තමා ක්‍රිස්තු භක්තිකයෙකු යයි කියා සිටියේ නැත. ඔහු දෙවියන්වහන්සේගේ ආනුභාවය යටතේ ලියුවේ නැත. එහෙත්, ඉතිහාසය පිළිබඳ මෙම මනබන්ධනීය පුරාවෘත්තීන්හි බුද්ධිමය වශයෙන් ආලෝකවත් කරන ඓතිහාසිකමය වටිනාකමක් තිබේ.
[31වන පිටුවේ පින්තූරය]
යෙරුසලමේ පවුරු අසල ජොසේෆස්